Posted by: lrrp | February 20, 2012

රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත – උසභ රහතන් වහන්සේ

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ.

දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.

ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න. නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ.

විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

බැවුම් වඩන දිරිය නැඟී…

‘සුදත්ත ජේතවන උයනේ ආරාමයක් ඉදිකරවනවා. දැන් වැඩ අවසාන වේගෙන යනවා. වියදම කීයද දන්නවාදැ’යි දිනක් උසභගෙන් ඇගේ සොයුරිය ඇසුවාය.

උසභ කොසෙල් රට මහ පොහොසත් පවුලක තරුණයෙකි.

“මා දන්නේ නැහැ – සුදත් කලෙකින් දුටුවේ නැහැ. ඔහු ඈත නගරයකට වෙළෙඳාමේ ගිහින් ඇතැයි මා සිතුවා. කීයද වියදම ?”

ඔහු ඇගෙන් ඇසීය.

“මසුරන් කෝටි පනස් හතරයි !”

“කෝටි පනස් හතරයි ?”

“ඔව් ….ජේත කුමාරයාත් ඔහු ගේ වියදමෙන් ආරාම භූමියේ සත් මහල් ප්‍රාසාදයක් සාදවා තිබෙනවා.”

“කවුරු වෙනුවෙන්ද ඔය ආරාමය ?”

“බුදු රජාණන්වහන්සේ වෙනුවෙන්. හෙට බුදු රජාණන් වහන්සේ සැවැත්නුවරට වඩිනවා. සුදත්ත රජගහනුවරට ගොස් ආරාධනා කළා ලු.”

“මාත් බුදුරජාණන් වහන්සේ ගැන අසා තිබෙනවා. එතුමා ශාක්‍ය වංශයේ රජ කුමාරයෙක්. තරුණ වියේ දීම පැවිදි වුනාලු.

“ඒ විස්තර මාත් දන්නවා. ඒත් උන්වහන්සේ ගේ ධර්මය ගැන දන්නේ නැහැ.”

“හෙට මෙහාට වැඩියම ධර්මය දැනගන්නත් පුළුවනි.”

පසුදා හැන්දෑවේ බුදුරජාණන් වහන්සේ මහ සඟන පිරිවරා ජේතවනාරාමයට වැඩම කළ සේක.

උසභ ජේතවනයේ ප්‍රධාන දොරටුව ළඟට වී බලා සිටියේය.

නිවී සැනසුණු ඒ කරුණාබර දෑස ඔහුට මුලින් ම පෙනින. ඔහු බිම වැටී වැන්දේ ය.

උන්වහන්සේ ආරාමය තුළට වැඩම කළ පසු උසභ ජේතවනයෙන් පිටතට පැමිණ මද වේලාවක් ජේතවනය දෙස ම බලා සිටියේ ය.

සත් මහල් මැදුර ඈතට විසිතුරුව පෙනේ. විහාර, පිරිවෙන් සක්මන් මලු, උවැටන්හල්, ගිනිහල්, වැසිකිළි, කැසිකිළි, නාන ගෙවල් පොකුණු සහ මලින් පිරි තුරුලතාවලින් සෑදුනු ජේතවනය ඔහු ගේ සිත් ගනී.

සුදත්ත සිටුවරයා හිත මිතුරන් පිරිවරා ජේතවනයට පැමිණියේය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි තැනට ගියේය. උසභ ද ඔහු සමග එතැනට ගියේය.

සිටුවරයා සිය නිවසේ දානයට පසුදා වැඩම කරන ලෙස බුදු රජාණන් වහන්සේට ආරාධනා කෙළේය. උසභ ද සිටු මැදුරේ දාන කටයුතුවලට හවුල් විය. දානයෙන් පසු සිටුවරයා ජේතවනාරාමය පූජා කළ යුතු ආකාරය බුදු හිමියන්ගෙන් විමසුවේය.

“මෙහි ආ නො ආ සිව් දිග වැසි සංඝයාට ජේතවනාරාමය පුදමි කියා එය පූජාකරන්න.”

ඒ අනුව සිටුවරයා ජේතවනාරාමය සඟසතු කොට පූජා කෙළේය. ඉන්පසු විහාර දානයෙහි අනුසස් දක්වමින් බුදු රජාණන් වහන්සේ දහම් දෙසූහ.

ඒ දහම් දෙසුමෙන් උසභ මහ වෙනසකට පත්විය. ලොවත්, ජීවිතයත් පිළිබඳ මගේ දැක්ම මුළුමනින්ම වෙනස් වුණා. නිත්‍ය යයි සිතූ සියල්ල අනිත්‍යයය. සුඛ යයි සිතූ සියල්ල දුකයි. ආත්ම යයි සිතූ සියල්ල අනාත්මයි. සසර ගමන නතර කිරීම අතපසු නොකළ යුතුයි’ මා වහාම අද ම පැවිදිවිය යුතුයි.

ඔහු ජේතවනාරාමයේ දී එදාම පැවිදිවිය. අධිමිත්ත බමුණු කුමරා, හේරඤ්ඤකානි ගම්මුදලි, සම්බවින්න බ්‍රාහ්මනයා, කොසොල් රජ පුත් බ්‍රහ්ම දත්ත කුමරු, සිරිවැත්ත කුල පුත්, උපවාන බ්‍රාහ්මනයා, යන අය ද උසභ සමග පැවිදි වූහ.

කලෙකට පසු උසභ හිමියෝ විදසුන් වැඩීම සඳහා උස් කන්දක පිහිටි මහ වනයකට වැඩම කළහ.

දිනක් උන්වහන්සේ මහ වැස්සක් වසිනු බලා සිටියහ. වැස්සට පසු කන්දේ තුරුලතාවන් නව පණක් ලැබ මහ සතුටින් පිනා යනු පෙනිනි. මේ වනපෙත වැස්ස නිසා වෙනස් වූ හැටි. නෙත් පිනවන, සිත් සනහන පරිසරයක් මැවුණු හැටි දුටු උසභ හිමියී මේ පරිසරයේ භාවනාවෙන් උසස් ඵල ලබන්නට මට බැරි ඇයි. සිත්පිත් නැති ගස් පවා වැසි ලැබ මල් පිපී බබලනවා. මගේ ප්‍රාර්ථනාවේද ඵල පිපිය යුතුයි. ඒ සඳහා වෑයම් කරමි. සිතමින් මේ ගාථාව වදාළ හ.

නගා නගග්ගේසු සුසංවිරුල් හා

උදග්ග මේසේන නවේන සිත්තා

විවේක කාමස්ස

අරඤ්ඤ සඤ්ඤිනෝ

ජනේති භීය්‍යෝ උසභස්ස

කල්‍යතංන්ති

ඒ ගාථාව තොලගට නැඟීමත් සමග ම උන්වහන්සේ යළි විදසුන් වැඩීම ඇරඹූහ.

නොබෝ වේලාවකින් රහත් බව ලැබූහ.

උසභ රහතන් වහන්සේ සිය උදානය වශයෙන් පසු කලෙක පළ කළේ ද මේ ගාථාව ම ය.

කඳු මුදුනේ තරු සතුටින්
නව වැසි ලැබ ඉපිළෙනවා
උසභ සිත ද බැවුම් වඩන
දිරිය නැඟී පිබිදෙනවා


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: