Posted by: lrrp | March 19, 2012

හැඩ වැඩ වෙනකොට මට ඉවසන්න බෑ

මේ මිහිතලය මත ඉපිද සත්ත්වයන් අතර ජීවත්වන මිනිසාට හිමිවන්නේ සුවිශේෂ තැනකි. “මනං උස්සෝතීති මනුස්සෝ”, උසස් මනසක් ඇත්තේ මනුස්සයා ය. එසේ ම ශරීරය සිරස් අතට නැගී සිට හිස ඔසවා ගෙන සිටින සත්ත්වයා ද මනුස්සයා ය. දෙව් ලොව දෙවියන් අතර දෙවියෙකු ලෙස ඉපිද සිට පුණ්‍ය ශක්තිය පිරිහී නැවත මිනිස් ලොව ඉපදෙන විට ද ඒ දෙවියා මිනිස් ලොව උපදින්නේ ද බොහෝ දැහැමි බලාපොරොත්තු ඇතිවය.

එසේ දෙව් ලොව දිව්‍ය සැප විඳීමේ පුණ්‍ය කර්ම ශක්තිය හීන වන දෙවිවරුන් පැළඳි මල් පරවී යයි. දිව සළු කිළිටි පැහැ ගනී. ඒ අනුව ඔහු ඇසුරු කරන මිතුරු දෙවිවරු තම මිත්‍ර දෙවියා දෙව් ලොවෙන් චුත වී යෑමට ආසන්න බව දැන ගනිති. ඔවුන් ඔහු ආපසු දෙව් ලොවට ගෙන්වා ගැනීම හා ඔහුගේ යහපත පිණිස අවවාද කරති.

“ඉතෝ භෝ සුගතිං ගච්ඡ
මනුස්සානං සහාව්‍යතං
මනුස්ස භූතෝ සද්ධම්ම
ලභ සද්ධමනුත්තරං”
“භවත! යන්න සුගතියට. (මිනිස් ලොවට) මනුස්සයනට සහාය වෙන්න. (පරාර්ථයෙහි යෙදෙන්න.) මිනිස් ලොව සද්ධර්මය පවතී. ඒ උත්තරීතර සද්ධර්මය ලබන්න.” යැයි උපදෙස් දෙති

එහෙත් එසේ දෙව් ලොවක හෝ වෙනත් ස්ථානයක හෝ සිට පැමිණ මිනිස් ලොව උපත ලබන මිනිසා තණ්හාව නිසා උසස් වූ මනස කිළිටි කැර ගනී. කෙනෙක් කුසලයේ යෙදෙති. බොහෝ දෙනෙක් අකුසලයේ යෙදෙති. මෙසේ ජීවත්වන මිනිසාට මරණයෙන් පසු යෑමට දොරටු හතක් විවෘතව ඇත. ඒ බ්‍රහ්ම, දිව්‍ය, මනුෂ්‍ය, යන සුගතීන්හි හා නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර යන දුගතීන්හි උපත ලැබීමට සකස් වී ඇති දොරටුය. ඇත්ත වශයෙන් ම මේ දොරටු විවෘත කැර ගත්තේ තමන් ම ය.

“ගබ්භ මේකේ උප්පජ්ජන්තී
නිරයං පාප කම්මිනෝ
සග්ගං සුගතිනෝ යන්තී
පරිනිබ්බන්ති අනාසවා” (ධම්ම පදය)
එකෙක් මව් කුසේ උපදිත්. පව් කළ අය නිරයේ උපදිත්. පින් කළ අය දෙව් ලොව යත්. කෙලෙස් ආස්‍රව ප්‍රහීන කළ අය පිරිනිවන් පාති.

මිනිස් ලොව ජීවත්වන මිනිසා තවත් පුද්ගලයින් කෙරෙහි හා වෙනත් වස්තූන් කෙරෙහි තණ්හාව නිසා (ඇලීමෙන් හෝ ගැටීමෙන්) මිය ගොස් බහුල වශයෙන් ම පේ‍්‍රතාත්මයක ඉපැදීමට ඉඩ කඩ වැඩිය. මේ එවැනි සිද්ධියකි.

මහනුවර දිස්ත්‍රික්කයේ එක්තරා ගම්මානයක එක් නිවසක මෙවැනි පේ‍්‍රත බලවේගයක් ක්‍රියාත්මක වූ ආකාරය මාතලේ පඤ්ඤානන්ද හිමියෝ ප්‍රායෝගික අත්දැකීමක් ලෙස විස්තර කරති.

“මේ ගෙදර තරුණ දියණියක් සිටියා. ඇය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියේ. ඇයට නිතර ම හිසේ බර ගතිය, ක්ලාන්තය, කැරකිල්ල, ආහාර අරුචිය, අනුන් නුරුස්නා ගතිය ආදි රෝගයන්ගෙන් පෙළුණා. ඒ අසනීපයන්ට කොයි තරම් වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුව දායක බවක් දකින්නට ලැබුණේ ම නැහැ. නොකා නොබී සිටීම නිසා තවත් දුර්වල වුණා. වෛද්‍ය ප්‍රතිකාරවලින් ගුණයක් නොලැබුණු බැවින් ඇගේ වැඩිහිටියෝ ආධ්‍යාත්මීය පැත්තට අවධානය යොමු කළා.

මේ දියණියගේ වැඩිහිටියෝ ඇය නාගනේ පන්සලට කැඳවා ගෙන ආවා. ඇය මගේ ආරාමයට ඇතුළු වුණේ බොහෝ ම අකැමැත්තෙන් වගෙයි. වැඩිහිටි අය ඇගේ දෙපසින් අල්ලා ගෙන වගේ අරගෙන ආවා. ඇගේ ස්වරූපයෙන් හා ඉරියව්වලින් ම ඇයට පේ‍්‍රත දෝෂයක් ඇති බව මට වැටහුණා.

මම රත්නත්‍රයේ ගුණ සිහිපත් කොට පිරිත් සූත්‍ර පාඨයක් සජ්ඣායනා කරන විට මේ තරුණියගේ ශරීරය තුළ සිටි පේ‍්‍රතිය ක්‍රියාත්මක වුණා. සාමාන්‍යයෙන් රූප ස්වභාවයකින් යුක්ත දැරිය දැන් මහලු කාන්තාවකගේ ස්වභාවය ගත්තා.

“කව්ද? මේ දැරිවිගෙ ශරීරය තුළ රිංගා ගෙන හිරිහැර කරන්නේ?” යි පඤ්ඤානන්ද හිමියෝ ප්‍රශ්න කළහ.

“මම… මම… මම…” යැයි කියමින් ඇය වියරුවෙන් මෙන් අප්‍රසන්න පරිදි සිනාසෙන්නට වූවාය. කට දෙකෙළවරින් කෙළ පෙරෙන්නට විය.

“මම… මම… කියලා හරියන්නේ නෑ. නම කියන්න ඕනෑ.”

“ඇයි? මාව පන්නන්න ද හදන්නේ?”

“නෑ… නෑ… පන්නනවා නොවෙයි. තමුන්ගේ යහපතට කටයුතු කරන්නයි අපි හදන්නේ.”

“ඔය ඇත්තම ද හාමුදුරුවනේ?”

“ඇත්ත ම තමයි. ඉතින් නම කියමු බලන්න”

“මම… රං… මැණිකා…”

“කවුද? මේ රං මැණිකා කියන්නේ?”

“මේ කෙල්ල ගෙ අත්තම්මා”

“රං මැණිකාට මොනවාද වුවමනා?”

“මට බිත්තරයක් බැදලා ඕනෑ. තව පුළුටු ඕනෑ. වඩේ ඕනෑ. රොටියක් ඕනෑ පුච්චපු කරවල කෑල්ලක් එක්ක.”

“අපොයි අපොයි මේ අත්තම්මා පුළුටුවලට හරිම කෑදරේනෙ.”

එහෙමයි, එහෙමයි. මම ජීවත්වෙද්දි කරවල මස් මාළු බැඳුම්වලට ආසයිනෙ හාමුදුරුවනේ. මුන් ගෙදර ඒ කෑම හදාගෙන කනවා. මට දෙන්නේ නෑ. මමත් මුන් ඒ කෑම හදාගෙන කන්න හදන කොට ඒවා ලෙව කනවා.”

“පෙරේත කෑම”

“හීඞ… හීඞ… එහෙමයි එහෙමයි”

“ඉතින් වෙන මොනවාද වුවමනා?”

“තව ඕනෑ. බත්, කිරිබත්, පලතුරු”

“හොඳයි හොඳයි. අද හැන්දෑවට අපි රං මැණිකාට කෑම දෙන්නම්. එතකං මේ ශරීරෙන් ඉවත් වෙලා අර අපේ බෝධීන් වහන්සේ ළඟට වෙලා ඉන්න”

“අනේ! බෑ හාමුදුරුවනේ! එතැන පිං කරපු බල සම්පන්න අය ඉන්නවා. මාව පන්නා ගනිවි.”

“කොහොමද? ඒ බව දැන ගත්තේ?”

“ඇයි හාමුදුරුවනේ. මුන් මේ කෙල්ලව මෙහාට ගේන්න කතා වෙන කොට ම මුන්ට ඉස්සෙල්ලා මමයි මේ ස්ථානයට ආවේ. මම ඇවිදලා බැලුවා. බෝ මළුව ළඟ මහා බලසම්පන්න ශක්තීන් ක්‍රියාත්මක වෙනවා.”

“ඉතින් බෝධීන් වහන්සේ පෙනෙන මානයට වෙලා ඉන්න”

“හොඳමයි! ස්වාමීන් වහන්ස!”

එදා හැන්දෑවේ ඒ ඥාතීන් ලවා පේ‍්‍රතියට ආහාර පාන තටුවක් දුන්නා. ඒ වෙලාවේ මේ පේ‍්‍රතිය නැවත එම දියණියට ආවිශ්ට වී පළමුවෙන් ම ආහාර තටුවට කෙළ ගැහුවා. ඉතා ම අප්‍රසන්න පරිදි ඒ ආහාර කෑදරයෙන් කෑවා. එසේ කන ගමන් ඒ අසල සිටි දැරියගේ මවගේ ඇඟට කෙළ ගහන්නත් පටන් ගත්තා.

“මම තෝ ගෙදරදි කන බත් පිඟානටත් කෙළ වමාරනවා. ඒකයි ඔය තොගේ කටේ කබර හැදුණේ.” යි ද කීවා ය.

ඒ දැරියගේ මව පාසල් ගුරුවරියකි. ඇගේ මුඛය වටා සුදු කබර රෝගය හට ගෙන තිබුණි. ඒ පිළිබඳ පඤ්ඤානන්ද හිමියෝ ඇගෙන් විමසූහ.

“එහෙමයි! ස්වාමීන් වහන්ස! මම කෑම කන්න හැමදාම බත් පිඟාන අරගත්තහම බත් එකේ සෙවල ගතියක් දැනෙනවා. හරිම අපි‍්‍රය ගතියකුත් දැනෙනවා. ඒ වගේ ම මගේ බඩේ නොනවතින වේදනාවකුත් තියෙනවා. යටි බඩ ;ව්දනාවක්, තුනටියේ වේදනාවක්, හැමදාම මොනවා හරි වේදනාවක් තියෙනවා” යි කීවා ය.

මේ පේ‍්‍රතිය ආරූඪ වී සිය මවගේ බත් පිඟානට කෙළ වමාරන්නේ ඇයි දැයි එතැන සිටි ඇගේ බාල දියණිය පේ‍්‍රතියගෙන් ප්‍රශ්න කළාය.

“තොපේ අම්මට දැන් අවුරුදු පනස් ගාණක් වුණාට බලාපංකො රූපෙ හැටි. මට ඉරිසියාවෙ බෑ.” යි කියමින් නැවතත් පේ‍්‍රතිය ගුරුවරිය අමතා කියන්නට වූවාය.

“උඹට මතකද? උඹ ළඟදි දවසක් මගුල් ගෙදරක යන්න ලෑස්ති වුණා. උඹ හැඩ වැඩ වෙන කොට මට ඉවසා ගන්න බැරුව ගියා. මම තොගේ ඇඟ හීරුවා.”

ඒ ගැන ගුරුවරිය පඤ්ඤානන්ද හිමියන්ට නැවත විස්තර කළාය.

“හාමුදුරුවනේ! ඒ කතාව ඇත්ත. ඒ වැඩේ මෙයා කරපු දෙයක් බව දැනුයි දන්නේ. ඔය කියන දවසේ අපි මංගල උත්සවයකට යන්න සූදානම් වුණා. මම ඇඳුම් අඳින කොට මගේ ඇඟ කසන්න පටන් ගත්තා. ඇඟ පුරාම පළු දැම්මා. වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් වුණේ නෑ. ඇදුරෙක් ගෙන්නලා වතුර මතුරා සාත්තුවක් කළාමයි සනීප වුණේ” යි කීවා ය. මේ පේ‍්‍රතාත්මයේ ඉපදී සිටින කාන්තාව මිනිස් ජීවිතයේ සිටිය දී ඉතා විරූපී ශරීර ස්වභාවයකින් යුක්ත වූ බවත්, අනුන්ට ඊර්ෂ්‍යා කළ, අනුන්ට අපහාස කළ දුෂ්ට කාන්තාවක් බවත් ඒ ගම්වැසියෝ පවා පවසති.

මෙවැනි සිද්ධීන් පසු පස තවත් විශේෂ දෙයක් ක්‍රියාත්මක වේ. ඒ කර්ම බලවේගය යි, ලොව්තුරු බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයේ උන් වහන්සේ ගේ අග්‍රශ්‍රාවක, ධ්‍යාන බල පිළිබඳ අග්‍රස්ථායී මහ මුගලන් මහ රහතන් වහන්සේ බඩේ අමාරුවක් වැළඳී දින කීපයක් පෙළෙන්නට වූහ. ඒ ගැන නුවණින් බලන විට සුසී නම් මාර දිව්‍ය පුත්‍රයා උන් වහන්සේ ගේ කුසට රිංගා ගෙන පීඩා දෙන බව දුටහ. මුගලන් මහ රහතන් වහන්සේ ඊට හේතුව බලන්නේ කල්ප ගණනකට ඉහත සිද්ධියක් දැක වදාළහ.

“මාරය! මහ රහතුන්ට පීඩා කොට නිරාගත නොවෙව. මම ද මෙයින් කල්ප ගණනකට පෙර නුඹ මෙන් ම වසවර්ති මාර දිව්‍ය පුත්‍රයෙක් ව ඉපිද සිටියදී එක් රහතුන් වහන්සේ නමකගේ කුසට රිංගා උන් වහන්සේට පීඩා කළෙමි. ඒ පාපයේ ආදීනවයෙන් නිරා ගතව කල්පයක් දුක් වින්දෙමි. නුඹ ද දැන් ඒ පාපයේ යෙදී සිටී. මම තොප හඳුනා ගතිමි. දැන් තොප සැඟවී සිටින මා කුසින් ඉවතට එව. රහතුන්ට පීඩා කොට නිරාගත නොවෙව“ යි වදාළහ. සුසී මාර දිව්‍ය පුත්‍රයා නික්ම ලජ්ජාවට පත්ව සැඟවී ගියේය.

ඒ නිසා මේ ලැබූ උතුම් මිනිස් ආත්ම භවය සුබවාදීව ගත කළ යුතුය. සිත කය කුසල්හි පිහිටුවා කටයුතු කළ යුතුය. තමන් බාහිර අභ්‍යන්තරව පිරිසිදුව, තමන් ජීවත්වන පරිසරය ද පිරිසිදුව, ලෝභ, ද්වේෂ, මෝහයන්, පිළිබඳ හඳුනා ගෙන, යම් තරමකින් හෝ පාලනය කොට ජීවත්වන්නේ නම් මෙලොවත් පරලොවත් දෙක ම දියුණු කැර ගත හැකි ය.

පේ‍්‍රතිය ශරීර ගතව සිටි දියණිය හා ඇගේ පවුලේ අය පඤ්ඤානන්ද හිමියන් ගේ උපදෙස් පරිදි නිවසේ දින චර්යයාවන් හා ආහාර පාන පවා සුබවාදී පරිදි සකස් කැර ගත්හ. මස් මාළු බිත්තර කරවල ආදි පිළියෙන් වැළකී කුරුණෑගල, වදාකඩ, නාගනේ ශ්‍රී සීවලී විහාරයට පැමිණ නියමිත පිළිවෙත් වලට අනුව බෝධි පූජා පැවැත්වූහ. සත්බුදු පූජාවන් පවත්වා ආශීර්වාද ලබා ගත්හ. එයින් ම සුවපත් වූහ. මේ තත්ත්වයන් විමර්ශන කොට බලන විට මහ මුගලන් මහ රහතන් වහන්සේ ගේ කුස තුළට රිංගන්නට තරම් අමනුස්සයෝ සූදානම් නම්, එසේ පීඩාවට පත් කරයි නම්, අතීත සංසාරික පාප කර්ම විපාක හේතු කොට ගෙන ද, මේ ජීවිතයේ පැවැත්මේ සිදුවන යම් යම් අඩු පාඩු දුර්වලකම් ඇති ඔබටත් මටත් එවැනි බලපෑම් සිදු නොවේ යැයි සිතන්නේ කෙසේ ද? ඒ නිසා එවැනි රෝගාබාධයන් වැළඳී, අමනුස්ස ක්‍රියාකාරකම්වලට ගොදුරු වී දුක් විඳිනවාට වඩා බුද්ධ ධර්මයේ සඳහන් පරිදි යහපත් දිවි පැවැත්මකින් ඒවායෙන් වැළකීම ප්‍රඥා ගෝචරය.

කරණීය මෙත්ත සූත්‍රයේ ආනිසංස එකොළහක් දැක් වේ. මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති – දේවතා රක්ඛන්ති – මනුස්සයෝ පි‍්‍රය කරති. අමනුස්සයෝ පි‍්‍රය කරති. දේවතා රක්ඛන්ති, යනු එයින් ආනිසංස තුනකි. කරණීය මෙත්ත සූත්‍රය හැදෑරීමෙන් වැඩි විස්තර දත හැකිය.


Responses

  1. @මෙවැනි සිද්ධීන් පසු පස තවත් විශේෂ දෙයක් ක්‍රියාත්මක වේ. ඒ කර්ම බලවේගය යි, ලොව්තුරු බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයේ උන් වහන්සේ ගේ අග්‍රශ්‍රාවක, ධ්‍යාන බල පිළිබඳ අග්‍රස්ථායී මහ මුගලන් මහ රහතන් වහන්සේ බඩේ අමාරුවක් වැළඳී දින කීපයක් පෙළෙන්නට වූහ. ඒ ගැන නුවණින් බලන විට සුසී නම් මාර දිව්‍ය පුත්‍රයා උන් වහන්සේ ගේ කුසට රිංගා ගෙන පීඩා දෙන බව දුටහ. මුගලන් මහ රහතන් වහන්සේ ඊට හේතුව බලන්නේ කල්ප ගණනකට ඉහත සිද්ධියක් දැක වදාළහ.

    “මාරය! මහ රහතුන්ට පීඩා කොට නිරාගත නොවෙව. මම ද මෙයින් කල්ප ගණනකට පෙර නුඹ මෙන් ම වසවර්ති මාර දිව්‍ය පුත්‍රයෙක් ව ඉපිද සිටියදී එක් රහතුන් වහන්සේ නමකගේ කුසට රිංගා උන් වහන්සේට පීඩා කළෙමි. ඒ පාපයේ ආදීනවයෙන් නිරා ගතව කල්පයක් දුක් වින්දෙමි. නුඹ ද දැන් ඒ පාපයේ යෙදී සිටී. මම තොප හඳුනා ගතිමි. දැන් තොප සැඟවී සිටින මා කුසින් ඉවතට එව. රහතුන්ට පීඩා කොට නිරාගත නොවෙව“ යි වදාළහ. සුසී මාර දිව්‍ය පුත්‍රයා නික්ම ලජ්ජාවට පත්ව සැඟවී ගියේය.@

    මේ කොටස වැරදියි,
    කුසට ඇතුල් වුනේ දුසී මාරයා නෙවේ,
    වර්තමානයේ ඉන්න මාරයා,
    ඒ දුසී මාරයාගේ සහෝදරියගේ පුතෙක්,
    දුසී මාරයාව සිට නිරයේ ගියේ මුගලන් මහරහතන් වහන්සේ අතීත භවයක.

  2. මේවැනි ලිපි පල කරනවට ඔබ තුමාට පිං බොහෙම පිං


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: