Posted by: lrrp | October 28, 2012

බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ “බුදුසරණ” සොයති

ලෝක ජනගහනයෙන් 33% ක්‌ ක්‍රිස්‌තියානි ආගම අදහන අතර 21% ක්‌ ඉස්‌ලාම් ආගම අදහති. ලොව පුරා සිටින බෞද්ධයන්ගේ ප්‍රමාණය මිලියන 376 ක්‌ බව විකිපීඩියා වෙබ් අඩවිය කියයි. කෙසේ නමුත් ලෝක ජනගහනයෙන් බිලියනයක්‌ පවසන්නේ තමන් කිසිම ආගමක්‌ අදහන්නේ නැති බවයි. තමන් කිසිම ආගමක්‌ අදහන්නේ නැති බව පවසන වැඩිම ප්‍රතිශතය සිටින්නේ ජපානයේය.

බිලියනයක්‌ එනම් කෝටි සියයක්‌ ජනතාව අදේවවාදීන් වීම විශේෂ තත්ත්වයකි. ඔවුනට ආගම එපාවීද එසේ නැත්නම් ඔවුන්ට ආගමක්‌ අවශ්‍ය නැද්ද යන්න අපට තර්ක කළ නොහැක. බ්‍රිතාන්‍ය බහුතර ක්‍රිස්‌තියානි ආගමිකයන් පිරිසක්‌ වෙසෙන රටකි. 2001 සංගණනය අනුව ජනගහනයෙන් 71% ක්‌ තමන් ක්‍රිස්‌තියානි ආගම අදහන බව ප්‍රකාශකර ඇත. ජනගහනයෙන් 15% ක්‌ පවසන්නේ තමන්ට ආගමක්‌ නැති බවයි. කෙසේ වෙතත් එරට වෙසෙන බෞද්ධයන්ගේ ප්‍රමාණය 152,000 කි. එරට ජන ප්‍රතිශතය අනුව එය සියයට 0.26 කි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය ඩේලි මේල් පුවත්පත වාර්තාකර තිබුණේ බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන් අතර බුදුදහමට ඇති නැඹුරුතාවය බෙහෙවින් ඉහළගොස්‌ ඇති බවයි. 2005 වසරේ සිට බුදුදහම අදහන බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ප්‍රමාණය 200 සිට 3800 දක්‌වා ඉහළ ගොස්‌ ඇත. මේ අතර බුද්ධාගම අදහන ගුර්කා සෙබළුන් 2800 ක්‌ද වේ. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය සොල්දාදුවන් දහසක්‌ පමණ පසුගිය වසර කිහිපයේ බුදුදහම වැළඳගෙන ඇත.

1707 දී ආරම්භ වූ බ්‍රිතාන්‍ය හමුදාව පසුගිය සියවස්‌ ගණනාව පුරාම ලොව ඇතිවූ ප්‍රබල යුද ගැටුම්වලට සම්බන්ධ විය. ඇමරිකානු හමුදා 2003 දී ඉරාකය ආක්‍රමණය කරද්දී බ්‍රිතාන්‍ය හමුදා භටයෝද බස්‌රා නුවර ආරක්‍ෂාව භාර ගත්හ. ඇමරිකාව, ඇෆ්ගනිස්‌ථානය ආක්‍රමණය කරද්දීද බ්‍රිතාන්‍ය සෙබළු කාබුල් නුවරට පැමිණියහ. ඇෆ්ගනිස්‌ථානයේ තලේබාන් ප්‍රහාරවලට ගොදුරුව නිරන්තරව බ්‍රිතාන්‍ය සෙබළු මියයැම ගැන එරට ජනතාව නම් කැමැති නැත. එළිසබෙත් මහ රැජිනගේ මුණුපුරා වන හැරී කුමරුද මේ දිනවල ඇෆ්ගනිස්‌ථානයේ බැෂන් කඳවුරේ ඇපචි හෙලිකොප්ටර් නියමුවෙක්‌ ලෙස සේවයේ යෙදී සිටී. බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන තෙවැනියා වන හැරී කුමරුද තලේබාන්වරුන්ට එරෙහිව සටන් වැදීම විශේෂයකි. ඉලක්‌කයක්‌, ජයග්‍රහණයක්‌ නැති යුද අවුලක සිරවී සිටීමද බ්‍රිතාන්‍ය හමුදා භටයන් බුද්ධාගම කෙරේ ඇදී යැමට එක්‌ හේතුවක්‌ වන්නට බැරි නැත. යුද්ධය නිසා ඇතිවන මානසික පීඩනය චිත්ත අවිවේකී භාවය දෙවියන් වහන්සේට යාඥ කිරීමෙන් පමණක්‌ මගහරවා ගත නොහැකි බව මේ සොල්දාදුවන් අවබෝධකරගෙන ඇති බව නම් පැහැදිලිය.

බ්‍රිතාන්‍ය හමුදාවේ බෞද්ධ කටයුතු උපදේශක වශයෙන් කටයුතු කරන්නේ ශ්‍රී ලාංකිකයකු වන සුනිල් කාරියකරවන මහතාය. ඔහු පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ අපවත්වී වදාළ අග්ගමහා පණ්‌ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමියන්ගේ 116 වැනි ජන්ම දිනය වෙනුවෙන් පැවැති උත්සවයේ ප්‍රධාන දේශනයද සිදුකළේය. බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන් වැඩි වශයෙන් බුද්ධාගමට නැඹුරු වීම ගැන අදහස්‌ දක්‌වන කාරියකරවන මහතා පවසන්නේ බුදුදහම ඇසුරෙන් මානසික පීඩාව මගහරවා ගැනීමට සෙබළුන් පෙළඹී ඇති බවයි. මානසික සහනය ළඟාකර ගත හැක්‌කේද බුදුදහමෙන් බව අමුතුවෙන් කිව යුතු නැත.

2005 වසරේදී බ්‍රිතාන්‍ය හමුදාවේ බෞද්ධ, හින්දු, මුස්‌ලිම් හා සික්‌ ආගමිකයන් වෙනුවෙන් වෙන වෙනම උපදේශකයන් පත්කෙරිණි. බටහිර ලෝකය වේගයෙන් බුදුදහම කෙරෙහි නැඹුරුවන බවට වඩා හොඳ උදාහරණයක්‌ සපයන්නේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ මේ බෞද්ධ නැඹුරුවයි. එය සැමට ආදර්ශයකි. බෞද්ධයන් කිසි විටෙක බලහත්කාරයෙන් ආගම ප්‍රචාරයට යන්නේ නැත. කාලාම සූත්‍රයේ බුදුන්වහන්සේ දේශනාකර ඇත්තේ “ඒහි පස්‌සක” ලෙසය. එනම් එව බලව යනුවෙනි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: