Posted by: lrrp | August 12, 2012

සතුට තිබෙන්නේ කොතැනද?

 

බිරිඳ මුහුදේ ගිල්වා මරා කපුටු ආත්මයක්‌ ලැබූ සැමියෙක්‌!

අප බොහෝ දෙනෙකු විසින් අපගේ සමීපතම මිතුරකු හෝ හඳුනන අයෙකු හෝ මුණගැසුණු විට සාමාන්‍යයෙන් අසනු ලබන ප්‍රශ්නයක්‌ තිබේ.

කොහොමද සැප සනීප?
කොහොමද වාසෙ දේසෙ?

මේ ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරුද බොහෝ විට එක හා සමාන වේ.

“අනේ මොන සැපක්‌ද? ඇත්තම කියනවනං සැපක්‌ නෑ සනීපත් නෑ”.

“අපි නම් සැපසේ දුක්‌ විඳිනවා. දුකසේ සැප විඳිනවා. ඒත් ඔහේ ජීවිතය ගලාගෙන යනවා”.

පුහුදුන් හැම කෙනෙකුම සැප යනුවෙන් අපේක්‍ෂා කරන දෙයක්‌ ඇත. එහෙත් සැප යනු පහසුවෙන් අප වෙත එළඹෙන දෙයක්‌ නොවේ. මේ සැපත වෙනුවෙන් ජීවිතයම කැප කිරීමට බොහෝ අය බොහෝ දුක්‌ විඳිතියිද අපි දනිමු. එසේම සැප ලබන අය සැනසෙන බවද සැප නොලබන අය දුකට පත්වන බවද අපි දනිමු. එනිසා සැප යනු සතුටය. සතුට නිසා සිත මෙන්ම ගතද නිවෙයි. සුවපත් වෙයි. සැප, සතුට, සැනසීම, යනු අප කාටත් මිහිරි හා ආශ්වාදනීය හැඟීම්ය. අප හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේද සතුටය. සැනසීමය.

බුදුන් වහන්සේ සතුට පරම ධනයක්‌ සේ වදාළහ. බුදුන් වහන්සේ සතුට හෙවත් සැනසීම යනුවෙන් හැඳින්වූයේ ආධ්‍යාත්මික සතුටකි. ඉන්ද්‍රිය සංවරයෙන්, මානසික ඒකාග්‍රතාවෙන් යුතු ඒ සුවය ලෝකෝත්තර සුවයකි. එනිසා කෙළෙස්‌ මළ දුරු කර, සිතින් ලබන නිරාමිස සුවය, සමාධි සුවයක්‌ සේ උන්වහන්සේ දැක්‌වූහ. අත්හැරීමෙන් ලබන සුවය සනාතන සුවයක්‌ සතුටක්‌ සේ බුදු මඟ අපට පෙන්වා දෙයි. එහෙත් අප අපේක්‍ෂා කරන සතුට හුදු භෞතික දෙයකි. ඒ සතුට සොයා මරුකටට වුවද යැමට සමහරු පෙළඹෙති. ඉසුරු සොයා නොරට ගොස්‌ අතරමං වන්නේ ද මේ සතුට නිසාය.

සතුට නිරාමිස වූද ආධ්‍යාත්මික වූද ශාන්තියක්‌ බව වදාළ බුදුන් වහන්සේද ගිහියන්ගේ සැපත සඳහා වෙනම කරුණු රැසක්‌ පෙන්වා දුන්හ. සසරින් එතෙර වීමට නොහැකිව එහි නතරව සිටින අපට ඒ සතුට වුවමනාය. එහෙත් ඉවක්‌ බවක්‌ නොමැතිව සතුට හෙවත් සැපත ලුහුබැඳීම වෙහෙසක්‌ පමණි.

සැඳෑ වෙරළක හෝ නිල්ල නිලන වෙල්යායක හෝ මොහොතක්‌ රැඳෙන ඔබේ සිත නිසංසලේ පාවී යන මොහොතක මොනතරම් සුවදායකද? කිසිදු අරමුණකින් තොරවූ ඒ නිදහස්‌ සිත සමග ඔබගේ සිරුරද සැහැල්ලු නොවන්නේද? නිවී පහන් වී ළය සැනහී යන ඒ සුවය යළි බිඳී යන්නේ එතැනින් ඉවත්ව ආ පසු නොවේද? ඔබ විඳින චමත්කාරයෙන් මිදී යළි ජීවිතයේ කරදර සොයා එන්නට ඔබට සිදු වන අයුරු ඔබ දනී. එහෙත් ඔබ ආ යුතුය. ඔබට නෑවිත් සිටීමට බැරිය.

යස ඉසුරු ගොඩ ගසාගත් සුව පහසු සේ පිටතට දිස්‌වන මැඳුරක ඇතුල්පැත්ත ඔබ සිතන තරම් සොඳුරු නැත. ටෝල්ස්‌ටෝයි නමැති මහා ලේඛකයාගේ කතා පොඩිත්තක එබඳු පුවතක්‌ ඇත. මුළු රැය මුළුල්ලේම නිදි වර්ජිතව දුකට පීඩාවට පත්ව සිටින මහා ධනපතියකු උදැසන සඳලුතලයේ සිට පහත බලද්දී දුගඳ පිරි අගුවක සුවසේ නිදන අයකු දකියි.

ඉනික්‌බිති හේ ඒ නිදාසිටි අය කැඳවා තතු විමසයි. එලෙස නිදා සිටියේ යාචකයෙකි. ඔහු තම නිදි සුවයේ රහස හෙළි කරයි.

“අනේ උතුමාණනි, මං එදාවේල හොයාගෙන කාල, ඔය හීතල හුළඟ වැදි වැදී නිදා ගන්නව. මගේ හිතේ කිසිම බරක්‌ නෑ. සැහැල්ලුයි. ඉතින් හොඳට නින්ද යනව. නැගිටල ආපහු මොනව හරි තිබුණොත් කන එකනෙ මං කරන්නෙ”.

ධනපතියාට සිතුණේ තමා කිසිදු සතුටක්‌ නැති දුගියකු බවය. නිමක්‌ නැති අරමුණු, ඉලක්‌ක ඔබටද තිබේ. ඒ හැම දෙයක්‌ම හිතට බරකි. ඒ බර ඔබේ සතුට සිඳ දමයි. බුදුන් වහන්සේගේ මුහුණ මොනතරම් ශාන්තද? සුන්දරද? මුහුණ නරක්‌ කරගත් බුදුරුවක්‌ හෝ ඔබ දැක තිබේද? උන්වහන්සේ හඳුන්වන ලද්දේ zමිහිත පුබ්බංගමZ යනුවෙනි. එහි තේරුම zසිනා මුසු මුහුණක්‌ ඇතිZ යනුයි. ඔබ සිනාසෙන්නේ සිතට සතුටක්‌ ආ විටය. ඔබට හෝ ඔබ ආදරය කරන කාට හෝ දුකක්‌, පීඩාවක්‌ සිදු වූ විටෙක ඔබට සිනාසිය හැකිද? පරම ධනයක්‌ වූ සතුට ඔබට නැති නම් ඔබ හැමදාමත් දිළින්දෙකි.

බුදු දහමේ දාර්ශනික පදනම දුක හෙවත් දුක්‌ඛ සත්‍යය මත පදනම්ව ඉන් මිදෙන මාර්ගය පිළිබඳ වූ අනාවරණයකි. එහෙත් බුදු දහම කිසිවිටෙක දුකම සිහි කළ යුතු බව කියා නැත. කැමැති දේ නොලැබීම ප්‍රිය විප්‍රයෝගය, අප්‍රිය සම්ප්‍රයෝගය දුකට හේතු බව කීවත් බෞද්ධයාගේ සතුට, සැනසීම සඳහා කිසිදු තහංචියක්‌ හෝ බාධාවක්‌ ද නැත. බුදු දහමේ සරලම පිළිවෙත පංච ශීලයයි. පන්සිල් රැකීමෙන්ම පමණක්‌ මෙලොව දියුණුව ද සැනසීම ද ලබා ගත හැකිය. අද සියලු විනාශයන්ට මුල මේ පන්සිල් බිඳීමය. හොරකම, ප්‍රාණඝාතය, කාම මිථ්‍යාචාරය, බොරුව, සුරාව යනු අද සමාජගත වූ විෂ ජාලාවන්ය. කාමයෙහි වරදවා හැසිරීම නිසා කාම අපරාධ සිදු වෙයි. ඒඩ්ස්‌ වැනි බිහිසුණු රෝග වැළඳෙයි. සදාචාර සම්පන්න සමාජයක පුද්ගලයෝ කාමතෘෂ්ණාවට ගොදුරු නොවෙති. එනිසා පළමුව සමාජයද දෙවනුව ඔහුගේ කුටුම්බයද රැකෙයි. තෘෂ්ණාව යනු අප විනාශයටම යොමු කරනු ලබන කුරිරුම, පාපී හැඟීමකි.

තෘෂ්ණාව යනු අතිශය සංකීර්ණ ප්‍රපංචයකි. හැම සිතිවිල්ලක්‌ම පසුපස අඩු වැඩි වශයෙන් ඇත්තේ ද තෘෂ්ණාවය. බලයට ඇති ආශාව, බල තෘෂ්ණාවය. එහිදී නොකරන අකටයුත්තක්‌ තිබේද? ඒ තෘෂ්ණා සිතින් අන්ධ වූ කල්හි යහපත අයහපත ධර්මය අධර්මය යන කිසිවක්‌ ගැන තැකීමක්‌ තිබේද?

තෘෂ්ණාව සපුරා ජයගත නොහැකි බව ඇත්තය. එහෙත් උපේක්‍ෂාව හා ලද දෙයින් සතුටුවීමට ඔබට හැකි නම් සිතට කොතරම් සහනයක්‌ද? බහුභාණ්‌ඩික ජීවිතය තුළ ඔබ රැස්‌කරන්නේ ඔබට වුවමනා දේවල්ම නොවේ. මහ මඟට බැස බලන විට එහි යන රථවාහන පෙළ දිස්‌වේ. වාහනයක අරමුණට වඩා ඒ වෙනුවෙන් විශාල ධනයක්‌ වැය කිරීමට හුරු වූ මානසිකත්වය ඒ රථපෙළ අපට නොපෙන්වන්නේද? ඇඳුම, පැළඳුම, නිවාස යන ඒ හැම තැනම ඇත්තේ ප්‍රදර්ශනකාමී සිතුවිලි මිස අන් දෙයක්‌ නොවේ. දුගියන් ඉඳුලක්‌ යදින ලොවක ධනීහු මොන තරම් සුරස බොජුන් අපතේ හරිත්ද? දුගී බව හා ධනවත් බව නමැති සමාජ ප්‍රභේදයද නොයෙක්‌ විෂමතා හා අසාධාරණ ජීවන මාර්ගවලම පලයකි. ධනය යනු මහන්සියෙන් උපයාගත යුතු දෙයකි. එහෙත් ධනීහු ධන රැස්‌කරන්නාහු. සූරා කෑමෙන් හා අයුක්‌ති සහගත අයුරෙන්ය. ධාර්මික ධනෝපායන මාර්ග බුදුහු අනුදැන වදාළහ. ලෞකික ජීවිත සතුටින් ගෙවන ආකාරය අමතක කරන අය තෘෂ්ණාවෙන් බැඳී මී පොරයට වැටී සිටිති.

මේ සත්‍යය හා යථාර්ථයට අනුව සරල සැහැල්ලු ජීවන චර්යාවක්‌ පවත්වාගෙන යැම දුෂ්කර නැත. අපගේ ජීවිත යාත්‍රාව අන් අයට කරදරයක්‌ නොවන පරිදි පදවාගෙන යැමට ද බාධාවක්‌ නැත. ජීවිතයෙන් පලා නොගොස්‌ ජීවිතය යම් ප්‍රමාණයකට හෝ ජයගත හැකි පිළිවෙතක්‌ අප සකසා ගත යුතුය. අද සමාජය තුළ නැත්තේ මේ පිළිවෙත් ගරුක බවය. බොහෝ දෙනෙකුට ඇත්තේ යටකී ප්‍රදර්ශනකාමී මනසකි. ප්‍රදර්ශනකාමීත්වය අධ්‍යාත්මයෙහිම හිස්‌ බව පිළිබිඹු කරන්නකි.

කුටුම්බයක්‌ රකිමින් සාමාන්‍ය ජීවිතයක්‌ ගෙවන බොහෝ දෙනෙක්‌ සරල සැහැල්ලු ජීවිතයෙන් ඈත් වන්නාහු නොදැනුවත්වමය. සාටෝපයෙන්, ආඪ්‍ය බවින් යුතු ජීවිත වලට ඔවුහු හුරුවෙති. ලොල්වෙති. ඒ බොරු සාටෝපය වෙනුවෙන් සිතේ සතුට වනසා ගනිති. සිත් රෝගී වූ විට ගත ද රෝගී වේ. සිරුර කෘෂ වේ. අවසානය විනාශයකි.

දුප්පත්කම අපරාධ සඳහා පොළඹවන හේතුවක්‌ ලෙස දීඝ නිකායේ චක්‌කවත්ති සීහනාද සූත්‍රයේ දැක්‌වෙයි. රටක යහපත් ආර්ථිකයක්‌ ගොඩනැංවීම පාලකයාගේ වගකීමකි. එහෙත් තෘෂ්ණාවෙන් ධනය ඉපයීම විපතකි. එවිට සාමය බිඳී යයි. සාමය නැති තැන අවිහිංසාව නැත. වෛරය හා ඊර්ෂ්‍යාව ගංවතුරක්‌ සේ ගලායන ඒ සමාජය බියජනක හා ප්‍රචණ්‌ඩ එකක්‌ බවට ද පත්වේ. පුද්ගලයා කෙරෙන් ලැඡ්ජාව හා බිය ඈත්වෙයි. සිත පිරෙන්නේ වෛරයෙන් හා තෘෂ්ණාවෙන් පමණි.

අද මහත් සමාජ විපතක්‌ බවට පත්ව ඇත්තේ අපරාධ කිරීමට නැතහොත් ඒවාට බියක්‌ නොමැති වීමය. නිලය හා බලය උපයෝගී කරගනිමින් සමාජ විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වීමය. තමන් කරන ක්‍රියාවට පෙරළා ප්‍රතිඵලයක්‌ ලැබෙන බව අද බොහෝ දෙනෙක්‌ නොසලකති. එහෙත් තමන් විසින් කරනු ලබන ක්‍රියාවෙහි පල විපාක තමා පසුපසම හඹා එන බවද නිසැක බව බුදුහු පෙන්වා දුන්හ.

බුදුන් වහන්සේ දෙව්රම්හි වැඩ සිටි සමයෙහි එක්‌තරා ගමක භික්‍ෂුන් වහන්සේලා පිරිසක්‌ එහි සිට දෙව්රම් වෙහෙරට එන්නාහු අතරමඟ නතර වූහ. එගම් වැසියෝ උන්වහන්සේලා කැඳවාගෙන වඩා හිඳුවා දාන මාන සූදානම් කළහ. ගමේ සිටි වැඩිහිටි ගැහැනු වහ වහා දන් සූදානම් කරන්නටද වූහ. එවේලෙහි කිසියම් සූපවෑංජන සකසමින් එක්‌තරා ලියක්‌ද වූවාය. ඇය දැල්වූ ලිපෙහි ගිනි එක්‌වරම අහසට නැඟිණි. එයට හේතු වූයේ මඩුවෙහි වූ පිදුරු ගහකට ගිනි අඟුරක්‌ විසිවීමය. මේ ගිනි ජාලාව උඩින් අහසේ පියඹා යන කපුටෙක්‌ ඒ ගිනි දෙසට ඇදී ඉබේම ගිනිමැදට වැටී දැවී මිය ගියේය.

ඉනික්‌බිති දන් වළ¹ ඒ ගමෙන් දෙව්රම් වෙහෙරට ගිය භික්‍ෂුහු ඒ අහඹු මරණය ගැන බුදුන්ගෙන් විමසූහ. බුදුහු එහි අතීත පුවත දැක්‌වූහ. එක්‌තරා පිරිසක්‌ රැගත් නැවක්‌ මුහුදේදී අනතුරකට ලක්‌වන අයුරු දුටු පිරිස බියට පත්වූහ. නැවෙහි කපිතාන් ඔවුන් සන්සුන් කර zමේ නැවෙහි කවුරුන් හෝ කාලකන්නි පුද්ගලයෙක්‌ වෙයිZ. මේ විපත ඔහු නිසා යෑයි කීවේය.

එවිට නැවේ සිටි පිරිස සීට්‌ටු ක්‍රමයකින් එම නැවේ ගමන් කළ අය පිරික්‌සීමට තීන්දු කළහ. ඒ අනුව කෙනෙකුගේ නම ලියා එය ජලය පිරවූ බඳුනකට දමයි. යම් හෙයකින් ඒ නම ලියූ සීට්‌ටුව බඳුනෙහි ගිලී ගියහොත් ඒ අය නැවෙන් ඉවත් කෙරෙයි. මෙම සීට්‌ටු ක්‍රමය අනුව පරීක්‍ෂණය ඇරඹිණි. අභාග්‍යයක මහත· ජල බඳුනෙහි ගිලී ගියේ නැවියාගේ බිරිඳගේ නම ලියූ සීට්‌ටුවය.

නැවියා දැඩි සිතැත්තෙකි. ඔහු සිතන්නේ මැය මගේ බිරිය වුවද කළ හැකි දෙයක්‌ නැත. ඇය මුහුදට දමා අන් අයගේ ජීවිත බේරීම මගේ යුතුකමය. සිය සැමියාගේ සිතැඟි දත් ඕ මහ හඬින් හඬන්නටද වූවාය. රුවැති ලියක්‌ වූ ඇයට එබඳු ඉරණමකට මුහුණදීමට සිදු වීම ගැන සමහරු දුක්‌ වූහ. එහෙත් නැවියා නියෝග කළේ ඇගේ ආභරණ ගලවා, ඇගේ ගෙලෙහි ගලක්‌ බැඳ දියට දමන ලෙසය. මේ සිත්පිත් නැති පරීක්‍ෂණය නිසා ඒ රුසිරු ලිය මුහුදට බිලි වූවාය.

තමා කළ අපරාධය ගැන ඔහු තුළ කිසිදු තැවීමක්‌ නොවීය. හේ මහත් වික්‍රමයක්‌ කළ අයෙකු මෙන් තමාගේ හපන්කමද කීවේය. අසරණ කාන්තාවක්‌ විනාශ කළ පාපය නිසාම ඔහු කපුටු ආත්මයක්‌ ලැබුවේය. භික්‍ෂුන්ට දන් පිළියෙල කළ ගමෙහි, දාන ශාලාවෙහි ඇතිවූ ගින්නට ගොදුරු වී මිය ගියේ ඒ කපුටු ආත්මය ලද නැව් කපිතාන්ය.

මේ කතාව මගින් බුදුන් වහන්සේ කරුණු දෙකක්‌ම අවධාරණය කර ඇත. පළමුවැන්න අපරාධ ක්‍රියාවකට පලය අනිවාර්යයෙන්ම ලැබෙන බවය. දෙවැන්න තම ජීවිතය රැකීම සඳහා හෝ පරපණ නැසීම පවක්‌ හෙවත් අකුසලයක්‌ බවය.

සමාජයක පැවැත්ම තහවුරු වන්නේ අවිහිංසා මාර්ග වලින් පමණි. තමන්ට සතුටු විය හැක්‌කේද යහපත් ක්‍රියාවකින් පමණි. මේ අපරාධය නිසා මනුෂ්‍යාත්ම භාවයෙන්ද පිරිහී කපුටකු සේ ඉපිද දුක්‌ විඳ ගින්නෙන් දැවී මියගොස්‌ ඇත. ජීවත්වීමේ ආශාව අප කාටත් පොදු බව නොවේද මෙම කතාවෙන් වනික වන්නේ? එක්‌ අයෙක්‌ අනෙකාට වඩා වාසනාවන්ත හෝ කරුමක්‌කාර යෑයි අපට නිගමනය කළ හැකිද? කුමක්‌ද අපට තිබෙන මිණුම් දණ්‌ඩ?

මේ කතාව කියවන ඔබ තුළ ඇතිවන්නේ කෙබඳු හැඟීමක්‌ද? අදත් අහිංසක කාන්තාවන් මරා පුළුස්‌සා දමන කුරිරු ඝාතකයෝ සිටිති. එබඳු වධයකට ලක්‌වන අයද පූර්ව භාවයක කළ ක්‍රියාවක විපාකයක්‌ ලබනුද විය හැකිය. ඇතැම් විටෙක නිර්දොaෂී අය ද විය හැකිය. කුමක්‌ වුවත් ඝාතනය අනුමත කළ නොහැක. ඝාතකයන්ට දඬුවම් ලැබිය යුතුමය. කිසිම ආකාරයකින් එබඳු ඝාතකයන්ට සැනසීමක්‌, සතුටක්‌ අත් නොවන බව නම් නිසැකය. ඉතින් සැප කැමැති, ඔබ ඝාතනය, හිංසනය, පීඩනය දුරුකළ යුතුමය. සත්තකින්ම පවක්‌ කරන අවස්‌ථාවේදී නම් එය මිහිරක්‌ ආශ්වාදනීය අත්දැකීමක්‌ විය හැකිය. එහෙත් එය විඳින කලට නම් ගිනි සේම දැඩි වේ මැයි·

කරන කලට පව් මිහිරිය මී සේ
විඳින කලට දුක්‌ දැඩිවෙයි ගිනිසේ

ලෝවැඩ සඟරාව අපට සිහිපත් කර දෙන්නේත් එයම නොවේද?

 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: