Posted by: lrrp | July 14, 2012

සුමනාට තෙවැනි වරටත් අංග විකල දරුවෙක්

මවු පියනට ඇති ආදරය, දරුවනට ඇති ආදරය ලොව උත්තරීතර සම්බන්ධතාවයකැයි අපි සිතා සිටින්නෙමු. එහෙත් එය මරණින් මතු එහාට ගෙන යෑමේ දී, වෙනත් වචනවලින් පැහැදිලි කරනවා නම් දුගති ගාමී භූතාත්ම සමඟ සහසම්බන්ධතා පැවැත්වීමේ දී ඒ ආදරයත් බොහෝ දුරට හරහට සිටින අවස්ථා ඇත. ආදරය උත්තරීතර මනුෂ්‍ය ධර්මතාවක් බව සැබෑය. එහෙත් ලෝකයේ සාමාන්‍ය ජීවිතයේ දී දක්වන ආදරය තුළ මමය, මාගේය, තණ්හාවය, ද්වේෂය, මෝහය යන කාරණා ද ගැබ්ව ඇත.

උදාහරණයක් වශයෙන් ලස්සන මලින් බරවූ රෝස පඳුරක් ගැන සිතන්න. එය රෝපණය කළේ ඔබය. එයට දිය පොහොර යොදා වල් පැළ උදුරා ඉවත් කොට සාත්තු කළේ ඔබය.

ඔබ රෝපණය කළ මේ රෝස පඳුරේ දැන් මල් පිපී ඉතා ලස්සනට පවතී. ඔබ මේ රෝස පඳුර ගැන සිතන්නේ කෙසේ ද? “මේ මල් පඳුර රෝපණය කළේ “මම” ය. මුලින් ම ඉතා කුඩා රෝස අතු කැබැල්ලක් ගෙනැවිත් සිටෙව්වේ “මම” ය. එය මුල් ඇද අලුතින් දලු ලියලා එන විට දිය පොහොර යොදා සාත්තු කළේ “මම” ය. පායන කාලයට නොවරදවා ම උදේ සවස වතුර සැපයූවේ “මම” ය. දැන් “මගේ” රෝස පඳුර “මගේ” සාත්තුව නිසා ආදරය නිසා හොඳින් හැදී වැඩී ඇත. “මම” යෙදූ පොහොර නිසා අතු අග කැකුළු හට ගත්තේ ය. දැන් “මගේ” රෝස පඳුර මලින් බර වී ඇත. බලන්න ලස්සන ය. “මම” සිටැවූ “මගේ” මල් ගසේ මල් පිපී තිබෙනවා දකින අය ද සතුටු වෙති.

එය “මට” සතුටකි. ආඩම්බරයකි. දැන් “ඔබේ” ම පවුලේ “ඔබේ” සහෝදරියෝ ද මේ මල් ගසට සාත්තු කරති. දැන් මේ “මගේ” මල් ගසට අවුරුද්දකටත් වඩා කාලයක් “මම” තනිවම සාත්තු කරද්දී “මට” උදව් නොවූ අක්කා දැන් මල් පිපී ලස්සනට තිබෙනවා දැක සාත්තු කරයි. එයා මොකටද “මගේ” මල් පඳුරට දැන් සාත්තු කරන්නේ”යි ඔබට පුංචි තරහවක්, ඊර්ෂ්‍යාවක් යටි සිතෙන් මතු නොවන්නේ ද? ඔබ වචනයෙන් ප්‍රකාශ නොකළත් ඔබේ සිතේ සියුම් ගැටීමක් ඇති නොවන්නේ ද? ඔබ ගමෙන් පිට වී දුර බැහැරක ගොස් සිටිය දී අක්කා රෝස පඳුරට සාත්තු කළා නම් එය වෙනත් කාරණයකි.

ඔබ මේ නිවසින් බැහැර නොගොස් මල් පඳුරට අවශ්‍ය දිය පොහොර අවශ්‍ය වේලාවට සපයමින් සිටියදීත් “මොකක්ද මෙයාට තියෙන වුවමනාව“ – මොකක්ද මේ “මගේ” මල් පඳුර ගැන මෙයාට අලුතින් හැදුණු කැක්කුම?” යැයි ඉඳහිටවත් ඔබට නොසිතෙන්නේ ද?” මේ මිදුලේ තවත් ඕනෑ තරම් ඉඩ කඩ තිබියදී මෙයා “මගේ” මල් ගසට දැන් මටත් වඩා සාත්තු කරන්නේ මොකදැ”යි ඔබේ සිත තුළ යම් ගැටීමක් මතු නොවන්නේ ද? ඒ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය යි.

ඒ සිතුවිලිවලට මිශ්‍ර වී ඇත්තේ “මම” ය “මගේ” ය යන සංකල්පය තුළින් මතු වූ ලෝභය යි ද්වේෂය යි මෝහය යි ඊර්ෂ්‍යාවයි, කුහක කමයි. මෙය ඉතා සියුම්ව සිතා බැලිය යුත්තකි. ඔබේ දරුවා විභාගයෙන් සම්මාන හතක් ලබා සමත් වන විට ඔබේ ම සහෝදරිය ගේ දරුවා සම්මාන අටක් ලබා සමත් වී ඇත්නම් ඔබේ සිත තුළ පැන නගින්නේ ද මෙවැනි ම සිතුවිලි නොවේ ද? අප සාමාන්‍යයෙන් භාවිත කරන “ආදරය”, උත්තර මනුෂ්‍ය ධර්මයන් වන මෛත්‍රී – කරුණා – මුදිතාවලට බොහෝ පරස්පරතා ඇත.

ඔබ කාලයක් ආදරය කොට, “ඔබ නොලැබුණොත් මම මැරෙනවා” යැයි කියූ පෙම්වතිය හෝ පෙම්වතා සමඟ විවාහ වී සතුටෙන් සමාදානයෙන් කල් ගෙවන අතර අවුරුදු දහයක් පහළොවක් ගත වන විට ඔබේ කෙස් පැසී දුර්වලව වයස්ගත ලකුණු පහළ වෙද්දී ඔබේ කලත්‍රයා තව තවත් තරුණ ප්‍රසන්න ස්වභාවයක් දරයි නම් දුටුවන් මන බඳින අයුරින් හැසිරේ නම් ඔබට සිතෙන්නේ කුමක් ද?

අපේ පියවි ඇසට නොපෙනෙන ලෝකය ඉතා විවිධ ය. විචිත්‍ර ය. “නානත්ත කායා – නානත්ත සංඥා” පුද්ගලයින් ගේ ශරීර නා නා විධය. සිතුම් පැතුම් ද නානා විධය. මේ ධර්මතාව භූතාත්මවලට ද පොදු ය. යම් කිසි භූතයෙකු මිනිස් ශරීරයකට රිංගන්නේ තරහ අමනාපයකින් පළිගැනීමට ය. නැතහොත් ආදර ඇලීමකින් ඇසුරේ සිටීමට ය. මේ දෙයාකාරයෙන් කිනම් අයුරකින් සම්බන්ධ වුව ද එය මිනිස් සිරුරට අහිතකරය. මේ සම්බන්ධතා සංසාර ගනුදෙනු ක්‍රමයකි. මේ එවැනි කතාවකි.

සුමනාත් වීරසිරිත් විවාහ වූයේ ආදර සම්බන්ධතාවක් පදනම් කොට ගෙන ය. දෙදෙනා ම රාජ්‍ය ආයතන දෙකක රැකියාව කරති. හොඳ වැටුප් ලබති. ලස්සන අංග සම්පූර්ණ නිවසක පදිංචිව සිටිති. තමන් ගේ ම වටිනා වාහනයක ගමන් බිමන් යති. උගත් කමින් ද ඉහළ මට්ටමක සිටිති. තාරුණ්‍යයට අවශ්‍ය සියලු සුඛ විහරණ විඳිමින් ජීවත් වෙති.

ලෞකික දියුණුව මෙන් ම අධ්‍යාත්මික දියුණුව ද කෙනෙකුට අවශ්‍ය බව පැහැදිලිව පිළිගනිති. එහෙත් “අප තවමත් තරුණ ය. දාන – සීල – භාවනා කරන්නේ කෙනෙකු මහලු වූ විටය. හිස කෙස් පැසුණු විටය. දානමාන දෙන්නට, සිල් සමාදන් වෙන්නට, භාවනා කරන්නට තව බොහෝ කල් ඇත. ඒවා එදාට කරනවා” යැයි කල් දමා ඇත. මේ තරුණ කාලයේ නොවිඳින සැප නොකරන “ජොලි” කවදා කරන්නට දැයි සිතා හොඳින් කා බී විනෝද වෙමින් සිටිති.

මේ අතර සුමනා ගැබ් ගත්තා ය. මම ඉහළ ම සතුට විඳින අම්මා විය යුතු ය. මට උපදින දරුවා පුතෙක් විය යුතු ය. ලස්සන පුතෙක් විය යුතුය. ත;රීගී පුෂ්ටිමත් පුතෙක් විය යුතුය යන හැඟීමෙන් විශේෂඥ වෛද්‍යවරුන් කරා ගොස් ඒ උපදෙස් අනුව ඉහළ ම පෝෂ්‍යදායී ආහාර ගත්තා ය. මේ සිද්ධිය අදින් දසක කීපයකට පෙර සිදු වූවක් බැවින් ඒ කාලයේ ස්කෑන් පරීක්ෂණ මගින් කුසේ සිටින දරුවා ගැන පරීක්ෂා කැර බැලීමක් සිදු වූයේ නැත. නියමිත කාලය ගෙවී යෑමත් සමඟ ප්‍රසූතිය සිදු විය.

”දෙය්යනේ මේ මොන අවාසනාවක් ද?” උපන්නේ දැරියකි. ඇය අංග විකලය. ඒත් මේ අපේ ම දියණිය නේදැ යි සැලකූ සුමනාත් වීරසිරිත් දැරියට උපරිමයෙන් ආදරය දක්වමින් සාත්තු සප්පායම් කළහ. එහෙත් මාසයක් ගත වන විට මේ දුර්වල දැරිය මිය ගියාය.

පුංචි ලස්සන මිනි පෙට්ටියක සුදු පැහැති විල්ලු ද රෙදි මත සැතපූ ළදැරිය ගේ සිරුර අසල හඬා වැලපෙන සුමනා “මගේ රත්තරන් දුවේ! ඔයා ආයෙත් මගේ ම කුසේ ම උපදින්නැ”යි බැගෑපත් වූවා ය. නිවසේ සාලය මැද තබා තිබුණු මිනි පෙට්ටිය අසලින් ඈත් නොවුණු සුමනා ඒ දවස පුරාම හඬා වැටුණේ අනේ! මගේ දුව මා අතහැර නොගොස් යළිත් මගේ ම වී උපදින්නැ යි කියමිනි.

පසුදින සුදු වියනක් යටින් සුදු ඇඳගත් පිරිසක් බිමට යොමු කළ නෙතින් ශෝකාකූලව සුසානය කරා ගමන් ගන්නා පෙරහැරකි. දෝතින් ගත් කුඩා මිනිපෙට්ටිය පපුවට ළං කැර ගෙන ඉදිරියෙන් හෙමින් හෙමින් ගමන් ගන්නා වීරසිරි ය. ඔහු පසු පසින් තවත් කාන්තාවන් දෙදෙනෙකු විසින් දෙපසින් වත්තම් කැර ගෙන යන සුමනා ය. “අනේ මගේ රත්තරන් මැණික ඔයා ආයෙත් මගේ ම කුසේ උපදින්න ඕනෑ” යයි හඬා වැලපෙමින් ඇය පියවරෙන් පියවරම පැතුවා ය.

පළමු දියණියගේ මරණින් පසු සුමනා දෙවැනි වතාවටත් ගැබ් ගත්තා ය. අවාසනාවක මහත! ඇය දෙවැනි වරටද ප්‍රසූත කළේ අංග විකල වූ දැරියකි. ඒ දැරිය ද මාසයකින් පමණ මිය ගියා ය. දැරිය මිය ගිය අවස්ථාවෙ පටන් භූමදාන කරන අවස්ථාව දක්වාම සුමනා හඬා වැලපුණේ “මගේ රත්තරන් දුවේ ඔයා ආයෙත් මගේ ම කුසේ උපදින්නැ”යි කියා ය. දෙවැනි දියණියගේ මරණයෙන් මාස කීපයකින් පසු සුමනා නැවතත් ගැබ් ගත්තා ය. එවර ද ප්‍රසූත වූයේ එවැනි ම දුර්වල අංග විකල ළදැරියකි. ඇය ද මාස දෙකකින් මෙලොව අතහැර ගියාය. මේ වතාවේ ද සුමනා වැලපුණේ ඇයට නැවතත් ඇගේ කුසේ ම උපදින ලෙස ආරාධනා කරමිනි. මේ ළදැරියන් තුන් දෙනා ම ඉපිද සිටියේ අංග විකලත්වය සමඟ ම හදවත්වල සිදුරු ද සහිත ව ය.

තුන් වැනි වතාවටත් මෙසේ සිදු වූ ළදරු මරණයෙන් පසු පවුලේ හිතවතෙක් සුමනාටත් වීරසිරිටත් උපදෙසක් දුන්නේ ය.

”බුදු දහමේ හැටියට මවකගේ කුසක දරුවෙක් පිළිසිඳ ගන්න කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕනැ. මවගේ ගර්භාෂය පිරිසුදුව තිබීම, මවුපිය ;දදෙනා ගේ එකතුවීම හා ගන්ධබ්බයෙකු ගේ පැමිණීම ඒ කාරණා තුනය. එයින් එකක්වත් අඩු වුණොත් දරුවෙකු පිළිසඳ ගන්නේ නෑ. මේ මනුෂ්‍ය සමාජයට අවශ්‍ය පුද්ගලයෙක් වීමට නම් ආයු – වර්ණ – සැප – බල – ප්‍රඥා යන බල පහ ලබන්න ඕනෑ. ඒකට අම්මයි තාත්තයි දෙන්නා මස්, මාළු, කිරි, බිත්තර ආදී පෝෂ්‍යදායී ආහාර පමණක් ගත්තාට වැඩක් නැහැ.

දරුවෙකු පිළිසිඳ ගන්නට පෙර සිට ම මව් පිය දෙදෙනා ගේ සිත කය දෙක ම පිරිසිදු නිරෝගී වෙන්න ඕනෑ.” මට නීරෝගී, බුද්ධිමත්, ප්‍රසන්න, දීර්ඝායු සහිත දරුවෙකු ලැබෙන්න ඕනැ” කියන ප්‍රාර්ථනය අධිෂ්ඨානය තියෙන්න ඕනැ.

මේ ලෝකයේ කර්මානුරූප උපතක් ලැබීම සඳහා සුදුසු මවක, පියෙකු හා සුදුසු පරිසරයක් පතන ගන්ධබ්බයින් සැරිසරනවා. අපේ පියවි ඇසට නොපෙනුණත් එවැනි ගන්ධබ්බයන් බහුලයි. එවැනි ගන්ධබ්බයෙකුට සුදුසු මවු කුසක් ලැබෙන්නේ මවුපියන්ගේත්, ළදරුවාගේත් කර්මානු රූපවයි.

එය සොබාදහම හා විශ්ව ශක්තීන් විසින් තෝරා දෙනු ලබන අවස්ථාවක්. ඒ වගේ මේ මවුපිය දූ දරු සම්බන්ධය කර්මානුරූප වූ විශ්ව නියාමික ගනුදෙනුවක්. මේ උපදින දරුවන් මව්පියන්ගේ ණයකාරයෝ වගෙයි. ඒ දරුවාට සෙනෙහස, මව් කිරි, ශාරීරික සුවය හා සැප සම්පත් ලබා දෙන්නේ මවුපියෝ.

පූර්වයෙහි ගත් ණය ගනුදෙනුවක් පියවනවා වගෙයි මේ දරුවා උස් මහත්වන තුරු ම සිදු වන්නේ. ඒ වගේ ම මව් පිය දෙදෙනා ඒ දරුවන්ගෙන් සෙනෙහස, සැප සම්ත් හා ඇප උපස්ථාන ලබන්නෙත් ණය ගනුදෙනුවක් පියවනවා වගෙයි.

පින්වත් ගන්ධබ්බයින් වැඩි හරියක් සැරසරන්නේ පූජස්ථාන ආශි‍්‍රතව යි. නිතර පුද පූජා පැවැත්වෙන පිරිත් කියැවෙන බෝධින් වහන්සේ ආශි‍්‍රතව එවැනි ගන්ධබ්බයන් සැරිසරනවා. ලංකාවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අධිගෘහිත (ප්‍රධාන) කළු දේවතා බණ්ඩාර දෙවියෝ අනිකුත් බෝධීන් වහන්සේලාට ද ප්‍රධාන බව පිළිගැනීමයි.

ඒ නිසා නිතර පූජා සත්කාර පැවැත්වෙන බෝධියක් ළඟ ආජීව අෂ්ටමක ශීලය සමාදන් වී දින විසි එකක් බ්‍රහ්මචරිය අධිෂ්ඨාන කොට ප්‍රතිඵල පෙනුණු පසු අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට නියමිත භාර හාර වී ප්‍රතිපත්ති ගරුකව මස් මාංශ බිත්තර උම්බල භාවිතය අතහැර මෛත්‍රී සහගතව ජීවත් වෙන ලෙස උපෙදස් දුන්නා. එවිට පින්වත් ගන්ධබ්බයෙකු පිළිසිඳ ගන්නා බව ද පැහැදිලි කර දුන්නා.

ඒ අනුව සුමනාත් වීරසිරිත් කටයුතු කළහ. හිතවතා ගේ උපදෙස් පරිදි බෝධියක් ළඟ දී භාරහාර වී දින විසි එකක් නිවසේ උදේ සවස තෙරුවන් කෙරෙහි පුද පූජා පැවැත්වූහ. නියමිත සෙත් පිරිත් හා ආරක්ෂක පිරිත් විධි සජ්ඣායනා කළහ. ආරක්ෂක විධි ඉටු කළහ. දින විසි එකෙන් පසු ආජීව අෂ්ටමක ශීලයේ අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛා පදං සමාදියාමි, යන පදය වෙනුවට කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදංසමාදියාමි යන සිල් පදය සමාදන් වී ඒ බෝසත් සීලයේ ම අඹු සැමියන් ලෙස විසූහ. මෛත්‍රී භාවනාව වැඩූහ.

සුමනා නැවතත් ගැබ් ගත්තා ය. නියමිත කාල වකවානුවලින් පසු ඇය ඉතා ප්‍රසන්න දියණියක් ප්‍රසූත කළා ය. ඇය නිරෝගීය. ප්‍රසන්න ය. බුද්ධිමත් ය. මේ වන විට ඒ දියණිය සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ඉහළින් සමත් වී උසස් අධ්‍යාපනයේ නිරත වී සිටින්නීය.

මෙය ද මෛත්‍රී භාවනාවේ හා ආධ්‍යාත්මීය ශක්තීන්ගේ ආනිසංසයකි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: