Posted by: lrrp | March 20, 2012

අපේ ජාතක පොතේ නැති ජාතක කථා

අපේ පන්සිය පනස් ජාතක පොත ලියැවී ඇත්තේ පාලි ජාතකට්ඨකථාව සිංහලට නැඟීමෙනි. බුද්ධඝෝෂ හිමිපාණන් එකී ජාතක අටුවාව ලීවේ ගාථා සත්දහසකින් පමණ සමන්විත ජාතක පාළිය ඔස්සේ ය. ජාතක පාළිය යනු සූත්‍ර පිටකයේ බුද්දක නිකායේ සිව් වැනි කොට්ඨාසය යි.

පන්සියපනස් ජාතකය යනුවෙන් හැඳින්වුවද මේ කෘතියට ඇතුළත්ව ඇත්තේ ජාතක කථා පන්සිය හතළිස්හතක් පමණි. ජාතකට්ඨකථාවේ එන්නේ ද එපමණකි. මෙවැනි ඌනතාවක් තිබුණ ද තවත් බොහෝ ජාතක කථා බෞද්ධ සාහිත්‍යයේ වූ වග අසන්නට දකින්නට ඇත. ඉන්දියාවේ සංස්කෘත භාෂාවෙන් ලියැවී ඇති ‘ජාතකමාලාව‘ එයට මනා නිදසුනකි. ආර්යශූර පාදයන් විසින් ලියන ලද එහි ජාතක කථා තිස්හතරක් අන්තර්ගත වේ. එහෙත් එහි එන ජාතක කථා එකොළහක් ම අපේ ජාතක පොතේ දකින්නට නැත.

ඒවා නම් ව්‍යාඝී‍්‍ර ජාතකය, මෛත්‍රීබල ජාතකය, යාඥ ජාතකය, බ්‍රාහ්මණ ජාතකය, උම්මාදයන්හි ජාතකය, කුම්භ ජාතකය, අපුත්‍ර ජාතකය, මහාබෝධි ජාතකය, මහාකවි ජාතකය, බ්‍රහ්ම ජාතකය සහ හස්ති ජාතකයයි. මෙහි පළමුවෙන් ම එන ව්‍යාඝී‍්‍ර ජාතකය අපේ ජාතක පොතේ නැති වුව ද එය අප රටේ ඉතා ප්‍රචලිත ජාතක කථාවක් වූ වග පැහැදිලි ය. මන්දයත් ‘ඉක්මන් බුදුන් බුදු වුණා වේ’ යනුවෙන් ජනතාව අතර ප්‍රකට ප්‍රස්තාව පිරුළ නිර්මාණය වී ඇත්තේ ද මේ ජාතක කථාව ඇසුරෙන් වන බැවිනි. පොළොන්නරු සමයේ ලියැවුණු සසඳාවත නම් වූ අපේ පැරණි ගී කාව්‍යයෙහි ද මේ ජාතක කථා පුවත සැකෙවින් දැක්වේ. ඒ මෙලෙසිනි.

’සාදුකින් බොදුනැ – සිය සුතනුපන් කෙණෙහි

පැන වළමුව එ දෙතන – රැකියෙහි කො නො වලඟන’

මේ ජාතකයෙන් කියැවෙනුයේ බෝසතාණන් වහන්සේ බ්‍රාහ්මණ ගුරුවරයකුව ඉපිද සිටිය දී තම ඇඟ මස් දන් දී දානපාරමිතාව පිරූ පුවතකි. දිනක් ශිෂ්‍යයකු ද සමඟ වන මැදින් යමින් සිටි බෝසතාණෝ එක් ව්‍යාඝ ධේනුවක පැටවුන් වදා සාගින්නෙන් පීඩිත ව සිටිමින් වැදූ පැටවුන් කා දැමීමට සූදානම් ව සිටින අවස්ථාවක් දුටහ. ව්‍යාඝි‍්‍රයට කෑමට දීම පිණිස යමක්ගෙන ඒමට ශිෂ්‍යයා පිටත් කළ ද පසුව තමාගේ ඇඟ මස් ම දන් දෙමැයි සිතූ බෝසතාණෝ පහළට පැන සිය සිරුර දන් දුන්හ.

මේ ජාතක කථාව සියම් රටේ ලියැවී ඇති ‘ජනකාලමාලි’ නම් කෘතියේ ද සඳහන් වන අතර එහි පැවසෙන්නේ එය පුරාණ දීපංකර බුදුරදුන්ගේ කාලයට ද පෙර සිදු වූ පුවතක් බව යි. ගම්පොළ සමයයෙහි ලියැවුණු සද්ධර්මාලංකාරයෙහි ද මේ ජාතක කථා පුවත ඇතුළත් වනු දකින්නට පිළිවන. එහෙත් එය අපේ ජාතක පොතේ නැත.

ජාතකමාලාවේ එන මෛත්‍රීබල ජාතකයෙන් ප්‍රකාශ වනුයේ බෝසතාණන්ගේ මෛත්‍රී ගුණයේ බල මහිමය යි. ඕජෝහරණ නම් කුවේරයා විසින් තම රටින් නෙරපන ලද යක්ෂයන් පස් දෙනෙක් මෛත්‍රී බල නම් රාජාධිරාජයාගේ රාජ්‍යයට පැමිණියහ. තමන්ට භය වූ මිනිසුන් බිලි ගැනීමට ඔවුන් සැරසුණ ද ඒ රටේ කිසිවෙක් ඔවුන් දැක බිය නො වූහ. ඒ, රජුගේ මෛත්‍රී බලය ජනතාව අතර ද ප්‍රචලිත ව පැවති බැවිනි. අවසානයේ රජු තමාගේ ශරීරය යකුන්ට දානය කිරීමට කැමති වුව ද ඉන් බියට පත් යයක්කු ධාර්මික වූහ.

යඥ ජාතකයේ කියැවෙන්නේ රජ බවට පැමිණි බෝසතාණන්ගේ රාජ්‍යයේ බිලිපූජා දීම අවසන් කෙරුණු පුවතකි. එකල ඇති වූ නියංසායට පිළියමක් සේ සතුන් බිලි දීමේ යාගයක් පැවැත්වීමට පුරෝහිතයන් යෝජනා කළ විට රජු ප්‍රකාශ කළේ මිනිසුන් බිලි දෙන ‘පුරුෂවේඝ’ යාගයක් කළ යුතු බවත් දස අකුසල් කරන්නන් ඒ යාගයේ දී මරණයට පත් කළ යුතු බවත් ය. ඒ උපක්‍රමයෙන් ජනතාව අකුසල්වලින් මිදී ඒ අනුව වැසි වැස රට සරුසාර විය.

මෙවැනි ජාතක කථා පුවත් භාරත බෞද්ධ සාහිත්‍යයේ මෙන් ම මෙරට ද පැවති බැව් පෙනේ.

සීතාවක රාජ්‍ය සමයේ ලියැවී ඇති දහම්සොඬ කාව්‍යය එවැන්නකි. අලගියවන්න මුකවෙටිතුමා විසින් ලියන ලද මේ කෘතියට වස්තු වී ඇත්තේ ජජාතක කථාවක් වුණ ද එය ජාතක පොතේ නො එන්නකි. එහෙත් මේ පුවත බෝසත් චරිතයක් රැගත් ජාතක කථාවක් වග දහම් සොඬ කාව්‍යයේ පැහැදිලි ව පැවසේ.

’සොබමන් අප මහ බෝසත් ගුණ නදන
මෙලෙසින් පතයි බුදු සිරි සත වෙත මෙතින’
’ගැඹර ගුණැති අප මහ බෝසතා ය’
පවර අසිරිමත් බුදු බව පතා ය’

දහම් සොඬ ජාතක පුවත මුලින් ම සඳහන් වනු දැකිය හැක්කේ පාලි රසවාහිනියෙහි ය. එහි දහම්සොඬ වර්ගයේ පළමු කථාව මෙය යි. දඹදෙණි සමයේ පාලියෙන් ලියැවුණු රසවාහිනියට මුල් වී ඇත්තේ එයට පෙර ලියැවී තිබූ සිංහල ධර්ම ග්‍රන්ථයකි. රසවාහිනියෙන් ගත් දහම්සොඬ කථාව සද්ධර්මාලංකාරයෙහි සිංහලෙන් ලියැවී තිබේ.

එහිදී කතුවරයාණන් මෙය ජාතක කථාවක් වග අවධාරණය වන පරිදි කරුණු දක්වා තිබේ. ‘… කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ ත්‍රිවිධ ව්‍යවහතව වූ නොබෝ කාලයක් ගිය කල්හි… පාරමිතා සාගරයෙහි කිමිද ඇවිදුනා වූ අප මහ බෝසතාණෝ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජහුගේ අග මෙහෙසුන් බිසොව කුස පිළිසිඳ…’ යනුවෙන් ඒ තොරතුරු ප්‍රකාශ වේ. දහම්සොඬ ජාතකයෙන් කියැවෙන්නේද ඇඟ මස් දන් දී දාන පාරමිතාව පිරූ පුවතකි. දහම් ඇසීමේ පිපාසාවෙන් පෙළුණු බෝසතුන් දහම් අතුරුදන් ව පැවති ලෝකයේ යම් දහම් පදයන් පසතොත් ජීවිතය දානය කරමැයි රකුස් මුවට පැනීමේ කථා පුවතක් මෙහි අන්තර්ගත ය.

දෙමළ බෞද්ධ සාහිත්‍යයේ ආ ඇතැම් ජාතක කථා ගැන ද අසන්නට ලැබේ. මහනුවර සමයේ පද්‍යයට නැඟුණු මහා පදරංග ජාතකය එවැන්නකි. ‘මහා පදරංග ජාතකය වාගේ’ යනුවෙන් වූ ප්‍රස්තාව පිරුළක් පවා ජන ව්‍යවහාරයේ පවත්නා බැවින් ජනතාව යම් පමණකට හෝ මේ ජාතක කථාව ගැන දැන සිටි බව පැහැදිලි ය. මෙය බුදුරාජාණන් වහන්සේ විසින් දේශිත ජාතක කථාවක් බවත් දෙමළ භාෂාවෙන් ලියා තිබුණු බවත් කතුවරයා සඳහන් කර ඇත්තේ මෙලෙසිනි.

’අප බෝසත් පොරණ රජ කළ පුවත එපොරණ
දෙමළැදුරන් විසින ලියා දෙමළෙන් තිබූ බව දැන
අප මුනි පෙර කලෙක මහ පදරංග ජාතක
පැවසූ අම රසෙක අසවු වියතුනි නොවී වෙනසක’

කව් 1515 කින් සමන්විත දීර්ඝ වූත් සංකීර්ණ වූත් මහා පදරංග ජාතකයෙන් කියැවෙන්නේ මහා භාරත කථා පුවත ම බව පෙනේ. මෙහි බෝසතාණන් දහම් නැණ යනුවෙන් හැඳින්වුව ද අනෙකුත් බොහෝ නම් මහා භාරතයේ එන නම්වලට සමීප ව ම කියැවෙනු අසන්නට ලැබේ. වීම (= භීම), අරුච්චන (= අර්ජුන), සකාතේවන් (= සහදේව) යන නකුල යන නම්වලින් ඒ බව පැහැදිලි වේ.

දෙමළෙන් සිංහලට නැඟුණු තවත් ජාතක කථාවක් මහනුවර සමයේ දී පද්‍යයට නැගී තිබේ. ඒ හරිශ්චන්ද්‍ර කථා කාව්‍යය යි.

සත්‍යවාදී වූ හරිශ්චන්ද්‍ර රජුගේ අධිෂ්ඨානය බිඳිනුවස් යෙදුණු දුක් ඉවසා සත්‍යයෙහි පිහිටා කටයුතු කෙරුණු බෝසත් චරිතයක් රැගත් මේ කථාව දකුණු ඉන්දියාවේ ප්‍රචලිත එකකි. ‘පෙර දෙමළ බසයෙන – තිබූ මෙපුවත ගනිමින’ යැයි එකී මුල් කථාව ගැන කතුවරයා සඳහන් කර ඇත. තත්කාලයේ ලියැවී ඇති පද්මාවතී කතාව ද එවැනි ජාතක පුවතක් රැගත් කාව්‍යයකි. එය අවදාන කල්පලතා වැනි පැරණි භාරත ග්‍රන්ථවල ද සඳහන් වූ පසුව සද්ධර්මාලංකාරයෙහි මහාමන්ධාතු වර්ගයේ කථාවලට ඇතුළත් වූවකි. සද්ධර්මාලංකාරයේ ‘.. එකල අප මහ බෝසතාණෝ බමුණු මහසල් කුලයක ඉපිද කාමයෙහි ආදීනව දැක…’ යනුවෙන් එය ජාතක කථාවක් ම බව ප්‍රකට කෙරේ.

ජාතකමාලාවේ ආ උම්මදන්නී ජාතකය ද මේ කාලයේ සිංහල ගද්‍ය අනුවාදයකට නැගී තිබේ. මේ ජාතක කථාව අපේ ජාතක පොතේ නො එන අඩුව පුරවන රිසින් හේ කණුමුලේ ධම්මානන්ද නම් තෙරුන් වහන්සේ නමක විසින් ලියන ලද මේ කෘතිය මැනවින්අසා රස විඳිහ හැකි පරිදි ශබ්ද රසයෙන් අනූන ව ලියැවී තිබේ.

’ඉති බිසෝ ජාතකය’ ද අපේ ජාතක පොතේ නැති ජාතක කථාවකි. පණ්ඩිත පතිරාජ නමැති කවියෙකු විසින් පද්‍යයෙන් ලියන ලද මේ ජාතක කථාවෙන් කියැවෙනුයේ අප මහබෝසතාණන් දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබීමට ද පෙර ආත්මයක කථා පුවතකි. එහි දී බෝසතුන් ඉති නමැති බිසොවක ලෙස ස්ත්‍රී ජන්මයෙහි ඉපිද පිරිමි බව පතා පින් කළ අයුරු මෙයින් ප්‍රකට වේ. මෙය ද පසු කාලයක ඉන්දියාවෙන් පැමිණි මහායාන ජාතක කථාවක් වන්නට පිළිවන.

ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: