Posted by: lrrp | March 20, 2012

විරාගයෙන් සෞන්දර්යය විඳීමු

බුද්ධත්වයෙන් වසර දෙදහස් හයසියයක් ඉක්ම ගොස් එළැඹුණු ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරනු ලැබූ අසිරිමත් දින කිහිපය ගෙවී ගොස් ඇත. වෙසක් සඳ එළියේ නෙක දිශාවන්හි සැරසිලි නරඹමින් විඳි පුරා සරනා ජනී ජනයා තවමත් ඒ සැරසිලි පිළිබඳ ආනන්දයෙන් ම නොයෙක වර්ණනා කරනු ඇසේ.

වෙසක් කලාප වශයෙන් නම් කරන ලද ලේක්හවුස් වටරවුම, බෞද්ධාලෝක මාවත, ගංගාරාමය අතුරු සිදුරු නොමැතිව පසුගිය සති කිහිපය පුරා පිරී තිබුණේ මේ අසිරිමත් මංගල්‍යය වෙනුවෙන් බිහිවුණු නේක විධ කලා නිර්මාණයන් රසවිඳීමට සපැමිණි ජනයාගෙනි. රාත්‍රි දහය පසුවන විට දිවා කල තෝරතෝංචියක් නොමැතිව ජනාකීර්ණ වූ වීදි නිදි සුව විඳිනා වෙනත් දින මෙන් නොව සඳ එළියේ නැහැවෙමින් වෛවාරණ්‍ය විදුලි බුබුළු නිකුත් කරන නන්විධ පැහැයන්ගෙන් සැරසෙමින් වීදි සරණා ජනයා සිතට එක් කරන්නේ ප්‍රබෝධවත් ආනන්දයකි.

වුවන පුරා පැතිරී සොම්නස් සහගත හසරැලි, ප්‍රීති සන්ථව මුළු පරිසරය ම වෙළා ගනී. සඳවතිය ද වෙසක් සැරසිලි නරඹන ජනයාට සිය සොමි ගුණයෙන් කරුණා පෙරදැරි ව සංග්‍රහ කරනු පෙනේ.

මට මීට වසර විස්සකට පමණ පෙර අප වෙසක් විසිතුරු නැරඹූ ආකාරය සිහිවේ. එකල අද තරම් තාක්ෂණික සැරසිලි නොතිබුණ ද මෙකල මෙන් උත්සවශ්‍රීයෙන් ඇළලී ගිය අපූර්ව සුන්දර කාලයක් බව සිහිවේ. අප වෙසක් දිනයට සැරසෙන්නේ ඊට සති දෙකකටත් වැඩි කාලයක සිට ය. වැඩිමහල් සොයුරු සොයුරියන් සමඟින් අප නිවසට මඳක් ඔබ්බෙන් පිහිටි කුඩා කැලයට යන අපි බට කපා මිටි බැඳගෙන පැමිණෙන්නෙමු.

බට කපන්නට කැලයට යාම මතක් වනවිට පවා සොඳුරු සොම්නසක් සිතට නැඟෙනා බව නොරහසකි. කැලයට යාමේ අරමුණ බට කැපීම වුව ද වැඩිමල් සොයුරු සොයුරියන් බට කපනා අතරේ කුඩා අපි කැලය පීරමින් දං, බෝවිටියා, හිඹුටු සොයන්නෙමු. ඒවා ගෝනියකට දමා කැලයෙන් පිටතට රැගෙන එන්නේ කුඩා අප ය. බට පඳුරු අස්සේ දඟලා එහි බූව තැවරී ඇඟ හැමතැනම පළු දමයි. එහෙත් අපට ඒවා ගානක් නැත. කපාගෙන එන බට ශුද්ධ කොට මඳ දිනක් වේලෙන්නට තබන අප වෙසක් දිනට සතියකට පමණ පෙර සිට ම කූඩු තැනීමට පටන් ගන්නෙමු.

කූඩු තැනීමට ඇත්තේ ද තරඟයකි. වැඩි කූඩු ප්‍රමාණයක් තැනීම, විශාල ම කූඩුව තැනීම, නිර්මාණාත්මක ම කූඩුව තැනීම ආදිය හැර වෙන යමක් ඒ දිනවල අපේ සිතේ නැත. මුළු නිවසම වෙසක් දිනය වනවිට සැරසීම අපේ අරමුණයි. එහෙත් ඊට වසර විසි ගණනකට මෙහා අද සිටින දරුවන් අතරින් බොහොමයක් වෙසක් කූඩු හැදීමට නොදනී. බට යනු මොනවා දැයි දන්නා ළමුන් ඇත්තේ ද අතළොස්සකි. අද වෙසක් කූඩු හදන්නේ ඒවා විකුණා මුදල් සරි කරගන්නා පුද්ගලයන් පමණි. සැවොම කරන්නේ කඩයෙන් වෙසක් කූඩු රැගෙන නිවසේ එල්ලා ගැනීමයි. මේවා මෙසේ වන්නට බොහෝ හේතු කාරණා තිබුණ ද ඒ මඟින් අපට අහිමි වූයේ අපේ ළමා පරම්පරාවේ නිර්මාණාත්මක කුසලතා වීම ගැටලුවකි.

එකල අපි ද පියා සමඟින් වෙසක් බැලීමට යාමට නොඉවසිලිමත් වූ සැටි සිහිපත් වේ. ගාල්ලේ තිබුණු ලොකු ම වෙසක් තොරණ හදන්නේ මාළු වෙළෙඳ සලේ අනුග්‍රහයෙනි. තවත් සුවිසල් කූඩු රාශියක් ගාලු මුහුදු වෙරළ තීරයේ නාවුක හමුදාවෙන් ඉදි කරයි. කතුරු ඔන්චිල්ලා, මාරක ළිඳේ මෝටර් සයිකල් පැදීම, අපාය ආදී බොහෝ දේ සමනළ පාලම ක්‍රීඩාංගණයේ ඉදිවේ. ඉතින් වසරක් ගෙවෙන තෙක් වෙසක් නැරඹීමට යාමට පුල පුලා බලා සිටීම අරුමයක් ද? එකල වෙසක් බැලීමට කොළඹ ඒමේ සිහිනයක් මට තිබිණි. කාලය කෙතරම් අරුම දේ සිදුකර ඇති ද? අද මා පුල පුලා බලා සිටින්නේ ගමේ වෙසක් බැලීමට යාමට ය.

බුද්ධාලම්බන ප්‍රීතියෙන් සිත ඇළලී යන වෙසක් මංගල්‍යය බෞද්ධයන්ගේ නිරාමිස ප්‍රීතියක් ඉලක්ක කර ගත්තක් ද? එය හුදෙක් ආමිස පූජාවක් පමණක් ද? මිනිසුන් සිත් සනසා ගන්නේ සැරසිලි සාක්ෂාත් කරවන හරය පිළිබඳ අවබෝධයෙන් නොව, එහි විසිතුරු නෙක වර්ණ, හැඩතල දැකීමෙන් ද? බුදු දහමේ දැක්වෙන්නේ ඇලීමෙන් තොරව නෙත පිනවන රසඳුන් වැලඳ ගන්නා ලෙසයි. ඒ හරය පිළිබඳ ගැඹුරු කතිකාවක් සමාජයේ නිර්මාණය වී තිබේ ද? වෙසක් කූඩු, තොරණ, සැරසිලි ඈ නන්විධ නෙත පිනවන වස්තූන් පැවතීම අවශ්‍ය වුවත් එහි නොඇලී, නිකලෙස් සිතින් එහි සෞන්දර්යය විදීමේ සත්‍යාවබෝධය අපට තිබේ ද?

වෙසක් පුන් පොහෝ දින නෙක පැහැති සුගන්ධවත් පුෂ්පයන් කෙතරම් නම් බුදු සමිඳු දෙපාමුල පුද කෙරෙන්නට ඇත්ද? මලකට දිය හැකි ඉහළ ම ගෞරවය බුදුන් පාමුල පූජා කිරීම බව අප අත්තම්මා වරෙක මට පවසා ඇති අයුරු සිහිපත් වේ.

එකල මම බුදු සමිඳු පුදන්නට ලස්සන මල් නොකඩා සිටිනු දුටු විට ඇය මට එසේ පහදා දුන්නීය. අප මල් පිදිය යුත්තේ ඒ මල් බුදු හිමි පාමුල ස්වල්ප වේලාවකින් පරවී යන බව දැනගෙන නොවේද?

පූජේමි බුද්ධං කුසුමේන නේන…

මේ මල් සියල්ල තව මොහොතකින් හැකිළී, දුර්වර්ණ වී දුගන්ධවත් නොවන්නේ ද? මට නසන්ති සූත්‍රයේ දැක්වෙන පාලි ගාථා පාඨයක සිංහල අරුත සිහිපත් වේ.

නොවේ කාමය – ලොව සොඳුරු බව
සැබවින් ම කාමය – කිලුටකි මිනිස් සිතෙහිම
පවතියි එලෙසින් ම – ලොව ඒ සොඳුරු බව නම්
දනිති නුවණැති දන – එය කාමයෙන් තොර ව ම

 

අත්පත් කර ගැනීමේ අපේක්ෂාවෙන් තොරව වීතරාගී නිකලෙස් සිතින් මේ වෙසක් කලා නිර්මාණ දෙස බැලීම හැකිනම් එය මේ සම්බුද්ධත්ව ජයන්තියේ හරය නියමාකාර ව වටහා ගත්තා වනු ඇත. එසේ නැතිනම් අපට සිදුවන්නේ වික්ටර් රත්නායකයන් ගයන මේ සුමිහිරි ගීතය මෙන් නැවත නැවත මේ සංසාරයේ ගමන් කිරීමට ය.

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ

(සුමුදු චතුරාණි ජයවර්ධන)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: