Posted by: lrrp | October 15, 2012

දවසට එක් වේලක් වළඳා රුක්ෂ ප‍්‍රතිපත්ති රැකි දඩගමුවේ නායක හාමුදුරුවෝ

ගම්පහ දිස්ත‍්‍රික්කයේ අත්තනගල්ල රජ මහා විහාරය අසලින් වැටී ඇති ගලපිටමඩ පාරේ යන විට අලවල හන්දිය හමුවෙයි. ගම්බද කුඩා කඩමණ්ඩියක් අසලින් බැස යන පුංචි දොළ පහරකින් එගොඩ වී මහකන්ද ආරණ්‍ය සේනාසනයට මාර්ගය වැටී තිබේ. මග බොහෝ දුෂ්කරය. වනස්පති අතරින් කඳු මුදුනට පාර වැටී තිබේ. මීටර් හත් අටසීයක් එපිටට යන විට හමුවන්නේ  රූස්ස ගස්වලින් පිරීගිය මහ වනයයි.ගස්වලින් ඉහළ අහස් කුස පෙනෙන්නේ යාන්තමට තැන් තැන්වලිනි.

හිරුඑළිය ඇතැම් තැන්වලින් මහ පොළොවට යාන්තමට වැටේ. එනිසාම වනය පුරා කිසියම් අඩ අන්ධකාරයක් රැඳී තිබේ. වනය වෙතින් ඇසෙන කන බිහිරි කරවන තරමේ රැහැයියන්ගේ හඬත්, වනයට නුහුරු අපට හඳුනාගත නොහැකි බිහිසුණු සතුන්ගේ හඬත් වනය පීරා විත් කන වැකේ.  මහකන්ද සෙනසුන ඇති වන අරණේ විවිධත්වයක් දක්නට ලැබේ. එක ප‍්‍රදේශයක් පයිනස් ගස්වලින් වැසී ගිය රටේ මධ්‍යම කඳුකරයේ ශීත ප‍්‍රදේශයට සමවෙයි.

තවත් පැත්තක් පහතරට සිංහරාජ වන අරණ මෙන් සදාහරිත ස්වරූපයක් පෙන්නුම් කරයි. වාහනයකින් යන්නේ නම් මහකන්ද ආරණ්‍ය සේනාසනයේ එක්තරා සීමාන්තයකට පමණක් යා හැකිය. එතැන් සිට කඳු මත්තට මහ ගස් කළු ගල් ශිඛර වලින් සම්පූර්ණයෙන් වැසී ගිය ප‍්‍රදේශය ඔස්සේ පියගැට පෙළක් නැග යා යුතුවෙයි.

අලවල හන්දියේ සිට කිලෝමීටර් දෙකකට වැඩි මේ ගමන තනිව පා ගමනින් එන්නකුට බොහෝ වෙහෙස කර වන්නකි. ඊටත් වඩා දවාලකටත් මේ වන මැදින් යාම පාළුව, තනිකම බියකරු බව දනවන්නකි. මහකන්ද ආරණ්‍ය සේනාසනය පිහිටි ගණ කැලයේ මේ වත්මන් තත්ත්වයයි. නමුත් මීට දශක අටකට පමණ එහා මේ ප‍්‍රදේශය කෙබඳු වන්නට ඇත්දැයි ඔබට සිතා ගන්නටත් අපහසු වනු ඇත. ගෙයක් දොරක් නැති, පාරක් නැති, පාළු වනයක් හැටියට මේ මහා රූස්ස කැලය පවතින්නට ඇත. එදා මහකන්දේ විසූ දඩගමුවේ නාහිමියන් ගැන අපට ආරංචිය ලැබුණේ සල්ගල ආරණ්‍ය සේනාසනයේ කෘත්‍යාධිකාරී හැඳල දමිත නාහිමියන්ගෙනි.

ඒ ආරංචියට අනුව බොහෝ රූක්ෂ ප‍්‍රතිපත්ති රැකි, සිල්වත් ගුණවත් හිමිනමක් හැටියට දඩගමුවේ හිමියන් ප‍්‍රකටය. උන්වහන්සේ ගැන අපි ආරණ්‍යයට පිවිසීමට පෙර අලවල ප‍්‍රදේශයේ ගම්වාසීන්ගෙන් විමසීමු.

දඩගමුවේ නායක හාමුදුරුවෝ කියල ස්වාමීන් වහන්සේ නමක් දැන් අවුරුදු හතළිහකට විතර කලින් මහ කන්දෙ වැඩ ඉඳල තියෙනවා. උන්වහන්සේ සසර කෙළවර කරගන්නටම තමයි මේ මහ කැලේ භාවනාවට තනිවම වඩින්නට ඇත්තේ, ගම්වාසියෙක් අපට කීය.

දැනට මහකන්ද ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ සිටින්නේ අතපත්තුකන්දේ ඥානවිමල නාහිමියන්ය. අපි උන්වහන්සේගෙන් දඩගමුවේ හිමියන් පිළිබඳ විමසීමු.

කතාබහට අනුව දඩගමුවේ හිමියන් බුදු බවම ප‍්‍රාර්ථනා කළ උතුම් මහ තෙර නමකි. සියලූ ඇලීම් බැඳීම්වලින් මිදී බුද්ධත්වය සඳහාම පාරමී දහම් පුරමින් ප‍්‍රතිපත්ති පුරා ඇති බව කතාවට අනුව පැහැදිලි වේ.

මාර්ග ඵල හෝ රහත් ඵලයට පත්වීම හැර බුදුබව ප‍්‍රාර්ථනා කළේ ඇයිදැයි අපි අතපත්තු කන්දේ ඥානවිමල නාහිමිගෙන් විමසීමු.

”බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේත් උන්වහන්සේගේ ප‍්‍රාතිහාර්යයන්, පැවැත්ම දුටු අය බුදු බව ප‍්‍රාර්ථනා කළ බව සඳහන් වෙනවා. ඒ ඒ බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේලාගේ ශාසනවල අගසව් ආදී තනතුරු පිරිනමද්දී ඒ දෙස බලා සිටි අය කවදා හෝ ශාසනයක තමන්ටද අග‍්‍ර ශ‍්‍රාවක තනතුරු ලැබේවායි සිතා ඒ ප‍්‍රාර්ථනාවෙන් පින් දහම් කළා. සැරියුත් මුගලන් හිමිවරුන්ටත් පෙර ආත්ම භාවවල දී කළ එම ප‍්‍රාර්ථනා අග‍්‍රශ‍්‍රාවක පදවි ලැබීමට හේතුවුණා. මේ වගේ බුදුරජාණන් වහන්සේ නමක් වීමට ප‍්‍රාර්ථනා කළ අයත් මේ අතර සිටියා. දඩගමුවේ හාමුදුරුවෝ අප දන්නා විදිහට බුදු බවයි ප‍්‍රාර්ථනා කළේ.”

දඩගමුවේ ඤාණරතන නාහිමියන් පැවිදි වී ඇත්තේ මුල්ලේරියාව ගල්වාන විහාරස්ථානයේය. පැවිදි වී උන්වහන්සේ එදා විද්‍යෝදය පිරිවෙනෙන් බණ දහම් ප‍්‍රගුණ කර ඇත. නමුත් කාලයක් ගතවන විට සසර පුරුද්දට මෙන් උන්වහන්සේ ආරණ්‍ය ජීවිතය ගත කරන්නට උනන්දු වී ඇති බව පෙනේ. 29 වැනි වියට එළැඹෙද්දී දඩගමුවේ නායක හාමුදුරුවෝ මහකන්දට පා ගමනින්ම වැඩම කර ඇත. ඒ 1929 වසරයි. එදා වලසුන්ගෙන් පවා ගහන වූ දැඩි පාළුවෙන් පිරි මහ කන්දේ ගල් ලෙනක් වෙත වැඩම කර එහි වැඩ සිටිමින් ප‍්‍රාර්ථනා කටයුතු බෝධිය සාක්ෂාත් කරගන්නට පසුබිම් සකස් කර ගත් බව ජනප‍්‍රවාද ගත තොරතුරුවල සඳහන් වෙයි.

ගල්ලෙන ලෑලි වලින් ආවරණය කරගෙන උන්වහන්සේ දවසේ වැඩි කාලයක් භාවනාවෙන්ම ගත කළහ. ”මහකන්දේ රුක්ෂ ප‍්‍රතිපත්ති පුරණ හිමිනමක් වැඩ සිටිනවාය”  යන ආරංචිය අවට ගම්වලද පැතිර ගියේය.දානය අවශ්‍ය වූ විට දවසේ නියමිත වේලාවක වන අරනේ එක්තරා සීමාවකට උන්වහන්සේ පිණ්ඩපාතය පිණිස වැඩම කරති. උදේ 9.00 පමණ වන විට දඩගමුවේ නාහිමියන් පිණ්ඩපාතයට වැඩම කරන බව දන්නා අවට ගම්වැසියෝ දානය පිළිගැන්වීමට ඒ මග බලා සිටිති. දඩගමුවේ නාහිමියන් දානය වළඳා ඇත්තේ දවසේ එක් වරක් පමණි. එය බොහෝ දුෂ්කර ප‍්‍රතිපත්තියකි. උන්වහන්සේ පිණ්ඩපාතයේ වැඩම කරන වේලාවට දානය සූදානම් නැතිනම් ආපසු මහ වනයට පුරුදු ශාන්ත ගමනින් වැඩම කිරීම උන්වහන්සේගේ ප‍්‍රතිපදාව විය. යළිත් දානය පිණිස දඩගමුවේ නාහිමියන් වැඩම කරන්නේ පසුවදාය.

මහකන්දේ වැඩ සිටි කිිසිම දිනෙක දඩගමුවේ හිමියන් සිවුරු පිරිකර පිළිගෙන නැත. උන්වහන්සේ සිවුරු සාදා ගන්නා ලද්දේ තැන් තැන්වල දමා ගිය සුදු රෙදි පඬු ගසා ගැනීමෙනි. සිවුරු පිරිකර භාර නොගන්නා නිසා ගම්මු සුදු රෙදි කැලයේ ගස්වල එල්ලා තබා, බිම දමා ගියහ. ඒ පාංශුකූල රෙදි බව ඇඟවීමේ අදහසිනි. දින ගණනක් කැලයේ තැන් තැන්වල දමා ගොස් ඇති රෙදි පාංශු කූල රෙදි හෝ අයිතිකරුවකු නැති රෙදි බව දැන දඩගමුවේ හාමුදුරුවෝ එම රෙදි රැුගෙන ගොස් පඬු ගසා සිවුරු වශයෙන් පරිහරණය කර ඇත. ඝෝර වන මෘගයන්ගෙන්ද, මහ ගස්වැලින්ද පිරි වනය පෘථග්ජන හුදු බලාපොරොත්තු සියල්ල හැරදා, එක් වේලක් වළඳා, ශරීරයට රුක්ෂ ප‍්‍රත්පත්ති පුරුදු කර පෘථග්ජන ලෝකයෙන් ඈතට වී භාවනාව ඔස්සේ දඩගමුවේ නාහිමියන් මීට දශක හත අටකට පෙර කළ ඒ ව්‍යායාමය සසරේ එක්තරා නිමාවක් පිණිසම බව නම් හොඳින්ම පැහැදිලිය.

එක්දහස් නමසිය හැත්තෑවේ මුල් භාගයේදී දඩගමුවේ ඤාණරතන නාහිමියෝ අසනීප වූහ. ඉන්පසු උන්වහන්සේ වතුරුවිල වනවාසී මූලස්ථානයට වැඩම කරවා ගෙන අවශ්‍ය උපස්ථාන කටයුතු කළහ. කෙතරම් අසනීපව, අසාධ්‍යව සිටියද උන්වහන්සේ හොඳ සිහිකල්පනාවෙන්, යුතුවූහ. ඇස් පෙනීමත්, කන් ඇසීමත් හොඳ මට්ටමක විය. කිසිම විටෙක උන්වහන්සේ අවේලාවේ කිසිවක් වැළඳුවේ නැත. අසනීප තත්ත්වයේ සිටියද දවසේ දහවල දානයෙන් පමණක් සෑහී දුෂ්කර ප‍්‍රතිපත්ති පිරූහ. සියලූ සැප හැරදා ජීවිතයේ නියමාර්ථය සොයන්නට දඩගමුවේ නාහිමියෝ වෙහෙස වූහ. එය බොහෝ දුෂ්කර ප‍්‍රතිපදාවක් විය. එනිසාම ප‍්‍රාර්ථනීය බෝධිය බෝසත්වරු ප‍්‍රගුණ කරන්නේ යම් සේද ජීවිතය පරදුවෙන් භාවනාදී ප‍්‍රතිපදාවෙන් කල් ගෙවූ උන්වහන්සේ 1978 ජූනි මාසයේදී අපවත් වී වදාළහ.

දඩගමුවේ හිමි.

ඥානවිමල හිමි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: