Posted by: lrrp | October 27, 2012

සසුනේ පැවැත්ම භික්‍ෂුව සුරක්‍ෂිත කිරීමයි

භික්‍ෂුන් වහන්සේ යනු බෞද්ධ සමාජය විසින් ඇති දැඩි කළද ඉහළම සමාජ වටිනාකමක්‌ සහිත ජීවමාන පූජනීය වස්‌තුවකි. බුද්ධකාලයේ පටන් අද වනතුරු සංඝ සමාජයේ පරිවර්තනීය ප්‍රගමනය විමසීමෙන් වුවද ඒ බව සනාත වේ. අන්‍යයන්ගේ උදව් උපකාර නැතුව මහණකම හා ජීවිතය පවත්වාගෙන යා හැකි වෙතත් ඒ ඉතා දුෂ්කර ගමනකි. වර්තමාන මිනිසා විසින් මෙලොවට බිහිකරන දරුවා පැවිදි වුවද පෙන්නුම් කරනු ඇත්තේ එම මව්පිය පාරම්පරික ජානවල ස්‌වභාවයන්ගෙන් සම්මිශ්‍රණය වූ ක්‍රියාකලාපයකි. රහත් බව අරමුණු කරගත් ගමනක්‌ යන්නට ඒ නිසාද වෙනත් සමාජ හේතු කාරකයන් නිසාද කැමැත්තක්‌ නොදක්‌වනු ඇත. එහෙත් උදාරවූ බෞද්ධ සමාජ සංස්‌කෘතියේ බබළන සලකුණ වනුයේද භික්‍ෂුන් වහන්සේයි.

පෘථග්ජන භික්‍ෂු සමාජයක පෞද්ගලික වූත් පොදුවූත් අවශ්‍යතාවන් හඳුනා ගැනීම පළමුවම සිදුවිය යුත්තකි. ජන සමාජයෙන් එල්ලවන දරුණු ප්‍රහාර හමුවේ නොසැලී සිටින්නට තරම් උන්වහන්සේ ධෛර්ය සම්පන්නය. පරණ ශාලා, ටකරන් උළු ශාලා බවටත් කොන්ක්‍රීට්‌ ශාලා බවටත් පත්ව තිබෙන යුගයේ විද්යුත් මාධ්‍ය පරිහරණය සීතල හා උණුසුම් කාමර පරිහරණය හා සමගාමී මානව අවශ්‍යතාවන් ඉටුකළ යුතුවන අවදියේ භාවනා යෝගී හෝ උග්‍ර සීලෝ පේත භික්‍ෂුවරයකුගේ දර්ශනය බලාපොරොත්තු වීම නිෂ්ඵල දෙයක්‌ වනු ඇත.

හතළිස්‌ දහසක්‌ පමණ වන මෙරට භික්‍ෂුන් ගෙන් වැඩිහරිය නාගරික හා ග්‍රාමීය බෞද්ධ සැදැහැවතුන්ගෙන් පෝෂණය වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් සියලු අවශ්‍යතා සපුරාදීමට ඔවුන්ට නොහැකිය. ප්‍රධානතම අවශ්‍යතාව වන ආහාරපාන ටික හෝ ලබාදීම මහා පින්කමකි.

ගොදුරු ගමකින් යෑපෙන විහාරස්‌ථ භික්‍ෂු ප්‍රමාණය එතරම් විශාලද නැත. දෙතුන් නමකට වඩා බොහෝ විහාරස්‌ථානවල නැත්තෝය. මේ සියලුදෙනා වහන්දැටම ගුරු වෘත්තියෙහි යෙදිය නොහැක. එහෙත් අනාගතයේ ඒ ගැන සලකා බලන්නට බෞද්ධ රාජ්‍යයන්ට සිදුවනු ඇත. සියලු දෙනා වහන්සේටම ප්‍රසිද්ධ ධර්ම කථිකයන් දක්‍ෂ බෝධි පූජා පවත්වන්නන් දක්‍ෂ කවිබණ දේශකයන් විය නොහැක. සෑම දෙනා වහන්සේටම ප්‍රමාණවත් යෑපීම් මාර්ග නැත. එසේ යෑපීම් මාර්ග ඇත්නම් සසුන හැරයන්නේද නැත යනු මගේ වැටහීමයි.

මෙබඳු තත්ත්වයන් තුළ යම් යම් විද්‍යා ශාස්‌ත්‍ර කෙරෙහි උන්වහන්සේලා ඇදී යති. එයද සමාජ මෙහෙවරක්‌ වශයෙන් සමාජය විසින්ම සලකනු ලැබේ. සියලු දෙනා රහතුන්සේ සිටිය යුතුයෑයි සිතන කියන විනයවර්ධනකාරයන්ගේ කුහක මතවලට මේ රටේ වැඩි ආයුෂ නැත. බෞද්ධයා බලාපොරොත්තු වන්නේ භික්‍ෂුවගෙන් සමාජ මෙහෙවරකි. ශාසනික මෙහෙවර උන්වහන්සේ ගෙන් නිතැතින්ම සිදු වේ. භික්‍ෂු සමාජය ලක්‌ පොළවෙන් තුරන් කරන්නට කුමන්ත්‍රණකාරීන්ට ඉඩ ලැබෙන්නේ නැත. “හිංගලයාම කවා පොවා ඇති දැඩිකරන වඳින පුදන ගිනි විහිදෙන රෙදි පොරවාගත් පිරිසක්‌ තමා ලංකාවේ පාලනය මෙහෙයවන්නේ” යනුවෙන් මෙරට පාලනය පැහැරගත් ඇතැම් විදේශිකයන් සැක බිය මුසුව ප්‍රකාශ කොට තිබිණි.

ත්‍රි පුණ්‍ය ක්‍රියාවන්ට මහජනයා නැඹුරු කිරීම හා තමන්ද විවේක ඇති සැටියෙන් එහි යෙදීම පමණක්‌ නොව භෞතික වශයෙන් සමාජයටත් භික්‍ෂු සමාජයටත් වැඩදායක වන යම් යම් ධාර්මික ව්‍යාපාර කර්මාන්ත ආදියෙහි යෙදීම ද උන්වහන්සේ සතු කාර්යභාරයටම ගැනෙයි. විශාල මුදල් උපයන මාර්ග නොවුණත් යෑපීම් සඳහා ඒවාද ප්‍රමාණවත් වේ.

දිවයිනේ බොහෝ පෙදෙස්‌වල විහාර දේවාල සතු ඉඩකඩම් මේ වන විට ඉතා සොච්චමක්‌ බවට පත්ව තිබේ. බෞද්ධ අබෞද්ධ ජනයා විසින්ම ඒවා අත්පත්කර ගෙන ඇත. සාංඝික දේපළ කොල්ලය යනුවෙන් මෙය හැඳින්වීමෙහි වරදක්‌ නැත, ඇතැම් විහාරස්‌ථානවල ඇතැම් ගම් වැසියන් තම බලහත්කාරය යොදවා දේපළ පාලනය කිරීමේ යෙදෙන පුවත්ද අසන්නට ලැබිණි. භික්‍ෂුන්ට බොරු චෝදනා එල්ලකරමින් උන්වහන්සේලා අපහසුතාවට පත්කරන අවස්‌ථාද ඇත. වැරදි කරන භික්‍ෂුන්ට දෙන දඬුවම් මොනවාද? දුටුතැන පිළිනොගැනීම, අසුන් නොපැනවීම, උන් අසුන් මතින් නොනැගිට, ගරු නොකිරීම යනාදී සංවරශීලි දඬුවම් මගින් තම විරෝධය හෝ අප්‍රසාදය පළ කළ හැකිය. වඩාත් දුරදිග යතොත් ඒ පිළිබඳ අදාළ නායක යතිවරයන් හා සාකච්ඡා කොට විනය පරීක්‍ෂණ සංඝ සභාවකින් සුදුසු දඬුවමක්‌ පැනවිය හැක. අධිකරණයෙහි හෝ පොලිසියෙහි උපහාසයට අපහාසයට චීවරධාරියකු වුවද පත්විය යුතු නැත. මෙය දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන්විය යුත්තකි.

අතීතයේ පටන් මේවනතුරු ද රාජ උදහසට ලක්‌ව භික්‍ෂුන් විශාල වශයෙන් ඝාතනයට ලක්‌ව ඇත. වධකාගාරවල රඳවා අමානුෂික වධ බන්ධනවලට ලක්‌කොට ඇත. සිරගතකොට හිරිහැර පමුණුවා ඇත. විදේශ ආක්‍රමණිකයන් විශේෂයෙන් සුදු අධිරාජ්‍යවාදී පාලකයන් අතින් භික්‍ෂුව මැරුම්කා ඇත. ඝෝර සතුරන් අතින් භික්‍ෂුව මරණයට පත්ව ඇත්තාහ. වෙනත් පෞද්ගලික කැරළි කෝළහල වෙතින් ඝාතනයවූ භික්‍ෂුන් ගැන සඳහන් වේ.

ශාසනය ශුද්ධ කරන්නට යෑයි භික්‍ෂුන්ගෙන් පළිගැනීමට මෙන් එළව එළවා පහරදීමට නිර්ලඡ්ජිත වූ පාපතරයෝද සිටිති. මිසදිටුවන් ගෙන්ද එල්ලවන්නේ අතුල් පහරවල්ය.

භික්‍ෂු පරපුරක්‌ තැනීම යනු ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවේ. භික්‍ෂුන් සඳහා වාසස්‌ථාන විහාරාරාම ඉදිකිරීම යෑපීම් මාර්ග සකසා දීම අතීතයේ සිදුවුණේ රාජ්‍ය අනුග්‍රහයෙනි. අද ඒ ගැන හරියට සොයාබලා ඉටුකරන බුද්ධ ශාසන බලධාරීහු සිටිත්ද? මේ ගැන කොතෙක්‌ කීවත් ඇඟට පතට නොගන්නා බවක්‌ පෙනී යයි. භික්‍ෂුවගේ යෑපීම් මාර්ග මතුකර දෙනවාට වඩා ඒවා අවහිර කරන බෞද්ධයෝද සිටිති.

බෞද්ධ විරෝධී මත හා රැලි මෙරට ආත්මලාභී ඇතැමුන් ලවා රහසිගතවත් ප්‍රසිද්ධියේත් ක්‍රියාවට නැංවෙන බව වටහාගත යුත්තකි. ඒවාට අවි සපයන්නට අපේම බෞද්ධයෝ සැදී පැහැදී සිටිති.

සාමාන්‍ය සිංහල බෞද්ධ ජනයාට සසුන පෝෂණය කරන්නට පවා බැරි තත්ත්වයක්‌ අද උද්ගතව ඇත. එම නිසා මෙපමණකින් හෝ ශාසනය පවත්වාගෙන යැමට බොහෝ භික්‍ෂුවරයෝ ගන්නා තැත සුළුපටු නොවේ.

බෝධි පූජා, වෙහෙර පූජා අතරට දේව පූජා, ග්‍රහ පූජා ආදියද වැටුණත් එයින් සසුනට හානියක්‌ වන්නේ නැත. ඒවාද බෞද්ධ ජන සම්මතයෙහිම කොටස්‌ බවට පත්ව තිබේ. භික්‍ෂුවගේ හා පන්සලේ පැවැත්මටද ඒවා නොකර බැරිය.

ඇතැම් ගිහි භවතුන්ගේ සුවච කීකරු අනුශාසකයන් බවට භික්‍ෂුන් පත්වේ නම් එය ශාසනයේa පරිහානියට හේතුවකි. දැන් සිදුවෙමින් පවතින්නේ එයදැයි සැක පහළ වේ.

භික්‍ෂුව බෞද්ධ සමාජ සංස්‌කෘතියේ පෙර ගමන් කරුවායි. ප්‍රතිපත්ති ශාසනය පමණක්‌ රැක ගැනීමට හැකියාවක්‌ නැත. සම්ප්‍රදාය ආමිසයට සම්බන්ධව පවතී. සම්ප්‍රදාය බෞද්ධ ජන සමාජයේ ඉහළින් පිළිගැනේ.

අලුත පැවිදිවන භික්‍ෂුවට අධ්‍යාපනය ශාසනික සම්ප්‍රදායනට අයත් බොහෝ දේ ඉගැන්විය යුතුය. පිරිවෙන් මගින් ඒවා සිදු කෙරේ.

අද වන විට සසුනෙහි කුඩා හා තරුණ භික්‍ෂුවරයන් වැඩි වශයෙන් සිටිති. උන්වහන්සේලාගේ ඕනෑ එපාකම් පිරිමසාලීමට සිදුව ඇත්තේ විහාරස්‌ථාන භාරකාර යතිවරයන්ටය. නැතහොත් උන්වහන්සේලාටම තම කාර්යයන් කරගන්නට සිදු වේ. රජයෙන් හෝ වෙනත් ආයතනවලින් කිසිදු සැලකිල්ලක්‌ නොදැක්‌වේ. එක්‌තරා කාලයක දැනට වසර කීපයකට ඉහත පිරිවෙන්වලට බෙදා දෙන්නැයි පරිත්‍යාගශීලී පැවිදි උතුමන් කීප දෙනකු විසින් තායිලන්තයේ සිට එවූ විශාල සිවුරු තොගයක්‌ හොර පාරේ සිවුරුකඩවලට විකුණා තිබුණේ එවකට රජයේ දේශපාලනඥයන් පිරිසක්‌ අතිනි. මීරිගමින් අදත් ඒ ගැන සාක්‍ෂි ඉදිරිපත් කළ හැකිය. දැනුත් රහසිගතව ඒ දේම සිදුවෙනවා ඇත.

වයසට යැමෙන් ගිලන් බවට පත්වීමෙන් දුඃත බවට පත්වන භික්‍ෂුවරයන්ට පිහිටක්‌ ඇත්තේම නැත. වැඩිහිටි නිවාසයක්‌වත් බාරගන්නේ නැත. විහාරාධිපතිකම් නොදරන එවන් භික්‍ෂුන්ට යන කල දශාව ගැන කවුරුවත් හිතන්නේ නැත. විහාරාධිපතිවරයෙක්‌ දෙස පමණක්‌ අවධානය යොමුවන සිරිත එතරම් සුබදායක නොවේ. එක දිස්‌ත්‍රික්‌කයකට එක භික්‍ෂු ගිලානෝපස්‌ථානාගාරය බැගින් ස්‌ථාපිත කරන්නට රජයට බැරිකමක්‌ නැත. කරුණාකර එම යෝජනාව ක්‍රියාත්මක කරන්න.

මුණුපොළ සුමනසිරි හිමි
වේයන්ගොඩ, මගලේගොඩ පුරාණ විහාරවාසී


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: