Posted by: lrrp | June 11, 2012

මං හිටියෙ ඉස්සරහ දෙල් ගහේ එල්ලිලා

සෑම මිනිසෙකුගේ ම ශරීරයෙන් සියුම් කිරණක් නිකුත් වේ. අපේ පියවි ඇසට නොපෙනුණ ද එය සත්‍ය වශයෙන් සිදු වේ. මෙය මිනිස් ශරීරය වටා පවතින රැස් වළල්ලක් (ඒභපච ඕරා) ලෙස පවතී. යෝග භාවනා කොට කුණ්ඩලිනී ශක්තිය වැඩූ යෝගීනට මේ කිරණ ශක්තිය පෙනේ. මානසික රෝගීන්ගේ සිරුර වටා ඇති රශ්මිය රිදී පැහැයෙන් යුක්ත ය. භාවනායෝගීන් ගේ සිරුරෙන් නිකුත් වන්නේ ළා දුඹුරු කහ පැහැයකි. ආධ්‍යාත්මය දියුණු පුද්ගලයින්ගේ සුදු පැහැය මිශ්‍ර දම් පැහැයකි.

ආධ්‍යාත්මික ශක්තිය බොහෝ දියුණු අයගේ රැස් වළල්ල රත්රන් පැහැයෙන් යුක්තය. පිළිකා රෝගීන්ගේ ත්‍රිකෝණාකාර ව පිහිටා ඇති අතර එය ක්ෂ්‍ය වී යන කොළ පැහැයකි. අමනුෂ්‍ය දොස් ඇති අයගේ ස්වධිෂ්ඨාන චක්‍රය පළුදු වී ඇත. ලියුකේමියා රෝගීන්ගේ ළා තැඹිලි පැහැති රැස් කිරණක් නිකුත් වේ. ආධ්‍යාත්මීය ශක්තියෙන් රෝගීන් සුවපත් කරන අය රෝග හඳුනාගැනීමට මේ දැනුම ඉවහල් කැර ගනිති.

කුමාරිහාමි පනස් අට හැවිරිදි කාන්තාවකි. රදළ පෙළපතක උපන් ඇය ජීවත් වූයේ වලව්වක ය. ඇඟපත රුදාව, ආහාර අරුචිය හා නින්ද නොයෑම යන රෝගයන්ගෙන් පෙළුණු ඇය ශාරීරිකව දුර්වල වෙමින් සිටියාය. බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලැබුව ද කිසිදු සුවයක් නොලැබුවාය. ප්‍රතිකාර කළ වෛද්‍යවරු අවසානයට කීවේ “ඔබට අසනීපයක් නැත” යනුවෙනි. පරීක්ෂණවලින් ද කිසිදු රෝගයක් අනාවරණය නොවීය. අවුරුදු දෙකක් තිස්සේ කළ වෛද්‍ය ප්‍රතිකාර අතහැර ශාන්තිකර්ම අංශයට යොමු වූවාය. තොවිල් පවිල් ශාන්තිකර්ම ගණනාවක් සිදු කළ ද එයින් ද සුවපත් නොවීය. මෙය අමනුෂ්‍ය දෝෂයක් නොවන බවට ද ඇය ඒ නිසා ම නිගමනය කළා ය.

කරන්නට වෙනත් කිසිම දෙයක් නැති තැන පවුලේ සමීප හිතවතෙකුගේ බලකිරීම මත කුමාරිහාමි ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ආවාය. ස්ථානයට ඇතුළු වූ මොහොතේ ම ඇය ගැහෙන්නට වූවා ය. ඇගේ වාරය පැමිණි විට ගවේෂණ මධ්‍යස්ථානය තුළට ගොස් ගවේෂක වරයාගේ පරී්ක්ෂාවට ලක් වුවාය. ඇය තව තවත් වේගයෙන් වෙව්ලන්නට වූවාය.

”කව්ද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?”

”මම.. මම.. කිරිමැණිකා”

”කව්ද කිරිමැණිකා කියන්නේ?”

”මම තමයි වලවවේ වැඩ කළේ”

”තමුන් ජීවත්වුණේ කොහේද?”

”වලව්වට අල්ලපු ඉඩමේ”

”තමුන් වලව්වේ මොනවද කළේ?”

”ගෙදර දොරේ වැඩ. ඉවුම් පිහුම් වැඩ”

”වලව්වේ නතර වෙලා හිටියද?”

”නැහැ උදේට ඇවිත් හවසට ගෙදර යනවා”

”තමුන් මැරුණේ කවදාද?”

”අවුරුදු හයකට හතකට විතර කලින්”

”මැරිලා කොහේද ගියේ?”

”කොහේවත් ගියේ නෑ”

”එහෙනම්?”

”ගේ ඉස්සරහ දෙල්ගහේ එල්ලිලා හිටියා”

”ඉතින් මේ නෝනගෙ ඇඟට ආවේ මොකද?”

”මම මේ නෝනට ආදරෙයි”

”ඒ මොකද?”

”නෝනා පුංචි කාලෙ ඉඳලම දන්නවා. ආශ්‍රය කළා. නෝනා මට හොඳට සැලකුවා. ඒ නිසා ආදරෙයි.”

”ඉතින් දෙල්ගහේ ඉඳල නෝනගෙ ඇඟට ආවේ කොහොමද?”

”නෝනා මළගිය අයට පින් දෙනවා හැමදාම. ඒ වෙලාවට අපි දුවගෙන එනවා.”

”කව්ද අපි කියන්නේ?”

”නෝනගෙ අම්මයි, මල්ලියි, ලොකු හාමුයි, මමයි”

”කව්ද ලොකු හාමුයි කීවේ?”

”නෝනගෙ අම්මගෙ අම්මා. එයා බලගතුයි. අපි එයාට බයයි.”

”දුවගෙන එනවා කිව්වෙ කකුල් දෙකෙන්ද?”

”ම්..ම්..නෑ..නෑ.. ගාථා කියන වෙලාවට පින් දෙන බව දන්නවා. ඒක අපට දැනෙනවා. එතකොට ඒ ගැන හිතන කොට ම ඇදිලා එනවා”

”ඇඟට රිංගුවේ කොහොමද?”

”නෝනගෙ ඇඟට රිංගන්න ආසාවෙන් හිටියා. ඒත් රිංගන්න බැරුවයි හිටියේ. නෝනා පින්දහම් කරන නිසා නෝනත් බලගතුයි. නෝනගෙ ශරීරයෙන් රැස් වළල්ලක් පිටවෙනවා. ඒ රැස්වළල්ල බිඳගෙන ඇතුළට යන්න බෑ”

”ඉතින් රිංගුවේ කොහොමද?”

”දවසක් නෝනා අඬ අඬා හිටියා. දරුවෙකුගේ හිතුවක්කාර විවාහයක් නිසා වේදනාවෙන් අඬ අඬා හිටියා. අඬන කොට දුකෙන් ඉන්න කොට අර රැස්වළල්ල දුර්වල වුණා. අන්න ඒ වෙලාවෙ මම රිංගා ගත්තා. සිත දුර්වල වෙනකොට රැස් වළල්ලත් දුර්වලයි.”

”ඉතින් තමුන්ට මොනවද වුවමනා?”

”ම්.. ම්.. මට බැහැ.. මම යනවා”

”කොහෙද යන්නේ?”

”මට බැහැ. මහත්තයා දිගින් දිගටම අහනවා. මට අමාරුයි. මහන්සියි. පිපාසයි.”

”ඇයට මඳක් විවේක ගන්නට සැලැස්සුවේය. ඇය පැමිණි වාහනයේ තේ බොන දේවල්, කන බොන දේවල් තිබෙන බැව් පැවසූයෙන් ආහාරයක් ගෙන නැවත පැය බාගයකින් පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.

ඉන්පසු වෙනත් කෙනෙකු ගවේෂණයට ගත්තේය.

පැය බාගයකින් පසු කුමාරිහාමි නැවත කැඳවූවාය. එහිදී ඇගේ ශරීරය තුළ වූ භූතාත්මය නැවත ආවිශ්ට විය.

”දැන් කොහොමද?”

”හොඳයි. තේ බිව්වා.”

”ඒ කොහොමද?”

”නෝනා බනිස් කෙසෙල්ගෙඩි කන කොට මමත් කෑවා. ඊට වඩා රහයි ඩ්‍රැයිවර් කාපු දේවල්. එළවළු රොටියි, කට්ලටුයි. ඒවා බනිස්වලට වඩා රහයි. අපි තෙල් බැදුම්වලට කැමතිනෙ ඒවා කාලා කිරි බිව්වා.

”හොඳයි කිරිමැණිකා ඔය දැන් ඉන්නේ ප්‍රේත ආත්මයක. නෝනගෙ ඇඟට රිංගාගෙන ඉන්නකොට නෝනා අසනීප වෙනවා. ඒක මහා පාපයක්. ඒ පාපයෙන් කිරිමැණිකා තවත් අවුරුදු දහස් ගණනක් දුක් විඳින්න වෙනවා. නෝනා තව අවුරුදු තිහ හතළිහකින් මැරිලා යාවි. එතකොට කිරිමැණිකා කෙලින් ම නරකාදියට යනවා.”

”අපොයි! අපොයි”

”අපොයි! කියලා බේරෙන්න බෑ. ඔය නෝනගෙ ඇඟෙන් ඉවත් වෙලා කතරගම, අනුරාධපුරේ ශ්‍රී මහා බෝධිය වගේ තැනකට යන්න.”

”කතරගමට යන්න බෑ. එතැන තියෙන්නේ දේව බලය. එතැනට ගියා ම හරියට වැඩ පවරනවා. නිදහසක් නෑ. ශ්‍රී මහා බෝධිය ළඟ නම් හොඳයි. එතැන තියෙන්නේ බුදුබලය.”

”එතැන නරක අය නැද්ද?”

”නරක අයට ඇතුළු වෙන්න දෙන්නෙ නෑ. වටේ ඉන්න අය ගහනවා. අහවල් තැනට පලයන් කියලා ඈතට පන්නනවා. ඇතුළට යන්න දෙන්නෙ නෑ.”

”ඉතින් කිරිමැණිකාට එතැනට යන්න පුළුවන්ද?”

”පුළුවන්. ඒත් පින් මදි.”

”ඇයි කිරිමැණිකාගෙ ගෙදර අය පින්දුන්නෙ නැද්ද?”

”පිස්සුද පින් දෙන්න උන් පින් කරන්න එපායැ. මං මැරිලා හත්දවසෙයි තුන්මාසෙයි දානෙ දුන්නට පස්සෙ කිසි පිනක් දහමක් කරලා පින්දුන්නෙ නෑ. හත්දවසෙත්, තුන්මාසෙත් පින්කම්වලදි පුතයි ලේලියි සීනි බිස්කට් එකතුකළා මිසක් ශ්‍රද්ධාවෙන් බණ ඇහුවෙ නෑ. බණ ඉවරවුණු හැටියෙ පුතයි උගේ යාලුවොයි අරක්කුª බිව්වා. මාළු බැදලා කෑවා. වටේ අවට හිටිය පෙරේතයොත් ඇවිත් උන්ගෙ මාළු බැදුම කාලා අරක්කු බිව්වා.”

”පෙරේතයෝ අරක්කු බොන්නෙ කොහොමද?”

”අරක්තු බොන බේබද්දන්ගෙ බඩට රිංගලා පෙරේතයොත් බොනවා.”

”කිරි මැණිකගෙ ස්වාමිපුරුෂයා කොහේද ඉන්නේ?”

”දන්නෙ නෑ. ඒ මිනිහා ඉන්දැද්දි බිව්වම මිසක් පිනක් දහමක් කළේ නැහැ. අර පින්කම් දවස්වල නම් ඇවිත් පුතාගෙ බඩට රිංගගෙන බිබී හිටියා. බීලා ඉවර වෙලා බඩෙන් උගුර දිගේ එළියට එනකොට පුතා වමනෙ දැම්මා. ඊට වඩා පහත් තත්ත්වෙ පෙරේතයෝ ඒ වමනෙ කෑවා. එහෙම තමයි පෙරේතයන්ගෙ හැටි”

”ඉතින් ඒ පින්කම්වලදි කිරිමැණිකාට පින් ලැබුණාද?”

”පින් ගන්න පින් දෙන්න එපායැ. උන් කරන වැඩ දැක්කම හිත කිළිටි වෙනවා මිසක් සතුටු වෙන්නේ නෑ. හාමුදුරුවොත් බණ කිව්වා මිසක් මම කළ පින්කම් මතක් කළේ නෑ”

”මොනවද කිරිමැණිතා කළ පින්කම්?”

ඇයි මහත්තයා ගමේ පන්සල හදන්න මම ගමේ අනිත් ගෑනුත් එක්ක කොයිතරම් වැලි ඇද්ද? දහදිය පෙරාගෙන ගඩොල් ඇද්දද? කොයි තරමක් කොන්ක්‍රීට් ගල් කැඩුවද? හාමුදුරුවොත් ලොකු මුදලාලිලගෙ දහස් ගණන් දීපු අයගෙ නම් ගම් කියනවා මිසක් වෙහෙස මහන්සි වෙන දුප්පත් අපේ ගැන කියන්නෙ නැහැනෙ”

”දැන් කිරිමැණිකා හිටියට වඩා ටිකක් උසස් තත්ත්වයකට ගියා නේද?”

”ඔව්! මහත්තයාට ඒක පෙනුණ නේද? මට පන්සල මතක් වුණා. වෙහෙර විහාර හදන්න මහන්සි වුණ හැටි මතක් වෙච්ච ගමන් ඇතිවුණ සතුටට මම ටිකක් ඉහළ තත්ත්වෙකට ගියා”

”හොඳයි මම කුමාරිහාමිට කියන්නම් දානයක් දීලා කිරිමැණිකට පින්දෙන්න කියලා. ඒ අතරේ අනුරාධපුරේ ශ්‍රී මහා බෝධීන් වහන්සේටත්, කළුබණ්ඩාර දේවතාවුන් වහන්සේටත් පූජා පවත්වන්න කියලා. එතකොට කිරිමැණිකා මේ ශරීරයෙන් ඉවත් වෙලා අනුරාධපුරේට වෙලා ඉන්න. දානෙ දවසට ඇවිත් පින් අනුමෝදන් වෙලා ආපහු අනුරාධපුරේටම යන්න.”

”හොඳයි මහත්තයා. දානයක් දීලා පින් දෙනකොට මගේ නම කියලා සිහිපත් කරලා පැන් වඩලා පින් දෙන්න කියලා කුමාරිහාමිට කියන්න. පෙර පින් මතක් කරන කොට අපට විමාන පහළ වෙනවා. ඒවා කර්මානුරූපව සිදුවෙනවා.”

ගවේෂණ මධ්‍යස්ථානයෙන් දුන් උපදෙස් පරිදි කුමාරිහාමි අනුරාධපුරයට ගොස් ශ්‍රීී මහා බෝධීන් වහන්සේට කිරිආහාර සහිත පූජා පැවැත්වුහ. කළුදේවතා බණ්ඩාර දෙවියන්ට පිරිසුදු කැවිලි පලතුරු කිරි ආහාර සමඟ පුවක්මල් වැටකෙයියා මල් සහිතව පූජා පැවැත්වූහ. නැවත ගවේෂණ මධ්‍යස්ථානයට ආවාය. එදින ද කිරිමැණිකා ආවිශ්ට වූවාය.

”දැන් කොහොමද?”

”හොඳයි පූජාව හොඳට කළා. හැබැයි ශ්‍රී මහා බෝධියේ ගේට්ටුවෙන් ඇතුළු වෙන කොට නෝනාට පූජා වට්ටිය තනියම උස්සාගෙන යන්න බැරිවුණා. නෝනගෙ පුතත් පැත්තකින් කරගහල ඉස්සුවා.”

”ඇයි ඒ?”

”මහත්තයා මම විතරයි මෙහෙදි පිටත්වුණේ. එහේට ගිය හැටියෙ නෝනගෙ අම්මයි, මල්ලියි, ලොකු හාමුයි තුන්දෙනයි තව මම නාඳුනන අයයි පුජා වට්ටියේ වැටකෙයියා මලට නැග්ගා. ඉතින් බර වැඩි වුණා. නෝනා තනියම අරගෙන ගිය පූජා වට්ටිය එතැනදි බර වැඩිවුණා.”

”ලොකු හාමු සැරවැර කළේ නැද්ද?”

”නෑ.. නෑ.. එයාලටත් ඒ පින පෑදුණේ මම නිසානෙ”

”දැන් කිරිමැණිකා මෙතනට ආවේ කොතැන ඉඳලද?”

”ගමේ පන්සලේ නා ගහේ ඉඳලා. දානෙ දුන්නට පස්සෙ අනුරාධපුරේට යනවා. මට එහෙන් විමානයක් ලැබෙනවා.”

”කොහොමද දන්නේ?”

”ඒවා අපට දැනෙනවා. දැන් මම ඉස්සරට වඩා ඉහළයි නෙ! මහත්තයට පින් සිදුවෙනවා. වෙන ඇදුරො අපිව බැඳල හිරකරලා දානවා. ඔබතුමා භූතාත්මවලට පින් දෙවලා උසස් තත්ත්වයට පත් කරනවා.

ඒක විශාල කුසලයක්. මහත්තයාට මේවාට උදව් කරන අයටත් කුසලයක්.”

නියමිත දිනයේ දී සාංඝික දානයක් ද පිරිනමා පින් අනුමෝදන් කරන්නට යෙදුණි.

පැන්වඩා පින් දුන් සැණින් නැවතත් කිරිමැණිකා ආවිශ්ටව ධාතු කරඬුවටත්, සංඝයා වහන්සේටත් වැඳ නමස්කාර කළාය.

සාදු! සාදු! හඬ නඟමින් කුමාරිහාමිගේ ශරීරයෙන් ඉවත්ව ගියාය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: