Posted by: lrrp | February 17, 2012

පරිත්‍රාණ දේශනාව

ලෝවැස්සන්ට ඇතිවන උවදුරු රැසකි. රෝග නිසාද, යක්ෂ ප්‍රේත ආදී භූතයන් නිසාද, දුර්භික්ෂ නිසාද, අනුන්ගේ උපක්‍රම නිසාද එකී උවදුරු ඇති වේ. ලෙඩ සුවකර ගැනීමට බෙහෙත් තිබේ. උවදුරු ඇති කල්හි ඒවා නැතිකර ගැනීමට උපාය තිබිය යුතුය. සාමාන්‍ය ලෝකයා එබඳු නොයෙක් උපාය යොදතත් නුවණැති බෞද්ධයාට පරිත්‍රාණය හෙවත් පිරිත තරම් උපාය මාර්ගයක් නැත.

සැදැහැයෙන් හා භක්තියෙන් ද තෙරුවන් ගුණ නුවණින් පිළිගෙන ඉගෙනීම් දැරීම, ඇසීම, බැලීම වශයෙන් පිරිත් ධර්මය ඇසුරු කළ පුද්ගලයා පරලොව සතර අපාය ආදි දුකෙන් ද, මෙලොව නානාවිධ රෝගයන්ගෙන් ද ආරක්‍ෂා වේ. එමෙන් ම යක්ෂ, ප්‍රේත උපද්‍රවයන්ගෙන් ද අත්මිදී සුවසේ වසයි.

සූත්‍ර පිටකයෙන් සතරබණවරත් වාචොත්ගතව පුහුණු කිරීම උපසම්පන්න භික්ෂුවකට නියමිතය. එය විනය නියමයක් ද වේ. ඉගෙනීමේ දී උද්දෙස (පෙළ කියවා ගැනීම) පරිපුච්ඡා (අර්ථ විමසීම) යන ක්‍රමයන් අනුව කළ යුතු බව බුද්ධ නියමයයි. එසේම ශ්‍රවණය, ධාරණය, වචනයෙන් පරිචය කිරීම, සිතින් බැලීම, නුවණින් මනාව අවබෝධ කර ගැනීම ආදී සම්පූර්ණ විය යුතු ක්‍රම ද, මෙහිදී සඳහන් කළ යුතුය.

පිරිත පිළිබඳව බුදුහු “උග්ගණහාථ භික්ඛවෙ පරියාපුනාථ ධාරෙථ” (උගනිව් පුහුණුකරව් සිත්හිලා දරව්) යනුවෙන් වදාළහ. වර්තමානයේ පිරිත ගැන කතා කිරීමේදී අපේ අවධානය එක් විශේෂිත වූ කරුණකට යොමුකිරීම වටී. අර්ථය ද පාලිය ද වරදවා සර්වප්‍රකාරයෙන් පුහුණු නොකොට කියන්නන්ගේ පිරිත තෙදවත් නොවන බව දැක්වේ.

”අත්ථමහි පාලිම්පි විසංවාදෙත්වා… න හොති සබ්බසො පගුණං කත්වා භණංතස්ස පරිත්තං තෙජවන්තං න හොන්ති”

එබැවින් පිරිත පාලි වශයෙන් ද අර්ථ වශයෙන් ද පුහුණු කළ යුතුය. පුහුණු කොට කිව යුතු වේ. ඒ තුළින් ආරක්‍ෂාව ද, ශාන්තිය හා කුසලය ද නොඅඩුව ළඟා කර ගත හැකි ය.

අමාමෑණි බුදුරජාණන් වහන්සේ විසින් අනුදත් දේශනා ක්‍රම තුනකි.

1. ඔසාරණය (කීම)

2. කථනය (අර්ථය ප්‍රකාශ කිරීම)

3. සරභඤ්ඤ (ස්වරයෙන් කීම)

සරභඤ්ඤයට ඇතුළත් කළ හැකි වෘත්තානුකූල බව සූත්‍රාන්ත වෘත්ත, ගාථා වෘත්ත ඇතිව පිරිත් කීම කළ යුතු ය. ඒ ඒ වෘත්ත බිඳිමින් අකුරු ෂනාශ කොට දේශනා කිරීමෙන් සෙතක් ලබාගැනීමට නොහැකි වේ. එසේ ම නොයෙක් ගිතතාලාදියෙන් පිරිත් කීම ශාසනික පිළිවෙත නොවේ. පිරිත සිංහලට පරිවර්තනය කොට අර්ථය පමණක් කීම ආදී තමන්ට අවශ්‍ය ලෙස වෙනස් කර ගැනීමෙන් පිරිතෙන් ලැබෙන සහනය නොලැබේ. එමෙන් ම ශාසනික සම්ප්‍රදායන් උල්ලංඝනය වන අතර බලවත් පාපයක් ද සිදුකර ගනියි.

පිරිත් මණ්ඩපය හා ශාලාව මනාව විසිතුරු ලෙස සරසා ගත යුතු බව අටුවා මතයයි. විසල් පුරයට වැඩම වූ බුදුරජාණන් වහන්සේ “නගර මධ්‍යයේ විසිතුරු මණ්ඩපයක් කරවා රතන සූත්‍රය දේශනා කළ බව අපි දනිමු. යාග මඩුවක් සේ පිරිත් ශාලාව සැරසී තිබූ බව තොරතුරු සෙවීමෙන් පැහැදිලි වේ. බුද්ධ කාලයේ දී එක් බමුණු දරුවෙකුට ජීවිත අන්තරාවක් විය. බුදුන් වෙත ගොස් විමසන ලදුව බුදුන් වහන්සේගේ නියමයෙන්,

”බමුණ තොප තොපගේ ගෙදරට ගොස් මණ්ඩපයක් කරවා, ඒ මැද පීඨිකාවක් කරවා එහි අටක්, හො සොළසක් අසුන් පනවා ඒ ආසනයේ මාගේ ශ්‍රාවකයන් වඩා හිඳුවා සත් දිනක් නොකඩවා පිරිත් කියන්නට හැකි නම් තොප දරුවාගේ අන්තරාව නොවනු ඇතැයි වදාළහ.” මේ අටුවා කථාවෙන් පෙනී යන පරිදි පිරිත සඳහා පිරිත් මණ්ඩපයක් කිරීම පැවත එන බවට පිළිගැනීමට සිදුවේ.

පිරිත් මණ්ඩපයේ දොරකඩ තැබීම කළ යුතු වන්නේ නැඟෙනහිරට හෝ උතුරු දිශාවටය. එහි හේතුව නම් බුදුහු පවා බුදුබව ලැබීමට විදසුන් අරා වැඩ සිටියේ පූර්ව දිශාභිමුඛවයි. යමක ශාලවනයේ උතුරට හිසලා පරිනිර්වාණමඤ්චකය පැණවීය. මෙසේ බුදුන්ගේ බුදුබව හා මහා පරිනිර්වාණය යන කරුණු දෙකට නැඟෙනහිර හා උතුර බුදුහු විසින් ම නියම කරගත් හෙයින් මණ්ඩපයේ ද්වාරය ද ඒ දිශාවට තබයි. ප්‍රථම සංගීතියේ දී අජාසත් මහරජදරුවන් විසින් කරවන්නට යෙදුනු සංගීති මණ්ඩපය පරිද්දෙන් පිරිත් මණ්ඩපයක ඇතුළත සකස් විය යුතුය.

රජගහ හෙවත් ඉන්ද්‍රකීලය රියන් අටක් හෝ දහයක් පොළොව යට හාරා සිටුවන ලද අරටු ලී කණුව ඉන්ද්‍රකීලය නම් වේ. නුවර දොර සවිකරන ලද මෙය ඉතාමත් ශක්තිමත් ය. සතර දිගින් හමනා සුළඟින් සෙලවිය නොහැකිය. පිරිත් මණ්ඩපයේ ස්ථිරත්වය, බිදිය නොහැකි තෙදවත් බව, රාජකීයත්වය යන කරුණු ඉන් සංකේතවත් කරයි. යුග පුටු සම්බන්ධ කරන්නේ රජගහටයි. ඒ සඳහා සූරිය පුවක් ආදී ගසක් ගැනීම වර්තමානයේ සිදුවේ. ශබ්දාකර්ෂණය කර ගැනීමට හැකි වීම රෝග විෂබීජහරණය සත්දිනක් නොමැළවී තබාගැනීමට හැකිවීම ආදී කරුණු සලකා ඒවා යොදාගන්නා බව පෙනේ. ඒ ලීය වටා සුදු රෙදිකඩක් ඔතා අලංකාරවත් ව සාදාගන්නේ ”පිරිත්තුව“ බැඳීමට සුදුසු කර ගැනීමටය.

පිරිත් මණ්ඩපයේ වහළය නාගලතා නාගපල්ලව නාගවල්ලී යන නාග නාමයෙන් ව්‍යවහාර වන බුලත් කැණති නා දළු පුවක් මල් කිනිති යොදා ගැනේ. පුරාතනයේ පටන් උපහාර පුෂ්පයක් වශයෙන් පුවක් මල් යොදා තිබේ. නොයෙක් මංගල සම්මත කටයුතු සඳහා බුලත් යොදා ගැනීම කර ඇති අතර පූජා සම්මත ක්‍රියාවල්වලදී උඩුවියන් බැඳ මල් එල්ලා ගැනීම සිදුකරන්නක් බව පෙනේ.

දිනයක් හෝ දින 7 ක් පර නොවී තබාගැනීමට හැකිවීම වැනි කරුණු නිසා පුවක් මල අනික් මල්වලට වඩා ඉදිරියෙන් සිටී. රුවට වගුරැලි පෙළට මළලොඹු “දොරටුවල සැදි පුන්කලස්” යන පුරාතන පද්‍ය කණ්ඩයෙන් හෙළිවන පරිදි මණ්ඩපයේ සතර කොණ පුන්කලස් ද උඩ යට හාත්පස චාරිත්‍රානුකූල බුලත් කැනති නා දළු ලද පස්මල් යනාදි පූජා ද්‍රව්‍ය යොදා තුරුණුවන් කෙරෙහි පුද සත්කාර කරලීම මෙහි ප්‍රධාන අදහසයි.

පිරිත් නූල් හා පිරිත් පැන් පිළිබඳ ඉතිහාසය බුද්ධ කාලය දක්වා දිවයයි. විශාල මහනුවර පැවති තුන්බිය දුරුකිරීම සඳහා අනඳ තෙරුන් වහන්සේ බුදුන්ගේ පාත්‍රයෙන් පිරිත් පැන් ඉසිමින් නුවර සැරිසැරූ බව කියවේ. බුද්ධ කාලයේ පටන් පිරිත් පැන්, පිරිත් නූල් භාවිතයට ගැනුන බව ප්‍රකට කරුණකි. පිරිත් හුය යනු ප්‍රධාන පිරිත් නූලයි. එය තුණුරුවන්ට සම්බන්ධ කොට වදාරන වචන පිරිත් පැන් හා පිරිත් නූල්වලට ආකර්ෂණය වන පරිදි සම්බන්ධ කිරීම මෙහිදී සිදුවේ. නූල් තුනක් ගැනීම පිරිතට අදාළ නොවන අතර විශේෂිත වූ ක්‍රමයකට තුන් නූල් කොට සකස් කිරීම පුරාතන පිළිවෙතයි.

පිරිත වනාහි සිව්වනක් පිරිස විසින්ම ආත්මාරක්‍ෂාව අන්‍ය සුභසිද්ධිය සඳහා පුහුණු කළ යුතු බව බුද්ධ නියමයයි. එය එසේ වුවත් ඉහත තොරතුරු විමසීමෙන් පෙනී යන්නේ මෙහි ප්‍රධාන දේශකයෝ භික්ෂූන් වහන්සේ බවයි. පිරිවාණා පොත් වහන්සේ ප්‍රධාන වශයෙන් සංග්‍රහ කර තිබෙන්නේ භික්ෂු ප්‍රතිපත්තිය උඩය. එබැවින් පිරිත් කීමට සුදුසුම පිරිස භික්ෂූන් වහන්සේමය. උන්වහන්සේලා මෛත්‍රී කරුණා පෙරදැරි කර ගෙන පිරිත් දෙසිය යුතු බව අටුවා මතයයි.

පුරාණයේ දී පිරිත වල් වැදී ගිය අයුරුත්, ඒ සඳහා පිරිත් කතිකාවතක් රජතුමා විසින් කරවූ බවත් සඳහන් වේ. ව්‍යවස්ථා දහයකින් සමන්විත එකී කතිකාවතෙහි සාරාංශය නම් සාසනානුලෝමීව පිළිවෙත් පුරමින් පිරිත් යාගය සිදුකළ යුතු බවයි. වර්තමානයෙහි ද අසන දකින තොරතුරු අනුව පිරිත් කතිකාවතක අවශ්‍යතාවය බෙහෙවින් දැනේ.

(වික්‍රමශිලා මහ පිරිවෙනේ ආචාර්ය නියෝජ්‍ය පරිවෙණාධිපති බටුගම්පල චන්දසිරි හිමි)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: