Posted by: lrrp | March 16, 2012

විලාසිතා සංකර නම් සිතේ කෙලෙස් ඇතිවෙනවා

කෙනෙක් ඇඳුමකට ආශාවෙන් එය අඳීනවානම් ඒ ආශාව තුළ තිබෙන්නේ කෙලෙස්. නමුත් ඇඳුමක් ඇන්දා කියලා පවු සිදුවන්නේ නැහැ. ඒ අඳින ඇඳුමේ විලාසිතාව අනුව තව කෙනෙකුගේ සිතේ කෙලෙස් ඇති වෙනවා නම් ඒ තුළින් යම් පවක් සිදු වෙනවා. මෙය විලාසිතා තුළට පමණක් සීමා වූවක් නොවේ.

සාමාන්‍යයෙන් අද කාලයේ විලාසිතා දෙස බලද්දීනම් සිදුවන්නේ කෙලෙස් පහළ වීම පමණයි. අපි භාවනා කරන්නේ බණ අහන්නේ මූලිකවම සිතේ තිබෙන කෙලෙස් නැතිකර ගැනීමට යි. ලෝභ, ද්වේෂ, මෝහ තමා අපේ සිතේ් තිබෙන ප්‍රධානම කෙලෙස් තුන. මේ ලෝභ, ද්වේශ, මෝහ ඇති නො වන ආකාරයේ විලාසිතා කරන්න පුළුවන් නම් ඒ සම්බන්ධ ගැටලුවක් ඇතිවන්නේ නැහැ. හැබැයි අපට සිතන්නට බැහැ එසේ විලාසිතාවක් කරන්න පුළුවන්වේවි කියලා.

ඇඳුම් ඇඳීම හා විලාසිතා කිරීම දෙකක්. ඇඳුම් ඇඳීම තුළ කෙලෙස් පහළ වන්නේ නැහැ. අප ඇඳුම් අඳින්නේ ශීත උෂ්ණාදියෙන් වළකින්න, මැසි මදුරුවන්ගෙන්, අව්වෙන් වැස්සෙන් බේරෙන්න සහ ලජ්ජා භය ඇතිකර ගැනීම ආදියට යි. එතකොට මේවායේ තිබෙන්නේ කෙලෙස් පහළවන හැගීම් නොවේ. ශරීර ආරක්ෂාව සඳහා එය භාවිතා කරන්නේ. නමුත් අප කරන විලාසිතාව දැක ඒ තුළින් තව කෙනෙකුගේ සිතේ යම් කෙලෙස් උපදිනවා නම් එය අපට අවැඩ පිණිස පවතින්නට ඉඩ තිබෙනවා. අපි මතක තබා ගත යුතු යි හැම ක්ලේශයක්ම පවක් නොවේ. ඒත් හැම පවක්ම තුළම කෙලෙස් තිබෙනවා.

අප සිතමු කෙනෙක් අපගෙන් අහනවා ඔබ ඇඳුම් අඳින්නේ ඇයි? කියා. එවිට ඔබ කියයි උෂ්ණ, ශීත මැසි මදුරුවන්ගෙන් ආරක්ෂාවට එහෙම නැත්නම් ලජ්ජා භය ඇති නිසා ඇඳුම් අඳිනවා කියා. ඒ වගේම තව කෙනෙකුගෙන් ඒ ප්‍රශ්නයම ඇසුවොත් එයා කියයි මේ ඇඳුමට මම ආශා නිසා අඳිනවා කියලා. ශීත උෂ්ණ කතාව අතහැර කෙනෙක් ඇඳුමකට ආශාවෙන් එය අඳීනවානම් ඒ ආශාව තුළ තිබෙන්නේ කෙලෙස්. නමුත් ඇඳුමක් ඇන්දා කියලා පවු සිදුවන්නේ නැහැ. ඒ අඳින ඇදුමේ විලාසිතාව අනුව තව කෙනෙකුගේ සිතේ කෙලෙස් ඇති වෙනවා නම් ඒ තුළින් යම් පවක් සිදු වෙනවා. මෙය විලාසිතා තුළට පමණක් සීමා වූවක් නොවේ. කෑම බීම කනවිට වුවත් එසේ කෙලෙස් ඇති විය හැකියි.

මනුෂ්‍යයන්ට ජීවත්වීමට මූලිකම උපකාරි වන උපකාරක ධර්ම හතරක් තිබෙනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස. ගිහි අයට ඇඳුම් පැළඳුම්, ආහාර, නිවාස, බෙහෙත් ආදිය. තථාගතයන් වහන්සේ ධර්මයේ දී ස්වාමින් වහන්සේලාට පෙන්වා දෙනවා කෙලෙස් පහළ නොවන විදිහට සෑම දෙයක්ම පරිහරණය කරන්න කියලා. ගිහි අයටත් ඒක පොදු යි. නමුත් බොහෝ අය නුවණින් විමසා බලා මේක කරන්නේ නැති නිසා කෙලෙස් පහල කර ගන්නවා.

අප කෑම කනවිටත් කෙලෙස් පහල වෙනවා. ප්‍රණීතව ආහාරයක් අනුභව කරන විට රස තෘෂ්ණාව ඇති වෙනවා. ඒ රසයට තෘප්තිමත් වෙනවා. තව ව්‍යාංජනයක ලුණු ටිකක් වැඩි නම් ඒ සමඟම ද්වේශය ඇති කර ගන්නවා. එය පිළියෙල කළ පුද්ගලයාට පවා බැණ වදිනවා. ඊළඟට මාන්නයත් ඇතිවනවා. අපි කන්නේ මේ මේ කෑම අනෙක් අයට මේ කෑම නැහැ කියලා තමා තුළ මානයක් ඇති වෙනවා. මේ තමා කෑම කන්න ගියාම අපේ සිතේ ඇතිවන කෙලෙස්.

එනිසා සාමාන්‍ය ලෝකයේ අප ජීවත්වන විට සිහියෙන් සැලකිල්ලෙන් නො සිටියොත් අප සිතට හානි වෙන්න පුළුවන්. එතකොට විලාසිතා කිරීමේදී පමණක් නොවේ මූලික අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමේදී පවා සිහියෙන් කටයුතු නො කළහොත් කෙලෙස් පහළ වෙනවා. හැබැයි ඒ කෙලෙස් විපාකදායි කර්ම, පාප කර්ම බවට පත්වන්නේ නැහැ. එහෙම කෙලෙස් බවට පත්වෙන්නේ ඒ ඇති වූ ක්ලේශය වැඩිදියුණු වන්නට ඉඩ දී එයම සිත සිතා සිටීම තුළින්.

එනිසා විසිතුරු කර ඇඳුමක් ඇන්දයි කියලා පාප කර්මයක් බවට පත් නොවුණත් සමහර අය විලාසිතා කරනවා පාප කර්ම ස්වභාවයෙන්. ඒ කොහොමද? දැන් අපේ සිතේ අකුසලයක් ඇතිවීම තුළින් සිතට හානි වුණා කියා ඒක පාප කර්මයක් වන්නේ නැහැ. පාප කර්මයක් බවට පත්වෙන්නේ ඔබ කරන විලාසිතාව තුළ තව කෙනෙකුගේ සිත කෙලෙසනවා නම් පමණයි. තව කෙනෙකුගේ සිත තුළ සරාගික සිතිවිලි, ද්වේශ සහගත සිතිවිලි ඇති කරනවා නම් ඒක පවක්.

අද සමාජයේ බණ කියනවිටත් කෙලෙස් ඇති වෙන්න පු‍්‍රළුවන්. බොහොම උද්ගීකරව තව කෙනෙකුගේ ද්වේෂය ඇවිස්සෙන ආකාරයට සමාජ අසාධාරණකම් පෙන්වමින් බණ කියනවා. ඉතින් බණ අහල සිත සනසා ගන්න ඕන. පිරිස බණ අහල ද්වේෂයෙන් නැගිටලා යනවා. එතකොට ඒ පිරිසගේ සිත සැනසිලා නැහැ. සිත වැනසිලා තිබෙන්නේ.

ඒ වගේ අපේ බාහිර ක්‍රියාකාරකම් තුළ තව කෙනෙකුගේ සිත කෙලෙසනවා නම් ඒක අකුසලයක් බවට පත්වෙනවා. තමා විලාසිතා කරන්නේ තමාගේ තිබෙන ආශාව පිරිමසා ගන්නට නම් ඒක අකුසලයක් පවක් නොවී තබා ගන්නට පුළුවන්. ඒ විලාසිතාව තුළ අනෙක් අයව ආකර්ශණය කරලා අනෙක් පිරිසගේ පින් කිලිටි කරන්න හැඟීමක් ඇති කිරීමට උදව් වුණොත් ඒ අය අමාරුවේ දැමීමේ පව සිදුවෙනවා.

භාවනා කරන කෙනෙකු නම් ඒ සංකර විලාසිතා ගැන සිතන්නට යන්නේ නැහැ. ඇඳුම් පැලඳුම් අඳිනවා. නමුත් විලාසිතා සිතන්නේ නැතිව තමාට ගැලපෙන දේ අඳිනවා. විලාසිතා කරන උදවිය මූලිකව බලාපොරොත්තු වන්නේ අනුන් සතුටු කරන්න. ‘ඔයාගේ මේ ඇඳුම හරි ලස්සනයි’ කියලා අහගන්න තමයි අප විලාසිතා කරන්නේ. ඇත්තටම කියනවා නම් පොදුවේ ගත්තාම මිනිස්සු ඇඳුම් අඳින්නේ තමන්ට නොවේ. ඇඳුම් අඳින්නේ අනුන්ට. බොහෝ වෙලාවට විලාසිතා කරන්න මූලික වන්නේ තමන්ගේ තෘප්තිය සඳහා නොව අනුන්ගේ වර්ණනා බලාපොරොත්තුවෙන්. ඒ විදිහට අනෙක් අයගේ සිත්වල ආශාවන් වෙනත් වෙනත් සිතිවිලි පහල කරන්නට පෙළෙඹනවා නම් එයින් පවක් වන්නට පුළුවන්.

නමුත් භාවනා කරන පුද්ගලයා තමාගේ සිත තුළත් අකුසල් අඩු කරගෙන අනෙක් අයගේ සිත්වලත් අකුසල් සිතිවිලි ඇති වීමට ඉඩ නොදී ඒ ගැනත් ඔහු නුවණින් කල්පනා කර කටයුතු කරනවා.

එනිසා බෞද්ධ ශ්‍රාවකයන් විදිහට සංකර විලාසිතා අපට, අපේ රටට, අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැතිබව වටහා ගෙන පවට බය හා ලජ්ජාව ඇතිකර ගනිමු .

තමන්ට ගැලපෙන තමාට සුදුසු විලාසිතාවක් තිබෙනවා නම් නුවණින් විමසා බලා එය කිරීම පමණයි අප කළයුත්තේ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: