Posted by: lrrp | November 9, 2012

ඉතා පැරණි සිංහල බණ කතා – හරිතාලතිස්සගේ කථාව

මෙසේ අසන්ට ලැබේ. සිංහලද්වීපයෙහි අනුරාධපුරයට බටහිර දෙසැ පස්යොදුනක් පමණ තැන මූද අසල භූමංගණ නම් ගමක් ඇත. එගම්හි බැලමෙහෙ කරන පවුලක් විසී. ඒ පවුලෙහි නිරෝගී ශක්තිමත් පුත්‍රයෝ සත් දෙනෙක් වූහ. එයින් වැඩිමහලු සදෙන වැඩ කළ නමුත් බාල වූ තිස්සයා කිසි වැඩක් නොකෙළ්ය. වැඩිමහලු සොහොයුරෝ මේ ගැන මෑණියන්ට පැමිණිලි කළහ.

මවුතොමෝ “තිස්සයා තවම වයසින් අඩුය, සෙල්ලමෙහි ඇලුනේය. වයස්ගත වෙන විට කරුණු වටහාගෙන වැඩ කරනවා ඇතැ’යි කීය. තිස්ස සොළොස් හැවිරිදි වියට පැමිණි කල්හි මවුපියවරු සමාන කුලයකින් සුමනා නමැති දැරියක් විවාහ කොට දුන්හ. ඒ අවස්ථාවේදී මවුතොමෝ ඈට ද්‍රව්‍ය පසක් දුනි.

ඒවා නම්: සහල් නැලියක්, මෝල්ගසක්, වංගෙඩියක්, පියන සහිත කලයක්, බත් කන භාජනයක් යන මේවායි. ඒවා දී ඇය වෙන්කොට වාසය කරවීය. දැරිය ඒවා රැගෙන එක් පසෙක හිඳගෙන අඬන්නට පටන් ගති. තිස්ස අවුත් අඬන බිරිය දැක “සොඳුර, කුමකට අඬන්නෙහිඳ’යි ඇසී. ඕ සියල්ල ඔහුට කීය. හෙතෙම:

(1) “සුමනාවෙනි, මා වැනි පුරුෂයකු ලබා කුමට අඬන්නෙහිද? පුරුෂ වීර්යය කොට තිගේ මනදොළ පුරවන්නෙමි. (2) තෝ සෝක නොකරව, බිය නොවෙව, මට පුරුෂ වීර්යය ඇතැ’යි කියා එසේ නම් සුමනාවෙනි හෙට සහල් නැළිය දෙකට බෙදා එක් කොටසක් සංඝයාට සලාක බත් සඳහා පිසව, එක් කොටසක් අපි දෙදෙන අනුභව කරන්නෙමු යි කියා විහාරයට ගොස් පසුදින සඳහා සංඝයාගෙන් භික්ෂුනමක් ලැබෙන සේ ආරාධනා කෙළේය.

සංඝතෙමේ ඒ සලාකය සඳහා බාල සාමණේරනමක් යැවී. හෙතෙම සීට්ටුව ලබා හෙට තිස්සගේ ප්‍රණීත වූ සලාක බත ලබන්නෙමි යි සතුටුව පසුදා කල් ඇතුවම ඔහුගේ ගෙට ගියේය. සුමනාතොමෝ ලුණූවිල කොළ සමඟ බත් ඔහුට දුණි. හෙරණ තෙමේ එය ගෙන නොසතුටුව ආසන ශාලාවට ගියේය. හැම සාමණේරවරු එක්ව එය බැලූහ. බලා සිනාසී තිස්සට “ලෝණකතිස්ස” යයි නමක් තැබූහ. සාමණේරතෙමේ සුමනාව බලා සිටියදීම ඒ බත අසුන්හලේ ගරාදි වැට අතරෙන් ඉවත දැම්මේය.

සුමනාව ගෙට ගොස් අඬමින් හුණි. තිස්ස අවුත් කුමට අඬන්නෙහිදැ යි ඇසූ විට සිදුවූ පුවත කියා ඔබට “ලෝණකතිස්ස” යයි නමක් පටබැන්දාහයි ද කීය. තිස්ස තෙමේ “මාගේ ආචාර්යවරයන් තැබූ නාමය ඉතා යෙහෙකි. මාගේ ඒ නම අනාගතයේදී මුළු දිවයිනෙහි ප්‍රකට වන්නේය, තෝ උකටලී නොවෙව‘යි කියා පසුදා උදෑසන දෑකැත්ත ගෙන කුඹුරකට ගොස් කුලියට ගොයම් කැපීය.

ශක්තිමත් හෙතෙම ඉක්මනින් බොහෝ ගොයම් කපා මිනිසුන්ගේ සිත් සතුටු කෙළේ ය. ඔවුහු මාධ්‍යහ්න කාලයේදීම ඔහුට වී අමුණක් දුන්හ. හෙතෙම එය ගෙන ගෙට ගොස් බිරියට දී මෙයින් මස්, මාලු, දීකිරි, ගිතෙල් ආදිය ගෙන ප්‍රණීත දානයක් සාදා දෙවයි කියා නැවත ගොස් ගොයම් කපන්ට පටන් ගති. හවස ද වී අමුණක් ලබාගෙන ආයේය.

මෙසේ හෙතෙම සැමදා වැඩ කරමින් බොහෝ ධාන්‍ය ලැබ දන් දුණි. ඔහුගේ දන් පිළිගන්නා භික්‍ෂූන්ගේ ගණන ද වැඩි විය. ඇතැම් විට දසනමක්, විසිනමක්, තිස් නමක්, හතළිස්නමක්, පණස්නමක්, සියක්නමක් ද, ඇතැම් විට ඊටත් වැඩි ගණනක් ද විය.

අවුරුදු දෙක තුනක් ඉක්ම ගිය කල්හි හෙතෙම දහස් නමකට වුවත් දන් දෙන්ට සමත් විය. ලෝණකතිස්ස තෙමේ මහාදානපතියෙකැයි හෙළදිව ප්‍රකට විය. බොහෝ භික්ෂූන්ට දන් දෙනු කැමැති හෙතෙමේ භික්ෂූන් වෙත පැමිණ “ස්වාමීනි, මම බොහෝ භික්ෂූන්ට දන් දෙනු කැමති වෙතත් භික්ෂූන් නොලබමි. කොතැන්හිදී බොහෝ භික්ෂූන් ලැබිය හැකිදැ’යි විචාළේය. “උපාසකය, නාගදීපයේ පරිභෝග චෛත්‍යයන් වැඳීම පිණිස බොහෝ භික්ෂූහු යති.

එහි ගොස් බොහෝ භික්ෂූන් ලබන්නෙහිය’යි භික්ෂූන් කීවිට හෙතෙම එහි ගොස් හරිතාල ගමේ නැවතී අත්වැඩ කොට බොහෝ ධනය ලබා ශ්‍රද්ධා ඇති පින් කැමැත්තෙක්ව චෛත්‍ය වන්දනාව පිණිස ආ ආ භික්ෂූන්ට දන් දෙයි. දශ නමකටද විසි නමකටද දහස් නමකට ද දෙයි. ඉන්පසු හෙතෙම “හරිතාලතිස්ස” යයි ප්‍රකට විය.

එක් දිනක් නවසියයක් භික්ෂූහු නවවරක් අවුත් ඔහුගේ දානය පිළිගත්හ. ඒ භික්ෂූන් අතරෙහි මිත්‍ර වූ රහත් දෙනමක් පුවඟු දිවයිනෙහි හිඳගෙන මෙසේ කථා කළහ. “ඇවැත්නි, දඹදිවත් හෙළදිවත් භික්ෂූන්ට ලාභ ලැබෙන තැන්ය. (3) මේ ද්වීප දෙකෙන් කොයි ද්වීපයෙහි මිනිස්සු වඩා ශ්‍රද්ධාසම්පන්න වෙත්ද? කොතැන්හි භික්ෂාව සුලභදැ’යි. එයින් එක් නමක් දඹදිවට පැසසී, එක් නමක් හෙළදිවට පැසසී. (4) මෙසේ කථාකොට පසුදා එක් නමක් දඹදිවට ද එක් නමක් හෙළ දිවට ද අහසින් ගියහ. (5) මධ්‍යාහ්න කාලයේදී භික්ෂූන් දන් වලඳා ගිය පසු සුමනා තොමෝ දොරකඩ සිටින්නී තවත් භික්ෂූ නමක් දිටී. (6) පිඬු සඳහා හැසිරෙන ඒ භික්ෂු නම දැක අතින් පාත්‍රය ගෙන තමාගේ ගෙට ඇතුල් විය.

(7) ඕ තොමෝ සහල්, ගිතෙල්, පැණි, මී පැණි රැගෙන සකුරු හා එක්කොට මිහිරි ප්‍රණීත බතක් උයා (8) එයින් පාත්‍රය පුරවා ආධාරකයක තබා දොරකඩට පැමිණියාය. (9) තෙරනම පාත්‍රය අතට නොගෙන “සුමනාවෙනි, පාත්‍රය අහසට දමව, මම කැමති තැනකට යන්නෙමි” යි කීය. (10) “ස්වාමීනි, මම එසේ නොකරමි; මට එවැනි බලයක් නැත; ඔබවහන්සේ පාත්‍රය රැගෙන කැමති තැනකට වැඩිය මැනවැ” යි ඕ කීය.

(11) තෙරනම පාත්‍රය රැගෙන සුමනාව බලා සිටියදීම අහසට නැගී ගියේ (12) ස්වකීය දිවයිනට ඇතුල් විය. තුටු පහටු වූ සුමනා ඇඳිලි බැඳගෙන බලා සිටියාය. (13) ස්වකීය විහාරයට පැමිණි තෙරනම දහසක් පමණ භික්ෂූන්ට ඒ දානය බෙදා දුණි. එහෙත් එය අවසන් නොවීය. (14) ඒ භික්ෂූන් වලඳා පාත්‍ර සේදූ පසු දඹදිවට ගිය තෙරනම ආයේය.

සියලු භික්ෂූන් හරිතාලතිස්සගේ වර්ණනාව කියමින් සිටියදී ලෝකපාල දෙවිවරු සිවුදෙන එහි අවුත් ඒ සියල්ල රන් පත්‍රවල ලියාගෙන ගොස් තව්තිසා දෙවියන්ගේ සුධර්මා සභාවෙහි කියෙව්වාහ. ගමේ නමින් මුළු හෙළදිව හරිතාලතිස්ස යයි ප්‍රකට වූ ඒ ශ්‍රද්ධාවත් දානපතියා නොබෝ කලකින් දෙව්ලොව උපදින්නේ යයි ඔවුහු ප්‍රකාශ කළහ. එයැසූ සක්දෙව් රජ ඔහු පරීක්‍ෂා කිරීමට සිතා භික්ෂු වේශයක් මවාගෙන ඔහුගේ ගෙදරට ගියේය. එවේලෙහි හරිතාලතිස්සට කෑම පිළියෙළ කොට ඉදිරියෙහි තැබූ සුමනා පැන් කෝප්පය ඔහුට දීම සඳහා තමාගේ අතට ගෙන සිටියාය. එකෙණෙහි ශක්‍රයා ඔහු සමීපයට අවුත් (43) “මහාතිස්ස උපාසකය, මා ගඟෙන් එතෙර කරව; මම චෛත්‍ය වැඳීම සඳහා අනුරාධපුරයට යමි” යි කීය.

(44) “හොඳයි ස්වාමීනි” යි කී හෙතෙම බත් කෑම තිබියදී ඒ භික්ෂූනම එතෙර කරන්ට ගියේය. (45) තොටුපලට පැමිණි ඒ භික්ෂුනම “තිස්සය, මාගේ නානකඩ තොපගේ ගෙයි මතක නැතිව ආමි”යි කීය. (46) එවිට දෙදෙනම හැරී ගොස් එය රැගෙන නැවත තොටුපලට ඇවිත් “මාගේ සැරයටිය එහි සිහි නැතිව තබා ආමි’යි භික්ෂුනම කීය. (48) නැවත දෙදෙනම හැරී ගොස් සැරයටිය ගෙන තොටට අවුත් (49) “මාගේ බඳපටිය සිහිනැතිව තබා ආමි’යි කීය.

(50) නැවත හැරී ගෙට ගොස් ශක්‍ර තෙමේ, ස්වකීය වේශය පෙන්වා (53) “තිස්සය, මුළු රෑ එහා මෙහා ඇවිදිමින් තා විසින් දුෂ්කර දෙයක් කරන ලදී. ඔබ ශ්‍රද්ධාවත් දායකයෙක්දැයි විමසීමට මම මෙහි ආවෙමි’යි කීය.

තිස්ස තෙමේ “නිරෝගී පුරුෂයකු වු මට මෙය අපහසු නැත. මාගේ උපස්ථායිකා වූ සුමනාතොමෝ දිය බඳුන රැගෙන (එය අත නොහැර) මුළු රැය සිටීමෙන් අපහසු ක්‍රියාවක් කළාය’යි කීය. ශක්‍ර තෙමේ “තොපගේ බිරිය තොපටම යෝග්‍ය ස්ත්‍රියකි. තොපගේ සංවාසය නදුනුයනෙහි දෙවියකුගේ හා දෙවඟනකගේ සංවාසය මෙනි. තිස්සය, මට අවසර දෙව, මම නදුනුයනට යමි’යි කියා දෙව්ලොවට ගියේය.

මෙසේ බුද්ධ ශාසනය ලැබ බොහෝ කුසල් රැස්කළ තිස්ස තෙමේ තුසිත පුරයෙන් ආ රථයෙහි නැගී අහසින් ගියේය. (මරණාසන්නයේදී සිදු වූ ප්‍රවෘත්ති පළමු කථාවේදී මෙන් විස්තර කළ යුතු යයි දක්වා තිබේ.)

පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: