Posted by: lrrp | February 17, 2012

භාවනා ක්‍රම හා එහි ඇති ප්‍රයෝජන

01. භාවනා කරන්නේ ඇයි ?

භාවනාව වූ කලී එදිනෙදා ජීවිතයේ දී ඇතිවන ආයාසයන් සමනය කළ හැකි මානසික ව්‍යායාමයකි. නිවසේ හෝ රැකියා ස්ථානයේ අප ගත කරන ජීවිතය හිත්තැවුල් – භේදවීම – දෙගිඩියාවෙන් බලාපොරොත්තු සුන්වීම් හා අසහනයන් ආදියෙන් ගහන වූ එක් විය හැකිය. නාගරික හෝ කාර්මික පරිසරයක ජීවත් වන අය හට ආතතිය (මානසික පීඩන) තදින් බලපාන දෙයකි. කළබල රහිත වේලාවන්හිදී පවා අපගේ මනස තුළ දොම්නස් භාවය, තනිකම හෝ බිය ආදිය ඇති විය හැකිය.

බලාපොරොත්තු රහිත ප්‍රශ්න පැන නගින අවස්ථාවන්හි දී අපගේ ජීවිතය මහත් ගැටලුවක් සේ දිස් වීමට ඉඩ ඇත. තමන් භාවනාව පුරුදු පුහුණු කිරීමෙන් මෙම හිරිහැරදායක අවස්ථාවලින් සිත වෙහෙසට පත් නොවී තබාගත හැකිවෙනවා පමණක් නොව ජීවිතයේ දුක සැප හෝ කුමන ආකාරයේ තත්ත්වයකට වුවද ඉවසීමෙන් සහ සතුටින් මුහුණදීමට හැකිවනවා ඇත.

ඔබේ වයස හෝ වෘත්තීය කුමක් වුවත් භාවනාව මගින් ඔබේ ජීවිතයට යහපතක් උදාකර ගත හැකිය. දවසේ බොහෝ වේලාවක් වෙහෙස මහන්සි වී රාජකාරියෙහි නියුතු වුවත් දිනකට සුළු වේලාවක් වුවත් භාවනාවේ යෙදෙන්නේ නම් ඔවුන්ගේ මනස සැහැල්ලු වෙයි. ඒකාකාරී ක්‍රියාවන්හි නිරතවීමෙන් නීරස සහ අසහනකාරී භාවයට පත්වන මනස එම තත්ත්වයෙන් මුදවා ගැනීමට භාවනාව මහෝපකාරී වේ. වයෝවෘධ හා රෝග පීඩාදියෙන් පෙළෙන අයට, ඒ නිසා ඇතිවෙන නොයෙක් අපහුතාවයන් සහ බිය, භාවනාව නිසා දුරුවේ.

සිසුනට ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමෙන් තම අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමටත්, භාවනාව උපකාරී වේ. ගෘහ ජීවිතය, වෘත්තීය කටයුතු සහ සමාජයීය සබඳතා ඉතා සතුටුදායක තත්ත්වයකට පත්කර ගත හැකිය. භාවනාවේ යෙදීමෙන් මනසේ ස්වභාවය ශක්තිමත් වන බැවින් ශාරීරික හා මානසික දුර්වලතාවයන් නැතිකර ගත හැකිය. සැහැල්ලු මනසක් ඇති තැනැත්තාට ඉතා සුවදායක නින්දක්ද ලැබේ.

සමස්ථයක් වශයෙන් ගත් කළ භාවනාව තුළින් ඉතා ඵලදායී මෙන්ම තෘප්තිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගොඩනගා ගත හැකිය. එපමණක් නොව භාවනා කරන තැනැත්තාට තම නුවණ දියුණුවීම හේතුවෙන් ලැබෙන පී‍්‍රතියට සමාන තරම් පී‍්‍රතියක් කිසිදු අන් ක්‍රමයකින් අත්කර ගත නොහැකිය.

 

02. භාවනාව යනු කුමක්ද ?

මෙලොව ජීවත් වන සෑම කෙනෙකුටම පින උපකාර වන බවත්, පින් ඇත්නම් ජීවිතයේ සැප ළඟා කර ගත හැකි බවත් අප තථාගතයානන් වහන්සේගේ ඉගැන්වීමයි. පින් වැඩෙන පහසු ක්‍රමයකි භාවනා කිරීම. ඉතා දුෂ්කර දෙයක් සේ සලකා සමහරු එය නොකරති. සමාජය අතහැර දමා ජීවිතය ගැන කළකිරීමක් හෝ සිත් තැවුලක් ඇති වූ විටක, බාහිර උපද්‍රවයන් ගෙන් මිදී, ගසක් යටට වී කරන මහා අමාරු වැඩපිළිවෙළක් ය යන හැඟීම නිසා බොහෝ දෙනා මෙයට බිය වෙති.

ජීවිතයෙන් පලායෑමකැයි සිතති. නමුත් එය එවැනි දෙයක් නොවේ. ජීවිතය සමඟ සම්බන්ධ කර ගත හැකි, කරගත යුතු දෙයකි. භාවනා කිරීමෙන් ජීවිතය මනා ලෙස හැඩ ගැසේ. බුදුපියාණන් වහන්සේගේ භාවනා ක්‍රම මගින් සහනදායී සැපවත් ජීවිතයක් උදාකරගත හැකිය.

මෙලොවට ජනිත වන ඕනෑම සත්වයෙකුට ජීවත් විය හැකිය. එම ජෛව ශක්තිය සෑම සත්වයෙකුටම උපතින්ම උරුම වන දෙයකි. ජීව ශක්තිය අතින් බලන විට මනුෂ්‍යායාත් අනිත් සත්වයාත් අතර කිසිදු වෙනසක් නැත. මනුෂ්‍යයා හා සත්වයා අතර ඇති එකම වෙනස නම් පරිණත වූ සිතක් මනුෂ්‍යයාට උරුමව තිබීමයි. මනුෂ්‍යයාට මේ සිතම තවදුරටත් දියුණු කර ගැනීමේ හැකියාව තිබේ. මෙලොව බුදු කෙනෙක් පහළ වන්නේ අපේ මනස දියුණු කර දෙන්නයි. මනස දියුණු කර ගන්නා ආකාරයට “භාවනාව කියලා කියනවා.”

 

03. සිතෙහි ස්වභාවය හා භාවනා ක්‍රම

අපි රාත්‍රී කාලයක ජනෙල් දොරවල් ඇර ඇති කාමරයක ඉටිපන්දමක එළියෙන් පොතක් කියවීමක් වැනි යම්කිසි කාර්යයක යෙදී සිටිනවා යැයි සිතමු. සුළඟට මේ ඉටිපන්දමේ දැල්ල සෙලවෙනවා. අපේ වැඩේ කිරීමට මෙය බාධාවකි. දැල්ලේ සෙලවීම නතර කළහොත් අපට හොඳ ආලෝකයක් ලැබෙනවා. එමෙන්ම අපේ සිත් නිතරම සැලෙමින් පවතිනවා. සිත එක්තැන් කරගත හොත්, හැඩ ගස්වා ගතහොත් ඉන් ජීවිතය ආලෝකමත් කර ගන්න පුළුවන්.

අපි බලමු මේ සිත සැලෙන්නේ ඇයි කියා. මනුෂ්‍යයාගේ ඇස, කන, නාසය, දිව හා ශරීරය යන පංච ඉන්ද්‍රීයන් (නම් වූ දොරටු) විවෘතව තිබෙන නිසාය. මේ සැලීම සිදුවන්නේ. මේ දොරටු පහ හැකි තරම් වසා ගැනීමට, සංවර කර ගැනීමට පුරුදු වුවහොත් සිතෙහි සැලීම අඩුවෙනවා. බුදුන් වහන්සේ මේ සිත එක්තැන් කර ගන්නා ආකාරය, ඉන්ද්‍රියන් සංවර කර ගන්නා ආකාරය, නොයෙක් ආකාරයෙන් දේශනා කර තිබෙනවා. මෙය සරළ අභ්‍යාසයේ පටන් ඉගැන්වෙන ගැඹුරු විද්‍යාවක්. මෙය හොඳින් ඉගෙන ගතහොත් ජීවිතයේ කොයි අවධියක වුවත් උපරිම ප්‍රයෝජන ගත හැකියි.

සිත සකස් කර දියුණු කර ගැනීමට ඉවහල් වන ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රම දෙකකි. එනම් – 1. සමථ භාවනා, 2. විපස්සනා (විදර්ශනා) භාවනා වශයෙනි. සමථ භාවනා මගින් කෙරෙනුයේ සිත එකතැන් කර ගැනීමක් නැතහොත් සිත තැනපත් කර ගැනීමක්. විදර්ශනා භාවනාව මගින් අපේ දුර්වලකම් ක්‍රම ක්‍රමයෙන් ඉවත් කර ප්‍රඥාව දියුණු කර ගැනීමෙන් දුක් නැතිකර ගැනීම සිදු කෙරේ.

04. සමථ භාවනාවේ මූලධර්ම කුමක්ද ?

සමථ භාවනාව මගින් සිත එකඟ කරගන්නේ කෙසේද ? අප විසින් කරන නිරන්තර ක්‍රියාව හුස්ම ගැනීමයි. ආශ්වාස ප්‍රශ්වාස කිරීම නිරායාසයෙන්ම සිදුවෙතත්, හැම විටම අපට එය දැනෙන්නේ නැත. එහෙත් ඒ සඳහා සිත යෙදුවහොත්, එම ක්‍රියව දැනේ. නිදාගෙන සිටි විට පංච ඉන්ද්‍රියත්, ඉන්ද්‍රියයන් නිශ්චලයි. ඊට හේතුව සිත ඉන්ද්‍රියයන්ට සම්බන්ධ නොවීමයි. සිතත්, ඉන්ද්‍රියත්, ඉන්ද්‍රියට ගෝචර අරමුණත් යන කාරණා තුන එක්කාසු වීමෙන්ය අපට දැනීමක් ම ඇතිවන්නේ . ඇස, කන ආදී සෑම ඉන්ද්‍රියයක් ම ක්‍රියා කරනුයේ මේ ක්‍රමයටයි.

රූපය, ඇස, සිත යන තුනෙහි එකතුවීමෙන් ම දැකීම නම් ක්‍රියාව ඇති වේ. ශබ්දය, කන, සිත යන තෙවදෑරුම් සම්බන්ධයෙන් ඇසීම සිදුවේ. හුස්ම හෝ ඇස මගින් ලැබෙන දැනීමක් ඔස්සේ සිත නැවත නැවත පවත්වා ගැනීමෙන් සිත එකඟ කරගත හැකිය. සමථ භාවනා ක්‍රම මේ ක්‍රමයෙන් බොහෝ දැකිය හැකිය. ආනාපානා සති භාවනාව ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව සිහිය පැවැත්වීම බොහෝ දෙනෙකුට අසන්නට ලැබීම නිසාත්, පහසුවෙන් කළ හැකි නිසාත්, එය ජනපි‍්‍රයත්වයට පත් වී ඇත.

එහිදී කරනුයේ වාතයත්, නාසයත්, සිතත් අතර සම්බන්ධයෙන් ඇතිවන දැනීමම නොකඩවා පවත්වා ගනිමින් සිටීමයි. හුස්ම ගැනීම පිට කිරීම සිදුවන විට එය නාසයේ අගටත් උදරයටත් පහසුවෙන් දැනේ. එබැවින් නාසයේ අග හෝ උදරයේ චලනය (උස් පහත්වීම) අරමුණු කරගත හැකියි. වැදගත්කම තිබෙන්නේ ස්ථානයේ නොව සිත එක් අරමුණක පවත්වා ගැනීමට පුරුදු කර ගැනීම මතය. මෙය හොඳින් ඉගෙන ගතයුතු විද්‍යාවක් යැයි කීවේ එහෙයිනි.

සිත, ඇස සම්බන්ධ කරගෙන යම්කිසි පාටක් දෙස බලාගෙන හෝ මැටි දෙස හෝ ජලය දෙස හෝ ගින්නක් දෙස හෝ සුළගෙන් වැනෙන ගසක දල්ලක් හෝ බලාගෙන එම අරමුණම සිත තබා ගැනීමෙන් සිත එකඟ කරගත හැකියි. මේවා කසිණ භාවනා නමින් හඳුන්වනවා. මළ සිරුරක් හෝ ඇට සැකිල්ලක් දෙස බලා සිත එක්තැන් කළ හැකියි. මෙය අසුභ භාවනා නමින් හඳුන්වනවා. ආශා බහුලනයට මේ අසුභ භාවනාවෙන් සිත සංවර කරගත හැකියි. අසහනය හා දොම්නස් ඇත්තත්ට තමා හා සියලු සත්ත්වයන් සුවපත් වේවා යි සිතීම හොඳයි.

මෙම මෛතී‍්‍ර භාවනාවත් ජනපි‍්‍රය වී තිබෙනවා. මෙයින් අපට සමථ භාවනා ක්‍රම සම්බන්ධව පැහැදිලි මූලධර්මයක් සොයාගත හැකිය. එනම් අවශ්‍ය කරනුයේ එක් අරමුණක් මත නැවත නැවත සිත පිහිටුවා ගැනීමයි. එය ශරීරයේ ස්ථානයක් හෝ බාහිර ස්වාභාවික දැයක් හෝ යහපත් සිතුවිල්ලක් හෝ වූවාට කම් නැති බව පෙනේ.

ස්වභාව ධර්මයෙන් මෙසේ භාවනා අරමුණු කමටහන්ව රාශියක් සොයාගත හැකි බව පරීක්ෂා කරන්නෙකුට අමුතුවෙන් කිවයුතු නොවේ. හින්දු යෝගීන් ද නොයෙකුත් සමථ භාවනා ක්‍රම නිපදවා තිබේ. බෞද්ධ සමථ භාවනා ක්‍රම 40 කි. හුස්ම ගැනීමේ දී උදරයේ ඇතිවන චලනය දෙස සිතින් බලා හිඳීමෙන් සිත එකතු කර ගැනීමට නොහැකි යයි සමහරෙක් සිතනුයේ මෙම භාවනා ක්‍රමවල මූලධර්ම නොදැනීම නිසයි.

සැරියුත් හාමුදුරුවන්ගේ ගෝල හිමි නමකට බුදුන් වහන්සේ මලක් දෙස බලා හිඳීමට සැලැස්වූයේත්, චූල පන්තක හිමියන්ට රෙදි කඩක් පිරිමදිමින් බලා හිඳීමට සැලැස්වූයේත් පළමු කොට මේමගින් සිතේ එකඟවීමක් ඇතිවන බව බුදුන් වහන්සේ දත් බැවිනි. සමථ භාවනා ගැන විස්තර දැන ගැනීමට කැමැත්තන් විසින් “විසුද්ධිමාර්ගයම” නම් පොත් කියවීම හොඳයි.

05. විදර්ශනා භාවනාව හා එහි ප්‍රයෝජන

බුදුන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයෙහි හරය වන්නේ දුකින් නිදහස්වීමෙ නුවණ උපදවා ගැනීමයි. සෑම වස්තුවකම පැවැත්මක් මෙන්ම නැතිවීමක් තිබෙනවා. අප ආශා කරන දෙයක් නැතිවන විට අපට දුකක් හට ගන්නවා. සෑම දෙයම අපේ කැමැත්තේ අනුව නොව ස්වභාවධර්ම නීති මත ක්‍රියාකරන බව නුවණින් බලන විට පේනවා. මේ විදියට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් අපට ඉදිරිපත් වන අරමුණු නුවණින් යුක්තව බැලීම විදර්ශනා භාවනාව වශයෙන් හඳුන්වනවා. සමථ භාවනාවේ මෙන්ම මෙහි සිත එකම අරමුණක පවත්වා ගැනීමක් අවශ්‍ය කරන්නේ නැත.

මෙහිදී කරනුයේ ඊට හාත්පතිස්ම වෙනත් කාර්යයකි. එක් පදනමක් වශයෙන් සිතේ තැන්පත් වීම අවශ්‍ය කරනවා. මෙයට ප්‍රඥා භාවනාව කියලා කියනවා. මෙම භාවනා ක්‍රම පුදුමාකාර බව ඔබට පෙනේවි. මෙය භාවනාවක්දැයි සිතන තරමට එය අමුතුම ආකාරයක් ගනී. භාවනා යන වචනය ඇසෙන විටම සිත එක් අරමුණක තබා ගැනීම යනුවෙන් සිටීමයි. බොහෝ දෙනාට පුරුදුව තිබෙන්නේ. ඊට හේතුව නම් අපට වැඩි වශයෙන් අසන්නට ලැබී ඇත්තෙත් එම සමථ භාවනා ක්‍රම දැක්වෙන ඉගැන්වීම් වලටය.

සතර ඉරියව්ව පිළිබඳ නුවණින් දැන ගනිමින් සිටීම මෙහි එක් භාවනාවකි. එය ඉරියාපථ භාවනාව යනුවෙන් හඳුන්වනවා. අප හිඳගෙන සිටින විට හිඳගෙන සිටිනවා යැයි නුවණින් දැනගන්නා, සිටගෙන සිටින විට සිටගෙන සිටිනවා යනුවෙන්ද, සක්මන් කරන විට සක්මන් කරනවා යනුවෙන් ද , නිදාගෙන සිටින විට නිදාගෙන සිටිනවා යනුවෙන්ද දැන ගැනීම මෙම භාවනා ක්‍රමයයි.

මෙය සරළ ක්‍රමයක් ලෙස පෙනුනද එහිම සිත පවත්වමින් නිතර සිටීමෙන් පුදුම විදියේ දියුණුවක් ඇතිවෙනවා. නොදන්නා අයට මෙය වැඩකට ඇති දෙයක් දැයි සිතෙන්නට පුළුවන. තවත් ක්‍රමයක් මෙසේයි. දෛනික ක්‍රියාවන් අවබෝධයෙන් හා නුවණින් යුක්තව කිරීම, මූණ සේදීම, කෑම, බීම, නෑම, ඇඳුම් ඇදීම ආදී ඕනෑම කටයුත්තක් කරන විට එය සිහියෙන් යුක්තව කිරීමයි. මෙම ක්‍රමය සති සම්පඡඤ්ඤය යනුවෙන් හැඳින්වෙනවා. උදාහරණයක් වශයෙන් මේසය මත ඇති තේ කෝප්පය බීමට අවශ්‍ය යැයි සිතමු.

අත දිගහරිනවා, කෝප්පය අල්ලනවා, කෝප්පය ඔසවනවා, මුව ළඟට ගෙනෙනවා, කෝප්පය ඇල කරනවා, බොනවා, බොනවා, කෝප්පය තබනවා, අතගන්නවා වශයෙනි. එමෙන්ම සිතේ පහළ වන ධර්ම (ගති) ගැන අවධානයෙන් යුක්තව විසීම තවමත් ක්‍රමයකි. අපට ආශාවක් ඇතිවන විට “ආශාවක් ඇතිවුනා” යැයි දැන ගන්නවා. කෝපයක් ඇති වූ විටක කෝපයක් ඇති වුණා යැයි දැනගන්නවා. අලසකමක් ඇති වූ විටක අලසකමක් ඇතිවුනා යැයි දැනගන්නවා. නොසන්සුන්කමක් ඇති වූ විට නොසන්සුන්කමක් ඇතිවුණා යැයි දැනගන්නවා.

මෙසේ භාවනා කරගෙන යෑමෙන් මේ පිළිබඳව හෝ සැකයක් ඇති වූ විටක මා සිත තුළ සැකයක් පහළවුණා යැයි දැනගන්නවා. ආශාවන් නැති විට ආශාවක් නැතැයි දැනගන්නවා. කෝපයක් නැති විටත් ඒ බව දැන ගන්නවා. අනිත් කරණු තුන ගැනත් එසේමයි. දවසේ රාජකාරි කරමින් තමාගේ සිතේ පවතින මෙම ගති පිළිබඳ සෝදිසියෙන් සිටීම පුරුදු වූවෙකුට එතරම් අපහසු නැහැ. මෙයද විදර්ශනා භාවනාවකි. දැන් ඔබට පෙනේවි විදර්ශනා භාවනාවේ දී සිත එක අරමුණකම පැවැත්වීමක් නොකෙරෙන බව.

මෙහිදී කෙරෙනුයේ සිතෙහි හෝ ගතෙහි පවතින වර්තමාන අවස්ථාව තේරුම් ගැනීම බව ඔබට හැඟේවි. හිඳගෙන භාවනා කරන්නේ මෙසේයි. නාසයේ අග හෝ උදරයේ චලනය වෙත සිත යොමු කරන්න. එසේ සිටින විට කල්පනාවක් ආ විට “කල්පනාවක් කල්පනාවක්” යනුවෙන් දෙතුන් වතාවක් සිතා නැවත හුස්ම බැලීම වෙත යන්න. කකුලේ වේදනාවක් එනු පෙනුනොත් “වේදනයි වේදනයි” ම යනුවෙන් එය ඉවත් වී යනතුªරු මෙනෙහි කරන්න. ඉවත් කිරීමේ අදහස සිතට නොගත යුතුයි.

වේදනාව නිසා අපහසු තත්ත්වයක් දැනුනොත් “අපහසුයි අපහසුයි” ම යනුවෙන් සිතා හෙමින් සීරුවේ ඉරියව් වෙනස් කරන්න. වෙනස් කරනවා වෙනස් කරනවා ම යනුවෙන් සිතමින් ඉරියව් වෙනස් කළයුතු බවත් මතක තබාගන්න. දැන් නැවත හුස්ම ගැනීමට සිත යොදන්න. නිදිමතක්, කමිමැලිකමක්, සතුටක් හෝ ඕනෑම අරමුණක් ආවිට ඒ දෙස අවධානය යොමු කොට නිදිමතක් නම් “නිදිමතයි නිදිමතයි” ම යනුවෙන් ද, සතුටක් නම් “සතුටක් සතුටක්” ම යනුවෙන් ද සිතිය යුතුයි. හදිසි ශබ්දයක් ඇසුණොත් “ශබ්දයක් ශබ්දයක්”ම යනුවෙන් සිතන්න. ඒ ඒ අරමුණු අවසන් වූවායින් පසු හුස්ම වෙත සිත යොදන්න. මෙය පුරුදු වුවහොත් ඉතාමත් රසවත් භාවනාවක් බව ඔබට පෙනේවි.

මෙහිදී අපට වර්තමානය පිළිබඳවත් ජීවිතය පිළිබඳවත් හොඳ අවබෝධයක් ලැබේ. මනස නිරවුල් වේ. කරදරයකදී කලබලවීමක් හෝ සතුටේ දී උද්දාම වීමක් මේ නිසා ඇති නොවේ. සමබර මනසක් ඇතිවේ. ශාරීරික හෝ මානසික වේදනා යටපත් කළ හැකි වේ. මනස ප්‍රබෝධවීම නිසා සාමාජීය හා පෞද්ගලික ජීවිතය සැපදායක වේ. ශාරීරික නිරෝගිතාවයට ද හේතු වේ. නුවණ ද වැඩේ.

එබැවින් ප්‍රබෝධමත් ජීවිතයත් ගත කිරීමට ලැදි හැමදෙනාම මේ විදර්ශනා භාවනා ක්‍රමය භක්තියෙන් ඉගෙන ඒ අනුව කටයුතු කරත්වා. සියලු දෙනාට ධර්මාබෝධය ම වේවා.

06. ප්‍රශ්න හා පිළිතුරු

සමථ හා විපස්සනා භාවනාවේ ඇති ප්‍රධාන වෙනස කුමක්ද ?

සමථ භාවනාව තනිකරම සිත එක්තැන් කිරීම සඳහා උපයෝගී කර ගන්නා භාවනා ක්‍රමයක්. විපස්සනා භාවනාව ස්වභාව ධර්මය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් තේරුම් ගෙන ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීමෙන් සියලු දුකින් මිදීමේ ක්‍රමයක්.

ඉගෙන ගන්නා අයට භාවනාව නිසා ඇතිවෙන විශේෂ යහපත කුමක්ද ?

ඉගෙන ගන්නා කෙනෙකුට විශේෂයෙන් තිබිය යුතු දෙයක් තමයි මතකය හා අවබෝධය. බුදුන් වහන්සේගෙන් එක්තරා බ්‍රාහ්මණයෙක් “ස්වාමීනී, මීට කලින් උගත් දේ දැන් බොහෝවක් මතකයට ගැනීමට අමාරුයි. ඊට හේතු මොනවාදැයි විමසූ කල්හි අමතක වීමට කරුණු පහක් තුඩුදෙන බව උපමා කොට පෙන්වා වදාළහ. ඒවා සැකෙවින් මෙසේයි.

1. සිතේ ආශා දෙයක් බලපැවැත්වීම – ජලයට යම්කිසි වර්ණයක් එකතු වූ වි ඒ තුළ යමක් නෙපෙනෙන්නා සේම උගත් දේ මතකයට නොයේ.

2. සිතෙහි නොරුස්සන ස්වභාවයක් ඇති වීම – ජලය කැකෑරී ඇති විටක ඒ තුළ යමක් නොපෙනෙන්නා සේ එම අවස්ථාවකද යමක් මතක් කිරීම උගහටය.

3. නිදිමත හෝ කම්මැලි ස්වභාවයක් ඇතිවීම – ජලයේ දිය සෙවෙල් ඇති විට ඒ තුළයමක් නොපෙනෙන්නා සේ එහිදීද උගත් දේ සිහි කිරීම දුෂ්කර වේ.

4. සිත නොසන්සුන්වීම – වතුරේ රැල්ලක් හෝ කැළඹීමක් ඇති විටක මෙන් පැහැදිලි යමක් මතක් කර ගැනීම අපහසු වේ.

5. උගත් දේ පිළිබඳව සැක ඇතිවීම – කළුවර අවස්ථාවක ජලය තුළ යමක් නොපෙනෙයි. එමෙන් මැනවින් ධාරණයේ නොපවතී.

මේවා ධර්ම ග්‍රන්ථයන්හි “පංච නීවරණ” ම යනුවෙන් හඳුන්වනවා. මේ යටපත් කළ හැකි ශක්තිමත් ආයුධයක් නම් භාවනාවයි. භාවනාවෙන් පුළුල් නුවණක් ලැබේ. මනස නිරවුල් වීම නිසා හොඳ චින්තන ශක්තියක් ඇති වෙනවා මෙන්ම මනස ප්‍රබෝධමත්වීම නිසා ඉගෙනීමේ කටයුතු හොඳින් කර ගන්නන්ට ද හැකිවේ.

මේ කාලයේ භාවනා කර ප්‍රතිඵල ලැබිය හැකිද ?

නිවැරැදිව භාවනා කරන්නේ නම් ප්‍රතිඵල ලැබීමට කාලය අවහිරයක් නොවේ. ඔබ නිවසේ සිට භාවනාව පුහුණුවීම අරඹන්නේ නම් වාඩි වී සිටීම් ඉරියව්ව පමණක් සෑහේ. ඒ සඳහා නිදන කාමරයක හෝ වෙනත් විශේෂ ස්ථානයක් ඇත්නම් එය යොදා ගත හැක. රාත්‍රී වැඩ අවසන් වී නින්දට ප්‍රථම හා අලුයම කාලය ගෙදරකදී භාවනාව සඳහා යෝග්‍යය.

මීට අමතරව ඔබට සතියක දෙකක විවේකයක් ලබාගත හැකි නම් ඒ සඳහා සියලු පහසුකම් සහිත නේවාසික පුහුණුවක් ද කඳුබොඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී හෝ දිවයිනේ වෙනත් භාවනා මධ්‍යස්ථානයක දී ලබාගත හැක. මේ නේවාසික පුහුණුවේ දී සිදුකළ යුතු මූලික පිළිවෙත් මේ සමඟ විස්තර වේ.

07. යෝගාවචරයන් විසින් කළයුතු මූලික පිළිවෙත් පූර්ව කෘතිය.

1. තමන් නියමිත සීලයක පිහිටීම. (ගිහි උදවිය බුදු කුටියට ගොස් ද සිල් සමාදන් වන්න. නැතිනම් ආචාර්ය ස්වාමීන් වහන්සේගෙන් ද සිල් සමාදන් වන්න.)

2. ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිකර වන්දනා කිරීම (බුදුකුටියට යන්න.)

3. බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන්ද ගුªරුවර දෙමාපියන්ද ගුණයෙන් හා වයසින් වැඩිහිටි උතුමන්ද ගෞරවාදර භක්තියෙන් නමස්කාර කරමි. මා අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව උන්වහන්සේලාට වූ සියලු වරදට මට සමාවන සේක්වා.

4. මාගේ ජීවිතය බුද්ධාදී රත්නත්‍රයට පූජා කරමි. පූජා වේවා කර්මස්ථානාචාය¸යන් වහන්සේලාටද ජීවිතය පූජා කරමි ජීවිත පරිත්‍යාග කිරීම.

5. කමටහන් ඇදුරුතුමන් වහන්සේලා විසින් දෙනු ලබන අවවාද පරිදි පිළිපදිමි. එම උපදෙස් පරිදි භාවනා වඩමි. ඒ මගින් මට උතුම් නිවන් සැප අවබෝධ වේවා.

6. තමන්ට හා සියලු සත්වයන්ට සුළු වේලාවක් මෙත් වඩන්න. (මෛත්‍රී භාවනාව)

7. ශරීරයේ අශුභතාවය ගැන සුළු වේලාවක් සිතන්න.(පිළිකුල් භාවනාව)

8. ජීවිතයේ අස්ථිරභාවය ගැන සිතන්න. (මරණානුස්මෘති භාවනාව)

9. පමා නොවී මා නිවන් අවබෝධ කර ගනිමියි දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගන්න.

10. දැන් තමාගේ කුටියට ගොස් පහත පිළිවෙළට භාවනා ආරම්භ කරන්න. භාවනා ක්‍රමයක් කලින් ඉගෙන ගෙන තිබේ නම් හෝ පුහුණු කොට තිබේ නම් මෙහි නැවතී සිටින කාලය තුළ ඒවා ක්‍රියාත්මක නොකරන්න.

08. විදර්ශනා භාවනා අභ්‍යාසය – 1

විදර්ශනා භාවනා කරන ආකාරය (මූලික උපදෙස්)

පහසු පිළිවෙලින් හිඳගෙන පළමු කොට උදරයෙහි නාභිය සමීපයෙහි සිත පිහිටුවා ගන්න. නාසයෙන් හුස්ම ඇතුළුවන විට බඩ ඉදිරියට පිම්බෙන බව දැනේවි. එවිට “පිම්බෙනවා”යනුවෙන් සිතන්න. හුස්ම පිටකරන විට බඩ හැකිලෙයි. එවිට බඩ “හැකිලෙනවා” යනුවෙන් සිතන්න. වරක් පිම්බෙන කල පිම්බීමේ මුලසිට ටිකින් ටික, ටිකින් ටික පිම්බී යන හැටි අවසානය දක්වා දැනගනිමින් මෙනෙහි කළ යුතුය.

හැකිලීමේදී ද මුල සිට ටිකින් ටික හැකිලීගෙන යන හැටි අවසානය දක්වා ගනිමින් මෙනෙහි කළ යුතුයි. ඕනෑකමින් හුස්ම ගැනීම හෝ හුස්ම තදකරගෙන හිඳීම හෝ නොකළ යුතුයි. සාමාන්‍යයෙන් හුස්ම ගන්නා ස්වභාවයෙන් හුස්ම ගැනීම හෙළීම කළ යුතුයි. පිම්බීමක්, හැකිලීමක් පාසා “පිම්බෙනවා හැකිලෙනවා” – “පිම්බෙනවා හැකිලෙනවා” යනුවෙන් කල්පනාකාරීව නිරතුරු මෙනෙහි කළ යුතුයි. පිම්බෙනවා හැකිලෙනවා යනුවෙන් සිතින් සිතනවා විනා කටින් නොකිව යුතුයි.

අර්ධ පද්මාසනය

අන් සිත් පහළ වීම මෙනෙහි කිරීම.

මෙසේ පිම්බීම හැකිලීම මෙනෙහි කරමින් සිටියදී වෙනත් කල්පනා ඇතිවෙයි. ගෙදර මතක් වෙයි. පැවිදි කෙනෙකුට සමහර විට පන්සල මතක් වෙයි. කළ කී දේ මතක් වෙයි. එසේ කල්පනාවක් පහළ වූ විට “කල්පනාවක් කල්පනාවක්” යනුවෙන් සිතා එය මඟහැරුණු විට නැවතත් පිම්බීම හැකිලීම මෙනෙහි කළ යුතුයි.

විටක කම්මැලිකමක් ඇතිවෙයි. එබන්දක් හැඟුණු විටම “කම්මැලියි කම්මැලියි” යනුවෙන් මෙනෙහි කළ යුතුයි. අවසන් වූවාට පසු පිම්බීම හැකිලීම වෙත යා යුතුයි. නමුත් ආධුනික යෝගියා හට මෙසේ සිතුවිල්ලක් ආ විගසම නොදැනෙයි. ටික වේලාවක් එම කල්පනාවේ ගොස් තිබියදීය ඔහුට දැකගන්නට හැකි වෙන්නේ. එබැවින් සිත පිට පනින කොටම දැකගන්නට පරීක්‍ෂාකාරීව උනන්දුවෙන් භාවනා කළ යුතුයි. නැත්නම් භාවනා ක්‍රමයට බාධා ගෙන දෙන කම්මැලි සිත්ම වඩ වඩාත් පහළ වී භාවනා කිරීමට මෙහි ආ උනන්දුව සම්පූර්ණයෙන් නැතිව යන්නට ඉඩ තිබේ. එබැවින් සෑම කල්පනාවක් ම මහත් ඕනෑකමින් මෙනෙහි කිරීමට හොඳින් මතක තබාගත යුතුයි.

වේදනා මෙනෙහි කිරීම

මෙසේ හිඳගෙන ටික වේලාවක් භාවනා කිරීමෙන් ශරීරයේ රුදා, කැක්කුම්, වේදනා, හිරිවැටීම් ඇතිවෙන්නට පටන් ගනී. ඒවා පහළවන විටදීම කල්

නොයවා ඒ මොහොතේම වේදනාවක් නම් “වේදනායි වේදනායි” යනුවෙන් ද, රත්වීමක් නම් “රත්වෙනවා රත්වෙනවා” යනුවෙන් ද මෙනෙහි කළ යුතුයි.

වේදනා උත්සන්න වන තෙක් පිම්බීම හැකිලීම බලමින් නොසිට වේදනාවක් පහළ වූ මොහොතේම “වේදනයි වේදනයි” යනුවෙන් මෙනෙහි කිරීමත් ආරම්භ කිරීමට මතක තබාගත යුතුයි. දුක්ඛ වේදනාව ද විදර්ශනා භාවනාවට අරමුණක් බැවින් වේදනාව අවසන් වනතුරු “වේදනයි වේදනයි” යනුවෙන් ඉවසීමෙන් මෙනෙහි කරගෙන යා යුතුයි. වේදනාව අවසන් වීමට පෙර පිම්බීම හැකිලීම් වෙත නොයා යුතුයි.

වේදනාව නැතිකිරීමට සිතා තල්ලු කර දමන අදහසින් වේදනා දෙස නොබැලිය යුතුයි. එය තිබෙන තාක් ඉවසීමෙන් මෙනෙහි කරන්නේ යයි සිතා මෙනෙහි කළ යුතුයි. ඒ රිදුම්, කැක්කුම්, උණුසුම්, බලවත්ව ඉවසිය නොහැකි තත්ත්වයට පත්වුවහොත් ඉරියව් හෙමින් සීරුවේ වෙනස් කළ යුතුයි. එසේ කරන කල්හි “වෙනස් කිරීමට සිතෙනවා වෙනස් කිරීමට සිතෙනවා” යනුවෙන් සිතා අත් පා වෙනස් කරන විට “දිග හරිමි දිග හරිමි” “නවමි නවමි” යනුවෙන් ශරීරයෙන් සිදු කරන සියලු චලනයන් ආවර්ජනා කරමින් ම කළ යුතුයි.

වේදනාවක් නිසා නිතර ඉරියව් වෙනස් කිරීමෙන් සති සමාධි දියුණු නොවන බැවින් ඉවසීමෙන් මෙනෙහි කිරීමට උනන්දු වන්න.

දැකීම් හා ඇසීම් මෙනෙහි කිරීම.

මෙසේ භාවනා කරගෙන යාමේදී ඇස් ඇර බැලීමට සිතුණහොත් බලන්නට සිතෙනවා යැයි මෙනෙහි කළ යුතුයි. බලන විට “බලනවා” යනුවෙන් ද ඕනෑකමින් නොබලා යමක් දකින විට “දකිමි දකිමි” යනුවෙන් ද මෙනෙහි කළ යුතුය.

හදිසි ශබ්දයක් ඇසුණහොත් “ඇසෙනවා ඇසෙනවා” නැතිනම් “ශබ්දයක් ශබ්දයක්” යනුවෙන් මෙනෙහි කළ යුතුයි. නිතරම ඇසෙන කුරුළු ශබ්ද ආදිය මෙනෙහි කළ යුතු නොවේ. ඔරලෝසුවේ ටක් ටක් හඬ ද මෙනෙහි කිරීම අවශ්‍ය නොවේ. නිතරම පවත්නා බැවිනි. ශබ්ද මෙනෙහි කිරීමේ දී ඇසෙන ශබ්ද පමණක් මෙනෙහි කිරීම ප්‍රමාණවත් වේ.

කුදු මහත් හැම ක්‍රියාවක් මෙනෙහි කළ යුතුයි.

නැගිට ගැනීම් ආදියත් එහිදී අත් පා ක්‍රියා කරන අන්දමත් අනුව සුදුසු පිළිවෙළින් මෙනෙහි කළ යුතුයි. නැතිනම් “නැගිටිමි නැගිටිමි” යනුවෙන් කෙටියෙන් මෙනෙහි කළ යුතුයි. හැරෙන විට “හැරෙමි හැරෙමි” යනුවෙන් ද මෙට්ටය ගැනීමට නැමෙන්නේ නම් “නැමෙනවා නැමෙනවා” යනුවෙන් ද එය අල්ලන විට “අල්ලනවා” යනුවෙන් ද ගරු කොට සලකා මෙනෙහි කිරීමට විශේෂයෙන් මතක තබා ගත යුතුයි.

ගිලන්පස ආදිය ගැනීමේදී

අත ගෙනියනවා. කෝප්පය අල්ලනවා, ඔසවනවා, ඇලකරනවා, මුව අරිනවා, බොනවා, බොනවා, රස දැනෙනවා, කෝප්පය තබනවා යනුවෙන් ඒ ඒ ක්‍රියා සැලකිල්ලෙන් මෙනෙහි කළ යුතුයි.

මූණ සේදීම, නෑම, වැසිකිලි කැසිකිලි කිරීම ආදී සෑම ක්‍රියාවක්ම සිහියෙන් යුක්තවම කළ යුතුයි. කොටින් කියතොත් මැස්සෙක් මදුරුවෙක් එලවීම පවා මෙනෙහි කරමින් ම කළ යුතු බව හොඳින් සිහි තබාගත යුතුයි.

සක්මන් භාවනා කිරීම

”නැගිටිමි නැගිටිමි” සිතා නැගිට ගෙන ඉදිරියට යන්නට සිතනවා යනුවෙන් ඒ සිතුවිල්ල ද මෙනෙහි කරන්න. දැන් දකුණු පය ඉදිරියට තබමින් දකුණ යනුවෙන් ද, වම් පය ඉදිරියට තබමින් වම යනුවෙන් ද සිතමින් සක්මන් කළ යුතුය. වම දකුණ වම දකුණ යනුවෙන් සුදුසු දුරක් ගමන් කොට නවතින්නට සිතෙනවා යනුවෙන් සිතා “නවතිමි නවතිමි” යනුවෙන් මෙනෙහි කරමින් නැවතිය යුතුයි. දැන් “හැරෙනවා හැරෙනවා” යනුවෙන් හෙමින් සීරුවේ හැරී ආපසු වම දකුණ යනුවෙන් සිතමින් සක්මන් කළ යුතුයි. පය එසවීමේ පටන් තැබීම දක්වා සිදුකරන සියලු ක්‍රියාවම බලමින් සිත පයේම පිහිටුවා ගත යුතුයි. සක්මන් කිරීමේ දී පියවරක් පියවරක් පාසා මෙසේ කිරීමට උත්සාහ ගන්න.

ඔසවනවා, යවනවා, තබනවා යනුවෙන් හැකි නම් මෙනෙහි කළ යුතුයි.

08. විදර්ශනා භාවනා අභ්‍යාසය – 2

විදර්ශනා භාවනා අභ්‍යාස අංක 1 හි දැක්වෙන මූලික උපදෙස් අනුගමනය කරන ආධුනික යෝගීන්ට විවිධ අන්දමේ අත්දැකීම් ඇතිවෙයි. ඒවායින් ප්‍රධාන අත්දැකීම් කීපයක් මෙසේයි.

01. ඇතැමෙකුට නිසි ලෙස එම උපදෙස් අනුගමනය කළ නොහැකි වීම.

එහි සඳහන් මෙනෙහි කිරීම වැනි යෙදුම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට නොහැකි වීමෙන් භාවනාව කරනාකාරය නිරවුල්ව වටහා ගැනීමට අපොහොසත්වීම, තමා කලින් භාවනාවක් වඩා ඇත්නම් එයත් සමඟ මෙම භාවනා ක්‍රමය පටලවා ගැනීම, වේදනා ආදිය නිසා නිතර ඉරියව් වෙනස් කරන්නට සිදුවීම, සිත දස අතේ ගමන් කිරීම හෝ නොසන්සුන්කම, කම්මැලිකම හෝ භාවනාව නීරස වීම වැනි කරුණු බාධාවන් සේ පෙනුණ ද එම කරුණු ආධුනිකයාට ලැබෙන පළමු වැනි අත්දැකීම් සේ ගැනීම වඩා ප්‍රඥාගෝචරය.

අප එසේ සඳහන් කරන්නේ භාවනා කිරීමේ දී යෝගියාට ලැබෙන සෑම බාධාවක් හා එය මඟහරවා ගැනීමට යෙදූ සෑම උපාය මාර්ගයක්ම භාවනාවේ පියවරක් සේ සිතිය හැකි බැවිනි. භාවනාව යනු සිත අවුලෙන් නිරවුල් කරගන්නා ප්‍රයත්නයක් බැවින් භාවනාව පිළිබඳ පියවරෙන් පියවර උගනීම වඩා වැඩදායකය. එබැවින් ඒවා අත්දැකීම් ලෙස ගනිමු.

උපදෙස්:

මෙනෙහි කිරීම:

සිතිවිල්ලක් හෝ වේදනාවක් හෝ යම් අරමුණක් පහළ වූ ක්ෂණයෙන් එය දැනගැනීම, එදෙස සිත යොමුකිරීම මින් අදහස් කෙරේ. සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින මෙනෙහි කිරීමක් සමඟ පටලවා නොගත යුතුය. කළ යුතු වන්නේ ගැඹුරට කල්පනා කිරීමක් නැතිව අරමුණක් පහළ වූ බව පමණක් සළකා පැමිණි අරමුණ දැනගැනීම පමණි.

අරමුණ:

ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත යන ද්වාරවලින් දැනගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම (සිතිවිලි හෝ වෙනත් දෑවලට මෙහිදී අරමුණු යයි හඳුන්වා දී තිබේ.) සාමාන්‍ය ව්‍යවහාරයේ අරමුණු යනුවෙන් යොදන්නේ අභිප්‍රායටය. මෙහිදී එය නොයෙදේ.

 

(අ) කලින් භාවනාවක් පුහුණු කොට ඇත්නම් – විදර්ශනා අභ්‍යාස අංක 1 හි දැක්වෙන ක්‍රමය පුහුණු කරන විට නිරායාසයෙන් ම කලින් භාවනාවට හිත යොමුවීම ස්වභාවිකය.

මෙය බොහෝ විට සිදු වන්නේ ආනාපාන සති භාවනාව දීර්ඝ කලක් පුහුණු වූ ඇත්තන්ටය. එහිදී දිය යුතු උපදේශ නම් උදරයේ පිම්බීම – හැකිලීම ගැන නොසලකා කලින් පුරුදු පරිදි නාසය අරමුණු කරමින් භාවනා වඩන අතර වේදනා හා කල්පනා ආදිය ඇතිවන විට අංක 1 හි දැක්වෙන අභ්‍යාසයනට අනුකූ®ලව ඉතිරි කටයුතු සිදුකිරීමයි. එහිදී පටලැවීමක් සිදු නොවේ.

(ආ) වේදනා ආදිය ඇතිවීම – වේදනා පහළ වන හැම විටම ඒවා මෙනෙහි කිරීමෙන් භාවනාව දියුණු වන බව සලකා වීර්ය ඇතිකර ගැනීම, කොපමණ වේදනා පැමිණියත් ඉරියව් වෙනස් නොකරමියි දැඩි අධිෂ්ඨානයක පිහිටීම, එහිදී සමහරුනට ඇතිවන අදහසක් නම් ලේ ගමනාගමනය සිදු නොවී කකුලේ ආබාධයක් හට ගනිතැයි විමති උපදීමයි. දහසක් දෙනාගේ අත්දැකීම් අනුව නම් එසේ වූ බවක් දැනගන්නට නැත. අවශ්‍ය නම් පැයකදී වරක් පමණක් කකුල් වෙනස් කිරීම සෑහේ.

(ඇ) සිත නොසන්සුන් වීම – භාවනාව ආරම්භ කර දින කීපයක් සිත නා නා අතේ ගමන් කිරීම පුදුම සහගත කරුණක් නොවේ. එය ඉතා ස්වභාවිකය. පුදුම විය යුත්තේ සිත පළමු දවසේම තැන්පත් වුවහොත්ය. එබැවින් සිතේ මෙම ස්වභාවික ගතිය අධ්‍යයනය කළ යුතුය. දැකගත යුතුය. අධෛර්යය නොවී දිගටම භාවනාව සිදුකර ගෙන යාමෙන් ක්‍රම ක්‍රමයෙන් සිත තැන්පත් වනවා ඇත. හාල්, වතුරට දැමූ විට කල්යත් යත් එය පොඟන්නා සේ ය.

(ඈ) කම්මැලි සිත් ඇතිවීම හෝ භාවනාව නීරස වීම – මෙයද බලාපොරොත්තු කඩවීමට තරම් කරුණක් නොවේ. ආධුනිකයෙකුට පමණක් නොව තරමක් පුහුණු වූ අයෙකුට පවා මෙවැනි අත්දැකීම් ඇතිවිය හැකිය. යට සඳහන් නොසන්සුන්කමත් මෙහි සඳහන් කම්මැලිකම නොහොත් ථිනමිද්ධයත් යම් යම් අවස්ථාවල අනාගාමි වූවනට පවා ඇතිවිය හැකි ප්‍රබල නීවරණයක් බව භාවනා කරන්නන් විසින් සිහියේ තබා ගත යුතුය.

බොහෝ දෙනෙක් භාවනාව සුළු කලක් කොට අතහැරීමට සිතති. ඔවුන්ගේ මැසිවිල්ල නම් සිත නොසන්සුන් වීම ගැනය. ඔවුන් සිතනුයේ භාවනාව කරන කොටම සියල්ල සමෘද්ධි විය යුතුය කියාය.

එසේ නොමැති වන විට ඔවුහු අධෛර්යය වෙති. ඒ නොමැනවි. එහිදී කළ යුතු වන්නේ කල්‍යාණ පුද්ගලයන් ඇසුරු කිරීමත් ධර්ම පොත් බැලීමත්ය.

විශේෂයෙන් ම පංච නීවරණ, භාවනාවට පළිබෝධ, ඉන්ද්‍රිය ධර්ම, නාම රූප, සප්ත විසුද්ධි ආර්ය අෂ්ඨාංගික මාර්ගය, සත් තිස් බෝධි පාක්ෂික ධර්ම වැනි ධර්ම කරුණු උගෙන ඒවා අවබෝධ කර ගැනීමත් භාවනා ගුරුවරයෙකු ඇසුරු කිරීමත් ඉතා ප්‍රයෝජනවත් ය. තම ජීවිතය බෞද්ධ ප්‍රතිපදාවකට අනුකූලව සකස් කරගත යුතුය. දිනපතා බුදුන් වැඳීමත් දිනකට ස්වල්පයක් නමුත් බණ පොතක් බැලීම හෝ බණක් ඇසීමත් භාවනාවට විශාල පිටුවහලකි.

ඇත්ත වශයෙන් ම මේ ජීවිතයේදී ම භාවනාවෙන් යම් කිසි දියුණුවක් බලාපොරොත්තු වන්නේ නම් මේ බෞද්ධ ප්‍රතිපදාව තිබිය යුතුමය. ඒ බව බුදු හිමියෝ “මහණෙනි, කරුණු 4 ක් ප්‍රඥාවේ වැඩිදියුණුව සඳහා වෙයි” ම යනුවෙන් පෙන්වා දුන් සේක.

1. සත් පුරුෂයන් ආශ්‍රය

2. සද්ධර්ම ශ්‍රවණය

3. යෝනිසෝ මනසිකාරය (භාවනාව)

4. ධර්මානුකූල පැවැත්ම.

එම කරුණු 4 ම සෝවාන් වීමට අවශ්‍ය අංග හැටියට ද දක්වා ඇත. (අංගුත්තර නිකාය – චක්ක නිපාතය)

02. හුස්ම නොදැනී යාම.

භාවනා කරන පළමුවැනි දවසේමත් ඇතැමෙකුට හුස්ම පැහැදිලිව අරමුණු නොවේ. ඇතැමෙකුට දින කීපයක් භාවනා කරගෙන යන විට හුස්ම අප්‍රකට වේ. සති සමාධි දියුණු වීම නිසාත් ඇතැමෙකුට හුස්ම නොදැනී යයි. එබැවින් මෙම තත්ත්වයන් පැහැදිලිව තේරුම් ගැනීම භාවනා දියුණු කර ගැනීමට මහෝපකාරී වේ. පළමු දවසේම හුස්ම නොදැනී යන්නේ සිහිය නිසි ලෙස පවත්වා ගැනීමට අපොහොසත් වීම නිසාත්, හිත බොහෝ නොසන්සුන් වීම නිසාත්ය. උදරය ඉතා මහත් අයගෙත් මෙම නොදැනීම ඇතිවිය හැකිය. භාවනාවට නිසි ලෙස හිඳගැනීමට අපොහොසත් අයගේ කොන්ද වක් වීම නිසා උදර ප්‍රදේශය හැකිළේ. මේ නිසාද ටික වේලාවක් භාවනා කරගෙන යන විට හුස්ම නොදැනී යයි.

උපදෙස්:

(අ) පළමු දවසේ හුස්ම නොදැනී යන්නේ නම් – තමා නිසි ලෙස හිඳගෙන ඉන්නේ දැයි පරීක්‍ෂාකාරී විය යුතුය. කොන්ද කෙලින් තබාගත යුතුය. හුස්ම බලෙන් ගැනීමට තැත් නොකර කිසිවක් නොසිතා නිශ්ශබ්දව හිඳ හෙමින් සීරුවේ තම උදර ප්‍රදේශයට හිත යොමා කල්පනාකාරීව ඉන්න. එසේ සුළු වේලාවක් හිඳීමෙන් හෙමින් හෙමින් උදරයේ චලනය දැනේවි. එවිට පිම්බෙනවා හැකිලෙනවා යනුවෙන් මෙනෙහි කරන්න. ආරම්භ කරන්න.

එසේ කිරීමෙන් ද හුස්ම අරමුණු කර ගැනීමට අපොහොසත් වුවහොත් අල්ල උදරය මත ලිහිල්ව තබා ගත යුතුය. එවිට හුස්ම ගැනීම දැනේවි. එසේත් අරමුණු කර ගැනීමට අපොහොසත් වුවහොත් මතු කියැවෙන අභ්‍යාසයන් (ඇ කොටස) විකල්පයක් සේ යොදා ගත හැකිය.

(ආ) දින කීපයකට පසු හුස්ම අප්‍රකට වීම – ඕලාරික හුස්ම සන්සුන් වීම නිසාත්, වේදනා ආදිය අඩුවීමෙන් ඇතිවන කයේ දරථය අඩුවීම නිසාත් හුස්ම නොදැනී යා හැකිය. මෙහිදී භාවනා ආරම්භයේ සිට විමසිලිමත් වෙමින් හුස්ම බලාගෙන යාමෙන් මේ තත්ත්වය මඟහරවා ගත හැකිය. එවිට හුස්ම ප්‍රකටව දැනෙනවා ඇත. මෙහිදී අත තබා හුස්ම ආයාසයෙන් නොබැලිය යුතු අතර විමසිල්ල පමණක් ප්‍රමාණවත් ය.

(ඇ) සති සමාධි දියුණුවීම නිසා හුස්ම නොදැනී යාම – මෙහිදී ආයාසයෙන් හෝ විමසිලිමත් බවින් හෝ හුස්ම බැලීමට නොයා යුතුය. එසේ කළහොත් සමාධිය දුර්වල වන්නට එය හේතුවක් වෙයි. (අ) සහ (ආ) වලින් විස්තර කළ අවස්ථාවන් හා මෙම අවස්ථාව වෙන්කර හඳුනා ගැනීමේ ලක්‍ෂණ කීපයකි. සති සමාධි දියුණු වීමෙන් හුස්ම නොදැනී යන්නේ නම් විටින් විට යෝගියාට නොයෙක් දර්ශනම පෙනෙන්නට වෙයි.

ඇතැමෙකුට බොහෝ සෙයින් ද, ඇතැමෙකුට ස්වල්ප වශයෙන් ද දර්ශනම නැත්නම් රූපම පෙනීම සිදුවෙයි. හදිසියේ පෙනෙන මෙකී රූපයක් තත්පර ස්වල්පයකින් නැතිවී යයි. තමා කිසිසේත් බලාපොරොත්තු නොවන රූපයක් (මලක්, ඇටසැකිල්ලක්, පිළිමයක්, ගසක්, මුහුණක්, සමහර විට යතුරක්, ගල් කැටයක් වැනි තේරුමක් නැති රූපයක්) පෙනී නොපෙනී යන විට ඇතැමෙක් දැක්කා යයි මෙනෙහි කිරීමට අපොහොසත් වෙති. ඒ දෙස බලා හිඳී.

විරූපී මුහුණක්, ඇටසැකිල්ලක් වැනි දෙයක් දුටු විට ඇතැමෙක් බිය වෙති. ඇත්තෙන්ම මෙම දර්ශන පෙනීමෙන් පැහැදිලි වන්නේ සිත පංච ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු නොගෙන මනෝද්වාර අරමුණුවලට බැස ගැනීමයි.

හීන පෙනෙන්නේ ද මෙසේමයි. නමුත් වෙනසකට ඇත්තේ භාවනාවේ දී පෙනෙන දෑ සිහියෙන් යුක්තව බලා හිඳීමට හැකි කමයි. එය සති සමාධි වල තිබෙන ශක්තියයි.

රූප පෙනීම භාවනා අරමුණින් සිත බැහැර වී ඇති බවට ලකුණක් වුවද සතියට මනෝද්වාරය දක්වා විනිවිද යාමට හැකි කම එම අවස්ථාවේ තිබෙන බවට ද ඉඟියක් කරන බැවින් එහිදී ලැබෙන හුස්ම අප්‍රකට ස්වභාවය සති සමාධි දියුණු නිසා වන බව තේරුම් ගත යුතුය.

එහිදී කළ යුතු භාවනා අභ්‍යාසය මෙසේය :

යටි කයෙහි සට්ටම් දෙකත්, දනිස් දෙකත්, පිටි පතුල් දෙකත් අරමුණු කරගෙන භාවනා කළ හැකිය. පළමු කොට තමා ඉන්න ඉරියව්ව ගැන මොහොතක් සිතා ‘හිඳිනවා හිඳිනවා’ ම යි සිතා දකුණු සට්ටමට හිත යවා හැපෙනවා යනුවෙන් එක් වරදක්ද, වම් සට්ටමට හිත යවා හැපෙනවා යනුවෙන් එක් වරක් ද, දකුණු දනහිසට හිත යවා හැපෙනවා යනුවෙන් ද, වම් දණහිසට හිත යවා හැපෙනවා යනුවෙන් ද, දකුණු පැත්තෙහි පිටිපතුලට හිත යවා හැපෙනවා යනුවෙන් ද, වම් පස පිටිපතුලට හිත යවා හැපෙනවා යනුවෙන් ද සිතා අවසානයේ එක් වරක් පෙරසේම ඉන්න ඉරියව්ව ගැන සිතා හිඳිනවා යනුවෙන් මෙනෙහි කරගෙන යා යුතුය.

මෙසේ කරගෙන යාමෙන් සිත තව තවත් සන්සිදෙනවා ඇත. හුස්ම වෙනුවට මෙම ‘හිඳීම් – හැපීම්’ ආදේශයක් සේ සැලකේ. එබැවින් භාවනාව ආරම්භ කොට හුස්ම නොදැනෙන හැම අවස්ථාවකම මෙම භාවනා අභ්‍යාසය පුහුණු කරගෙන යා හැකිය. වේදනා, කල්පනා, නිදිමත හෝ කොයිම අරමුණක් පහළ වුවහොත් ඒවාද මෙනෙහි කරමින් භාවනා කරගෙන යා යුතු බව ද සිහි තබා ගත යුතුය.

03. රූප පෙනීම

ටික දිනක් නිසි ලෙස භාවනා කරන බොහෝ අයට නොයෙක් විදියේ රූප දර්ශනය වෙයි. යට සඳහන් මෙම අවස්ථාව ද භාවනාවට ලක් කළ යුත්තකි.

උපදෙස් :

මොන යම් හෝ රූපයක් පෙනුනොත් ‘දැක්කා දැක්කා’ යනුවෙන් හෝ රූපයක් – රූපයක් යනුවෙන් හෝ පේනවා – පේනවා යනුවෙන් හෝ මෙනෙහි කළ යුතුය. ඒවා එසේ පෙනෙන්නේ ඇයි දැයි සොයන්නට නොයා යුතුය.

ලස්සන රූප දැක ඇලුම් කරන ඇතැමෙකුට නැවත නැවත රූප දර්ශනය වීමට පුළුවන. දකින දකින වාරයේ දී මෙනෙහි කොටත් රූප දිස්වීම නතර නොවන්නේ නම් රූප ගැන නොසලකා තම මූලික භාවනා අරමුණ මෙනෙහි කරගෙන යා යුතුය.

රූප පෙනේ යැයි බලාපොරොත්තුවෙන් ද භාවනා නොකළ යුතුය. රූප පෙනීම අමුතු ආනිශංසයක් නොවේ. රූප අනිවාර්ය දෙයක්ද නොවේ. එබැවින් ඒ ගැන නොසලකා භාවනා වැඩිය යුතුය.

රූප පෙනීමත් භාවනාවේ මට්ටමත් අතර කිසියම් සම්බන්ධයක් දැකිය හැකි අවස්ථාවන් ද තිබිය හැකිය. භාවනාවේ දී පහළ වන විදර්ශනා ඥාන වලට සම්බන්ධකම් ඇති දර්ශන පෙනීම නිදර්ශන වශයෙන් පෙන්වා දිය හැකිය. උදාහරණ වශයෙන් ආදීනව ඥාන වලදී ඇට සැකිලි හා මළ මිනි වැනි රූප දර්ශනය විය හැකිය. නමුත් උදයබ්බය ඥාන පහළ වන විට දැකුම්කළු දර්ශන ඇති විය හැකිය.

නමුත් දැකුම්කළු දර්ශන පහළ වන හැම අවස්ථාවකම උදයබ්බ ඥානය යැයි වරදවා නොගත යුතුවේ. මන්ද යත් චිත්ත විසුද්ධියේ දී ද දර්ශන පහළ වන බැවිනි. පෙර භව වල අසුභ භාවනාව වැනි භාවනාවක් දීර්ඝ කලක් පුරුදු කර ඇත්තන්ට සමහර විට චිත්ත විසුද්ධි අවස්්ථාවලදී ද ඇට සැකිලි ආදිය දර්ශනය වන්නට පුළුවන. එබැවින් මේ සම්බන්ධව නිශ්චය කිරීම පසෙක තබා භාවනාවම කරගෙන යාම වඩා වැදගත් වේ.

04. විවිධ මාදිලියේ සංවේදන ඇතිවීම

විටෙක ශරීරය සැහැල්ලු වී ඉහළට හෝ එහා මෙහා වන බව දැනීම, කූඹින් වැනි කුඩා සතුන් ඇඟේ හෝ මුහුණෙහි ගමන් කරනවා මෙන් දැනීම, ඉඳිකටු වලින් අනිනවාක් මෙන් දැනීම, ශරීරය පුරා විදුලියක් ගමන් කරන්නාක් මෙන් දැනීම, එක් අංශයක් හීතල වීගෙන යන්නාක් මෙන් දැනීම, කන් වලින් උෂ්ණයක් පිට වන්නාක් මෙන් දැනීම, පපුව ශබ්ද නගා ගැහෙන්නාක් මෙන් දැනීම, හිස හෝ පපුව හෝ ශරීරයේ කිසියම් ස්ථානයක් තද වෙන්නාක් මෙන් දැනීම හා තවත් නොයෙකුත් සංවේදන ඒ ඒ පුද්ගලයින්ට එක් එක් අවස්ථාවල ඇති වීමට පුළුවන.

මේ කවරක් දැනුනත් ඒවාට බිය නොවී ඒ වාද මෙනෙහි කරමින් භාවනාව දිගටම කරගෙන යා යුතුයි. සමහරෙක් ඒවා කිසියම් රෝගයක රෝග ලක්ෂණ යයි සිතා භාවනාව නවතා දැමීමට පුළුවන. එහෙත් භාවනාව නතර කළ සැණින් ඒවා අහෝසි වන්නේය. එබැවින් ඒවා රෝග නොවේ. භාවනානුයෝගීන්ටම දැනෙන ශරීරයේ ස්වභාවයන්ය.

තමාට දැනෙන විලාශයටම වචන භාවිත කරමින් මෙනෙහි කිරීමෙන් මේවා අහෝසි වී යයි. භාවනාවේදී වචන සිතින් භාවිතා කරනු විනා කටින් නොකිය යුතුයි. ඉක්මනින් ඇතිව නැතිව යන්නේ නම් වචනයෙන්ද නොසිතා එදෙස බලා හිඳීම ප්‍රමාණවත්ය.

05. ශරීරය සම්පූර්ණයෙන් නොදැනී යාම

සෑහෙන දින ගණනක් එක දිගට භාවනා කරගෙන යන්නෙකුට මෙම අපූර්ව අත්දැකීමට භාජනය විය හැකිය. විශාල සතුටක් ඇතිවිය හැකිය. විශාල ආලෝක පහළ විය හැකිය. මේවා ධ්‍යාන හෝ මාර්ග ඵල යැයි වරදවා නොගත යුතුය. අයෙකුට සිත අහසේ පාවෙන්නාක් මෙන් දැනිය හැකිය. පැයක් දෙකක් අපහසුවක් නැතිව එක දිගටම එකම ඉරියව්වේ හිදිය හැකිවීම මෙහි ලක්ෂණයකි.

උපදෙස් :

නෙන හැම දැනීමක්ම අරමුණක් වේ. එබැවින් යට සඳහන් පරිදි පහළ වන අරමුණු ඒ ඒ ඇසිල්ලේ මෙනෙහි කළ යුතුය. යහපත් අරමුණු කියා මේවා තබා ගැනීමට ආරක්ෂා කර ගැනීමට නොයා යුතුය. ඇතිවුන දෑ නැතිවන බැවින් මේ අනිත්‍ය දේවල් අත්හළ යුතුය. භාවනාව ඉදිරියට ගෙන යා හැක්කේ එලෙසය.

09. කරණීය මෙත්ත සූත්‍රය

ස්ථිර සහනයක් බලාපොරොත්තු වන තැනැත්තා විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙතක් මෙම සූත්‍රයෙහි දැක්වේ. මෙය වටිනා ධර්ම රත්නයකි. මෙය නිතර භාවිතා කරන්නේ නම්, අද අදම එහි ප්‍රතිඵල ලබා ගත හැකිය. නින්ද නොයාම, නිතර නුරුස්නා ගතිය, බිය, සැකය, සමෙහි රෝග, සතුරු කරදර, අසමගිය ආදී දහසක් ව්‍යසනවලට ප්‍රතිකර්මයක් වශයෙන් මෙහි ඇති බලය පුදුම සහගතය. එම සූත්‍රයෙහි පළමුවෙන්ම තමාතුළ ඇති කරගත යුතු ගුණ ධර්ම සමුදායක් දැක්වේ. මේවා පැහැදිලිව දැන ගැනීම සඳහා එකින් එකට විස්තරයක් ඉදිරිපත් කරමු.

1. කරණීයමත්ත කුසලේන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කො 1 උජූ 2 ච සූජූ 3 ච
සුවචෝ චස්ස 4 මුදු 5 අනතිමානි 6

ශාන්ත වූ සුවයක් බලාපොරොත්තු වන තැනැත්තා විසින් සුදුසු දෙය කළ යුතුය. දක්ෂයෙක්ද 1, අවංක වූවෙක්ද – 2, ඉතාම අවංක වූවෙක්ද 3, කීකරු වූවෙක්ද 4, මොළොක් වූවෙක්ද 5, මාන නැත්තෙක් ද 6 විය යුතුය.

2. සන්තුස්සකො 7 ච සුභරො 8 ච
අප්පකිච්චො 9 ච සල්ල හුකවුත්ති 1
සන්තින්ද්‍රියො 10 ච නිපකො 12 ච
අප්පගබ්භො 13 කුලෙසු අනනුගිද්ධො 14

ලද දෙයින් සතුටු වන්නෙක්ද 7, පහසුවෙන් පෝෂණය 8, කළ හැක්කෙක්ද, ස්වල්ප කටයුතු ඇත්තෙක්ද 9, සැහැල්ලු පැවතුම් ඇත්තෙක්ද 10, සන්සුන් ඉඳුරන් ඇත්තෙක්ද 11, තැනට ඔබින නුවණ ඇත්තෙක්ද 12, දඩබ්බර නොවූවෙක්ද 13, කුල පවුල්වල නොඇලුනෙක්ද 14 විය යුතුය.

3. න ච බුද්දං සමාචරේ කිඤ්චි
යේන විඤ්ඤූ පරෙ උපවදෙය්‍යුං
සුඛිනො වා ඛෙමිනො හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

නුවණැති අය නින්දා කරන ඉතා සුළු වැරදි දෙයක්වත් නොකළ යුතුය. 15 සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා, භය නැත්තෝ වෙත්වා, සැප සිත් ඇත්තෝ වෙත්වා.

4. යෙ කෙචී පාණභූතත්ථි
තසා වා 1 ථාවරා වා 2 අනවසෙසා
දීඝා වා 3 යෙ මහන්තා වා 4
මජ්ක්‍ධිමා 5 රස්සකා 6 ණුක 7 ථූලා 8

තැතිගන්නා සත්ත්වයෝ 1 ද, තැති නොගන්නා 2 සත්ත්වයෝ ද (සර්පයන් වැනි) දිග සත්තු 3 ද, මහත් ශරීර ඇති සත්ත්වයෝ 4 ද, මධ්‍යම ප්‍රමාණ ඇති සත්ත්වයෝ 5 ද, මිටි සත්ත්වයෝ 6 ද, ඉතා සියුම් සත්ත්වයෝ 7 ද, ස්ථුල සත්ත්වයෝ 8 ද,

5. දිට්ඨා 9 වා යෙව අද්දිට්ඨා 10
යෙ ච දූරෙ 11 වසන්ති අවිදූරෙ 12
භූතා 13 වා සම්බවේසී 14 වා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

ඇසට පෙනෙන සත්ත්වයෝ 9 ද, නොපෙනෙන සත්ත්වයෝ 10 ද, දුර වසන 11, ලඟ වසන 12, සත්ත්වයෝ ද, උපන් සත්ත්වයෝ 13 ද, උපදිමින් සිටින සත්ත්වයෝ 14 ද, යන සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්වා.

6. න පරො පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤෙථ කත්ථ චි නං කඤ්චී
ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය

කිසිවෙක් කිසිවෙකුට හිංසා නොකෙරේවා, කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකෙරේවා, නුරුස්සා ක්‍රියාවෙන් හෝ නපුරු සිතිවිල්ලෙන් හෝ ඔවුනොවුනට දුකක් නොකැමති වෙත්වා.

7. මාතා යථා නියං පුත්තං
ආයුසා එකපුත්තමනුරක්ඛෙ
එවම්පි සබ්බභූතෙසු
මානසං භාවයෙ අපරිමාණං

මව යම් සේ තම එකම පුත්‍රයා ජීවිතය වූවත් පුදා රකියි ද, එසේම සියලු සත්ත්වයන් කෙරෙහි අප්‍රමාණ වූ මෛත්‍රී සිත වඩන්නේ ය.

8. මෙත්තං ච සබ්බ ලොකස්මිං
මානසං භාවයේ අපරිමාණං
උද්ධං අධො ච තිරියං ච
අසම්බාධං අවෙරං අසපත්තං

උඩද, යටද, සිරසද සීමාවක් නැතිව වෛර සිතක් නැතිව සතුරන් නැතිව සියලු ලෝකයෙහි අප්‍රමාණ වූ මෙත් සිත වඩන්නේය.

9. තිට්ඨං චරං නිසින්නොවා
සයානො වා යාවතස්ස විගතමිද්ධො
එතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්මමෙතං විහාරං ඉධමාහු

සිටිමින් හෝ ඇවිදිමින් හෝ හිඳ ගෙන හෝ නිදා ගැනීමට ගියේ නින්ද යනතුරු හෝ මෛත්‍රී සිත අධිෂ්ඨාන කළ යුතුය. එසේ විසීම ඉතා ශ්‍රේෂ්ඨ විහරණයයි.

10. දිට්ඨං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නො
කාමේසු විනෙය්‍ය ගෙධං
නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති

මිථ්‍යා දෘෂ්ටියකට නොපැමිණ සිල්වත් වූයේ සෝවාන් මාර්ගය දක්නා නුවණින් යුක්ත වූයේ කාමයන්හි ගිජුකම දුරු කොට නැවත කිසි කලෙක ඉපදීමකට නොපැමිණෙන්නේය.

10. පාඩමේදී යෝගීන්ට මග පෙන්වීම

භාවනා කිරීම සඳහා උපදෙස් දී තිබියදීත් එය නිසි ලෙස කළ නොහැකි සහ තම අත්දැකීම් නිවැරදිව ගුරුවරයාට විස්තර කළ නොහැකි යෝගීහු සිටිති. සමහරුට භාවනාව නිසි ලෙස කළ හැකි වූවත් එය කල ආකාරය සහ තමන් ලද අත්දැකීම් නිසි ලෙස විස්තර කළ නොහේ. එබඳු යෝගීන්ට තමන් භාවනා කළ ආකාරය අරමුණු කළ දෙය ලත් අත්දැකීම් විස්තර කිරීමට උදව් වීම මින් අදහස් කෙරේ.

ආශ්වාස ප්‍රශ්වාස කිරීමේදී උදරයෙහි වන පිම්බීම සහ හැකිළීම පදනම් කරගෙන සතිපට්ඨාන භාවනාව වැඩීමේදී මූලික අරමුණු දෙස බලන ආකාරයේ පටන් අත්‍යවශ්‍ය උපදෙස් සපයමින් මහාසි සයාඩෝ ස්වාමීන් වහන්සේ භාවනා කිරීමේ ක්‍රමය සම්බන්ධව දේශනා කර ඇත.

ධර්ම ග්‍රන්ථ වල සඳහන් විස්තර අනුව යෝගියෙකුගේ සදොරින් නිරතුරුවම සිත් (දැනීම්) පහළ වෙයි. (උදා : චකකු විඤ්ඤාණ, ‍ස්‍රෝත විඤ්ඤාණ, ඝාන විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ) කිසියම් දෙයක් දකිනවා යැයි සිතමු. දකින දෙයක් දකින ඇසත් රූප ධර්ම වේ. එය දැකීමේ ප්‍රතිඵලයක් ලෙස ඇැතිවන චක්කු විඤ්ඤාණය නාම ධර්මයක් වේ.

ශබ්දය, ගඳ සුවඳ, රස ස්පර්ශය, සිතුවිලි සහ ගමනෙහිදි පියවර තැබීම, ශරීරය නැවීම සහ හැරවීම අත් නැවීම හෝ දිග හැරීම වැනි ශාරීරික චලන වලදී ඇති වන ‘දැනීම්’ ද ඉහත කී අන්දමට සමාන වේ. මෙසේ සිත් (දැනීම්) පහළවන විටම අත නොහැර ඒවා අරමුණු කළ යුතු බවට මහාසි සයාඩෝ ස්වාමීන් වහන්සේ උපදෙස් දී ඇත.

මහාසි සයාඩෝ හිමිපාණන් මෙම උපදෙස් ඉතා පැහැදිලිව හා සරල භාෂාවෙන් කියා තිබුණද භාවනා කිරීමේදී යෝගීහු සමහර ගැටලු වලට මුහුණපාති.

මෙම දුෂ්කරතා මග හරවා ගැනීම පිණිස මූලික අරමුණ (පිම්බීම්, හැකිළීම්) දෙස බලන ආකාරයත් සිතිවිලි, වේදනා වැනි ද්විතියක අරමුණු දෙස බලන ආකාරයත් ආධුනිකයනට විස්තර කර දීමට සහ ආදර්ශයෙන් කර පෙන්වීමට කර්මස්ථානාචාර්යවරුනට සිදුවේ.

ආධුනිකයන් සඳහා මෙම විස්තර කිරීම් හැකිතාක් සරලව නැවත නැවත කිරීමට සිදුවේ. එසේ වුවත් සමහර ආධුනිකයනට ඒවා අවබෝධ කර ගැනීමටත් නිසි ලෙස ක්‍රියාවට නැගීමටත් නොහැක. එහෙයින් එම දුෂ්කරතා මග හැරවීමට මතක තබා ගැනීමට පහසු ආප්ත සහ යෙදුම් ආධාර කර ගැනීමට කර්මස්ථානාචාර්යවරුනට සිදුවේ.

එබඳු යෙදුම් වලින් පළමුවැන්න :

මූලික අරමුණු ඔබ මෙනෙහි කළ අන්දම කියන්න. එවිට ඔබට ඇති වූ අදහස කුමක්ද ? යෝගියා ආශ්වාස ප්‍රශ්වාස කිරීමේදී උදරයෙහි ඇතිවන පිම්බීම හා හැකිලීම වන මූලික අරමුණු වෙත සිත බැඳ තැබිය යුතුයි. වෙනත් අරමුණක් නැති විටක යෝගියා එය බැලිය යුතුය යන අර්ථයෙන් මෙය මූලික අරමුණු වශයෙන් හැඳින්වේ. ද්විතීයක අරමුණක් පැමිණ එය නැතිව ගිය විට මූලික අරමුණට සිත ගෙන ආ යුතුය.

උදරයේ පිම්බීම සිට අවසානය දක්වා එකී චලන මෙනෙහිකළ අයුරු යෝගියාට කිව හැකි විය යුතුය. ආශ්වාස කරන විට උදරය තරමක් වේගයෙන් පිම්බීමට පටන් ගන්නා අතර ආශ්වාස කරන තුරු පිම්බීම සිදුවෙමින් පවතී. ආශ්වාසය නවතින විට පිම්බීමේ ක්‍රියාව නවතී.

උදරයේ පිම්බීම සිදුවෙන විට එහි සම්පූර්ණ චලනය දැනගත යුතුය. මෙය පුහුණු කළ යුතු දෙයක් බව ධර්ම ග්‍රන්ථ කියයි. (සබ්බකායපටිසංවේදී) මෙම කියමනෙහි අර්ථය නම් කඩවීමක් නැතිව හැකිතාක් දුරට අඛණ්ඩව මුල, මැද, අග වශයෙන් උදරයෙහි පිම්බීම ක්‍රියාව (චලනය) සමග සම්බන්ධව පවතින සියලුම දැනීම් මෙනෙහි කළ යුතු බවයි. උදරයෙහි පිම්බීමේ ක්‍රියාවෙහි (චලනයෙහි) මුල, මැද, අග වශයෙන් පවතින අවස්ථා තුනෙහිදීම සමගාමීව (ඒකාබද්ධව) සිත ගමන් කළ යුතුයි.

ආධුනිකයා හට මෙම අවස්ථා තුනම මෙනෙහි කිරීමට ඇත්තෙන්ම නොහැකි විය හැකිය. නමුත් එසේ කිරීමට හැකිවනු පිණිස ඔහු උත්සාහ කළ යුතුයි. මෙසේ කිරීමට ඔහු උනන්දු නොකළ හොත් පහසුවෙන් (ඉබේම) භාවනා අභ්‍යාසයෙන් පිටතට ගොස් වැඩි ලාභයක් (ප්‍රයෝජනයක්) නොමැතිවම පසු බැසීමේ අවසානයටම ළඟා වනු ඇත. අරමුණු කෙරෙහි තියුණු සහ ප්‍රමාණවත් අවධානයක් යොමු කරවීම සහතික කිරීමට ද මෙසේ කිරීම අවශ්‍යය.

අරමුණු සිහියෙන් මෙනෙහි කරන්නේ නම් උදර චලනයෙහි සෑම අවස්ථාවක්ම මෙනෙහි කරයි නම් සිහිය පිහිටුවීම අරමුණෙහි පැවැත්ම සමඟ සමගාමීව (ඒකාබද්ධව) සිදුවෙයි නම් යෝගියාට තම අත්දැකීම් ගුරුවරයාට පැවසීමට හැකිවෙයි. අරමුණු නිසි ලෙස මෙනෙහි කරයි නම් ඔහු කුමක් දකියි ද? කුමන අත්දැකීම් ලබයි ද? තමා පිළිබඳ ව උනන්දු වී හෝ සැළකිලිමත්වී අදාළ නැති මෙනෙහි කළ වෙනත් අරමුණු පිළිබඳ විස්තර කරනු වෙනුවට තමන් වටහාගත් අන්දමට පිම්බීමේ ක්‍රියාව (චලනය) ඉතා නිවැරැදිව විස්තර කළ යුතුයි. එසේම සිහිය (සතිය) පිහිටවූ අරමුණු ගැන විස්තර කළ යුතුයි.

මෙබඳු භාවනාමය වැඩපිළිවෙළකදී සිදුවන ක්‍රියාවලියන් දෙකකි. පළමුවැන්න අරමුණු මෙනෙහි කිරීමේ කාර්ය යයි. දෙවැන්න මෙනෙහිකරන අරමුණු පිළිබඳ දැනීම ඇතිවීමේ ක්‍රියාවලියයි. යෝගියාට තමන් දුටුවේ කුමක් ද යන්න පිළිබඳව හෝ ලැබූ අත්දැකීම කුමක් ද යන්න පිළිබඳව හෝ ප්‍රකාශ කළ හැකිවන්නේ මේ ක්‍රියාවලින් දෙක සම්පූර්ණ කළ විට පමණි.

මූලික අරමුණ (උදරයෙහි පිම්බීම) සහ එහි අඛණ්ඩ චලනය දැනීම ඇතිවීම සමඟ සමගාමීව (ඒකාබද්ධව) සිදුවන්නේ දැයි යෝගියාට කිවහැකි විය යුතුයි. මෙම ක්‍රියාවලින් දෙක එක විට සිදුවන්නේ නම් ඔහු දකින්නේ හෝ දැනගන්නේ කුමක් ද? උදරය පමණක් ද? එහි පිම්බීමේ ආකාර ද? නැතහොත් උදරයෙහි පිම්බීම් සමඟ බැඳුනු චලනය සහ තෙරපීම ද? (ආතතිය)

උදරයෙහි පිම්බීමේ භෞතික ක්‍රියාවලියෙහි ආකාර තුනක් දක්නට ඇත. ඒවා නම්

1. උදරයේ හැඩය

2. ක්‍රමය හෝ ආකාරය

3. මූලික සුවභාවය හෝ ගුණය

උදරයේ හැඩය

සිත උදරයට යොමුකළ විට උදරයේ හැඩය සිතට දැනෙයි. ශරීරයේ හැඩය යනු (හිසේ සිට පාදය දක්වා) මුළු ශරීරයයි. එමෙන්ම උදරයේ හැඩය උදර ප්‍රදේශයේ හැඩයම වේ.

ක්‍රමය හෝ ආකාරය

කිසියම් නිශ්චිත අවස්ථාවක උදරයෙහි පවත්නා තත්ත්වය මින් අදහස් කෙරේ. උදරය හැකිලීම හෝ පිම්බුණු හෝ නොපිම්බුණු හෝ යන කිනම් තත්ත්වයක පවතීද? පාලි ධම්ම ග්‍රන්ථවල මේ තත්ත්වය ‘ආකාර’ නමින්විස්තර වේ. ආකාර යන්න නිදර්ශනයකින් බලමු. අල්ල හකුලුවා මිට මෙලවීමක් පෙන්වයිද? නැතහොත් එය දිග හරින ලද අල්ලක්ද? තවත් උදා : යම් අවස්ථාවක ශරීරය හිඳීමේ හෝ සිටීමේ හෝ ඇවිදීමේ හෝ වැතිර සිටීමේ හෝ ඉරියව්වක් පෙන්නුම් කරන්නා සේ ය.

මූලික ස්වභාවය හෝ ගුණය

යෝගියා සිහියෙන් (සතියෙන්) උදරය දෙස බලා හිඳී නම් මූලික ස්වභාවය හෝ ගුණය දැකීමට පෙර හැඩය, ක්‍රමය හෝ ආකාරය (1 හා 2 වැන්න) හෝ දකිනු ඇත. නමුත් හැඩය හෝ ක්‍රමය හෝ ආකාරය දැකීම විපස්සනා භාවනාව නොවේ. මූලික ස්වභාවය හෝ ගුණාංගය නමින් හැඳින්වෙන උදරයේ පිම්බීමේ කාලය තුළ පවත්නා තෙරපීම හා චලනය දැකීමට නම් හැඩය හෝ ක්‍රමය, ආකාරය යන අවස්ථාවලින් ඉදිරියට යෝගියාට යා හැකි විය යුතුයි. යෝගියා ප්‍රශ්වාස කිරීමේදී උදරයට අඛණ්ඩව හැකිළෙන විටද ඉහත කී අන්දමට මෙනෙහි කිරීමට හා ඒ පිළිබඳ විස්තර කිරීමට හැකිවිය යුතුයි.

ඒ අයුරින්ම සක්මන් භාවනාව කරන විට පාදය එසවීමේදී ආරම්භයේ සිට අවසානය දක්වා අඛණ්ඩව සමගාමීව සිහිකිරීමට ඔහුට හැකිවේද? එසේ හැකි නම් ඔහුට කුමක් පෙනේද? පාදය හෝ එය එසවීමේ ක්‍රමය හෝ ආකාරය හෝ පෙනේද? නැතහොත් පාදය සැහැල්ලුවෙමින් එය ඉහළට එසවෙනු හෝ පාදය ක්‍රමයෙන් තදවෙමින් (තදින්) ඉදිරියට තල්ලුවෙනු දැනේ ද?

ඉහත කී ආකර තුනෙන් එක් ආකාරයක් කීමට හැකිවන ලෙසට ඔහු සිහිය පිහිටුවිය යුතුය. පාදය ඉදිරියට තැබීමේදී එම කි‍්‍රයාව සමඟ මෙනෙහි කිරීම සමගාමීව සිදුවේද? ඔහු දකිනුයේ කුමක්ද? පාදය දකින්නේ ද? නැතහොත් පාදය ඉදිරියට ගෙන යාමේ ක්‍රමය හෝ ආකාරය දකීද? එසේ නැතහොත් පාදය පසුපසින් තල්ලු කරන සහ අදින ආකාරයේ මූලික ස්වභාවයක් හෝ ගුණයක් දකීද?

මීට සමානව අත් පා නැමීම, දිගහැරීම, ශරීරය හැරවීම සහ නැවීම, ඉදීමේ සහ සිටීමේ බැලීම වැනි අවස්ථා වලදී සිහිය පිහිටුවයි ද? එබඳු එක් එක් ක්‍රියාවකදී ක්‍රියාවේ මුල සිට අග දක්වා මෙනෙහි කිරීම සමගාමීව සිදුවේද? නිවැරැදි මාවතින් පිට පැන ඉබාගාතේ මුල් කටයුත්තෙන් බාහිර නිශ්ඵල දෑ, කථා නොකර කලින් සඳහන් කල අන්දමට නිශ්චිත අරමුණු වල තමන් දුටුවා වූ ආකාර තුන විස්තර කිරීමට පමණක් සීමාවීම ඉතා වැදගත්ය.

නාම සහ රූප ධර්ම වල පහත සඳහන් ලක්ෂණ හෝ ස්වභාව තුනෙන් අදහස් වන්නේ කුමක්දැයි යෝගීන් දැනගත යුතුයි.

1. ස්වභාව ලක්ඛණ

2. සංඛත ලක්ඛණ

3. සාමාන්‍ය (පොදු) ලක්ඛණ

ස්වභාව ලක්ඛණ :

ස්වභාව ලක්ඛණ යනු මනස සහ ශරීරය දැන ගන්නා දේවල් (නාම හා රූප) නිශ්චිත හෝ විශේෂ වූ ලක්ෂණය හෝ ස්වභාවයයි. නිදර්ශනයක් ලෙස අස්ථීන් හි සහ මාංශ වල ඇති විශේෂ ලක්ෂණය හෝ ස්වභාවය ලෙස තද බව හෝ මෘදු බව හෝ (පඨවි) දැක්විය හැකියි. මේ විශේෂ ලක්ෂණය හෝ ස්වභාවය දක්නට ඇත්තේ පඨවි ධාතුවේ පමණි. අනිත් මූල ධාතුන් නොවේ. අනිත් ස්වභාව ලක්ෂණ නම් තේජෝ ධාතු (උෂ්ණ සහ ශීත) ආපෝ ධාතු (ඒකාබද්ධ වීමෙහි සහ ද්‍රව ගතිය) සහ (වායෝ ධාතු) චංචල ස්වභාව හා පින්බිමේ ස්වභාවය යන ඒවාය.

සිතේ විශේෂ ලක්ෂණය හෝ ස්වභාවය නම් දැනුම් සම්භාරයෙහි ඇතිවීමයි. ඵස්සයෝ (ස්පර්ශයෙන්) කෙරෙනුයේ වෙනත් ධර්මතා මනසට මුණ ගැස්සීමයි. වේදනාව යනු විඳීමයි.

සියලුම නාම සහ රූප ධර්ම විශේෂ ලක්ෂණය හෝ ස්වභාවයට ආරම්භයක් මධ්‍යයක් සහ අවසානයක් ඇත. පාලි ධර්ම ග්‍රන්ථවල උප්පාද ථීති භංග යනුවෙන් මේවා හඳුන්වයි. උප්පාද යනු ධර්මතාවක ආරම්භය හෝ ඇතිවීමයි. ථිති යනු පවත්නා කාලයයි. භංග යනු විනාශ වීමයි . මෙම ලක්ෂණ තුන (ස්වභාවය) සංඛත ලක්ෂණයයි.

සියලු නාම සහ රූප ධර්මවල තුන්වන ලක්ෂණය හෝ ස්වභාවය නම් සාමාන්‍ය (පොදු) ලක්ඛණයයි. ධර්මතා වල පවතින අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ එහි පවත්නා පොදු හෝ සාමාන්‍ය ලක්ෂණය හෝ ස්වභාවය වේ. මේ ස්වභාවයන් සියලු නාමරූප ධර්මවල පැතිර පවතී. ඒ නිසා ඒවා සාමාන්‍ය ලක්ෂණය නමි.

ඉහතින් සාකච්ඡා කළ කරුණු වල සම්පිණ්ඩනයක් ලෙස ස්වභාව ලක්ඛණ (ධර්මතාවයන්හි විශේෂ ස්වභාවය) සංඛත ලක්ඛණ (ඇතිවීම, පැවතීම, නැතිවීම යන ලක්ෂණ) සහ සාමාන්‍ය ලක්ඛණ (පොදු හෝ සාමාන්‍ය ස්වභාව) යන ස්වභාව තුන අපි අවබෝධ කරගත යුතුයි.

 

 

අප මෙනෙහිකරන නාම රූප ධර්ම වල ස්වභාව ලක්ෂණය අවබෝධ කර ගත හැකි අන්දමට භාවනා අභ්‍යාස යොමු කොට ඇත. විවාදයට භාජනය වී ඇති ධර්මතාවල ස්වභාවය හෝ ඊට ම ආවේනික වූ විශේෂ ගුණාංග අවබෝධ කර ගැනීමට දරන්නාවූ භාවනාමය ප්‍රයත්නයේදී අප කුමක් කළ යුතුද? ධර්මතා ඇති වෙන අවස්ථාවේම අප මෙනෙහි කළ යුතුයි. අප එසේ කරන විට පමණක් එහි විශේෂ ගුණය හෝ ස්වභාවය අවබෝධ කර ගත හැකි වෙයි.

ආශ්වාසයේදී උදරය පිම්බෙයි. ආශ්වාසයට පෙර උදරයේ පිම්බීමක් නැත. උදරයේ පිම්බීමේ මුල සිට අග දක්වා මෙනෙහි කළ යුතුය. එවිට පමණක් උදර චලනයේ නියම ස්වභාවය දැකගත හැකි වෙනු ඇත. එහි නියම ස්වභාව හෝ ගුණය කුමක්ද? ආශ්වාසයේදී වායුව ශරීරය තුළට යනු ඇත. වායුව යනු කුමක්ද? එය තෙරපීමෙහි මූල ධාතුවයි. චලනයෙහි මූල ධාතුවයි. යෝගියා දකින චලනයෙහි නියම ස්වභාවය එයයි. යෝගියා එය දකිනුයේ චලනයෙහි ඇතිවීම පැවතීම හා නැතිවීම සිදුවන අවස්ථාවේම මෙනෙහි කළහොත් පමණි. ඔහු එසේ නොකළහොත් රූපයේ හැඩය ක්‍රමය හෝ ආකාරය යන පළමු අවස්ථා දෙක වත් ඔහු අවබෝධ කර නොගනු ඇත.

නියම ස්වභාවය හෝ ගුණය දැකීම යන තුන්වන අවස්ථාවක් ගැන කියනු කිම? ඊට ඉතා පහළ අවස්ථාවක ඔහු සිටිනු ඇත. ආශ්වාස, ප්‍රශ්වාස කිරීමේදී පිම්බෙන හැකිලෙන උදරය වෙත සමගාමීව මනාව සතිය පිහිටුවන යෝගියාගේ සිහියෙන් මෙනෙහි කිරීමේ ශක්තිය අඛණ්ඩව වැඩෙයි ඔහුගේ සිහියෙන් මෙනෙහි කිරීමේ ශක්තිය වැඩෙත්ම උදරයේ හැඩය දැක්ම පිම්බීමේ සහ හැකිලීමේ ක්‍රමය හෝ ආකාරය දැකීම යන අවස්ථා වලට පැමිණෙනු ඇත. ඔහුගේ ස්වභාව එම අවස්ථා පසුකරමින් ගොස් උදර චලනයෙහි තෙරපීම සහ ඇදෙන ගතිය දකිනු ඇත. ප්‍රශ්වාසයේදී තෙරපීම හෝ ඇදීම ක්‍රමයෙන් අඩු වෙමින් ගොස් ප්‍රශ්වාසය අවසානයේ උදරයේ හැකිලීමේ ක්‍රියාව අවසන් වනු දකිනු ඇත.

මීට සමානව සක්මන සමඟ බැඳුණු පාදය එසවීම ඉදිරියට ගෙන යාම පහළට ගෙන ගොස් පොළොව මතතැබීම සිදුවනු ඇත. යෝගියාට දක්නට ලැබෙන දෙය කර්මස්ථානාචාර්යවරයා නොකිව යුතු අතර මෙනෙහි කළ යුතු අන්දම පමණක් කියා දිය යුතුය. ගණිත ගැටලුවක් විසඳන ආකාරයට සමානය. උත්තරය නොදී ගණිත ගැටලුව විසඳන ආකාරය කියා දෙන්නාක් මෙනි.

ශරීරයේ විවිධ චලන, ශරීරයේ ඇතිවෙන, වේදනා විවිධ සිතිවිලි ඇතිවීම යන අවස්ථා වලදී ද ඉහත කී උපදෙස් අනුගමනය කළ යුතුයි. මේවායේ නියම ස්වභාවය හෝ ගුණය දැකිය හැකිවන අන්දමට ධර්මතා ඇතිවෙන විටම මෙනෙහි කළ යුතුයි.

පළමුවන ආප්තය හෙවත් යෙදුම – එනම් ධර්මතා පැන නගින විටම මෙනෙහි කිරීමෙන් පමණක් නියම ස්වභාවය හෝ ගුණය හෙළි කරගත හැකිය යන්න අපි ඉගෙන ගනිමු.

දෙවන ආප්තය හෙවත් යෙදුමෙන් කියවනුයේ ස්වභාව ලක්ෂණ දුටුවිටම පමණක් සංඛත ලක්ඛණය ප්‍රත්‍යක්ෂ වන බවයි. එනම් ධර්මතාවයන්හි අර්ථය මෙනෙහි කරන විට ඇතිවීම පැවතීම හා නැතිවීම දකින බවයි. සංඛත ලක්ඛණය දකින විට සාමාන්‍ය ලක්ඛණය පෙනේ. ස්වභාව ලක්ඛණය අවබෝධවූ විට අනිත් ලක්ඛණ දෙක නිරුත්සාහයෙන් ප්‍රත්‍යක්‍ෂ වේ. සාමාන්‍ය ලක්ඛණය දුටුවිට ධර්මතා වල ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම කිසිවකුගේ විධානයකින් හෝ චේතනාවකින් නොව තම තමන්ම ක්‍රියාත්මක වන ස්වභාවය හෙළි වේ. මෙලෙස තුන්වන ආප්තය හෝ යෙදුම වන්නේ සංඛත ලක්ඛණය අවබෝධ වන විට සාමාන්‍ය ලක්ඛණය දර්ශනය වන බවයි. හතර වන ආප්තය නම් සාමාන්‍ය ලක්ඛණය දක්නා විට විපස්සනා ඥාන පහළ වන බවයි.

මෙසේ විපස්සනා ඥාන පහළ වීමෙන් පසු එය ක්‍රමයෙන් දියුණු වෙමින් මග්ගා මග්ග ඥාන (මාර්ගය පිළිබඳ දැනුම) අරිය මග්ග ඥාන ලබා ගනිමින් දුක සහ නාම රූප ධර්ම වල නිරෝධය සමඟ නිවන අවබෝධ කර ගනියි.

ගුරුවරයාට තමා භාවනා කරන අයුරු කිරීමේදී තමන් “දුටුවා” යැයි සිතන දෙය” නොව “ඇත්තෙන්ම දුටු දෙය” විස්තර කළ යුතු බව නැවතත් කිව යුතුය. ඔහු විසින් දුටු දෙය පමණක් “ඥාන” වේ. ධර්මතාවන් ගේ නියම ස්වභාවය ලෙස කෙනෙක් දුටු දෙයට සමාන නොවන අනුන්ගෙන් ලබාගත් ඥාන නොවේ.

යෝගියා ඉඳගෙන උදරයේ පිම්බීමේ සහ හැකිළීමේ චලනය මෙනෙහි කිරීමේදී විවිධ සිතිවිලි සහ විවිධ අරමුණු සිතට එනු ඇත. පාලනය නොකළ සිතෙහි ස්වභාවය එය බැවිනි. මූලික අරමුණ අත්හරිමින් විවිධ වර්ගයේ අදහස් කරා යාම සිතෙහි ස්වභාවයයි. මින් සමහරක් යහපත් ය. සමහරක් අයහපත් ය. එවිට යෝගියා කළ යුත්තේ කුමක්ද? සිතට එන කුමන අදහසක් හෝ මෙනෙහි කළ යුතුය. ඔබට එසේ කළ හැකිද? නොහැකිද? හැකි විය යුතුයි. ඔබ එසේ කරන විට සිතිවිලි තවදුරටත් පවතීද? නැතහොත් ඒවා ඔබේ ග්‍රහණයට හසුවේද? නැතහොත් ඒවා සම්පූර්ණයෙන් අතුරුදහන් වේද? නැතහොත් මූලික අරමුණු වෙත නැවතත් යන්නේ ද? මෙය සම්බන්ධව සිදුවෙන දෙය ඔබට විස්තර කළ හැකි විය යුතුය.

මීළඟ ආප්තය “මෙනෙහි කළ සහ දැනගත්” සියලුම සිතිවිලි පිළිබඳව විස්තර කළ යුතුය යන්නයි.

මූලික අරමුණු මෙනෙහි කරන තුරු ආධුනිකයාට වේදනා ඇති නොවේ. නමුත් බාහිර සිතිවිලි ඇතිවිය හැකිය. එසේ වුවත් ඇතිවෙන සියලු සිතිවිලි ඔහුට මෙනෙහි කිරීමට නොහැකි වනු ඇත. බාහිර සිතුවිලි ඇතිවීම අඩුකර ගැන්මට ආධුනිකයා මූලික අරමුණු හැකිතාක් සමීපව මෙනෙහි කළ යුතුයි. නමුත් විනාඩි 10 ක් 15 ක් ඉදගෙන සිටීමේදී මනසෙහි ඇතිවන ප්‍රතිඵල වලට අනුරූපව ශරීරයෙහි ද අප්‍රසන්න වේදනා ඇතිවිය හැකියි. වේදනා ඇතිවන විට ඒවා මෙනෙහි කළ යුතුයි.

ඒවා විස්තර කිරීමේදී ‘කසනවා, රිදෙනවා, හිරිවැටෙනවා, අනිනවා” වැනි සාමාන්‍ය වචන පාවිච්චි කිරීම, “වේදනා” වැනි ධර්ම ග්‍රන්ථවල වචන පාවිච්චි කිරීමට වඩා හොඳය. ස්වභාවිකව පැන නගින මෙම වේදනා තියුණු වෙමින් දුර්වල වෙමින්, කලක් පවතිමින්, අතුරුදහන් වෙමින්, පැවතුනද ඉහත කී අන්දමට මෙනෙහි කළ යුතුයි. මෙසේ අනිත් ආප්තය වන්නේ “සියලු වේදනා” මෙනෙහි කළ යුතුය. දැනගත යුතුයි. කමටහන් පාඩමේදී ප්‍රකාශ කළ යුතුයි යන්නයි.

මෙනෙහි කළ යුතු දැනගත යුතු අනිත් ධර්මතා කවරේද? ඒවා නම් දකින දර්ශනය අසන ශබ්ද, ආඝ්‍රාණ කළ ගඳ සුවඳ, රස බැලූ ආහාර සහ කැමැති වීම්, පාපයන්, අලසකම්, අවුල්වීම්, කුතුහලය, සැකය, මතක්වීම්, පැහැදිලි අවබෝධය, අවධානය, සතුට, පී‍්‍රතිය, සමාධිය, නිශ්චල භාවය, භාවනා පහසුව වැනි නාම ධර්මයෝ ය.

බුදුරජාණන් වහන්සේ මේ සියල්ල ධම්මාරම්මණ (සිතෙහි ඇතිවන අරමුණු) නමින් හඳුන්වයි. “කැමැත්තක්” ඇතිවීම යයි සිතමු. එය මෙනෙහිකරන විට කුමක් වේද? කැමැත්ත, ලෝභය නිසා ඇතිවන්නකි. යෝගියාට මෙය ගුරුවරයා ඉදිරියෙහි කිව හැකි විය යුතුයි. තව නිදසුනක් ගනිමු. යෝගියාට මනසෙහි අලස බවත් අකර්මණ්‍ය බවත් හා දුර්වල බවත් දැනේ. මේ මානසික තත්ත්ව මෙනෙහි කිරීමේදී අවුල් බවක් හෝ නොසන්සුන් බවක් ඇතිවේ. පිළිවෙලින් මේවා මෙනෙහි කිරීමේදී කුමක් සිදුවේද? මෙබඳු අරමුණු ඇතිවන කවර අවස්ථාවල වුවත් මෙනෙහි කළ යුතුයි. කෙටියෙන් කියතොත් සතිපට්ඨාන භාවනාවෙහි මෙනෙහි කළ යුතු අරමුණු හතරකි.

1. ශාරීරික ක්‍රියා 3. චිත්තානුපස්සනා

2. වේදනා ධම්මානුපස්සනා

මෙබඳු භාවනාවක පිළිවෙළින් කරුණු තුනක් සිදුවේ

1. ධර්මතා ඇතිවීම

2. මෙම ධර්මතා මෙනෙහි කිරීම

3. යෝගියා යමක් දැනගැනීම, වශයෙනි

මෙසේ සිදුවන සියල්ල අවබෝධ කරගැනීමට මීළඟ ආප්තය අවශ්‍යයි

මනෙහි කරන සෑම අරමුණක්ම (ඉහත කී මාර්ග සතර) කලින් සඳහන් කළ අනුපිළිවෙළින් සිදුවන කරුණු තුන අවබෝධ කරගැනීම වැදගති. මේ සඳහා වන ආප්තය නම් “ඇතිවන දෙය, මෙනෙහිකරන දෙය සහ දැනගන්නා දැකගන්නා දෙය” සම්පූර්ණයෙන් අවබෝධ කළ යුතුයි. කමටහන් පාඩම් දීමේදී ගුරුවරයාට කිව යුතුයි.

සාදු! සාදු!! සාදු!!!

 

බුද්ධ වන්දනාව

බුද්ධ වන්දනාව දිනපතාම සිදු කිරීමට පුරුද්දක් ඇතිකර ගත යුතුයි. ශ්‍රද්ධාවත් බෞද්ධයෝ දවසට තුන්වතාවක්ම බුද්ධ පූජා පවත්වති. එය ඉතා අගනේ ය. හිමිදිරි උදයේ දවසේ වැඩ ආරම්භ කිරීමට මත්තෙන් බුදුන් වැදීම ප්‍රබෝධයෙන් දවසේ වැඩ කටයුතු අවසන් කෛාට ස්නානය කොට හෝ මුහුණ අතපය සෝදා සවස හයට හෝ හතට පමණ මල් පහන් සුවඳ දුම් සමඟින් බුදුන් වැඳීමෙන් ජීවිතයට මහත් ශාන්තියක් ලබාගත හැකිය. මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරමින් දණ නමා වැඳීම පමණකින් අත්වෙන පුණ්‍ය ශක්තිය මෙතෙකැයි පමණ කළ නොහැකි බව තථාගතයන් වහන්සේ විසින්ම දේශනා කොට වදාරා ඇත.

1. සිල් සමාදන් වෙන්න

2. ඉතිපිසෝ… පාඨය කියන්න (බුදු ගුණ)

3. ස්වාක්ඛාතෝ … පාඨය කියන්න (දහම් ගුණ)

4. සුපටිපන්නෝ …. පාඨය කියන්න (සඟ ගුණ)

5. ආලෝක පුජාව :

ඝනසාරප්ප දිත්තේන – දීපේන තම දන්සිනා

තිලෝක දීපං සම්බුද්ධං – පූජයාමි තමෝ නුදං

තුන් ලෝකයට ප්‍රදීපයක් බඳු වූ මොහඳුර දුරලන බුදුරජාණන් වහන්සේට මේ පහන පුදමි.

6. සුවඳ දුම් පූජාව :

සුගන්ධිකාය වදනං – අනන්ත ගුණ ගන්ධිනා

සුන්ධිනාහං ගන්ධේන – පූජයාමි තථාගත

අපමණ ගුණ සුවඳ ඇති සුවඳවත් කයක් ඇති තථාගතයාණන් වහන්සේට මේ සුවඳ පූජා කරමි.

7. මල් පූජාව :

වණ්ණ ගන්ධ ගුණෝපේතං – ඒතං කුසුම සන්තතිං
පූජයාමි මුනින්දස්ස – සිරිපාද සරෝරුහේ

වර්ණයෙන් ද ගන්ධයෙන් ද ගුණයෙන් ද යුත් මේ මල් රාශිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මයෙහි පුදමි.

පූජෙමි බුද්ධං කුසුමෙන නෙන
පුඤ්ඥේන මෙතෙන ලබාමි මොක්ඛං
පුඵං මිලායාති යථා ඉදම්මෙ
කායො තථා යාති විනාස භාවං

මේ කුසුමෙන් බුදුන් පුදමි. ඒ පිනින් නිවන් ලබම්වා. යම් සේ මල් මැලවේ ද එසේම මාගේ සිරුර ද වැනසෙයි.

08. දෙවියන්ට පින්දීම :

එත්තාවතාච අම්හේහි – සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බෙ දෙවා අනුමොදන්තු – සබ්බ සම්පත්ති සිද්ධියා

අප විසින් මෙතෙකින් රැස් කළ පින සැප සිද්ධිය පිණිස සියලු දෙවියෝ අනුමෝදන් වනු ලබත්වා.

09. සියලු භූතයන්ට සියලු සත්ත්වයන්ට පින්දීම :

එත්තාවතා ච අම්හෙහි – සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බෙ භූතා අනුමොදන්තු – සබ්බසම්පත්ති සිද්ධියා

සියලු භූතයෝ අනුමෝදන් වෙත්වා.

එත්තාවතා ච අම්හෙහි – සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බෙ සත්තා අනුමොදන්තු – සබ්බසම්පත්ති සිද්ධියා

සියලු සත්වයෝ අනුමෝදන් වෙත්වා.

10. මළගිය ඥාතින්ට පින්දීම :

ඉදම්මේ ඥාති නං හොතු
සුඛිතා හොන්තු ඥාතයෝ

මේ පින අපගේ ඥාතීන්ට අත්වේවා. ඒ නෑයෝ සැපතට පැමිණේවා.

11. කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම

:ඉමිනා පුඤ්ඤ කම්මේන
මාමේ බාල සමාගමො
සතං සමාගමො හොත
යාව නිබ්බාන පත්තියා

මේ පුන්‍ය කර්මයෙන් බාලයන් (පාපීන්) ඇසුරට නොලැබේවා. නිවන් දකින තුරු සත්පුරුෂයන් ඇසුරට ලැබේවා.

12. ක්ෂමා කර ගැනීම :

කායෙන වාචා චිත්තෙන – පමාදෙන මයා කතං
අච්චයං ඛමමෙ භන්තෙ – භූරිපඤ්ඤ තථාගත

මගේ සිත කය වචනයෙන් බුදුරදුන් හට වරදක් සිදුවී ඇත්නම් සමාවන සේක්වා.

කායෙන වාචා චිත්තෙන – පමාදෙන මයා කතං
අච්චයං ඛමමෙ ධම්ම – සන්දිට්ඨික අකාලික

මගේ සිත කය වචනයෙන් ධර්ම රත්නයට වරදක් සිදුවී ඇත්නම් සමාවන සේක්වා.

කායෙන වාචා චිත්තෙන – පමාදෙන මයා කතං
අච්චයං ඛමමෙ සංඝ – පුඤ්ඤඛෙත්තං අනුත්තර

මගේ සිත කය වචනයෙන් සංඝ රත්නයට වරදක් සිදුවී ඇත්නම් සමාවන සේක්වා.

පන්සිල

1. පාණානිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි.

2. අදින්නාදාන වේරමණි සික්ඛාපදං සමාදියාමි.

3. කාමෙසුමිච්ඡාචාරා වේරමණි සික්ඛාපදං සමාදියාමි.

4. මුසාවාදා වේරමණි සික්ඛාපදං සමාදියාමි.

5. සුරාමෙරය මජ්ජපමා දට්ඨානා වේරමණි සික්ඛාපදං සමාදියාමි.

තේරුම

1. මම සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.

2. මම සොරකම් කිරීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදෙන් වෙමි.

3. මම කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් ;වමි.

4. මම බොරු කීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.

5. මම මත්පැන් පානය කිරීමෙන් වැළකීමේ ශික්ෂා පදය සමාදන් වෙමි.

බෞද්ධයෝ කවුරුනුත් වගේ සිල්පද පස දනිති. රකින්නේ කීයෙන් කීදෙනෙක්ද? සිල්පද නොරකින්නන් විසින් සහනයන් සඳහා කරන වෑයම් නිරර්ථකය. මදුරුවෙක් වත් මරන්නේ නැතිව ඔබට ඉන්න පුළුවන් නම්, සුළු බොරුවක් වත් කියන්නේ නැතිව ඉන්න පුළුවන් නම් මනස තුළ ඇතිවන අධ්‍යාත්මික ‘ධනය’ සුළුපටු නොවේ. අද බෞද්ධ සමාජය පන්සිල් ගැනීමට පුරුදු වී ඇතත් එය රැකීමට පුරුදු වී නැත. කොපමණ පන්සිල් ගත්තත් මානසික ශාන්තියක් නොලැබෙනුයේ එහෙයිනි.

ආජිව අෂ්ඨමක ශීලය

1. පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි.
2. අදින්නාදානා වේරමණි සික්ඛාපදං සමාදියාමි.
3. කාමෙසුමිච්ඡාචාර වේරමණි සික්ඛාපදං සමාදියාමි.
4. මුසාවාදා වේරමණි සික්ඛාපදං සමාදියාමි.
5. පිසුණාවාචා වේරමණි සික්ඛාපදං සමාදියාමි.
6. පරුෂාවාචා වේරමණි සික්ඛාපදං සමාදියාමි.
7. සම්පප්පලාපා වේරමණි සික්ඛාපදං සමාදියාමි.
8. මිච්ඡාජිවා වේරමණි සික්ඛාපදං සමාදියාමි.

සරල තේරුම :

1. මම සතුන් මැරීමෙන් වැළකෙමි.
2. මම සොරකම් කිරීමෙන් වැළකෙමි.
3. මම කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකෙමි.
4. මම බොරු කීමෙන් වැළකෙමි.
5. මම කේලම් කීමෙන් වැළකෙමි.
6. මම පරුෂ වචන කීමෙන් වැළකෙමි.
7. මම හිස් වචන කීමෙන් වැළකෙමි.
8. මම වැරදි ජීවිකාවෙන් වැළකෙමි.

මෙම ආජීව අෂ්ඨමක ශීලයෙහි, වචනයෙන් සිදුවන වැරදි හතරෙන්ම වැළැක්ම ඇති බැවින් පන්සිල්වලට වඩා උසස් ශීලයකි. එබැවින් එය දිනපතාම රැකීමට උත්සාහ ගන්නේ නම් විපුල ප්‍රයෝජන ලබාගත හැකිය.

දස ශීලය

1. පාණාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි.
2. අදින්නාදානා වේරමණි සික්ඛාපදං සමාදියාමි.
3. අබ්‍රහ්මචරියා වේරමණි සික්ඛාපදං සමාදියාමි.
4. මුසාවාදා වේරමණි සික්ඛාපදං සමාදියාමි.
5. සුරාමෙරය මජ්ජපමා දට්ඨානා වේරමණි සික්ඛාපදං සමාදියාමි.
6. විකාල භොජනා වේරමණි සික්ඛාපදං සමාදියාමි.
7. නච්ච ගීත වාදිත විසුක දස්සනා වේරමණි සික්ඛාපදං සමාදියාමි.
8. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභුසනට්ඨානා වේරමණි සික්ඛාපදං සමාදියාමි.
9. උච්චාසයන මහා සයනා වේරමණි සික්ඛාපදං සමාදියාමි.
10. ජාත රූප රජත පටිග්ගහනා වේරමණි සික්ඛාපදං සමාදියාමි.

සරල තේරුම :

1. මම සතුන් මැරීමෙන් වැළකෙමි.
2. මම සොරකම් කිරීමෙන් වැළකෙමි.
3. මම අබ්‍රහ්ම චරියාවෙන් හැසිරීමෙන් වැළකෙමි.
4. මම බොරු කීමෙන් වැළකෙමි.
5. මම මත්පැන් පානයෙන් වැළකෙමි.
6. මම විකාල භෝජනයෙන් වැළකෙමි.
7. මම නැටුම්, ගැයුම්, වැයුම්, විහිළු දැක්මෙන් වැළකෙමි. (නාට්‍ය, ගීත, වාදන, විහිළු දර්ශන)
8. මම මල්මාලා, සුවඳ විලවුන්, අභරණින් සැරසීමෙන් වැළකෙමි. (විලේපන – විලවුන් – නියපොතු තොල් ආදිය ආලේප කිරීම)
9. උස් ආසනයෙන්, සැප පහසු ආසනයෙන් වැළකෙමි.
10. රන් රිදී මිල මුදල් පිළිගැනීමෙන් වැළකෙමි.

දිනපතා නොහැකි වූවත් මේ උසස් දස ශීලය පෝය දිනයෙහිදීවත් සමාදන් වීම ඉතා වැඩදායකය. නිදහස් බව, අල්පේච්ච බව, නිහතමානී බව ආදී ගුණ ධර්ම රාශියක් මේ මගින් ඇති වේ. බොරු ආටෝපයන්ගෙන් හා තාවකාලික ආශ්වාදන වලින් වෙන්වීමෙන් විශාල මානසික සහනයක් ලැබෙන බව දැන ගැනීම ජීවිතයේ විශාල ජයග්‍රහණයකි. අපට භෞතික සියල්ල අත්හැරිය යුතු දිනයක් එළඹෙයි. මසකට එක් දිනක්වත් භෞතික දෑ අත්හරින්නට බැරි කෙනෙකුට මැරෙන මොහොත කොතරම් ඛේදවාචකයක් වේද? එබැවින් මේ දස සිල් සමාදන්වීමේ පුහුණුව දෛනික ජීවිතයේ දී පමණක් නොව මරණ මොහොතේ දී පවා සිත සහනදායක තත්ත්වයක රැඳවීමට සමත් වෙයි.

සාමණේර ශීලය

ඉහත කී දස සිල්වලට අමතරව ‘සේඛියා’ නමින් හැඳින්වෙන සිකපද හැත්තෑ පහක් (75) සාමනේරයන් විසින් රැකිය යුතු වෙයි. ශිෂ්ඨ සම්පන්න ලෙස ආහාර ගැනීම, ධර්ම ගෞරවය ඇතිවන පරිද්දෙන් බණ කීම, මනාලෙස හැදීම පෙරවීම, මනාලෙස හැසිරීම වැනි කරුණු එහි ඇතුළත් බැවින් ගිහි පින්වතුන්ද ඒවා දැන ගැනීම ඉතා වටින්නේය. භික්ෂුවකගෙන් බණ ඇසීමේ දී තමා සිටිය යුතු ආකාරයද එයින් උගත හැකිය. ළමුනට කුඩා කළ සිටම හුරුකර විය යුතු ශිෂ්ඨ සම්පන්න ලෙස ආහාර ගැනීමේ ක්‍රමය, ඉතා අගනේය. උවැසි උවැසියන් පෝදිනවල හැසිරිය යුතු ආකාරයක්ද එයින් උගත හැකිය. මිහිඳු රහතන් වහන්සේ ලක්දිව ඇති කළ සංඝ සමාජය නිසා පාරම්පරිකව ගිහි බෞද්ධයන් තුළද මෙම චරියා ධර්ම ඇති වී ඇති බව පෙනේ.

හැඳීම පෙරවීම :

01. තැන් තැන් වලින් උස් පහත් වි නොසිටින ලෙස එක මට්ටමකට හැඳීම කළ යුතුයි. (අඳනය )

02. තැන් තැන් වලින් උස් පහත් වී නොසිටින ලෙස පෙරවීම කළ යුතුයි. ( සිවුර )

03. මනා ලෙස සිවුරෙන් කය වසා ගෙන ගමෙහි යා යුතුයි.

04. මනා ලෙස සිවුරෙන් කය වසා ගෙන ගමෙහි හිඳිය යුතුයි.

 

ආහාර වැළඳීම :

01. සිහියෙන් යුක්තව ආහාරය පිළිගැනීම කළ යුතුයි.
02. බඳුනට යොමු කළ සිත් ඇතිව ආහාර පිළිගත යුතුයි.
03. බතට සෑහෙන පමණට, පමණක් ව්‍යඤ්ජන ගත යුතුයි.
04. තමනට ඇති පමණට, පමණක් ආහාර පිළිගත යුතුයි.
05. ආහාරය ගැන සැලකිල්ලක් ඇතිව සිහියෙන් යුක්තව ආහාර වැළදීම කළ යුතුයි.
06. වටපිට නොබලමින් බඳුනට යොමුකළ සිත් ඇතිව වැළදිය යුතුයි.
07. තැනිත් නැත නොවළඳා පිළිවෙලින් වැළදිය යුතුයි.
08. බතට සෑහෙන පමණට පමණක් ව්‍යඤ්ඡන වැළදිය යුතුයි.
09. මුදුනෙන් අනා ආහාර වැළදීම නොකළ යුතුයි.
10. ව්‍යාඤ්ජන වැඩියෙන් ලබා ගැනීම පිණිස අතින් නොවැසිය යුතුයි.
11. අසනීපයක් නැත්නම් ඉල්ලා වළදීම නොකළ යුතුයි. ( මව්පිය, නෑ, කැපකරු, ) ආදීන්ගෙන් ඉල්ලිය හැක.)
12. අවමන් කිරීමේ අදහසින් අනුන්ගේ ආහාර බඳුන් දෙස නොබැලිය යුතුයි.
13. බත් පිඩ මුව මහත් කොට නොවැළදිය යුතුයි.
14. හාත්පසින් වටකොට බත් පිඬු තනා වැළදිය යුතුයි.
15. බත් පිඬ මුව වෙත ගෙන යන්නට කලින් කට නොහැරිය යුතුයි.
16. වළඳන කල්හි මුළු අත මුව තුළට නොයැවිය යුතුයි.
17. ආහාර මුව තුළ තිබියදී කථා නොකළ යුතුයි.
18. ආහාරය මුව තුළට විසි කරමින් වැළඳීම නොකළ යුතුයි.
19. බත් පිඬ මුවින් කඩා නොවැළදිය යතුයි. ( කැවිලි පළතුරු ආදිය නොවේ.)
20. වඳුරන් මෙන් ආහාර හක්කේ තබා ගෙන නොවැළදිය යුතුයි.
21. අත ගසා දමමින් ආහාර වැළදීම නොකළ යුතුයි.
22. බත්හුළු විසුරුවමින් ආහාර වැළදීම නොකළ යුතුයි.
23. දිව එළියට දම දමා ආහාර වැළදීම නොකළ යුතුයි.
24. තලු ගස ගසා ආහාර වැළදීම නොකළ යුතුයි.
25. සුරු සුරු හඬ නගමින් ආහාර වැළදීම නොකළ යුතුයි.
26. අත ලෙවකමින් ආහාර වැළදීම නොකළ යුතුයි.
27. ඇඟිලි වලින් භාජනය සූරමින් වැළදීම නොකළ යුතුයි.
28. ඉඳුල් තැවරුණු අතින් පැන් බඳුන් නොපිළිගත යුතුයි.
29. ආහාර වැළදීමේදී දිවෙන් තොල් ලෙවීම නොකළ යුතුයි.
30. බත්හුලු සහිත භාජන සේදූ දිය අවට නොදැමිය යුතුයි. ( නියමිත තැනක් වේ නම් එහි දැමිය යුතුයි.)

හැසිරීම් :

01. සංවර ඇතිව යා යුතුයි.
02. සංවර ඇතිව හිඳිය යුතුයි.
03. බිම බලා ගෙන යා යුතුයි. විටපිට බලමින් නොයා යුතුයි.
04. වටපිට නොබලමින් හිඳිය යුතුයි. ( අවශ්‍ය කරුණකදී කම් නැත.)
05. පොරවා ගෙන සිටින සිවුර අතින් ඔසවා ගෙන නොයා යුතුයි.
06. සිවුර ඔසවා ගෙන නොහිදිය යුතුයි.
07. මහ හඬින් සිනාසෙමින් නොයා යුතුයි.
08. මහ හඬින් සිනාසෙමින් නොහිඳිය යුතුයි.
09. මහත් කොට හඬ නගා නොයා යුතුයි.
10. මහත් කොට හඬ නගමින් නොහිඳිය යුතුයි.
11. වෙරිකාරයන් සේ වැනෙමින් නොයා යුතුයි.
12. නැමෙමින් පැද්දෙමින් නොහිඳිය යුතුයි.
13. බාහුව සොලවමින් නොයා යුතුයි.
14. බාහුව සොලවමින් නොහිදිය යුතුයි.
15. හිස සල සලා නොයා යුතුයි.
16. හිස සල සලා නොහිදිය යුතුයි.
17. උකුලෙහි අත් ගසා ගෙන නොයා යුතුයි.
18. උකුලෙහි වසා පොරවා ගෙන නොයා යුතුයි.
19. හිස වසා පොරවා ගෙන නොයා යුතුයි.
20. හිස වසා පොරවා ගෙන නොහිඳිය යුතුයි.
21. විලුඹින් හෝ පතුළේ අගින් ගමන් නොකළ යුතුයි.
22. පල්ලත්ථිකයෙන් ( දන දෙක දෙපැත්තට නොයනු පිණිස පිටතින් අත්යවා එකට බැඳීම) නොහිඳිය යුතුයි.

දහම් දෙසීම :

පහත සඳහන් දෑ සේඛියා ගිලනුන් සඳහා අදාල නොවේ.

01. කුඩයක් අතින් ගෙන සිටින අයට දහම් නොදෙසිය යුතුයි.
02. දණ්ඩක් අතින් ගෙන සිටින අයට දහම් නොදෙසිය යුතුයි.
03. කඩුවක් අතින් ගෙන සිටින අයට දහම් නොදෙසිය යුතුයි.
04. ආයුධයක් අතින් ගෙන සිටින අයට දහම් නොදෙසිය යුතුයි.
05. මිරිවැඩි පයලා සිටින්නා වූ අයට දහම් නොදෙසිය යුතුයි.
06. පාවහන් පයලා සිටින්නා වූ අයට දහම් නොදෙසිය යුතුයි.
07. රථයක නැගී සිටින්නා වූ අයට දහම් නොදෙසිය යුතුයි.
08. වැතිර සිටින්නා වූ අයට දහම් නොදෙසිය යුතුයි.
09. පල්ලත්ථිකයෙන් හිඳිනා අයට දහම් නොදෙසිය යුතුයි.
10. ජටාවක් බැඳ සිටින්නා වූ අයට දහම් නොදෙසිය යුතුයි.
11. හිස වසා පොරවා සිටින අයට දහම් නොදෙසිය යුතුයි.
12. තමා බිම හිඳ අසුනක ඉන්නා අයට දහම් නොදෙසිය යුතුයි.
13. තමා මිටි අසුනක හිඳ උස් අසුනක ඉන්නා අයට දහම් නොදෙසිය යුතුයි.
14. තමා හිට ගෙන, හිඳගෙන ඉන්නා අයට දහම් නොදෙසිය යුතුයි.
15. පස්සෙන් යමින් ඉදිරියෙන් යන්නා අයට දහම් නොදෙසිය යුතුයි.
16. නොමගින් යමින් මගින් යන්නා අයට දම් නොදෙසිය යුතුයි.

මල මුත්‍ර කිරීම

01. සිට ගෙන මලමුත්‍ර නොකළ යුතුයි.
02. නිල් තණ මත මලමුත්‍ර, කෙළ ගැසීම් නොකළ යුතුයි.
03. පරිභෝගයට සුදුසු ජලයෙහි මලමුත්‍ර කිරීම, කෙල ගැසීම නොකළ යුතුයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: