Posted by: lrrp | November 8, 2012

මව පන්සිල් රකිනවා නම් දරුවන්ට දීර්ඝායුෂ ලැබෙයි

ඇය සමාජයේ ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් දෙන්නීය. ගුණ නුවණින් යුතු දරුවන් ලෝකයට දායාද කරන්නී ය. ඈත අතීතයේ පටන් පවුලේ මෙන් ම සමාජයේ ද ආදරය, ගෞරවය හිමි කරගත්තේ ඒ නිසා ය. ශාසන ඉතිහාසයේ පවා බුදුරජාණන් වහන්සේ වෙතින්, උන්වහන්සේ ගේ ශ්‍රාවකයන් වහන්සේ වෙතින් ගැබිනි අම්මාවරුන් ආශිර්වාද ලද අවස්ථා බොහෝ ය.

දුටු දුටුවන් බිය ගන්වන දාමරිකයකු වූ අංගුලිමාල බුදු බණ අසා පැහැද සම්බුදු සසුනේ පැවිදි බව ලැබුවේ ය. මනාව ධර්මය අවබෝධ කොට මහරහත් බව ලැබූ උන් වහන්සේ දිනක් මහ මඟ පිඬු සිඟා වඩින්නේ ප්‍රසූත වේදනාවෙන් පෙළෙන මවක් දැක ඇය කෙරෙහි උපන් අනුකම්පාවෙන්.

“මම මේ බුද්ධ ශාසනයේ පැවිදි බව ලැබූ දා පටන් කිසිම දිනෙක කිසිවෙකුට හිංසා පීඩාවක් නොකළෙමි. එබඳු චේතනාවක් පවා ඇති කර නොගත්තෙමි. ඒ සත්‍යයේ බලයෙන් මේ නැඟණිය සුවපත් වේවා! සුවපත් වේවා! ඇයට යහපත් දරු ප්‍රසූතියක් වේවා!” ප්‍රාර්ථනා කළහ. උන්වහන්සේ ගේ ඒ සත්‍යයේ බලයෙන් ඇය වහා සුවපත් වූවා ය.

බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ ගේ පවා නොමඳ ආශිර්වාදය ඇයට හිමි වූයේ මහා දුක් කන්දරාවක්, වේදනාවක් උසුලමින් ඇය සමාජයට උතුම් මෙහෙවරක් ඉටු කරන නිසා ය.

ගැබිනි මවක් කිසිවිටෙක හුදකලා තැනැත්තියක් නොවේ. සැමියා, දරුවන්, මවුපියන් ඇතුළු පවුලේ සාමාජිකයින් මෙන් ම අවට සමාජය සමඟ සම්බන්ධ සාමාජිකාවකි. ස්වාභාවිකවම සංකීර්ණ සමාජ තලයකට සම්බන්ධ වන්නියකි. ලෝකයේ පැවැත්ම පිණිස උතුම් දරුවෙක් බිහි කරන්නට බලාපොරොත්තු වන, උතුම් මවු පදවිය ප්‍රාර්ථනා කරන අම්මා කෙනෙකි. එවන් යහපත් දරුවෙක් ලබන්නට නම් ඇය කායිකව මෙන් ම මානසිකව ද නිරෝගී විය යුතු ය. විශේෂයෙන් අම්මා ගේ මානසික පසුබිම කුසෙහි වැඩෙන දරුවාට සුවිශේෂී බලපෑමක් කරන බව අද බටහිර රටවල පවා පිළිගන්නා සත්‍යයකි. එක් අවස්ථාවක යුරෝපීය රටක කුඩා දරුවෙක් අවුරුදු පහක හයක තරම් බාල වයසේ දී ම ප්‍රාණඝාතයෙහි ප්‍රිය විය.

මේ නිසා ම ඔහුට බන්ධනාගාර ගතවන්නට ද සිදුවිය. බන්ධනාගාරයේ සිටි රහස් මනෝ විද්‍යාඥයෙක් මේ දරුවා ගැන ඉතා සියුම් ව නිරීක්ෂණය කළේ ය. පවුල් පසුබිම විමසීමේදී ඔහු ගේ පියා ගේ වෘත්තිය මස් පිණිස සතුන් මැරීම බව හෙළි විය. කුස හොත් දරුවා ද සමඟින් ඔහු සතුන් මරණ තැනට යන මව අවි ආයුධ සපයා දීමෙන් ඒ කටයුතුවලට උදවු කළා ය. ඇයට නිරන්තරයෙන් ඇස ගැටුණේ සත්ත්ව ඝාතනය කරන දසුන් ය.

මෙසේ දුෂ්චරිතවත් දරුවකු බිහි වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසට ය. ඔහු ප්‍රාණඝාතයට බිය සැක නැති වූයේ මවු කුස තුළදීම බව ඉන් හෙළි විය. මෙවැනි සිදුවීමක් තවත් රටකින් වාර්තා විය. ඒ ගැබිනි මාතව විසූ කාමරයෙහි කෙළවරක වූයේ යක්ෂ රූපයක් සහිත පින්තූරයකි. නිරන්තරයෙන් ඇස ගැටෙන මේ යක්ෂ රූපය ඒ මවට සාමාන්‍ය දසුනක් විය. එහෙත් මනා රූපත් සිරුරකට හිමිකම් කී ඒ මවට ලැබුණු දරුවා ගේ හැඩරුව සමාන වූයේ බිත්තියේ එල්ලා තිබූ යක්ෂ රූපයට ය.

මේ අනුව ගැබිනි මවක් ජීවත් වන පරිසරය, ඇස ගැටෙන දේ, අසන දකින දෑ, ඇය ගේ සිතුවිලි උපදින දරුවාට ඍජුවම බලපාන බව පැහැදිලි කර ගැනීම අසීරු නොවේ.

බෞද්ධ හෝ වේවා, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් හෝ වේවා ඕනෑම මවක් සිල්වත් විය යුතු වන්නේ, සිත, කය, වචනය යන තුන් දොර සංවර කරගත යුතු වන්නේ, සාමකාමී පරිසරයක ජීවත් විය යුතු වන්නේ ඒ නිසා ය. විශේෂයෙන් ම ඇය පංච ශීලය ආරක්ෂා කරන තැනැත්තියක් විය යුතු ය. සතුන් නොමරණ, අනුන් ගේ දේ සොර සිතින් නොගන්නා, කාමය වරදවා නොහැසිරෙන, බොරු නොකියන, රහමෙර පානය නොකරන සිල්වත් මවකට උපදින දරුවා ද සුසිල්වත් ය. දීර්ඝායුෂ ලබන්නේ ය.

මහා ධර්මපාල ජාතකය ගැන ඔබ දන්නවා ඇත. මිය ගිය එළුවකු ගේ ඇට කැබැල්ලක් පෙන්වා මේ ඔබේ මිය ගිය පුතා ගේ ඇට කැබැල්ලකැයි පෙන්වූ දිසාපාමොක් ඇදුරුතුමා ගේ කතාව පිළි නොගත් ධර්මපාල කුමාරයාගේ පියා ‘අපේ පරපුරේ කිසිවෙක් පංච ශීලය කඩ නොකරන්නේ ය. ඒ නිසා අපේ දරුවන් කිසිම විටෙකත් අල්ප ආයුෂ නොවෙන්නේ ය. දීර්ඝායුෂ ලබන්නේ ය. මේ එළුවකු ගේ ඇට කැබැල්ලක් මිස මා ගේ පුතා ගේ ඇට කැබැල්ලක් නොවන්නේ ය’ ය සිනහ පහළ කළේ ය.

තමන් ගේ කුසින් මෙලොව එළිය දකින දරු පැටියා ලෙඩ දුක්වලට ගොදුරු වනවා දැකීම, අකාලයේ මියැදෙනවා දැකීම මවකට නම් දරාගත නොහැකි මහා වේදනාවකි. ඉදින් තම දරුවාගේ යහපත ම, ආරක්ෂාවම අපේක්ෂා කරන මවක්, පංච ශීලය ආරක්ෂා කිරීම තම ප්‍රතිපත්තිය, පිළිවෙත බවට පත්කර ගත යුතුම ය.

විශේෂයෙන් ම සමාජයේ ආදරය, ගෞරවය, සැලකිල්ල හිමිවන ගැබිනි මවක ගේ කාලය ගෙවෙන්නේ ද සතුටිනි. තම දරු පැටියා ගැන වූ මහත් ආදරයකිනි. එවැනි මවක ගේ කුස වැඩෙන දරුවා ද කල් ගෙවන්නේ සතුටිනි. එවන් පරිසරයක් සකසා දීම පවුලේ සාමාජිකයන් ගේ සමාජයේ යුතුකම හා වගකීම වන්නා සේ ම එසේ සමාජයේ ගෞරවය, ආදරය හිමිවන ලෙස තම චරිතය හැඩ ගස්වා ගැනීම මවක ගේ ද වගකීම වන්නේය.

ඇය දුසිල්වත් නම්, අශීලාචාර නම්, බොරු, කේළාම්, පරුෂ වචන කියනවා නම්, ගමනින්, ඇඳුමෙන් පැලඳුමෙන් අසංවර නම් එවැන්නියකට සමාජයෙන් තබා තම සැමියාගෙන්, දරුවන්ගෙන් වත් ආදරයක්, සැලකීමක් හිමි නොවන්නේ ය.

ගැබිනි මවක් දුරාචාරයන්ට නොපෙළඹී තමන් ගේත් සමාජයේත් යහපත වෙනුවෙන් කාලය කැප කරනවා නම්, නුසුදුසු අයහපත් දෑ බැහැර කොට යහපත පමණක් තෝරා බේරා ගන්නවා නම් ගුණවත් දරුවකු බිහිකිරීමේ උතුම් අරමුණ මුදුන් පමුණුවා ගැනීම අසීරු වන්නේ නැත.

විශේෂයෙන් මෛත්‍රී භාවනාව ගැබිනි මවකට මහා ආශිර්වාදයකි. නිරන්තරයෙන් ආගමික වතාවත්වල නිරත වීමෙන්, බෝධි පූජා පිංකම් පැවැත්වීමෙන්, බුදු ගුණ සිහි කිරීමෙන් ඇය ගේ සිත පිරිසිදු වේ. පිරිසිදු සිත් ඇත්තියක ගේ ක්‍රියා කලාපය ද පිරිසිදු ය. එවන් පිරිසිදු මවකගෙන් උපදින දරුවා ද පිවිතුරු ය. යහපත් ය. ගුණ නැණ බෙලෙන් යුතු පුතුන් වන්නේ එවැනි මවුවරුන් ගේ කුසින් මෙලොව එළිය දකින දරුවන් ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: