Posted by: lrrp | October 31, 2012

දේවතා එළි හොල්මන් ඡායාරූප ගත හැකිද?

කැමරාවේ සටහන්වන දේවතා එළි පිළිබඳවත්, විටින් විට කැමරාවේ සටහන් වන හොල්මන් සහ අවතාර පිළිබඳවත් කතා වලට වර්තමාන සමාජයේ විශාල ප‍්‍රසිද්ධියක් ලැබෙමින් තිබේ. පසුගියදා මහනුවර ප‍්‍රදේශයේ එක්තරා බාලිකා පාසලක අනතුරකින් මියගිය ශිෂ්‍යාවකගේ අවතාරය දක්නට ලැබෙන බවට මහත් ආන්දෝලනයක් ඇතිවූයේ එක් ඡායාරූපයක් පදනම් කර ගනිමිනි.

වැවක් අසලදී ගත් ඡායාරූපයක රාවණගේ දඩුමොනර යානය දක්නට ලැබුණු බවට ද පසුගිය දා විශාල ප‍්‍රචාරයක් ලැබිණි. එමෙන්ම පොහොය දිනවලදී හෝ ඇතැම් විට ධර්ම දේශනා පැවැත්වෙන ස්ථානයන්හිදී ගන්නා ඡායාරූපවල තැන තැන සුදු පැහැති හෝ කහ පැහැති පැල්ලම් ලෙස දක්නට ලැබෙන්නේ දේවතාවුන්ගේ ආලෝකය බව ද බොහෝ දෙනකුගේ මතය වී තිබේ.

ප‍්‍රසිද්ධ ඡායාරූප ශිල්පීන්ගේ  අත්දැකීම්

දැන් කැමරාව අතීතයේ මෙන් නොව ඉතාමත්ම සරල උපකරණයක් වී ඇත.  ඕනෑම කුඩා ළමයකුට වුව ද පහසුවෙන් හැසිරවිය හැකි ආකාරයේ තාක්ෂණික මෙවලමක් බවට කැමරාව පත්වූයේ ඩිජිටල් තාක්ෂණයේ ආගමනයත් සමගිනි. එය වඩාත් සංයුක්ත සරල කැමරාවක් බවට පත්ව තිබේ.

ඡායාරූප ශිල්පය වඩාත් සරළ වීමත් සංයුක්ත කැමරාව පැමිණීමත් සමගම දේවතා එළි සහ ඡායරූපයන්හි සටහන්වන හොල්මන් හා අවතාර ප‍්‍රමාණය විශාල වශයෙන් වැඩිවී තිබේ. සමාජයේ බොහෝ දෙනකු තම කැමරාවන්හි දේවතා එළි සටහන් වන බවත් විටින් විට අවතාර හා හොල්මන් ඡායාරූපයට නැගෙන බවත් මෙය කැමරාවේ දියුණුවත් සමග සිදුවූවක් බවත් දැඩි සේ විශ්වාස කරති.

නමුත් සිදුව ඇත්තේ නවීන ඩිජිටල් කැමරාව වඩාත් සරල සංයුක්ත උපකරණයක් බවට පත්කිරීමේදී ඇති තාක්ෂණික දෝෂ හේතුවෙන් මෙවැනි දේවතා එළි සහ හොල්මන් ඡායාරූපවල සටහන් වීමයි.

මේ පිළිබඳ අදහස් දක්වන වෘත්තීය ඡායාරූප ශිල්පියකු ලේඛකයකු සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රතිබිම්බ කලා අංශයේ බාහිර කථිකාචාර්ය ඉන්ද්‍රනාථ තේනුවර මහතා පවසන්නේ වර්තමානයේ බොහෝ දෙනකු ගන්නා ඡායාරූපවල සටහන් වන දේවතා එළි සහ අවතාර වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ සියල්ල සංයුක්ත කැමරා හේතුවෙන් හටගන්නා තාක්ෂණික දෝෂ සමූහයක් බවයි.

සරල සංයුක්ත කැමරා සහ වෘත්තීය මට්ටමේ කැමරා යනුවෙන් ඩිජිටල් කැමරා මූලික වශයෙන් කොටස් දෙකකට වෙන්කළ හැකිය. මේ කැමරාවලින් වෘත්තීය මට්ටමේ කැමරාවක කාචය විශාලය. එය ගලවා මාරු කළ හැකිය. එමෙන්ම එහි කෘත‍්‍රිම ආලෝක ප‍්‍රභවය හෙවත් ෆ්ලෑෂ් උපකරණය ද බාහිරින් සවිකළ හැකි සංකීර්ණ උපකරණයකි. නමුත් සරල සංයුක්ත කැමරාවක කාචය ඉතා කුඩා උපකරණයක් වන අතර කැමරාවටම සවිකළ කෘති‍්‍රම ආලෝක ප‍්‍රභවයක් ද එය සතුව තිබේ.

ඉන්ද්‍රනාථ තේනුවර මහතා පවසන්නේ සාමාන්‍යයෙන් මිනිසුන් ගැවසෙන ස්ථානයන්හි වායුගෝලයේ දුවිලි ප‍්‍රමාණය අධික බවයි. විශේෂයෙන්ම පිරිත් ගෙවල්, පිරිත් පැවැත්වෙන විහාරස්ථාන, පෝය දිනයේ විහාරස්ථාන, පෙරහර පැවැත්වෙන අවස්ථාවන්හි මිනිසුන් අධික ලෙස ගැවසෙන බැවින් සාමාන්‍ය වායුගෝලයේ අධික දුහුවිලි අංශු ප‍්‍රමාණයක් දක්නට ලැබේ. එමෙන්ම රාතී‍්‍ර කාලයේ වායුගෝලයේ ජල වාෂ්ප ප‍්‍රමාණය ද අධික වේ.

බෝධි වෘක්ෂයක් හෝ වෙනත් ගස් සහිත පරිසරයකදී සාමාන්‍ය ස්ථානයකට වඩා වැඩි ජල වාෂ්ප ප‍්‍රමාණයක් දක්නට ලැබීම විද්‍යාත්මක සත්‍යයකි.

මෙවැනි ස්ථානයක කම්පැක්ට් ඩිජිටල් කැමරාවක් හෙවත් සරල සංයුක්ත ඩිජිටල් කැමරාවක් භාවිතයේදී බොහෝ විට දේවතා එළි යනුවෙන් වර්තමානයේ හඳුන්වන විවිධ වර්ණයෙන් යුතු ආලෝක ලප ඡායාරූපයක දක්නට ලැබීම සාමාන්‍ය දෙයක් බවට පත්වේ.

එය තේනුවර මහතා විස්තර කරන්නේ මේ ආකාරයෙනි.

රාතී‍්‍ර කාලයේදී සෙනග ගැවසෙන එළිමහනේ විශාල දුවිලි ප‍්‍රමාණයක් අපට නොපෙනී තිබෙනවා. ඒ වගේම ජල වාෂ්ප ප‍්‍රමාණයත් වැඩියි. මේ වගේ තැනකදී අපි සරල සංයුක්ත කැමරාවක් හෙවත් කම්පැක්ට් ඩිජිටල් කැමරාවක් භාවිත කරලා ඡායාරූපයක් ගන්නා විට එය කරන්නේ කැමරාවේ ඇති සරලතම ක‍්‍රමවේදය වූ ඔටෝ හෙවත් ස්වයංකී‍්‍රය සැකැස්ම භාවිත කරමින්. මෙවැනි කැමරාවක කාචය ඉතාමත්ම කුඩායි. ඒ වගේම ස්වයංකී‍්‍රය කි‍්‍රයාත්මක වන කෘතිි‍්‍රම ආලෝක ප‍්‍රභවය හෙවත් කැමරාවේ ෆ්ලෑෂ් එක කි‍්‍රයාත්මක වූ විට බාහිර පරිසයේ තිබෙන දුවිලි අංශු වලට හා ජල වාෂ්ව වලට අර ආලෝකය වැදී එය පූර්ණ අභ්‍යන්තර පරාවර්ථනයට ලක්වනවා. එය කැමරාවේ සටහන් වන්නේ ආලෝක ලප හැටියට.

මේවා විවිධ වර්ණයන් ගන්නවා. කහ, රතු, නිල්, දම්, සුදු ආදී වර්ණ ගන්නවා. තවත් විශේෂත්වයක් තමයි මේ ලප විශාල කළවිට පෙනෙන්නේ මලක් වැනි හැඩයකින්. ඇතැම් විට මේවා සහමරු හිතනවා අර හඳේ හාවා මවාගෙන ඉන්නවා වගේ මිනිස් මුහුණු ආකාරයට. මේ දේවතා එළි නොවේ. දුවිලි සහ ජල වාෂ්ප වලට ක්ෂණික ආලෝක ප‍්‍රභවය පතිත වීමෙන් ඇතිවන දෝෂයක් මිසක් දේවතා එළි නොවේ.

වෘත්තීය ඡායාරූප ශිල්පීන් පවසන්නේ තමන්ගේ වෘත්තීය මට්ටමේ කැමරාවල මෙම දෝෂය ඇති නොවන බවයි. මේ පිළිබඳ පර්යේෂණයක් කළ තේනුවර මහතා වරක් තම නිවස පිටුපස ඇති වැසිකිළියක රාතී‍්‍රකාලයේ සිය වෘත්තීය මට්ටමේ කැමරාව සහ තම දියණිය සතුව ඇති සරල සංයුක්ත කැමරාව භාවිතා කරමින් එකම මොහොතේ ඡායාරූප දෙකක් ගෙන තිබේ.

අපි කැමරා දෙකෙන් එකම වෙලාවේ ඡායරූප ගත්තා. එතැන විශාල ජලවාෂ්ප ප‍්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම  දුවිලි සහිත පරිසරයක් තිබෙන්නේ. දුවගේ සරල සංයුක්ත කැමරාවේ අර දේවතා එළියැයි කියන ලප විශාල ප‍්‍රමාණයක් සටහන් වී තිබුණා. නමුත් මගේ කැමරාවට බය වෙලා එළි නිකුත් කරලා නැහැ. පොඩි කැමරාවකින් වැසිකිළියේත් දේවතා එළි පෙන්වන්න පුඑවන්.

වෘත්තීය ඡායරූප ශිල්පියකුවන විමුක්ති වීරතුංග මහතා පවසන්නේ ද සරල සංයුක්ත කැමරාවේ කුඩා කාචය හා එහි ඇති සරල කෘත‍්‍රිම ආලෝක ප‍්‍රභවය හේතුවෙන් රාතී‍්‍ර කාලයේ දී පරිසරයේ ඇති ජල වාෂ්ප හා  දුවිල අංශු ආලෝක ලප ලෙස කැමරාවේ සටහන් වන බවයි. හෙතෙම මෙසේ ද කීවේය.

මේ කුඩා කැමරා බොහෝ දෙනෙක් සාක්කුවේ දමාගෙන යනවා. ඒ වගේම නිකන් අතේ එල්ලාගෙන යනවා. ඒ තරමටම එය සරල උපකරණයක්. නමුත් මේවා වතුරට ප‍්‍රතිරෝධී නැහැ. ඒ නිසා රාතී‍්‍ර කාලයේදී හෝ  ඕනෑම වේලාවක මේ කැමරවල ඡායාරූපය ග‍්‍රහණය කරගන්නා සංවේදී පෘෂ්ඨයේ, කාචයේ හා ෆ්ලෑෂරයේ ජල වාෂ්ප සහ දහඩිය බැඳී තිබෙනවා. එවැනි අවස්ථාවක ගන්නා ඡායාරූපයේ අර වගේම ආලෝක ලප දක්නට ලැබෙනවා. මෙය හොඳින් පෙනෙන්නේ අඳුරු ස්ථානයක කෘත‍්‍රිම ආලෝකය භාවිතයෙන් ඡායාරූපය ගන්නා විට. නමුත් ඒ මොහොතේ ක්ෂණික ආලෝකයේ ඇති ප‍්‍රභලතාව නිසා ජල වාෂ්ප ඉක්මනින් නැතිවී යනවා. ඒ හේතුවෙන් දෙවැනි ඡායාරූපයේ මේ ආලෝක ලප දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ දෙනකු සිතන්නේ එතැන ගන්නා එක් ඡායාරූපයක් පමණක් ආලෝක ලප සටහන් වූ අවස්ථාවකදී එය සැබැවින්ම අපේ සාහිත්‍යයේ එන දේවතාවුන්ගේ එළි කියලා. දේවතාවුන් ඉන්නවා ද නැද්ද කියන දේ මම දන්නේ නැහැ. නමුත් මේ විදියට ඡායාරූපවල සටහන් වන්නේනම් දේවතා එළි නොවන බවනම් ස්ථිරයි.

වර්තමානයේ කතා බහට ලක්වූ ඡායාරූප අතරින් වඩාත් ආන්දෝලනාත්මක වූයේ මහනුවර බාළිකා පාසලක දක්නට ලැබෙනවායැයි කිය අනතුරකින් තුවාල ලබා මියගිය සිසුවියකගේ අවතාරයයි. මේ කතාවට පදනම වැටුණේ එක්තරා රාති‍්‍රයක එම ශාලාවේ ලැගුම්ගත් හෙදියන් පිරිසක් විසින් ගන්නා ලද එක් ඡායාරූපයකි. නමුත් මේ ඡුායාරූපය බොහෝ දෙනෙක් දැඩි සේ විශ්වාස කළහ. එහි එක් කකුලක් පෙනෙන්නට නොතිබීමත් මියගිය දැරියගේ පාදයකට දැඩි සේ හානි සිදුව තිබීමත් හේතුවෙන් මෙහි සත්‍යතාවක් ඇතැයි බොහෝ දෙනෙක් සිතන්නට වූහ. මිය ගිය දැරියගේ හානියට පත්ව තිබුණේ වම් පාදයටය. නමුත් මේ ඡායාරූපයේ සිටින අවතාරය යැයි කියන රූපයේ වම් පාදය පැහැදිලිව දක්නට ලැබේ.

ඉන්ද්‍රනාථ තේනුවර මහතා පවසන්නේ මෙය සරල සංයුක්ත කැමරාවකින් ඡායාරූපයක් ගැනීමේදී බහුලව දක්නට ලැබෙන දෝෂයක් බවයි.

ඔහු ඒ පිළිබඳ මෙසේ විස්තර කළේය.

අඳුරු ස්ථානයක ඡායාරූපයක් ගන්නා විට සාමාන්‍යයෙන් කැමරාව ස්වයංකී‍්‍රයව අඩු ද්වාර වේගයක් හෙවත් අඩු ෂටර් ස්පීඞ් එකක් භාවිත කරනවා. ඒ වගේම අඩු ආලෝකයක් ඇති ස්ථානයකදී  වැඩි ආලෝකයක් කැමරාවට ගැනීම සඳහා ස්වයංකීයවම කැමරාවේ කාච විවරයත් විශාල කරගන්නවා. ඒ වගේ වේලාවකදි ඇතැම් විට කාච ද්වාරය හෙවත් ෂටර් එක විවෘතව පවතින කාලය තත්පරයෙන් 15 එකක්, 10 න් එකක් පමණ හෝ ඊටත් වැඩි කාලයක් විය හැකියි. ඉතින් මේ වගේ වෙලාවට අපේ ශරීරයේ ඇති සාමාන්‍ය කම්පන, අත වෙවිලීම හෘද ස්ඵන්දනය ආදිය නිසා ඡායාරූපය යම් පමණකට වෙව්ලන ස්වරූපයෙන් සටහන් වනවා. එවැනි අවස්ථාවකදී යම් වස්තුවක් හෝ පුද්ගලයෙක් චලනය වූවානම් එය සටහන් වන්නේ බොඳවූ රූපයක් වගේ. ඇතැම් විට පුද්ගලයකුනම් හඳුනාගන්නටවත් බැහැ. මහනුවර බාලිකා පාසලේ අවතරායත් එවැන්නක්. එදින පැහැදිලිවම හෙදියන් රාතී‍්‍ර නවාතැන් ගත්බව සඳහන් වනවා. මේ ඡායාරූපයේ දක්නට ලැබෙන්නේ නිල ඇඳුමින් සිටි හෙදියක් ඡායාරූපය ගත් ස්ථානය හරහා ගමන් කළ මොහොතක්. කෙනෙක් ගමන් කරන විට එක් කකුලක් තත්තපර කිහිපයක් ස්ථාවරව පොළව මත තිබියදී අනෙක් පාදය ඔසවනවා. නැතිනම් එය යම් වේගයකින් චලනය වෙනවා. වැඩි වේලාවක් කැමරාවේ ස්වයංකී‍්‍ර දොර විවෘතව තිබීමත් විශාල කාච විවරයක් තිබීමත් හේතුවෙන් මේ චලනය වන පාදය ඡායාරූපයේ සටහන් වන්නේ නැහැ. ගමන් කරමින් සිටි තැනැත්තා හෝ තැනැත්තිය සටහන් වන්නේත් බොඳවූ රූපයක ආකාරයෙන්. සිදුවී ඇත්තේ මේ දෙය විනා මියගිය සිසුවියකගේ අවතාරයක් කැමරාවේ සටහන් වීම නොවේ.

මෙවැනි අපූරු සිදුවීමකට මුහුණ දීමට විමක්ති වීරතුංග මහතාට  සිදුව තිබේ.

අපි වනාන්තරයේ ඡායාරූප ගැනීම සඳහා වරක් යාල කැලයේ කඳවුරු බැද ගත්තා. එදා රාති‍්‍රයේ අපට තිබුණේ ලන්තෑරුම් කිහිපයක් සහ පත්තුකරපු ගිනි මැලයේ ආලෝකය පමණයි. අපිම රාතී‍්‍ර ආහාරය පිළියෙල කරගත්තා. මේ අවස්ථාවේ අපි කෑම පිළියෙල කරනවා කෑම කනවා ඡායාරූප ගත්තා. මගේ වෘත්තීය මට්ටමේ කැමරාවෙන් වගේම තවත් මිතුරකුගේ සරල සංයුක්ත කැමරාවකින් ඡායාරූප ගත්තා. දවස් දෙකකට විතර පස්සේ ගෙදර ආවායින් පස්සේ මගේ යාඑවා මහ කලබලයකින් මට කතා කරලා කියනවා අපි එදා රෑ කෑම කන වෙලාවේ කෑම හදපු භාජනයෙන් අවතාර කෑම ගන්නවා එයාගේ ඡායාරූපවල සටහන් වෙලා කියලා.

මම එයාට ඒ පින්තූර අරගෙන එන්න කියලා ඒවා පරීක්ෂා කළා. හොඳ වෙලාවට ඒ වෙලාවේ අපි දෙන්නම එකම තැන වාඩිවෙලා ඡායරූප අරගෙන තිබුණේ. මගේ ඡායාරූපත් එයාගේ ඡායාරූපත් එකට දාලා බැලූවම අපේ කණ්ඩායමේ හිටපු කට්ටිය කෑම බෙදා ගන්නා අවස්ථාව එයාගේ කැමරාවේ සටහන් වෙලාතිබෙන්නේ අවතාර කෑම බෙදා ගන්නවා වගේ. ඇයි එහෙම වෙන්නේ කියලා ඡායාරූප තාක්ෂණය නොදන්නා එයාට තේරුම් කරලා දුන්නේ බොහොම අමාරුවෙන්. මගේ කැමරාවේ හොඳට පේන රූප එයාගේ කැමරාවේ අඩු ද්වාර වේගය හා විශාල කාච විවරය නිසා සෙලවුණු අවතාර බවට පත්වෙලා. මේක අප තේරුම්ගත යුතුයි. මේ අවතාර නොවේ. කැමරාවල තාක්ෂණික ගැටලූ නිසා ඇතිවන දේ.

පසුගියදා ජනපි‍්‍රය වූ තවත් ඡායාරූපයක් වූයේ වැව් ඉස්මත්තකදී සටහන්වූවායැයි කියන රාවණගේ දඩු මොනරයයි. ඒ ඡායාරූපයේ ඇත්තේ කැමරාවට ඉදිරියෙන් ඉගිලී ගිය කුරුල්ලකු බව වෘත්තීය ඡායරූප ශිල්පීන් කොතෙක් පෙන්වාදුන්න ද ඇතැමුන් එය රාවණගේ දඩුමොනරය යැයි විශ්වාස කරනු ලැබුවා.

තේනුවර මහතා ඒ පිළිබඳ මෙසේ කීවේය.

දඩුමොනරයේයැයි කියන ඡායරූපය ගනිද්දී එම ශිල්පියා ෂටර් ස්පීඞ් එක භාවිතා කරල තියෙන්නේ තත්පරයෙන් 4000 න් එකක වේගයක්. ඒ කියන්නේ තත්ත්පරයෙන් 4000 කින් එකක වේලාවකදී කැමරාවේ ආලෝකය ඇතුඑ කරන දොර විවෘත වී වැහෙනවා. මේ දොර ඇරෙන්නේ පහළ සිට ඉහළට උඩ සිට පහළට ස්කෑන් වෙලා ඡායාරූපය ගොඩනැගෙනවා. මේ දත්ත අරගෙන තමයි කැමරාවෙන් ඡායාරූපයක් හැදෙන්නේ. කැමරාවට ඉදිරියෙන් වේගයෙන් පියඹායන කුරුල්ලකු වුවත් මේ ද්වාරවේගයේදී සටහන් වෙනවා. අංශක 25 ක් හෝ 30 ක පමණ කෝණයක් ඇතිව කැමරාව දෙසට එන කුරුල්ලෙක් හෝ බෝලයක් වුණත් කැමරාවේ සටහන් වන්නේ හීනි පැතලි වස්තුවක් හැටියට. එවිට එය පේන්නේ ජෙට් එකක් වගේ. ඉතින් රාවණගේ දේවල් විශ්වාස කරන අය හිතනවා මෙය දඩුමොනරය කියලා. නමුත් මේ ඡායාරූපයේ දක්නට ලැබුණේ කැමරාවට ඉදිරියෙන් වේගයෙන් පියඹා ගිය කුරුල්ලෙක්.

රාති‍්‍රයේ ආලෝකවත්ව ඇති දාගැබක ඡායාරූපයක් ගන්නා විට දාගැබ හා කැමරාව අතර ඇති විදුලි පහණක් ඇතැම් විට අහසේ ඇති ආලෝක ප‍්‍රභවයක් ලෙස දිස්වේ. ඡායාරූපයේ මෙය පෙනෙන්නේ අඳුරු අහසේ ඇති හඳුනානොගත් ආලෝකයක් ලෙසිනි. එය ඇතැම් විට වෙව්ලීම හේතුවෙන් අපහැදිලි හැඩයක් ලෙස දක්නට ලැබේ. බොහෝ දෙනකු සිතන්නේ මෙය ද දේවතා ගමන් කිරීමක් බවයි.

වෘත්තීය ඡායාරූප ශිල්පීන් මෙන්ම කැමරා පිළිබඳ තාක්ෂණික දැනුමක් ඇති අයගේ මතය වී ඇත්තේ කැමරාවන්හි සටහන් වන මෙවැනි ආලෝක ලප හා ආගන්තුක වස්තු මෙරට ඇති සංස්කෘතික මතවාද හා සම්බන්ධ කර විවිධ සංකල්ප ඉදිරිපත් කිරීමෙන් හා ප‍්‍රචාරයක් ලබාදීමෙන් සමස්ථ සමාජයම මිත්‍යාව වෙත තල්ලූකැර දැමීම ඛේදවාචකයක් බවයි.

(සටහන – මේ සම්බන්ධයෙන් තවත් මත තිබේනම් පළ කිරීමට අප සූදානම්ය.)

කී‍්‍රඩා පිටියක වැසි සහිත අවස්ථාවක ඡායාරූපයක්

උත්සව අවස්ථාවකදී රාති‍්‍රයේ ගත් ඡායාරූපයක් – මෙහි ලප ලෙස ඇත්තේ දුහුවිලිය

විහාරස්ථානයක බෝධියක් ළඟදී ගත් ඡායාරූපයක ඇති ආලෝක ලප

අදහස්(28) බැලූවෝ (7186)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: