Posted by: lrrp | October 29, 2012

මියගිය පොලිස් රාලහාමි‘කොත්තු’ කන්නට රෑ කඩේට එයි

වැස්ස ! වැස්ස !! වැස්ස !!!

උදයේ පටන් අතොරක් නැතිවම සිරි සිරි පොද වැස්ස පස්වරුවේදී අනෝරා වැස්සක් වී කඩාහැලෙයි. වේලාවක් අවේලාවක් නොබලාම ඇද හැලෙනා මහ වැස්ස රෑ මැදියම් වෙද්දී මංමාවත් පුරා දෙගොඩතලා යයි. තරුවක සලකුණක් හෝ නොමැති රාත්‍රියේ අහසම වැහි වලාකුළින් බරවී කෑලි කැපිය හැකි තරමට ඝනාන්ධකාරය වසා පැතිර පවතී. පස්වරුව ද කෙමෙන් ගෙවී යද්දී අතුරුගිරිය ප්‍රදේශයේ මහ මාවත ද ජනීජනයාගෙන් හීන වී තිබිය දී මහ කළුවර වසා පැතිරගත් නිසාවෙන් දෝ තනිමඟ යන්නකුට වුව කිසියම් පාලු සහගත බවක් තරමක ගුප්ත බවක් දැනෙයි. ඒ මූසල පාලුව වරෙකදී අහෝසි වී යන්නේ හිටිහැටියේ එක පෙළකට යනෙන වාහන කිහිපයක ආලෝකය ඇතිවී නැතිවී යාමෙනි.

අතුරුගිරිය නගරයට ජනයා බහුලව පෙනෙන්නේ දවස පුරාම නොවේ. රාත්‍රිය එළැඹෙද්දී මහ මාවත වුව දිස්වන්නේ ජනයා මඳ වශයෙනි. ඉතා සාමකාමී පෙදෙසකට හිමිකම් කියන අතුරුගිරිය හන්දියේ සිට රුක්මල්ගම දෙසට ඇදී යන මහමාවතේ වම් පස ඇත්තේ වෙල්යායකි. ඊට පෙනෙන මානයේ විසල් ගොඩනැඟිලි ද නැතිවා නොවේ. ඒ අතරමැද පිහිටි රෑ කඩය අහල පහල ගම් පළාත්වලට ද හොඳ හැටි හුරු පුරුදුය. රාත්‍රිය එළැඹී හෝරා කිහිපයක් ගතවී ගිය පසු නොවරදවා එහි දොරපළු විවර වන බව කවුරුත් පාහේ දනී. රෑ කඩයක පහසුව පෙනෙන්නේ රාත්‍රිය පුරා එහි ඇදී එන බොහෝ පිරිස නිසා ය.

රෑ පොඩි කඩයේ විවිධ ආහාර පාන අතර ඉඟුරු දැමූ ප්ලේන්ටිය රස බැලුවකුට නම් අමතක නොවේ. උණු උණුවේම ආප්ප, බිත්තර ආප්ප, මස්, බිත්තර කොත්තුවල රස දත් අයකු යළිත් එම මිහිර විඳීමට සොයා එන්නේ එතැනටමය. එහි පැමිණෙන්නවුන් සමඟ වචනයක් හෝ කතා කිරීමට සැදී පැහැදී පසුවන මුදලාලි මහත්මයා ද කාගේත් සිත් දිනා සිටියෙකි. දුර ඈත ප්‍රදේශයක පුද්ගලයකු වුවද මෙහි පැමිණ බදු මුදලක් යටතේ ගත් පොඩි කඩය ‘රෑ කඩයක්’ බවට පත්කරවීමෙන් යක්කු ගස් යන වෙලාවේ වුව රෑ කඩය ජනතාවට විවෘතය. එහි ආහාරපාන ගැන මැනවින් දැන සිටියවුන් රෑ කඩය පසුකර ආහාර නොගෙන ගියේ නැත. එහි මුදලාලි මහත්මයාගේ අත්උදව්වට සිටියේ ඔහු සිත දිනූ තරුණ පහේ පුද්ගලයෙකි. කොත්තු ආදී කෑම වර්ගවලට ඔහුගේ ‘අත්ගුණය’ ඇතැයි ද එහි යන එන්නවුන් තුළ ද විශ්වාසයක් තිබිණි. ඇද හැලෙමින් තිබූ මහ වැස්ස ද තුරල් වන විට මැදියම් රැයට ගොරබිරම් අඳුර කෑලි කපන තත්ත්වයට ඔසවා දමමින් තිබේ. මුදලාලි මහත්මයා සුපුරුදු ‘කැෂියර්’ පුටුවේ වාඩි වී කිසියම් කටයුත්තක නියැළී සිටියේය. කඩය ඇතුළතින් පෙනෙන ‘කර්ටන්’ එකකින් එහි අභ්‍යන්තරය ආවරණය කරයි.එහි පසුවනුයේ තරුණ කොත්තු බාස් උන්නැහේය. මුදලාලි විධානය දුන් සැණින් ඔහුගේ දෑත බොත්තම එබූ යන්ත්‍රයක් මෙනි. ඉන් සැණෙකින් පිටතට ඇසෙන්නේ ‘ටකට – ටක – ටකට – ටකට –චිරීස්..’ වැනි හඬකි. කාර්යයෙහි අලසයකු නොවූ නිසාම කොත්තු බාස් කෙරෙහි මුදලාලිට තිබුණේ මහත් ළැදියාවකි. ඔහුට මේ ගතවී යන රෑ මැදියම මහ දහවලක මෙනි. එළිවන තුරුම විවෘතව තබන රෑ කඩයට අරුණ උදාවෙද්දී ද බොහෝ කටයුතු තිබෙයි. කොතරම් වෙහෙස වුවද කොත්තු බාස් තවමත් ප්‍රබෝධවත් ඉරියව්වේමය.

තුරල්ව යන වැස්සේ ම එළියේ කළුවර අතරින් කඩයට ගොඩවූයේ පොලිස් නිලධාරියෙකි. ඔහු තුරුණුය. කාටත් සිත් පැහැද යන ප්‍රියමනාප ඇත්තෙකි. පොලිස් නිලධාරියා ගේ මුහුණ මුදලාලිට ද හොඳ හැටි හුරුපුරුදුය. ඒ මීට පෙර ද යම් යම් අවස්ථාවලදී කොත්තුවක් මිලදී ගැනීමට පැමිණ ඇති නිසාවෙනි. කොත්තුව සාදා දෙන තෙක් ඉඟුරු ප්ලේන්ටියක් තොලගානා ‘රාලහාමි’ වචනයක් දෙකක් හෝ තමන් සමඟ කතාකර ඇති බවත් මුදලාලිගේ මතකයට පැමිණිය ද එය අඳුරු සේයාවක් පමණි. කෙසේ නමුත් දැක පුරුදු රාලහාමි කැෂියර් අසුනේ පසු වූ මුදලාලි සමීපයට පැමිණ සිටගත්තේය. පැලැඳි නිල තොප්පිය ගලවා කිහිලි ගන්වා, නිල ඇඳුමේ තැවරී තිබූ වැහි බිඳු අතකින් ගසා ගත්තේය. එදෙස මුදලාලි සිනාමුසු මුහුණින් යුතුව බලා සිටියේය. ”මුදලාලි මට දෙන්නකෝ චිකන් කොත්තුවක්” රාලහාමි මුදලාලි දෙස බලා කීයේය.

”ළමයා – මේ අපේ රාලහාමිට හොඳට චිකන් කොත්තුවක් දාලා දෙන්ඩ. ඉක්මන් කරන්ඩ.” එසැණින් මුදලාලි උස් හ¼ඩින් කඩයේ ඇතුළත දෙස බලාගත්වනම එසේ කීයේය. ‘කර්ටන්’ එක මෑත්කොට බැලූ කොත්තු බාස් ‘හරී ඉක්මනට දෙන්නම්’ යැයි කියා කාරියට අත ගැසුවේය.

”අපේ රාලහාමි වාඩිවෙන්න” මුදලාලි රාලහාමි දෙස බලා කීවේය.

ගිනියම් වූ යකඩ තහඩු කැබැල්ල මතට කරපිංච, සුදු ලූනු ආදී කෑම රසගන්වන අඩුම කුඩුම ද අඩුවක් නෑර දැමූ විටදී ඉන් ‘චිරිස්’ හඬ නැඟිණි. චිකන් කොත්තුවකට ඇවැසි තවත් දේ දමා බාස් උන්නැහේ ගේ සුපුරුදු මෙවලමින් ‘ටකට – ටකට – ටක- ටකට’ යනුවෙන් හඬ නැඟෙද්දී කඩයට ආ තවත් දෙතුන් දෙනකු සමඟ මුදලාලි සිටියේ ගනුදෙනුවකය. මහ මාවත අද්දර රෑ කඩය වුවද මහ රාත්‍රිය නිසාදෝ පරිසරයම නිහැ¼ඩියාවක ගිලී ඇතිවා මෙනි. ඒ නිහැඬියාව වුව බිඳී යන්නේ බාස් උන්නැහේගේ කොත්තු ගැසීමෙනි. ”චිකන් කොත්තුව හරි – කෝ මුදලාලි රාලහාමි”?

කොත්තු බාස්උන්නැහේ වටපිට බැලීය. එහෙ මෙහෙ දිව පැන සොයන්නට තරමේ මහ ඉඩකඩක් එතුළ නැතිව ද කොත්තුව අත තබාගත්වනම පසුවූ හේ සොයන්නට විය.

”වාඩිවෙන්ඩ කියලත් මං කිව්වා නොවැ. ඕන් ඔතනින් වාඩිවුණා වගෙත් මට මතකයි. දැන් නෑනේ” කොහෙ ගියාද? කැෂියර් අසුන රත්වූ කලෙක මෙන් ඉන් මෑත් වූ මුදලාලි ‘රාලහාමි’යි වරක් මඳක් උස් හඬකින් කියාගෙනම අවට බැලීය. බාස්උන්නැහේ කඩයෙන් මිදුලට පැමිණ මහමඟ දෙපස ද බලා කඩයට විත් කීවේ ‘චිකන් කොත්තුව දාන්ඩ කියපු රාලහාමි පාරේවත් නැහැ’ කියාය.

මඳ සිනාවක් මුවට නඟාගත් මුදලාලි සිය අසුනේ යළි වාඩිවෙන්නට සැරසෙමින් හිටිවනම සිය මුහුණ අඳුරු කර ගත්තේ ය. දෑස් ලොකු කර ප්‍රශ්නාර්ථයෙන් මෙන් ‘ගෝලයා’ ගේ මුහුණ බලා සිටියේය. ඒ බැල්ම තවත් ඉවසා සිටිය හැකි නොහී හෙතෙම මුදලාලිගේ මුහුණටම එබී මෙසේ විමසුවේය.

”ඇයි – ඇයි මොකද මුදලාලි මුහුණ අමුතු වුණේ?” එහෙත් මුදලාලි නිහඬවම බලා සිටින්නාක් මෙනි. බාස්උන්නැහේ මුදලාලිගේ දෙවුර අල්වා සෙලවීය.

”මොකද – මොකද මේ මුදලාලි – මං දිහා ඔහොම බලා ඉන්නෙ?”

දිගු හුස්මක් ඉහළටම ඇදගත් මුදලාලි ගේ තොල කට සිඳී වියැළී ගියා සේ බාස්ට පෙනිණි. හේ බිරාන්තව බලා සිටියේය. මුදලාලි තමන්ට යමක් කීමට සැරැසෙන බවක් ද වැටහිණි. මුදලාලි අපහසුවෙන් වචන පෙළගස්වන්නට විය.

”ඒ .. ඒ ආපු රාලහාමි – ඔව්.. මට .. මට දැනුයි මතක් වුණේ.. ඒ රාලහාමි නේද මීට සති දෙක තුනකට ඉස්සලේල අර හන්දියෙ හදිසි අනතුරකින් නැතිවුණේ”

එපමණෙකි මුදලාලි සිහිසුන්ව බිම ඇද වැටිණි. බාස් උන්නැහේගේ සිත ද ගිනියම් වී ගතම අප්‍රාණිකව යන්නාක් මෙන් දැනී බිම හිඳ ගත්තේ ය. රාලහාමි ඇණවුම් කළ චිකන් කොත්තුව පසෙකට වැටිණි.

දුටු දසුනින් බියපත්ව කාටත් ප්‍රිය වූ මුදලාලි මහතා රෝගාතුර විය. යකැදුරන් ලවා තොවිල් පවිල් හා ශාන්තිකර්ම ද සෙත් ශාන්ති ද නොකඩවා සිදුකරන අතරේදී ඔහුගේ හිත දිනූ ගෝලයා ද නොයෙක් ශාන්තිකර්මවලට බඳුන් කැරිණි.

මෙම ආරංචිය තුඩ තුඩ ඇදී ගිය ද ඇතැමුන් පවසනුයේ එය හුදු කටකතාවක් බවය. තවත් අයවලුන් කියනුයේ එවැනි දේ සිදුවන, සිදුවිය හැකි බවය. හදිසි අනතුරකින් මැරුණු රාලහාමි ඔහුට සුපුරුදුව තිබූ රෑ කඩයට කොත්තුවක් ගැනීමට පැමිණි බව කියන කතාවට අනුව මෙහිදී කිව යුත්තක් තිබේ. ඇසට පෙනෙන ලෝකයේ බොහෝ දේ අප විසින් සොයාගෙන තිබුණ ද ඇසට නොපෙනෙන ලෝකයේ බොහෝ දේ සොයාගෙන නැත. මෙවැනිම කුතුහලය ද දනවන සැකයට ද බඳුන්වන අද්භූත කතා ඇතැම් අවස්ථාවල දී අප අසා ඇතිවාට ද සැක නැත. මේවායේ ඇති සැටිය පිළිබඳ වරක් නොව කීපවරක් සිතිය යුතුවේ.

කිව යුත්තක් තිබේ. බොහෝ දෙනා ඇසට නොපෙනෙන ලෝකයක කතා සිද්ධීන් අසන්නට දක්වනුයේ අසීමිත ආශාවකි. ඒ නිසාම ඇතැම් වකවානුවල දී එක් එක් ආකාරයේ සිද්ධීන් ද සමාජයේ අවධානයට ලක්විණි. දේව හාස්කමකින් රෝගීන් සුවපත් කිරීම්, දේව වරමින් නඩු හබ දිනවීම්, ලොතරැයි පත් දිනාදීම් ආදී නොයෙක් මාදිලියේ ‘ඇස්බැන්දුම්’ ද අප අතරට නොපැමිණියා නොවේ. ඒවා පසුපස යමින් රැවටිලි කාරයනට හසුවී තම පොකැට්ටුව බින්දුවටම හෙළා ගත්තවුන්ද නැතිවා නොවේ. අපේ ඇස් අප රවටන අවස්ථා ද නැතිවා නොවේ. කෙසේ නමුදු හරිහැටියට කිසිවක් නොවිමසා මනැසින් නොව මසැසින් සිතා බැලීමට වඩා කිසිවක් පිළිබඳ ඕනෑවට වඩා විශ්වාසයට නොගෙන සිටිය හැකි වෙයි නම් එයම නුවණට හුරු කාරියක්ම වනු ඇත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: