Posted by: lrrp | July 14, 2012

ඌ යකෙක් ඇවිත් හිටියෙ නැන්දගෙ උදව්වට

කෙනෙකු ගේ ජීවිතය පවත්වා ගෙන යන ශක්තිය වූ ජීවිතේන්ද්‍රිය ය මිදී යෑම ‘මරණය’ නමින් හැඳින්වේ. එය ඔහු මේ ලොවට බිහි කළ, හෙවත් අත්භවය ඇති කළ පූර්ව කර්මයේ විපාකයකි. මේ ලොව උපත ලබන යුගයේ පවතින උපරිම ආයුෂය ගෙවී යෑමෙන් සිදුවන ‘ආයුක්ඛය’ මරණයත්, මෙලොව උපත ලබාදීමට හේතු වූ කර්මයේ ශක්තිය අවසන් වීමෙන් සිදුවන ‘කර්මක්ඛය’ මරණයත්, ඒ දෙක ම හේතු කොට ගෙන සිදුවන “උභයක්ඛය” මරණයත්, පුද්ගලයාගේ නොසැලකිල්ල නිසාත්, මත්පැන් බීම් ආදියෙන් ඒ ඇබ්බැහිවීම්වලට පුරුදු වී සිරුර දුර්වල කැරගෙන හෝ අපරීක්ෂාකාරී බව නිසා හෝ රිය අනතුරු ආදියට ලක්වීමෙන් හෝ සිදුවන “උපච්ඡේදක” හෙවත් අකල් මරණයත් යන සතර ආකාරයෙන් එකකින් මරණය සිදු වේ.

මේ කිනම් ආකාරයකින් මරණයට පත් වුවද මරණය ළං වන විට ශාරීරික ඉන්ද්‍රියයන් දුර්වල වී යයි. මේ අවස්ථාවේ ඊළඟ උපතට මූලික වන කර්ම, කර්ම නිමිති, ගති නිමිති පහළ වේ. ඒවා පෙනෙන්නට පටන් ගනී. පහනක් දැල්වෙමින් තිබී තෙල් අවසන් වී නිමෙන්නට යන අවස්ථාවේ ඒ පහනේ දැල්ල එක පාරටම ලොකුªවී විශාල ආලෝකයක් දෙනවා වාගේ ස්වභාවයෙන් ම ඒ වේලාවට මරණයට පත්වන පුද්ගලයාගේ සිත බලවත් වේ.

මේ වන විට ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය ඇන හිට ඇති බැවින් අතීතය සිහි කිරීමේ ශක්තිය ද ළඟම අත්බවේ ගති නිමිති දැකීමේ ශක්තිය ද ප්‍රබලවේ. මෙතෙක් ඉන්ද්‍රියයන් හයක් සඳහා වැය වූ ශක්තිය තනි සිත කරා පැමිණීම නිසා සිතේ ශක්තිය එසේ බලවත් වේ.

මේ ජීවිතයේ ගත වූ කාලයේ කළ කී දෑ චිත්‍රපටයක් මෙන් පෙනෙන්නට වේ. බලවත් කුසලයක් හෝ බලවත් අකුසලයක් (ගරුකකර්ම) සිදු කර තිබුණත් එය දුටු හැටියේ එතැන නවතී. එතැනින් එහාට යන්නේ නැත. එයට අනුව මරණය සිදු වී මතු උපදින තැනට ඒ සිතුවිලි පරම්පරාව සම්බන්ධ වේ. ඒ වගේ බරපතළ කුසලයක් හෝ අකුසලයක් සිදු කැර නොතිබුණෙන් මරණයට ආසන්න කාලයේ සිදු කළ කර්මයක් (යදාසන්න කර්ම) සිහියට එළඹ සිටී. එහෙම එකකුත් නොතිබුණොත් නිතර පාහේ කළ (ආචින්න කර්ම) කර්මයක් සිහියට නැඟේ. ඒ අනුව චුතියත් සමඟ ප්‍රතිසන්ධිය සිදුවන බැවින් දිගින් දිගට පවතින්නේ එක ම චිත්ත චෛතසික හෙවත් නාම ධර්ම පරම්පරාවකි. මේ කතාව ඬතර වෛරයෙන් ජීවත් වූ කෙනකු ඊළඟ ආත්මයේ ද ඒ වෛරී සිතුවිලි පරම්පරාවෙන් පළිගන්නට ආ සිද්ධියකි.

පාණදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ සෝමසිරි සහ මාලනී සතුටින් සමාදානයෙන් ජීවත් වූ යුවළකි. පනස් පස් හැවිරිදි මාලනී ක්‍රමයෙන් රෝගාබාධයන්ට ගොදුරු වන්නට වූවාය. මේ අතර ඇගේ පුත් මාලින් හිටිහැටියේ යතුරුපැදිය බස්රියක ගැටී අනතුරකට ලක්වීමෙන් මරණයට පත්වීම තවත් ව්‍යසනයක් විය.

මාලින් මරණයට පත්වන්නට පෙර මාලින්ගේ තරුණ බිරිය ඔහු සමඟ අමනාප වී සිඟිති දියණිය ද රැගෙන තම මවුපියන් කරා යෑමද පවුලේ මානසිකත්වයට මහත් වේදනාවක් ගෙනදුන්නේය. පුතාගේ මරණයෙන් පසු ලේලියත් මිනිබිරියත් ආපසු පැමිණීම මඳ අස්වැසිල්ලක් වුවද ගහෙන් ගෙඩි එන්නාක් මෙන් බලාපොරොත්තු රහිතව පැමිණි විපත් සෝමසිරිට ද දරා ගත නොහැකි තරම් විය.

දැන් දැන් රාත්‍රියට මාලිනී හීනෙන් බිය වන්නටත්, කවුදෝ කෙනෙකු ඇගේ ගෙල හිර කරන්නටත් පටන් ගැනීම නිසා පවුලේ අයට රාත්‍රි නින්දක් ද නොවීය. හීනෙන් ඇගේ ගෙල හිර කරද්දී ඇය කෑගසන්නට තැත් කරන විට කවුදෝ ඇගේ කට වසන බව ද කියයි. ඊට අමතරව නිවසේ බඩු මුට්ටු හොළවන හඬ ද පෙරළන හඬ ද ඇසෙන්නට විය. මනෝ වෛද්‍යවරුන් කරා ගිය ද තොවිල්පවිල් සිදු කළ ද එයින් කිසිදු සහනයක් නොලද තැන ‘සිළුමිණ’ පත්‍රයෙන් අනාවරණය කරන තොරතුරු ඔස්සේ ප්‍රතිකාර කරා ඇය කැඳවාගෙන ගියාය. ඒ ගමනට මාලිනී සමඟ සෝමසිරිත් ලේලියත් කුඩා සිඟිත්තිය ද රැගෙන ගියහ.

එහිදී මාලිනී ප්‍රලය වූවාය.

”කව්ද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?”

”මම මාලින්”

”මාලින් කියන්නේ කව්ද?”

”මේ අම්මගෙ පුතා”

”ඇයි පුතා අම්මගෙ ඇඟට රිංගලා හිරිහැර කරන්නේ?”

”මම ඇවිත් ඉන්නේ හිරිහැර කරන්න නොවෙයි. මේ අයගෙ ආරක්ෂාවට”

”මොනවා?”

”ඔව් ආරස්සාවට”

”මොකක්ද ඒ කතාවෙ තේරුම?”

”මහත්තයා දන්නවද මම මැරුණු හැටි?”

”නැහැනෙ”

”එහෙනම් ඔන්න අහගන්න. තාත්තේ; ප්‍රියංකා ඔය දෙන්නත් අහගන්න. එදා රෑ 10ට විතර මම මගේ මෝටර් සයිකල් එකෙන් ගෙදර එනකොට අපේ නැන්දා එක පාරටම අත්දෙක උස්සගෙන මගේ ඉස්සරහට පැන්නා. මට බයික් එක වමට කපන්නත් බෑ. ඒ පැත්තෙ ලොකු උස කළු මිනිහෙක් හිටියා. මම දකුණට කපන කොට ම ඉස්සරහින් වේගෙන් ආ බස් එකේ හැපුණා. දඩ බඩා…ස් ගාන සද්දය ඇහුණා. එච්චරයි මතක. මම වමට කැපුවා නම් බේරෙන්න තිබුණා. තාත්තට මතක ඇති බස් එකේ ඩ්‍රයිවර් උසාවියෙදිත් කිව්වා “මෙයා බයිසිකලය වමට කැපුවා නම් මේ අනතුර වෙන්නේ නෑ” කියලා.

”කව්ද ඔය නැන්දාය කීවෙ?”

”අපේ සීලවතී නැන්දා”

”අර වම් පැත්තෙ හිටිය උස කළු මිනිහ කවුද?”

”ඌත් යකෙක්. නැන්දගෙ යාළුවෙක්. ඌ ඇවිත් හිටියෙ නැන්දගෙ උදව්වටයි. මගේ ලේ බොන්නයි.”

”ඔය කොයි කාලෙද?”

”2002”

බස් රියේ රියැදුරා උසාවියේ දී සාක්ෂි දෙමින් මාලින් බයිසිකලය වමට කැපුවා නම් මේ අනතුර සිදු නොවන බව පැවසූ බව සෝමසිරි (පියා) ද තහවුරු කළේය.

”ඒ විතරක් නොවෙයි සීලවතී නැන්දා මටයි ප්‍රියංකාටයි සමඟියෙන් ඉන්න දුන්නෙත් නෑ. රාත්‍රියට බය කරනවා. අපි එක කාමරයේ ඉන්නවාටත් තරහයි. හීනෙන් ඇවිත් බය කරනවා. බැරිම තැන තමයි ප්‍රියංකා දරුවත් අරගෙන ගෙදර ගියේ.”

”කෝ ප්‍රියංකයි දරුවයි?”

”මේ ඉන්නෙ මගෙ දුවයි, නෝනයි” යැයි එහි හිඳගෙන හිටි දරුවත් බිරියත් අත දිගුකර පෙන්වීය.

”ඉතින් මහත්තයා සීලවතී නැන්දා ඇවිත් ඉන්නේ වෛරයෙන්. පළිගන්න. අපේ ගෙදර අයව බිලිගන්න. පළවැනි බිල්ලට මාව මරා ගත්තා. මම දැන් ඇවිත් ඉන්නේ අම්මගෙයි තාත්තගෙයි ප්‍රියංකාගෙයි මගේ චූටි දුවගෙයි ආරක්ෂාවට. සීලවතී නැන්දගෙ උත්සාහය ඊළගට මගේ අම්මව බිල්ලට ගන්න. ඒකයි ලෙඩ කරන්නේ”

”කෝ දැන් සීලවතී නැන්දා?”

”අපි ගෙදර ඉඳලා එනකොට අපිත් එක්කම ආවා. අර මිදුලේ ඉන්නේ තරහෙන් පුපුර පුපුරා”

”එහෙමද? එහෙනම් දැන් මාලින් අම්මගෙ ඇඟෙන් ඉවත් වෙනවද?”

”බැහැ.. බැහැ.. මම ඉන්නේ ආරස්සාවට. සීලවතී නැන්දව ඉවත් කළොත් මම ඒ මොහොතෙම අයින් වෙලා යන්න යනවා”

”හොඳයි මාලින් දැනට ටිකක් ඉවත් වෙන්න. මම නැන්දව අම්මගෙ ඇඟට අරගෙන කතා කරන්නම්. මාලිනුත් බලාගෙන ඉන්නකෝ”

මාලින් ඉවත් වූ පසු මාලිනීගේ සිරුරට සීලවතීගේ භූතාත්මය ආවිශ්ට කළේය. ඇය හූ කියන්නත් දඟලන්නටත් වූවාය. කීකරු කරන්නට බැරිම තැන වේවැල පෙන්වා පාලනය කළේය.

”කව්ද මේ දඟලන්නේ?”

”මම… සීලවතී”

”ඇයි මේ අයට හිරිහැර කරන්නේ?”

”තරහට”

”ඇයි තරහා?”

”මම මුන්ගෙන් පළිගන්නවා. පළිගන්නවා මයි. දැන් එකෙක් බිලි ගත්තා. මුන්ගෙ තව ම වෙලාව හොඳයි. ඒකයි මම පරක්කු. නැත්නම් මේකිවත් මම මරාගෙන.”

”ඇයි මේ සහෝදරයාගෙ පවුලෙ අය සමඟ වෛර?”

”මම මුන්ගෙන් පළිගන්නවා. මුන් මගේ කසාදෙට කුල ප්‍රශ්නයක් නිසා විරුද්ධ වුණා.. මුන් බැඳලා ජොලි කරනවා. මමයි මාලින්ව මැරුවෙත්. මුන් වත් මරාගෙන යනවා. තොපි ඔක්කොම මරනවා”

”එහෙම කරන්න හොඳ නැහැනෙ”

”ඇයි නැත්තෙ? මම කසාදයක් කරගන්න නැතුව ගෙදරට නාකිවෙලා මැරුණා. ඒ හිතේ අමාරුව මදිවාට පිළිකාවකුත් හැදුණා. මම දුක් විඳිනවා. මුන් කසාද බැඳලා ජොලි කරනවා”

”තමුන් මහා බරපතළ පාපයක් මේ කරන්නේ. තමුන් ගේ විවාහය හරි නොගියාට මේ අය පළි නැහැ. තමුන් පූර්ව ආත්ම භවයක අනුන්ගේ විවාහයක් කඩාකප්පල් කළ පාපයටයි තමුන්ට විවාහයක් හරි නොගියේ. මේ කරන වැඩවලින් කල්ප ගණනක් නිරයේ දුක් විඳින්නයි සිද්ධ වෙන්නේ”යි භූතාත්මයට අවවාද කොට, පවුලේ අයට බෝධි පූජා දහහතරක් පවත්වා නැවත එන ලෙස දැනුම් දුන්නේය.

දින දහහතරකින් පසු ඔවුහු නැවත පැමිණියහ. එදින ද මාලනීගේ සිරුරට මාලින් ආවිශ්ට විය.

”අද කව්ද මේ ශරීරයේ ඉන්නේ?”

”මම මාලින්”

”මාලින් අම්මගේ ශරීරයෙන් ඉවත් වෙනවාද?”

”ඔව්! මහත්තයා. මම මගේ සොහොනට වෙලා ඉන්නවා. හැබැයි සීලවතී නැන්දට නම් එන්න දෙන්න එපා.”

”හොඳයි දැන් මාලින් යන්න. දානයක් දී පින් අනුමෝදන් කරන්න මම තාත්තට කියන්නම්. ඒ පින් අනුමෝදන් වෙලා සිත සතුටු කැරගෙන ඉහළට යන්න.

ඊළඟට සීලවතී කැඳවීය.

”මොකද කියන්නේ? මේ අය අතහැර යන්න මොනවද වුවමනා?”

”මම යන්නම්. හැබැයි කුකුල්ලු හත්දෙනෙක් කපලා ලේ ඕනෑ”

”බෑ.. බෑ.. සත්තු මරන්න බෑ..”

”සාංඝික දානයක් දී පින් දෙන්නම්. නැත්නම් බෙල්ලෙන් අල්ලලා දොට්ට දානවා.”

සාංඝික දානයක් දී පින් දුන්නද සීලවතී බෝධියකට යන්නට අකමැති විය. ඒ නිසා පවුලේ අයටත්, නිවසටත් දැඩි ආධ්‍යාත්මික ආරක්ෂාවක් දැම්මේය. ඊට අනුව දිනපතා නිවසේ කළ යුතු පිළිවෙත් පිරිසුදුව සිදුකරන්නට උපදෙස් දුන්නේය.

වැඩි විස්තර 0716398690 දුරකතන අංකයෙන් විමසන්න.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: