Posted by: lrrp | September 16, 2012

පළිඟු මාලය ඉල්ලා පෙරේතිය හඬා වැලපේ

 

ලොව්තුරා බුදුවරු ද පසේ බුදුවරු ද රහතන් වහන්සේ ද මරණය නොඉක්ම වූහ. රාජ රාජාධි මහාමාත්‍යයෝ ද මරණය නොඉක්ම වූහ. බලවන්තයින්ට ද ධනවන්තයින්ට ද මේ මරණය ඉක්මවා යන්නට නොහැකි විය. අපගේ ද මව්පිය පරම්පරාවන්හි පැරැන්නෝ ද ආදි මුතුන් මිත්තෝ ද මරණයට පත් වූහ.

එහෙත් ජීවත්වන මිනිසා තමන් මරණයට පත් වන බව සිතන්නට අකමැති ය. මෝහය මිශ්‍ර වූ ලෝභයෙන් හා ද්වේෂයෙන් යුක්තව කටයුතු කරන්නේ නොමැරෙන කෙනෙකු සේ ය. දිනක් බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණි භික්ෂුවක් “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස! මේ ලෝකයේ ජීවත්වන මිනිසුන්ගෙන් කීයෙන් කී දෙනෙක් මරණයෙන් පසු සුගති ගාමී වේ දැයි ඇසීය. (සුගතිය යනු දිව්‍ය ලෝක සය සහ මනුෂ්‍ය ලෝකයයි.)

එයට පිළිතුරු දුන් බුදු රජාණන් වහන්සේ “මේ පෘථිවියේ පවත්නා සියලුම වැලි පස් මිනිස් ගහණය වන්නේ නම් සුගතිගාමී වන්නේ මෙන්න මෙපමණ වූ ප්‍රමාණයකැ”යි පයේ මහ පටැඟිල්ලේ නියපොත්තට පස් ටිකක් ගෙන පෙන්වා වදාළ සේක.

මේ ලෝකය කාම ලෝකයකි. වසවර්ති මාරයා ගේ පාලනයට බලපෑමට ලක්ව පවතී. මිනිස් සිත නිතර ම පෙලඹෙන්නේ ඉන්ද්‍රියයන් පිනවීමට ම ය. අසීමිත වූ තණ්හාවෙන් කටයුතු කරන මිනිසා මරණය පෙනි පෙනී, තමන් වෙත මද කිපුණු අලියෙකු වනය පෙරළා ගෙන එනු දැක දැක කරවැලක එල්ලී දඬුබෑයක් ලෙව කයි. ළිඳේ පණිඳාය වැටුණොත් ඌ කාය යැයි නොසිතයි. අහසේ සිටියත්, මුහුද මැද සිටියත්, පර්වත කුහරයක සිටියත් මරණයෙන් වළකින්නට නොහැකි බව නොසිතයි.

ඒ ගැන සිතන්නේ, ඒ ගැන බියවන්නේ, ගොඩ නඟා ගත් සම්පත් අතහැර යන්නට නොහැකිව තණ්හාවෙන් තෙරපෙන්නේ මරණ මංචකයේ දී ය. දෑත් දෙපා වාරු නැති වී කතා කැර ගන්නට නොහැකි වූ විට ය. තමන්ගේ ආධ්‍යාත්මය යම් තරමකින් හෝ දියුණු කැර නොගත් පුද්ගලයා දුකෙහි ම ගැලී මරණය ඉදිරියේ අවසාන, චුති සිත ද දුක්ඛ දායක සිතුවිල්ලක් මතුවීම නිසා දුගති ගාමී වෙයි. එපමණක් ද නොව තණ්හාවෙන් සිතින් අල්ලා ගත් භෞතික වස්තූන් හෝ භෞතික ශරීරයේ වේදනාවන් අවසාන චුති චිත්තයට එළැඹියොත් ඊළඟ ප්‍රතිසන්ධිය ද දුගතිගාමී ය. මේ එවැනි කතාවකි.

තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ශාන්ති දරු තිදෙනෙකු ගේ මවකි. තවමත් හතළිස් පස් වැනි වියේ පසුවන ඇය කෙරෙන් තාරුණ්‍යය පලා ගොස් නැති සේ ය. සිරුරෙන් තරුණ බව පෙනුණ ද, ඇගේ මුහුණෙන් ඇය විඳින දුක්ඛ දෝමනස්සයන් මැනවින් නිරූපණය කොට කියා පායි. හිටි හැටියේ ඇගේ ඇඟ රත් වෙයි. හරියට උණ ගත්තා සේ ය. ශරීරය වේදනාවෙන් පෙළයි. වරෙක දරුණු හිසරදයකින් පීඩා විඳී. රාත්‍රියට හීනෙන් බිය වී ගැස්සී අවදි වෙයි. හඬා වැළපෙයි. දහවලට තත්පර පහක් දෑස් පියා ගත්තොත් දෑත් දෙපස ඇඹරී අප්‍රාණිකව බිම පෙරළෙයි. මුළු ශරීරය ම ගැහෙන්නට පටන් ගනී.

ඇගේ සැමියා අවුරුදු දෙකක් තිස්සේ වෛද්‍යවරුන් කරා ගෙන ගියත්, විවිධ ප්‍රතිකාර ලබා දුන්නත් ඇයට සුවයක් ලබා දෙන්නට නොහැකි විය. විවිධ තොවිල් පවිල් ශාන්ති කර්ම සිදු කළ ද ඒවා පොල් බෑයක් හොරෙන් ගෙන දුවන බල්ලාට අනිත් බෑයෙන් දමා ගැසුවා සේ ය. විඳින දුක් මදිවාට තමන් සතු මිල මුදල් වියදම් කොට හමාර වී ණය තුරුස්වලට ද යට වී සිටී. බෝධි පූජා පැවැත්වුවද දින දෙක තුනක් ගත වන විට ඇය කලින් සිටි තත්ත්වයට ම පත් වූවාය.

අවසානයේ කොයි තරම් දුර බැහැර වුව ද තිස්සමහාරාමයේ සිට ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය රැගෙන ආවා ය.

පළමු දිනයේ ම ශාන්ති ප්‍රලය වූවා ය. එහෙත් කතා කළේ ම නැත. ගවේෂක වරයා ආධ්‍යාත්මීය ශක්තීන් යොමු කොට ඇය කතා කරවන්නට උත්සාහ කළ ද වෑයම සාර්ථක වූයේ නැත. මේ භූතාත්මයේ දුර්වලකමකැයි සිතා බෝධි පූජා දහ හතරක් පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය. බෝධි පූජා පැවැත්විය යුතු ආකාරයත්, නිවැසියන් පිරිසිදුව සිල්වත්ව කටයුතු කළ යුතු ආකාරයත් පැහැදිලි කැර දුන්නේය.

ඊළඟ දිනයේ ද ඇය කැඳවාගෙන ආවේය. එදින ඇය ගවේෂණයට ලක් කළ විට ඇගේ දෑස් පියවී ගියේය. දෑත් දෙපා ඇඹරී අප්‍රාණිකව ඇද වැටුණාය.

“කව්ද මේ ශරීරයට ඇතුළු වී කරදර කරන්නේ?”

“කක්… කක්… කක්…” ඊට වඩා දෙයක් මුවින් පිට වූයේ නැත.

“මොනවද වුවමනා?”

“බව්… බව්… බව්…”

“මෙයාගෙ ශරීරයට ඇතුළු වී සිටින භූතාත්මයට කතා කරන්න බැහැ. අපි කරන්න ඕනෑ මොනවාද කියලා පැහැදිලිව හීනෙන් හරි පෙන්නන්න. ඔය දුක් විඳින ආත්මයෙන් මුදා සුගතිගාමී කරන්න අපට පුළුවන්. ඒ නිසා අපි කළ යුත්තේ කුමක් ද කියා මේ ශාන්තිට හීනෙන් හරි පෙන්නන්න” යැයි ගවේෂකවරයා පැවසීය.

ඉන් පසු ඇගේ ශරීරයෙන් භූතාත්මය ඉවත්කොට ප්‍රකෘති සිහියට පත් ශාන්ති සහ ඇගේ සැමියා සමඟ සාකච්ඡා කළේය.

“ශාන්තිට සම්බන්ධ ඥාතියෙක් අතපය අප්‍රාණිකව, කතා කරන්න බැරුව ඉඳලා මැරුණා ද?”

“ඔව් ශාන්තිගෙ ලොකු අම්මා. නම කරුණාවතී.”

“මොනවා වෙලා ද මැරුණේ?”

“අංශබාධ රෝගයෙන් දුක් විඳලා කතා කරන්න බැරුව මැරුණා” යි ශාන්තිගේ සැමියා උත්තර දුන්නේය.

“එහෙනම් එයා වෙන්න පුළුවන් මේ ඇඟට රිංගන්නේ?”

“එහෙම වෙන්නෙ කොහොමද මහත්තයා? උන්දැව අපේ ගෙදරට ගෙනැත් වෙදකම් කරලා සාත්තු සප්පායම් කළේ මළ මුත්‍ර ඇද්දේ මේ ශාන්තිමනෙ.”

“අපට හරියට ම කියන්න අමාරුයි. එයාගෙ මොකක් හරි අමනාපයක් හිත් රිදීමක් තිබුණ ද කියලා අපි දන්නෙ නැහැනෙ.”

“මහත්තයා! ඒ ලොකු අම්මා අවිවාහකවයි ජීවත්වුණේ. එයාගෙ ඉඩකඩම් දේපළ එයාගෙ සහෝදරයෝ ලියවා ගත්තා. බැරි වුණා ම සලක්නම් කියලා. උන්දැ අසනීප වුණා ම ඉස්පිරිතාලෙට ගිහින් දැම්මා. උන් බලන්නවත් ගියේ නෑ. මේ ශාන්ති තමයි දිනපතා ගිහින් කවලා පොවලා ආවෙ. ඉස්පිරිතාලෙන් ටිකට් කැපුවා ම අපේ ගෙදරට ගෙනැත් සාත්තු සප්පායම් කළේ ශාන්ති. හිතේ තරහක් තියෙනවා නම් බොරු කියලා රවටලා ඉඩමයි ගෙයයි ලියවා ගත්ත එවුන් ළඟට ගිහින් උන්ගෙන් පළිගන්න එපායැ” යි නැවතත් ඇගේ සැමියා කීවේය.

“හොඳයි හොඳයි අපි ඊළඟ සතියේ බලමු. එයාට අවශ්‍ය මොනවද කියලා හීනෙන් හරි පෙන්නාවි, මේ අතරේ කාගෙ හරි ගෙදරක අංශබාධ රෝගියෙක් ඉන්නවානම් හොයා ගෙන හොඳට ප්‍රනීතව ආහාර වේලක් අරගෙන ගිහින් කවලා පොවලා ශුද්ධ පවිත්‍ර කරලා,

අත පයවල බෙහෙත් තෙල් ටිකක් තවරා හොඳට අත ගාන්න. අලුත් ඇඳුමක් අන්දන්න. එදා හැන්දෑවට ගමේ පන්සලට ගිහින් බෝධි පූජාවක් තියලා ඒ පින මළගිය ලොකු අම්මාට අනුමෝදන් කර සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ඊළඟ ඉරිදට එන්නකො. එදාට මෙයාව සනීප කරන්න පුළුවන් වේවි” යි ගවේෂක වරයා කීවේය.

ඊළඟ ඉරිදා ද ඇය කැඳවාගෙන ආවා ය.

“මොකද වුණේ? හීනෙන් හරි මොකුත් පෙන්නුම් කළා ද?”

“නෑ මහත්තයා. හීනෙන් නම් පෙන්නුම් කළේ නෑ. අර විදියට අංශබාධ ලෙඩෙකුට සාත්තු කරලා පින් දුන්න දවසෙ ඉඳලා රෑට ගෙදර අල්මාරියෙ දොර ඉබේ ම ඇරෙන්න වැහෙන්න ගත්තා. කවුදෝ ඡායාවක් සෙවණැල්ලක් වාගෙ රෑට ගෙදර එහා මෙහා යනවා පෙනෙන්න ගත්තා.”

“ලොකු අම්මගෙ වටිනා දෙයක්, එයා ආසා කරපු දෙයක් ඒ අල්මාරියෙ \බුණා ද?”

“නෑ… නෑ… මහත්තයා එයාගෙ එහෙම දෙයක් තිබුණෙ නෑ. මම එයාව මැරෙනකම් සාත්තු කළා මිසක්.” යැයි ශාන්ති පිළිතුරු දුන්නා ය. ඇගේ සැමියා නිහඬව සිටියේය.

ශාන්තිව නැවතත් දිෂ්ටි ගැන්වූයේය. ඇය හඬන්නට වූවාය. මොනවාදෝ කියන්නට උත්සාහ කරමින්, එහෙත් වචන පිට කර ගත නොහැකිව හඬා වැලපෙන්නට වූවාය. ගෙල වටා අත යවමින් යමක් කියා ගන්නට උත්සාහ කළත් ඇයට අදහස් ප්‍රකාශ කැර ගත නොහැකිව බිම පෙරළී හඬන්නට වූවාය.

ගවේෂකවරයා නැවතත් ශාන්ති ප්‍රකෘති සිහියට පත් කොට කරුණු අවබෝධ කැර වූයේය.

“මෙතැන ඔය උදවිය සඟවන මොකක් හෝ දෙයක් තියෙනවා. ඔය කියන අල්මාරිය ඇතුළේ ලොකු අම්මාට සම්බන්ධ දෙයක් තියෙනවා. ඇත්ත කියන්න. දැන් මේ ප්‍රශ්නය නිසා අවුරුදු දෙකක් දුක් වින්දා. එක එක ප්‍රතිකාරවලට වියදම් කරලා රටටත් ණය වෙලා ඉන්නේ.

මේ ස්ථානයටත් දැන් කීප වතාවක් තිස්සමහාරාමයේ ඉඳල විය පැහැදම් කැර ගෙන ආවා. තව දුරටත් මේ දුකම විඳිනවා ද නැත්නම් ලොකු අම්මාගේ ආත්මයට පින් දීලා යහපත් තැනකට යවලා තමනුත් සුවපත් වෙනවා ද කියලා තීරණය කරන්න” යැයි ගවේෂකවරයා ශාන්තිටත් ඇගේ සැමියාටත් කරුණු පැහැදිලි කළේය.

“දැන්වත් ඇත්ත කියන්නැ”යි ඇගේ සැමියා ද තරමක් තදින් පැවසීය. ශාන්ති කතා කළාය.

“ඔව් මහත්තයා ලොකු අම්මාගේ රත්තරන්වලින් වැඩ දැමු පළිඟු මාලයක් අල්මාරියෙ තියෙනවා”

“මොකක්ද ඒ මාලය. කොහොමද ඒක ගත්තේ?”

“අපේ ලොකු අම්මා තමන්ගේ දේපළ ඔක්කොම එයාගෙ සහෝදරයන්ට දීලා අසරණ වුණා. ඔය පළිඟු මාලය විතරයි එයා ළඟ වටිනා දේකට තිබුණේ. ඒක එයාගේ කිමෝනාවෙ සාක්කුවෙ දාගෙන ළඟ ම තියා ගෙන හිටියා.”

“අත පය අප්‍රාණික වුණාට පස්සෙත්?”

“ඔව්. එයාව නාවලා පිරිසිදු කරලා අලුත් ගවුමක් අන්දන කොටත් ඒක ඒ සාක්කුවට දාන්න ඕනෑ. නැත්නම් අඬනවා.”

“ඉතින්?”

“ඉතින් ලොකු අම්මා මරණාසන්න වුණ දවසේ මම ඒ මාලය එයාගෙ ගවුමෙ සාක්කුවෙන් අරගෙන අල්මාරිය ඇතුළෙන් තිබ්බා. ඒ ගන්න කොටත් මහ හයියෙන් ඇඬුවා. අඬ අඬාම තමයි ලොකු අම්මාගෙ පණ ගියෙත්.”

“ඇයි මාලය එහෙම ගත්තේ?”

“එයාට සාත්තු කළේ මම. ඉතින් මට මේකවත් ගන්න එපායැයි කියලා හිතිලා මම ගත්තා. මේ මරණාසන්නව ඇඳේ ඉන්න මෙයාට මාල මොකටද කියලා මට හිතුණා. මාලය සාක්කුවෙන් ගන්න කොටත් ඒ ගැනමයි සිහිය තිබුණේ. පා… පා… පා… කියලා අඬන්න ගත්තා.”

“දැන් ඔය මාලය හින්දා දුක් වින්දා මදි ද; අරහේ අර ලොකු අම්මත් පේ‍්‍රතියක් වෙලා දුක් විඳිනවා. මෙහේ තමුන්ගෙ මහත්තයත් වියදම් කැර කැර දුක් විඳිනවා. සනීප වෙන්න වුවමනා නම් ලබන ඉරිදා මාලයක් අරගෙන එන්න. ඊට කලින් ගමේ පන්සලට දන් වේලක් පූජා කරලා ලොකු අම්මගෙ නම කියලා පැන් වඩලා පින් අනුමෝදන් කරලා එන්නැ”යි උපදෙස් දුන්නේය.

ඊළඟ ඉරිදා ද සිය සැමියා සමඟ ඇය පැමිණියාය. මාලය අතට ගත් ගවේෂකවරයා ශාන්තිගේ ශරීරයට ගුප්තාත්මය ආරූඪ කැරෙව්වේය. ඇය ප්‍රලය වූවාය. ඇයට මාලය පෙන්වා “මේකද මාලය තමුන්ගෙ“ යි ඇසීය.

“……” හිස වනා ඔව් යැයි හැඟෙව්වාය.

“මේක ඕනැද?”

නැවතත් හිස වනා මාලය අවශ්‍ය බව හැඟෙව්වාය.

“හොඳයි. තමුන්ට දැන් මාල පලඳින්න බැහැනෙ. මේ මාලය දළදා මාලිගාවට පූජා කරලා තමුන්ට පින් අනුමෝදන් කරන්න කියන්නම්. ඒ පින් අනුමෝදන් වෙලා ඔය දැන් ඉන්න දුගතියෙන් මිදී සුගතගාමී වෙන්න.”

මෙතෙක් අප්‍රාණිකව තිබු දෑත් එකතු කොට ඇය “සාදු සාදු” යි කීවාය.

නුවර දළදා මාලිගාවට ගොස් තේවාව භාර ස්වාමින් වහන්සේ මුණ ගැසී විස්තරය පැහැදිලි කොට පළිඟු මාලය දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින කරඬුවට පලඳවා ලොකු අම්මා සිහිපත් කොට පින් අනුමෝදන් කරන ලෙස උපදෙස් දුන්නේය.

ඒ අනුව කටයුතු කිරීමෙන් පසුව ශාන්ති සුවපත් වූවාය. තණ්හාවෙන් යමක් සිතෙන් අල්ලා ගෙන සිටියොත් ඒ ඇලීම සිතින් ඉවත් කරන තුරු ම උපාදානයක් වී පවතින ආකාරය මෙයින් පැහැදිලි මනාව පැහැදිලි වේ.

 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: