Posted by: lrrp | July 29, 2012

කොඩිවිනය ආපසු කැරකෙයි

 

භූත විද්‍යාව ලෝකය පුරා ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී. මරණයෙන් පසු උපතක් නැතැයි දැඩි සේ පිළිගෙන සිටි බටහිර රටවල භූතයන්ගෙන් එළඹෙන උපද්‍රවවලට ප්‍රතිකාර කරන ස්ථාන, මළවුන් ගෙන්වා කතාකරන ස්ථාන, සෑම නගරයකම පාහේ පවත්වාගෙන යති. මෙසේ සිදුවීමට හේතුව යක්ෂ, ප්‍රේතාදී දුගතිගාමී ආත්ම ලබා උපදින්නන්ගේ ප්‍රමාණය ඉහළ යෑමත්, භූතයන් බලවත් වීමත්ය. එයට හේතුවක් නැත. මිනිසා ජීවත්වීමේදී නොසන්සිඳුණු අසීමිත ආශාවන්ගෙන්, උවමනාවන්ගෙන් කටයුතු කිරීමය.

මෙය දහමෙහි හඳුන්වන්නේ විෂම ලෝකය හා අසීමිත තණ්හාව යනුවෙනි. එසේ සිදුවන්නේ මරණයෙන් මතු නැවත උපතක් ඇතැයි නොසිතා කටයුතු කිරීමය. මරණයෙන් මතු දුගතිගාමී ආත්මවල ඕපපාතිකව ඉපිද අවුරුදු දසදහස් ගණන්, කල්ප ගණන්, දුක්විඳීමට සිදුවන බව නොදන්නාකමය. බෞද්ධයන් වශයෙන් ජීවත්වන අය මරණයෙන් මතු උපතක් ඇතැයි දන්නා නමුත්, ලෝභ ද්වේෂ, මෝහ යන අකුසල හේතූන්ගෙන් හෙවත් පාපයේ විපාක ඇතැයි දන්නා නමුත් අධික තණ්හා, ආශා, තරහ මරහ වෛර නිසා ඒ දැනුම යටපත් වී අක්‍රිය වෙයි.

භූත විද්‍යාවෙන් වැඩකරන පුද්ගලයා අනිවාර්යයෙන්ම දැහැමි විය යුතුය. පව සහ පින පැහැදිලිව හඳුනාගත යුතුය. කර්මය හා විපාකය අවබෝධ කැරගත යුතුය. භූතයන් පිළිබඳ කටයුතු කරන ඇදුරෝ ඒ කටයුතු කරන්නේ ද භූතයන්ගේ උදව් උපකාර ඇතිවය. කල හොඳ කල් හොඳය. කල නරක් වූ දාට ඔහු හෝ ඇය මරාගෙන යන්නේ ද ඒ භූතයෝමය. එසේම භූත විද්‍යාවෙන් යම් යම් දේ කරන අය මට වඩා දක්ෂයෙක් නැතැයි මට වඩා කෙරුමෙක් නැතැයි හිතාගෙන කයිවාරු ගසාගෙන කටයුතු කළත් තමන්ට වඩා දක්ෂයන් ලෝකයේ සිටින බව සිතා ගත යුතුය. එසේ ම ඇදුරුකම් කරන්නන්ගෙන් සියයට අනූනවයක්ම නරකාදි අපායවල ඉපිද කල්ප ගණන් දුක්ඛ විපාක ගෙවන්නට පාර කපා ගන්නා බව සිතා ගත යුතුය.

මේ කොස්ගොඩ ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් අනුන්ට හදිහූනියම් කරමින් සිටි කමලාවතී නමැති කාන්තාවගේ කතාවයි. ඇය හිටි හැටියේ සිහිවිකල්ව විකාර කරන්නට වූවාය. කාලි අම්මාගේ වරමින් ශාස්ත්‍ර කියනවාය, ගුරුකම් කරනවාය කියා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයූ ඇය හිටි හැටියේ වේදනාවෙන් කෑගසන්නටත් හූ කියන්නටත් වූවාය.

ගෙදර වැසිකිලි වළේ වතුර බොන්නටත්, අසූචි කන්නටත්, මිදුලේ සෙම් සොටු කන්නටත් පටන් ගත්තාය. හිසකේ හැඩපලු ගෙතී කට දෙකෙළවරින් කෙළ වැගිරෙමින්, දෑස් යට ගොස් මළ ප්‍රේතියකගේ ස්වභාවයක් ගත්තාය. දන්නා අඳුනන ඇදුරන් ලවා පිළිවෙත් කළ ද සුවයක් නොලද බැවින් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය රැගෙන ආවාය.

එහි දී කමලාවතී තවත් වේදනාවෙන් කෑගසන්නට වූවාය. “පිච්චෙනවා පිච්චෙනවා”යි මොර දුන්නාය. ගවේෂක වරයා ඇගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය.

”කව්ද කව්ද මේ කෑගහන්නේ?”

”මම අප්පුහාමි’

”කව්ද අප්පුහාමියි කියන්නේ?”

”මම මේ කමලාවතීගෙ තාත්තා”

”අප්පුහාමි මොකද දුවගෙ ශරීරයට රිංගාගෙන?”

”මම මේකිට කාලිවරම අරගෙන දුන්නා. මම දූට උදව් කළා. දේවාලයෙදි දුවගෙ ඇඟට ඇවිත් සාත්තර කිව්වා. දුව දේවාලෙ වැඩ කරන ගමන් අනවින හදි හූනියම් කරන්නත් පටන් ගත්තා. ඒවායෙන් හම්බ කරන්න පටන් ගත්තා. තණ්හාව ඉහවහා ගියා. දුව නිසා මමත් උදව් කළා.”

”හූනියමක් කරන්න කීයක් විතර අය කළාද?”

”රුපියල් 75000/-ක් විතර”

”ඒ හූනියම්වලින් මොනවද කළේ?”

”මොනවද ඉතින් මිනිස්සුන්ට කොඩිවින කරලා ලෙඩ දුක් හදන එකනෙ. දියුණුව නැතිකරන එකනෙ”

”ඊට වඩා මොකුත් බැරිද?”

”ඇයි බැරි? දැනට අටදෙනෙක් මරලා තියෙනවා හූනියම් කරලා”

”අප්පේ! ඒවා මහා අපරාධනෙ?”

”ඔව් ඒකනෙ දැන් ඒ පාපයේ විපාක මමත් ගෙවනවා. වැසිකිලියේ වතුර තමයි පිපාසෙට බොන්නෙ. බඩගින්නට අසූචි කනවා. මොනවා කරන්නද දැන් මෙතැනින් මිදෙන්න බැරුවයි ඉන්නේ?”

”දැන් මේ දුවට හිරිහැර කරන්නේ කව්ද?”

”අපි කරපු කොඩිවිනයක් කැපුවා. ඒ විනය ආපහු ආවා. ඒ සමඟ භූතයෙකුත් එවලා. ඒ භූතයා තමයි කමලාවතීගෙ බෙල්ල මිරිකන්නේ. අපි කළ කොඩිවිනය අපට ම ආපහු ඇවිත් දැන් දුවගෙ ඇඟ පිච්චෙනවා. මටත් වේදනාවයි. අපි කළ අපරාධය අප කරාම ඇවිත්”

”ඇයි ඒ වගේ අපරාධ කළේ?”

”මේකිගෙ අසීමිත තණ්හාව. මිනීමරලා හරි හම්බකරන්නයි අදහස. මමත් දැන් ඒකෙ හවුල්කාරයෙක් වෙලා”

”කාටද මේ කොඩිවිනය කළේ?”

”කොළඹ කෙනෙකුට”

”ඇයි එහෙම කළේ?”

”කෙනෙකුගේ කීමට කළේ. රු. 75000/-ක් අරගෙන ඒ අයව මරන්නයි කළේ. මිනිස්සු ඉරිසියාවට කරන දේවල්. අපි ඒක රස්සාවකට අරගෙන හම්බ කරන්න කරනවා.”

”ඉතින් ඒක ආපහු ආවෙ කොහොමද?”

”ඒ මිනිස්සු හාමුදුරුකෙනෙක් ලවා කොඩිවිනය කැපුවා. ‘මා අත වරද නැත. කළවුන් බලාගන්. ආපිට පලයං. බිලි ගන්. රීරි ගන්. ආපිට පලයන් තෝස්වාහඞ” කියලා දරුණු මන්ත්‍රවලින් මතුරලා වින බන්ධනය කපලා ආපිට එව්වා. එතැන හිටිය දරුණු යක්ෂයෙක් බන්ධනය කරලා ආපසු එව්වා. දැන් මේකි ලෙඩ වෙලා විඳෙීනවා.”

”ඇයි දැන් කමලාවතීට බැරිද එයින් මිදෙන්න?”

”බැහැ අපට වඩා ඒ හාමුදුරුවො දක්ෂයි. හොඳ වැඩකාරයා. හාමුදුරුවො ළඟ හිටපු යක්ෂයෙක් ආවෙ. ඌ මගෙත් බෙල්ලෙන් අල්ලගෙනයි ඉන්නේ. දැන් අපට මොකුත් කරන්න බෑ. අපේ බලය බිඳිලා. ඒ යක්ෂයාව එවලා තියෙන්නෙ කමලාවතීව මරන්නමයි. මේකි මළොත් මේකිටයි මටයි දෙන්නටම අවීචි මහා නරකාදියෙ තමයි දඬුවම් විඳින්න වෙන්නෙ. අපි මේ සාත්තරයෙන් වැරදි විදිහට හම්බ කරන්න, තණ්හාවෙන් වැඩ කළ නිසා දැන් ඒ යක්ෂයා කොස්ගොඩ ඇවිත් කමලාවතීව මරන්නමයි උත්සාහය.”

”වැරදි වැඩ කළාම විපාක විඳින්න ඕනෑ.”

”අනේ අපට අනුකම්පා කරලා මේ විපතින් මුදාදෙන්න”

”මිනී මරලා ලස්ස ගාණක් හම්බ කරලා දැන් අනුකම්පා කරන්නලු. හොඳයි මම කියන දේවල් හරියටම කරනවා නම් මම කමලාවතී මරණයෙන් මුදා දෙන්නම්.”

”කියන ඕනෑම දෙයක් අපි කරන්නම්” යැයි කමලාවතීගේ දරුවෝ පොරොන්දු වූහ.

”හොඳයි දැන් ගිහින් ගමේ පන්සලේ දී සතියක් බෝධි පූජා තියන්න. ගිය හැටියෙම ගෙදර තියෙන දේවාලය කඩල බිමට සමතලා කරන්න ඕනෑ. ඔය දේවාලෙ තියෙන පිළිම කාගෙහරි දේවාලයකට ගිහින් දෙන්න ඕනෑ. බෝධි පුජාව අවසානයේ මල් ආසනයට අත ගහලා බුදුපිළිමය ඉදිරියේ දිව්රන්න ඕනෑ මීට පස්සෙ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්නෙ නෑ කියලා.

එයට පොරොන්දු වූ පිරිස කමලාවතී සමඟ පිටත්ව ගියහ. සතියකට පසු නැවත පැමිණියහ. එදින ද කමලාවතී ආරූඪ වූවාය.

”ආ.. කොහොමද අප්පුහාමි..”

”ඔන්න මහත්තයා කියපු විදිහට මේ ළමයි දේවාලය කඩල බිඳාලා දැම්මා. කමක් නෑ මේකිගෙ ජීවිතේ බේරගන්න පුළුවන් නම්”

”අපි උත්සාහ කරලා බලමු. දැන් තමන් පොරොන්දු වෙන්න ඕනෑ තවත් සතියක් බෝධි පූජා තියන්න ඕනෑ. ඒ අතරේ අර කොඩිවිනය කළ කොළඹ ගෙදරට ගිහින් ඒ ගෙදර අයට වැඳ සමාව අරගෙන එන්න ඕනෑ.”

කමලාවතීගේ දරුවෝ ඒ පොරොන්දු ඉෂ්ට කර නැවත පැමිණියහ. එදින ද කමලාවතී ආරූඪ වූ පසු කතා කළේය.

”කව්ද මේ?”

”අප්පුහාමි”

”දැන් අප්පුහාමි මේ ශරීරයෙන් ඉවතට යන්නැ”යි කියූ ගවේෂකවරයා කමලාවතී මරාගෙන යන්න පැමිණ සිටින යක්ෂයා ඇගේ ශරීරයට ගත්තේය. ඒ භූතාත්මය බොහෝම ගාම්භීරව රෞද්‍ර ලෙස පෙනී සිටියේය.

”කව්ද මේ?”

”මම බලසම්පන්න යක්ෂයෙක්. මම ගිහියන් ගණන් ගන්නේ නෑ! මැරෙන්න ආසා නම් මා එක්ක හැප්පෙන්න පුළුවන්.”

”මම හැප්පෙන්න එන්නෙත් නෑ. ඔය තර්ජනවලට බයත් නෑ”

”එහෙමද?”

”ඇයි මේ කමලාවතීට හිරිහැර කරන්නේ?”

”හිරිහැර? මේකි කරපු අපරාධ මහත්තයා දන්නවා නං. රුපියල් 75000 ගණනෙ අරගෙන කොඩිවින කරලා දැනට අටදෙනෙක් මරලා. මේකිව තියන්න වටින්නෙ නෑ. මැරිච්ච අප්පත් එක්ක එකතුවෙලා තවත් කොයිතරම් අනවින හූනියම් කරලා තියෙනවද? මම මේකිව මරනවා. ඒක මට ලැබුණු නියෝගයක්.”

”දැන් මේ අය වැරදි පිළිඅරගෙන දේවාලය කැඩුවා. විනකළ අයගෙන් සමාව අරගෙන”

”මට ඔය කතාවලින් වැඩක් නැහැ. මට මේකිව මරණවා මරණවායි.” කියමින් තර්ජනය කළේය.

භූතයා අකීකරුව දඟලන විට කිරණ ශක්තියෙන් දවාලන්නට අධිෂ්ඨාන කළේය. දින දහහතරක් එසේ දැවෙන්නට කටයුතු සලස්වා කමලාවතීට යළිත් දින දහ හතරකින් එන ලෙස දැන්වීය. ඊළඟ දිනයේ පැමිණෙන විට යක්ෂයා මෙල්ලවී සිටියේය. කැලණි බෝධියට යන ලෙසත් එතැනට රැගෙන එන සෑම මල් වට්ටියකටම අත ගසා පිනට දායක වන ලෙසත් නියම කළේය. අප්පුහාමි කළුතර බෝධියට යැව්වේය.

 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: