“අකුසල් ඇතිවීමට සිත මුල් වෙයි. කිලිටි වූ සිතින් ක්රියා කළ තැනැත්තා පසුපස්සේ දුක ලුහුබඳී”
මනෝ පුබ්බ්ඞගමා ධම්මා
මනෝ සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා,
තතෝ නං දුක්ඛ මන්වෙති
චක්කං’ව වහතෝ පදං
අදහස : අකුසල් දහම් වලට සිත මුල් වෙයි.කිළිටි සිතින් යමක් කීවත් කලත් සිතුවත් ඒ සියල්ල අකුසල් ය. එයින් ඔහු පසුපස දුක ලුහුබඳී. ගැල බැඳි ගොණු පසු පස යන රියසක මෙනි.
නිධාන කථාව :
දඹදිව සැවැත් නුවර ඉසුරුමත් කුලයෙක පාලිත නම් කෙළෙඹියෙක් (පවුල් කාරයෙක්) විය.සැපතින් වැඩී යසසින් දියුණුවූ ඒ කෙළෙඹියා සම්බුදු රදුන් වැඳීම් පිදීම් සඳහා දෙවුරම් වෙහෙරට රස බොජුන් හා මල් සුවඳ රැගෙන නිතොර යනෙන බොහෝ උවසු උවැසියන් දැක සතොස්ව, ඔවුන් සමඟ වෙහෙරට පැමිණියේ බුදුරදුන්ගෙන් දහම් අසා පැහැදුණේය.ඔහුගේ සැදැහැ සිත මොනවට දියුණු වූයේය. සසර දුක දැක කලකිරී වස්තුකාම ක්ලේශකාමයන්හි ඇලීම් හැර මල්ණුවන්ට සියළු ඉසුරු පවරා දී සැදැහැ සිතින් පැවිදි විය.
කල් වයස් ඉකුත්ව පැවිදි බව ලත් හෙයින් දහම් ඉගෙණීම (ග්රන්ථධූර ) අතහැර විදසුන් (විදර්ශනාධූර ) වැඩුමට එතුමාගේ සිත යොමු විය. මහණ දම් මුදුන් පමුණුවා ගැනීම සඳහා නො නිදාම විදසුන් භාවනා වඩා ඇස් රෝගයකින් බලවත් සේ පෙළුනේය. ඇස්වලට බෙහෙත් කරවා ගැනුමට නො සිතා වෙදැදුරුගේ නියමයන්ද නො සලකා හැරියේය. භාවනාවට පමාවීමට නොකැමැත්තේ ඇස් ගැන කිසි සැලකීමක් ද නැතිව භාවනාවේ ම සිත ඇලවීය. ඒ නිසා රහත් ඵලයට පැමිණීමත් ඇස් අන්ධවීමත් එකවරම සිදුවිය. පසුව උන්වහන්සේ චක්ඛුපාල නම් වූහ.
පෙර අත් බවෙක ඒ තෙරණුවෝ ඉතා සමත් වෙදැදුරෙක් වූහ. එකල ඇස් රෝගයකින් දැඩිව පෙළෙන ගැහැණියක් ඒ වෙදැදුරු ලවා ඇස්වලට බෙහෙත් කරවා ගත්තීය. මසුරුවූ ඕ ලෙඩේ සුවවීත් කිසිවක් නොදෙන රිසියෙන් සුව නොවූ බැව් සැලකොට වෙදැදුරා රැවැටූහ. ගැහැණියක වීත් කළ ඇවිටිලි සහිත රැවටිලි ගතිය වෙදුට හැඟුණේය. යළි වෙදැදුරු ද්වේෂ සිතින් වැඩි සුවය පිණිස යැයි පවසා විෂ යෙදූ බෙහෙතක් දී ඒ ගැහැණිය ගේ දෙ ඇස් ම අන්ධ කළේය. මේ අවසන් අත්බැව්හි ද ඒ කිලිටි කමේ විපාක දුණි. නොපසුබට ව විදසුන් වඩා රහත් ව දුක් කෙළවර කළත් ඔහුගේ ඇස් අන්ධවීමෙන් නොවැළකුනේය. එහි විපාක රිය බැඳි ගොනුගේ පසුපස යන රියසක දෙපය පෙළන්නාක් මෙන්, එකල චක්ඛුපාල තෙරුන් පසුපස විපාක ලුහුබැඳ ආ සැටි බුදුරජාණන්වහන්සේ වදාළ සේක.
Leave a Reply