Posted by: lrrp | November 8, 2012

මං ආවේ සුබානි මගේ ලෝකෙට ගෙනියන්නයි

මිනිසා තනි තනිවත් තවත් අය සමඟත් රහසේ යම් යම් කටයුතු කරයි. කිසිවෙකුට මේ වැඩ නොපෙනෙතැයි ඉතා ආරක්ෂා සහිතව රහසිගතව වැරදි වැඩ අසාධාරණකම් සිදු කළත් ඒවා විශ්වයට රහස් නොවේ. අපේ පියවි ඇසට නොපෙනෙන ලෝකයේ සිටින ජීවීහු මේ සියල්ල දකිති. බලා සිටිති.

නාලිනී හා සුනිල් යටියන්තොට ප්‍රදේශයේ පදිංචි තරුණ යුවළකි. දොළොස් හැවිරිදි සුබානි මේ පවුලේ වැඩිමහල් දියණියයි. ඇය හිටි හැටියේ නින්දෙන් කෑ ගසන්නටත් දෙමළෙන් බනින්නටත් වූවාය. හිටි හැටියේ සිහිසුන්ව වැටී දඟලන්නටත් වූවාය. දෙමළෙන් කෑ ගසන අතර “සෙල්වම්… සෙල්වම්” යැයි ද හඬ නගා පවසන්නට වූවාය. එසේ ම ඇය නාන්නට ද මහත් අකමැත්තක් දැක් වූ අතර වතුර දකින්නට ද අකමැත්තක් දැක්වූවාය.

අවුරුදු තුනක කාලයක සිට පවතින මේ තත්ත්වය වෛද්‍යවරුන් කරා ගෙන ගොස් පෙන්වුව ද ඇයට කිසිදු රෝගයක් නැතැයි වෛද්‍යවරුන් ගේ නිගමනය විය. මේ ගෙදර කිසිවෙකුට දෙමළ කතා කරන්නට නොහැකි අතර සුබානිට ද දෙමළ කතා කරන්නට නොහැකිය. ඇය රාත්‍රි නින්දෙන් දෙමළෙන් කෑ ගැසීමත්, සිහිසුන්ව වැටී නැගිට ගත් විට මෙසේ දෙමළෙන් කෑ ගැසීමත් පවුලේ අයට පුදුමයක් විය. වෛද්‍ය ප්‍රතිකාරවලින් වෙනත් පිළිවෙත්වලින් කිසිදු සුවයක් නොලද බැවින් මේ මවුපිය දෙදෙනා ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට දියණිය කඳවාගෙන ආවේ ආධ්‍යාත්මීය ප්‍රතිකාර ලබා ගැනීමට ය. එහි දී සුබානි ප්‍රලය වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

“කව්ද මේ?”

“මම සීලන්”

“සීලන් කියන්නේ කව්ද?”

“මේ සුබානිගෙ තාත්තා”

“ඒ කොහොමද එතකොට මේ සුනිල්?”

“ඒක ටිකක් දිග කතාවක්. ඒ කතාව මහත්තයා අහනවානම් ඒකත් මට සැනසිල්ලක්.”

“ආ… එහෙනම් කියමු බලන්න”

“මහත්තයා මම සීලන්. මේ නාලනීල පදිංචි ඉඩමට අල්ලපු කොම්පැණි වත්තේ ලැයිමේ පදිංචි වෙලා හිටියෙ. මම නිතර නාලනීලගෙ ගෙදරට එනවා. නාලනීලගෙ ගෙදර අය හොඳට කුඹුරු ගොවිතැන් අයිතිකාරයෝ. මමත් ඒවයෙ වැඩට එනවා. ඒ අතරෙ නාලනී මට හිතවත් වුණා. මට හොඳට සැලකුවා. අන්තිමේ මා එක්ක යාළු වුණා. ගෙදර අනිත් අය නැති වෙලාවටත් මම ඒ ගෙදරට ආවා ගියා. ඔය අතරෙ නාලනී මා නිසා ගැබ් ගත්තා. නාලනී අඬන්න හිටියා එයාව කොහේ හරි අරගෙන යන්න කියලා. මගේ යාළුවෙක් හිටියා බදුල්ලෙ වත්තක. මම නාලනීව හොරෙන් ම එහෙට අරගෙන ගිහින් කසාද බැන්දා. මගේ යාළුවා සෙල්වම්. සෙල්වම් හිටිය ලැයින් කාමර පේළියෙ එක කාමරයක් හිස්ව තිබුණා.

සෙල්වම් වත්තෙ ලොකු මහත්තයට කියලා ඒ ලැයින් කාමරය මට අරන් දුන්නා. ඒ වත්තෙ ම වැඩ කරන්න රස්සාවත් අරගෙන දුන්නා. අපි සන්තෝසෙන් මාස තුනක් හිටියා. නාලනීලට වගේ සැප පහසුකම් නොතිබුණත් අපි දෙන්නා ආදරෙන් සන්තෝසෙන් ජීවත් වුණා. කොහොම හරි නාලනීලගෙ ගෙදර අය දැන ගෙන තියෙනවා අපි බදුල්ලෙ වත්තෙ ඉන්න බව. සමහර විට අපේ ම දෙමළ මිනිහෙක් කියන්න ඇති මගේ යාළුවෙක් බදුල්ලෙ ඉන්නා බව. නාලනී ගෙ තාත්තයි අය්යලා දෙන්නයි කාර් එකකින් වත්ත හොයාගෙන බදුල්ලට ආව. කාර් එක වත්තෙන් පිට නතර කරලා මේ තුන් දෙනා ලැයින් කාමරය හොයා ගෙන ඇවිත්. නාලනී විතරයි ලැයින් කාමරේ ඉඳලා තියෙන්නෙ. මම අල්ලපු ඩිවිෂන් එකේ වැඩට ගිහින්. තාත්තයි අයියල දෙන්නයි නාලනීව බලෙන් ම ඇදගෙන ගියා.

ලැයිමේ පොඩි කොල්ලෙක් මම වැඩ කරන තැනට දුවගෙන ඇවිත් පණිවුඩේ කිව්වා. මම දුවගෙන ආවා. මම එනකොටත් නාලනීව ඇදගෙන යනවා. මම නාලනී… කියලා කෑ ගහගෙන ආවා. නාලනීගෙ අයියා කෙනෙක් පොල්ලක් කඩා ගෙන මට ගහන්න ආවා. නාලනී කෑගැහුවා, “අනේ සීලන් ඔයා දුවලා බේරෙන්න” කියලා. ඉතින් මම ආපහු දිව්වා. නාලනීගෙ අයියා මගේ පස්සෙන් “තෝව මරනවා” කියලා පන්නගෙන ආවා. මම දුවගෙන ඇවිත් වත්තේ දොළ පාරෙන් එගොඩ පැත්තට පැන්නා. මම අඩිය තියපු ගලෙන් මාව ලිස්සලා වැටුණා. මගේ ඔළුව ඒ ගලේ වැදුණා. මම සෙල්වම්… සෙල්වම්… කියලා කෑ ගැහුවා. මට මතක එච්චරයි. මාව ඉහළට ඇදිලා ගියා.

ඊට පස්සෙ මම ඔහේ පා වෙවී හිටියා. කාලෙකට පස්සෙ වත්තෙ කෝවිලේ උත්සවයක් තිබුණා. මම එතනට ඇදිලා ආවා. ඒ ආවෙ නාග සළං සද්දේ දිගේ. එතනට සෙල්වමුත් ඇවිත් හිටියා. මම සෙල්වම්ට කතා කළා. ඒත් සෙල්වම්ට ඇහුණෙ නෑ. මම සෙල්වම්ගෙ අතින් අල්ලලා කතා කළා. ඒත් සෙල්වම්ට දැනුණෙවත් නෑ. කෝවිලේ උත්සවෙන් පස්සෙ සෙල්වම් ලැයිමට ගියා. මමත් සෙල්වම් එක්ක ගියා. සෙල්වම් ලැයින් කාමරේට ගිහින් දොර වහා ගත්තා. මම කලින් හිටපු ලැයින් කාමරේට ගියා. ඒකෙ දොර වහලා තිබුණා. අන්න එතකොට මට නාලනීව මතක් වුණා.

එදා ඉඳලා මම නාලනීව හොය හොයා ඇවිද්දා. අවුරුදු ගණනකට පස්සෙ නාලනීව මුණ ගැහුණා. මම නාලනී… නාලනී… කියල කතා කළා. එයාට ඇහුණෙ නෑ. ඒ වෙනකොට නාලනීගෙ ගෙදර අය මේ සුනිල් මහත්තයාට නාලනීව කසාද බන්දල දීලා. සුනිල් මහත්තයා හරිම අහිංසකයි. හොඳයි. දුප්පත්. නාලනීගෙ ගෙදර අය සුනිල් මහත්තයට කඩයක් දාල දීලා නාලනීව කසාද බන්දලා දීලා තියෙන්නේ. දැන් නාලනීට ළමයි තුන් දෙනෙක් ඉන්නවා. ලොකු දුව සුබානි මගේ දුව. මම නාලනීව හොයා ගෙන හොයා ගෙන එන කොට දුවට වයස අවුරුදු හයයි. මගේ දුවත් සුනිල් මහත්තයාට තමයි තාත්තෙ කියන්නේ. කඩේ ළඟම ගෙයක් හදාගෙන තමයි මේ ගොල්ලන් ජීවත් වෙන්නේ.

නාලනී ගේ ඉදිරිපිට මල් පැලක් හදාගෙන උදේ හවස බුදුන් වඳිනවා. එයා බුදුන් වැඳලා මළගිය අයට පින් දෙන කොට එයාට මාව මතක් වෙනවා. මටත් පින් දෙනවා. මාව මතක් කරලා පින් දෙන කොට තමයි මාව එහෙට ඇදිලා ආවේ.

දැන් මම ඒ මල් පැල ළඟට වෙලා ඉන්නවා. දැනට මම එතනට වෙලාත් අවුරුදු හයක් වෙනවා. දැන් දුවට වයස අවුරුදු දොළහයි.

මේ අතරෙ සුනිල් මහත්තයා සුබානි දුවට වෙනස්කම් කරන්න පටන් ගත්තා. එයාගෙ ළමයි දෙන්නට වැඩියෙන් සලකනවා සුබානිගෙන් හරියට වැඩ ගන්නවා. දැන් ඉස්කෝලෙ යවන්නෙත් නෑ. නාලනීත් අසරණයි. එයාටත් කරගන්න දෙයක් නෑ. තනිවම අඬ අඬා ඉන්නවා. නාලනී අඬනවා දැක්කත් සුනිල් මහත්තයා මෙයාට ගහනවා. “තොට දෙමළව මතක් වුණා ද” කියලා. හැබැයි තවම මේ කිසි දෙයක් දුව දන්නේ නෑ. දුවට වෙනස්කම් කරන කොට මම දුවගෙ ඇඟට රිංගුවා දුවව මං ඉන්න ලෝකෙට ගෙනියන්න. යැයි භූතාත්මය තව දුරටත් විස්තර කළේය.

මේ සංවේදී කතාව අසා සිටි ගවේෂකවරයා සුබානිගේ ශරීරයෙන් තාවකාලිකව ඉවත්වන්නැයි සීලන්ගේ භූත ආත්මයට නියම කළේය. දින දහ හතරක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා කතරගම දේවාලයකට පූජා වට්ටියක් දී දෙසතියකින් නැවත එන්නැයි සුනිල්ටත් නාලනීටත් උපදෙස් දී ඊළඟ දිනයේ දී ඇගේ මවුපිය දෙදෙනා ද කැඳවාගෙන එන ලෙස ද කීවේය.

දෙසතියකට පසු නැවත සුබානි කැඳවාගෙන ඇගේ මවුපියෝ සහ ආච්චි සීයා දෙදෙනා ද පැමිණියහ. සුබානි එදින ද ප්‍රලය වූවාය.

“අද කව්ද මේ ඇඟේ ඉන්නෙ?”

“සීලන්”

“දැන් සීලන්ගෙ අදහස මොකද?”

“මහත්තයා සාධාරණ දෙයක් කියාවි කියලා හිතනවා. මම ඒක කරන්නම්” යැයි භූතාත්මය කීවේය.

ගවේෂකවරයා දැරිය ආවේෂයෙන් සිටියදීම, මේ දේවල් සුබානි දැන නොගත යුතු බැවින් දිෂ්ටිය ඇඟෙන් ඉවත් නොකර අනිත් අයට අවවාද කළේය.

“අපි දැන් ඇත්ත කතා කරමු. ඇත්ත කතා නොකර මේ දරුවා සුවපත් කරන්න බෑ. මේ ලෝකයේ තරුණ වයස්වලදී ආදරයට ජාති කුල ආගම් බේද නෑ. නාලනීට සිද්ධ වුණේ ඒකයි. දැන් ඒ සියල්ල සිද්ධ වෙලා ඉවරයි. දෙමවුපියන් වශයෙන් නාලනීව බලෙන් ආපහු ගෙනාවෙත් ආදරය හා නම්බුව නිසා බව අපි දන්නවා. සීලන් ඇවිත් ඉන්නෙත් තමන්ගෙ දරුවාට ඇති ආදරය නිසා බව අපි දන්නවා. සුනිල් නාලනීව බාර ගත්තෙත් ලොකු පරිත්‍යාගයකින්. ඒක ඉතා ම හොඳ දෙයක්. ඒ වගේ ම සුනිල්ට මේ වැඩිහිටියොත් ආර්ථික වශයෙන් නැගී සිටින්නට උදව් කරලා තියෙනවා. එදා හිටියට වඩා අද තවත් හොඳයි. දැන් මුදලාලි කෙනෙක්. නාලනී එදා තරුණකමට සිදු වූ දේ ගැන පීඩා විඳිනවා.

දැන් මේ හැම දෙනෙක් ම සුබානි දුවට කිසිම වෙනසක් නොපෙන්වා ආදරය කරුණාව පෙන්වන්න ඕනෑ. සීලන් ඇවිත් ඉන්නේ සුබානි දුවව බිලි ගන්න. සුබානි දුක් විඳිනවා බලා ඉන්න බැරුව එයාගෙ ලෝකෙට අරගෙන යන්න. එහෙම දෙයක් සිද්ධ වුණොත් ඒක බරපතළ අපරාධයක්. එහෙම වුණොත් නාලනීටත් ඊළඟට මොනවා වෙයි ද දන්නේ නෑ. ඒ වගේ දෙයක් වුණොත් අනිත් දරු දෙන්නාත් අනාථ වෙනවා. සුනිල්වත් බිලි ගන්න පුළුවන්. ඒ තරහට පලි ගන්න. ඒ නිසා සුනිල් එදා වගේ ම සුබානි දුවට ආදරය කරන්න ඕනෑ. වෙනස්කම් කරන්න එපා. පවුලක් වශයෙන් එකට සමගියෙන් දියුණු වෙනවා ද නැත්නම් විනාශ වෙනවා ද කියලා සුනිල් තීරණය කරන්න ඕනැ. එහෙම නූනොත් සුබානි දුව සිහිය නැතුව වැටුණු වේලාවක ඔළුව තදින් වැදුණොත් එයාගෙ ජීවිතයත් විනාශ වෙනවා. එහෙම වුණොත් සුනිල්ටත් සීලන්ගෙන් බේරිල්ලක් නැති වේවි.

“ඔව්! ඔව්! මම පළි ගන්නවා. පවුලම බිලි ගන්නවා” යි භූතාත්මය තර්ජනය කළේය.

“ඔව්! මහත්තයා මම පිළිගන්නවා. මම මීට පස්සෙ දුවට කිසිම වෙනස්කමක් කරන්නේ නෑ” යි සුනිල් ගවේෂකවරයාට වැඳ පොරොන්දු විය.

“මම වගකීම බාර ගන්නවා. නැවත සුබානිට අසනීප නොවෙන්න අවශ්‍ය දේ මම කර දෙන්නම්. හැබැයි පවුලේ අය අවශ්‍ය වත් පිළිවෙත් ටික හරියට කරන්න ඕනෑ. නාලනීගෙ අම්මයි තාත්තයි දෙන්නා වත්තේ කෝවිලට හොඳ කැවිලි පලතුරු පූජා වට්ටියක් දෙන්න ඕනෑ. මේ විස්තර කියන්න ඕනෑ නෑ. පූජාව පිළිගන්වා එයින් කොටසක් වත්තේ පුල්ලෙ මඩුවෙ ළමයින්ට බෙදා දෙන්න. සුනිල් ගෙදරට හාමුදුරුවරු වඩම්මා දානයක් දෙන්න. මළගිය සියලු දෙනාට පිං අනුමෝදන් කරන්න. සීලන් ගැනත් සිහිපත් කරන්න. සීලන් ගැන නමින් කියන්න වුවමනා නෑ. එයා පිං ගනීවි. නාලනීත් උදේ හවස බුදුන්ට මල් පහන් පුදන එක හොඳට කරන්න. හැබැයි එතනදි මළගිය අයට පින් දෙන්න එපා. දෙවියන්ට පින් දුන්නා ම ඇති. ඒ වෙනුවට මෛත්‍රී භාවනාව වඩන්න” යැයි උපදෙස් දී යළිත් ගවේෂකවරයා සීලන් ඇමතුවේය.

“සීලන්! ඔබ හොඳට කල්පනාවට ගන්න. ඔබ දැන් සීලන් නොවෙයි. සීලන් එදා දොළ පාර ළඟ ලිස්සලා වැටිලා මැරුණා. ඔබ දැන් වෙන කෙනෙක්. මේ අය හොඳින් ජීවත් වේවි. ඔබ නිදහස් වෙලා යන්න.”

“හොඳයි මම දැන් යනවා යන්න.”

“කොහේද යන්නෙ?”

“මම බදුල්ලෙ වත්තේ කෝවිලට යනවා. යන්න කලින් මට කියන්න දෙයක් තියෙනවා.”

“ඉතින් කියන්නැ” යි ගවේෂකවරයා භූතාත්මයට ඉඩ දුන්නේ ය.

“නාලනී! මම යනවා. ඔයා හිත හදාගෙන දරුවන් වෙනුවෙන් හොඳින් ජීවත් වෙන්න. මා ගැන හිතන්න එපා. නිතර මා සිහිපත් කරන්න එපා. ආයෙත් දුවව ඉස්කෝලෙ යවන්න. සුනිල් මහත්තයා මම යනවා. හැබැයි දුවට ආයෙත් වෙනස්කම් කළොත් මම ආයෙත් එනවා. ඒ එන්නේ මීට වඩා දරුණු වෙලා. මාව ඒ තත්ත්වයට පත් කරන්න එපා. මම විශ්වාස කරනවා මගේ දුවට හොඳින් සලකාවි කියා. මහත්තයා මම එහෙනම් යනවා” කී භූතාත්මය ආයෙත් නොඑන අදහසින් සුබානි දුවගේ ශරීරයෙන් ඉවත්ව ගියේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: