Posted by: lrrp | February 17, 2012

සීහළවත්ථුවේ අනුවාදය – සඟසතු දෙයෙහි ප්‍රමාදී වූ තෙරුන්ගේ කතාව

සුරට්ඨ ජනපදයෙහි සාහුථල පෙදෙසේ ආළාරඛාල පටුනෙහි පෝරිමාඝී ගංතෙර කොණ්ඩපූදි නම් විහාරයක් විය. ඒ විහාරයෙහි ප්‍රධාන තෙරනම අධිපතිකම නිසා ඒ විහාරය විෂම ලෙස පාරිභෝග කෙළේය. ඔහු මරණාසන්න වූ විට දරුණු රෝගයක් හට ගත්තේය. වෙද්දු ඔහු පරීක්ෂා කොට බලා “මේ භික්ෂුනමට පැන් බීමට නොදෙව්, දුන්නොත් රෝගය වැඩෙන්නේය” යි උපස්ථායකයන්ට කීහ. ඔවුහු යහපතැයි කියා තෙරනමට පැන් නුදුන්හ.

රෑ මැදියමෙහි පැන් නොලබා පිපාසාවෙන් පීඩිත වූ හෙතෙම එය ඉවසිය නොහැකිව නැගිට තමාගේ ධමකරකය අතගා බැලීය, එය හිස් විය; කාමරයෙන් පිටතට අවුත් බොන පැන්කලය බැලීය. එහි ද ජලය නොවීය. මහ පැන් කලය තිබෙන තැනට ගොස් බැලූ නමුත් එය ද හිස් විය. ඉන්පසු පෝරිමාඝී ගඟ කරා ගියේය. එය ද වියළී තිබුණි. හෙතෙම දිය නැති ගඟෙන් එතෙරට ගොස් මෙසේ සිතීය:

“ මාගේ අකුශල කර්මයෙන් සැමතැන දිය සිඳී ගියේය. ඒකාන්තයෙන් මම ප්‍රේතලෝකයෙහි උපදින්නෙමි. මේ පෙර නිමිත්ත ප්‍රත්‍යක්ෂ වශයෙන් පෙනේ. රැය ඉක්මි කල්හි මා කියන ගාථාව භික්ෂූහු නොඅදහන්නාහ” යි සිතා තමාගේ නහනකඩ ගඟෙන් එගොඩ ගසක බැඳ තබා නැවත හැරී අවුත් කාමරයෙහි නිදා ගත්තේය.

රැය ඉක්මි කල්හි හෙතෙම භික්ෂූන් අමතා සිදු වූ සියල් කීවේය. (1) ඇවැත්නි, මම රාත්‍රියෙහි පිපාසවෙන් පීඩිත වූයෙම් ඉවසිය නොහැකිව ගෙයින් නික්ම ධමකරකය (=පැන් පෙරා ගන්නා භාජනය) අතගා පැන් නොලැබුවෙමි. (3) එසේම බොන පැන් සැළි ආදියද මහ පැන් සළිය ද මා ස්පර්ෂ කළ කෙණෙහි හිස් බටව පැමිණියහ.

02(4) කැපූ අඳුන් පැහැති සිහිල් නිර්මල ජලයෙන් පිරුණු විල ද හිස් විය. (5) හැම කල්හි ගලාබස්නා පිරිසිදු දියැති වැලිතලා ඇති පෝරිමාඝි ගඟද හිස් විය. (6) ඒ ගඟින් එතෙරට ගිය මම ගංවුරෙහි සිටගෙන සංවේගයට පැමිණියේ මෙසේ සිතුවෙමි. (7) අහෝ ! මා විසින් දුක් විපාක දෙන කර්මයක් කරන ලදී.ඒ පාපයාගේ විපාකය මාවිසින් ප්‍රත්‍යක්ෂයෙන් දක්නා ලදී.

භික්ෂූහු මේ කීම විශ්වාස නොකළාහ. එවිට “පරතෙර ගසක එල්ලූ නානකඩ ගෙනැවිත් සැක දුරු කරගනිව්” යයි රෝගී තෙරනම කීය. (8) එතුමාගේ ඒ ච්ම අසා දක්ෂ වූ එක් භික්ෂූ නමක් ඒ ගඟෙන් එතෙරට ගොස් නානකඩ ගෙනාවේය. (9) එය දැක ඒ භික්ෂූහු සංවේගයට පත් වූහ. රෝගීී භික්ෂූනම භික්ෂූන් මධ්‍යයෙහි මෙසේ කීය. (10) මම අල්ප වූ හෝ බොහෝ වූ හෝ සංඝිකලාභය මා කැමති සේ යෙදෙව්වෙමි.

(11) මොහුට මෙතෙක් දෙව, අසවලාට මෙතෙක් දෙව, අසවලාට ටිකක් දෙව, බොහෝ දෙව, අසවලාට නොදෙවයි නියම කෙළෙමි. (12) මෙසේ අධිපතිභාවය නිසා සඟ සතු දෙය තමන් සතු දෙය මෙන් සලකා මා විසින් මගේ කැමැත්ත අනුව බෙදා දෙන ලදී. (13) මා දැක ඔබ සියලු දෙන සඟසතු දෙයට භයවෙත්වා. එසේ බියපත් වී බුදු සස්නෙහි අප්‍රමාදීව උත්සාහ කරව්.(14) එසේ උත්සාහකොට වීර්ය වඩා ධර්මපී‍්‍රති ඇති භික්ෂුවට පි‍්‍රය වූ අමෘතපදය ලබා ගනිව්. (15) මෙසේ හෙතෙම තමාගේ දුක භික්ෂූූන්ට දැනුම් දී මියගොස් ප්‍රේතලෝකයෙහි උපන්නේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: