Posted by: lrrp | February 17, 2012

රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත – වීතසෝක රහතන් වහන්සේ

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ. දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.

ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න.

නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ. විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

අවිදු අඳුරේ දී අසුබ දෙය සුබ ලෙස දිටිමි

බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා දෙසිය දහ අට වසරක් ගෙවිණ. දඹදිව පමණක් නොව ඈත රටවලට ද බුදු දහම පැතිරිණ. ඒ ධර්මාශෝක අධිරාජයා ගේ ධර්ම දූත ව්‍යාපාරය නිසාය.

ඒ රජතුමා ගේ බාල සහෝදරයා වීතසෝක ය. ඔහු රජකුට අවශ්‍ය සියලු සිප් සතර හදාරා සිය දෙටු සහෝදරයාගේ පාලන කටයුතුවලට ද හවුල් වෙමින් සිටියේ ය.

මේ අතර ගිරිදත්ත නමින් ප්‍රකට මහ වියත් භික්ෂූන් වහන්සේ නමක ගේ ඇසුර ලැබිණ. උන් වහන්සේගෙන් ඔහු සූත්‍ර සහ අභිධර්ම පිටක හදාරා ධර්මය පිළිබඳ මහා විශාරදයෙක් විය.

දිනක් ඔහු රැවුල බාමින් සිටියේය. ඔහු ඉදිරියේ වූ කැටපත දෙස බැලූ ඔහු ගේ ඇස් විශාල විය.

කෙස් ගස් සුදුවෙලා.

කලකට පෙර අලංකාර ලෙස පැවති කෙස් කලඹ දැන් සුදුවේගෙන එනවා..

මුහුණේ වැටුණු රැළි ඔහුට පෙනිණ.

එක රැල්ලක් නොතිබුණු පියකරු මුහුණ කම්මුල් මත දැන් රැලි වැටිලා.

ගෙලෙහි සම ද එල්ලා වැටෙයි.

ඔහු අත් ඔසවා බැලුවේය. වටකුරුවට තිබුණු මස් පිරුණු අත් දැන් ඒවා ඔසවන විට ද රැලි ගොඩක් මතුවෙනවා.

ඔහු දෑස පියා ගත්තේ ය.

සිතට සංවේගයක් ඇති විය.

මගේ ශරීරය දිරා යාමට පත් වෙලා. ජරාවට පත් වෙලා. මා ධර්මය කට පාඩම් කළා පමණයි. ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය, දුක මේ සියල්ල උපත නිසා තණ්හාව නිසා අවිද්‍යාව නිසා ඇති වෙනවා. මා එය ධර්මයෙන් දුටුවා. එහෙත් දැන් මම එය මගේ ශරීරයෙන් ම දකිනවා.

මේ කය හිස්. ජරාවට ව්‍යාධියට ගොදුරු වෙනවා. මෙය මා නුදුටුවේ අවිද්‍යාව නමැති අඳුරෙන් ඇස් වැසී තිබුණු හෙයින්. ඒ අඳුරු මා දුරු කරනවා.

දැන් ඇස් පෙනෙනවා. මේ කය හිස් ය. අනිත්‍යයි. අනිත්‍යයි, අනිත්‍යයි. අනිත්‍ය වූ සෑම දෙයක්ම දුකයි. අනිත්‍යයි දුකයි අනාත්මයි.

අනිත්‍යයට යන මේ ශරීරය මගේ නොවෙයි. මම නොවෙයි.

මගේ ආත්මය නොවෙයි. මට මේ ශරීරය අනිත්‍යයට යාම වළක්වන්න බැහැ. පාලනය කරන්න බැහැ. මගේ නොවේ. ඒ කියන්නේ ආත්මය කියා දෙයක් නැහැ. අනාත්මයි, අනාත්මයි, අනාත්මයි. මම මේ සියල්ල අත් හරිමි, අත්හරිමි, අත්හරිමි.

ඔහු නුවණින් කය පිළිබඳ මෙනෙහි කළේය. එහිදී පහළ වූ ප්‍රඥාවෙන් අවිද්‍යාව නමැති අඳුර දුරු කළේය. සියලුම කෙලෙස් නමැති කඩමාලු සිඳ දැමීය.

කෙස් බෑමට හිඳගෙන සිටි පුටුවේදීම ඔහු සිතේ වූ කෙලෙස් ද බා දැමුවේ සෝවාන් ඵලයට පත්විය.

ඉන්පසු වීතසෝක සිය ඇදුරු හිමිපාණන් හමුවී පැවිදි වූයේය.

මද කලකට පසු වීතසෝක හිමියෝ රහත් බවට පත් වූහ.

කෙස් බෑම සමග කෙලෙස් ද බෑ අයුරු සිහිපත් කළ වීතසෝක රහතන් වහන්සේ සිය උදානය පළ කළේ ද එය ඇසුරෙනි.

කෙස් බාන අතරේ
කැටපතින් බැලුයෙමි වත
රැළි වැටී ඇත සම
කෙස් ගස් ද ඇත සුදු වී
ජරාවට පත් වන
සිරුර මම දැක ගත්තෙමි
මේ සිරුර තුච්ඡයි
අනිත්‍යයි, එය අසුබයි
අවිදු අඳුරේදී
සුබ ලෙසින් එය දුටුවෙමි
අනිත්‍යය මට නොපෙනිණ

දැන් ඒ අඳුර නැත
දැක ගත්තෙමි අනිත්‍යය
කෙලෙස් වැරහැලි ඉරුවෙමි
යළි මට උපතකුත් නැත


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: