Posted by: lrrp | May 28, 2012

චම්පිකවත් දකීවිද? ගම් පෙරළියෙන් පෙරළුනු පන්සල

හාත්පස පරිසරය දැඩි නිහැඬියාවක ගිලී ගොස්‌ය. කෙළින්කන්ද ප්‍රතාපවත් වන ලැහැබ සිප හමා එන සීතල සුළං රැළි මොහොතකට අපේ හදවත් සිසිල් කළේය. ක්‍ෂණයකින් නැවත හදවත් පත්තු වී ගියේ ඉදිරියෙන් පෙනෙන බිත්ති ඉරිතැලී ගිය පුංචි ගොඩනැගිල්ල දකින විටය. ඒ දුප්පත් පවුලක්‌ ජීවත් වන නිවසක්‌ නම් නොවේ. මේ බෞද්ධ රටේ තවත් එක්‌ විහාරස්‌ථානයක්‌ කීවොත් ඔබ පිළිගන්නේද? සැබෑවක්‌මය. ඒ පන්සලක්‌මය. කළුතර දිස්‌ත්‍රික්‌කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මාකෙළියඇල්ල ගම්මානයේ බෞද්ධ ජනතාව වැඳුම් පිදුම් කරන මාකෙළිය තපෝවන විහාරස්‌ථානය මෙයයි.

විහාරස්‌ථානයේ විහාරාධිපති අයගම විමලවංශ හිමියෝ ආවාස ගෙය දොරටුව අබියසට වී ඈත කඳු වළල්ල දෙසට නෙත් යොමු කර සිටිති. අපි උන්වහන්සේගේ දෙපා නමැද එකත්පසව සිට ගත්තෙමු. “දරුවනේ අපි ආවාසය තුළටම ගිහින්ම කතා කරමුද” තුරුපත් සෙල වෙන සිලි සිලි හඬ මැදින් උන්වහස්‌ගේ එසේ හඬ අවදි කළහ. උන්වහන්සේගේ ආරාධනාවත් සමග අපි ආවාස ගේ තුළට ගොඩ වීමු. ස්‌වාමීන් වහන්සේලා දෙනමකට වැඩ වාසය කිරීමට තරම් එහි ඉඩකඩක්‌ නොමැති සේය. එක්‌ යහනක්‌, පුටු දෙකක්‌ සහ කබඩ් කෑල්ලක්‌ පෙනෙන්නට තිබිණි. තවත් කිසිවක්‌ තැබීමට එහි ඉඩක්‌ ඉතුරු වී නැත. විහාරාධිපති හිමි අසුන්ගත් පුටුව අසලම අපිදු සීතල සිමෙන්ති පොළවට බර දුන්නෙමු. පුංචි ආවාස ගේ පුරා දිව ගිය මගේ දෙනෙත් වහලට සෙවිලි කර තිබෙන උළු බර දරා සිටින වට පරාල අතර නතර විණි. දෑසට පෙනුණු බොහොමයක්‌ පරාලවල වේ ගුල්ය. තවත් වැඩි කාලයක්‌ උළු බර දරා සිටීමට නොහැකි ලෙසටම ඒ පරාල වියපත් වී තිබිණි. එමෙන්ම වහලේ සිරුදු අතරින් ඉහළ අහස නොපෙනුනාමත් නොවේ.

දැන් අපි ඇවිද ගෙන ආ මේ බිම මීට වසර ගණනකට පෙර සුදෝ සුදු වැලි තලාවකින් හෙබි ශාන්ත පින් බිමකි. ධර්මශාලාවකින් ද, ස්‌වාමින් වහන්සේලාට වැඩ සිටීමට ආවාස ගෙයකින් සහ බුදු මැදුරකින් ද තපෝවන විහාරස්‌ථානය පොහොසත් වී තිබිණි. තවද මාකෙළිය ගම් දනව්වේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදෙන ධර්ම ගබඩාව ද එය විය. එහෙත් අද මේ පින් බිමේ ඇවිද ගිය අපිට එවැනි ගොඩනැඟිලි තිබුණු බවට සලකුණක්‌වත් දකින්නට නොලැබිණි. හිත් පිත් නැති බුල්ඩෝසරය විහාරස්‌ථානයේ සුදු වැලිතලාව දෙපලු කරගෙන කුකුළේ ගඟ ජල විදුලි බලාගාරයට යැමට අලුත් මං තැනුවේය. මහ පර්වත පුපුරුවා කඳු දෙපළු කළේය. කුඩු කරන පර්වතවල කැබැලි පන්සල් භූමිය පුරා විසිරී යමින් ධර්ම ශාලාව කැඩී බිඳී ගියේය. රියන් තුනහමාරක්‌ උස බුදු පිළිමය බිඳී එම ස්‌ථානය ද කුඩුපට්‌ටම් වී ගියේය. ස්‌වභාවධර්මයත් වෙනස්‌ කරමින් කළ මේ දැවැන්ත කුකුළේගඟ ව්‍යාපෘතිය නිසා පසුකාලීනව ප්‍රදේශයේ දේශගුණ විපර්යාසයන් පවා සිදු විය. ප්‍රදේශයේ ජල ගැලීම් නාය යැම්වලටත් එය ප්‍රධාන හේතුවක්‌ වූ බව දන්නෝ දනිති. මේ නාය යැම්වලින් තපෝවන විහාරස්‌ථානයේ ස්‌වාමීන් වහන්සේලාට සෙවණ දුන් ආවාසය ද රකුසු වෙස්‌ ගත් පස්‌ කන්දකට යට වී පොළවට සමතලා වී ගියේය.

“අවුරුදු දෙකක්‌ විතර අපි එක එක විහාරස්‌ථානවල ලැගුම් ගත්තා. එහෙම ඉන්නකොට තමයි ගමේ ශ්‍රීයාවතී උපාසිකාව සහ සෝමවතී උපාසිකාවගේ උපකාරයෙන් ගමේ දායකයන්ගේ ශ්‍රමයෙන් මේ පුංචි කාමර දෙක හදලා පූජා කළේ. එදා මේ පන්සලට දායකයෝ දෙසීයක්‌ විතර හිටියට අද ඉන්නෙ දායක පවුල් පහළොවක්‌ විතරයි.” උන්වහන්සේගේ වේදනාබර හඬ මගේ හදවත පසාරු කරගෙන යන්නාක්‌ සේ දැනේ. එමෙන්ම තපෝවන විහාරාධිපති අයගම විමලවංශ ස්‌වාමීන් වහන්සේ ගැන මාගේ සිතේ ඇතිවන්නේ ද අනුපමේය භක්‌තියකි. මන්ද තපෝවන විහාරස්‌ථානය බුල්ඩෝසරයට යට වී කුඩු වී ගියද, හිත් පිත් නැති උමතු පස්‌ කන්දකට යට වී වැඩ සිටි ආවාසය කැඩී බිඳී ගිය ද තපෝවන විහාරස්‌ථානයට නැවත ජීවය දීමට උන්වහන්සේ නොගන්නා උත්සාහයක්‌ නැති හෙයිනි.

මම මොහොතකට අසුන්ගෙන සිටි තැනින් නැගිට ආවාසයට යාබදව පිහිටි එකම කාමරයට එබිකම් කළෙමි. පොඩි හාමුදුරුවෝ ව්‍යංජනයක්‌ පිළියෙල කිරීමට කෙසෙල් කපමින් සිටිති. ලිප් ගල් තුනක්‌ මත බතක්‌ ඉදෙමින් ද තිබිණි. ඒ ස්‌වාමීන්වන්සේලා දෙනමගේ දහවල් දානය බවට සැක නැත. කොතරම් නම් අභාග්‍යසම්පන්නද? පුදුම නොවන්නෘ ශ්‍රී ලංකාව යනු ලොව පිරිසිදුම ථෙරවාදී බුදු දහමින් පෝෂිත එකම බෞද්ධ රාජ්‍ය බව ඇත්ත, එහෙත් දෙවේලට දන් වේලක්‌ නොලැබෙන මෙවැනි දුප්පත් පන්සල් මෙරට ඈත ගම්මානවල ඕනෑ තරම් තිබේ. ඒ ගැන අපි පසුව ලිපියකින් කතා කරමු. දැන් අපි මාකෙළිය තපෝවන විහාරාධිපති අයගම විමලවංශ හිමියන්ගේ හඬට නැවත සවන් දෙමු.

“මේ පන්සලට ඉස්‌සර කිව්වේ මානෙල්ගල්ලෙන කියලා. මම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලෙම තමයි නායක හාමුදුරුවෝ අසනීප වුණේ. නැවත මම විහාරස්‌ථානයට වැඩියා. මම මේ ගමට එනකොට ගමේ වැඩි පිරිසක්‌ අකුරු සාස්‌තරේ දන්නේ නැහැ. බුද්ධාගම කියන්නේ නමට විතරයි. මළ ගෙය, දාන ගෙය, පිරිත කරගන්නට හාමුදුරු නමක්‌ නැහැ. ගමේ දරුවන් කෙළින්කන්දෙ ඉස්‌කෝලෙට ගියේ සැතපුම් 3-4 ක්‌ කැලෑව මැදින් අඩි පාරක. ඉස්‌කෝලේ 7 වසරෙ ළමයකුටත් හරියට තමන්ගෙ නමවත් ලියාගන්න බැරි වුණා. ඇත්තටම මේ තත්ත්වය දැකලා මම කම්පා වුණා. ගමේ මිනිස්‌සු කිව්වා මට මාකෙළියෙ නතර වෙන්න කියලා. මම නතර වුණා. දරුවන්ට අකුරු ඉගැන්නුවා. ගමේ මිනිස්‌සු එකතු කරගෙන පාරවල් කැපුවා. මේ අතරතුර තමයි රොමානිස්‌ උපාසක මහත්තයා පන්සල දියුණු කරන්න කියලා ඉඩමක්‌ පූජා කළේ. ගමේ මිනිස්‌සුන්ගේ ශ්‍රමයෙන් ඒ ඉඩමේ බුදු මැඳුරක්‌, ධර්මශාලාවක්‌ සහ අලුත් ආවාස ගෙයක්‌ හැදුවා. 1994 වෙසක්‌ පුර පසළොස්‌වක දින තපෝවන විහාරස්‌ථානය නමින් අලුත් පන්සල ආරම්භ කළා. පැල්පොළ, මාකෙළිය, කොස්‌හේන, බටහේන, කොස්‌ගුලන, වැලදනහේන සහ කළුවලතැන්න ප්‍රදේශවල පවුල් දෙසීයක්‌ විතර පන්සලේ දායකයෝ වුණා. ඒ කාලේ මේ ගම් බොහෝම දුප්පත්. දැන් තමයි මේ ගම්මානවලට එළියක්‌ වැටිලා තියෙන්නෙ. ඒ වගේම මහත්තයෝ මේ ගම දිගු ඉතිහාසයක්‌ තියෙන ගමක්‌. වළගම්බා රඡ්ජුරුවෝ සැඟවිලා ඉඳගෙන සොලී ආක්‍රමණිකයාට විරුද්ධව ජනතාව සන්නද්ධ කළේ මේ ස්‌ථානයේ ඉඳගෙනලු.”

වන දුර්ග, ගිරි දුර්ග, ජල දුර්ගවලින් ස්‌වාභාවිකවම ආරක්‍ෂා වී ඇති මේ ප්‍රදේශයට කීර්තිමත් ඉතිහාසයක්‌ ද ඇත. පෘතුගීසීන්ගෙන් මව්බිම බේරාගැනීම් වස්‌ යුද සේනාධිපති වේධය කුමාරයා හෙවත් වීදියබණ්‌ඩාර යුද මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ ලෙස පාලින්දනුවර ප්‍රදේශය තෝරාගෙන සිටියේද එහෙයිනි. යුද බල කොටු ඉදිකරමින්, සේනාංක පුහුණු කොට පාලින්දනුවර තරුණ හදවත් ජාත්‍යාලයෙන් පුබුදුවා රට බේරාගැනීමේ අරගලයෙහි නිරතව සිටි වේධය කුමරු මේ සුන්දර පරිසරයට ද වශීකෘත වී සිටියේය.

විවේකී දිනවල තම භාර්යාව වූ සූර්ය දේවිය (සීතාවක මායාදුන්නේ රජුගේ දියණිය) සමග දිය කෙළියෙහි යෙදීමට ගම මැදින් කඩා හැලෙන දියඇල්ලට පැමිණීම වීදියබණ්‌ඩාර පුරුද්දක්‌ කරගෙන සිටියේය. දිනක්‌ මෙසේ දිය කෙළියෙහි යෙදී පාලින්දනුවර මාලිගය වෙත ආපසු යන විට සූර්ය දේවිය පැළඳගෙන ආ ස්‌වර්ණාභරණ දක්‌නට නොලැබිණි. “කුමරිය කෝ ඔබ පැළඳ සිටි ආභරණ” යෑයි වීදියබණ්‌ඩාර විමසුවේය. එවිට ඇයගේ මතකයට නැඟුනේ ආභරණ සියල්ල ඇල්ල අසල තබා දියට බැස්‌ස බවය. “ස්‌වාමීනිෘ ආභරණ ටික මා දිය කෙළිය ඇල්ලේ අමතක වෙලා” රාජපුරුෂයන් සමග නැවත දියඇල්ල ළඟට ගොස්‌ බලන විට දුටුවේ විශාල නාගයන් දෙදෙනකු මෙම අනර්ඝ රන් මුවා පළඳනාවන් ආරක්‍ෂා කරන අයුරුය. ස්‌වාමීනී මා දිය කෙළිය ඇල්ල යෑයි කී කතාව නිසා එදා සිට මෙම දිය ඇල්ල “මාකෙළිය ඇල්ල” යන නමින් ප්‍රසිද්ධ විය. මාකෙළිය ගම ඉතිහාසයට එකතු වූයේ එසේය. එහෙත් වර්තමානයේ නම් මාකෙළිය ලෝකයෙහි ප්‍රසිද්ධව ඇත්තේ මෙගාවොට්‌ අසූවක විදුලිය නිපදවන භූගත ජල විදුලි බලාගාරයත්, කුකුළේ ගඟ ව්‍යාපෘතියෙන් පසු ඉතිරි වූ අදාළ ගොඩනැඟිලි ආදිය නිසා බිහි වූ ජාත්‍යන්තර සාම සාධක හමුදා කඳවුර සේම කුකුළේ ගඟ නිවාඩු නිකේතනය නිසාය. එසේ නම් මේ නව පෙරළිය ඇති වූයේ කුකුළේ ගඟ ව්‍යාපෘතියත් සමග බව දැන් පැහැදිළිය. කුකුළේ ගඟ ව්‍යාපෘතියත් සමග ප්‍රදේශය ද දියුණු විය. හරි හැටි වාහනයක්‌ ධාවනය කිරීමට නොහැකිව තිබූ මාර්ග පුළුල් කාපට්‌ මර්ග බවට පත් විය. නිවාඩු පාඩුවේ මාකෙළිය ඇල්ලේ බැස විනෝදවීමට මෙන්ම ඒ සුන්දර පරිසරයේ මිහිරියාව විඳගැනීමට වැල නොකැඩී දෙස්‌ විදෙස්‌ සංචාරකයෝ ද ඇදී ඒමට පටන් ගත්හ.

කුකුළේ ගඟ ජල විදුලි බලාගාරයෙන් දිනකට මෙගාවොට්‌ අසූවක්‌ පමණ මුදාහැරෙන අතර ඒ තුළින් රටේ කර්මාන්ත පණ ගැන් වී, නිවාස ද විදුලි ආලෝකයෙන් බැබළේ. “කුකුළේ ගම” රටේ සංවර්ධනයට ද එලෙසින් දායකත්වය ලබා දෙයි. එහෙත් ඒ දියුණුවට යටින් එක්‌ ෙ€දනීය කතාවක්‌ ද සැඟ වී ඇත. මෙය කාලයේ වැලිතලාවෙන් සැඟ වී යැමට ඉඩ දී තවත් බලා සිටීමට නොහැකිය. මෙගා වොට්‌ අසූවක විදුලි බලාගාරය වෙනුවෙන් මාකෙළිය ගමේ ජනතාවගේ අධ්‍යාත්මය වසාගෙන පැතිර ගිය අවිදු අඳුර නැති කරමින් ප්‍රඥවේ ආලෝකය විහිදුවාලූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා වැඩ සිටි තපෝවන විහාරස්‌ථානය අද ආවාස ගෙයකට පමණක්‌ සීමා වී ඇත. එය කොතරම් නම් ෙ€දනීය පුවතක්‌ ද? එහෙත් එය එසේ සිදු වී හමාරය.

ගමේ සංවර්ධනය වෙනුවෙන්, රටේ සංවර්ධනය වෙනුවෙන් ගමේ පන්සල එසේ කුඩු කර දැමීමට ඉඩ දී ඇත්තේ වෙනත් ස්‌ථානයක තපෝවන විහාරස්‌ථානය ඉදිකර දෙන බවට එවකට පැවති චන්ද්‍රිකා මැතිනියගේ පොදු පෙරමුණු රජයේ විදුලිබල ඇමැතිවරයා පොරොන්දු වූ හෙයිනි. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ යටතේ පැවති එක්‌සත් ජාතික පක්‍ෂයේ විදුලිබල ඇමැතිවරයා ද තපෝවන පන්සල අලුතින් ඉදිකර දෙන බවට පොරොන්දු විය. පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එවකට සිටි ප්‍රාදේශීය ලේකම්තුමියද අලුතින් පන්සල ඉදිකිරීමට ඉඩමක්‌ දෙන බවට පොරොන්දු විය. එසේ තට්‌ටුමාරුවට ආණ්‌ඩු කිහිපයක්‌ ආවා ගියේය. ඇමැති පුටු ද වෙනස්‌ විය. ප්‍රදේශය උඩු යටිකුරු කළ කුකුළේ ගඟ ව්‍යාපෘතිය ද අවසන් විය. ලංකාවේ දෙවැනි භූගත විදුලි බලාගාරය ලෙස එවකට පැවති එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් කුකුළේ ගඟ ජල විදුලි බලාගාරය ද විවෘත විය.

ඒ 2003 සැප්තැම්බර් 19 වැනිදාය. කාලය වේගයෙන් ගෙවී ගියේය. දැන් වසර නවයක්‌ ද ගෙවී ගොස්‌ හමාරය. කුකුළේගඟ ව්‍යාපෘතිය හෙයින් ඉඩම් අහිමි ඉඩම් හිමියන්ට පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වන්දි මුදල් ද ලබාදී ඇත. තවමත් වන්දි මුදල් ලබාදෙමින් ද සිටිති. එහෙත් තපෝවන විහාරස්‌ථානය වෙනුවෙන් කිසිදු වන්දි මුදලක්‌ තවම ලබා දී නැත. අලුත් භූමියක අංගසම්පූර්ණ පන්සලක්‌ ඉදිකර දෙන බවට පොරොන්දු වූ දේශපාලනඥයන් දැන් ඒ ගැන කතා කරන්නේද නැත. අහෝ දෙවියනිෘ මේ බෞද්ධ රටේ පන්සලට හිමි තැන මෙතැනද? දැන් කුකුළේගඟ ජල විදුලි බලාගාරයෙන් බිලියන ගණන් ආදායම් උපයා ඇති බවට සැකයක්‌ නැත. එසේ නම් ඒ අතිවිශාල ධනස්‌කන්ධයෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් තිබුණු පන්සල තිබුණු තත්ත්වයටවත් ඉදිකර දීමට සොච්චම් මුදලක්‌වත් වැය කිරීමට නොහැකි වන්නේ මන්ද?

“පවතින රජයේ විදුලිබල ඇමැති පාඨලී චම්පික අමාත්‍යතුමාට ද මේ විපත ගැන දැනුම් දුන්නා. පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් තරණි අනෝජා ගමගේ මහත්මිය ඇස්‌තමේන්තුවක්‌ ලබාගෙනත් තියෙනවා. බුදුමැඳුරක්‌, ආවාස ගෙයක්‌, ගිනිහල් ගෙය, වැසිකිළි පද්ධතිය ආදිය හදා දෙන බවට විදුලිබල අමාත්‍යාංශය කියල තියෙනවා. නමුත් තවමත් කවුරුවත් පන්සලට ආවේ නම් නැහැ.” උන්වහන්සේ ඒ දෙස උපෙක්‍ෂාවෙන් බලා සිටින අයුරු හැගුණද, කුමක්‌දෝ දුක්‌වේදනාවක්‌ එහිමි ළය මඬලෙ සිර වී තිබෙනු බව අපට දැනිණි.

මාකෙළිය තපෝවන විහාරස්‌ථානයට පාත්වුණු හෙණ ගෙඩිය ගැන කරුණු කරුණා සවිස්‌තරාත්මකව මෙරට බුද්ධ සාසන අමාත්‍යාංශට ද දැනුම් දී තිබේ. එහෙත් එය ලියුම් කඩදාසියක්‌ පමණක්‌ම විය. ඒ පිළිබඳ කිසිදු පියවරක්‌ ගැනීමට බුද්ධ ශාසන අමාත්‍යාංශයට තවමත් නොහැකි වී ඇත. එසේ වූයේ මන්දැයි කියා පුදුම විය යුතු ද නැත. මන්ද තපෝවන විහාරස්‌ථානයට වූ නස්‌පැත්තියට වගකිවයුත්තේ විදුලිබල අමාත්‍යාංශයයි. සිද්ධිය එසේ නම්, බුද්ධ ශාසන අමාත්‍යාංශයත් විදුලිබල අමාත්‍යාංශයත් දෙකම එකම ආණ්‌ඩුවකය. තට්‌ටුමාරුවට පත්වුණු සෑම රජයකම මේ අමාත්‍යාංශ දෙක එසේම තිබේ. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ නම් මේ අවනඩුව ගැන කාට කියම්ද? මෙරට බෞද්ධ ජනතාවගේ ඡන්දයේ ආනුභාවයෙන් අද විදුලිබල අමාත්‍ය ධුරය දරන චම්පික රණවක මහතාට (තමන්ට සෘජුවම අදාළ) මේ ප්‍රශ්නය නොපෙනේ නම් තව කාට මෙය පෙනේවිද? සංවර්ධනයේ නාමයෙන් දේශපාලනඥයන්ගේ බලපුළුවන්කාරකම් මැද විනාශ වී ගිය මාකෙළිය තපෝවන විහාරස්‌ථානය නැවත ස්‌ථාපිත කිරීමට බොදුනු ජනතාවනිෘ දැන් ඔබ අපත් අත්වැල් බැඳගත යුතු කාලය එළඹ ඇති බව අපි ඔබට කියමු.

පාලින්දනුවර – නන්දන කොට්‌ටේගොඩ


Responses

  1. I you guys going to rebuild this place, even if monks need financial assistant in monthly basis I can give support. please email me samssil11@yahoo.com

    may triple gem bless you!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: