Posted by: lrrp | August 11, 2012

මිය ගිය පි‍්‍රයංවදා එලොව සිට බිලිඳු පුතාට මවු කිරි දෙයි

අමනුස්සයෝ යැයි හඳුන්වන විට ප්‍රේම – යක්ෂ – දේව – බ්‍රහ්ම ආදී අපේ පියවි ඇසට නොපෙනෙන සත්ත්ව කොට්ඨාස ඇතුළත් වේ. ඔවුන් ගේ ශරීර නිර්මාණය වී ඇත්තේ තත්මාත්‍රමය ධාතූන්ගෙන් ය. එනම් අපේ ශරීර නිර්මාණය වී ඇති පඨවි – ආපෝ – තේජෝ – වායෝ – යන ධාතූන්ගේ ම ඉතා ම සියුම් අවස්ථාවට “තත්මාත්‍ර” යැයි හඳුන්වති. එසේ ම ආහාරයට ගන්නා දේවල ද ඉතා ම සියුම් “තත්මාත්‍ර” කොටස මේ අමනුෂ්‍යයෝ ආහාරයට ගනිති.

මිනිසා ආහාරයට ගන්නා මස් මාළු කරවල බිත්තර බැදුම් පුළුටු ආදියේ සියුම් කොටස වන සුවඳ (ගඳ) ප්‍රේතයෝ ආහාරයට ගනිති. මේ අතර අනුන් සතු දේ සොරකම් කිරීම් ආදී පාපකර්ම කළ ප්‍රේතයෝ ආහාර ද්‍රව්‍ය කෑම් බීම් දැක දැකත් ආහාරයට ගැනීමට නොහැකිව පිපාසයට දිය බිඳක් පානය කළ නොහැකිව දුක් විඳිති. සමහර ප්‍රේතයෝ අපිරිසිදු ලේ මස් අසූචි ආදිය ආහාරයට ගනිති. යක්ෂයෝ මිනිසුන් ඇන කොටා ගැනීමට සලස්වා ලේ පානය කරති. සමහරු ශරීරවලට රිංගා රීරි උරා බොති. සමහර යක්ෂයෝ මිනිසුන් උනුනුන් කෝප ගන්වා ඔවුන්ගේ ශරීරවලින් නිකුත් වන වෛරයේ කිරණ ආහාරයට ගනිති. කෝපයට පත් මිනිසුන් ගහ මරා ගන්නා විට වැගිරෙන ලේ මස් ඒ යක්ෂයන්ගේ සේවක පිරිස පිරිවර ආහාරයට ගනිති. මිනිසුන්ගේ මෙන් ම මේ අමනුෂ්‍යයන්ගේ අදහස් ද ගතිගුණ ද ශරීර ද විවිධය.

දෙවියෝ මිනිසුන්ගේ පුණ්‍ය ක්‍රියාවන් දැක සතුට පී‍්‍රතිය සිල් සුවඳ ආහාරයට ගනිති. අනුමෝදන් වෙති. මල්වල සුවඳ ආඝ්‍රාණය කරති. බූමාටු දෙවිවරු ගස්වැල්වල, මල්වල, කොළවල, පොතුවල, මුල්වල සුවඳ ආඝ්‍රාණ්‍ය කරති.

තමන්ගේ දූ දරුවන් හා ගේ දොර ඉඩකඩම් පිළිබඳ ආශාවෙන්, දැඩි සේ ඒවාට බැඳුණු සිතින් මිය යන්නෝ ඒ දූ දරුවන් හා ගේ දොර ඉඩකඩම් වලට සමීපව දුගතිගාමීව උපදිති.

මේ මොනරාගල ප්‍රදේශයේ සිද්ධියකි. පි‍්‍රයංවදා තිස් හැවිරිදි තරුණ විවාහක කාන්තාවකි. ඇගේ ස්වාමි පුරුෂයා ආරක්ෂක අංශයක සේවයේ නියුතු වූවෙකි. මේ සෙනෙහෙබර තරුණ පවුල් ජීවිතයට අවාසනාවේ ප්‍රහාරයක් එල්ල වෙමින් කුළුඳුල් දරු උපතේදී පි‍්‍රයංවදා අවසන් හුස්ම හෙළුවාය. කලින් සිට ම ඇයට තිබුණු රුධිර පීඩන රෝගයත් අධික ලෙස රුධිරය ගලා යෑමත් නිසා පි‍්‍රයංවදා ගේ මරණය සිදු වූ බව වෛද්‍යවරුන්ගේ නිගමනය විය.

පි‍්‍රයංවදාගේ නැගනිය සකුන්තලාය. ඇය සිය සහෝදරියගේ බිලිඳු පුතු හදා වඩා ගැනීමේ වගකීම අවංකව ම බාර ගත්තාය. මිය ගිය සහෝදරියට දක්වන සෙනෙහසේ ගෞරවයක් වශයෙන් ඇය මේ සිඟිති පුතු කැපවීමෙන් ම හදා වඩා ගත්තා ය.

දරුවා තුරුලු කැර ගෙන නිදාගන්නා සකුන්තලා හිටි හැටියේ ගැස්සී නින්දෙන් ඇහැරෙන ගතියක් දින දෙක තුනකට වරක් නොවරදවා ම සිදු විය. ඒ හැම අවස්ථාවකම සිඟිති පුතු අහස දෙස බලා සිනාසෙමින් සිටින බවද දුටුවාය.

මේ පුතාට වයස අවුරුද්දක් ලබන විට වචන එක දෙක බහ තෝරන්නට විය. දරුවා සිනාසෙමින් සතුටින් සිටින අතර හිටි හැටියේ ම “ගියා… ගියා… නෑ… නෑ…” යැයි මහ හඬින් හඬන්නට විය. මේ අවස්ථාවල පුංචි අම්මා දරුවාගේ අවධානය වෙනතකට යොමු කර කෙසේ හෝ නළවා ගත්තාය.

පන්සලේ හාමුදුරුවන් ගෙදරට වඩමවා වේල් පිරිත් දේශනා පැවැත්වුවද මේ ඇඬිල්ල නතර නොවිනි.

වයස අවුරුදු හත වන විටත්, එනම් පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලබන කාලය වන විටත් මේ දරුවා හිටි හැටියේ “ගියා… ගියා… නෑ… නෑ…” යි අහස දෙස බලා ඇඬීම නතර වූයේ නැත. බෝධි පූජා පැවැත්වුවද වෙනත් ශාන්ති කර්ම සිදු කළද මේ දරුවාගේ අස්වාභාවික ඇඬිල්ලත්, සකුන්තලා නින්දෙන් තිගැස්සී අවදිවීමත් නිතර නිතර සිදු විය. වත් පිළිවෙත්වලින් සුවයක් නම් නොවීය.

මේ අතර දරුවාගේ කටේ තොල්වල දිය බුබුළු හට ගන්නට විය. දෑත්වල ද එවැනි ම බුබුළු හටගන්නට විය. දරුවාට ඒ නිසා ආහාර ගැනීමේ අපහසුතාවක් ද හට ගැනුණි. ලුණු – මිරිස් මිශ්‍ර ආහාර ගැනීමට කොහෙත්ම නොහැකි විය. කරන ලද කිසිම වත් පිළිවෙතකින් හෝ වෛද්‍ය ප්‍රතිකාරවලින් කිසිදු සුවයක් නොලැබීම නිසා “සිළුමිණ” පාඨකයෙකු වූ පවුලේ සමීප ඥාතියෙකුගේ උපදෙස් මත දරුවා ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ගෙන එනු ලැබුණි.

මෙහිදී සකුන්තලා ප්‍රලය වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට පටන් ගත් අතර සකුන්තලා හඬන්නට වූවාය.

”ඇයි මේ අඬන්නේ?”

”බැහැ… බැහැ… මට මගේ දරුවාව දාලා යන්න බෑ. අනේ මාව පන්නන්න නම් එපා. මේ මගේ පුතා. මගේ පුතාව මට ඕනෑ. මාව දරුවගෙන් ඈත් කරනවා නම් ඒක මහා අසාධාරණයක්. මම යන්නේ නෑ. මම යන්නේ නෑ. අනේ : මහත්තයෝ මාව දරුවගෙන් ඈත් කරන්න නම් එපා” යි නැවතත් අඬන්නට වූවාය.

”හරි හරි මේ ඔක්කොටම කලින් ඔය කවුද කියන්න කෝ?”

”මම පි‍්‍රයංවදා”

”කවුද පි‍්‍රයංවදා කියන්නේ?”

”මේ සකුන්තලා නංගිගේ අක්කා. මේ පුතාගෙ අම්මා.”

”පි‍්‍රයංවදාට මොකද වුණේ?”

”අනේ! මහත්තයා මමයි මගේ මහත්තයයි හරි ම සතුටෙන් සමගියෙන් ජීවත් වුණේ. කුළුඳුල් පුතාගෙ මූණ බලන්න අපි කොයි තරම් ආසාවෙන් ද ජීවත් වුණේ? ඒ දරුවා ලැබෙන්න ගිහින් මට අමාරු වෙලා මම මැරුණා.”

”ඊට පස්සෙ මොකද වුණේ?”

”මරණයෙන් පස්සෙ මම අහසේ පාවෙවී හිටියා. මට වෙන කිසි දෙයක් මතකයට ආවේ නෑ. දවසක් හිටි හැටියේ මට මගේ මහත්තයාව මතක් වුණා. මට දරුවෙක් ලැබෙන්න හිටියා නේද? මම ඉස්පිරිතාලෙ ගියා නේද? කියලා එක දිගට සිහියට ආවා.”

”ඊට පස්සෙ?”

”ඊට පස්සෙ ගෙදර මතක් වුණා. ගෙදර මතක් වෙන කොට ම මම ගෙදරට ඇවිත්. මගේ නංගී මගේ දරුවව නළවමින් හිටියා. මම ඈතට වෙලා බලා හිටියා. නංගි ටිකක් ඈතට යනකම් ඉඳලා මම පුතා ළඟට ගියා. පුතා මාව අඳුන ගත්තා. ඒ වෙලාවේ මහත්තයා වැඩට ගිහින් හිටියේ. නංගි පුතාගෙ රෙදි හෝදන්න ගියා. මම පුතා ළඟට ගිහින් පුතාව තුරුලු කර ගත්තා. පුතාට හරි සතුටුයි. මම හිමින් සැරේ මගේ තනය පුතාගෙ කටට ළං කළා. අනේ මගේ රත්තරං පැටියා කිරි උරාගෙන උරා ගෙන ගියා. මට සංතෝසය ඉහ වහා ගියා. පුදුම සැනසිල්ලක් දැනුණා. අම්මා කෙනකු ලබන උපරිම සතුට මම ඒ වෙලාවෙයි වින්දේ. ඊට පස්සෙ නංගි පුතා ළඟට එන කොට මම ඈතට ගියා.”

”ඉතින්?”

”ඉතින් පුතා අඬන්න පටන් ගත්තා. නංගි පුතාව වඩාගෙන මිදුලට ගිහින් නළවා ගත්තා.”

”මහත්තයා කොහොමද?”

”මහත්තයා තවමත් මා ගැන දුකෙන් ඉන්නේ. එයා ඒ දුක නිසා ටිකක් බොන්න පුරුදු වෙලා. ඒ නිසා අරක්කු ගඳ සැර නිසා මට එයා ළඟට යන්න බෑ. එයා නොබී එනදාට මම එයාගෙ තුරුල්ලට වෙලා ඉන්නවා. එයාත් හීනෙන් මාව තුරුල් කර ගෙන ඉන්නවා. උදේට මට ඇහෙනවා එයා පුතාට කියනවා “පුතේ මම ඊයෙ රෑ අම්මව හීනෙන් දැක්කා කියලා. ඉතින් මම දැන් මේ ;ගදර ම මේ අයත් එක්ක ඉන්නවා. පුතා ළඟට වෙලා පුතු තුරුල් කරගෙන ඉන්නවා. පුතා පාඩම් කරන කොටත් ළඟට වෙලා ඉන්නවා. පුතා ළඟට වෙන කෙනෙක් එන කොට මම ඈතට යනවා. ඒ වෙලාවට පුතා “ගියා… ගියා… නෑ… නෑ…” කියලා අඬනවා යි කියූ ගුප්තාත්මය සිය ස්වාමි පුරුෂයා දෙසට හැරී අඬන්නට වූවා ය.

”අනේ මහත්තයා මාව එළවන්න එපා. මේ ඔයාගෙයි මගෙයි පුතා නේද? මම පුතාට කරදරයක් කරන්නේ නෑ. පුතාට ආදරේටයි ඉන්නේ. මගේ පුතාට මම ආදරේ කරන්නේ නැතුව වෙන කවුද ආදරේ කරන්නේ. ඔයයි මගේ නංගියි පුතාට ආදරේ බව මම දන්නවා. ඒත් මගෙත් පුතානෙ. පුතා ඉස්කෝලෙ ගියා ම මමත් ඒ පංතියේ පැත්තකට වෙලා බලා ඉන්නවා. හරි ආසාවෙන් බලා ඉන්නවා. අනේ මගේ රත්තරන් මහත්තයෝ මගේ සතුට නැති කරන්න නම් එපා” යි බිම වැතිරී දරුවා බදාගෙන අඬන්නට වූවාය.

මෙය ඉතා ම සංවේදී අවස්ථාවක් විය. මවක තුළ හට ගන්නා දරු සෙනෙහස මේ යැයි සැබවින් ම නිරූපණය වූ අවස්ථාවක් විය. පි‍්‍රයංවදා ගේ ස්වාමි පුරුෂයා ද කඳුළු පිරි දෙනෙතින් ගොළු වී සිටියේය. ගවේෂකවරයා ගුප්තාත්මය අමතා කාරුණිකව කතා කරන්නට විය.

”පි‍්‍රයංවදා…”

”ම්…”

”අඬන්න එපා පි‍්‍රයංවදා. මවකගේ තියෙන දරු සෙනෙහස අපට තේරෙනවා. ඔයා ඔයාගෙ දරුවට ආදරෙයි. ඒත් ඔයා හිතන්න ඔයා එදා හිටපු පි‍්‍රයංවදා නොවෙයි. ඔයාට තියෙන්නේ එදා තිබුණු ශරීරය නොවෙයි. දැන් ඔයාට තියෙන්නේ අපේ සාමාන්‍ය ඇසට නොපෙනෙන ශරීරයක්. සියුම් ශරීරයක්. සියුම් කියන්නේ දුර්වල කියන අදහස නොවෙයි. ඔයා දැන් පුතාට තුරුලු වෙලා කිරි පොවනවා. ඒ නොදරුවා ආසාවෙන් උරා බෙනවා. එහෙම උරා බොන කොට ඔයා මවක ලබන උපරිම සතුට විඳිනවා. ඒක ඇත්ත. එහෙත් ඔයාගෙ ශරීරය “තත්මාත්‍ර” ධාතූන්ගෙන් සකස් වූ එකක්. ඔයාගෙන් පිට වන මවුකිරිවල තියෙන්නෙත් “තත්මාත්‍ර” ශක්තියක්. ඒක මේ පුංචි පුතාගෙ මිනිස් ශරීරයට ගැළපෙන්නේ නෑ. අසාත්මිකයි. ඒ නිසා දැන් පුතාගෙ තොල්වලත් දිවේත් දිය බුබුළු නැගිලා. දරුවා කිරි බොන තුරු ඔයා තුරුල් කර ගෙන සිටින නිසා ඔයාගේ “තත්මාත්‍ර” අතට යට වී තියෙන දරුවාගේ ළපටි මිනිස් අතට ඒ අසාත්මික බව ගැටී අතේත් දිය බුබුළු හැදිලා.

දැන් මේ විදිහට සිදුවීම නිසා ඔයාගෙ පුතාට මේ දවස්වල ඉස්කෝලෙ යන්නත් නෑ. අධ්‍යාපනයටත් පාඩුයි. විභාගවලින් පේල් වේවි. ඊළඟට ඔයාගෙ කිරි ශරීරගත වීමෙන් වෙනත් උදරාබාධ හැදෙන්නත් පුළුවන්. ඒ විතරක් නොවෙයි පිළිකා තත්ත්වයක් බඩේ හැදෙන්නත් පුළුවන්. මෙන්න මේ ටික ඔයා හොඳට කල්පනා කර බලන්න. ඔයා ආදරේට කරන දේ හරි ද කියලා. ඇත්තට ම දරුවත් ඔයාට ආදරෙයි. එයා ඔයාට කැමතියි. ඒත් ඒකෙන් සිදු වෙන්නේ දරුවාට හානියක්. ඒ විතරක් ද ඔයා දැන් දරුවට ආදරෙන් සිත ඇලිලා. ඔයාට පින් අරගෙන ඉහළට යන්න බැහැ. ඔයා දැඩි ඇලීම නිසා ප්‍රේත තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා වහා ම නුවණ මෙහෙයවා පින් දහම් කරන සිද්ධස්ථානයකට ගිහින් පිනට දහමට යොමු වෙන්න. අනුන් කරන පින්කම්වලට අත ගසා සිත පහන් කැර ගන්න. එතකොට ඔයාට දේවත්වයකට පත් වෙන්න පුළුවන්. දේවත්වයට පත්වුණාම එතැන ඉඳගෙන පුතාට ආශීර්වාද කරන්න.

අන්න එතකොට ඔයාට නුවණ පහළ වේවි. මේ පුතා විතරක් නොවෙයි සංසාර ගමනේ ගත කරපු ජාතිවල ඔයාට මේ වගේ දරුවන් කොයි තරම් ඇද්ද? ඒත් ඔයාගෙම දරුවෝ නේද? ඒ අයටත් ආශීර්වාද කරන්න. සංසාර ගමනේ ඔයාට කොයි තරම් ස්වාමි පුරුෂයෝ, පියවරු, සහෝදරයෝ, පුතාලා, සතුරෝ, මිතුරෝ කොයි තරම් ඉන්නට ඇද්ද? මව්වරු, සහෝදරියෝ, දියණිවරු, සැතිරියෝ, මිතුරියෝ කොයි තරම් ඉන්නට ඇද්ද? ඒ අයටත් ආශීර්වාද කරන්න. මේ ආත්ම භාවයේ පුතා නිසා ඔයාගේ සිතට මේ පුතාව සමීපව දැනෙනවා. ඒක සොබාවිකයි. ඉතින් ඔයා දැන් කරන ක්‍රියාවෙන් දරුවට සිද්ධ වෙන්නේ හොඳක් ද? නරකක් ද? ඔයා ම හිතලා බලන්න.”

”ම්… ම්… ඔව් මහත්තයා මට දැන් වැටහෙනවා. මම මේ කරන දෙයින් ළමයා අසනීප වුණා. තවත් බරපතළ දෙයක් වුණොත් ඒක මමම කරන මහා අපරාධයක්. මට දැන් වැටහුණා. මගේ පූර්ව අකුසලයක් නිසා මම අඩු වයසෙන් මළා. ඒ නිසා මම පිනට දහමට යොමු වෙන්න ඕනෑ. මට මෙතැනින් ඉහළට යන්න, මේ ප්‍රේතාත්මයෙන් මිදී ඉහළට යන්න මට ආශීර්වාද කරන්න.”

”ඔව් මම පි‍්‍රයංවදාට ආශීර්වාද කරනවා. අපි මේ ගුප්ත ගවේෂණ සේවයෙන් බොහෝ රෝගීන් සුවපත් කර තියෙනවා. ඒ රෝගීන්ට බලපෑම් කළ පහත් මට්ටමේ භූතාත්ම සුගති ගාමී කැර තියෙනවා. ඒ පින් මම දැන් පි‍්‍රයංවදාට අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා.”

”සාදූ! සාදූ!! සාදූ!!!

”මම පි‍්‍රයංවදාගේ මහත්මයාටත් කියනවා පි‍්‍රයංවදා නමින් දානයක් දී පින් අනුමෝදන් කරන්න කියලා.”

”ඔව් මහත්මයා පි‍්‍රයංවදා හරිම අහිංසකයි. මට හරිම ආදරෙන් හිටියේ. මම මේ සතියේ ම සාංඝික දානයක් දී පි‍්‍රයංවදාට පින් අනුමෝදන් කරනවා” යි ඇගේ සැමියා කීවේය.

”ඔව් ඔයා එහෙම කරන බවට මට විශ්වාසයි. ඔයාගේත් මගේත් එක ම පුතාව හොඳින් ආරක්ෂා කරගන්න. දරුවාට හොඳින් උගන්වන්න. හොඳ මනුස්සයෙක් වශයෙන් සමාජයට වැඩදායක කෙනෙක් කරන්න. නංගී! සකුන්තලා! මගේ රත්තරන් නංගියේ ඔයාට මගේ පුතාව බාරයි. ඔයාට පින් සිද්ධ වෙනවා මගේ පුතාව බලාගන්න නංගියේ. පුතේ! පුතා හොඳ ළමයෙක් වෙන්න මගේ රත්තරන්! යැයි දරුවාගේ හිස අත ගා නළල සිප ගෙන “මම යනවා මහත්මයා” යි කීවා ය.

”දැන් කොහේ ද යන්නේ?”

”මම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට යනවා” යි කියමින් සකුන්තලාගේ ශරීරයෙන් පි‍්‍රයංවදාගේ භූතාත්මය ඉවත්ව ගියාය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: