Posted by: lrrp | November 8, 2012

නංගිලා නිසා මටයි කරදර වුණේ

මිනිසා ගේ මනසෙහි ගොඩගැහී ඇති සංස්කාරයන් අතිශය වශයෙන් ම ලෝභ, ද්වේශ, මෝහයන්ගෙන් යුක්ත ය. සිය ආධ්‍යාත්මය දියුණු කැර ගැනීමට වීර්යයෙන් කටයුතු කරන යෝගීහු මේවා මනසික් මුලිනුපුටා දැමීමට භාවනාව උපයෝගී කර ගනිති. නාම ලෝකයක් වූ මේ මිනිස් ලොව ඇලීම හා ගැටීම උපාදාන කොට ගෙන ජීවත්වන මිනිසා මරණයේ දී භෞතික ශරීරය අතහැර යන්නේ ද ඒ සංස්කාරයන් පොදි බැඳගෙන ය.

යළිත් මිනිස් භවයක හෝ තිරිසන් භවයක නූපදින එවැනි සත්ත්වයන් දරන්නේ අපේ පියවි ඇසට නොපෙනෙන සියුම් ශරීරයන්ය. අධික වූ ආශාවන්ගෙන් හා තරහ අමනාප ද්වේෂයන් බහුලව ජීවත් වූ අය මරණයෙන් පසු සියුම් ශරීර දරන විට අපි ඔවුන්ට යක්ෂයෝ ය, ප්‍රේතයෝ ය ආදී නම්වලින් හඳුන්වමු. ඔවුන් සමහර විට හොල්මන් අවතාර වශයෙන් ද කටයුතු කරති. තවත් සමහරු මනුෂ්‍යයන්ගේ ශරීරවලට රිංගා ගෙන යම් යම් ක්‍රියාකාරකම්වල යෙදෙති.

”ඔය මැරිච්ච අය යක්ෂයෝ ප්‍රේතයෝ අපට මොනවා කරන්නද? කව්ද ඕවාට බය. ඕවා මනෝ විකාර යැයි සමහරු මේවා ගැන උපහාසයෙන් කතාකරති. සෘධි බලයෙන් අග තැන්පත් වූ ද අග්‍ර ශ්‍රාවක වූ ද මුගලන් මහ රහතන් වහන්සේගේ කුස තුළට මාරයා රිංගා ගෙන ආබාධයක් ඇති කළ බව මජ්ඣිම නිකායේ මාර තජ්ජනීය සූත්‍රයෙහි සඳහන් වේ. බුද්ධ කාලයේ ම රහත් තෙර නමක් පිණ්ඩපාතයේ වඩින විට මාරයා ළමයින්ට ආවේශ වී උන් වහන්සේට ගල් ගැසූ බව ද සඳහන් වේ. බුදුරජාණන් වහන්සේට වේරඤ්ජා නුවර වස්වසන ලෙස ආරාධනා කොට වස්වැස වූ බමුණාට මාරයා ආවේශ වී උන් වහන්සේට දානය වැරැද්දූ බව ද කියැවේ. එසේ නම් මේ පෘථග්ජන මිනිසුන් වන අප ගැන කියනුම කවරේද?

අතීතයේ මෙන් ම වර්තමානයේ ද මනුෂ්‍යයන් ගේ ශරීර තුළට පහත් මට්ටමේ භූතාත්ම රිංගා රෝගාබාධ ඇති කරන බව නිතර නිතර වාර්තා වේ. මොවුන් පලවා හැරීම සඳහා විවිධාකාරයේ ශාන්තිකර්ම කරනු සෑම රටකින් ම පාහේ සිදු වේ. බෞද්ධ රටවල බෝධි පූජා පිරිත් වැනි බෞද්ධ පිළිවෙත් සිදු කරති. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලින් භූතයන් බියගන්වා දඬුවම් කොට පන්නා දමති. ආතුරයින්ගේ දෛනික චර්යාවන්ගේ අඩුපාඩු නිසා ද ආරක්ෂාවල දුර්වලකම් නිසාද පන්නා දැමූ භූතයෝ වෛර බැඳ සිට යළිත් පැමිණ තිබුණාටත් වඩා අපල උපද්‍රව කරති. බෞද්ධ පිළිවෙත්වලින් දන් පැන් දී පින් අනුමෝදන් කොට භූතාත්ම උසස් තලවලට පත් කරති. එවිට ඔවුන් යළිත් උපද්‍රව නොකරති. ආශිර්වාද කරති.

ආශාවන්ගෙන් හා තරහ මරණින් මිය ගිය අයගේ භූතාත්ම මෙන් ම තමන්ගේ වගකීම් යුතුකම් හරි හැටි ඉටු කරන්නට නොහැකිව මියගිය අය ද ඒ බැඳීම් නිසා පවුලේ අයගේ ශරීරවලට රිංගා තම අවශ්‍යතා ඉටු කැරගන්නට උත්සාහ කරති. මේ එවැනි කතාවකි.

චාමරී කෑගල්ල ප්‍රදේශයේ තරුණියකි. බෙල්ලේ වේදනාවකුත් දරුණු හිස රදයකුත් වැලඳී පීඩා විඳි ඇය රාත්‍රි හීනෙන් බිය වී කෑ ගසන්නට වීම නිසා මහත් පීඩාවකට පත්ව සිටියාය.

ඊට අමතරව රාත්‍රි නිවසේ සද්ද බද්ද ඇසෙන්නට වීමත්, කවුදෝ කෙනෙකු රාත්‍රි කළුවරේ නිවසේ කාමරවල ඇවිදින අඩි සද්දයක් චාමරීටත් දෙමවුපියන්ටත් මහත් බියක් ඇති කළේය. වෛද්‍ය ප්‍රතිකාරවලින් චාමරීට සුවයක් නොලැබීම නිසාත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලින් නිවසේ පැවති අඩිකෝඩ අඩු නොවීම නිසාත් දෙමව්පියෝ චාමරී කැටුව ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියහ.

එහි දී ගවේෂකවරයා ආධ්‍යාත්මික ශක්තියෙන් චාමරීගේ ශරීර ගත දොස් අවදි කළේය. චාමරීගේ ශරීරය වෙව්ලා ගොස් ගුප්තාත්මයක් කතා කරන්නට විය.

”මේ කව්ද?”

”මම චාමරීගේ අය්යා”

”නම මොකක්ද?”

”සුගත්”

”සුගත් දැන් කොහේද ඉන්නේ?”

”නංගිගේ ඇඟේ”

”ඇයි මේ නංගිට කරදර කරන්නේ?”

”මම කරදර කරන්නේ නෑ. නංගිලා නිසා මට කරදරයක් වුණා”

”ඒ මොකක්ද?”

”අම්මයි නංගියි නිසා මට එල්ලිලා මැරෙන්න සිද්ධ වුණා”

”ඒ කොහොමද?”

”මම ගෑනු ළමයෙක් එක්ක යාලුවෙලා හිටියා. එයාගෙ නම සේපාලිකා. අවුරුදු හතරක් ආශ්‍රය කළා. මම එයාව විවාහ කරගන්න පොරොන්දු වෙලයි හිටියේ. ඒකට මේ දෙන්නා විරුද්ධ වුණා. මට නිතර නිතර කරච්චල් කළා. මම සේපාලිකාව කසාද බැන්දොත් අම්මා වස බොනවයි කීවා. දවසක් මේ දෙන්නා සේපාලිකා මුණගැහෙන්න ගිහින් ඉතාම කැත විදිහට අපහාස කැර බැණල ඇවිත් තිබුණා. එදා මම සේපාලිකා බලන්න ගියා ම එයාට මා එක්ක කතාකැර ගන්නවත් බැරිවුණා. ඇඬුවා .. ඇඬුවා. වැළහින්නියක් වගේ අඬා වැලපුණා.

මම ගෙදර ඇවිත් නංගිටයි අම්මටයි දොස් කීවා ඒ ළමයට අපහාස කර බැන්නේ ඇයි කියලා. ඒ සැරේ මේ දෙන්නාම මට බනින්න පටන් ගත්තා. ‘උඹට අපිට වඩා ඒ …. කෙල්ලව ලොකු වුණාද?’ කියලා. බැණිල්ල නතරවුණේ ම නෑ. එදා රෑ නිදාගන්න ලැබුණෙත් නෑ දෙන්නා තරගෙට වගේ බැන්නා. එළිවෙන ජාමෙ තමයි ඒ දෙන්නගෙ බැනිල්ල නතර වුණේ. මට ඉවසා ගන්න බැරි වුණා. හෙමින් සැරේ මිදුලට බැස්සා. ළිඳට දාන කඹය ලිහා ගත්තා. මිදුලෙ තිබුණු අඹ ගසේ අත්තක කඹය ගැටගහලා බෙල්ලට පුඬුව දාගෙන පහළට බැස්සා. එච්චරයි මතක.”

”ඉතින් දැන් ඔය දුක් වින්ද ඇති. තවත් මේ අයට කරදර නොකර මේ ශරීරයෙන් ඉවත්වෙලා යන්න”

”බැහැ .. බැහැ.. මට ප්‍රශ්නයක් තියෙනවා. ඒක කියලා යන්නයි මෙච්චර දවස් උත්සාහ කළේ. මේ ස්ථානයේදී මට කතා කැරගන්න ශක්තියක් ලැබෙනවා. මගේ ප්‍රශ්නය කියලා යන්න ඕනෑ. එතකොට මගේ හිත නිදහස්”

”ඉතින් කියන්න ඔබට ඕනෑම දෙයක් කියන්න මෙතැන අවසර තියෙනවා.”

”අවුරුදු පහකට කලින් මට සේපාලිකා එක්ක කොළඹ යන්න වුවමනාවක් තිබුණා. මගේ ළඟ එදා සල්ලි තිබුණෙ නෑ. අම්මා මා පුංචි කාලෙ මගේ කරට දාපු රත්තරන් පංචායුධය මා ළඟ තිබුණා. ඒක උකස් කරලා රුපියල් හාරදහසක් අරගෙනයි කොළඹ ගියේ. ඒ පංචායුධය දැන් රුපියල් විසිපන්දහසක් විතර වටිනවා. මම ඒක බේරාගන්න ගියා. උකස්කාරි මුණගැහිලා පොළියත් එක්ක සල්ලි දීලා මගේ පංචායුධය ඉල්ලුවා. ඒ ගෑනි ඒක මට දුන්නේ නෑ. මට ඒ ගැන දුකයි.”

”කවුරුන් ළඟ ද උකස් තිබ්බේ?”

”කෑගල්ලේ වයලට් කියලා ගැහැනියක් ළඟ”

”පංචායුධය බේරා ගන්න ගියා ම වයලට් මොකද කිව්වේ?”

”එහෙම එකක් මගේ ළඟ නෑ. මට මතකත් නෑ කියලා කිව්වා”

”ඉතින්?”

”ඉතින් මම මේකට හරිම හිතේ අමාරුවෙන් හිටියේ. පොළියත් එක්ක සල්ලි දීලත් බේරාගන්න බැරිවීම ගැන”

”දැන් ඉතින් මොකක්ද කරන්න හිතාගෙන ඉන්නෙ?”

”මහත්තයා! මට අවසර දෙන්න වයලට්ගෙ ගෙදරට ගිහින් කියන්න”

”හොඳයි ඊට කලින් සුගත් ආධ්‍යාත්මිකව ශක්තිමත් වෙන්න ඕනෑ. දැන් ඔබ ප්‍රේත ජීවියෙක්. මම සුගත්ගෙ අම්මටයි නංගිටයි දැන් උපදෙස් දෙනවා ගමේ පන්සලේ බෝධීන් වහන්සේ ළඟ බෝධි පූජා විසි එකක් තියන්න කියලා. විසිදෙවැනි දවසේ පන්සලට දානයක් පිරිනමා පැන් වඩා සුගත්ට පින්දෙන්න කියා. අන්න එදා හැන්දෑවට සුගත් යන්න වයලට් හොයාගෙන”

චාමරීටත් අම්මාටත් බෝධි පූජා විසිඑක පැවැත්විය යුතු ආකාරය පිළිබඳ ගවේෂකවරයා උපදෙස් දුන්නේය.

බෝධි පූජාව පවත්වන්නට පෙර බෝ මළුවත්, මල් ආසනයත් සුද්ධ පවිත්‍ර කරන ලෙස ද ඒ අතරතුර සුගත් ජීවත්ව සිටිය දී කරන ලද යහපත් වැඩ පින්කම් පිළිබඳ කතාබස් කරන ලෙස ද මොනම හේතුවක් නිසාවත් සේපාලිකා ගැනවත්, සුගත්ගේ සියදිවි හානිකැර ගැනීම ගැනවත් කතා නොකරන ලෙස ද උපදෙස් දුන්නේය.

ඒ අනුව ඔවුන් බෝධි පූජා විසි එක පවත්වා දානය පිරිනමා සුගත්ට පින් අනුමෝදන් කළහ.

පසු දින සෙනසුරාදා දිනයකි. ඉරිදා චාමරිත් අම්මාත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණියහ. එදින ද චාමරී ප්‍රලය වූවාය.

”මේ කව්ද චාමරීගෙ ඇෙඟ් ඉන්නේ”

”මම සුගත්”

”ආ.. කොහොමද සුගත් දැන්”

”මහත්තයා මම දැන් නිදහස්, හිතේ තිබුණු ගැටලුව විසඳුණා”

”කොහොමද ඒක සිද්ධ වුණේ?”

”ඔය අම්මගෙන්ම අහගන්නකෝ මොකද වුණේ කියලා”

”මොකද අම්මේ වුණේ?”යි ගවේෂකවරයා චාමරීගේ අම්මා ඇමතීය.

”මහත්තයා අපි බෝධි පූජා විසි එක තිබ්බා. ඒ බෝධි පූජා තියන කොට දුවගෙ අසනීප ගති ටික ටික අඩුවුණා. බෝධි පූජා අවසන් වුණේ බ්‍රහස්පතින්දා. සිකුරාදා පන්සලට දානය ගෙනිහින් පූජා කර පුතාට පින් දුන්නා. සෙනසුරාදා උදේ අර වයලට් කියන ගෑනු කෙනා අපේ ගෙදරට ආවා. බොහොම බයෙන් වගේ ආවේ. (මේ අවස්ථාවේ චාමරීට ආවිෂ්ට වී සිටි භූතාත්මය හඬ නඟා සිනාසෙන්නට විය.)

වයලට් ගැහි ගැහී ඇවිත් “මෙන්න ඔයගොල්ලන්ගෙ පුතා මා ළඟ උකස් කර තිබුණු පංචායුධය” කියලා පංචායුධය මගේ අතේ තියලා පස්ස නොබලා ඉක්මනින් යන්න ගියා”යි චාමරීගේ මව කීවාය. පංචායුධය ද ගවේෂකවරයාට පෙන්නුවාය.

”එදා රෑ මම වයලට්ව බය කළා. මගේ පංචායුධය කෝ කියලා බෙල්ල මිරිකුවා. ගෑනි මරහඬ දීලා කෑගැහුවා”යි භූතාත්මය සිනාසුණේය.

”පංචායුධය බාර ගත්තාට වයලට්ගෙ සල්ලි ආපහු දුන්නාද?”

”නෑ මහත්තයා ගෑනි පංචායුධය මගේ අතේ තියපු ගමන් පස්ස නොබලා අඩියට දෙකට යන්න ගියා”යි මව කීවාය.

”එහෙම හොඳ නෑ. ඔය පංචායුධය පවුම් බාගයක් විතර වෙනවා. දැන් රුපියල් විසිපන්දහසකට වඩා වටිනවා. වයලට් ගෙන් ගත්ත රුපියල් හාර දහස වෙනුවෙන් රුපියල් පන්දහසක් වයලට්ට ගිහින් දෙන්න” යැයි උපදෙස් දුන්නේය.

”අම්ම මගේ කරට දාපු පංචායුධය ඔන්න. මම දැන් නිදහස්. මම යනවා මහත්තයා යන්න”

”කොහේද සුගත් යන්නේ?”

”මම ඔහේ පාවි පාවී ඉන්නවා. මම යන්නම්. මහත්තයාට පින් සිද්ධ වේවා”යි භූතාත්මය ඉවත්ව ගියේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: