Posted by: lrrp | June 19, 2012

මෙයා මගේ රන්මලීමයි

කෙනෙකු මේ මිනිස් ලොව මිනිසකු ලෙස ඉපැදීමට ‘හේතුව‘ වූ කර්ම ශක්තිය හීන වී අවසන්ව යෑමෙන් හෝ මේ මිනිස් ලොවට හා යුගයට ආවේණික වූ වයස් සීමාව ගෙවී යෑමෙන් හෝ මේ කර්මයත් ආයුෂයත් දෙක ම අවසන් වී යෑමෙන් හෝ ‘මරණය’ සිදු වේ. මේ ක්‍රම තුනට අමතරව නොසැලකිල්ල හෝ අධික මත්පැන් පානය ආදී තමා විසින් ම සිදු කරගනු ලබන අයහපත් චර්යාවන් නිසා වාහන අනතුරු, ඇද වැටීම්, තැලීම්, ගැටීම් වැනි හදිසි අනතුරුවලින් ද අකාල මරණවලට ගොදුරු වේ.

මේ සෑම මරණයක දීම සිදුවනුයේ පඨවි – ආපෝ – තේජෝ – වායෝ යන සතර මහා ධාතූන්ගෙන් හා වර්ණ – ගන්ධ – රස – ඕජා යන සියුම් ශක්තීන්ගෙන් සකස් වූ අපේ ඇසට පෙනෙන, අතට ස්පර්ශ වන මේ ඝන ශරීරය අතහැර යෑමක් හෙවත් රූපස්කන්ධය අත හැර යෑමකි. එය නවාතැන් කරුවෙකු නියමිත කාලය අවසන් වී පදිංචිව සිටි නිවස අතහැර වෙනත් ස්ථානයක් සොයා යන ක්‍රියාවලියට සමාන ය.

මිනිසා එසේ මරණයට පත්වන අවස්ථාවේ තමන් ඇසුරු කළ පුද්ගලයන් හෝ වස්තු සම්පත් පිළිබඳ දැඩි සේ සිතින් අල්ලාගත් තණ්හාවකින් ආදරයකින් හෝ තරහ මරහ ද්වේෂයකින් බැඳී සිටියොත් ඔහු ඒ පුද්ගලයන් හෝ වස්තු අතරම උපත ලබයි. ඇසුරු කොටගෙන උපදියි. එය අනිවාර්යයෙන් ම දුගතිගාමී දුක්ඛදායී උපතකි. එය ඔහුට හෝ ඇයට දුකකි. ඇසුරු කරන අයට ද හිරිහැරයකි. කරදරයකි. මේ එවැනි කතාවකි.

ප්‍රේමා සිය දියණිය වූ රුවන්ති සමඟ හෝමාගම ප්‍රදේශයේ ඡ්‍යොතීර්වේදියෙකු වෙත ගියේ දියණියගේ හඳහන බලවා ගැනීමටය. මේ දෙදෙනා ඡ්‍යොතීර්වේදියාගේ මේසය ඉදිරිපිට පුටු දෙකක හිඳගෙන සිටිති. ඡ්‍යොතීර්වේදියා හිඳගෙන සිටින ආසනයට ඉහළින් බිත්තියේ බුද්ධ රූපය ඉදිරිපිට පහනක් දැල්වේ. ඒ අසල ම දේව රූප කීපයක් ඉදිරියේ තවත් පහනක් දැල්වේ. මේ පහන දුටු සැණින් රුවන්ති වෙව්ලන්නට වූවාය. වියරුවෙන් මෙන් කෑගසන්නට වූවාය.

”මොකද මොකද මේ?” ඡ්‍යොතීර්වේදියා ඇසීය.

”එහෙම තමයි මහත්තයා. දුව කාලයක් තිස්සේම මේ දුක විඳිනවා. වෛද්‍ය ප්‍රතිකාර කළා. තොවිල් පවිල් කළා. එකකින්වත් සහනයක් සුවයක් ලැබුණේ නෑ”යි ප්‍රේමා විස්තර කළා ය.

හඳහන පැත්තකින් තැබූ ඡ්‍යොතීර්වේදියා සෘජුවම රුවන්ති දෙස බලා බුදුගුණ ස්තෝත්‍රයක් කීවේය.

”එපා.. එපා.. මාව පිච්චෙනවා. දැවිල්ලයි. මට ඉන්න බෑ. ඕක නතර කරන්න” රුවන්ති ප්‍රලයෙන් කීවාය.

”හොඳයි එහෙනම් මම අහන දේවල්වලට උත්තර දෙන්න ඕනෑ. සත්‍යයම කියන්න ඕනෑ”

”හොඳමයි”

”ඇයි මේ රුවන්තිට හිරිහැර කරන්නේ?”

”මොන රුවන්තියෙක්ද? මේ මගේ රන්මලී”

”මොනවා?”

”ඔව් ඔව් මේ මගේ රන්මලී”

”එතකොට තමුන් කවුද?”

”මම සිරිදාස”

”සිරිදාස කොහෙද ජීවත්වුණේ?”

”නාරම්මල”

”සිරිදාසට මොකද වුණේ?”

”මහත්තයා මම මේසන් බාස් කෙනෙක්. රන්මලියි මමයි හරි ම සන්තෝසයෙන් ජීවත් වුණා. අපට පුතෙකුත් හිටියා. මම තැනින් තැන රස්සාවට යනවානෙ මහත්තයා. කාලෙකට පස්සෙ රන්මලීට මා ගැන සැකයක් ඇතිවුණා. හැමදාම මා එක්ක රණ්ඩු කරන්න හිටියා. ඉවසගෙන ඉඳල ඉඳල බැරිම තැන මම එල්ලිලා මළා. රන්මලී ලස්සනයි. මම රන්මලීට ආදරෙයි. මම මැරිලත් එයාව අතහැර ගියේ නෑ. ඒ ගෙදරම එයා ළඟ ම උපන්නා.

එයා එක්ක ම ජීවත් වුණා. අන්තිමේ රන්මලී අසනීප වෙලා මැරුණා. ඊට පස්සෙ රන්මලීගෙ ආත්මය කොහේ උපන්නා ද කියලා මට හොයා ගන්න බැරිවුණා. මම හැමතැනම එයාව හොය හොයා ඇවිද්දා. අන්තිමේ රන්මලී හෝමාගම ඉපදිලා ඉන්නවා මුණගැහුණා.”

”එතකොට මේ රන්මලී නොවෙයි. මේ රුවන්ති. සිරිදාසට තේරෙන්නෙ නැද්ද?”

”මහත්තයා මෙයා කාට රුවන්ති වුණත් මට මගේ රන්මලීමයි.”

”ඉතින් ඉතින් ඊට පස්සෙ?”

”මට මෙයාව මුණගැහෙන කොට වයස අවුරුදු තුනයි. චූටි කෙල්ල”

”ඉතින්?”

”ඉතින් මම මෙයා ළඟටම වෙලා හිටියා. කුරුල් කරගෙන නිදාගත්තා”

”ඊට පස්සෙ?”

”ඊට පස්සෙ ලොකුවෙලා ඉස්කෝලෙ යන කොට මෙයා ඉගෙනගෙන විවාහ වෙලා යාවි කියලා ඉගෙනගැනීම කඩාකප්පල් කරන්න මෙයාගෙ ශරීරය ස්පර්ශ කරමින් හැඟීම් ඇති කළා. විභාගෙට පාඩම් කරනකොට බාධා කළා. ඉතින් විභාගෙන් ෆේල් වුණා.”

”තමුන් අපරාධයක්නෙ කරලා තියෙන්නෙ”

”ඒ වුණාට මේ ඔක්කොම කළේ ආදරේට. ගෙදර අය ඊට පස්සෙ මෙයාව විවාහ කර දුන්නා. මෙයාව කැන්දගෙන යනකොට මමත් ගියා. රාත්‍රියට මෙයාගෙ ඇඟට රිංගලා දෙන්නට ආදරෙන් ඉන්න දුන්නෙ නෑ. ඒ පාර මෙයාව බැඳපු කොල්ලා රණ්ඩු කරන්න පටන් ගත්තා. දෙන්නගෙ සමඟිය කඩාකප්පල්වුණා. හැමදාම මේ දෙන්නා රණ්ඩු. කොල්ලට ළඟටවත් එන්න දෙන්නෙ නෑ. අන්තිමේ මෙයා ගෙදර ආවා. කසාදෙ ඉවරයි. දික්කසාද වුණා.”

”තමුන් දැන් සිරිදාස නෙමෙයි. හොඳට මේ ගැන හිතන්න. තමුන් දැන් අමනුෂ්‍යයෙක්. දුගතියක ඉපදුණු අමනුෂ්‍යයෙක්. මේ රන්මලී නොවෙයි. තමුන් රන්මලීව ලෙඩ කරලා මැරුවා. තමුන් දුගතියක ඉපදුණා මදිවට මහා පාපයක් කරගෙන තියෙන්නේ. මේ ළමයා රන්මලී නොවෙයි. රන්මලී මැරුණා. මේ රුවන්ති. නමුත් රුවන්තිගෙ ජීවිතේටත් විශාල හානියක් කළා. අසනීප කළා. විභාග ෆේල් කළා. පවුල් ජීවිතේ අවුල් කළා. විවාහය කඩාකප්පල් කළා. දැනුත් අසනීප කර පව් පුරවා ගන්නවා. තමුන් අමනුස්‍යයෙක් බව පිළිගන්නවාද?”

”ඔව්. ඒ වුණාට මම මෙයාට ආදරෙයි. මට මෙයා නැතුව බැහැ”

”එහෙම කියලා බැහැ. අපි දෙවියන්ට පින්දීලා මේ ගැන පැමිණිලි කරනවා. වෛශ්‍රවණ දෙවියන්ට – දැඩිමුණ්ඩ දෙවියන්ට මේ අවනඩුව කියනවා”

”එපා එපා එහෙම කරන්න නම් එපා. මට දඬුවම් කරාවි”

”එහෙනම් මම කියන දේට අවනත වෙනවාද? මම කියන දේ පිළිගන්නවාද?”

”මම මොනවාද කරන්න ඕනෑ”

”අපි දානයක් දීලා තමුන්ට පින් අනුමෝදන් කරවනවා. ඒ පින් අනුමෝදන් වෙලා ඔය දැන් ඉන්න දුගතිගාමී බවෙන් මිදිලා ටික ටික ඉහළට යන්න. හොඳ කෙනෙක් වෙන්න. දේවාත්මයක් ලබන්න කියලා අධිෂ්ඨාන කරන්න. තමුන් ඒකට කැමතිද?”

”ම්.. ම්.. මෙයාව දාලා යන්නත් ලෝබයි. වෙන කරන්න දේකුත් නැහැ. එහෙනම් දානයක් දීලා පින් අනුමෝදන් කරන්නකො බලන්න”

සතියක් බෝධි පූජා පවත්වා නැවත එන ලෙස රුවන්තිටත් දෙමව්පියන්ටත් උපදෙස් දී රුවන්තිගේ හිසේ පිරිත් තෙල් ටිකක් ගා බුදුගුණෙන් ආශිර්වාද කළේය. වෙනසක් සිදුවුවහොත් හෙට උදේ නැවත පැමිණ දන්වන ලෙස ද කීවේය.

පසුදින උදේ ප්‍රේමා රුවන්ති සමඟ නැවත පැමිණියාය.

”ඇයි ඊයේ මොකද වුණේ?”

”ඊයේ රෑත් භූතයා ආවා. වෙනදා ළඟට වෙලා ආදරෙන් ඉන්නවා. ඊයෙ රෑ ඇවිත් මගේ පපුව උඩින් වාඩි වෙලා මගේ බෙල්ල මිරිකුවා. හැබැයි ඒ අත් දෙකේ ශක්තිය අඩුයි. මම ‘ඉතිපිසෝ භගවා…” කියනකොටම ඇඳෙන් බිමට පැනලා මගේ දිහා බලා ඉඳලා යන්න ගියා.”

”ඇයි බෝධි පූජාව පැවැත්තුවේ නැද්ද?”

”ඊයේ බෝධි පූජාවට ගියේ නෑ. අද ඉඳල පටන් ගන්නයි ඉන්නේ”

හොඳයි බෝධි පූජාව අවසන් කරලා ආයෙත් එන්න. බෝධි පූජාව තියන කොට කරදර කරන එකක් නැහැ.”

සතියක් බෝධි පූජා පවත්වා ඔවුන් නැවතත් පැමිණියහ. එදින ද රුවන්ති වෙව්ලමින් ප්‍රලය වූවාය.

”ආ.. කොහොමද?”

”හිතට නම් අමාරුයි. ඒත් කරන්න දෙයක් නෑ”

”ඇයි හිතට අමාරු?”

”රන්මලීව දාලා යන එකට දුකයි”

”දැන් අපි කරන්න යන දේ තමුන් දන්නවාද?”

”ඔව්! ලබන විසි එක්වැනිදා මහත්තයා තව යාළුවෙක් එක්ක ගිහින් ආරක්ෂා දමන්න යන බව මම දන්නවා. ඒත් මේගොල්ලො තවම අර දානය දීලා මට පින් අනුමෝදන් කළේ නැහැ.”

”විසිවැනිදා දානය දීලා තමුන්ට පින් අනුමෝදන් කරන්න මම මේ අයට කියන්නම්”

විසි වැනි දින දානය දී පින් අනුමෝදන් කරන්නට යෙදුණි. විසිඑක්වැනි දින ආරක්ෂා කටයුතු ආරම්භ කරන විට ම රුවන්ති නැවත ප්‍රලය වූවාය.

”ඇයි මොනවද කියන්න තියෙන්නේ?”

”ගිය ආත්මෙ ඉඳලම මම මගේ රන්මලීගෙ පස්සෙන් ආවා. ඒ ආවේ ආදරේ හින්දයි. ඒත් දැන් මට මගේ රන්මලීව දාලා යන්න සිද්ධ වෙලා. දැන් එයා රන්මලී නොවෙයි රුවන්ති බවත් මට වැටහෙනවා. මම නිසා රුවන්තිට සිද්ධ වෙච්ච දුක් කරදර පාඩුවට මම සමාව ඉල්ලනවා. මම තවත් දෙයක් ඉල්ලා සිටිනවා.”

”ඒ මොකක්ද?”

”මම දැන් යන්න යනවා. මහත්තයලා ආරක්ෂාවල් දැම්මත් නොදැම්මත් මම ආයෙත් එන්නේ නෑ. මේ ළමයට කරදර කරන්නෙත් නෑ. මම ඒ ගැන පොරොන්දු වෙනවා. මම ඉල්ලන්නේ ආදරේ නාමයෙන් මෙයාට නැවත විවාහ නොවී ඉන්න කියන්න.”

”ඒ මොකද? එහෙම කියන්නේ?”

”ඒක මගේ හිතට සතුටක්. මා වෙනුවෙන් මෙයා විවාහ නොවී ඉන්නවා කියන එක”

”අපට එහෙම නියම කරන්න බැහැ. කාලයා විසින් ඒ ප්‍රශ්න විසඳනු ලබාවි. දැන් තමුන් ඔය දුකට මුල් වූ ‘ආශාව‘ අතහැරලා ඉවත්වෙලා යන්න.”


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: