Posted by: lrrp | October 1, 2012

සිරිපා හිමයෙන් පහළවන බව පැවසුණු ලෝක නායකයා හෙවත් දියසේන

රී ලංකා ද්වීපයම සදහම් ප්‍රදීපයෙන් ආලෝකමත් කළ වසර 2500 සම්බුද්ධ ජයන්ති මංගල්‍යය යෙදී තිබුණේ 1956 වසරේ වෙසක් පුන්‍පෝදාටයි. එදාට ශ්‍රී ලංකාවෙන් ලෝක නායකයකු හෙවත් දියසේන නම් කුමාරයකු පහළ වන බවට ‍පොදු ජන විශ්වාසයක් තිබුණා. මේ දියසේන කුමාරයාගේ කතාව අසන්නට ලැබෙන්නේ ත්‍රිපිටකයට අයත් නොවන සුමන සූත්‍රය නම් ‍ලේඛනයක.ඒ සුමන සූත්‍රයේ කෝට්ටේ යුගයේ දී පමණ ලියැවුණු එකක් බවයි; ඒ සම්බන්ධයෙන් සිදු කෙරුනු හැදෑරීම්වලින් පැවසෙන්නේ. ශ්‍රී පාදය පිහිටුවීම සඳහා සමනල අඩවියට වැඩම කළ බුදු රජාණන් වහන්සේට සුමන සමන් දෙවිඳුන්ට දෙසූ සූත්‍රයක් වශයෙනුයි මෙය ජනතාව හමුවට ඉදිරිපත් වී තිබෙන්නේ. සැබෑ බුද්ධ දේශනාවක් ලෙස එක්වරම පිළිගැනීම අසීරු මේ සුමන සූත්‍රය කාගේ හෝ පරිකල්පනයක් ද නැතහොත් දුරාතීතයේ සිට පැවැති පාරම්පරික ජන විශ්වාසයක් පසුකාලීනව ‍ලේඛනා රූඪ වීමක් දැයි හරිහැටි නිගමනය කිරීම අසීරුයි. ඒ නිසා හුදෙක් පුහු මිථ්‍යාවන් සේ සලකා මේවා එක්වරම ඉවත හෙළීම නොකළ යුත්තක් ලෙසයි මා නම් දකින්නේ. කෙසේ හෝ තමන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සියයක් ගිය තැන ශ්‍රී ලංකාවෙන් ලෝක නායකයකු බිහි වන බව බුදුන් වදාළ පුවතක් ඒ සූත්‍රයේ සඳහන්.

අප කුඩා කාලයේ අපේ පියතුමන් ඇතුළු වැඩිහිටියන් ගෙන් අසා දැන ගත් අන්දමට මේ දියසේන කුමාරයාගේ පහළවීම සමනළ අඩවියෙන්ම සිදුවන බවට රට පුරා කතා පැතිර ගොස් තිබුණා. නමුත් සුමන සූත්‍රයේ නම් ඒ පිළිබඳ පැහැදිලි සඳහනක් නෑ. එමෙන්ම එය සාමාන්‍ය දරු උපතක් ලෙස සිදුවන්නක් ද නැතිනම් ඉබේ පහළවීමක් ද යන්න පිළිබඳ නිශ්චයක් ද තිබි නැහැ. නමුත් සමහරකුගේ අදහස වී තිබුණේ දියසේන කුමරුවා නමින් හැඳින්වෙන මේ ලෝක නායකයා සමනළ අඩවිය ආශ්‍රිත පිටිසර ගම්මානයක උපදින බවයි. ඒ නිසා මේ කාලය වන විට සමනළ අඩවිය මායිමේ පිහිටා ඇති අපේ ගම් ප්‍රදේශ බොහෝ දෙනකුගේ විශේෂ අවධානයට ලක් වී තිබුණට සැක නැහැ.
දෙදහස් පන්සියයේ බුද්ධ ජයන්ති මංගල්‍යය අප රටේ ජන හදවත් තුළට කෙතරම් තීව්‍රව දැනුණා ද කිවහොත් සමාජයේ සෑම තරාතිරමකම ජනතාව ඒ සඳහා විවිධ අයුරින් කැපවුණා. එවකට රත්නපුර ප්‍රදේශයේ චණ්ඩින්,
ගණන්කාරයන් ලෙස ප්‍රසිද්ධ පුද්ගලයන් පවා බුදු සසුන බැබළේවා ‘යනුවෙන් තමන් ගේ පපුවල පච්චා කොටා ගත් බව ද මා අසා තිබුණා. සමහරුන් දාගැබ් සහ ජාතික සහ බෞද්ධ කොඩි වශයෙන් සැලකෙන කොඩිවල ලාංඡනය ද තම දෙවුරේ පච්ච කොටා ගැනීමෙන් දෙදහස් පන්සියයේ බුද්ධ ජයන්ති මංගල්‍යය හා සම්බන්ධ වී තිබුණා. එවැන්නවුන් පවා සම්බුද්ධ ජයන්තිය කෙරෙහි එතරම් කැපවුණා නම් බොදු උවසු උවැසියන්ගේ කැපවීම පිළිබඳව මෙහි අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ.

ඒ කෙසේ හෝ එක්දහස් නවසිය පනස් හය කියන්නේ අපේ රටේ දේශපාලනය නව මංපෙතක් වෙත යොමු වූ වසරක්. එවකට අග්‍රාමාත්‍ය පදවිය හෙබවූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන් පරදවා සිංහල බෞද්ධ නායකයකු වශයෙන් පෙනී සිටි එස්. ඩබ්ලියු. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා මෙරට මැතිවරණයකින් වාර්තා වූ විශිෂ්ටතම ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙරට අග්‍රාමාත්‍ය පදවියට පත්වීමයි ඒ සුවිශේෂ සිදුවීම. ඒ අනුව බණ්ඩාරනායක මහතාගේ දේශපාලන රැල්ල පුබුදුවා ලීම සඳහා බණ්ඩාරනායක මහතාගේ ජාතික නායකත්වය දියසේන කුමාරයාගේ පහළවීම ලෙස සමහරුන් අර්ථ කථනය කොට තිබුණා. නමුත් ඒ මැතිවරණයට පෙර ඒ සම්බන්ධයෙන් කිසිවක්ම නොකියා සිටි බණ්ඩාරනායක මැතිතුමා ඡන්දය දිනා ගැනීමෙන් පසු තමන් දියසේන කුමාරයා නොවන බවත් දියසේන කුමාරවරුන් වන්නේ තම රජය බලයට පත් කළ ජනතාවම බවත් ප්‍රසිද්ධියේ කියා සිටියා. නමුත් තමන්  සම්බන්ධයෙන් රට පුරා පැතිර ගිය මේ දියසේන කුමාරයා සම්බන්ධ කතා පුවත ප්‍රතික්‍ෂේප කිරීමට බණ්ඩාරනායක මැතිතුමන් මැතිවරණයෙන් දිනන තුරුම බලා සිටියේ මක් නිසාද යන්නත් අපට සිතා ගැනීම අසීරුවන්නේ නැහැ. එය අප රටේ දේශපාලනයේ කවදත් දැකිය හැකි තත්ත්වයක්.

කෙසේ හෝ එක්දහස් නවසිය පනස් හයේ රටපුරා පැතිර ගිය මේ දියසේන කුමාරයා පිළිබඳ අදහස ආධ්‍යාත්මික වශයෙන් කෙතරම් බල සම්පන්න වීද යත් එසේ ලොවට පහළ වන දියසේන කුමරුන් පිළිගැනීම පිණිස වන බෞද්ධ සංවිධාන කිහිපයක් ද රටේ තැනින් තැන බිහි වී තිබුණා. ගාල්ල ප්‍රදේශයේ පිහිටුවා ගැනුණු එවන් සංවිධානයක් අද දක්වාම ක්‍රියාත්මක වෙනවා. දියසේන කුමරුන්ගේ පහළ වීමක් පිළිබඳව සවන් වැකුණු සැනින් වහා ඒ කෙරෙහි යොමු වී ඒ අනාගත ලෝක නායකයාගේ අනුගාමිකයන් වීමටයි ඒවායේ සාමාජිකයන් නිරතුරු සූදානමින් සිටියේ. මේ තත්ත්වය යටතේ සිරිපා අඩවිය ආශ්‍රිත මේ ප්‍රදේශවල ගැමියන් ද දියසේන කුමරුන්ගේ පහළ වීම පිළිබඳ විශේෂ විමසුමකින් පසු වුණා. එමෙන්ම මේ කාලය තුළ පිටස්තර සමාජයේ බොහෝ දෙනකු ද සමනළ අඩවිය වෙත විශේෂ ඇලුම් බැලුම් පෑ අවස්ථා ද බොහොමයි. ගිය සතිවල අපගේ අවධානයට යොමු වූ අනගාරික නාරදතුමන් බවුන් වැඩීම පිණිස සිරිපා අඩවියට පැමිණ ඇත්තේත් ඒ අසිරිමත් සම්බුද්ධ ජයන්ති මංගල්‍යය නිමිති කර ගනිමින්. ඒ කෙසේ හෝ බුදු රජාණන් වහන්සේ සිරිපා පිහිටුවීම පිණිස සමනොළ අඩවියට වැඩම කළ මොහොතේ දෙසූ බව පැවැසෙන සුමන සූත්‍රයේ එන දියසේන කුමාරයා පිළිබඳ වෘත්තාන්තය සහ සමනොළ අඩවිය අතර ඇති සබැඳියාව එතැනින් හමාර වන්නේ නැහැ.

ශ්‍රී පලාබද්දල චන්ද්‍රසෝම බි. කලවාන අනාවරණය කරයි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: