Posted by: lrrp | October 1, 2012

සිරිපා හිමයේ විස්මිත රහස් – සිරිපා හිමයේ සැඟවුණු දිවාගුහාව සොයන්න අංජනමක්

 

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අපරිමිත භක්ත්‍යාදරයට පත් සොලොස්මස්ථාන පිළිබඳව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. නමුත් මේ සොලොස්මස්ථාන අතුරින් විශේෂිත වූ එක් පූජනීය ස්ථානයකුත් තිබෙනවා. ඒ තමයි දිවා ගුහාව; ශ්‍රීපාදස්ථානය පිහිටුවීම පිණිස බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාදස්ථානයට වැඩම කළ අවස්ථාවේ දිවා විහරණය, හෙවත් දිවා කාලය විවේක සුවයෙන් ගත කළ ස්ථානයයි දිවා ගුහාව වශයෙන් සැලකෙන්නේ.

අප හමුවේ ඇති මුලාශ්‍ර අනුව මෙම දිවාගුහාව ශ්‍රීපාද පද්මයට මඳක් හෝ සමීපව පිහිටා තිබිය යුතුයි. නමුත් එය පිහිටි ස්ථානය පිළිබඳ නිශ්චිත හෝඩුවාවක් ලැබි නැහැ. සිරිපා මළුව සමීපයේ ඇති භගවා ලෙන, කුරුවිට වලදුරේ බටතොට ලෙන සහ බලංගොඩ කූරගල පිහිටි පර්වත ස්ථානයක් මෙම දිවා ගුහාව විය හැකිබවට අනුමාන කෙරෙනවා. නමුත් ඒවා දිවා ගුහාව වශයෙන් නිශ්චිත ලෙස පිළිගැනීමට තරම් හේතු සාධක මතෛක් ඉදිරිපත් වී නැහැ. මේ අතර වර්තමානයේ බගවන්තලාව යනුවෙන් හැඳින්වෙන තේ වතු රාජධානිය ආශ්‍රිතව මතෛක් හඳුනා නොගැනුණු ගල්ලෙනක් මේ දිවා ගුහාව විය හැකි බවට තවත් පිරිසක් අනුමාන කරනවා. නමුත් ඒ පිළිබඳව ද නිවැරදි නිශ්චයක් නැහැ.

කෙසේ හෝ මේ දිවාගුහාව සම්බන්ධයෙන් සිරිපා හිමය අවට ඇති මෙම ගම්මාන වල ඇති පාරම්පරික මතය නම් මේ දිවා ගුහාව අදටත් ශ්‍රීපාද අඩවියේ මහ වනය මැද අප්‍රකටව තිබෙන බවයි. මා  පසුගිය සති වල විස්තර කළ අන්දමට එක්දහස් නවසිය පනස් හයේ ශ්‍රී බුද්ධ ජයන්ති මංගල්‍යය නිමිත්තෙන් ඇතිවූ ශාසනික ප්‍රබෝධය මත ඒ කාලයේ දීම මේ දිවා ගුහාව සොයාගත හැකිය යන ජන විශ්වාසයක් තිබුණා. නමුත් ඊට නිසි ශාසනික හෝ ඓතිහාසික පදනමක් තිබුණේ නැහැ. ඒ නිසා එය සපරගමු ගැමියන්ගේ සිත් තුළම බොඳවී ගිය සිහිනයක් බවට පත් වුණා.

නමුත් මේ දිවාගුහාව සම්බන්ධයෙන් සබරගමු ගැමියන් තුළ පාරම්පරිකව පවතින කුකුස තවමත් දුරුවී නැහැ. මේ සඳහා වන අපූරු නිදසුන් කතාවක් මට ශ්‍රී පලාබද්දල මාපලානේ ඇඳගමගේ සේනාධීර ගෙන් දැන ගන්නට ලැබුණා. අනියම් කම්කරුවකු වශයෙන් දිවි පවෛත සරිකර ගන්නා සේනාධීරගේ වයස දැනට අවුරුදු හැට දෙකක් විතර වෙනවා. ඔහු මේ අත්දැකීමට මුහුණ දී ඇත්තේ මීට අවුරුදු හතලිහකට පමණ කලින් බවයි දැන ගන්නට තිබෙන්නේ.

එස්.කේ.ඩී. රත්නරත්හාමි කියන්නේ සේනාධීරගේ මාමා කෙනෙක්. ‍ජ්‍යොතිෂ්‍ය සහ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට උපන් හපනකු ලෙස රත්තරන්් හාමි ඒ කාලයේ ප්‍රසිද්ධව හිටියා. මේ අපූරු මිනිසා සතුව මහා බලගතු අංජනමකුත් තිබුණා. නැතිවූ දේවල්, ගවයන් වැනි සතුන් වගේම පුද්ගලයන් ද ඒ අංජනමින් සොයා දීමට රත්තරන් හාමි සතුව තිබුණේ සුවිශේෂ හැකියාවක්. වරක් තමන්ගේ අංජනමකින් අපූරු අත්හදා බැලීමක් කරන්න මේ රත්තරන් හාමිට හිතුණා. ඒ තමයි අංජනම් බලයෙන් දිවා  ගුහාව ඇති ස්ථානය හොයා ගත්ත. කොහොම හරි රත්තරන් හාමි මේ අංජනම බැලීමට යොදා ගත්තේ සියලු දුසිරිත්වලින් තොර ගුණනුවණ වැඩුණු පළාතේ ඉන්න සැදැහැවත් උපාසක මහත්තයෙක්. ඒ වගේම මේ අංජනම යවන හැටි දකින්න පළාතේ ප්‍රභූන් ඇතුළු කිහිප පලක්ම එක් රැස්වුණා. සාමාන්‍යයෙන් අංජනමක් බැලීමේ  සිදුවන්නේ අංජනම ජීවම් කිරීමෙන් පසු පහන් දැල්ල සමග ඇති තටුවට හනුමන්තා පැමිණීමයි.

හනුමන්තා කියන්නේ රාම කුමරුන්ගේ ආරක්ෂක සේනාවේ ප්‍රධානී සුග්‍රීව කියන වානර සෙන්පතියාගේ දූතයෙක්. ලෝක ප්‍රකට භාරතීය කාව්‍යයක් වන රාමායනයේ  ඒ පුවත සඳහන්ව තිබෙනවා. අංජනම් බැලීමට අධිගෘහිත අංජනම් දේවියගේ පිහිටෙන් හනුමන්තා ලවා තමන්ට අවශ්‍ය ඕනෑම සැඟවුණු කරුණක් දැනගත හැකි බවයි පාරම්පරික ගැමි විශ්වාසය.

කෙසේ හෝ අංජනම් දේවිය ගේ පිහිටෙන් අංජනමට ආ හනුමන්තා කෙලින්ම සිරිපා හිමයට පිවිසිලා ශ්‍රී පාද මාර්ගය ඔස්සේ ඉහළට යන හැටි අර උපාසක මහත්තයට දර්ශනය  වෙනවා. උපාසක මහත්තයත් තමන් දකින දේ පිරිසට කියනවා. අංජනම බලවන රත්තරන් හාමිත් තමන්ට උවමනා විදිහට අර උපාසක මහත්තයා ලවා හනුමන්තා මෙහෙයවනවා. කොහොම හරි ශ්‍රී පලාබද්දල ශ්‍රීපාද මාර්ගය ඔස්සේ බොහොම වේගවත් ගමනක් ගිය හනුමන්තා ශ්‍රීපාද කන්දේ උඩ කොටසින් ගලාහැලෙන සීත ගඟුල පසුකොට මහ වනය මැදින් බැන සමනොළ පැත්තට හැරෙනවා. නමුත්, ඒත් එක්කම අර උපාසක මහත්තයා දුර්මුඛ වෙනවා. මේක රත්තරන් හාමි  සේනාධීර ඇතුලු මේ අංජනම යවන හැටි බලන්න ඇවිත් සිටි හැමෝටම බරපතල ගැටළුවක්.

“ඇයි මොකද වුණේ ?” රත්තරන් හාමි අර උපාසක මහත්තයාගෙන් ඇහුවා.

‘කළු වලාකුලක් වගේ දෙයක් ඇවිත් එක පාරටම මුකුත්ම නොපෙනී ගියා’. අර උපාසක මහත්තයා හීන් හඩින් කෙඳිරුවා. මේක පිරිසේ හැමෝටම වගේම රත්තරන් හාමිටත් ගැටළුවක්  දැන් ඉතින් මොකද කරන්නේ ? රත්තරන් හාමි පසුබට වුණේ නැහැ. දිගින් දිගටම; නොනවත්වාම අර අංජනම ජීවම් කරන්න පටන් ගත්තා. සෑහෙන වෙලාවක් මෙහෙම ජීවම් කරන කොට අර උපාසක මහත්තයාට ඇස් දෙක අදහාගන්න බැරි ගාණයි. මූණත් සතුටින් පිරිලා ඉතිරිලා ගිහින්.
“මොනවද පෙන්නුම් කරන්නේ ?” එතන හිටිය හැමෝම බලා‍පොරොත්තු වුණු විදිහට රත්තරන් හාමි ඒ උපාසක මහත්තයාගෙන් ඇහුවා “විශාල එළියක් පේනවා ඒක රත්තරන් පාට එළියක්” උපාසක මහත්තයා පුදුමාකාර සතුටකින් තොල් මතුරන්න පටන් ගත්තා.

“මොකක්ද ඒ එළිය ?” රත්තරන් හාමි උපාසක මහත්තයාගෙන් ඇහුවා.

“ඒක එන්නේ ගුහාවක් ඇතුලෙන්” උපාසක මහත්තයා හීන් හඩින් කීවා.

“දැන් එහෙනම් ඔන්න; හනුමන්තා ඒ ගුහාවට යනවා” ඊළඟට රත්තරන් හාමි කිව්වා විතරයි අර උපාසක මහත්තයා අත් දෙකම උස්සලා මහා සද්දෙන් සාදුකාර දෙන්න පටන් ගත්තා. “ඇයි මොකද?” ඒකෙන් තරමක් විමතියට පත්වුණු රත්තරන් හාමි ඇහුවා.

“ගුහාව ඇතු‍ලේ බුදු හාමුදුරුවෝ වැඩ ඉන්නවා; සමන් දෙවියොත් වැඩ ඉන්නවා” අර උපාසක මහත්තයා ඇහෙන නෑහෙන ගාණට කෙඳිරි ගාන්න පටන් ගත්තා. උන්නැහේ මෙහෙම කියනකොට එතැන හිටපු හැමෝගෙම හිත් වලට දැනුණු හැඟීම මොන වගේ එක්කද කියලා අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැනේ. කොහෙම හරි ඒ දර්ශනයෙන් පස්සේ ආයිමත් මොකුත්ම නොපෙනී ගිය බවකුයි අර උපාසක මහත්තයා කියන්න පටන් ගත්තේ. නමුත් බුදු හාමුදුරුවොයි සමන් දෙවියොයි දර්ශනය වුණත් අංජනමින් බලා‍පොරොත්තු වුණු දේ ඉෂ්ඨ නොවුණු නිසා රත්තරන් හාමි මොකද කළේ ? ආයිමත් අර අංජනම ජීවම් කරන්න පටන් ගත්තා. එතකොට මෙන්න අර උපාසක මහත්තයගේ ඇස්දෙක ආයිමත් කාන්තිමත් වෙන්න පටන් ගත්තා. සේනාධීර ඇතුලු එතන හිටිය හැමෝටම වැටහුණා; නැවතත් මොකක් හරි දෙයක් දර්ශනය වන බව: “මොකක්ද පේන්නේ ?” සේනාධීර ඇතුලු හැමෝම බලා‍පොරොත්තු වුණු විදිහට රත්තරන් හාමි අර උපාසක මහත්තයගෙ ඇහුවා.

“සමන් දෙවි හාමුදුරුවෝ විතරක් වැඩ ඉන්නවා” උපාසක මහත්තයා කීවේ අත් දෙකම එකට එකතු කරලා බොහොම භක්තියෙන්.

“එහෙනම් සමන් දෙවි හාමුදුරුවන් ගෙන් අහමු නේද ? දිවා ගුහාව තියන තැන” රත්තරන් හාමිත් බොහොම ගරුසරු ඇතුව උපාසක මහත්තයට කිව්වා.

“සමන් දෙවි හාමුදුරුවනේ; අපිට ඕනේ දිවා ගුහාව තියන තැන දැන ගන්න” රත්තරන් හාමි එහෙම කිව්වට පස්සේ උපාසක මහත්තයත් ඒ කාරණේ මිමිනුවා. නිමේෂයයි ගත වුණේ වැහි වලාවක් පාත් වුණා වගේ උන්නැහේ ගේ මූණට ලොකු අඳුරක් වැටුණා. කොහෙම හරි මේ අංජනම නිමා වුණාට පස්සේ රත්තරන් හාමි ඇතුළු හැමෝම අර උපාසක මහත්තයා වටා රොක් වුණා.

“සමන් දෙවි හාමුදුරුවෝ මොකද කිව්වේ? රත්තරන් හාමි උපාසක මහත්තයගෙන් ඇහුවේ එතන හිටපු හැමෝගෙම කුතුහලයන් විමතියත් පුබුදුවාලමින්.

“සමන් දෙවි හාමුදුරුවෝ කියනවා හෙට අනිද්දා මේ රටට උදාවෙන කළ දවසේ හැටියට මිනිස්සුන්ට ඒ වගේ දෙයක් පෙන්නනවාට වඩා නොපෙන්නා ඉන්න එක තමයි හොඳ කියලා” ඒ උපාසක මහත්තයා කිව්වේ දිගු සුසුමක් හෙළමින්. නවීන විද්‍යාවට අනුව අංජනම් බැලීම හඳුන්වන්නේ ඒ බලන පුද්ගලයගේ යටි සිත කියැවීමක් විදිහට. නමුත් සාම්ප්‍රදායික විශ්වාසවල විදිහට මේ වගේ දේවල්වලින් විශ්වයේ සැඟවී ඇති ගුප්ත රහස් අනාවරණය කර ගන්න පුලුවන්.
ඒ කොහොම වුණත් අද මේ දක්වාම දිවාගුහාව කියන සිද්ධස්ථානය බෞද්ධයන් වෙත නිරාවරණය නොවීමට හේතුව සම්බන්ධයෙන් අංජනම තුළින් සමන් දෙවියන් පළ කළ අදහස විමසා බලද්දී මට මෙහෙම දෙයක් හිතෙනවා. ඒ කියන්නේ කවුරුන් කොහොම කිව්වත් කවදටත් මේ සිරිපා අඩවියට සමන් දෙවියන්ගේ ඇල්ම – බැල්ම තියනවා.  මොකද අංජනමින් පෙනී සිටිමින් හෝ උන්වහන්සේ කී දේ සියයට දාහක් ඇත්ත.

මාපලානේ ඇඳගමගේ සේනාධීර ශ්‍රී පලාබද්දල චන්ද්‍රසෝම බි. කලවාන අනාවරණය කරයි

 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: