Posted by: lrrp | August 26, 2012

මේ ඡායාව ඇත්තටම භූතයෙක්‌ගේ ද ?

භූතයෝ ප්‍රේතයෝ හා පිසාචයෝ ගැන කියෑවෙන නොයෙක්‌ අද්භූත කතාවලට මේ දිනවල අප සමාජයේ ඇත්තේ පුදුමාකාරම ඉල්ලුමකි. මේ නිසා සමහර ජනමාධ්‍යයෝ පවා තම උතුම් අරමුණු හා පරමාර්ථ පසෙක තබමින් අද උත්සාහ කරන්නේ තමන් ඇසූදුටු අද්භූත කතා ඉදිරිපත් කරමින් පාඨක ජනතාවට සැහැල්ලු සරල රස වින්දනයක්‌ ලබා දෙන්නට බව පෙනේ.

සමහරු මේ මාතෘකාව ගැන කතා කරන්නේ අදාළ කරුණු ඔප්පු කරන්නට අවශ්‍ය වන සාධකද ඉදිරිපත් කරමිනි. මේ දිනවල ඒසේ ජනමාධ්‍ය ඔස්‌සේ ඉදිරිපත් කෙරෙන ප්‍රබලම සාක්‌ෂිය බවට පත්වී ඇත්තේ භූත ප්‍රේත රූප ඇතුළත් ඡායාරූප බව නොදන්නා කෙනෙක්‌ නැතිතරම්ය… ඒ තරමටම භූතයෝ ප්‍රේතයෝ සිටින පින්තූර අද අපේ සමාජයේ සුලභය.

අද අපිද මේ ලිපිය ඔස්‌සේ එවන් අද්භූත රුවක්‌ සිටින එක්‌ ඡායාරූපයක්‌ ඉදිරිපත් කොට තබන්නේ ඔබටත් එබඳු අද්භූත කතාවක්‌ කියාපාන්නට නම් නොවේ. ඒ පින්තූරය ගැන ඔබටත් යමක්‌ ගැඹුරින් සිතන්නට අවශ්‍ය උත්තේජනය ලබා දෙන්නටය.

මේ පින්තූරය මට ලබා දුන්නේ මා මිත්‍ර ලලිත් ගුණතිලක මහතාය. චිත්‍ර ගුරුවරයකු, චිත්‍ර ශිල්පියකු මෙන්ම ප්‍රකට ඡායාරූප ශිල්පියකු ද වන ඔහු මේ ඡායාරූපය මාහට ලබාදී මෙසේ විස්‌තර කළේය.

“මේකේ ඉන්නේ මගේ ගෝලයකුයි එයාගේ යාළුවෝ කට්‌ටියකුයි. මෙයාල මේ පසුගිය සතියක ගිහින් තියනවා නකල්ස්‌ කඳුවැටිය පැත්තේ ටි්‍රප් එකක්‌. කන්ද නැගගෙන නැගගෙන උඩට යද්දී රෑ වෙලා. ඒ අතරේ වාහනේ හීට්‌ කරන්න පටන් අරන්. වාහනේ නිවෙනකන් ටිකක්‌ නතර වෙලා ඉන්න අතරතුර එතන හිටපු කෙනෙක්‌ ඩිජිටල් කැමරාවකින් ඡායාරූප කීපයක්‌ අරන් තියෙනවා.

කොළඹ ඇවිල්ලා ඒවා බලනකොට තමයි ඡායාරූපයේ පැත්තක පැහැදිලිවම තියෙන මේ ඡායාව මෙයාලා දැකලා තියෙන්නේ. ඡායාරූපය මට ගෙනත් පෙන්නුවේ මෙහෙමත් දේවල් ඡායාරූප ශිල්පය තුළ වෙන්න පුළුවන්ද කියලා අහල දැනගන්න.

මා මේ ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් ලලිත්ට ගෙනවිත් දුන් ඡායාරූපයයි. මෙය කිසිලෙසකින් ඩිජිටල් ලෙස සංස්‌කරණය නොකරන ලද්දක්‌ යෑයි ඡායාරූප ශිල්පියකු වන ලලිත් වගකීමකින් යුතුව පවසයි. එසේ නම් සැබවින්ම මේ භූතයා කවුද…

මේ ප්‍රදේශයේ නිදහස්‌ අවකාශය තුළ නිදහසේ සැරිසරමින් සිටින ගන්ධබ්බ රුවක්‌ ඡායාරූපයට එක්‌ වූයේද… නැතිනම් යක්‌ෂ භූත ප්‍රේත පිසාච රුවක සේයාවක්‌ද….

සැබෑවටම මෙහි ඇත්තේ එවන් ප්‍රේතයෙක්‌ යෑයි කියන්නට ද මම කලබල නොවෙමි. එය එසේ නොවේ යෑයි කියන්නටද ඉක්‌මන් නොවෙමි. අපගේ පියෙවි ඇසට නොපෙනෙන සමහර බලවේග කැමරාවේ අධි සංවේදී විද්යුත් අක්‌ෂියට හසුකරගන්නට හැකියාව ඇති බව පමණක්‌ කියා ඒ විෂය පිළිබඳ මා නිහඬ වන්නේ ඒ පිළිබඳ මා ප්‍රමාණික විද්වතෙකු නොවෙන නිසාය.

ඇසට නොපෙනෙන අතට අසු නොවන මේ ලෝ ධාතුවේ පවතින ඇතැම් බලවේග කැමරාක්‍ෂියට හසුකරගත් ඡායාරූප ශිල්පියෝ ලෝකයේ සිටිති. ඔවුන් ලබාගත් එබඳු භූත ප්‍රේත පිසාච රූ රැසක ඡායාරූප ඔබට ඕනෑතරම් අන්තර්ජාලය ඔස්‌සේ ද දැකගත හැකිය. සැබැවින්ම ඒවා ගැන ඕනෑවට වඩා අප පුදුම විය යුතු නැති බව මාගේ අදහසයි.

එහෙත් මේ ඡායාරූපය ගැන මට අමුත්තක්‌ තිබේ.

අමුත්ත මේ ඡායාව මේ සිටින අනෙකුත් පිරිසට කිසිසේත්ම ආගන්තුක නොවන බව ප්‍රකට වීමය. ඡායාරූපයට වාඩිවී සිටින ආගන්තුක නොවන ලෙංගතු විලාසයෙන්ම ඔබටත් එය පැහැදිලිව යනවා නිසැකය.

එසේ නම් මේ භූතයා මේ වන්දනා නඩය සමගම ගමන ගිය ඇසට නොපෙනෙන බලවේගයක්‌ද…?

කෙසේ වෙතත් අවසන් නිගමනයක්‌ මා සතුව නැත. මා මෙය ඉදිරිපත් කරන්නේ ඔබගේ බුද්ධියෙන් විමසා බලන අයිතිය හා ඉඩකඩ ඔබ වෙත ඉතිරිකොට තබාය.

මේ සිටින්නේ සැබෑම භූත රුවක්‌ද…. පිටතින් ඡායාරූපයට සහභාගි වූ අද්භූත රුවක සේයාවක්‌ ද… එසේ නොමැති නම් ඩිජිටල් රූප තාක්‌ෂණයේ තවත් එක්‌ අමුතු නිමැවුමක්‌ද…. තීරණය ඔබගේය.


Responses

  1. මේක හැමෝම දන්නා බොරු ඝෝස්ට් ෆොටෝ එකක් ගානට ෆොටෝ එකට පේස්ට් කරලා ..නිකම් මිනිස්සු අන්දන්න හදන්න එපා ..අනික ඔය නකල්ස් කතාව දැන් අවුරුදු ගානක් තිස්සේ හැමෝම කියන පට්ට කෙබරයක්


Leave a comment

Categories