Posted by: lrrp | September 16, 2012

පෙරේතයා තරුණිය රවටයි

 

මේ කලියුගයයි. මිනිසාට මේ යුගයේ උරුමව ඇත්තේ හතරෙන් තුනක් ම අසුබදායක ප්‍රතිඵලය. වංචා දූෂණ අපරාධ දිනෙන් දින ඉහළ යන අතරම සිත්තැවුල් ලෙඩ රෝග සෑම වහළක් යටම ඉහළ යමින් පවතී. ඒ අතර ම අමනුෂ්‍ය බලවේග බහුල වශයෙන් ක්‍රියාත්මක වන බව සෑම මාධ්‍යයකින් ම අසන්නට දකින්නට ලැබේ. මේ අමනුෂ්‍ය බලවේග ක්‍රියාත්මක වීමත් සමඟ යන්ත්‍ර මන්ත්‍ර තොවිල් පවිල් දේවාල කටයුතුª ද වෙනදාටත් වඩා ඉස්මතු වෙමින් පවතී. අතීතයේ ශාන්තිකර්මවල නියැළුණු ඇදුරන්ට වඩා අද මේ අංශයේ කටයුතු කරන අය මුදලට ම මුල් තැන දී ක්‍රියා කරන බව පැහැදිලි ය. ශාස්ත්‍රීය දැනුමෙන් ද අඩුය.

මේ පිළිබඳව එක්තරා ඇදුරෙක් කළ ප්‍රකාශයක් ඉවත ලන්නට ද නොහැකිය. “මහත්තයා අපේ රටේ මිනිස්සු නඩුහබවලදී නීතිඥයන්ට ලක්ෂ ගණන් ගෙවනවා. නඩුව දිනුවත් පැරදුණත් ගාස්තුව එහෙමමයි. බොහොමයක් පුද්ගලික වෛද්‍යවරුත් එහෙමයි. ලෙඩා සනීප වුණත් නූනත් එහෙම මයි. ලෙඩා මළත් බිලෙන් සියයට දහයක්වත් අඩු කරන්නේ නෑ. ඒ වුණාට තමන්ගේ පූර්ව පාපකර්මවල විපාක වශයෙන් අපල උපද්‍රව එළැඹුණාම ඇදුරා ගාස්තුවක් ඉල්ලුවාම බොහෝම හිතට අමාරුයි. පන්සලේ හාමුදුරුවෝ දවස් දාහතරක්, විසි එකක් බෝධි පූජා පැවැත්වුවාම බෝධි මළුවේ ලයිට් බිලටවත් සෑහෙන මුදලක් දෙන්න අදිමදි කරනවා.

දවස් විසි එකක් එක දිගට බෝධි පූජා තියාදුන්නු හාමුදුරුවන්ට පිරිකරට දෙන්නේ සීනි කිලෝ එකක් හරි කිරිපිටි පැකට් එකක් හරි. ඒ තරම්ම අවස්ථාවාදී සමාජයක්” යනුවෙන් ඒ ඇදුරු මහතා අදහස් පළ කළේය. අමනුෂ්‍යයෝ ද එසේ ම කට්ට කපටි කෛරාටිකකම් කරති. විශේෂයෙන් මළ ප්‍රේතයෙක් කුමක් හෝ හේතුවක් නිසා කාන්තාවකගේ ඇඟට ආවොත් එය මුදල් ඉපැයීමේ මාර්ගය කැරගන්නට ඇය උත්සාහ කරයි. ඔවුන් ළඟට එන සේවාදායකයන් රවටා ගෙන තමන්ගේ වාසියට කටයුතු කරයි. එසේම බෞද්ධ පිළිවෙත් මඟින් භූතදෝෂ ඉවත් කැර ගන්නට යන ආතුරයෝ බලන්නේ ද එතැන බෙර ගැසීම් නැටුම් යාතිකා නැති නිසා නොමිලේ ම වාගේ වැඩේ කරගෙන පනින්නටය.

ඔවුන් අසල ගැවසෙන භූතයෝ ද මේ මිනිසුන්ගේ සටකපට දැක සිනාවෙමින් සිටිති. එසේම එවැනි අයට පිළිවෙත්වලින් ගුණයක් ලැබෙන්නේ ද නැත. පේ‍්‍රතයින් වැහුණු ස්ත්‍රීහු ද අසවල් දෙවියන්ගෙන් වරම් අරගෙන ආවා යැයි රෝගීන් සුවපත් කරන්නට ගොස් අවසානයේ තමනුත් අමාරුවේ වැටෙති.

විසි අට හැවිරිදි ශ්‍රියානි ගාලු දිස්ත්‍රික්කයේ තරුණියකි. ඇයට හිසරදය, නින්ද නොයෑම, සිහිමඳ ගතිය නිසා දෙමව්පියෝ මනෝ වෛද්‍යවරුන් වෙත ඇය ගෙන ගියහ. ඇයට භින්නෝන්මාදය යැයි ප්‍රතිකාර කළ ද සුවයක් නොවුණි.

මේ අතර ශ්‍රියානි “මට විශ්ව ශක්තියක් තියෙනවා. මට රෝගීන් සුවපත් කරන්නට බලයක් ලැබී තියෙනවා”යි කියන්නට වූවාය. ඊට අමතරව පොහොය දිනවල පන්සල්වලට ගොස් දේශනා පවත්වන්නට ද වූවාය.

කෙසේ නමුත් ඇගේ වැඩිහිටියන්ට ඇය වෙතින් අමුතු ස්වභාවයක් පෙනෙන්ට විය. ඇගේ කතාවෙන් විකාර ස්වරූපයක් පැහැදිලි විය. මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලින් ඇගේ අසනීපය වැඩි වූ බවක් පෙනෙන්නට විය. ශ්‍රියානි හිටි හැටියේ ඒ පුරුදු ස්වභාවය ද අතහැර නිතරම නිදන්නට වූවාය. මුහුණ සේදීම නෑම පවා අතහැර කිළිටි ගවුම් අඳින්නට වූවාය. හිටිහැටියේ හොඳ සිහිය ඇති වුවද යළිත් විකාර කරන්නට වූවාය. රාත්‍රි සිහිනෙන් දොඩවන්නට ද වූවාය.

බෝධි පූජා පැවැත්වුවද, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළ ද ශ්‍රියානි ගේ චර්යාවන්ගේ වෙනසක් දකින්නට නොලැබුණු නිසා ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය කැඳවා ගෙන ආවාය.

ගවේෂකවරයා ශ්‍රියානි සමඟ ද වැඩිහිටියන් සමඟ ද සාකච්ඡා කොට තත්ත්වය වටහා ගත්තේය. ශ්‍රියානිට බලපෑම් කරන භූතාත්මයක් ඇති බව ද හඳුනා ගත්තේය. ශ්‍රියානිගේ මානසිකත්වය පහත නොවැටෙන්නට උපායශීලීව කතාකළේය.

”ඔව් ශ්‍රියානි, ඔයාට විශ්ව ශක්තියක් තියෙනවා. ඔයාට ඒ ශක්තියෙන් මිනිසුන්ට විශාල සේවයක් කරන්න පුළුවන්. රෝගීන් සුවපත් කරන්න පුළුවන්. ඒත් ඒ බලය තවම හරිහැටි තහවුරු වෙලා නැහැ. ඒ නිසා ඔයා ගමේ පන්සලට ගිහින් දවස් විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්න. හැබැයි ශ්‍රියානි ඔයාගේ කාමරය, පාවිච්චි කරන ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට ඇඳුම් ඉතාම පිරිසුදු වෙන්න ඕනෑ. දිනපතා නාන්න ඕනෑ. බෝධි පූජාවට යන්න කලිනුත් හොඳින් පිරිසුදු වෙලා යන්න ඕනෑ. නැත්නම් ඒ බෝධි පූජාවෙන් වැඩක් වෙන්නේ නැහැ”යි කීවේය.

ඒ කියූ පරිදිම බෝධි පූජා පවත්වා දින විසි එකෙන් පසුව ශ්‍රියානි සිය වැඩිහිටියන් සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ඇතුළු වූයේ ගැහි ගැහී බියමුසු චකිතයකිනි. ඇයට බලවත් ප්‍රේතයකු ආවිෂ්ටව සිටින බව ගවේෂකවරයාට පැහැදිලිව පෙනුණි.

”කව්ද මේ ළමයාගේ ඇඟට රිංගා ගෙන ඉන්න භූතාත්මය?”

”මම මහා බලසම්පන්න සෘෂිවරයෙක්. ඇයි මා අවදි කළේ? මම මේ ළමයා ලවා මිනිසුන්ට සෙතක් ශාන්තියක් කරන්නයි හදන්නේ. ඇයි තමුන් මට බාධා කරන්නේ? මාත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා.. තමුන් කව්ද? තමුන්ට පුළුවන් ද මාත් එක්ක හැප්පෙන්න. තමුන්ගෙ වැඩක් බලාගෙන ඉන්නවා. මාත් එක්ක පැටළෙන්නේ නැතිව. මාත් එක්ක හැප්පුණොත් මම ජීවිත දෙක තුනක් විනාශ කරනවා.”

”හා.. හා.. සෘෂිවරු ජීවිත නැතිකරන ජාතියක්දැයි” ඇසූ ගවේෂකවරයා සෘජුවම සිය ශක්ති කිරණ එල්ල කළේය. භූතයා මෙල්ල විය.

”මාව පුච්චන්න එපා. මම ඇත්ත කියන්නම්.”

”හා… හැබෑද? ඇයි චණ්ඩියා බය වුණේ. තමුන් කවුද කියලා මට පැහැදිලිව පෙනෙනවා. මේ මිනිස්සුන්ට කරදර හිරිහැර නොකර මේ ගෑනු ළමයාගෙ ජීවිතය කාලකණ්ණි නොකර ඇත්ත කියපං. නැත්නම් උඹට මගෙන් තවත් දඬුවම් විඳින්න සිද්ධ වෙනවා.”

”හොඳයි හොඳයි මම ඇත්ත කියන්නම්”

”තමුන් කව්ද?”

”මම ගුණසේකර”

”කොහේද ජීවත්වුණේ?”

”දැනට අවුරුදු පනහකට කලින් අවිස්සාවේල්ලේ ජීවත්වුණේ”

”ඊට පස්සෙ?”

”මම හැන්දෑවට දෙවියන්ට පහනක් පත්තු කළා. මට හිතුණා කතරගමට ගිහින් සන්නාසි ජීවිතයක් ගතකරන්න. මම දුඹුරු පැහැති ඇඳුම් ඇඳගෙන රැවුල වවාගෙන සන්නාසියෙක් වගේ ජීවත් වුණා. එහෙම ඉඳලා වයස්ගත වෙලා මළා. මම මැරිලා ඉපදුණෙත් අර සන්නාසි ස්වරූපයෙන්ම ප්‍රේතයෙක් වෙලා. ඒත් මට මහා දේවාලය ඇතුළට යන්න අවසර වරම් තිබුණෙ නෑ. එතන ඉන්න මට වඩා බලවත් අය මට ගහලා පන්නනවා. දවසක් දේවාල භූමියේ දී මම මේ ශ්‍රියානිව දැක්කා. එතකොට මෙයාට වයස අවුරුදු විස්සයි.

”තමුන් ශ්‍රියානි ගැන මොනවද දැනගත්තේ?”

”ඒ වෙලාවේ මෙයාගෙ සිතුවිලිවලින් මෙයාගේ අතීතය දැනගත්තා.”

”මොනවද මෙයාගෙ අතීතය?”

”මේ ළමයා පොත්පත් කියවලා ඔළුව අවුල් කැරගෙන. මෙයා වැඩිහිටියොත් එක්ක කතරගම ඇවිත් ගුප්ත බලයක් ඉල්ලමින් හිතෙන් කන්නලව් කළා. මම පස්සෙන් ඇවිත් මෙයාගෙ ඇඟට රිංගුවා.”

”ඊට පස්සෙ?”

”ඊට පස්සෙ මෙයත් එක්ක මෙයාගෙ ගෙදරට ආවා. මම රෑට හීනෙන් පෙනී ඉඳලා කිව්වා. “ඔබට මම විශ්ව ශක්තිය ලබාදෙනවා. හැබැයි මේවා දේව රහස්. කාටවත් කියන්න තහනම්. මම කියන විදිහට වැඩ කරන්න. හැමදාම රෑට 11.30ත් 12.30ත් අතර පහනක් දල්වා ඒක දිහා බලා ඉන්න කියලා. මෙයත් මම කියපු විදිහට ගෙදර අයට නොදැනෙන්න කාමරය වහගෙන ඒ ටික කළා. මම ආයෙත් දවසක් මෙයාට කිව්වා දැන් ඔයාට විශ්ව ශක්තිය තියෙනවා. ලෙඩත් සනීප කරන්න පුළුවන් කියලා. ඉතින් මෙයා පන්සල්වල දේශනා කරන්න ගියා. තමන්ට විශ්ව ශක්තිය තිබෙන බව කියමින් විකාර කළා.”

”තමුන් බලවත් ගුප්තාත්මයක් කීවා නේද?”

”ඔව්. මම බලවත් කෙනෙක්.”

”තමුන් ආහාරයට ගන්නේ මොනවාද?”

”මේ ළමයාගේ ශක්ති කිරණ”

”බොරු කියන්න එපා”යි ගවේෂකවරයා වේවැල අතට ගත්තේය.

”නැහැ මහත්තයා මේ ළමයගෙ අපිරිසුදු රුධිරයෙන් තමයි ජීවත්වුණේ. මේ පහුගිය අවුරුදු අට තුළම මේ ළමයාට ඔසප්වීමක් සිද්ධ වුණේ නෑ. ඒ මම මෙයාගෙ අපිරිසිදු රුධිරය උරාබීම නිසා. ඒ වගේම මම ශ්‍රියානිට විවාහ වෙන්න ඉඩ දුන්නෙත් නෑ. ඒ හැම දෙයක්ම වැළැක්කුවා.”

”හරි හරි මේ ළමයාගේ ජීවිතයේ අවුරුදු අටක්ම කාලකණ්ණි කළා ඇති දැන් මේ ශරීරයෙන් පිටවෙලා යන්න ඕනෑ.”

”බෑ..බෑ.. ඒක නම් කරන්න බෑ. මෙයාව අතහැරලා ගිහින් මම ජීවත්වෙන්නේ කොහොමද?”

”මේ.. මේ.. තමුසෙගෙ කරුම තමුසෙ ගෙවා ගන්නවා. මේ අහිංසක මිනිස්සුන්ට කරදර නොකර දැන් වහාම මේ ශරිරයෙන් ඉවතට යන්න ඕනෑ. තව සතියකින් මෙතනට එන්න පුළුවන්.” යැයි කියූ ගවේෂකවරයා ශ්‍රියානිගේ ශරීරයෙන් නිකුත්වන රැස්වළල්ලේ කඩතොළු වසා කිරණ වළල්ල සකස් කළේය. නැවත සතියකින් පිරිසුදු පලතුරු වට්ටියක් ද රැගෙන ඇවිත්, ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේ සිට අතරමඟ නොරැඳී කෙළින්ම කතරගම යෑමට සූදානම් වී එන ලෙස දැනුම් දුන්නේය.

එදින ද ශ්‍රියානි ප්‍රලය වූවාය.

”කව්ද මේ?”

”ගුණසේකර”

”අර කියපු සෘෂිවරයාද?”

”…..” ගුප්තාත්මය ලජ්ජාවට පත්ව පිළිතුරු දුන්නේ නැත.

”ගුණසේකර!”

”මහත්මයා?”

”දැන් තමුන්ට මේ පලතුරු වට්ටිය මතට වී මේ අය සමඟ කතරගමට යන්න පුළුවන්.”

”මට දඬුවම් කරයිද?”

”කව්ද තමුන්ට දඬුවම් කරන්නේ?”

”මම කතරගම දෙවියන්ගේ වරමින් ශ්‍රියානිට උදව් කරනවා කියා බොරු කීවාය. දේවාලය ළඟ සිටින අය මට ගහලා එළවා දමාවි.”

”මට ඒකට කරන්න දෙයක් නෑ. ඒක තමුන්ගෙ වරද. කතරගම දේවාල භූමියට යන්න බැරි නම් සොහොන් පිටියකට වෙලා ඉන්නවා. ආයෙත් මේ අයට කරදර කරන්න එපා. මේ අයගෙ පස්සෙන් එන්නත් එපා.”

”හොඳයි, මම පොරොන්දු වෙනවා.”

ශ්‍රියානිත් ඇය සමඟ පැමිණි වැඩිහිටි පිරිසත් පලතුරු වට්ටිය ද රැගෙන කතරගම ගොස් පූජාවට්ටිය දේවාලයට භාර කළහ.

මෙහිදී සිදුවී ඇති සත්‍ය සිද්ධිය මෙයයි. වයස අවුරුදු විස්සක් තරම් නොමේරූ වයසේදී දෙවියන් පිළිබඳ පොත් පත් කියවා ගුරුවරයෙකුගේ උපදෙස් නැතිව හොර රහසේ වත් පිළිවෙත් කිරීමෙන් නොමඟ ගොස් පොට වරද්දා ගැනීමය. එසේම ගුණසේකර නමින් කතරගම සන්නාසි ජීවිතයක් ගෙවා මිය ගොස් ඉපැදුණු ප්‍රේතයා මේ නොමේරූ මනසක් ඇති ශ්‍රියානිගේ සිරුරට රිංගා ගත්තේය. ඔහු ශ්‍රියානිට මස් මාළු කරවල බිත්තර කෑමෙන් වැළකීමට උපදෙස් දුන්නේය. රාත්‍රි 11.30ත් 12.30ත් අතර පහනක් දල්වා ඒ පහනේ දැල්ල දෙස බලා සිටින්නට නියම කළේය. ඇය පහන දෙස බලා සිටින විට රැස් වළල්ලක් දැක්කාය. එයින්ම ඇයට විශ්ව ශක්තිය ලැබුණා යැයි රැවටුණේය.

මේ භූතයා ඒ පහන දැල්වීම තුළින් අපේක්ෂා කළේ ඔහුගේ සම්බන්ධය පවත්වා ගැනීමටය. භූතයා හෝ ශ්‍රියානි හෝ දෙදෙනාම හෝ නොදැන මෙයින් තවත් දෙයක් ක්‍රියාත්මක විය. එනම් පහන් දැල්ල දෙස එක දිගට සෘජුවම බලා සිටිනවා යනු ‘ආලෝක කසිනය’ වැඩීමයි. කසින භාවනා වැඩීමේ දී නියමිත පිළිවෙත් පවතී. භාවනාවකට පෙර තමන් පිරිසුදුව, පරිසරය ද පිරිසුදුව, සීලයක පිහිටා ‘පූර්වකෘති’ ඉටු කළ යුතුය. බෞද්ධ සම්ප්‍රදාය අනුව ඊළඟට ‘සතර කමටහන්’ ඉටු කළ යුතුය. පහන් දැල්ලත් යෝගියාත් අර නියමිත දුර ප්‍රමාණයක් තිබිය යුතුය.

මේ කිසිවක් නොදැන ගුරුවරයකුගේ උපදෙස් නොගෙන ප්‍රේතයෙක් හීනෙන් කී පමණින් හිතුවක්කාරව ගුප්ත දේ කරන්නට ගොස් ජීවිතය බේරුණු එකද ලොකු දෙයකි.

විශ්ව ශක්තීන් ලබාගත හැකි යැයි නොදන්නා දේ කරන්නට ගොස් ඔයින් බේරුණා මදැයි කියා අනුකම්පා සහගතව සිතිය යුතුය. විශේෂයෙන් ම අසවල් අසවල් දෙවියන්ගේ වරමින් ශාස්ත්‍ර කියනවා යැයි (ආදායම් මාර්ගයක් සඳහා) කටයුතු කරන්නට යන කාටත් මෙය හොඳ පාඩමකි. ඇත්තට ම මෙය ප්‍රේතයකු විසින් තමන්ගේ පැවැත්ම සඳහා තරුණියකගේ රුධිරය උරා බොන්නට යොදාගන්නා ලද උපායකි.

 

 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: