Posted by: lrrp | February 17, 2012

පරිත්‍රාණ ධර්‍ම දේශනාවේ ආරම්භය හා විකාශය

වර්තමාන ලෝකයේ බොදු ජනතාව අතර අතිශයින්ම ජනපි‍්‍රයත්වයට මෙන්ම කායික, මානසික සුවය ලබාදෙන අනර්ඝ දිව්‍ය ඔසුවක් වශයෙන් පරිත්‍රාණ ධර්‍මදේශනය හැඳින්වීමට පුළුවන. බුදුරජානන්වහන්සේ ලෝක සත්වයා කෙරෙහි අනන්ත වූ මහා කරුණාවෙන් දේශිත පිරිත් සජ්ඣායනාවේ ආරම්භය විමසා බැලීමේදී විශේෂ අවස්ථා දෙකක් පමණක් සඳහන් කළහැකිය.

එයින් එක් අවස්ථාවක් ලෙස විශාල මහනුවරට එළඹුනු තුන්බිය දුරුකරනු පිණිස ලිච්ඡවී රජ දරුවෝ පන්සියයක් භික්‍ෂුන් වහන්සේලා සමඟ බුදුරදුන් මහා පෙරහැරින් තම නුවරට වැඩමවා ගන්නට වූහ. විශාලා මහනුවරට තුන් ගව්වකින් මෙහා ගංගා තීරයේ පළමු පියවර තබත්ම මහා මේඝයක් නැගී පොකුරු වැසි වැස්සේය. මහා ජල ප්‍රවාහනයෙන් කුණුවී ගිය මළ සිරුරු පාවී ගියේ ය.

එයින් භූමිය පවිත්‍ර වූයේය. ගංඟා තීරයේ සිට විශාලාව දක්වා වැඩමකල බුදුරජානන් වහන්සේ ආනන්ද! මෙම රතන සූත්‍රය ඉගෙන පිරිත් පැන් හා පූජෝපකරනයන් ගෙන්වා ගෙන ලිච්ඡවී කුමරුවන් සමඟ විශාලා මහනුවර වටා වැඩමවා රතන සූත්‍රයෙන් පිරිත් කරවයි.” වදාලහ. ආනන්ද හිමි රතන සූත්‍රයෙන් පිරිත් සජ්ක්‍ධායනා කරමින් බුදුරජානන් වහන්සේගේ පාත්‍රයෙන් පැන් ගෙන සියළු නුවර ඉසිමින් හැසුරුනාහ. පිරිත පටන්ගත් මොහොතේම අමුනුෂ්‍යයෝ සිව් දොරටුවෙන් පැනගියෝය.

පසුව මහජනයා නුවර මැද වූ සත්‍ථාගාර ශාලාවේ සියළු සුවඳින් ආලේප කොට, උඩුවියන් බැඳ සියළු අලංකාරයෙන් සරසා බුදුරජාණන් වහන්සේට ආසනයක් පැනවීමෙන් පසු බුදුන් වහන්සේ එහි වැඩම වූහ. එහිදී උන්වහන්සේ මෙම රතන සූත්‍රය දේශනා කළ සේක. මෙම සූත්‍ර දේශනාව පිරිත් සජ්ඣායනාවේ මූලාරම්භය ලෙස සැලකිය හැකිය.

මෙහි දෙවන අවස්ථාව වශයෙන් සැලකෙන්නේ ධම්මපදට්ටය කථාවේ සඳහන් දීඝායු නැමැති බ්‍රාහ්මණ කුමාරයකුට දීර්ඝායුෂ ලබා ගැනීමට සත් දිනක් මුළුල්ලේ පිරිත් සජ්ඣායනා කළ බවයි. බුද්ධකාලයේ පරිත්‍රාන ධර්‍ම දේශනා ගැන සඳහන් වන්නේ මෙවන් අවස්ථාවන් දෙකක් බව පමණක් සඳහන් කළ හැකිය.

පිරිත් පොත් වහන්සේගේ ඇතුළත් අනිකුත් සූත්‍ර පිළිබඳ විමසා බැලීමේදී සර්‍පයකු දෂ්ඨ කොට මියගිය හිමි නමක් නිමිති කොට බන්‍ධ පරිත්තයද බොජ්ඣඬග සූත්‍ර තුන හා ඉසිගිලි සූත්‍රය, මහා කස්සප, මහා මොග්ගලාන යන හිමිවරුන්ගේ ආබාධය නිමිති කොටත් බුදුරජානන් වහන්සේ රෝගාතුර වූ අවස්ථාවේ චූන්දෙත්‍ථර බොජක්‍ධඬගයත්, ගිරිමානන්ද හිමියන් රෝගාතුර වූ අවස්ථාවේ ගිරිමානන්ද සූත්‍රයත් දේශිතය. පිරිත් පොත් වහන්සේගේ බණවර හතරට මෙකල සූත්‍ර ඇතුළත් වී තිබුණත් ඒවා එකල දේශනා කර ඇත්තේ පරිත්‍රාණ ධර්‍මදේශනා ක්‍රමයට නොවන බව සඳහන් කළ හැකිය.

ක්‍රි. පූ. තෙවන සියවසෙහි බුදු සමය ලක්දිවට හඳුන්වාදීමත් සමඟම අනුරාධපුරයේ මහා විහාරවාසී මහා සංඝයා විසින් චතුභාණවර පාලි පිරිත් පොත් වහන්සේ සකස් කරන ලදැයි සිතිය හැකිය. නමුත් පරිත්‍රාණ හෙවත් පිරිත යන්න සඳහන් වන්නේ සියවස් ගණනකට පසුවය. දුටුගැමුණු රාජ්‍ය සමයේ පිරිත වෙනුවට ගණ සජ්ක්‍ධායනා නමින් සඳහනක් දැක්වේ. දුටුගැමුණු රජතුමා උක් සකුරු ගිතෙල් ආදිය මහා සඟනට පිලිගන්නවා තුන්යම් රාත්‍රිය මුළුල්ලේ ඝණ සජ්ඣායනා කළ බව මහා වංශයේ සඳහන් වේ.

භාතිය රාජ්‍ය සමයේ රුවන්වැලි සෑය අභියස රහතන් වහන්සේ ගණ සජ්ඣායනා කරනු රජතුමාට ඇසුනු බව මහාවංශයේ සඳහන් වී තිබේ. මේ අනුව නිගමනය කළ හැක්කේ පිරිත් වෙනුවට ගණ සජ්ඣායනා ක්‍රමයක් එකල තිබූ බවත්ය. එහෙත් මොන මොන සූත්‍ර සජ්ඣායනා කළේදැයි තීරණය කළ නොහැක.

බුද්ධදාස රජතුමාගේ පුත් උපතිස්ස රජතුමාගේ කාලයේ දුර්භික්ෂයක් හා රෝග බියක් ඇති වූ අවස්ථාවේ රතන සූත්‍රය දේශනා කර ඇත. එය හඳුන්වා දී ඇත්තේ ගංගාරෝහණ සූත්‍රය නමිනි. මෙයට කලකට පසු සිව්වන අග්බෝ රජු පිරිත් දේශනා කරවූයේය. දෙවනසේන රජතුමාද උපතිස්ස රජු අනුගමනයෙන් දුර්භික්‍ෂ අවස්ථාවල පිරිත් කියවන ලදැයි සඳහන්වේ. එකල බුදුරුව වෙනුවට අනඳ හිමියන්ගේ රූපය තනවා රියක නංවා වීථි සංචාරය කරමින් පිරිත් දේශනාව පවත්වා ඇත. මෙහිදී මහාවංශය පරිතෙතාදය යන වචනය භාවිතා කර ඇත.

තවද පිරිත් දෙසුම මහා විහාරය, අභයගිරිය යන දෙපක්‍ෂය විසින් අනුගමනය කරන ලද්දකි. මහායානිකයෝද රතන සූත්‍රයට වැඩි භක්තිකයක් දැක්වූහ. පස්වන කසුප් සමයේ රටේ සාගතයක් ඇතිවූ නිසා පිරිත් දෙසුමක් සිදු කරන ලදී. තවද සතරවන මිහිඳුගේ මිහින්තලා සෙල් ලිපියේ සඳහන්ව ඇත්තේ උදෑසන භික්‍ෂූන් වහන්සේ කැඳ බත් පිලිගැනීමට අතුව මෙත්කල යුතු විය යනුවෙනි.

පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ සෞභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයකි. වජ්‍රයානිකයන්සේ බ්‍රාහ්මණයින්ගේ බලයද වැඩෙමින් තිබිණ. එයට යට නොවී සිටීමට ථෙරවාදී භික්‍ෂූන්ට නොපුළුවන් විය. ඤාණ මාර්ගය අභිබවා භක්ති මාර්ගය වැඩිදියුණු වීමත් මෙකල සිදු විය. එනිසා හින්දු බලපෑම් අනුව සතර බණ වරට සෙත් පිරිත් ආදී විශේෂාංග එකතුවූයේද එකල යයි සිතිය හැකිය.

පොළොන්නරු ගල් විහාර කතිකාවතේද පැවරූ තැනකට යන ගමනක් මුත් සෙසු නිකම් ගමන් බිමන් කිරීමට ඉඩ නොදිය යුතුයි. සඳහන්ව තිබේ. මේ අනුව මහජනයා නිතර පිරිත් කියවා ගන්නට ඇතැයි සිතිය හැකිය. දඹදෙණි කතිකාවතේද පැවරූ තැනකට යාම ගැන සඳහන් කොට තිබේ. එහි වත පිරිත ගැනද සඳහන්වේ. මේ අනුව සර්වරාත්‍රී පරිත්‍රාණ දේශනා ඇරඹුනේ දඹදෙණි සමයේදී යයි විශ්වාස කළ හැකිය. කුරුණෑගල යුගයට අයත් දළදා සිරිතේද පිරිත් කීම ගැන සඳහන්කොට තිබේ.

රජවරුන්ගේ මාලිගා ප්‍රවේශ උත්සවවලදී මහා සංඝයාවහන්සේ ලවා පිරිත් කියවා පිරිත් පැන් ඉස්සවා ආරක්‍ෂාව සලසා ගත යුතුව බවද සඳහන්වේ. පිරිත් පොතේ ඇතුලත් ගිනි පිරිත, ජල පිරිත, අටවිසි පිරිත, ජිනපඤජරය ආදිය පිරිත් පොතට ඇතුළත් වූයේ මෙකල යයිද ඇතමෙක් මහනුවර යුගයේ යයිද ප්‍රකාශ කරති. දළදා පෙරහර කරන අවස්ථාවේදී ඇතෙකු බැඳි පිරිත්හුය මහා සංඝයා වහන්සේ වටා හිදුවා එහි බැඳී පිරිත් හුය මහා සංඝයා වහන්සේ අල්වාගෙන පිරිත් දේශනා කරමින් යා යුතු බවත් දැක්වේ.

කෝට්ටේ හයවන පැරකුම්බා රාජ්‍ය සමයේ පැපිලියනේ පිරිත් උත්සවයක් ගැන සඳහන් වී ඇත. එම යුගයේ ලියවුනු සංදේශවලද පිරිත් කියා දෙවියන්ට පිං දීමට සංදේශ භාරකාරයාට උපදෙස් දී ඇත්තේ මෙලෙසිනි.

මහත් තෙදැති පුල්වන්
සුරිඳු මුල් කොට
දිමුත් සමන් බොක්සල්
සුරිඳුනෙත් කොට
සවත් සුරිඳු විභීසණ
අද සුරන් හට
පිරිත් කියා පින්දී
සිත සතුටු කොට

කෝට්ටේ යුගයෙන් පසු මහනුවර යුගයේදී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුට වැලඳුනු රෝගයකට ප්‍රතිකර්ම වශයෙන් රත්නත්‍රයේ හා දෙවියන්ගේ ආරක්‍ෂාව ලබා ගැනීම සඳහා මහනුවර පෝයමළු විහාරයේදී පිරිත් පිංකමක් ඇරඹීමේ සිරිත මහනුවර යුගයේ සිට පැවත එන්නකැයිද විශ්වාස කෙරේ. පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවසද ලක්දිව උපසම්පදාව පිහිට වූ උපාලි හිමියන් ප්‍රමුඛ සියම් දේශීය භික්ෂූන් වහන්සේලා එකල රටේ පැවතුනාහු පිරිත් දේශනා ක්‍රමය මෙහි ඇති කලේ යයිද දැක්වේ.

වැලිවිට අසරණ සරණ සංඝරාජ මාහිමියන්ගේ අවදියේ පිරිත් දේශනා ක්‍රමයට තව තවත් අංග ඇතුළත් වන්නට වූහ. එනිසාම මහනුවර යුගයේ දේශනා කරන ලද පිරිත්ද හින්දු ජනයාගේ ශාන්ති කර්මවලට බෙහෙවින් සමාන විය. බලි තොවිල් ආදියට ගන්නා බුලත් හා නා දලු, කුස තණ, විලද ආදී ද්‍රව්‍යයන්ද පිරිතට යොදාගන්නා ලදී. තවද දෙවියන්ට ආරාධනා කිරීමද ශබ්ද පූජා පැවැත්වීමද සිදු කෙරුණු අතර දේශනා කරන ලද පිරිත් අතර සමහර මහායාන පිරිත්ද ඇතුළත්ව තිබුණු බව පැහැදිලි වෙයි.

මේ අනුව රතන සූත්‍ර පිරිතෙන් ආරම්භ වුනු පිරිත් සජ්ඣායනාව විවිධ ආරක්‍ෂිත සූත්‍ර ධර්‍ම ඇතුළත් වෙමින් අක්ෂර තිස් දෙදෙහසකින් යුක්ත සතර බණවරකින් සමන්විත විය. එයට අමතරව ගිණි පිරිත, ජය පිරිත, අටවිසි පිරිත, ජිනපඤජරය ආදී සෙත් ශාන්ති දේශනාද ඇතුළත් වෙමින් දෙදහස් පන්සිය වසක් මුළුල්ලේ විකාශය වෙමින් වර්තමානයේ කෝටි සංඛ්‍යාත බෞද්ධ ජනතාවගේ කායික මානසික සුවය ලබාදෙන අනර්ඝ සජ්ඣායනාවක් ලෙස පරිත්‍රාණ ධර්‍මදේශනාව හැඳින්වීමට පුළුවන.

(බණ්ඩාරගම, වික්‍රමශිලාවෙහි ආචාර්ය දහම් සරසවියේ කථිකාචාය්‍ය¡ විමල කුමාරසිංහ)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: