Posted by: lrrp | March 20, 2012

ප‍්‍රභාෂ්වරයි මේ සිත…

පින්වතුනි, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය මුණගැසීම අපි ලද ලොකු භාග්‍යයක්. ඒවගේම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මය අසන්නට ලැබීමත් අපේ වාසනාවක්. නමුත් අපි නොඉවසීමෙන් යුක්තව, නුවණ පාවිච්චි නොකර කටයුතු කළොත්, අපිට මේ ධර්මයෙන් ලොකු උපකාරයක් ලබාගන්ට තිබෙන අවස්ථාව මගහැරිලා යනවා.

ධර්මයේ හැසිරෙන්ට මහන්සි වන බොහෝ අයට තියෙන ගැටළුවක් තමයි හිතට යම් අකුසලයක් ආපුවාම ඒක අඳුනගන්ට බැරිව ඒ අකුසලයට යටවෙලා ගොදුරුවෙලා යාම. එයා අකුසලය අඳුරගන්න බැරි වීම නිසා කලබල වෙලා අනවශ්‍ය විදියට භය වෙනවා. අපි අකුසලය පවත්වන්ට භය වෙන්ට ඕන තමයි. නමුත් ඒක නොවෙයි සිද්ද වෙන්නේ. සිද්ධ වෙන්නේ,අකුසලය අඳුන ගන්ට බැරුව, අකුසල් වල ස්භාවය අඳුන ගන්ට බැරිව අනවශ්‍ය විදියට කළබල වීමයි. ඒ නිසා අකුසලය දුරුකර ගන්න තියෙන අවස්ථා මගහැරෙනවා.

ඒ නිසා අපි මේ අකුසල්වල ස්වභාවයත්,ඒවා හටගන්නා ආකාරයන් ගැනත්, ඒවා දුරු කළයුතු ආකාරයන් ගැනත් තේරුම් ගන්ට ඕනැ. එතකොට අපිට ඒවා දුරුකරගන්ට අවස්ථාවක් තියෙනවා.බොහෝ වෙලාවට අපේ සිතට රාගය ආවොත්, රාගය හිතේ තියෙන දෙයක් වගේ තමයි පේන්නේ.අපිට ඒ ස්භාවය හඳුනාගන්ට බෑ. ඒ නිසා අපි ඒකට භයවෙලා, යට වෙලා යනවා. නමුත් අපිට ඒ ස්භාවය වෙන් කරලා හඳුන ගන්ට පුළුවන් වෙන්ට ඕනැ. ඒ දක්ෂකම අපි ඇතිකර ගන්ට ඕනැ.

ඒ සඳහා අපි, අපේ සිතේ ස්වභාවය ගැන භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන ධර්මයන් පිළිබඳවත් දැනගත යුතු වෙනවා. ඒ වගේම ඒ ධර්මයන් පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්ටත් ඕනැ. අන්න ඒ විශ්වාසය මත සිතේ ඇතිවෙන අකුසලය හඳුනගන්ට අවස්ථාව, හැකියාව උපදිනවා. බුදුරජාණන් වහන්සේ අපට කියාදෙනවා, ”‍පභස්සරමිදං භික්ඛවේ, චිත්තං. තඤ්ච ඛෝ ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ඨන්ති”‍ පින්වත් මහණෙනි, මේ සිත ප‍‍්‍රභාෂ්වරයි. එනමුදු ආගන්තුක වූ උපක්ලේෂ වලින් තමයි මේ සිත කිලූටු වෙලා තියෙන්නේ”‍ කියල.

ඒ කියන්නේ සිතේ මූලික ස්වභාවය තමයි සිත පිරිසිදුයි, ප‍‍්‍රභාෂ්වරයි. නමුත් ආගන්තුක වූ දේවල් වලින් තමයි සිත කිලූටු වෙලා තියෙන්නේ. උපක්ලේශ කියලා කියන්නේ සිත කිලූටු කරන්න උපකාර වෙන දේවල් වලටයි. මේ සිත ආගන්තුක දේවල් වලින් කිලූටු වෙලා තියෙන්නේ කියල අපි දන්නෙ නෑ. අපි හිතන්නේ අකුසලය අභ්‍යන්තර දෙයක් කියල. අපිට කල්පනා වෙන්නේ මේ කෙලෙස් අභ්‍යන්තරව හටගත් දෙයක් කියලා. ඒ නිසා තමයි අපි කලබල වෙන්නේ. ඉතින් අපි මේ කාරණාව දැනගන්ට ඕනැ. ඒවගේම ඒ කාරණාව ගැන අපිට විශ්වාසයක් තියෙන්ටත් ඕනැ. එහෙනම් අපිට තිබිය යුතු මූලික විශ්වාසය මොකක්ද? මේ සිත ප‍‍්‍රභාෂ්වර එකක්. හැබැයි ආගන්තුකව පැමිණුන උපක්ලේශ වලින් තමයි කිලූටු වෙලා තියෙන්නේ, කියල. මේ දේ අපි පිළිනොගත්තොත් අපිට කවදාවත් මේ හිත පිරිසිදු කරගන්ට බෑ.

අපට හිතෙන්නේ මේ හිත අපිරිසිදුම එකක්. මූලික වශයෙන් අපිරිසිදුයි කියල තමයි හිතන්නේ. කවදාවත් පිරිසිදු කරගන්න පුළුවන් වෙයි කියලා අපට හිතන්නේ නෑ. නමුත් ඇත්ත නම්, සිතේ මූලික ස්වභාවය පිරිසිදු එකක්. නමුත් බාහිරින් ආපු උපක්ලේශ වලින් තමයි කිලිටි වෙලා යන්නේ. එහෙනම් ඒ උපක්ලේශ අභ්‍යන්තරව පවතින දෙයක්ද? නෑ. අභ්‍යන්තරයේ පවතින දෙයක් නොවෙයි. බාහිරින් තමයි පැමිණෙන්නේ. නමුත් සිත අභ්‍යන්තරයේම මේවා පවතිනවා වගේ තමයි අපට පේන්නේ. අපිට මේක හඳුන ගන්ට බෑ. ඒ නිසා හොඳ සිහියෙන්, හොඳ විමසීමෙන් මේ දෙස බැලූවොත් අපිට පුළුවන් මේක වෙන් කරල හඳුනගෙන ටිකෙන් ටික සිත පිරිසිදු කරගන්න.

අපි මේ මූලික කාරණය තේරුම් ගන්ට ඕනැ. මේ මූලික කාරණය අපි තේරුම් නොගත්තොත් යම් අකුසලයක් ආවොත් අපි භය වෙලා යනවා. භය වෙලා,කලබල වෙලා අපි බිඳවැටෙනවා. ඒ නිසා අපි “මේ සිතේ මූලික ස්වභාවය ප‍‍්‍රභාෂ්වරයි. හැබැයි මේ බාහිරින් ආපු කෙලෙස් නිසා කිලිටි වෙලා තියෙන්නේ” කියන මේ කාරණය අපි පිළිගත්තොත්, අපිට මේ සිත පිරිසිදු කරගන්ට අවස්ථාව උදාකරගන්ට පුළුවන් වෙනවා.

එතකොට බලන්න, බාහිරින් ආපු දේවලින් මේ සිත අපිරිසිදු වුනා නම්, සිත පිරිසිදු කරගන්ට කැමති කෙනා විසින් මොකක්ද කළ යුත්තේ? එයා බාහිරින් එන කිලිටි වළක්වන්ට කැමති වෙන්ට ඕන. ඒවගේම ඒ සඳහා කටයුතු කරන්ටත් ඕනැ. එයා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධර්මය පිළිගන්නවා,ඒ අවබෝධය අදහා ගන්නවා. ඒ නිසා එයා විමසන්න දක්ෂ කෙනෙක් බවට පත්වෙනවා.”මේ සිත ප‍‍්‍රභාෂ්වරයි.ආගන්තුකව පැමිණෙන උපක්ලේශ වලින් සිත කිලිටි වෙලා යනවා. මේක දිගින් දිගටම පැවතුනොත් තවත් කිලිටි වෙලා,කිලිටි වෙලා මේකෙ ගන්න දෙයක් නැතිව යනවා. විනාශ වෙලාම යනවා” කියල එයා කල්පනා කරනවා. ඊට පස්සේ අර ආගන්තුකව එන උපක්ලේෂ දුරුකිරීමේ කැමැත්තෙන් ඒ සදහා මහන්සි වෙනවා.

අපි, අපේ සිත පිරිසිදු කරගන්ට නම් ආගන්තුකව එන කිලිටි ටික, ඒ උපක්ලේශ ටික වළක්වන්ට ඕනැ. ඒවා වළක්වන්නේ නැතුව කවදාවත් මේ සිත පිරිසිදු කරන්ට බෑ. ඒක මේ වගේ දෙයක්. ඔන්න වතුර ටැංකියක් තියෙනවා. ඒ වතුර ටැංකිය අපිරිසිදු වෙලා. යම් කෙනෙක් ඉන්නවා මේක පිරිසිදු කරන්ට ඕනැ කියන අදහසින්. එතකොට මේ ගැන දන්න නුවණ තියන කෙනෙක් කියනවා,”මේකට පිටින් වතුර එන පාරක් තියෙනවා. ඒකෙන් තමයි මේ මඩ ජරාව ඔක්කොම එන්නේ” කියලා. නමුත් ඒක අපට පේන්නෙ නෑ. අපි ඒ වචනය පිළිගන්නේ නැතුව,ඒ මඩ වතුර පාර වහන්නෙ නැතුව බලනවා ටැංකිය සුද්ධ කරන්ට. කවදාවත් සුද්ධ කරගන්ට පුළුවන්ද? කවදාවත් සුද්ධ කරගන්ට බෑ. සුද්ධ කරන්ට මහන්සි වුනාට..වුනාට..බෑ. ඇයි..? අර කිලිටි එනවා. මඩ ටික එනවා. නමුත් ටැංකිය සුද්ධ කරන්න වුවමනා කෙනා අර කිව්ව පණිවිඩය පිළිඅරගෙන “ඇත්ත. කොහෙද තියෙන්නේ කිලිටි මඩ එන තැන” කියලා අහනවා. එතකොට නුවණ තියන කෙනා කියනවා “අර අහවල් තැනින් ඔය මඩ පාර එන්නේ”කියල. එතකොට ටැංකිය පිරිසිදු කරන්න කැමති කෙනා ඊළඟට මොකක්ද කරන්ට ඕනේ. ඒ මඩ පාර එන තැන වළක්වන්ට එයා මහන්සි වෙන්ට ඕනැ. ඇයි..? පිටින් මඩ එනවා නම්,මේක පිරිසිදු කරන්ට කැමති කෙනා විසින් මුලින්ම කළ යුත්තේ,ආගන්තුකව එන කිලිටි වළක්වන එකයි. අන්න ඒ වගේම තමයි,අපි හිත පිරිසිදු කරගන්ට කැමතියි නම්, අපි මුලින්ම කලයුතු වන්නේ සිත අපිරිසිදු වීම පිණිස ආගන්තුකව පැමිණෙන්නා වූ උපක්ලේශ හඳුනාගෙන අන්න ඒවා වළක්වාගැනීම පිණිස කටයුතු කිරීමයි.

එතකොට ආගන්තුකව උපක්ලේශයන් එන්නෙ කොහෙන්ද? ඇහෙන්, කණින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්. මේ තැන් වලින් තමයි සිතට මේවා ගලාගෙන එන්නේ. අන්න ඒක අපි තේරුම් අරගෙන ඇස, කණ, නාසය, දිව,ශරීරය කියන ආයතන ටික මූලික වශයෙන් සංවර කරගන්න ඕන. ඊට පස්සේ අපිට සිතේ තියෙන දේවල් සංවර කරගන්න ටිකෙන් ටික අවස්ථාවක් ලැබෙනවා.

ඇස, කණ, නාසය, දිව,ශරීරය මේවා බාහිර ලෝකයට විවෘත වෙලායි තියෙන්නේ. මේවායින් ගන්නා වූ ප‍‍්‍රිය උපදවන නිමිති ගැන අනුවණින් කල්පනා කර කර ඉන්න කොට සිත කෙලෙසිලා යනවා. ඉතින් ඒනිසා සිත පිරිසිදු කරගන්ට කැමති කෙනා, ආගන්තුකව හිතට ඇතුල් වෙන ප‍‍්‍රිය මනාප රූප ආදී දේවල්වල සටහන් හෝ අනු නිමිත්තක් හෝ නොගෙන ඉන්න, ඒ වගේම ඒවා මතක තියා නොගන්ට කැමති විය යුතුයි. අන්න එයා ඉන්ද්‍රියන් සංවර කරගන්න කැමති වෙනවා. අන්න එහෙම ඉන්ද්‍රියන් සංවර කරගන්ට කැමති වෙන කෙනා ඒ ඉන්ද්‍රිය සංවරය ඇති කරගැනීම පිණිස වෑයම් කරනවා. වීරිය කරනවා. සිත දැඩි කරගන්නවා “මං කොහොම හරි මේවා දමනය කරගන්ට ඕන”‍ කියලා. යම් කලකදි එයා ඉන්ද්‍රියන් දමනය කරගන්නවා.

අන්න එතකොට එයාගේ හිතේ රාගය ඇතිකරන, ද්වේෂය ඇති කරන නිමිති ටික ටික ටික නතර වෙන්ට පටන් ගන්නවා. කලකදි බාහිරින් එන නිමිති අත්හරින්ට එයාට පුළුවන්කම ලැබෙනවා. එතකොට බාහිරින් එන උපක්ලේශයන් මොකුත් එන්නෙ නෑ. එහෙම කලක් එනවා. අන්න එතකොට අභ්‍යන්තර වශයෙන් තියෙන කිලිටි ටික එයාට ටික ටික පිරිසිදු කරගන්ට අවස්ථාව උදාවෙනවා. ඉතින් මේවා එකපාරටම කරන්න අපට පුළුවන් දේවල් නොවෙයි. ඒ සඳහා අපි මුලින්ම මේ ධර්මය පිළිගන්ට ඕන. ඒ වගේම තමයි අපිට මූලික වශයෙන් හිත පිරිසිදු කරගැනීමට, පිරිසිදු සිතකින් වාසය කිරීමට බලවත් කැමැත්තක් තියෙන්ටත් ඕනැ. එසේ බලවත් කැමැත්තෙන් යුක්ත කෙනා ටිකෙන් ටික ටිකෙන් ටික බාහිරින් ආගන්තුකව මේ උපක්ලේශ එන දොරටු ටික සංවර කරගන්ට පුරුදු වෙනවා.

ඉතින් ඒ නිසා හිතට රාගයක් ආවා කියලා, එහෙම නැත්නම් තරහක් ආවා කියලා, එහෙම නැත්නම් ඉරිසියාවක් ආවා කියලා, ඒ වගේ දේවල්වලට යටවෙලා, කලබල වෙලා, කම්පා වෙලා, කලන්තෙ දාන්න එපා. හිතේ යම් අකුලයක් ආවොත් ඒක නිත්‍ය එකක් කියලා කල්පනා කරන්ට එපා. සාමාන්‍ය කෙනා ඒක නිත්‍යයයි කියලා තමයි කල්පනා කරන්නේ. එයා ඒ අකුසලයට භයවෙලා කලන්තෙ දානවා. එහෙම වෙන්න එපා. ඒක බාහිර දෙයක් විදිහට කල්පනා කරන්න. හිතේ යම් අකුසලයක් හටගත්තොත්, හිතේ අහවල් අකුසලය තියෙන්නේ කියලා තේරුම් අරගෙන ඒක පවත්වන්නේ නැතිව දුරුකරන්ට මහන්සි වෙන්න.

ඒ සඳහා මේ පින්වතුන් කවුරුත් භාග්‍යවතුන් වහන්සේ කියල දීලා තියෙන මේ සිත අපිරිසිදු වෙන විදිහ පිළිඅරගෙන, ඒ සිත පිරිසිදු කරගැනීම පිණිස බලවත් කැමැත්තක් උපදවාගෙන, ඒ හිත අපිරිසිදු කරන උපක්ලේශ එන දොරටු සංවර කරගන්න කැමති වෙන්න. ඒ සඳහා ඉන්ද්‍රිය සංවරය බලවත් කරගන්න කැමති වෙන්න. ටිකෙන් ටික තමයි මේ හැම එකක්ම පුරුදු කරගන්ට තියෙන්නේ. කලබලයට නෙවෙයි. අන්න ඒ විදිහට පුරුදු කරගත්තොත් අපිට යම් කලක මේ ධර්මයේ පිහිට, පිළිසරණ අත්වෙනවා කියන එක සිද්ධ වෙනවාමයි. ඒක සිද්ධ නොවී තියෙන්නෙ නෑ. අපි මේ පින්වතුන්ට ආශිර්වාද කරන්ට කැමතියි සියලූ‍ දෙනාටම ප‍්‍රභාෂ්වර වූ සිතක් උපදවා ගැනීමට භාග්‍ය උදාවේවා කියල.

නාවලපිටියේ අරියවංශ හිමි

(‘දිවයින බුදු මඟ’ ධර්ම සංග්‍රහයෙහි පළ වූ ලිපියක් ඇසුරෙනි.)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: