Posted by: lrrp | July 12, 2012

යක්ෂයා කමල් උස්සා පොළොවේ ගසයි

පඨවි – ආපෝ – තේජෝ – වායෝ යන සතර මහා ධාතූන්ගෙන් නිර්මාණය වූ මනුෂ්‍ය ශරීරය ක්ෂණයක් නිසා ඇතිවෙමින් නැති වෙමින් ගලා යන ස්කන්ධ පරම්පරාවකි. එහි ක්ෂය වන කොටස් වෙනුවට අප ගන්නා ආහාර පානවලින් හා සෘතුමය ශක්තීන්ගෙන් නැවත වැඩීමක් ද සිදු වෙයි.

මේ පුවත්පත කියැවීමට අතට ගත් ඔබ “මම” යැයි සිතා සිටින පුද්ගලයා දැන් නැත. දැන් සිටින්නේ වෙනත් පුද්ගලයෙකි. වෙනත් “මම” කෙනෙකි. අතීතයේ සිට ම පංච ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු ගෙන අතීතයේ සිට මනසේ ගොඩගසාගෙන සිටින (මතකය) සංස්කාරයන් නිසා එකදිගට පැවත එන පුද්ගලයකු සම්මුති වශයෙන් දැකගන්නට ඇත. ගිනි පෙනෙල්ලක් ගෙන කවාකාරව කරකවන විට ගිනි වළල්ලක් පෙනෙන්නා සේ ය. එහෙත් ඇත්තට ම එහි ගිනි වළල්ලක් නැත.

මෙසේ අප විසින් මනසට ගොඩ නඟනු ලබන සංස්කාරයන් හොඳ යැයි නරක යැයි මධ්‍යස්ථ යැයි වර්ග කර ගෙන මතිමතාන්තර ද ගොඩනඟාගෙන ඇත. ජාති වශයෙන් ආගම් වශයෙන් දේශපාලන වශයෙන් ද සතුරු මිතුරු වශයෙන් ද වර්ග බේද ගොඩනඟා ගෙන ඇත.

මරණයේ දී සිදුවන්නේ ජරාවට පත් හෝ අබලන් වූ හෝ තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි ශරීර කූඩුව අතහැර සංස්කාරයන්ගෙන් සැදුණු උපාදානස්කන්ධ සංයුතිය හෙවත් පුද්ගලයා අපේ සාමාන්‍ය පියවි ඇසට නොපෙනෙන තත්ත්වයකට ඉගිල යෑමය. එහිදී ද මෙහි සිටිය දී මෙන් ම දැඩි සේ අල්ලාගත් සංස්කාරයන්ට අනුව බෞද්ධ දෙවියෝ ය ක්‍රිස්තියානි දෙවියෝ ය, මුස්ලිම් දෙවියෝ ආදී ලෙස පින් කළ ඇත්තෝ එක සමීපව හැසිරෙති.

බෞද්ධ යැයි කියාගෙන පව් කළ යක්ෂ ප්‍රේතයෝ ද, ක්‍රිස්තියානි යක්ෂ ප්‍රේතයෝ ද, මුස්ලිම් ආදී අනිකුත් ආගම්වලින් සංස්කාරවලින් (සිතුවිලිවලින්) සිත් සතන් පුරවා ගෙන මිනිස් ලොව ජීවත්ව සිට මිය ගිය පුද්ගලයෝ ද මරණින් පසු ඒ ඒ දර්ශනයක් තුළම යක්ෂ ප්‍රේත ආත්මවල උපත ලබති.

බුදු දහමට අනුව දැහැමින් ජීවත්වූවෝ මරණින් මතු දේවාත්ම භාවයන්හි ඉපිද ධර්ම සාකච්ඡා ප්‍රිය කරති. බෞද්ධ විහාරාරාම බෝධි වෘක්ෂ, බෞද්ධ කොඩි ධර්ම චක්‍රාදී සංකේත, බෞද්ධ භික්ෂු දර්ශන පෙරහැර ආදිය ප්‍රිය කරති.

අතීතයේ බුදුන් දැක බණ ඇසූ දෙවිවරුන් හමුවී කල්‍යාණ මිත්‍රත්වයෙන් බණ අසති. මම බෞද්ධයෙකැයි කියමින් නාම මාත්‍රව සිටිමින් පස් පව් දස අකුසල් කරමින් වංචා දූෂණ කරමින් රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කරමින් සිට ජීවත්ව මරණයට පත් වූවෝ ඒ මරණින් මතු දුගතිගාමීව ඉපදුණෝ යක්ෂ ප්‍රේතාදී දුක් සහිතව ඉපදුණෝ ඉහත සඳහන් බෞද්ධ සංකේත දැක පසුතැවෙති. මිත්‍යා අදහස් ම දරමින් මස් මාළු කරවල බිත්තර ලේ ම ප්‍රිය කරති.

කර්ම විපාකානුකූලව දහදිය ලේ මුත්‍ර සැරව අසූචි ආහාරයට ගනිති. ප්‍රිය කරති. බෞද්ධ සංකේත පිරිත් සූත්‍රාදියට බිය වෙති. ඒවායින් සිතට පසුතැවීම් ආදී දුක් වේදනා එළැඹෙන බැවින් බිය වෙති. පහත් ගති ඇති එවුන්, මත්පැන් තැබෑරුම් මස් මරණ ස්ථාන, වැසිකිළි, කැසිකිළි, කුණු කසළ, ගොඩවල දුර්ගන්ධය ප්‍රිය කරති. ඇසුරු කරති. අන්‍යාගමිකයෝ ද මරණින් මතු තම ආගම දර්ශනයන්ට අනුව යහපත්ව ජීවත්වූවෝ ද පෙර කී සේම සුගතිගාමීව සැප විඳිති. දුගතිගාමීව දුක් විඳිති.

දැඩිව ගත් දේශපාලන අදහස් ගත් අය ද ඒ ඒ දර්ශන අනුව ම සිතුම් පැතුම් දරති. ජීවත්ව සිටිය දී පක්ෂග්‍රාහීව හා ආත්මලාභයෙන් සිදු කළ වංචා දූෂණ ස්ත්‍රී දුෂණ ජාතික දේපළ අයුතු ලෙස භුක්ති විඳීම්, ලබන වැටුප් දීමනාවලට සරිලන සේවා සිදු නොකිරීම් ආදිය නිසා දුක් විඳිති. මහජන පොදු වැසිකිළි වළවල් ආදියෙහි ඉපිද ජනයාගෙන් පිටවන අසූචි මුත්‍රා අපද්‍රව්‍ය ආහාරයට ගනිමින්, පෙර වැලඳූ රජ බොජුන්, රස බොජුන් සිහි කරමින් අනන්ත අප්‍රමාණ දුක් විඳිති.

මේ ලංකාවේ බටහිර මුහුදුබඩ තීරයේ මීගමුව ප්‍රදේශයට සම්බන්ධව වාර්තා වෙන සිද්ධියකි. කමල් ව්‍යාපාරික කටයුතු ආදායම් මාර්ගය කොට ගත් තිස් අට හැවිරිදි පුද්ගලයෙකි. දෙදරු පියෙකි. ඔහු කලෙක සිට රාත්‍රී නින්දෙන් තිගැස්සී බිය වන්නට විය. දහවල් කාලය ඇඟපත රුදාවෙන් තෙහෙට්ටුවෙන් අපහසුතාවෙන් පෙළෙන්නට විය. ඒ පිළිබඳ වෛද්‍ය ප්‍රතිකාර ගත්ත ද කිසිදු සුවයක් සහනයක් නොවීය. ඉන්පසු තමන් අදහන ආගමට අනුව පල්ලියට ගොස් දේවගැතිතුමා හමුවී මේ ගැන පවසා පිළිවෙත් සහනයක් පැතුවේය.

කමල් ඉදිරිපස තබා ගත් දේවගැතිවරු ඔහු වෙනුවෙන් යාච්ඥා කළහ. බයිබලයේ සඳහන් ධර්ම පාඨ කියවමින් ආශිර්වාද කළහ. එහි දී ප්‍රලය වූ කමල් දඟලන්නටත්, කෑගසන්නටත් මහත් වේදනාවක් දක්වන්නටත් පටන් ගත්තාය ඔහුගේම අතපය සපාකමින් සම සිදුරු වූ තැන්වලින් ලේ උරා බොන්නටත් වූයේය.

කුරුසිය අතට ගත් ප්‍රධාන දේවගැතිවරයා “ඒ අසීමිත කරුණාවෙන් යුක්ත වූ දෙවියන් වහන්සේගේ නාමයෙන් මම අහනවා මේ දරුවාගේ ශරීරයට දිෂ්ඨි හෙළා ගෙන ආවේශ වී සිටින යක්ෂයා කවුදැ”යි ඇසීය.

”හෙඞ.. හෙඞ.. හේ.. මම.. ද? ..මම.. මහා බල සම්පන්න යක්ෂයෙක්.. මළ යක්ෂයෙක්..”

”ඉතින් කමල් දරුවාට නුඹේ ඇති සම්බන්ධය මොකක්ද?”

”හෙඞ.. හෙඞ .. මම මුගේ සීය..”

”ඇයි සීයා මොහුට දුක් දෙන්නේ?”

”මම මූව අරගෙන යනවා. මූව මරා ගෙන යනවා..”

”නුඹට අපි දෙවියන් වහන්සේගේ නාමයෙන් අණ කරනවා මේ ශරීරයෙන් ඉවත්ව යන්න කියා.”

”හෙඞ .. හෙඞ.. හේ.. ඒවා කොහේද?”යි යක්ෂයා ශරීරයෙන් ඉවත්ව ගියේය.

මේ ආකාරයෙන් කීප වතාවක් ම අල්තාරය ඉදිරියේ යාච්ඥා කර අවශ්‍ය කටයුතු කළ නමුත් කමල් සුවපත් කරන්නට නොහැකි විය.

පල්ලියේ ප්‍රධාන පියතුමා ඊළඟට කළේ මෙවැනි කටයුතුවලට දක්ෂ වෙනත් දේවගැතිවරු සිටින පල්ලිවලට කමල් කැඳවාගෙන ගොස් ආශිර්වාද කිරීමය. එයිනුදු සුවයක් ලබා දිය නොහැකි වූ බැවින් පල්ලියේ දේවගැතිවරු කමල් කැඳවාගෙන කොළඹට නුදුරු ප්‍රධාන පල්ලියක් කරා ගියේය.

එහි දී දේවගැතිවරු සයදෙනකු කමල් වෙනුවෙන් යාච්ඥා කොට දේව මෙහෙය පවත්වද්දී නැවතත් ආවේශ වූයේය. එපමණක් නොව එක් දේවගැතිවරයෙකුගේ අතක අඟල් දෙකක් පමණ කෑල්ලක් කඩාගෙන එතැනින් ලේ උරා බොන්නට පටන් ගත්තේය. අනිකුත් දේවගැතිවරු වහා ඉදිරිපත් වී තුවාලකරු මුදාගත්හ.

මීගමුව ප්‍රදේශයේ පල්ලියේ දේවගැතිවරයා “වැඩේ සෙල්ලම් නැති බව“ වටහා ගෙන කමල් ප්‍රතිකාර සඳහා කැඳවාගෙන ගියේය. එහිදී ද කමල් ප්‍රලය වූයේය.

”කව්ද මේ ශරීරය තුළ ඉන්නේ?”

”මම.. මෙයාගෙ සීයා”

”මොකක්ද නම?”

”පීටර්”

ඇයි පීටර් මේ කමල්ට හිරිහැර කරන්නේ?”

”හිරිහැර කරනවා නොවෙයි මම මූව මරාගෙන අරගෙන යනවා”

”ඇයි ඒ?”

”මුන් හොඳට කනවා බොනවා ජොලි කරනවා. මාව නිකම් වත් මතක් කරන්නේ නෑ. මුන් ඉන්නේ මගේ ඉඩමේ මගේම ගෙදර. මම මූත් එක්ක තරහයි. මූව මරාගෙන යන්නයි මම බලාගෙන ඉන්නේ”යි කෑ ගසන්නටත් දඟලන්නටත් විය.

භූතයාගේ දරුණු ස්වභාවය වැඩි බැවින් දින හතක් නිවසේ සුවඳ දුම් අල්වා සතියකින් පැමිණෙන ලෙස දැනුම් දුන්නේය. බුදු ගුණෙන් ශක්ති ගැන්වූ සුවඳ දුම් කුඩු ප්‍රමාණයක් ද දුන්නේය.

කමල් සතියකින් පසු නැවත පැමිණියේය. කමලුත් කමල්ගේ ශරීරයට රිංගා සිටින භූතාත්මයත් අන්‍යාගමික බැවින් බෞද්ධ පිළිවෙත් නුරුස්නා බැවින් භූතයා තවත් දරුණු වී සිටියේය. කමල් ගේ බඩ වේදනාවෙන් පෙළෙන්නට විය. බඩ පැද්දෙන්නට විය.

මුහුදේ රළ නැඟෙන ආකාරයෙන් බඩ එහාට මෙහාට පැද්දෙන්නට විය. ගැහෙන්නට විය. පැදුරේ දිගා කොට සිටින විට පොළවෙන් උඩට අඟල් හයක් පමණ උඩ විසිවෙන්නට ගැස්සෙන්නට විය.

”කව්ද මේ ශරීරය ඇතුළට වෙලා දඟලන්නේ?”

”කව්ද මේ? ඇයි අඳුනන්නේ නැද්ද? මතක නැද්ද?යි කියමින් යටි ගිරියෙන් හූ කියන්නට විය. දෑස් තද රතු පැහැ ගැන්විය. දිව අඟල් හයක් පමණ එළියට ඇදී ඉතා භයංකාර ස්වරූපයක් දිස් විය.

”මාව පල්ලි කීයකට අරගෙන ගියාද? මට හිරිහැර කරදර කරන්න ආවොත් මුගේ බෙල්ල කඩාගෙන අරගෙන යනවා”යි තර්ජන කරන්නට විය. බුදුගුණයට අවනත වන බවක්, කීකරු වන බවක් දැකගන්නට නොවීය. දේවගැතිවරු ද තුෂ්ණීම්භූතව සිටිති.

”මෙයාගෙ බඩට යමක් දී තිබෙන බව පෙනෙනවා. මේ භූතයා ඒ දුන්න කෑමට බන්ධනය වෙලයි ඉන්නේ. ඒක ඉවත් කරන්න වමනය කරවන්න වෙනවා. මම ශක්ති ගැන්වූ වතුර ලීටර් පහක් සකස් කර දෙන්නම්. ඒක පොවන කොට වමනය යාවි. බන්ධනය ඉගිලිලා යාවි”යි ප්‍රතිකාර වශයෙන් පැවසිණ.

”හා.. හා.. එහෙනම් බලාගමු. ගිය වතාවෙ එක ෆාදර් කෙනෙක්ගෙ අතෙන් මස් කෑල්ලක් කඩාගෙන කෑවා. මතක නැද්ද?යි භූතයා ගෝරනාඩු කරන්නට විය.

ඊළඟ ඉරිදා කෙනෙකු එවා ශක්ති ගැන්වූ ජලය ගෙනයන ලෙසත් එතෙක් නිතර නිවසේ සුවඳ දුම් අල්වා රෝගියා ආරක්ෂා කරන ලෙසත් උපදෙස් දුන්නේය.

ශක්ති ගැන්වූ වතුර නිවසට ගෙන ගිය දවසේ සිට බ්‍රහස්පතින්දා සහ අඟහරුවාදා දිනවල නිවසේ හැම දෙනාම තදබල උණ රෝගයකින් පෙළෙන්නට විය.

ජනෙල් දොරවල් ඉබේ ඇරෙන්නටත් වැහෙන්නටත් විය. බඩුමුට්ටු එහා මෙහා විසි වෙන්නටත් පෙරළෙන්නටත් විය.

ඊළඟ ඉරිදා පැමිණ ශක්ති ගැන්වූ වතුර ලීටර් පහ ගෙන ගියේය. එය නිවසේදී භාවිත කිරීමට ඇති උපදෙස් පරිදි කටයුතු කිරීමට ඇති බිය නිසා පල්ලියට ම ගෙන ගියේය. පල්ලියේ දී කමල් නැවත ප්‍රලය වූයේය.

”හා.. හා.. වතුර බොන්නයි හදන්නේ. ඒවා කොහේද මාත් එක්කලා. ඔය වතුර උගුරක් බිව්වොත් මම මූව මරණවා. මරණවාමයි” යනුවෙන් තර්ජනය කළේය.

පල්ලියේ දී සිදුවන මේ කටයුත්තට පියතුමා තවත් දේවගැතිවරවරුන් හතර පස් දෙනකු සූදානම් කැරගෙන සිටියේය.

හිටිහැටියේම යටිගිරියෙන් ‘හූ’ තැබූ කමල් ඉබේම වේගයෙන් වීසි වී ;ගාස් පල්ලියේ බිත්තියේ ‘දඩාස්’ ගාමින් වැදුණේය. ඊළඟ සැණින් වීසි වී අනිත් පැත්තේ බිත්තියේ හැප්පුණේය. අද නම් එනපොට හරි නැතැයි වටහා ගත් පියතුමා වහාම දුරකථනයෙන් ප්‍රතිකාර ස්ථානය සම්බන්ධ කැර ගත්තේය.

වහාම කමල්ගේ ස්වරූපය මෙනෙහි කරමින් ආශිර්වාද කළ ගවේෂකවරයා ආධ්‍යාත්මික ශක්තියෙන් භූතයා තාවකාලිකව සිරකොට ඉක්මනින් වතුර ලීටර් පහ පොවන්නට උපදෙස් දුන්නේය.

දේවගැතිවරු වහාම කමල්ට ශක්ති ජලය පානය කැරවන්නට පටන් ගත්තේය. පැය බාගයක කාලයක් තුළ වතුර ලීටර් පහම පෙව්වේය.

කමල් බඩ අල්ලගෙන කෑ ගසන්නට විය. කමල්ට ඔරොත්තු නොදෙන තරම් වතුර ප්‍රමාණයක් ශරීර ගතවීමෙන් ආමාශය කැලඹෙන්නට විය.

උගුර ළඟටම පිරී තිබුණු ජලය උදරයේ කැලඹීමත් සමඟම වමනය පිටවෙන්නට විය. ඒ වමනය පවා රතුපැහැ ගැන්වී තිබුණි. කමල්ගේ බඩේ බැඳී තිබුණු ආහාරය සමඟ එක්ව තිබූ බන්ධනය ගැලවී ගියේය. වහාම දේවගැතිවරු කමල් වටකොටගෙන යාච්ඥා කරන්නට වූහ. ඔහු ද ප්‍රසන්න වූ සිතින් දෙවියන් වහන්සේ වෙත භක්තියෙන් ඒ ආශිර්වාදය ලබාගත්තේය. සීයාගේ බන්ධනය ගිලිහී ඔහු පිටවී ගොස් තිබුණි.

මෙහිදී දේවගැතිවරුන්ගේ අවංකභාවය ආදර්ශවත් දෙයකි.

තමන්ට කළ නොහැකි දෙයක් වූ විට අහංකාරපරවශ නොවී එය කළ හැකි කෙනෙකු සොයා ගොස් තමන්ගේ දායකයා දුකින් මුදවා ගැනීම සඳහා කළ මෙහෙවර, ඔහු අත්නොහැර ම දැරූ උත්සාහය පැසසිය යුතුය. එවැන්නන්ට දෙවියෝ ද ආශිර්වාද කරති. මෛත්‍රීයට, කරුණාවට, මුදිතාවට උපේක්ෂාවට ආගම් බේදයක් නැත. එය උත්තරීතර ධර්මතාවයකි.

එය මිනිසුන් බ්‍රහ්මත්වයට (දේවත්වයට) පත්කරන සතර බ්‍රහ්ම විහරණයයි. එය බෞද්ධයනට පමණක් සීමා වූවක් නොවේ. කතාවත් ප්‍රායෝගිකත්වයත් දෙකකි.

එසේ ම මස් මාළු කරවල බිත්තර කෑමේදීත් තෙල් බැදුම් කෑමේදීත් එය විමසිල්ලෙන් නුවණින් කළ යුතු බව මෙයින් පැහැදිලි වේ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: