Posted by: lrrp | September 29, 2012

පිච්චෙනවා පිච්චෙනවා පුච්චන්න එපා මං කියන්නම්

භව තණ්හාවෙන් පෙළෙන සත්ත්වයාට මේ සංසාර චක්‍රයෙන් මිදී නිවනෙන් නිවෙන්නට නොහැකි ය. මිනිසුන් වශයෙන් ද බොහෝ දෙනෙකුට මරණයේ දී වත් තමන් සතු දේපොළ සම්පත් ද අඹු දරු ඥාතීන් ද අතහැර දමන්නට යටි හිත ඉඩ දෙන්නේ නැත.

මේ ආත්මයේ ලබාගත නොහැකි වූ සම්පත් ඊළඟ ආත්මයේ හෝ ලබාගැනීමේ චේතනාවෙන් පසුවෙති. මරණයට පත්වූ අඹු සැමි දූදරුවන් ඊළඟ ජාතියේදීත් මුණගැසෙන්නට ප්‍රාර්ථනා කරති. එසේම පෙර ජාතීන්හි දී ද එසේ පැතුවෝ ලක්ෂ ගණනින් මේ ජාතියේ ද සැරිසරති. මිනිසුන් පමණක් නොව තිරිසන් සතුන් ද කොයි තරම් රෝගීව ආබාධිතව සිටියත් තවත් දවසක් හෝ ජීවත්වන්නට උත්සාහ කරති. අනන්ත වූ දුක් විඳින අපාගත නිරිසතුන් පවා මේ භව තණ්හාවෙන් පෙළෙති.

එසේ ම තමන් බලාපොරොත්තු වන සම්පත් නොලැබෙන විට ඒවා කෙසේ හෝ ලබා ගැනීමට විවිධ උපාය මාර්ග අනුගමනය කරන්නෝ ද සිටිති. තමන් කැමැති අය තමන්ට අයිති කැර ගන්නට නොහැකි වූ විට වශී ගුරුකම් ආදී බන්ධනයන් මඟින් ලබා ගන්නට උත්සාහ කරන්නෝ ද කරන්නියෝ ද සිටිති.

සමහරු ඇදුරන් ලවා යම් යම් දේ මතුරා ජීවම් කොට තමන්ට අවශ්‍ය පුද්ගලයාගේ ආහාරවලට මිශ්‍ර කොට ශරීර ගත කරති. මේ විශ්වය පුරා අනන්ත වූ කල්ප කාලාන්තරයක් අමනුෂ්‍ය භවයන්හි ඉපිද ආහාර පාන සඳහා කෙළ සෙම් සොටු ලේ ආදිය පවා නොලැබ දුක් විඳිමින් සැරිසරන යක්ෂ ප්‍රේතාදීහු ද අනන්තය. අපේ පියවි ඇසට නොපෙනෙන නමුත් අප ජීවත්වන පරිසරයේ මෙසේ දැවෙන කුසගින්නෙන් පෙළෙමින් මෝහය නිසා ලෝභයෙන් සහ ද්වේෂයෙන් යුතුව සැරිසරන යක්ෂ ප්‍රේතාදීහු මේ යන්ත්‍ර මන්ත්‍රාදී ගුරුකම්වලට බැඳෙති. එල්ලෙන්නට වැල් නැතිව සිටින අමනුෂ්‍යයෝ පුළුටු පුද කෙරෙහි ලොල්ව පැමිණ බැඳෙති. සමහරු මන්ත්‍ර බලයට අසුව අකමැත්තෙන් වුව ද බැඳෙති.

ආධ්‍යාත්මික ශක්තියෙන් ප්‍රබල වූ පුද්ගලයන්ගේ ශරීරවලට මෙවැනි ගුරුකම්වලින් පැමිණෙන භූතයන්ට රිංගා ගන්නට අපහසුය. එහෙත් ඒ භූතයා භාරගත් කාර්යය ඉටු කිරීමේ වගකීමට බැඳී සිටීම නිසා ඊට අවස්ථාවක් එළඹෙන තුරු මාන බලමින් සිටී. එහෙත් ගුරුකම කැරවූ පුද්ගලයාට සමීපව සිටී. ඒ ;හ්තුව නිසා ඔහු හෝ ඇය ද පීඩාවට ලක්ව දුක් විඳින අවස්ථා ද බොහෝ ය. එවැනි සිදුවීම්වලදී අනුන්ට කැපූ වළේ තමන් වැටෙනවා යැයි කියන්නට සිදුවේ. මේත් එවැනි කතාවකි.

ශ්‍යාමලී අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි තරුණියකි. පාසල් වියේ සිට ම කාමුක ගතිවලින් පෙළුණ ඇය තරුණයන් සමඟ අයාලේ ඇවිදින්නට ගොස් චරිතය කෙළෙසා ගෙන තිබුණි. මෙසේ ඇසුරු කළ එක් තරුණයකු ඇගේ මවුපියන් විසින් බලෙන් අල්ලා ඇයට විවාහ කැර දෙන්නට යෙදුණි. ශ්‍යාමලීගේ දුශ්චරිතවත් ගති පැවතුම් දන්නා ඔහු ඇගේ වැඩිහිටියන් ගේ බල පුළුවන්කාරකමට බියේ මේ විවාහයට අස්සන් කළා මිස එය සිය කැමැත්තෙන් සිදු වූ එකතුවීමක් නොවේ.

වැඩිකල් නොගොස් ම ඔහු ඇය අතහැර යන්නට ගියේය. දුවගේ කල්කිරියාවන් දන්නා නිසා වැඩිහිටියෝ ද ඒ ගැන සැලකිල්ලක් දැක්වූයේ නැත. එහෙත් මව ගේ උනන්දුව නිසා ඒ විවාහයෙන් දික්කසාද කොට වෙනත් විවාහයක් කැර දෙන්නට උත්සාහයේ යෙදුණි.

ශ්‍යාමලීට දෙවැනි විවාහයක් කැර දෙන්නට කොයි තරම් උත්සාහ කළත් එය කෙසේවත් ඉටු කර ගන්නට නොහැකි විය. ඒ හැම අවස්ථාවක ම ඇයට දරුණු බඩේ අමාරුවක් වැලඳී පීඩා වින්දාය. එයට වෛද්‍ය ප්‍රතිකාර කළ ද සුව වූයේ නැත. විවිධ වත් පිළිවෙත් ශාන්තිකර්ම සිදු කළ ද කිසිම සුවයක් හෝ සහනයක් ලැබුණේ ද නැත.

අන්තිමට ‘පියවි ඇසින් ඔබ්බට’ ලිපි පෙළේ සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යෂ්ථානය සොයා ගියහ.

ගවේෂණ මධ්‍යස්ථානයට ඇතුළු වන විට ම ශ්‍යාමලී අප්‍රාණිකව ඇද වැටුණාය. ඇය යළිත් නැඟිටුවා දිෂ්ටි ගැන්වීය.

”කව්ද මේ ශරීරයට ඇතුල් වී ඉන්නේ?”

”…..” නිහඬය.

”මේ කව්ද? මොකක්ද නම?”

”මතක නෑ”

”ගම කොහෙද?”

”මතක නෑ”

”මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ මොකද?”

”ඒක තමුන්ට වැඩක් නැහැනෙ”

”මට වැඩක් තියෙන හින්දයි අහන්නේ”

”මගෙන් ප්‍රශ්න කරන්න තමුන් කවුද? තමුන්ට වැඩක් නෑ. තමුන් ගෙ වැඩක් බලාගන්න”

”මට මෙතන වැඩක් තියෙනවා. මේ ළමයා සුවපත් කරන්නනේ ඕනෑ. තමුන්ටත් යහපතක් උදා කර දෙන්නයි මගේ උත්සාහය.”

”මම මේ ශ්‍යාමලී ළඟට වෙලා ඉන්නේ කාරණයක් ඉෂ්ට කර ගන්න. ඒක ඉෂ්ට කැරදීම මට පැවරුණු දෙයක්. වගකීමක්. ඒක ඉෂ්ට කැර දෙන තුරු මම ඒ වගකීමට බැඳිලයි ඉන්නේ”

”මොකක්ද ඒ කාරණය”

”කෙනෙක්ව සොයා දෙන්නයි මට පැවරිලා තියෙන්නේ”

”ඒ කාවද?”

”ඒක කියන්නේ නෑ. ඒක තමුන්ට වැඩක් නෑ”

”කියන්නෙම නැද්ද?”

”කියන්නෙම නෑ”

බැරිම තැන ගවේෂකවරයා කිරණ ශක්තිය එල්ල කොට වේවැල ද පෙන්වීය.

”පිච්චෙනවා. පිච්චෙනවා. පුච්චන්න එපා. කියන්නම්, කියන්නම්”

”කාවද මේ හොයා දෙන්න හදන්නේ?”

”සමන්තව“

”කව්ද සමන්ත කියන්නේ?”

”මේ ශ්‍යාමලීගෙ ගමට අල්ලපු ගමේ තරුණ ළමයෙක්”

”එයා කොයි වගේද?”

”බොහොම හොඳ තරුණයෙක්. යමක් කමක් තියෙනවා. බොහොම ධාර්මිකයි. උදේ හවහා තෙරුවන් වඳිනවා. දන් පින් කරනවා. භාවනා කරනවා. ගමේ පන්සලේ දහම් පාසලේ ඉරිදට උගන්නනවා. අනිත් දවස්වලට රස්සාවට යනවා. දුම්පානය සුරාපානය දෙක කරන්නේ නෑ. මස් මාළු කරවල බිත්තර කන්නේ නෑ. එළවුළු පමණයි ආහාරයට ගන්නේ. හොඳ ළමයෙක්”

”තමුන්ට ඔය වගකීම පැවරුවේ කව්ද?”

”ඇදුරෙක්”

”කාගෙ වුවමනාවට ද?”

”කාගෙද ඉතින්? මේ අම්මගෙයි දූගෙයි වුවමනාවට සමන්තව අල්ලා ගන්න වශී ගුරුකමක් කළා. ඒකට බන්ධනය වුණේ මමයි”

”කවදද?”

”දැනට අවුරුදු පහකට කලින්. මේ ශ්‍යාමලී අවුරුදු දහහතෙන් කසාද බැන්දේ. කොල්ලොත් එක්ක නටලා නටලා අන්තිමේ එකෙක් අල්ලා ගත්තා. ඌත් දාලා ගියා. ඊට පස්සේ තමයි මේ සමන්තව අල්ලා ගන්න වශී ගුරුකම කළේ.”

”කොහොමද ඒක කළේ?”

”මේ ශ්‍යාමලීගෙ ලේ මිශ්‍ර කරලා සමන්තට කෑමක් දුන්නා මතුරලා. සමන්තව පිස්සු වට්ටලා හරි ගෙන්න දෙනවැයි කියලා ඒ ඇදුරා කීවා.”

”කීයක් වියදම් කළා ද?”

”ඇදුරට විතරක් 5000/-ක් දුන්නා”

”ඉතින් තමුන්ට පැවරුණේ මොකක්ද?”

”කොහොම හරි සමන්තව ශ්‍යාමලී ළඟට ගෙනත් දෙන්න”

”ඉතින් මොකද බැරි වුණේ?”

”සමන්ත බොහෝම දැහැමියි. සමන්ත ළඟ සමන්ත ගෙ මැරුණු ආච්චි අම්මා ඉන්නවා.”

”ඉතින්?”

”ඉතින් මම කිට්ටුවට යන කොට ම සමන්තගෙ ආච්චි අම්මා මට ගහල පන්නනවා”

”ඉතින් බැරි නම් නිකම් ඉන්න එපා යැ”

”අපි ඔය මිනිස්සු වගේ නොවෙයි. වැඩක් බාර ගත්තොත් ඒ ඉලක්කය සපුරා දෙනකම් වෙලාව එනතුරු ඉන්නවා. අර ආච්චි අම්මා ඉන්න කොට මට කිට්ටුවට යන්න බෑ”

”ඉතින් මේ අය අර ඇදුරට ගිහින් කිව්වෙ නැද්ද?”

”මොකද නැත්තෙ?” මේ අම්මයි දුවයි ඇදුරා මුණගැහෙන්න ගියා. තවම වැඩේ හරි නොගිය බව කීවා. ඒ මිනිහ කීවා ‘මම දන්නෙ නෑ මගේ වැඩේ මම හරියට කළා. ඊට එහා මම දන්නෙ නෑ ‘ කියලා. මේ දෙන්නා ආපසු එන්න පිටත් වුණා ම ඒ මිනිහා හිනාවුණා. ‘අනුන්ට කපපු වළේ තමන්ම වැටිලා. දැන් ගොඩ එන්න බැරුව දඟලනවා’ කියලා”

”දැන් ඉතින් තමුන් මොකද කරන්නේ?”

”මට පැවරුණු කාර්ය ඉෂ්ට කර දෙන්න වෙලාවක් එනකම් ඉන්නවා. ඒ ඉලක්කය සපුරාගන්න වුවමනා නිසා ශ්‍යාමලීව බලන්න අලුතෙන් එන මනමාලයන්ට එපා කරවනවා.

දැන් අම්මයි දුවයි හැමතැනම දුවනවා බඩේ අමාරුව සනීප කැරගන්න.”

”කොහොමද බඩේ අමාරුව හැදෙන්නෙ?”

”ඇයි මහත්තයා මමත් ජීවත් වෙන්න එපායැ. මම ශ්‍යාමලීගෙ ශරීරෙන් ලේ උරා බොන්නෙ බඩවැලේ ඉඳගෙන. එතකොට වේදනාව කැක්කුම හැදෙනවා.”

”දැන් ඉතින් මෙච්චර කල් හිටියා ඇති, තමුන්ට සමන්තට ළං වෙන්න බැහැ. ඒ නිසා මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න කියලා මම නියම කරනවා.”

”බැහැ බැහැ මම මෙයාව දාලා යන්නේ නෑ”

දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන ලෙස ශ්‍යාමලීටත් මවටත් උපදෙස් දුන්නේය. දින විසි එකෙන් පසු නැවත පැමිණියහ. එදින ද ශ්‍යාමලී ප්‍රලය වූවාය.

”මොකද කියන්නේ මේ ශරීරයෙන් ඉවත් වෙලා යනවද? දඬුවම් විඳිනවද? බෝධියක් ළඟට ගිහින් පිනට දහමට හිත යොමු කරනවාද?”

”මම මේ බන්ධනයට කැමතියි. බැඳිලා ඉන්න කැමතියි. එතකොට කාල බීල ඉන්න පුළුවන් නිසා. මම බෝධි ළඟට යන්න කැමති නෑ.

ඒත් දඬුවම් විඳින්න බැරි නිසා ශ්‍යාමලීව අතහැර යන්නම්. “ යැයි දිෂ්ටිය ඉවත්ව ගියේය.

භූතයන් ඒ තරම් විශ්වාස කළ නොහැකි නිසා මාසයක් උදේ හවස ආජීව අෂ්ටමක සීලය සමාදන් වී තෙරුවනට මල් පහන් පුදා පිරිසුදු පැන් වීදුරුවකට රතන සූත්‍රය විසි එක්වර බැගින් පිරිත් කොට උදේ හවසට පානය කරන ලෙස ද මවටත් දුවටත් උපදෙස් දුන්නේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: