Posted by: lrrp | October 28, 2012

මැතිව් මැනිං ගේ භූත සමාජය

ලෝක ඉතිහාසය නමැති පොතේ අධි මානසික බලය නමැති පරිච්ඡේදයක්‌ ඇත්නම් බ්‍රිතාන්‍ය ජාතික මැතිව් මැනිං (Matthewe Manning) ගේ නම එයට ඇතුළත් විය යුතුමය. පසුගිය ශත වර්ෂයේ දෙවැනි අර්ධයේ හෙවත් 1955 අගෝස්‌තු 17 වැනිදා එංගලන්තයේ ඉපිද සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න බුද්ධිමත් දරුවකු ලෙස හේ වැඩෙන්නට පටන් ගත්තේය. වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට ආසන්න වූ කාලයේ සිටම ඔහු අධි මානසික ශක්‌තිය අත්හදා බැලුවේය. 1975 වන විට ඔහුගේ කීර්තිය එංගලන්තය පුරා පැතිර ගිය අතර ජනමාධ්‍ය මගින් ඒ ශක්‌තිය ප්‍රශ්න කරමින් නොයෙකුත් ලෙඩ දමන්නට පටන් ගත්තේය. වහාම හිමාලයට පලා ගිය ඔහු එහි කඳු අතර සැඟව සිටි යෝගීන් සහ මාස ගණන් එක දිගට භාවනා කරන්නන් හමුවී ඔවුන් ඉදිරියෙහි තම චිත්ත ශක්‌තිය ප්‍රදර්ශනය කර තමා ගැන සෑහීමකට පත් විය. අවසානයේදී පෙරළා එංගලන්තයට විත් චිත්ත බලයෙන් රෝග සුව කරන්නකු බවට පත් වීමට ඔහු ඉටා ගත්තේය. “අසනීපයක්‌ වූ විට ඔබ සුවපත් වන බව නිතර සිතන්න. එම විශ්වාසය විසින් ඔබ සුවපත් කරනු ලබන්නේය යි” ඔහු කියා සිටියේය. “මේ ක්‍රමයම අන් අය කෙරෙහි ද යොදවන්න. කෙනෙකු රෝගී වූ විට ඔහු හෝ ඇය සුවපත් වනු ඇතැයි මුළු හිතින්ම හිතන්න. නිතර රෝගියා වෙත ගොස්‌ ඔහුගේ හෝ ඇයගේ සිරුරට අත තබා සුවපත් වන ලෙස මුළු හිතින්ම ප්‍රාර්ථනා කරන්න. එවිට රෝගියා සුවපත් වනු ඇතැ” යි මැතිව් මැනිං තවදුරටත් සඳහන් කළේය.

මැතිව් මැනිං සියලු ආකාරයේ නපුරු අන්තරායයන්ට ඔරොත්තු දෙන ශක්‌තියක්‌ ඇත්තෙක්‌ ද විය. එම පුහුණුව ඔහු ලබන්නේ මවු කුසේ සිටියදී සිටය. ඔහු ඉපදීමට සති තුනකට පෙර ඔහුගේ මවට අධිබල විදුලි සරයක්‌ වැදිණ. එහෙත් ඇයට කිසිදු හානියක්‌ නොවුණා පමණක්‌ නොව දරු ගැබට ද කිසිදු හානියක්‌ නොවීය. විශාල ජනෙල් සහ දොරවල් සහිත ඉතා හොඳ වාතාශ්‍රය සහිත නිවසක ජීවත් වූ කාලය ඔහුට ඉතා හොඳට මතකයි. ඒ වගේම 1967 පෙබරවාරි 18 වැනි දිනය ද ඔහුට කවදාවත් අමතක වන්නේ නැත. එවිට ඔහුට වයස අවුරුදු 11 කි. මේ කාලයේදී මේ නිවසේ සිටි භූතාත්මයක්‌ ගෙදර අයට කරදර කරන්නට පටන් ගෙන තිබිණි. 1967 පෙබරවාරි 18 වැනිදා උදයක ඔහුගේ පියා උඩුමහලේ සිට පහතට බසින විට සාලයේ තිබූ බීර පුරවන රිදී භාජනය බිම පෙරැළී තිබිණි. මැතිව් මැනිං හෝ ඔහුගේ පවුලේ අය හෝ එය කවරකු විසින් කරන ලද්දේ දැයි දැන සිටියේ නැත. ඊළඟ බ්‍රහස්‌පතින්දා එයම සිදු විය. සාලයේ තිබූ ගෘහ භාණ්‌ඩ ඒවාට නියමිත තැන් වලින් ඉවත් කර වෙනත් තැන්වල තබා තිබිණ. නිවස තුළ කාටවත් තේරුම් ගත නොහැකි අබිරහස්‌ සිදුවීම් මාලාවක්‌ හටගෙන ඇති බව නිවැසියෝ දැන ගත්හ. එහෙත් එයට පිළියමක්‌ නැත.

දිනක්‌ උදැසන ගෙවැසියන් පහත මාලයට එන විට සාලයේ පුටු එකමත එක ඉතා පිළිවෙළට අඩුක්‌කර තිබිණ. ඒ අතර එක පුටුවක්‌ ඉල්පී විත් මැතිව් වටා භ්‍රමණය වන්නට පටන් ගත්තේය. ගෙදර සිටින භූතයා සහ මැතිව් අතර හිතවත්කමක්‌ ඇති බව ගෙවැසියෝ සැක කරන්නට පටන් ගත්හ.

මේ ගෙදර තවත් ඉන්න බැරි තරමට විකාරයක්‌ වූ විට ගේ අත්හැර යැමට තීරණය කරන ලදී. 1968 ඔවුහු නිවස අත්හළහ. නව නිවසකට ගියහ. එය එංගලන්තයේ කේම්බ්‍රිඡ්ෂයර් පළාතේ ලින්ටන් නමැති ගම්මානයේ තිබූ වසර 1550 දී ඉදිකරන ලද, 1730 දක්‌වා කාලය තුළ තවදුරටත් පුළුල් කරන ලද නිවසකි. මේ නිවස තුළ හොල්මන් සිටි බව මැතිව් මැනිංගේ පියා දැන ගන්නේ නිවස මිලට ගත් පසුවය. ඒ ගැන කාටවත් නොකීමට ඔහු පරෙස්‌සම් විය. 1970 වන විට නිවසේ තිබූ මැතිව්ගේ කාමරය භූතයන්ගේ තිප්පොළක්‌ බවට පත්ව තිබෙනු දක්‌නා ලදී. කාමරය තුළ නිතර අඩි ශබ්ද ඇසිණ. අල්මාරිවල පියන්පත්, හුළං පොදක්‌ පවා හමන්නේ නැතිව ඉබේටම ඇරෙන්නටත් වැහෙන්නටත් විණ. පුටුවලට දමා තිබූ කුෂන්වලට පණ ආ අතර, ඒවා එහාට මෙහාට දුව පනින්නට විය. 1971 වන විට තත්ත්වය තවත් බරපතළ වූ අතර තමන් සිටින්නේ මැතිව් පවුලට අයත් නිවසක නොව මැතිව් පවුල සිටින්නේ තමන් විසින් කුලියට ගන්නා ලද නිවසක බව භූතයන් කල්පනා කරන සෙයක්‌ පෙනිණ. හිටි ගමන් ගෙදර තිබූ අල්මාරියක්‌ ඉතාම හොඳ සමබරතාවකින් යුතුව බිමට නොවැටී මැතිව් පසුපස පැමිණියේය. අල්මාරියේ පා සතර පොළොව මත ඇඳී එන හඬ කන් කීරි ගන්වන තරම් රළු විය. ඒ අතර මැතිව්ගේ ඇඳ පොළොව සමඟ දබර කර ගනිමින් කාමරයේ පියස්‌ස දක්‌වා ඉහළට එස වී ඒ ආකාරයෙන් ම පහළට සම්ප්‍රාප්ත විය. එදා රැයේ මැතිව් සිටියේ තම දෙමාපියන්ගේ කාමරයේ ය. පසු දින ඔහු කාමරයට ගිය විට එහි තිබූ කොට්‌ට මෙට්‌ට ඇඳ ඇතිරිලි සියල්ල විසින් ඔහුට බිම දමාගෙන පහර දෙනු ලැබීය.

ඊළඟ උදයක ආහාර ගැනීම සඳහා මැතිව් ඇතුළු පිරිස පහත මාලයට යන විට එතැන බෝම්බයක්‌ පිපිරුවා හා සමානව සුන්බුන් ව තිබිණි. එතැන් පටන් ගත වූ දින කිහිපය තුළ මැතිව් මැනිංගේ නිවස තනිකරම පාලනය කළේ භූතයන් විසිනි. එක්‌ උදැසනක මැතිව්ගේ සොයුරිය අවදි වන විට ඇගේ ඇඳෙන් භාගයක්‌ ම තිබුණේ ඇය නිදන කාමරයේ ජනේලයෙන් පිටතය. ඒ නිවසේ ජනේල ඉතා පුළුල් බැවින් වැඩි අපහසුවක්‌ නැතිව එබන්දක්‌ කළ හැකිව තිබිණ. එහෙත් දැරිය අවදි නොවන පරිදි එය කළේ කෙසේද? සමහර දිනවල ආගන්තුක අත් අකුරකින් බිත්තිය මත මෙසේ ලියා තිබිණ. “මැතිව් පරෙස්‌සම් වෙයන්” ඒ වචන තුළ මැතිව්ගේ ජීවිතයට එල්ල වූ තර්ජනයක්‌ තිබිණි. ඒ අත් අකුරු වැඩිහිටියකුගේ අත් අකුරු වලට වඩා නැඹුරුවක්‌ දැක්‌වූයේ කුඩා දරුවකුගේ අත් අකුරුවලටය.

වහාම, මැතිව් ඔහු උගත් පාසලේ බෝඩිමට ගෙන ගොස්‌ නවත්වන ලදී. නිවාඩු කාලයට ඔහු ආපසු ගෙදර ආ විට සියල්ල සන්සුන්ව තිබිණ. එහෙත් එක්‌ පාසල් වාරයක්‌ යළි පටන් ගෙන නිම වී ගිම්හාන පාසල් නිවාඩුව පටන් ගැනීමත් සමඟම භූතයෝ නැවත වතාවක්‌ මැතිව් මැනිං වට කර ගත්හ. මේ වන විට පාසලේ මුල් ගුරුතුමා මැනිං පවුල සමඟ ඉතා කිට්‌ටුවෙන් ඇසුරු කළේය. භූතයන් සහ මැතිව් අතර ගනුදෙනුවක්‌ ඇති බව මැතිව්ගේ පියා හරහා ඔහු දැන සිටියේය. ගිම්හාන නිවාඩුවේදී භූතයන් ගේ පෙරළන්නට පටන් ගත් නිසා මැතිව් පෙරළා බෝඩිමට භාරගෙන නිවාඩු කාලය තුළත් එහි රඳවා තැබීමට මුල්ගුරුතුමා කැමැති විය. එහෙත් මෙවර මැතිව්ගේ භූත සමාජය ඔහු අත්හළේ නැත. ඔවුහු බෝඩිමට පැමිණ එය අනෙක්‌ පැත්ත පෙරළන්නට වූහ. ලන්ඩන් ඒ ලෙවෙල් විභාගය සඳහා සූදානම් වෙමින් බෝඩිමේ නැවතී සිටි සෙසු ශිෂ්‍යයෝ මෙයින් මහත් සේ බයටත් සන්ත්‍රාසයටත් පත් වූහ. පාසල් නේවාසිකාගාරයේ යකඩ ඇඳක්‌ කොරිඩෝ දිගේ ගමන් කරනු දක්‌නා ලදී. ඇතැම් යකඩ ඇඳන් එක මත එක පිහිටි ඩබල් ඇඳන් වූ අතර ඒවා හිමිහිට ඇදී ගියේ ඒවා මත නිදන ශිෂ්‍යයන් ද සමගය. සමහර විට ආකාසයෙන් පැමිණි ගල් ගෙඩි සහ පොලු කැබැලි ජනේල මත වැදී වීදුරු කුඩු පට්‌ටම් කළේය. මෙහිදී මැතිව් මැනිංට උදව්වට සිටියේ එකම අයෙකි. ඒ වූ කලි බෝඩිමේ සිටි පාලිකාවය. ඇය භූත බලය සහ අමනුෂ්‍ය ක්‍රියාකාරකම් ගැන ඉතා හොඳින් දැන සිටියාය. ඇය මැතිව්ට අනුකම්පා කළාය. එසේම භූතයන්ට ද අනුකම්පා කළාය.

සති අන්තයේදී ගෙදර ගිය මැතිව් සමඟ භූතයකු මුල් වරට කතා කළාය. ඇගේ නම හෙන්රියෙටා වෙබ්. මෙයට වසර 450 කට පමණ පෙර ඇය සිටියේ මැතිව් පවුල දැන් පදිංචිව සිටින මන්දිරයේ ය. භූතයා කනට කොඳුරන විට මැතිව්ගේ සිහිය දුබල විය. ඔහු අර්ධ නින්දකට පිවිස සිටි අතර, හෙන්රියෙටා වෙබ් ඔහුගේ කනට කොඳුරන්නට වූවාය. එවිට ඔහුට යළිත් හොඳ සිහිය ලැබිණි. මැතිව් ඇගෙන් ප්‍රශ්න කරමින් ඇය දුන් උත්තර ලියා ගන්නට පටන් ගත්තේය. එහෙත් ඔහු අතින් ලියෑවුණේ වෙනදා ඔහු ලිsයන අත් අකුරු නොවේ. 1971 දවසක මැතිව් පරෙස්‌සම් වෙයන් යනුවෙන් තර්ජනාත්මකව බිත්තියේ ලියෑවී තිබූ අත්අකුරුය. මැතිව්, හෙන්රියටා සමඟ දිනපතාම කතා කරන්නට පටන් ගත් අතර භූත දොaෂ සහ ප්‍රහාර ක්‍රමයෙන් අඩු වී නැත්තටම නැති විය.

මේ මහා මන්දිරයේ ඉතිහාසය හෙන්රියටා විසින් මැතිව්ට කියන ලදී. එය 1550 ගණන් වලදී රැජනක්‌ වාසය කළ මාලිගයකි. මාලිගයේ විසූ අයගේ නම් ලැයිස්‌තුවක්‌ හෙන්රියටා වෙබ් විසින් කියන ලදී. පසු දිනම ලින්ටන් ගම්dනයේ පල්ලියට ගිය මැතිව් පල්ලියේ බැතිමතුන්ගේ ලියාපදිංචි ලේඛන පොත් එකින් එක පිරික්‌සා බලන්නට වන්නේය. 1733 දී මියගිය රොබට්‌ වෙබ් නමැත්තකුගේ නම පල්ලි පොතෙහි විය. 1971 ජුනි මාසයේදී රොබට්‌ වෙබ් මැතිව්ට කතා කළේය. සාකච්ඡාවට පෙර පෑනක්‌ සහ කොල කිහිපයක්‌ අතට ගන්නා ලෙස ජීවතුන් අතර නැති රොබට්‌ වෙබ් ජීවතුන් අතර සිටින මැතිව් මැනිං ට කීවේය. කඩදාසි සහ පෑන අතට ගත් සැණිsන් රොබට්‌ දෙන උත්තර ඉංග්‍රීසි අක්‍ෂරවල ඉපැරැණි සම්ප්‍රදායයකින් මැතිව් අතින් ලියෑවෙන්නට පටන් ගත්තේය. දිනක්‌ මැතිව්ගේ මාපියන් ගෙදර නැති විටෙක මැතිව් ඉදිරිපිට රොබට්‌ වෙබ් පෙනී සිටියේය. එය 1971 නොවැම්බර් මාසයේ දවසකි. හමුව සිදුවන්නේ මෙසේය. ගෙදර සිටින්නේ මැතිව් පමණි. කිසිවකු දොරට ගසන හඬ ඇසේ. දහසය හැවිරිදි මැතිව් දොර විවර කර බලයි. කවරෙක්‌වත් නැත. යළි දොරට ගසනු ඇසේ. යළිදු කිසිවෙක්‌ නැත. දහසය හැවිරිදි ළමයාගේ සිත වේගයෙන් ගැහෙයි. ඊළඟ තට්‌ටු කිරීම ඇසෙන්නේ ලී තරප්පු පෙළ දෙසිනි. ඒ දෙස බලන මැතිව් කිසිවකුගේ රුවක්‌ දකී. ඒ රුව දර මිටියක්‌ අතින් ගෙන සිටී. ඒ සොරෙක්‌ද?. සොරෙක්‌ නම් මේ දර මිටිය කුමක්‌ද? ඒ රොබට්‌ වෙබ් බව මැතිව් ගේ සිත කියයි. රොබට්‌ වෙබ් ඇඳ සිටියේ කොළ පැහැති දිග කබායකි. එය මධ්‍යතන යුගයට අයත් කබායකි. කබායේ වාටි සියල්ල කහ නූලෙන් ගෙත්තම් කර තිබිණ. මැතිව් බියපත් කිරීම ගැන භූතයා සමාව ඉල්ලුවේය. ඒ අතර මුළුතැන්ගෙට ගිය මැතිව් පැන්සලක්‌ හා කඩදාසියක්‌ ගෙන තමාගේ රූපය කටු සටහනකට ගත්තේය. එය නිමවූ සැණින් යළි කවදාවත් නොඑන පරිදි රොබට්‌ වෙබ් අතුරුදන් විය.

වයස 17 වන විට මැතිව් මැනිං හමුවූ ග්‍රන්ථ ප්‍රකාශකයෙක්‌ භූතයන් සමඟ ඔහු ගත කළ වසර කිහිපය ගැන පොතක්‌ ලියන ලෙස ආරාධනා කළේය. The Link නමැති මේ පොත පසුව භාෂා 15 කට පරිවර්තනය විය. රොබට්‌ වෙබ් සමඟ ගත කළ කාලය අළලා The Stranger යනුවෙන් ඔහු තවත් පොතක්‌ ලිවීය.

භූතාත්මයන් යනු අධ්‍යාත්මයක්‌ බවත් එය සමඟ ආධ්‍යාත්මික සම්බන්ධයක්‌ ගොඩනඟා ගත හැකි බවත් මැතිව් මැනිං තරයේ විශ්වාස කළේය. අධ්‍යාත්මය දියුණු කර රෝග සුව කළ හැකි ආකාරය ගැන ප්‍රායෝගිකව පරීක්‍ෂණ කළ ඔහු හිමාලයටත් එහි විශාල හිම කඳු අතරටත් ගොස්‌ භාවනා කළේය. හිම කඳුවල අධික ශීතල ඔහුට කිසිදු පීඩාවක්‌ කළේ නැත. ශීතල මෙන්ම උණුසුම ද අධ්‍යාත්මය මගින් පාලනය කළ හැකි බව ඔහු පසු කාලයේදී සිය අනුගාමිකයන්ට කියා දුන්නේය.

(Worlds Greatest Psychics and Mystics)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: