Posted by: lrrp | June 19, 2012

අනේ මට අපායට යන්න බෑ

අතීතයේ සිටි දේශීය වෛද්‍යවරු රෝගියාගේ අතේ නාඩි අල්ලා කුසේ තියෙන රෝගය හඳුනාගත්හ. රෝගියාගේ නිවසට වෛද්‍යවරයා කැඳවාගෙන යන්නට පැමිණෙන පුද්ගලයාගේ දූත ලක්ෂණයෙන් රෝගියා සුව කළ හැකිද? සුව කළ නොහැකිදැයි හඳුනා ගත්හ. සමහර අවස්ථාවල දූතයාට කම්මුල් පහරක් ගසා “උඹ ගෙදර පලයං දැන් ලෙඩාට සනීප ඇති”යි කියා කම්මුල් පහරෙන් ලෙඩ සුව කළ වෛද්‍යවරු ද සිටියහ. ඒ දියුණු විද්‍යාවන් හා ගුප්ත ශාස්ත්‍ර ක්‍රම දැන් වැළලී ගොස් හමාරය.

පුද්ගලයකු නිර්මාණය වී ඇත්තේ නාම – රූප දෙකෙන් (සිත – කය) සමන්විත පංචස්කන්ධයෙනි. රූපස්කන්ධය එක් කොටසකි. වේදනා – සඤ්ඤා – සංඛාර – විඤ්ඤාන යන කොටස් හතරක් නාමස්කන්ධයට ඇත. බටහිර භෞතික විද්‍යාවට හසුවන්නේ රූපස්කන්ධය පමණි. නාමස්කන්ධයේ කොටස් භෞතික විද්‍යා ඇසට, යන්ත්‍ර සූත්‍රවලට අසු නොවේ. ආධ්‍යාත්මික වශයෙන් දියුණු කළ නුවණක් ඇති සමහර බටහිර වෛද්‍යවරු ද නැතුවා නොවේ. ඔවුන් රෝගියාට කීපවිටක් ප්‍රතිකාර කොට මේ ලෙඩේ මට නම් අහුවෙන්නේ නෑ තමන්ගේ ආගම ධර්මයේ හැටියට පිළිවෙතක් කර බලන්නැයි උපදෙස් දෙන අවස්ථා ද ඇත. ඒ ඉතාම කළාතුරකින් කෙනෙකි.

බොහෝ දෙනකු ගුප්ත ශාස්ත්‍ර ක්‍රම ආගමික පිළිවෙත් උපහාසයට ලක් කරති. මේ දෙපැත්ත ම සාධාරණව නොබලා අන්තවාදීව බටහිර වෛද්‍ය ක්‍රම පස්සේම දුව ගොස් අවසානයේ පස්ස බිම ඇනුණු විට ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ද කපා කොටාගෙන බැංකු ගිණුම ද ලෙල්ලටම බැස්ස විට, වෛද්‍යවරයා ද දැන් අපට කරන්න තියෙන දේවල් ඔක්කොම කරලා ඉවරයි ලෙඩා ඉල්ලන ඕනෑම දෙයක් කන්න බොන්න දෙන්න”යි අන්තිම තීන්දුව ප්‍රකාශ කළ විට, දෙලොව රත් වී දෙයියන් බුදුන් සිහි වී බෝගස් වටේ දුවන්නට පටන් ගනිති.

අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා වැඩක් නැත. ඊටත් වඩා හාස්‍යජනක දෙය නම් ලෙඩා මැරී ගෙයි මැද සාලයේ නම්බුකාර වටිනා පෙට්ටියක තබා ගෙන “මෙයාට චැනල් කළේ අසවල් ඩොක්ටර්” යැයි ඔහුගේ සුප්‍රසිද්ධ නාමය කියමින් හිත හදාගන්නට නම්බුව රැකගන්නට අහිංසක උත්සාහයක් දරති. ලෙඩා නතර කැර සිටි පුද්ගලික රෝහලේ නම පමණක් නොව අන්තිමට ලැබුණු බිලේ වටිනාකම ද කියති.

අදින් අවුරුදු දහසයකට පෙර ‘දිනමිණ’ පත්‍රයේ පළ වූ රොයිටර් වාර්තාවක් ඔබට සිහිපත් කරමි.

1996.12.17 දිනමිණ – බොස්ටන් නුවරදී

”ආගමික භක්තිය රෝග සුව කැර ගැනීමට බෙහෙවින් උපකාර වේ” යැයි පවුල් වෛද්‍යවරුන්ගේ විශ්වාසයයි. අධ්‍යයනයකින්.

ඇමෙරිකාවේ පවුල් වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ඔක්තෝබර් සැසිවාරයේ දී මේ අධ්‍යනයය පැවතියේ “යෙන් කොලොවිච් සහායකයෝ” නමැති සංවිධානයෙනි. පවුල් වෛද්‍යවරු 269 කින් සියයට 99ක් රෝග ව්‍යපසමනයෙහිලා ආගමික භක්තිය බෙහෙවින් උපකාර වන බව පිළිගත්හ.

වෛද්‍ය ප්‍රතිකාරවලින්ම නොව තමන් නොදුටු ගුප්ත හේතු සාධකවලින් රෝගීන් සුවය ලැබූ බව චිත්ත කාය වෛද්‍ය ආයතනයේ අධිපති වෛද්‍ය ඔර්බට් බෙන්සන් බොස්ටන් හි බෙත් ඊශ්රායල් දියෝකිසයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ දී කීය.

කෙනෙකුගේ සිත්හි ඇතිවන ප්‍රබල විශ්වාසය ඔහුගේ හෝ ඇගේ කාය චිත්ත සෞඛ්‍ය කෙරෙහි බොහෝ හිතකර ලෙස බලපාන බව මේ වෛද්‍යවරුන් ගේ විශ්වාසයයි. එබැවින් ඔවුන් දැන් එය සිය වෛද්‍ය ප්‍රතිකාර මාලාවේ අංගයක් කැර ගෙන ඇත. ආගමානුකූල නායකයන්ගේ පිහිට පතන රෝගීන් ඉක්මන් සුවය ලබන බව “ආගමික විශ්වාසය හා රෝග ව්‍යපසමනය” මැයෙන් හාර්වඩ් විද්‍යාලයේ පැවැති සම්මන්ත්‍රණයකදී වෛද්‍යවරු ප්‍රකාශ කළහ.

– රොයිටර්-

මේ කතාව ලියන්නේ දරු සම්පත් නොලැබී ලක්ෂ ගණන් වියදම් කරමින් වෙහෙසෙන සමහර තරුණ විවාහක අඹුසැමියන් වෙනුවෙනි.

මේ ජයවර්ධනපුර කෝට්ටේ ආසන්න ගමක පදිංචි තරුණ යුවළකි. සඳුන් හා දිලිනි විවාහ වී වසර දෙකකි. දිලිනි නිතර සෙම් රෝගවලින් පෙළෙන්නට වූවාය. ඇඟ සීතල කිරීම, විටින් විට ශරීරය ගැහෙන්නට වීම, අතපය වෙව්ලීම හා රුදාව ඇගේ රෝග ලක්ෂණයන් විය. මේ අතර දරු සම්පත් අහිමිවීම ද ඔවුන්ට මහත් වේදනාවක් ඇති කැරවීය.

දිලිනිත් සඳුනුත් විධායක ශ්‍රේණියේ රැකියාවල නියුතු වූවන් බැවින් මේ රෝගාබාධවලින් මිදීමට අත දිග හැර වියදම් කරන්නට පසුබට නොවූහ. වෛද්‍යවරුන් ගණනාවක් පසු පස ගිය ද ප්‍රතිකාරවලින් සුවයක් නොලද අතර ඔවුන් කීවේ දිලිනිට රෝගයක් නැති බවය.

බැරිම තැන ඉහළම පැළැන්තියේ විශේෂඥ වෛද්‍යවරයෙකු සොයා ගියේය. පරීක්ෂණ ගණනාවක් සිදු කොට ඒ පරීක්ෂණ වාර්තාවලින් අනාවරණය වූයේ දිලිනිගේ පැලෝපීය නාල හරහා වැඩි ඩිම්බ ප්‍රමාණයක් ගමන් කරන බැවින් ඒ නිසා එකක්වත් එයින් සාර්ථකව නොමෝරන බවය. ඒ නිසා ඩිම්බ එකක් දෙකක් ඉතුරු කොට වැඩි ඩිම්බ ප්‍රමාණ පුච්චා දමන වෛද්‍ය ප්‍රතිකර්ම පිළිවෙළක් ආරම්භ කළේය. ඒ සැත්කම සඳහා එක්තරා සඳුදා දිනයක පෞද්ගලික රෝහලකට ඇතුළත් කරන ලෙස නියම කැරිණි. ඔවුන් දෙදෙනා ඊට ද අවශ්‍ය කටයුතුවලට සූදානම් වෙමින් සිටියහ.

මේ අතර දිලිනිගේ මව්පියන් සිය දියණිය වෙනුවෙන් බෝධි පූජා පවත්වන්නට වූහ. ඒ දියණිය ගේ සැත්කම සාර්ථක වන ලෙසටය.

දිනපතා බෝමළුවට යන මේ මව්පියනට බෝමළුවේ දී හමු වූ කෙනෙකු සමඟ සතුටු සාමීචියේ යෙදෙන අතර ඔහු මොවුන්ගේ විස්තරය අසා ඔහු “පියවි ඇසින් ඔබ්බටට” ලිපි පෙළ ගැන තොරතුරු පැවසීය. මව්පියෝ වහාම ක්‍රියාත්මක වූහ.

දිලිනිගේ සැත්කමට තවත් දින දොළහක් පමණ තිබුණු බැවින් ද සැත්කම සඳහා නියමිත මුදල් අදාළ රෝහලට තැන්පත් කැර නොතිබුණු බැවින් ද මේ මව්පියන්ගේ උත්සාහයට ද එකඟ වූහ. සැත්කම් දිනය තව දෙසතියක් කල් ඉල්ලා ගත්තේය.

නියමිත දිනයේ මව්පියන් සමඟ මේ දෙදෙනා ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ගියහ. ගමන් ආරම්භ කළ මොහොතේ පටන් නොයෙක් බාධා මතු වුවද දිලිනි හා සඳුන් අතර නිකරුණේ මත ගැටුම් ඇති වුවද ඒවා ද ගුප්ත බලයකින් කරන දේවල් විය හැකි බැවින් ඉවසා කල්පනාවෙන් මේ ගමන යමුයි මේ මව්පියන් ඔවුන් දැනුවත් කළහ. දිලිනි ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ගිය මොහොතේ පටන් ඉකිබිඳින්නට වූවාය.

තම වාරය එළඹ මධ්‍යස්ථානයට ඇතුළු වන විටම විලාප දී හඬා වැළපෙන්නට විය.

”මොකද මොකද මේ?” ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

දිලිනි ඔහු දෙස රෞද්‍රව බැල්මක් හෙළුවාය.

”කව්ද මේ ශරීරය ඇතුලේ ඉන්නේ?”

”ඇයි අහන්නේ? මාව පන්නන්නද අහන්නේ?”

”කව්ද එහෙම එකක් දැන් කිව්වද?”

”මම දන්නවා ලැහැස්ති වෙනකොට”

”මේ.. මේ.. අපිට තමුන්ව පන්නා දමන්නත් පුළුවන්. දැඩි දඬුවම් ලබා දෙන්නත් පුළුවන්.

තමුන්ට ඔයිට වඩා හොඳ යහපතක් කර දෙන්නත් පුළුවන්. හොඳින් නම් හොඳින් නරකින් නම් නරකින්. ඒත් පුළුවන්. දැන් මට කියන්න ඕනෑ තමුන් කව්ද කියලා.”

”මං මේ දැරිවිට නරකක් කරන්න ආපු කෙනෙක් නොවෙයි දැරිවිට ආදරෙන් ඉන්න කෙනෙක්.”

”හරි.. හරී.. කව්ද මේ?”

”මම මේ දැරිවිගෙ ආච්චි, මේ ඉන්නේ මගේ රත්තරන් දුව“ යැයි දිලිනිගේ මවට ද අත දිගු කොට පෙන්නුවාය.

”ඇයි ඉතින් මේ ළමයගෙ ඇඟට රිංගාගෙන ඉන්නේ?”

”ආදරේට. ආදරේට. මේ දැරිවිට මම ආදරේ නිසා”

”ඇයි මේ ළමයට ලෙඩ කරන්නේ?”

”මහත්තයා මේ දැරිවි මං ජීවත්ව ඉන්දැද්දි මට හරි ආදරෙයි. දැනුත් ආදරෙයි. ඉතින් මමත් ආදරෙයි. මෙයාට දරුවෙක් ලැබෙනවට මම කැමති නෑ”

”ඇයි ආච්චි අම්මා අකැමැති මිණිබිරීට දරුවෙක් ලැබෙනවාට?”

”දිලිනිට දරුවෙක් ලැබුණොත් මට තියෙන ආදරේ නැතුව යාවි. මාව අමතක වේවි. ඒ හින්දා ම දිලිනිට දරුවෙක් පිළිසිඳ ගන්න එක වළක්වනවා. බාහිර කෙනෙකුට එන්න දෙන්නෙ නෑ. මම පන්නා ගන්නවා.”

”ආච්චි අපායෙ යන්නමයි හදන්නේ. ආච්චිට වෙනම අපායක් හදනවා අන්න එහේ” ගවේෂකවරයා හිනාවෙමින් පැවසීය.

”ඒ කොහොමද මම හතර පෝයට සිල් ගත්තානෙ”

”ඒ වුණාට මේ කරන්නේ ප්‍රාණගාත අපරාධයක්නෙ”

”ඒ කොහොමද?”

”කර්මානුරූපව උපදින්න එන ගන්ධබ්බයෙකුට උපදින්න නොදී වළක්වන එක අපරාධයක් නේන්නම්”

”හැබෑද?”

”හැබෑ තමයි අපි දැන් ආච්චිව පන්නනවා. ආච්චි එහෙනම් අපායට යන්න…”

”අනේ බෑ.. අනේ බෑ.. මට එහෙනම් දිව්‍ය ලෝකෙ යන්න ඕනෑ”

”ආච්චිගෙත් තියෙන්නේ පුදුම තණ්හාවක්. හොඳයි හොඳයි ආච්චිට එහෙනම් සාංඝික දානයක් දීලා පින්දෙන්න කියලා මම දිලිනිට කියන්නම්”

”ම්.. ම්… ඒත් එපා මහත්තයා දැරිවිට කරදර කරන්න එපා. ඔය හිඟන්නො හත් අට දෙනකුට කෑම ටිකක් දෙන්න කියන්න. හැබැයි කැකුළු බතුයි පරිප්පු, පොල් සම්බෝලයි ඒ කෑම පාර්සලේට අනිවාර්යයෙන්ම අඩංගු වෙන්න ඕනෑ”

”හොඳයි දැන් එහෙනම් මේ ශරීරයෙන් පිටවෙලා යන්න”

”හොඳයි එහෙනම් අර දානෙ හිඟන්නන්ට දෙන්න කියන්න. මම යනවා.”

”කොහේද දැන් යන්නෙ?”

”කෝට්ටෙ නා බෝධිය ළඟට යනවා. මම එතැන වතාවත්වලට උදව් වෙවී ඉන්නම්. දානෙ දීලා එතැනට ඇවිත් බෝධි පූජාවක් තියන්න කියන්න. එතකොට මම මීට වඩා ඉහළට යනවා. ඊට පස්සෙ බෙල්ලන්විල බෝධිය ළඟට යනවා.” යැයි කියමින් භූතාත්මය සිරුරෙන් ඉවත් විය.

”මගේ අම්මා ජීවත්ව ඉන්දැද්දිත් පරිප්පුයි පොල් සම්බෝලයි කන්න හරි ආසයි” යැයි දිලිනිගේ මව පැවසුවාය. පසු දින ම හිඟන්නන්ට දානය දී හැන්දෑවට බෝධි පූජාව තබන බව ද ඔව්හු පැවසූහ.

බෝධි පූජාව සමඟ පලතුරු පූජාවන් ද තබන ලෙස උපදෙස් ලැබුණි.

කෙසේ නමුත් නියමිත සැත්කමට දින තුනකට පෙර දිළිනිත් සඳුනුත් වෛද්‍යවරයා හමුවීමට ගියහ. ඔවුන් ගියේ එදිනම රෝහලට නියමිත ගාස්තු බැඳීමට ද සූදානම්වය.

වෛද්‍යවරයා දිලිනි පරීක්ෂා කළේය.

”ඕගොල්ලෝ ලකී. වයිෆ්ගෙ බඩේ දැන් බබෙක් පිළිසිඳලා සති හතරක් වෙනවා. දැන් ගෙදර යන්නැ”යි වෛද්‍යවරයා සිනාසෙමින් සඳුන් දෙස බලා කීවේය.

අද හුඟ දෙනකුට ගන්ධබ්බයන් පිළිබඳ හරි අවබෝධයක් නැත. බටහිර ක්‍රමයෙන් ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්නේ ද නැත.

අප මේ කතා ලියන්නේ නිකම්ම භූත කතා කියවන්නට නොවේ. සමාජය දැනුවත් කිරීමටය. නුවණැත්තන් සඳහා ය.


Responses

  1. “ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය” කොහෙද තියෙන්නෙ?

    • විශ්ව ප්‍රාණි ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය
      139 අලකේශ්වර පාර,
      පිටකෝට්ටේ,කොළඹ

      පහත සදහන් වෙබ් අඩවි වලින් වැඩි විස්තර ලබා ගැනීමට පුළුවනි.
      http://www.flickr.com/photos/vishwaprani/
      http://www.flickr.com/people/vishwaprani/

      • බොහෝම ස්තුතියි..🙂🙂

      • මේ ලිපි පෙලින් ගොඩාක් අයට පින පව තේරැම් යනවා පිං කරන්න පෙලබෙනවා ඒ නිසා මේ ලිපි පලකරන ඔබලාට සෙතක්මයි වෙන්න ඕනෙ සුගතියකමයි යන්න ඕනෙ


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: