Posted by: lrrp | October 31, 2012

සංවරය හොඳම ආරක්ෂාවයි

විචිත්‍ර ධර්ම කථික

පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි

ඈත අතීතයේ ජීවමාන බුදුරදුන් දවස දිනෙක කොසොල් රජු තමන්ට දියණියක් උපන්නා යැයි ඉතා කනස්සල්ලෙන්, දුකින් පසුවුණා. අප ගෞතම බුදුරජාණන් වහන්සේ රජු අමතා, මහ රජතුමනි, මේ ලෝකයට ගුණවත් වූත් ශ්‍රේෂ්ඨ වූත් දරුවන් දායාද කරන්නේ උතුම් වූ මවුවරුන්ම ය. දුක් නොවන්න. නුවණැති සිල්වත් කාන්තාව ඉතා උතුම් වන්නේ යැයි කාන්තාවක ගේ ගුණ, දියණියක ගේ වටිනාකම පිළිබඳව දේශනා කළා. ථේරි ගාථාවල සඳහන් වන්නේ කාන්තාව ඥානවන්ත නම්, සිල්වන්ත නම්, ධර්මය දකින්නට ධර්මය අවබෝධ කර ගන්නට ස්ත්‍රි බව බාධාවක් නොවන බවයි.

කට ඇති පුතත්, රුව ඇති දුවත් මවුපියන්ට ආශිර්වාදයකැයි යන කියමන අප අසා තිබෙනවා. ගැහැනු දරුවාත් පිරිමි දරුවාත් එකසේ වටිනා බව ඉන් ගම්‍ය වෙනවා. එහි රුව ඇති දුව නම් ශරීර වර්ණයෙන්, අඟ පසඟින් අගතැන්පත් තැනැත්තියකැ’ යි වරදවා වටහා ගත යුතු නොවේ. මොන තරම් සිත් ඇදගන්නා සුළු වූවත් අවිනීත නම්, අසංවර නම් අධාර්මික නම් එවැනි දියණියක් රුවැත්තියක නොවේ. ඇය මවුපියන්ට, සමාජයට තබා තමන්ටවත් ප්‍රියශීලී නොවේ.

ගැහැනු දරුවෙක් පළමු කොට තමන් ගැහැනු දරුවෙක් වීම ගැන අභිමානයක් ඇති කර ගත යුතුයි. ඒ අභිමානවත් චරිතයේ අභිමානය රැක ගන්නට ද සිතට ගත යුතුයි. ගැහැනු දරුවෙක් කුඩා කාලයේ පටන් ම ධර්මානුකූලව හැඩගැසිය යුතු සැටි බුදු දහමේ හොඳින් විස්තර කෙරෙනවා.

ජීවමාන බුදුරදුන් දවසත්, ඉන්පසුවත් අප ගේ ජීවිතයට ආදර්ශය ගත හැකි යහපත් කුළ කාන්තාවන් බොහෝ පිරිසක් සිටිනවා. පාසල් පෙළ පොතෙත් ඔබ ඉගෙන ගත් විශාඛාව ගේ චරිතය සිහිපත් කරන්න. ඇය සෝවාන් ඵලයට පත් වුණේ වයස අවුරුදු හතක තරම් කුඩා දැරියකව සිටියදී. අවබෝධයෙන් ම තිසරණ සරණ ගිය ඇය සිල්වත්කමින් වගේ ම නුවණින් ද අගතැන්පත් වුණා. ආගමානුකූල වීම ජීවිතයේ සතුටට බාධාවකැයි සමහර තරුණ දරුවන් කල්පනා කරනවා. ඒත් කුඩා කල සිටම ධාර්මික ජීවිතයකට නැඹුරු වූ, තෙරුවන් සරණ ගිය විශාඛා සිටු දියණිය මිගාර සිටු පුත් ධනංජය කුමරු සමඟ විවාහ වී යහපත් දරුවන් සමාජයට දායාද කරමින් වාසනාවන්ත විවාහ ජීවිතයක් ගත කළ සැටි ඇය ගේ චරිතාපදානයෙන් කියවෙනවා.

යොවුන් විශාඛාවන් දිනක් යෙහෙළියන් සමඟ දිය නා ආපසු එන මඟ මහා වැස්සක් ඇද හැළුණා. යෙහෙළියන් සියලු දෙනා ම සේවක සේවිකාවන් රැඳී සිටි ගිමන් හල වෙත දිව ගොස් වැසි දියෙන් බේරුණා.

“‘ඔබ මේ තරම් අනුවණ ද? ඇයි මේ මහ වැස්සට තෙමෙන්නේ” පිරිසේ කෙනෙක් විමසුවා.

“වැස්සෙන් තෙමුණ ඇඳුම් වියළා ගන්නට පුළුවන්. ඒත් මේසා පිරිසක් මැද තරුණියක් දිව ගියා නම් මොන තරම් අශෝබන ද?” ඇය පිළිතුරු දුන්නා. ගැහැනු දරුවෙකු මොන තරම් සංයමයකින්, විනීතකමකින් හැසිරිය යුතු ද යන බව මේ කතාවෙන් පැහැදිලි වෙනවා.

ඒත් අද අපේ තරුණ දරුවන් මෙවන් උතුම් චරිත පසෙකලා හරසුන් බටහිර චරිත ආදර්ශයට ගන්නවා. විශාඛාව මෙන් ම බන්දුල මල්ලිකා, සාමාවතී බිසව මොනතරම් සංවර, යහපත් කාන්තාවක් ද? ඒ අය සමාජයට මොන තරම් ආදර්ශවත් ද? එදා බුද්ධ කාලීන භාරතයේ වැරදි ආශ්‍රය නිසා ජීවිතය වරදා ගත් කාන්තාවන් ද සිටියා.

ඒ අතරින් විමලා නම් කාන්තාව ගණිකාවක්. අම්බපාලිය නගර ශෝභිනියක්. ඒත් බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණාව නිසා ඔවුන් ධර්මාවබෝධය ලැබ ජීවිතය යහපත් භාවයට පත් කරගත්තා. කලෙක සමාජයේ අපහාසයට හා සිනහවට ලක් වූ ඔවුන්ට ධර්මාවබෝධය ලැබීමත් සමඟ රජවරු පවා ගරු බුහුමන් කළා. මේ කතා පුවත් ඔබට කියන්නේ ජීවිතේ වැරදුන තැන් ගැන සිතමින් පසු තැවිලිවනවාට වඩා ප්‍රතිපත්තියක පිහිටා ඉදිරි ජීවිතය සැලසුම් කර ගන්නා ලෙසට යි.

ඔබ මෙතෙක් ඉගෙනීමේ කටයුතුවලට මුල් තැන නොදුන්නා නම් ගුරුවරුන් ගේ අවධානයට, සැලකිල්ලට ලක් නොවන්නට ඇති. දක්ෂ දරුවන් අතර පිළිගැනීමට ලක් නොවන්නට ඇති. යම් හෙයකින් අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දෙනවා වෙනුවට වැරදි ආදර්ශ නිසා ඔබ ප්‍රේම සම්බන්ධතාවයක පැටලී සිටිනවා විය හැකියි.

මෙතැන් සිට ඔබ කළ කී දේ ගැන අවධානය යොමු කරන්න. යථාර්ථය තේරුම් ගෙන ඉලක්කයකට, ප්‍රතිපත්තියකට අනුව කටයුතු කරනවා නම් ඔබ වෙතින් දුරස් වූ සියලු දේ නැවත ඔබ වෙත ළඟා කරගන්නට පුළුවන්. ඉගෙනීමට මුල් තැන දෙන්න. පොත පත අධ්‍යයනයට මුල් තැන දෙන්න. ඔබ දක්ෂ දරුවෙක් වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි ය. හැඟීමට මුල් තැන දෙනවා වෙනුවට බුද්ධියට මුල් තැන දෙන්න. ප්‍රේම සම්බන්ධතා පවත්වන්නට ඔබට අනාගතයේ ඕනෑ තරම් කාලය තිබෙනවා. ඒ සියල්ල අනාගතයට බාර දී අද අධ්‍යාපනයට මුල් තැන දෙන්න.

අද ගැහැනු දරුවන් සමාජයේ සුවිශේෂී අවධානයකට ලක් වෙනවා. ඔවුන් මුහුණ දෙන දුෂ්කරතාවයත්, සෞඛ්‍ය හා පෝෂණ ගැටලු මේ ආදී සියල්ල ගැන සලකමින් පසුගියදා ගැහැනු දරුවන් ගේ දිනයක් ද ප්‍රථම වතාවට ප්‍රකාශයට පත් කෙරුණා. සියලු දෙනාගේ සැලකිල්ල ඇය වෙත යොමු වන්නේ ඇය සමාජයේ ඉහළ වටිනාකමක් දරන නිසයි. සමාජයේ වගකිව යුතු වැඩිහිටියන් ගේ අවධානය එසේ යොමු වෙද්දී ගැහැනු දරුවා වෙතින් ද යම් වගකීම් කොටසක් ඉටු විය යුතුයි.

වර්තමානයේ සිඟිති දැරියන් පවා කාමාතුරයන්ට ගොදුරු වන අවස්ථා අපිට කොතෙකුත් අසන්නට, දකින්නට ලැබෙනවා. ඒවායෙන් ආරක්ෂා කරගන්නට මවුපියන්ට ඇය පසු පස්සේ ම සිටිය නොහැකියි. ඒත් සංවරකම ආරක්ෂා කරගන්නවා නම්, නුවණින් කටයුතු කරනවා නම් ගැහැනු දරුවකුට ඒ අපරාධකාරයින්ට ගොදුරු වීමේ අවස්ථා මඟහැර ගන්නට පුළුවන්. අතීතයේ අපේ රටේ ස්වර්ණාභරණයෙන් සැරසුණු රූමත් කාන්තාවක් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා තනිව ගමන් කළත් ඇයට අතවර කරන්නට කිසිවෙක් ඉදිරිපත් නොවුණේ එදා කාන්තාව තුළ තිබූ සංවරශීලී බව නිසයි. අපේ ගැහැනු දරුවන් මේ බව අවබෝධ කරගෙන කටයුතු කරනවා නම් විපත් බොහොමයකින් බේරී සිටින්නට පුළුවන්.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: