Posted by: lrrp | October 29, 2012

පෙර ආත්මයේ බිරිය මේ ආත්මයේ බිරිය සොයා එයි

දාන – ශීල – භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි නිරතව ආධ්‍යාත්මය දියුණු කරන්නට උත්සාහ කළ කෙනෙක් වීර්යයෙන් භාවනාවේ යෙදුණේ නම් සිත සමාධියට හුරු කොට අනිත්‍ය – දුක්ඛ – අනාත්ම යන ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්නට පුරුදු වූ විට ඔහු හෝ ඇය ධර්ම මාර්ගයෙහි ගමන් කළා වේ.

එහෙත් තරුණ වයසේ ලෞකික ආශාවන්ගෙන් මිනිස් සිතත් ක්‍රියා කරන්නේ නම් එය කාම ලෝකයක් වූ මිනිස් භවයේ ස්වභාවයකි. එසේ ම තරුණ වියේදී විවාපත් වී කුළුඳුලේ දරුවෙකු ප්‍රසූත කොට ආදරයෙන් හදාවඩා ගනිමින් සිටිය දී ඒ මව හදිසියේ මිය ගියහොත් තම දරුවා සහ ස්වාමිපුරුෂයා කෙරෙහි බැඳුණු ආශාව ආදරය ඊළඟ භවයට ද බලපා ඇතැයි කීවොත් අරුමයක් නොවේ.

ඒ මිනිස් සිතේ ස්වභාවයයි. නොඑසේ වන්නට නම් ඇය අතීත භවයක සිදු කළ ප්‍රබල කුසල කර්මයක් චුති චිත්තයට එළඹ ඊළඟ ප්‍රතිසන්ධිය සුගතිගාමී විය යුතුය.

ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණි නිර්මාල් ඉංග්‍රීසි වෛද්‍යවරයෙකි. තිස් හය හැවිරිදි තරුණ පියෙකි. ඔහු පැමිණියේ සන්ධ්‍යා සමඟ ය. සන්ධ්‍යා තිස් හැවිරිදි සුරූපී තරුණ බිරියකි. ඇය ප්‍රසිද්ධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක නිෂ්පාදන කළමනාකාරිනියකව රැකියාවේ යෙදී ඇත. දෙදෙනාම උපාධිධාරී උගතුන්ය.

සන්ධ්‍යා මෑතක සිට රාත්‍රි නින්දෙන් තොරව අවදිව සිටී. කලහකාරී ස්වභාවයක් ගෙන නිතර ආරාවුල් අඬදබර කරන්නට පටන් ගෙන ඇත. ගෙදර බඩුමුට්ටු පොළොවේ ගසයි. වීදුරු ජනෙල් බිඳ දමයි. වාහනයේ වීදුරු පවා බිඳ දමන තත්ත්වයට උග්‍ර වූ නිසා මෙතෙක් කළ බටහිර වෛද්‍ය ක්‍රමවලින් මනෝ වෛද්‍ය විද්‍යාවෙන් සුවයක් නොලැබ ආධ්‍යාත්මීය ප්‍රතිකාරවලින් වත් සහනයක් ලබා ගැනීමට වෛද්‍යවරයා සිය බිරිය කැඳවාගෙන ආවේය.

ආයතනයක නිෂ්පාදනය අවශ්‍ය ප්‍රමාණයට නැංවීම සඳහා සේවක සේවිකාවන්ගේ උනන්දුව හා යහපත් මානසිකත්වය අවශ්‍යය. ඒ පිළිබඳ කටයුතු කිරීම නිෂ්පාදන කළමනාකරුගේ වගකීම ය. මේ ආයතනයේ නිෂ්පාදන කළමනාකාරිනිය වූ සන්ධ්‍යා එහි සේවක සේවිකාවන් ගේ අඩුපාඩු දකිමින් ඔවුන් සමඟ ගැටුම් ඇති කැර ගැනීම නිසා නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහළ වැටෙන්නට විය. පාලන අධිකාරිය විසින් සන්ධ්‍යා රැකියාවෙන් ඉවත් කරනු ලැබුණි. ඉන්පසු නිවැසියන් සමඟ ද ගැටෙන්නට වූවාය.

නිර්මාල් මීට පෙර විවාහ වී සිටියේය. ඇය දරුවෙකු ද ලැබුවාය. හිටිහැටියේ වැලඳුණු හදිසි අසනීපයකින් ඇය මිය ගියා ය. බිරිය මළ සෝකයෙන් ද දරුවා හදාවඩා ගැනීමේ අපහසුතාවෙන් ද පෙළුණු නිර්මාල්ගේ ජීවිතය ගැන අනුකම්පා කළ සන්ධ්‍යා ඔහු සමඟ විවාහ වූයේ අවංකවමය. ජීවිත පරිත්‍යාගයෙනි. දැනට වයස අවුරුදු දෙකහමාරක් වූ කලින් විවාහයේ දරුවා ද ආදරයෙන් රැක බලා ගත්තාය.

බොහෝ දක්ෂකම් කුසලතා ඇතිව සතුටින් පවුල ගොඩනඟමින් සිටිය දී සන්ධ්‍යාගේ මේ ප්‍රබල අසනීපය හා ඉතිහාසය නිර්මාල් ගවේෂකවරයාට පැහැදිලි කළේය.

ගවේෂණයේ දී සන්ධ්‍යා ප්‍රලය වූවාය. මුළු ශරීරයම වෙව්ලන්නට වූ අතර ඉකිබිඳ හඬන්නට වූවාය.

”මේ කව්ද?”

”මම යසෝධා”

”කව්ද යසෝධා කියන්නේ?”

”නිර්මාල්ගෙ කලින් නෝනා”

”ඇයි මේ අඬන්නේ?”

”මට නිර්මාල්ව දාලා යන්න බෑ”යි කියමින් දිගින් දිගට නොනවත්වා හඬන්නට වූවාය. ඇගේ සිත යළිත් පූර්ව අවධානයට ගත නොහැකි බැවින් සාමාන්‍ය වේවැල් පහර දෙකක් ගැසුවේය.

ඒ සමඟ ඇය යළිත් අවධානයට පත් නමුත් “යන්න බෑ.. යන්න බෑ…”යි කියා නිහඬ වූවාය. යළිත් කතා කළේ ම නැත. කෙනෙකු ප්‍රලය වූ විට වේවැල් පහර දුන්නත් පුද්ගලයාට රිදෙන්නේ නැත.

රිදෙන්නේ භූතයාටය. භූතාත්මවල ශරීර ඉතා සියුම් බැවින් ඒ ශරීර වේවැල් පහරින් කැඩී බිඳී යන බැවින් ද එය යළිත් කලින් තත්ත්වයට පත්වීමට කලක් ගතවන බැවින් ද භූතයෝ වේවැල් පහරට ඉතාමත් අකමැතිවෙති. රෝගියා කරන්නේ බොරුවක් නම් භූතාවේෂයක් නැත්නම් රිදෙන්නේ රෝගියාටමය.

සන්ධ්‍යාගේ භූතාත්මයේ චිත්ත වේගය වෙනස් වුවද කතා නොකරන බැවින් දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන ලෙස දැනුම් දුන්නේය. ලබා දුන් උපදෙස් පරිදි පිරිසුදුව හා ක්‍රමානුකූලව සද්ධාවෙන් යුතුව බෝධි පූජා විසි එක පැවැත්වූ වෛද්‍යවරයා සහ බිරිය නැවත පැමිණියහ. එදින ද සන්ධ්‍යා ප්‍රලය වූවාය.

”කව්ද මේ ශරීරයේ අද ඉන්නේ?”

”මම යසෝධා මයි”

”ඇයි මේ සන්ධ්‍යා අසනීප කරන්නේ?”

”මම නිර්මාල්ට ආදරෙයි. ඉතින් නිර්මාලුයි සන්ධ්‍යායි ආදරෙන් ඉන්නවා දකින කොට මට ඊර්ෂ්‍යා හිතුණා”

”යසෝධා මැරුණෙ කොහොමද?”

”මම මැරුණෙ එල්ලිලා. අපි හිටියෙ තට්ටු දෙකේ ගෙදරක. උඩ තට්ටුවේ බෙඩ්ෂීට් එකකින් එල්ලිලා මැරුණා.”

”ඇයි ඒ?”

”මට දරුවා ලැබිලා සති දෙකකින් විතර වැදුම් ගෙයි සන්නිය හැදුණා. ප්‍රසූතියෙන් හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වුණා. ආතතිය හැදුණා. මොළය අවුල් වුණා. එල්ලිලා මැරුණා. එච්චරයි”

”ඉතින් මේ සන්ධ්‍යාට අසනීප කරන්නේ ඇයි? එයා හොඳ කෙනෙක්නෙ”

”ඔව් මම දන්නවා. සන්ධ්‍යා බොහොම දක්ෂ කෙනෙක්. හරි ශක්තිමත් ගැහැනියක්. නිර්මාල්ට අනුකම්පාවෙන් බැන්ද බවත් දන්නවා. මගේ දරුවාට ආදරේ බවත් දන්නවා. ඒත් මට ඊර්ෂ්‍යා හිතනෙවා මේ දෙන්නා ආදරෙන් ඉන්නකොට.”

”ඉතින් සන්ධ්‍යා ශක්තිමත් නම් කොහොමද එයාගෙ ඇඟට රිංගුවේ?”

”මට පළමුවෙන් සන්ධ්‍යාගෙ ඇඟට රිංගන්න බැරිවුණා. එයා වැඩ කරන පැක්ටරියේ අයගෙ ඇඟට රිංගලා සන්ධ්‍යා නුරුස්සන දේවල් කෙරෙව්වා. ඔවුන් අවුල් කළා. ඕඩර් පරක්කු කළා. ඇණවුම් දීගන්න බැරි කළා. සන්ධ්‍යාගෙ රස්සාව නැතිවුණා.”

”ඊට පස්සෙ?”

”ගෙදර ළමයා බලා ගන්න ඇන්ටිගෙ ඇඟට රිංගලා එයත් එක්ක සන්ධ්‍යාගෙ ගැටුම් ඇතිකළා.”

”ඉතින්?”

”ඉතින් රස්සාව නැතිවුණා. මානසිකව වැටුණා. දුර්වල වුණා ම මම ඇඟට රිංගුවා. දැන් නිර්මාල් එක්ක රණ්ඩු කරනවා. බඩුමුට්ටු පොළොවේ ගහනවා. වීදුරු බිඳීනවා.”

”ඉතින් ඒ වැඩවලින් තමුන්ට ඇති ප්‍රයෝජනය මොකක්ද?”

”හෙඞ … හෙඞ… හේ… මහත්තයා සන්ධ්‍යා මෙහෙම රණ්ඩු කරන කොට විකාර කරන කොට නිර්මාල් කියනව,

”අනේ! යසෝධා කොයි තරම් හොඳද? තමුසෙ වගේ නපුරු නෑ” කියලා. ඒක අහන්න මම හරි සතුටුයි. මගේ හොඳ නිතර නිතර කියවෙනවා අහන්න මම සතුටුයි. ඒ නිසා මම අවුල් කරනවා. අඬදබර කරවනවා.”

”මොකක්ද තමුන් කරපු ආසන්නම සිද්ධිය”

”මම සන්ධ්‍යාට දවසක් ජීවිතේ කලකිරීම වැඩි කරලා මම වගේ ම බෙඩ්ෂීට් එකෙන් එල්ලිලා මැරෙන්න පෙලඹෙව්වා.”

”ඉතින්?”

”අහල පහල අය දැකලා ඒක වැළැක්කුවා. එදා තමයි නිර්මාල්ට හිතුණේ මෙතැනට ඇවිත් ප්‍රතිකාරයක් ගන්න.”

”ඔබ අන්තරාභවිකයෙක්ද?”

”මම දන්නේ නෑ”

”දැන් හොඳට කල්පනාකර බලන්න. යසෝධා එල්ලිලා මැරුණා. ඒත් ඔබ තවම චිත්තයෙන්, මානසිකව ඉන්නේ කලින් යසෝධා මය කියලා හිතාගෙන. නිර්මාල්ගෙ බිරිය ය කියා හිතාගෙන. දරුවගෙ අම්මය කියල හිතාගෙන. ඔබ වැරදියි. යසෝධා මැරුණා. දැන් ඉන්නේ වෙනත් කෙනෙක්. දැඩි ආශාව නිසා බැඳුණු ප්‍රේත ජීවියෙක්. දුගතිගාමී භවයක ඔබ ඉන්නේ. ඔබ ජීවත්ව සිටියදී හොඳ කෙනෙක්. ස්වාමියාට ආදරෙන් සලකපු බිරියක්. පින්දහම් කළ කෙනෙක්. දැන් ඔබ එදා කළ පින් දහම් යහපත් දේ සිහිපත් කරන්න. ඒ වගේ ම සන්ධ්‍යා ඔබේ දරුවාට ආදරෙයි. ඒක පිළිගන්නවාද?

”ඔව්. පිළිගන්නවා.”

”සන්ධ්‍යා නරක ගැහැනියක් නම් නපුරු නම් ඔය දරුවාට සලකන්නේ නෑ. සන්ධ්‍යා යහපත් කෙනෙක් බව පිළිගන්නවාද?”

”ඔව් පිළිගන්නවා.”

”සන්ධ්‍යාව නරක් කළේ නපුරු කළේ ප්‍රචණ්ඩ කළේ කව්ද?”

”……..” නිහඬය.

”ඇයි කතා නොකරන්නේ? සන්ධ්‍යාව නපුරු කළේ නිර්මාල් ද?”

”නැහැ”

”එහෙනම් කව්ද?”

”මම”

”අන්න බලන්න. හොඳ යහපත් කෙනෙක් වූ සන්ධ්‍යා නපුරු කෙනෙක් කළේ ඔබ. ඒ වගේ ම හොඳට කල්පනා කර බලන්න හොඳ යහපත් කෙනෙක් වූ ඔබත් ඊර්ෂ්‍යාව නිසා ඒ වගේ ම දැන් නපුරු කෙනෙක් වෙලා.”

”අනේ! මට දැනුයි වැටහුණේ”

”දැන් හොඳට මතක තියාගන්න ඔබ අඩු ආයුෂෙන් මරණයට පත් වුණේ සංසාරයේ කවදා හෝ ප්‍රාණඝාත අකුසලයක් සිදු කැර තියෙන නිසා. දැන් කරන්න හදන්නේත් ඒ ටිකමයි. මේ තත්ත්වය උඩ සන්ධ්‍යාගෙ ජීවිතය නැති වුණොත් හරි සන්ධ්‍යා ජීවිතය නැතිකැර ගත්තොත් හරි ඒක සිද්ධ වෙන්නේ ඔබ නිසා. ඔබ දැන් ප්‍රේත ජීවියෙක්. ඔබ අපේ අවවාද පිළි අරගෙන යහපත් තත්ත්වයට පත් වුණොත් සන්ධ්‍යා කෙරෙහි තියෙන ඊර්ෂ්‍යාව අත්හළොත් ඔබට දේවාත්මයකට ගිහින් දිව්‍ය සැප ලබන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රාණඝාතයක් සිදුකර නිරයට වැටී අවුරුදු ලක්ෂ ගණනක් දැවි දැවී දුක් විඳින්න වේවි.

මේ දෙන්නා බෝධි පූජා විසි එක තියන්න යනකොට මමත් ගියා. එතැනදි මට අමුතුම සහනයක් සුවයක් ලැබුණා. ඒත් එක ම ගැටලුව මගේ හිතේ නිර්මාල්ට තියෙන ආදරය තමයි.”

”ඔතැන තියෙන්නේ රාගය. ඔබ තවත් පව් පුරවා ගන්නවා. ඔබ නිර්මාල්ට අවංකව ම ආදරය කරනවා නම් ඊට වඩා තමන් වැදූ දරුවටත් ආදරය කරන්න එපායැ. ඔබෙන් එහෙම දෙයක් කියැවුණේම නැහැ. නිර්මාල් විතරක් නොවෙයි මේ සංසාර ගමනේ ඔබත් සමඟ ජීවත් වූ ස්වාමි පුරුෂයන් ලක්ෂ ගණනක් ඇති. ඒ විතරක් නොවෙයි තවත් බලු බළල්, ගව, ඇත්, අස් ආත්මවලත් ඉපදී සිටින්න ඇති. ඒවායෙත් ඔබ සමඟ ජීවත් වූ අය ඇති. මේ සංසාර ගමන ඒ තරම් දිගය. ඒ තරම් දුරයි. ඒ තරම් සංකීර්ණයි. ඒ නිසා ඔබේ දරුවාගේ අනාගතය ගැනත් හිතලා මේ පාපයෙන් මිදී දිව්‍ය සම්පත් ලබන්නත් අදහස් කැර ගෙන මේ අය අතහැර යන්න. මම කියන්නම් නිර්මාල්ට ගෙදර දානයක් දී ඔබට පින් අනුමෝදන් කරන්න ඔබ යන්න කැමැති කොහේටද? අනුරාධපුරයට ද? කතරගමට ද?”

මට දැන් හොඳට වැටහෙනවා. මමත් උගත් කෙනෙක්. මම ඉංජිනේරුවරියක්. දැන් සිටින දුක්ඛ දායක පහත් තත්ත්වය ගැන මට ලැජ්ජයි. මම පේරාදෙණියෙ මල්වත්තේ සල්ගහට යනවා.”

”ඇයි එහෙට යන්නේ?”

”නිර්මාලුයි මමයි ඉගෙන ගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. එයා වෛද්‍ය පීඨයෙ ඉගෙන ගත්තේ. මම ඉංජිනේරු පීඨයෙ ඉගෙන ගත්තේ. දවසක් නිවාඩු දවසක යාළුවොත් එක්ක අපි ඇවිදින්න ගිය වෙලාවක නිර්මාලුයි මමයි මුණගැහුණේ පළමුවෙන් දැන ඇඳින ගත්තේ ඒ සල්ගහ යටදි. මම එතනට යන්නම්. ඒ සුන්දර සිහිපත් කරමින් ඒ සල් ගහට වෙලා ඉන්නම්. සල් ගහේ මල් පිපිලා තියෙන ලස්සන දැක දැක එතනට වෙලා ඉන්නම්. සල්මල්වල සුවඳින් මම සතුටු වෙන්නම්. එහෙනම් මම යනවා මහත්තයා. මම යනවා නිර්මාල්. මම ආයෙත් කරදර කරන්නේ නෑ සන්ධ්‍යා. පුතාව හොඳට බලාගන්න.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: