Posted by: lrrp | September 23, 2012

ප්‍රියංකා සොයමින් රේල් පාරේ ඇවිදින උස කළු අවතාරේ

මිනිසා තමන්ට තනිව කැර ගන්නට බැරි දේවල් අනුන් ලවා කැර ගන්නට පෙලඹෙයි. විශාල බරක් ඇද ගන්නට අවශ්‍ය වූ විට අලි ඇතුන් හෝ ගවයන් යොදා ගනියි. එහෙත් ඒ අලියා හෝ ගවයා එම බර අදින්නේ කැමැත්තකින්, උවමනාවකින් නොවේ. නොකර බැරි නිසාය.

භූත ලෝකයේ ද එවැනි දේවල් සිදුවේ. භූතයෙකුට යමක් කරගන්නට අවශ්‍ය වූ විට වෙනත් මිනිසෙකුගේ ඇඟට රිංගා තමන්ගේ අවශ්‍යතාව ඉටු කැර ගන්නට උත්සාහ කරන අවස්ථා ද ඇත. එහෙත් මෙහිදී අප නොසිතන දෙයක් සිදුවෙයි.

එවැනි වුවමනාවන් සඳහා භූතයෙකුට කෙනෙකු (වාහකයෙකු) අවශ්‍ය වූ විට ඔහුගේ ඇඟට රිංගන්නේ ඔහුගේම අඩුපාඩුවක් තුළිනි. අතීතයේ පැරන්නෝ කෙම්මුරදාට, ගොමමන් වේලාවට, දෙමංසලේ, තුන්මංසලේ, සිව්මංසලේ නාන තොටේ, කනත්ත ළඟ, මහ පාරේ නොකටයුතු දේවලින් වැළකුණාහ. සංස්කෘතියක් වශයෙන්, චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් පාරම්පරිකව පැවත ගෙන ආ බොහෝ දේවල් වර්තමාන සමාජයෙන් වියැකී ගොස් ඇත. ඒවායෙන් ලැබෙන අනිසි විපාක ද බොහෝ ය.

ජීවානන්ද අලව්ව ප්‍රදේශයේ තරුණයෙකි. අගනුවර රැකියාවක යෙදෙන ඔහු දිනපතා උදේම අලව්ව දුම්රිය පොළෙන් පිටත්වී හවසට ආපසු නිවසට එයි. නිවසේ සිට දුම්රිය පොළට සැතපුම් දෙකක් පමණ දුරක් ගෙවා යා යුතු බැවින් ඔහු නිවසේ සිට දුම්රිය පොළ දක්වා ගමන් කළේ යතුරුපැදියෙනි. දුම්රිය පොළ අසල නිවසක යතුරුපැදිය නතර කොට ගොස් ආපසු හැන්දෑවට එය රැගෙන නිවසට යෑම සිරිතය.

උදේට යතුරුපැදියට නැඟ ගමන් කරන විට එහි පිටුපස තවත් කෙනකු බරට හිඳගෙන සිටින බව ඔහුට දැනෙයි. සවසට ද ඔහු සමඟ එසේ ම කෙනෙකු පැමිණෙන බව බරට දැනෙයි. එහෙත් එවැන්නකු ඔහුට නොපෙනෙයි. ජීවානන්ද රාත්‍රියට හීනෙන් බියට පත්ව “ප්‍රියංකා.. ප්‍රියංකා…” යැයි කෑගසයි. දහවල් දොළෙහටත් රාත්‍රි දොළහටත් ශරීරය ගැහෙන්නට පටන් ගනී. සමහර දිනවල බඩේ වේදනාවක් ද දැනෙයි. වෛද්‍ය ප්‍රතිකාර ගන්නට ගිය විට ඔහුට රෝගයක් නැතැයි වෛද්‍යවරු පවසති.

මෙය මානසික රෝගයකැයි සමහරු කී බැවින් මනෝ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලැබූව ද එයින් ද සහනයක් නොවීය. සාමාන්‍යයෙන් එක් කෙනෙකු පදින යතුරුපැදියේ ඉන්ධන දැවීමට වඩා දෙදෙනකුගේ බර පැටවීමේදී සිදුවන පැට්‍රල් දැවීම මානසිකව සිදුවන්නක් නොවන බව ද පැහැදිලි විය. එසේම “ප්‍රියංකා.. ප්‍රියංකා..” යැයි කෑගසන්නට තරම් ඔහු දන්නා හඳුනන ප්‍රියංකා කෙනෙකු ද නොවීය.

මේ අතර රාත්‍රියට උස කළු මිනිසකු බෙල්ල පහතට කඩා වැටී හඬා වැලපෙන ආකාරයට ඔහු ද “ප්‍රියංකා.. ප්‍රියංකා” යැයි කියමින් හැ¼ඩීම ද ජීවානන්දට හීනෙන් පෙනෙන්නට විය. ඔහු රැකියාව කරන ආයතනයේ හිතවතෙකුගේ මඟපෙන්වීම මත “සිළුමිණ” පියවි ඇසින් ඔබ්බට” ලිපි පෙළ කියවන්නට පෙලැඹී ජීවානන්ද ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගියේය.

පළමු දිනයේ ගවේෂණයේ දී ජීවානන්ද ප්‍රලය වී වෙව්ලන්නට පටන් ගත් නමුත් ඔහුට ආවිශ්ට වී සිටි භූතාත්මයට කතා කරන්නට තරම් ශක්තියක් නොවීය. “ප්‍රියංකා.. ප්‍රියංකා”යි හඬ නඟා නිහඬ වූයේය. නැවත කතා කැරවන්නට උත්සාහ කළත් නිෂ්ඵල විය. දින දහහතරක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් ලැබුණි. දින දහහතරෙන් පසු පැමිණි දිනයේ ද ප්‍රලයව හඬන්නට පටන් ගත්තත් භූතාත්මය කතා නොකළ බැවින් නැවත දින දහහතරක් බෝධි පූජා පවත්වා පැමිණෙන ලෙස දැන්වීය.

ඊළඟ දිනයේ භූතාත්මය කතා කළේය.

”කව්ද මේ ශරීරයට රිංගාගෙන සිටින්නේ?”

”මම කපිල”

”ඇයි මේ ශරීරයට රිංගුවේ?”

”මට ප්‍රියංකාව ඕනෑ. මට ප්‍රියංකාව හොයාගන්න ඕනෑ.”

”කව්ද මේ ප්‍රියංකා කියන්නේ?”

”මම යාළුවෙලා හිටිය ගෑනු ළමයා. අපි දෙන්නා කසාද බඳින්නයි හිටියේ.”

”ඉතින්?”

”ඉතින් එයාගෙ ගෙදරින් විරුද්ධ වුණ නිසා ප්‍රියංකා වෙනස් වුණා.”

”ඉතින් තමුන් මොකද කළේ?”

”මම කෝච්චියට බෙල්ල තියලා මැරුණා”

දුම්රිය පාර අසලට ගොස් දුම්රියක් එනතුරු බලා සිටි සැටිත්, ඈතින් දුම්රියක් හූ කියාගෙන ළඟට ම එද්දී ඉදිරියට පැන රේල් පීල්ලට බෙල්ල තැබූ බවත්, විශාල කළු ගලක් ශරීරය මත පැටවුණා සේ දැනුණු බවත් විස්තර කළේය.

”ඊට පස්සේ?”

”ඊට පස්සේ මම රේල් පාර ළඟට වෙලා හිටියා “ප්‍රියංකා දැන් ඒවි.. දැන් ඒවි.. කියලා මඟ බලාගෙන.”

”ඉතින් ප්‍රියංකාව හොයාගෙන යන්න තිබුණ නේද?”

”මට ශක්තිය නෑ. ඒ රේල්පාර ළඟින් එහාට යන්න නැඟිටින්න ශක්තියක් තිබුණෙ නෑ. ප්‍රියංකා ඉන්නේ කොහේද කියල හොයාගන්න ශක්තියකුත් තිබුණෙ නෑ. ඉතින් එතැනම අඬ අඬා දුක් ගින්දරේ හිටියා”

”ඉතින් මේ ජීවානන්දගේ ඇඟට ආවේ කොහොමද නැඟිටින්න ශක්තියක් නැත්නම්”

”එදා ජීවානන්ද එතැනින් යන්න ආවා. ජීවානන්ද බීලා බැදපු මස් කාලයි ආවේ. ඈත එනකොටම බැදපු මස් සුවඳ මට දැනුණා. ඒකෙන් අමුතුම ශක්තියක් මට ලැබුණා. මම වහාම ජීවානන්දගේ ඇඟට රිංගා ගත්තා.”

එදින යහළුවකුගේ සාදයකට ගිය බවත්, එහිදී බැදපු මස් කකා මත්පැන් පානය කළ බවත්, ගෙදර පැමිණියේ මේ දුම්රිය පාර අසලින් බවත් ජීවානන්දගෙන් (පසුව) දැනගන්නට ලැබුණි. නැවත ප්‍රශ්න කරන්නට වුයේය.

”තමුන් කොහොමද ජීවානන්දගෙ ශරීරයට රිංගුවේ?”

”මහත්තයා මම කෝච්චියට බෙල්ල තියලා මැරුණේ 1989 අවුරුද්දෙ. එදා ඉඳලා එතැනම එහාට මෙහාට යන්න එන්න හෙළවෙන්න බැරුව ඇඟට ශක්තියක් නැතුව මෙච්චර කල් දුක් වින්දා. එදා ජීවානන්ද ඈත එනකොටම මට දැනුණු බැදපු මස් සුවඳෙන් මම ශක්තිමත් වුණා. ඒ වහනය වූ සුවඳ දිගේ ගිහින් උගුරෙන් රිංගලා බඩට ඇතුළු වුණා.”

”එදා ඉඳල ජීවත්වුණේ කොහොමද?”

” ජීවානන්ද කන බොන දේවලින් මමත් ජීවත්වුණා”

”ඉතින් ප්‍රියංකාව හොයාගත්තද?”

”නෑ මහත්තයා ජීවානන්ද යන එන තැන මමත් යනවා. ප්‍රියංකව දැන් මුණගැහෙයි.. දැන් මුණගැහෙයි කියා හිත හිතා. ප්‍රියංකා කොහේද කියලා හොයා ගන්න නෑ.”

” ජීවානන්ද යන එන තැන්වල නැත්නම් වෙන කොහේ හරි ඇති ප්‍රියංකා”

”මම ජීවානන්දගෙ නිවාඩු දවස්වලට මෙයාගෙ මනස පොලඹවලා ඔළුව හැරුණු හැරුණු අතේ අරගෙන යනවා. ඒත් ප්‍රියංකාව මුණගැහුණේ නෑ.”

“කපිල දැන් ඔය විඳීන්නේ මහා දුකක්. ඒ මදිවාට ජීවානන්දටත් අනාගතයක් නැති කරලා දුක් දීලා පව් රැස්කර ගන්නවා. ඔය දැන් ඉන්න ආත්මයෙන් අත් මිදෙන්න අපි පින්කමක් කරලා පින් දෙන්නද?”

”බෑ බෑ මහත්තයා මගේ හිතේ ප්‍රියංකාව දකින්න දැඩි ආශාවක් තියෙන්නේ. ඒ නිසා මට මේ ආත්මයෙන් අත්මිදෙන්න බෑ”

”දැන් තමුන් මේ කරන්නේ තේරුමක් නැති වැඩක්. ප්‍රියංකා කසාද බැඳලා දරුවොත් ඇති. තමුන් ජීවිතේ නැතිකර ගෙන දැනට අවුරුදු විසිතුනක් වෙනවා. ප්‍රියංකා හොය හොයා නිකරුණේ දුක්විඳිනවා. සමහර විට කපිල ජීවිතේ නැතිකර ගත්තු සිද්ධිය ආරංචි වෙලා ඒ දවස්වල ම ප්‍රියංකාත් ජීවිතේ හානිකැර ගත්තාද දන්නේ නෑ. එහෙම නම් එයාගේ කපිල වාගේම දුගතිගාමී වෙලා දුක්විඳිනවාද දන්නෙත් නැහැ. ඒ නිසා තව තවත් දුක් නොවිඳ, මේ ජීවානන්දටත් දුක් නොදී මේ සංසාර ගමන කෙටිකැර ගන්න අදහස් කරගෙන පූජනීය ස්ථානයකට ගිහින් ඒවායේ පින්කම්වලට සම්බන්ධ වෙලා පින් රැස් කරගන්න.

”එහෙම නම් මම බෙල්ලන්විල බෝධීන් වහන්සේ ළඟට යන්නම්”

”ඇයි බෙල්ලන්විලට විශේෂත්වයක්”

”ප්‍රියංකයි මමයි 1988 බෙල්ලන්විල බෝධි පූජා තිබ්බා. එයාගෙ දෙමවුපියන් කැමතිකරවාගන්න කියලා. එතැන පුරුදු නිසා ප්‍රියංකා කවදා හරි බෙල්ලන්විලට ඒවිද කියලා බලන්නත් පුළුවන්නෙ”යි භූතාත්ම බෙල්ලන්විලට යන්නට කැමැති විය.

දැන් ජීවානන්ද සුවපත් වී ඇති බව දැන ගන්නට ඇත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: