Posted by: lrrp | March 5, 2012

භික්‍ෂුණී ශාසනය පිහිටුවන්න පෙර පිරිහී යන භික්‍ෂු ශාසනය ගොඩගත යුතුයි

 ශ්‍රී ලංකා රාමඤඤ මහ නිකායේ මහනායක  වේවැල්දෙණියේ මේධාලංකාර නාහිමියෝ
වර්ෂ 1909 දෙසැම්බර් මස 12 වැනිදා හාපිටිගම උඩුගහපත්තුවේ වේවැල්දෙණිය මිල්ලව ගම්පියසේදී බෙන්ජමින් අප්පුහාමි නමින් කුල කුමරුවකු උපත ලැබීය. සිංගන්කුට්‌ටි ආරච්චිගේ ඉසන් අප්පුහාමි ඔහුගේ පියා වූ අතර මෑණියන් වූයේ රාජපක්‍ෂ විතාරණලාගේ ලියගුහාමිය. සහෝදර සහෝදරියන් අට දෙනකුගෙන් යුත් පවුලේ හය වැනියා ලෙස බෙන්ජමින් උපත ලැබීය.

පාසල් අධ්‍යාපනය ලැබුවේ එවකට තෝලංගමුව කනිෂ්ඨය නමින් හැදින්වූ වර්තමානයේ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය බවට පත්ව ඇති විදුහලෙනි.

1922.05.26 වැනිදා හෙතෙම මහෝපාධ්‍යාය කදිරාගම සුමනසාර මහා ස්‌වාමීන්වහන්සේ හා අනුරාධපුර අභයගිරි විහාරාධිපති කතලුවේ ශීලවංශ මහා ස්‌වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා උපාධ්‍යායත්වයෙන් වේවැල්දෙණියේ මේධාලංකාර නමින් පැවිදි බිමට පිවිසෙති.

ඉන්පසු 1930-05-12 දින මාඔයලෝලුවාගොඩ ඉඹුල්ගොඩදී උපසම්පදාව ලැබ සිල්වත් ගුණවත් නැණවත් භික්‍ෂුවක ලෙස අපිස්‌ දිවියක්‌ ගතකරමින් බුදුසසුනේ චිරස්‌ථිතිය වෙනුවෙන් භික්‍ෂු සාසනයේ උන්නතිය වෙනුවෙන් රාමඤaඤ මහා නිකායේ භික්‍ෂුවක ලෙස ගම් නියම්ගම්හි වැඩම කරමින් අමිල වූ ආගමික මෙහෙවරක යෙදෙනි.

වර්ෂ 1972 දී මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරාධිපති ධුරයටද ඉන්පසු 1998 ජනවාරි 02 වැනිදා ශ්‍රී ලංකා රාමඤaඤ මහා නිකායේ දොළොස්‌වැනි මහානායකධුරයටද උන්වහන්සේ පත්වීම ලබති.

සාසන සෝභන ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය ශ්‍රී සරණංකරෝපසේන වංශාවතංස අග්ගමහා සද්ධම්ම ජොතිකාධජ ධර්ම ශාස්‌ත්‍ර ශිරෝමණී සාහිත්‍ය චක්‍රවර්තී නාමයන්ගෙන් පුදලද මේධාලංකාර නාහිමියෝ අද වන විට වයස අවුරුදු 103 ක්‌ සම්පූර්ණ කර සිටිති.

වත්මන් සංඝ පරපුරේ සිටින ජ්‍යෙෂ්ඨතම මහා නායකයාණන් වහන්සේ බවට පත්ව සිටින උන්වහන්සේ සමඟ පිළිසඳරක යෙදීමට අපි ඉකුත් 25 වැනිදා පස්‌වරුවේ මීරිගම ශාසනවර්ධන පිරිවෙන වෙත ගියෙමු.

නාහිමියෝ වැඩවසන ආවාසගෙයද වසර සියයකට වඩා පැරණිය. භික්‍ෂූන් වහන්සේ සඳහා අසුන් ගැනීමට වේවැල් පුටු කිහිපයක්‌ද ගිහියන්ට වාඩිවීම සඳහා ලී පුටු කිහිපයක්‌ද ආලින්දයේ තබා ඇත.

මේධාලංකාර මහ නාහිමියන් වැඩවසන ආවාස ගෙය දුටුවිට භික්‍ෂුවකගේ සරල අල්පේච්ඡ වූ අපිස්‌ දිවිය සැබෑවට දුටුවෙමු.

අත්වාරූ තබමින් සෙමින් සෙමින් සිය කුටියෙන් ආලින්දය වෙත වැඩම කළ මේධාලංකාර හිමියෝ ආලින්දයේ අසුන් ගත්හ. දැන් මම වයසයි. ඒ හින්දා ඇස්‌පෙනීම දුර්වලයි. කන් ඇහීම අඩුයි. හැබැයි ඔය දියවැඩියාව, කොලෙස්‌ටරෝල්, ප්‍රෙෂර් කියන ලෙඩ රෝග නම් නැහැ. නාහිමියෝ අප සමඟ පිළිසඳර අරඹමින් මුවපිරුණු සිනහවකින් යුතුව පැවසූහ.

මට දැන් ඕනෙ මේ නායක ධුරයෙන් ඉවත්වෙලා බුද්ධංගල ආරණ්‍ය සේනාසනයට ගිහින් භාවනා කරමින් මාර්ග ඵලයක්‌ ලබාගන්නයි. හරි හැටි ඇවිදගන්නත් බැරුව, ඇස්‌ පෙනීමත් දුර්වල තියෙන මට දැන් නායකධුරයක්‌ දරන්න බැහැ. නායකධුරයෙන් වැඩකරන්න පුළුවන් තරුණ භික්‍ෂුවකට එය දිය යුතුයි. මම ඒ ගැන මෑතකදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ අවස්‌ථාවේදීත් කිව්වා. එතකොට උන්නැහේ කියනවා අපේ හාමුදුරුවෝ තවදුරටත් ඔය තනතුරේ ඉන්න ඕනේ.

නායක ධුරයේ, කටයුතුවලට උදව් කරන්න ලේකම් කෙනෙක්‌ පත් කරන්න යෝජනා කළා.

මහනායක ධුරයේ ස්‌වාධීනත්වය ආරක්‍ෂා කර ගෙන රාජකාරි කටයුතු කරන්න මම මගේ ගෝලයෙක්‌ වන සීතාඑළියේ චන්දාන්ද හිමියන් ලේකම් ධුරයට පත්කර ගත්තා. දැන් උන්නාන්සේ තමයි රාමඤaඤ නිකායේ මගේ වැඩ කටයුතු කරන්නෙ. මම ඔය ලිපි ලේඛනවලට අත්සන් කරනවා.

මේ තනතුරු නම්බුනාම කිසිවක්‌ මම ඉල්ලලා ලබාගත්ත ඒවා නෙමෙයි. මට දුන්න දේවල්. ඒ හින්දා ඒවා අත්හරින්නත් මට එච්චර අමාරු නැහැ.

භික්‍ෂුවක්‌ කියන්නෙ බුදුහිමියන්ගේ ධර්මය ආරක්‍ෂා කරගෙන රට වැසියන් යහමගට යොමුකරමින් ධර්මාවබෝධය ලබාදෙන පිරිසක්‌. එහෙම නැතිව ඔය දේශපාලන පක්‍ෂ බදාගෙන කටයුතු කරන එක නෙමෙයි. ඒකට ගිහියො ඉන්නවනෙ. මට හරිම කනගාටුයි අපේ හාමුදුරුවරු දේශපාලනය කරනවාට. අපි කරන්න ඕනෙ රටේ පාලකයින්ට අනුශාසනා කරමින් රට තුළ යහපාලනයක්‌ ඇතිකරන්න උපකාර කිරීමයි.

මම කවදාවත් දේශපාලනය කරලා නැහැ. ඡන්දය පාවිච්චි කළෙත් එක පාරයි. ඒ ඩී. එස්‌. සේනානායක උන්නැහේ වෙනුවෙන්. උන්නැහේ මගේ හිතවතෙක්‌ නිසා එකම එක පාරක්‌ ඡන්දය පාවිච්චි කළා. අපි ශ්‍රී ලංකාකාරයෝ, යූ. එන්. පී. කාරයෝ කියලා බෙදෙන්න හොඳ නැහැ. ඔය ඔක්‌කොම අපට එකයි.

නාහිමියෝ අප හා පිළිසඳරේ යෙදෙමින් පවසන්නට වූහ. විනාඩි කිහිපයක්‌ එක දිගට කථා කරන විට උගුරේ සෙම මතුවීමෙන් ඇතිවන කැස්‌ස උන්වහන්සේගේ කථා බහට යම් බාධාවක්‌ ඇති කරයි. මේ වයසට ඔහොම තමයි. ප්‍රසන්න වූ සිනහවකින් මුවසරසාගෙන උන්වහන්සේ පවසති.

දැන් ඉස්‌සර වගේ නෙමෙයි. ගොඩාක්‌ තරුණ හාමුදුරුවරු සිවුරු අත්හරිනවා. දවසකට හය හත් දෙනෙක්‌ එනවා සිවුරු අත්හරින්න ලියුම් ඉල්ලාගෙන. සමහරු කාන්තාවන් එක්‌කත් එනවා.

මේක එච්චර හොඳ නැහැ. අපි හොයල බලන්න ඕනෙ ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඒ හින්දා භික්‍ෂුණී සාසනය වුණත් පිහිටුවීමත් එච්චර හොඳ නැහැ. හොඳ සිල්වත් භික්‍ෂුණීන් වහන්සේ ශාසනයට අවශ්‍යයි. ඒත් මට හිතෙනවා දැන්ම භික්‍ෂූණි ශාසනය පිහිටුවන්න හොඳ නැහැ. ඔක්‌කොටම ඉස්‌සෙල්ලා මේ පිරිහීගෙන යන භික්‍ෂු ශාසනය ගොඩගන්න ඕනෙ.

ගිහියන්ට තාවකාලික පැවිද්ද දීම හොඳද? මේ අතර අපි පැනයක්‌ නැගුවෙමු.

හොඳයි හැබැයි එයලා ඒක හරි ආකාරයට පිළිපැදිය යුතුයි. එහෙම නැති වුණොත් වැඩක්‌ නැති වෙයි.

පැවිදි වුණාට පස්‌සෙ ගිහි ජීවිතය ගැන ගිහි සැප සම්පත් ගැන හිතන්න හොඳ නැහැ. භික්‍ෂුවකට කරන්න විශාල වගකීමක්‌ තියෙනවා. මට ඇවිදගන්න අමාරු වෙන කාලය වෙනකම් ගමන් බිමන් ගියේ බස්‌ එකේ. යාන වාහන හෙව්වෙ නැහැ. මට හොඳට සිවුරු මහන්න පුළුවන්. පාත්තර කළු කරන්න පුළුවන්. ඒවා මම කළේ බොහොම ආශාවෙන්. උදේ පාන්දරම නැගිටලා දවසේ වැඩකටයුතු ටික ආරම්භ කරන්න ඕනෙ. මං පත්තර පොත්පත් බලන්නෙ රෑට. නායකයෙක්‌ වුණාම ගෝලයන්ට ආදර්ශයක්‌ විය යුතුයි. මම තවමත් දානය වළදන්නෙ ගෝල බාලයන් එක්‌ක. එයාලා ගැන හොයා බලනවා. ඒ හින්දා මට හොඳ ගෝල බාලයෝ පිරිසක්‌ ඉන්නවා. ඒ ගැන මං සතුටුයි.

රටේ අනාගතය ගැන ඔබ වහන්සේට පෙනෙන්නේ කොහොමද?

මම හිතුවා දැන්වත් දේශපාලනඥයෝ කුලල් කාගන්නෙ නැතිව රට ගැන හිතලා වැඩකරයි කියලා. ඔය කුලල් කා ගැනීමෙන් තමයි රටේ කැළඹීම් ඇතිවන්නෙ. ඒක අපේ රටේ අනාගතයට හොඳ නැහැ. කවුරුත් සුහදව සාකච්ඡා කරල ප්‍රශ්න විසඳාගත යුතුයි.

මං ගාවට සමහර දේශපාලනඥයෝ එනවා එයාලගේ පක්‍ෂවල ප්‍රශ්න ගැන කථා කරන්න. මම කියන්නෙ ඔයාලගෙ ප්‍රශ්න ඔයාලා විස¹ගන්න. ප්‍රශ්න ඇතිවන්නේ බල තණ්‌හාව නිසානෙ. ඒක නැතිකරගෙන රට ගැන හිතලා ජනතාව ගැන හිතලා වැඩ කරනවා නම් ඔය කිසි ප්‍රශ්නයක්‌ මතුවන්නෙ නැහැනෙ. මං ඕව විසඳන්න ගියොත් ඔය දේශපාලන පක්‍ෂවලට ගෑවෙනවා. ඒවට මං කැමැති නැහැ.

පැවිදි වුණේ නැත්නම් අද වේවැල්දෙණියේ මේධාලංකාර කියා කෙනෙක්‌ ගැන ඔහේලවත් කථා කරන්න නොතිබෙන්නත් තිබුණා. මට කරන්න පුළුවන් ශක්‌තියෙන් ගමට රටට ශාසනයට සේවයක්‌ කළා. ඒ සඳහා දේශපාලනඥයන්ගේ සහායත් ලැබුණා. මට ඔය කවුරුත් දේශපාලනඥයෝ එකයි. ඩී. එස්‌. සේනානායක උන්නැහේ මගේ හොද මිත්‍රයෙක්‌. ඒ හින්දා අපි දෙන්නා දේශපාලනයක්‌ නැතිව මිත්‍රයෝ විදිහට ආශ්‍රය කළා. අපේ මිත්‍රත්වය වෙනුවෙන් මම මීරිගම ඩී. එස්‌. සේනානායක කියා ලංකාවේ පළමුවරට පාසලක්‌ ආරම්භ කළා.

මෙලෙස මහනාහිමියෝ සිය පැවිදි දිවියේ වසර අනූවක්‌ දිගු අතීතයෙන් බිඳක්‌ මෙනෙහි කළේ මහත්වූ චිත්ත ප්‍රීතියෙනි.

උන්වහන්සේ මෙලෙස දීර්ඝායු ලැබීමට හේතුව වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම උන්වහන්සේ ගත කරන අල්පේච්ඡ ජීවිතය යෑයි අපට සිතුණි. එය අපි උන්වහන්සේ වාසය කරන ආවාස ගෙයි ඇති සරල බවින්ම වටහාගත්තෙමු. ධර්මය පිළිබඳ පොත්පත්, දෙස්‌ විදෙස්‌ රටවලින් තිළිණ කළ බුද්ධ ප්‍රතිමා ආදිය හැරුණු කොට කිසිදු සුඛෝපභෝගි භාණ්‌ඩයක්‌ එහි දක්‌නට නොලැබිණි.

බුදු සසුනත් හෙළ බිමත් එළිය කරන මිණි පහණක්‌ බඳුවූ අප මහ නාහිමියන්ට අපි සියලු දෙනාම එක්‌ව නිදුක්‌ නිරෝගී සැප සම්පත් ප්‍රාර්ථනා කරමු. මෙවන් මහා යතිවරයාණන් වහන්සේ බිහිවන්නේ බුදු සසුනේත් හෙළබිමේත් පිනටය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: