Posted by: lrrp | August 21, 2012

හැංගි හැංගි වෙස්‌ බැන්දත්…

 

භික්‍ෂුව මේ ලිපිය ලියන මොහොතේ වැඩසිටින්නේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ කැලෑබද ආරණ්‍යයක. විශාල කඳුවැටි කිහිපයකින් වටව ඇති රමණිය බිමක්‌. උස්‌ ගල් කන්දේ නැගෙනහිරට මුහුණලා භික්‍ෂුව වැඩසිටින කුටිය තිබෙන්නේ. කඳුමුදුනේ සිට බලනකොට කඳුපාමුල දර්ශනීය වැව, අතුරු කඳුවැටි, කුඹුරුයාය, අක්‌කර දසදහස්‌ ගණනක විහිදුන වනපෙත, පක්‌ෂීන්, වන සතුන් සැබෑම ආරණ්‍යයක ලක්‍ෂණ සියල්ලම මෙහි තිබෙනවා. භික්‍ෂුව මේ ආසනය මත වාඩිවෙලා මේ පරිසරය දෙස බලනකොට මෙහෙම සිතුණා. මේ මොහොතේ චමත්කාර ජනක පරිසරයක්‌ මේ වටපිටවේ තිබුණත් අතීතයේ මේ ස්‌ථානය මහා කටුක කාන්තාරයක්‌ව තිබෙන්නට ඇති. ජලයෙන් පිරී ඉතිරී ගිය මුහුදක්‌, ගංගාවක්‌ ලෙස තිබෙන්නට ඇති. සශ්‍රික නගරයක්‌ව තිබෙන්නට ඇති. භූමිකම්පාවලින්, සුළි සුළංවලින් පෙරළී විනාශවී ගිය බිමක්‌ව තිබෙන්නට ඇති. සුසාන භූමියක්‌ව තිබෙන්න ඇති. බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා වැඩ සිටි තැනක්‌ව තිබෙන්ට ඇති. බලන්න අතීත රූපයන්ගේ තිබෙන විවිධත්වය. ඒ කියන්නේ අනිත්‍යභාවය. ඒ වගේමයි අනාගතයේ හට ගත්තාවූ රූපයත්. වර්තමානය කියලා කියද්දීම ඒ වර්තමානය අතීතයට එකතුවී අහවරයි. ඒ තරම්ම වේගයෙන් ලෝකය ගෙවිල යනවා. ගෙවීයන වේගයෙන්ම ලෝකය ලියලනවා. අපේ ජීවිතත් එලෙසමයි. අද මනුෂ්‍යයෙකුව සිටින කෙනා හෙට නිරයට වැටෙනවා, දෙවියෙක්‌ වෙනවා, බ්‍රහ්මයෙක්‌ වෙනවා, තිරිසනෙක්‌ වෙනවා. එක තැනක්‌ ගෙවීයනකොට තව තැනක්‌ දළුලනවා. මෙන්න මේ විදියට මනුෂ්‍ය ජීවිතය ගෙවී ගිහින් නිරයට වැටුණ අවාසනාවන්තයෙක්‌ ගැන කථාවක්‌ තමයි භික්‍ෂුව දැන් මෙහි සටහන් තබන්නේ. මේ කථාවත් ඔබට උතුම් ශීලයේ වටිනාකම කියාදෙන කථාවක්‌ වේවි.

අද ලෝකය සොයන්නේ සරල දේවල්, පහසු දේවල්, ක්‍ෂණික දේවල්. තරගකාරී ලෝකයේ අවිවේකයෙන් මිදී විවේකය අත්කරගැනීම සඳහායි මේ දේවල් ලෝකය සොයන්නේ. මේ ලබාගන්නා වූ විවේකය ඔවුන් යොදන්නේ ජීවිතයේ නැවත අයිතිකරගන්නා වූ අවිවේකය උදෙසාමයි.

වාර්ෂිකව දන් දෙන පිංවතුන් ආරණ්‍යවලට එනවා. දානය ඉවරවෙලා සමහරක්‌ පිංවතුන් යන්නේ ‘අම්මෝ මේ අවුරුද්දෙ දානෙ ඉවරයි’ එහෙම නැතිනම් හත්දවසේ, තුන්මාසේ, අවුරුද්දේ දානෙ ඉවරයි දැන් ඉතින් දාන ඕනේ නැහැ කියලා. පසළොස්‌වක පොහොය දවසට ශිල් සමාදන් වන සමහරක්‌ පිංවතුන් හවසට ශීලය පවාරණය කරලා පන්සලෙන් පිටවෙන්නේ ‘අම්මෝ ඒ බැඳීමෙන් නිදහස්‌ වුණා’ය කියන සැහැල්ලුවෙන්. භාවනා වැඩසටහනට සහභාගී වන සමහර පිංවතුන් වැඩසටහනින් නැගිට යන්නේ ‘මේ මාසෙට, මේ සතියට මේ හොඳටම ඇති’ය කියලා. පිංවතුන්ලා දාන, ශිල, භාවනා කටයුතුවල යෙදෙන්නේ කවුරුහරි තරහ වෙයි, එයාව මොහොතක්‌ රවටලා යාළුකරගන්න ඕනේ කියන හැඟීමෙන් වගේ. කාවද මේ රවට්‌ටන්නේ. කවුද රවට්‌ටන්නේ. රැවටෙන්නන් රැවටෙන මොහොතක්‌ පාසා ඔබට මිතුරුවෙන්නේ කවුරුන්ද? ඔබට මිතුරු වෙන්නේ දුක. දුක උපද්දවන මාරයා.

ධර්මය සරල කරන්න, ක්‍ෂණික කරන්න ගිහිල්ලා දුක මිතුරෙක්‌ කරගන්නවා. ධර්මය කියන්නේ සරල කරන්න පුළුවන් දෙයක්‌ නොවේ. ධර්මය කියන්නේ අනිත්‍යයි. කුමන අනිත්‍ය භාවයද? රූපයේ අනිත්‍යයි. මොකක්‌ද රූපයේ අනිත්‍ය භාවයට පත්වීමේ ස්‌වභාවය. මස්‌ ඇසට නොපෙනෙන ප්‍රඥාවේ ඇසෙන් පමණක්‌ දකින ප්‍රවේශයයි. එය දකින මාර්ගය ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධ කර ඔබට දේශනාකර තිබෙනවා. එකම මාර්ගයයි ඇත්තේ. එහි කෙටි මාර්ග, සරල මාර්ග, ක්‍ෂණික මාර්ග නැහැ. ඔබ කවුරුන් හෝ වේවා රූපය අනිත්‍ය භාවයට පත්වෙන වේගය ප්‍රඥාවෙන් අවබෝධ කර ගෙන රූපයට ඇති ජන්ද රාගයෙන් මිදෙන තැනදියි රූපය ඇසුරුකොට සකස්‌වෙන පංචඋපාදානස්‌කන්ධයේම යථා ස්‌වභාවය ඔබ අවබෝධ කර ගන්නේ.

භික්‍ෂුව දැන් මෙහි සටහන් කරන කථාවට මුල පුරණ පිංවතාත් ධර්මය සරල මාර්ග ඔස්‌සේ ජීවිතයට ගලපාගත් අයෙක්‌. මේ ගලපා ගැනීම නිසා දුක ඔහුට මිතුරුවුණ හැටියි මේ කථාවේ අර්ථය පුරාම තිබෙන්නේ. දුකට මිතුරුවී දුක්‌ විඳින ඔහුට මේ කථාව දැන් වැඩක්‌, අර්ථයක්‌ නැහැ. ඔබ කැමති නම් ඔබ සතුටුනම් මේ කථාව ඔබේ ජීවිතයට ගලපාගන්න. දුක නමැති පරම සතුරා ඔබ ඇසුරේම ඔබ තුළම සැඟව සිටින බව ඔබ දකින්න. ඔබ සමාදන් වන ශිලය සරල කරන, ක්‍ෂණික කරන, ශිල්පද සැහැල්ලූ කරන සතුරා ඔබ තුළින් ඔබ හඳුනාගන්න. ඔබව දුකට ඇදදමන පාපමිත්‍රයෙක්‌ සේ ඔහුව බැහැර කරන්න. රූපය අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම රූපය ඇසුරුකොට සකස්‌වෙන සිතද අනිත්‍යභාවයට පත්වෙනවා. මෙහිදී ඔබ දකින්නේ රූපයේ හට ගැනීම සහ විනාශවීමේ ස්‌වභාවයයි. එවන් ප්‍රඥාවේ ඇසින් පමණක්‌ දැකිය හැකි අති සියුම් ධර්මතාවයක්‌ අපි සරල කරන්න, ක්‍ෂණික කරන්න යනවා නම්, ඒ උත්සාහයේ තරමටම අප තුළ මෝහයද තිබෙන බව අප අවබෝධ කරගත යුතුයි. ලෝකයේ කෙටි කරන්න පුළුවන් දෙයක්‌ අපට නැහැ. ඒ තරම්ම ලෝකය කෙටියි. ක්‍ෂණිකයි. ඒ නිසාමයි මේ මොහොතේ මනුෂ්‍ය ජීවිතයක්‌ ගතකරන කෙනා මියගොස්‌ ඊළඟ තත්පරයේ, සංස්‌කාර ධර්මයන් හේතුවෙන් නිරයේ තිරිසනෙක්‌ව උපත ලබන්නේ. මේ මොහොතේ මනුෂ්‍ය ජීවිතයක්‌ ගතකරන කෙනා මියගොස්‌ ඊළඟ තත්පරයේ බ්‍රහ්ම ලෝකයේ උපත ලබන්නේත්….

මෙයින් ඔබ තේරුම් ගන්න රූපයත්, රූපයක්‌ ඇසුරින් සකස්‌වන සිතේ ප්‍රවේගකාරී බවත්. අවිද්‍යාවේ මහත නිසාම අපි මේ ධර්මථාවයන් සරල කරන්නට යනවා. බුද්ධ වන්දනාව කෙටි කරන්න යනවා. සිල්පදවල අර්ථය හීන කරන්න යනවා. දානය ක්‍ෂණික කරන්න යනවා. මෙසේ කිරීමෙන් ඔබ ලබන විවේකය, සැපය, ලාභය ‘බඩකට පුරා’ අත්විඳින තවත් අවාසනාවන්ත මනුෂ්‍යයකුගේ කථාව දැන් සටහන් තබනවා.

මේ කථාවට සම්බන්ධ මහත්මයා මියයනකොට වයස අවුරුදු 80ක්‌ විතර ඇති. ඔහු ජීවත්වූ ගම් ප්‍රදේශයේ වැදගත් යෑයි සම්මත ජීවිතයක්‌ ගතකරලා, විවාහක දුවා දරුවන් සිටිය පියෙක්‌. මොහු මියයැමට පෙර වසර 5 ක පමණ කාලයක පටන් රෝගීවයි සිටියේ. අවසාන කාලයේ ලෙඩ ඇඳේම පසුවෙලා මියයනවා. සුපුරුදු පරිදි දරුවෝ ඥාතීන් එකතුවෙලා ‘බොහොම ජයට’ මරණයේ කටයුතු සිදුකරනවා. සැරසිලි, බැනර, ගුණකථන, වියහියදම් බොහොමයි. දින හතේම රාත්‍රී සතුටු සාද….

මේවායින් අඩුවක්‌ පාඩුවක්‌ නොතිබුණ නිසයි ‘මරණය ජයට ගත්තාය’ කියලා සඳහන් කළේ. පාංශකූලය අවස්‌ථාවේ ප්‍රදේශයේ නායක ස්‌වාමීන්වහන්සේලා කිහිපනමක්‌ම මියගිය පිංවතා ගැන බොහොම වටිනා ගුණකථන, අනුශාසනා පැවැත් වූවා. ඇත්තෙන්ම ඒ මියගිය මහත්මයාගේ ජීවිතය දෙස බලන ඕනෑම කෙනෙකුට ඔහු වැරදි කරපු කෙනෙක්‌ය කියලා පෙනෙන්නේ නැහැ. මේ සටහන් කරන භික්‍ෂුවත් දැනගෙන සිටියේ නැහැ, මියගිය මහත්තයා වැරදි කරපු කෙනෙක්‌ය කියලා. එදා අපට තිබුණු අවම අවබෝධය තුළ අපි හැමෝම එදා අවංකවම හිතුවා මියගිය කෙනා සුගතිගාමී උපතක්‌ ලබන්නට ඇතිය කියන හැඟීම. වර්තමානයේ ගිහි පැවිදි අපි හැමෝම මෙන්න මේ අවම අවබෝධය තුළ හිඳගෙන තමයි හැමෝගෙම ජීවිත දෙස බලන්නේ. ඒ දැක්‌මෙන් තමයි අපි යමක්‌ විග්‍රහ කරන්නේ. මේ කථාවේ අග කොටස ඔබ කියවනකොට ඔබට දැනේවී ධර්මයේත්, අධර්මයේත් පරතරය කොපමණද කියලා. අපේ අවම දැනුමේත්, සැබෑම අවබෝධයේත් පරතරය කොපමණද කියලා.

මෙය ඔබේ හෝ මගේ වරද නොවෙයි. අවබෝධයේත් අනවබෝධයේත් ඇති වෙනසයි. අපේ තිබෙන අවම දැනුම තුළ ඉඳගෙනයි අපි එදා මේ මරණය විග්‍රහ කළේ. ඔහු සුගතිගාමී උපතක්‌ ලබන්නට ඇතැයි අනුමාන කළේ. නමුත් මොහු මිය ගොස්‌ වසර හයකට පමණ පස්‌සේ දවසක භික්‍ෂුව මියගිය පිංවතාව සමාධියේදී අරමුණු කර බලනවා. ඔහු කුමන ස්‌ථානයක නැවත උපත ලැබුවාද කියලා. මෙය උතුම් සමාධියේදියි දකින්නේ භික්‍ෂුවට දර්ශනය වෙනවා ජලය පිරුණු ස්‌ථානයක්‌. මේ ජලය කළුම කළු පාටයි. කළුය කියල කියන්නේ පැහැපත්a කළු වර්ණයක්‌ නොවේ. ඔබ දැකලා තිබෙනවානේ කුණු කාණු කුණු පල්වෙලා ජලය පිරුණාහාම හැදෙන අප්‍රසන්න කළු පැහැය. බේරේ වැවේ ජලය පල්වුණාහම තිබෙන කළු පැහැය. මෙන්න මේ කුණු කළු පැහැති ජල තටාකය ඔබ හිතන්න යමෙක්‌ ගින්දරෙන් රත්කරනවාය කියලා. එවිට මොකද වෙන්නේ. එම කුණු ජලය රත්වෙනවා. තව තව උෂ්ණත්වය වැඩිකරමින් ගින්දර වැඩිකර රත්කරන විට මුලින්ම ජලයෙන් දුම් දමනවා. දෙවනුව ජලය උතුරන විට කඩල ඇට තරමට බුබුළු දමනවා. තව තව එම ජලය රත්කරන විට නෙල්ලි ගෙඩි තරමට ජලයේ බුබුළු මතුවෙනවා. තවත් ගින්දර දමලා රත්කරනවිට දෙහිගෙඩි තරමට බුබුළු දමමින් ජලය නටනවා. තව තව කුණු ජලය රත්වෙනවිට බෙලිගෙඩි තරමට බුබුළු දමමින් ජලය නටනවා. දැන් ඔබ මනසින් දකින්න, කුණු කළුපාට ජලතටාකයක්‌ තිබෙනවා. එය බෙලි ගෙඩි තරමට බුබුළු දමමින් උතුරන ලෝදිය හැලියක්‌ වගේ පෙනෙනවා. පෙර සදහන් කළ මිය ගිය මහත්මයාව අරමුණු කරනවිට භික්‍ෂුවට දකින්න ලැබෙන දර්ශනයයි ඔය සඳහන් කළේ. ඒ කියන්නේ ඔහු නිරයේ පැහෙනවා. බලන්නකෝ අපේ අවම දැනුමයි ලෝකාවබෝධයයි අතර තිබෙන පරතරය. අපි සුගතියකට යොමු කළ මනුෂ්‍යයා නිරයේ අන්ත දුකක්‌ අත් විඳිනවා.

මේ සිද්ධිය දැක්‌කට පස්‌සෙ භික්‍ෂුවට ප්‍රත්‍යක්‌ෂ වශයෙන් විශ්වාසයි මේ ස්‌වභාවය ඇත්තය කියලා. මන්ද මෙය උත්තරීතර සමාධිය තුළින් දකින්නා වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්‌ෂ වශයෙන් අවබෝධ කර දේශනා කළ ධර්මතාවයක්‌. භික්‍ෂුවට අවශ්‍ය වුණා සොයාබලන්න මියගිය පිංවතා ගිහි ජීවිතයේ ගතකරපු ස්‌වභාවය. ඔහුගේ සමාජයට ප්‍රකට වූ ජීවන චර්යාවත්, සමාජයට ප්‍රකට නොවුණ ජීවන චර්යාවත් ගැන සොයල බැලුවා. භික්‍ෂුවට දැනගන්න ලැබෙනවා ඉතාමත් සත්‍ය මාර්ගවලින් ඔහු තුළ පහත සඳහන් සමාජයට ප්‍රකට නොවූ චර්යාවන් තිබුණ කියලා. ඒවායින් මේ බලවත් අකුසල විපාකයට හේතුවුණ වැරැදි කිහිපයක්‌ම තිබුණා. කාමය වරදවා හැසිරීම. එක්‌ අවස්‌ථාවක බොහෝම විකෘති කාම ආශාවක්‌ මොහුට තිබිල තිබෙනවා. අප්‍රකටව මොහු තුළ ඊර්ෂාව, අනුන්ගේ දියුණුවට ඇති අකමැත්තත් තිබිල තිබෙනවා. ඒ නිසාම මොහු යන්ත්‍ර මන්ත්‍ර, හදිහූනියම් කරල තිබෙනවා. මෙන්න මේ කරුණු ටික ස්‌ථිර වශයෙන්ම මොහු තුළ තිබුණ බවට විශ්වාස කටයුතු මාර්ගවලින් දැන ගත්තාම මොහු මේ මොහොතේ නිරයේ ලෝදිය තුළ තැම්බෙමින් විඳින දුක ගැන පුදුම වුණේ නැහැ. ඔබගේ පිංවත් ජීවිතවලට ගලපාගන්න පැති කිහිපයක්‌ මෙහි තිබෙනවා. මෙහි වඩාත්ම වැදගත් වන්නේ ප්‍රකට අප්‍රකට කියන කථාවයි. අද සමාජයේ හුඟදෙනෙක්‌ සමාජය ඉදිරියේ හොඳ වැඩ ප්‍රකටව කරනවා. නරක වැඩ අප්‍රසිද්ධියේ කරනවා. බිරිඳත් සමග ප්‍රසිද්ධියේ ආශ්‍රය කරනවා. බිරිඳ නොවන කාන්තාවන් සමග අප්‍රසිද්ධියේ ආශ්‍රය කරනවා. මඟුල් ගෙදර කෑම මේසය ප්‍රධාන ශාලාවේ තිබෙනවා. අරක්‌කු මේසය අප්‍රකට ශාලාවක තිබෙනවා. බණ ගෙදර, පිරිත් ගෙදර, දානෙ ගෙදර පිංකම ප්‍රධාන ශාලාවේ තිබෙනවා. අරක්‌කු බොන ඒවා කාමරයේ, පිsළිකන්නේ අප්‍රකටව තිබෙනවා. රැකියාවෙන් වැටුප් ගන්න එක විවෘතව කරනවා. අල්ලස්‌ ගන්න එක අප්‍රකටව කරනවා. සිනා වෙන එක ප්‍රකටව කරනවා. වෛර කරන එක අප්‍රකටව කරනවා. අපිට හරි සතුටුයි ලෝකයාගෙන් වහංවෙලා වැරැද්දක්‌ කලාය කියළා. කවුරුවත් දැක්‌කෙ නැහැ බියවෙන්න දෙයක්‌ නැහැය කියලා. මේ මියගිය මහත්මයාත් එහෙම හිතපු කෙනෙක්‌. ගිහි පිංවතා ගැන පුදුම වෙන්න දෙයක්‌ නැහැ. අපේ පිංවත් සහෝදර සමහරක්‌ ස්‌වාමීන්වහන්සේලා පවා දහවල් දානය ප්‍රකටව ගන්නවා. රාත්‍රියට සුළුවෙන් යමක්‌ අප්‍රකටව ගන්නවා, දකියි කියලා. කවුරු දකියි කියලද? ලෝකයා දකියි කියලා. අපි ලෝකයාට බිය විය යුතු නැහැ. අපි බිය විය යුත්තේ ජූරියට………

කව්ද මේ ජූරිය?

 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: