Posted by: lrrp | February 17, 2012

රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත – සෝභිත රහතන් වහන්සේ

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ. දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.

ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න.

නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ. විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

පන්සියයක් කල්ප දකිමි

‘බ්‍රාහ්මණ වංශයේ අය කී දෙනෙක් දැන් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා ඉන්නවාද ? අපේ බ්‍රාහ්මණ ධර්මයට ආගමට මේක මහා තර්ජනයක්”

සෝභිත බමුණාට සැවැත්නුවර මහ සල්පිලේ දී හමු වූ උත්තිය බමුණා කීවේය.

“මාත් අහලා තියෙනවා අපේ වීදියෙත් තරුණ බමුණන් කීප දෙනෙක් ජේතවනාරාමයට ගොස් පැවිදි වුණා” සෝභිත කීය.

“ඒක තමයි මං කීවේ. . . මෙහෙම බලාගෙන හිටියොත් දඹදිව බ්‍රාහ්මණ ආගම නැත්තටම නැතිවේවි. . .”

“ඇයි ඉතින් අපේ පඬිවරු බලාගෙන ඉන්නේ ?”

“පඩිවරු ? අපට දැන් පඩිවරු ඉන්නවද ? උන් වහන්සේ එක්ක වාදයට ගිය මහ පඬිවරු පැරදිලා මහණ වුණා. නැත්නම් පලා ගියා”

“ඇත්තටම ඔය බුදුරජාණන් වහන්සේ මොනවද දේශනා කරන්නේ ?”

“ඒක නම් මං දන්නේ නැහැ. මොකක් වුණත් මිනිස්සු රැස්වන මායාවකුත් එතන ඇති. නැත්නම් කොහොමද සච්චක වගේ බ්‍රාහ්මණයෙන් පැරදුණේ. සච්චක කියන්නේ අප ගේ බ්‍රාහ්මණ වංශයට හිටි මහා පණ්ඩිතයෙක්”

“මට හිතෙනවා උන් වහන්සේ ළඟට යන්න. මොනාද කියන්නේ කියල බලන්න. . . “

“මම නම් යන්නෙ නැහැ. ගිහිල්ල රැවටිලා අමාරුවේ වැටෙන්න බැහැ. . .”

“නෑ එහෙම වෙන්නෙ නැහැ. අපි සිහි බුද්ධියෙන් අසාගෙන සිටිමු. යමු අද ම පූර්වාරාමයට…”

සෝභිත උත්තිය සමග ජේතවනාරාමයට ගියේය.

බුදුරජාණන් වහන්සේ දහම් දෙසති.

භික්ෂූහු ද භික්ෂුණීහුද රජවරු සිටුවරු සහ බමුණෝ ද සැවැත්නුවර තරුණ පිරිසක් ද බණ අසති. සෝභිත සහ උත්තිය පිරිස කෙළවර හිඳ ගත්හ.

බමුණු කුලයෙන් පැමිණ පැවිදි වූ වාශිෂ්ඨ භාරද්වාජ යන හිමිවරුන් සමග බුදුරජාණන් වහන්සේ පැවැත්වූ සාකච්ඡාවකදී මතු වූ කරුණු ඒ දේශනයෙන් කියවිණි.

වාශිෂ්ඨ හිමියන්ගේ නෑදෑ බමුණෝ උන් වහන්සේට බුදුන් ළඟ පැවිදිවීම ගැන මහා බ්‍රහ්මයාගේ පාදයෙන් උපන් අඩු කුලේ භික්ෂූන් ඇසුරු කිරීම ගැන දොස් කීහ. වාශිෂ්ඨ හිමි අයත් බමුණු කුලයේ අය බ්‍රහ්මයාගේ කටින් බිහි වුහ.

මේ වනයට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්හ.

“බැමිණියන්ගේ කුසින් උපන් ඔවුහු තමන් බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්නායයි කියනවා නම් බැමිණියන් ගේ කුස බ්‍රහ්මයාගේ ළය විය යුතුය. බැමිණියන්ගේ යෝනි මාර්ගය බ්‍රහ්මයාගේ මුඛය විය යුතුයි. මේ ප්‍රබන්ධය බ්‍රහ්මයාට තීන්දුවක් බොරුවක් මෙය පව් රැස් කිරීමක්”

සෝභිත උත්තිය දෙස බැලීය. උත්තිය බිම බලා ගත්තේය.

මුළු ලොව ම දුකෙක් වැසී ඇති සැටි බොහෝ දෙනා දුක සැප වශයෙන් දකින හැටි උන් වහන්සේ පැහැදිලි කළහ. අනිත්‍යය, දුක, අනාත්මය උන් වහන්සේ පැහැදිලි කළහ.

ඉර බැස යන තුරු ආරාමයට අඳුර වැටෙන තුරු දහම් ගඟ ගලා ගියේ ය.

හිරු රැසින් පිරි තුබුණු ලොව අඳුරට බිලිවී ඇති හැටි බුදු සෝභිත ඒ තුළ අනිත්‍යයද දුටුවේය. ජව බලසම්පන්න මගේ පියා දැන් දුබලයෙක්. මහල්ලෙක්. පියා තුළද ඔහු අනිත්‍යය දුටුවේය. මුළු ලොවෙහිම ඔහු අනිත්‍යය දුටුවේය.

නිත්‍ය වූ කිසිවක් නැහැ.

ඔහු හිස මත දෝත තබා බුදු හිමියන් දෙස බලා වැන්දේය. උත්තිය එය දුටුවේය. ඔහු නැගිට ආපසු ගියේය. සෝභිතට සිය මිතුරා ඉවත්ව යනු නොපෙණිනි.

ධර්ම දේශනාවෙන් පසු බුදුරජාණන් වහන්සේ සෝභිත කැඳවුහ.

“ස්වාමීණී මට පැවිදිවීමට අවශ්‍යයි” ඔහු කීය.

සෝභිත පැවිදි විය. කමටහන් ලබා විදසුන් වඩන්නට වූ සෝභිත හිමියෝ ෂඩ් අභිඥා ලබා පුබ්බේ නිවාස ඥාානය ලබා රහත් බවට පත් වූහ.

උන් වහන්සේ පෙරවිසූ කඳ පිළිවෙළ සිහිකරන භික්ෂූන් අතර අගතැන් ලැබූහ.

සෝභිත රහතන් වහන්සේ පසු කලෙක සිය උදානය පළ කළේ ද පෙරවිසූ කඳ පිළිවෙළ දැකීමේ නුවණ ලැබූ ආකාරය පිළිබඳවය.

“අරඹන ලද බල, වෙර, හා
සිහියද නුවණ ද මැනවින්
වැඩූයෙන් මම එක් රැය මෙන්
පන්සිය කප් දුරට බලමි

සතර සීවටත් සති බෝ
අංග සමග අරි අට මග
වැඩූයෙන් මම එක් රැය මෙන්
පන්සිය කප් දුරට බලමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: