Posted by: lrrp | November 9, 2012

රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත – ගෝතම රහතන් වහන්සේ

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ. දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.

ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න.

නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ. විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

 ශෝකය නැති තැනකට ආවා

රජගහ නුවර ගෝතම බමුණු කුමරුට සත් වසර පිරිණ. පුන නූල දැමීමේ මගුල සිදු විය. ඉන් පසු ඔහු පාත්‍රයක් ගෙන මුදල් සිඟමනෙහි යෙදින. ඉතා සුළු කළකින් ඔහුට කහවනු දහසක් සපයා ගත හැකි විය.

එය නිවසේ සඟවා තැබූ ඔහු බඹසර රකිමින් සිල්වත් ජීවිතයක් ගත කෙළේය.

සොළොස් හැවිරිදි වූ පසුඔහුට අලුත් මිතුරන් කීප දෙනකුගේ ඇසුර ලැබිණ. ඔවුන් ගෙවන්නේ අතිශය ප්‍රීතිමත් ජීවිත බව පෙනිණ. ඔවුන්ගේ කතා බහ විහිළු තහළු වලින් පිරිණ. මුහුණු සිනාවෙන් පිපී තිබිණ.

එක් මිතුරෙක් ගෝතමගේ නිවසට පැමිණියේය.

‘ඔබ කිසිම සතුටක් නැති කෙනෙක් වගෙයි පෙනෙන්නේ’ ඔහු කීය.

‘එහෙම කියන්න එපා. මා සතුටින් ඉන්නේ. සිල්වත් ව, ඉඳුරන් දමනය කිරීමෙන් ලොකු සතුටක් ලබෙනවා’

ගෝතම පිළිතුරු දුන්නේය.

‘මහලු වියේ දී කිව යුතු දේ නුඹ මේ නවයොවුන් වියේ දීම කියනවා. නුඹට පිස්සු ඉඳුරන් දමනයෙන් නොවෙයි සතුට ලැබෙන්නේ, ඉඳුරන් පිනවීමෙන්’

‘නුඹට මා ලබන සතුට පේන්නේ නැහැ. එය ආධ්‍යාත්මික සතුටක්’

මිතුරා හඬ නගා සිනාසුණේය.

‘වරෙන් යන්න මා එක්ක. නුඹත් මාත් ලබන සතුටේ වෙනස බලන්නත් එක්ක’

ගෝතම ඔහු සමග ඔහු ගේ අස්රියෙන් නුවර මහ වීදිය දිගේ ගියේය. ගව්වක් පමණ දුර ගමන් කළ ඔවුන්ට වෙල්යායකට මුහුණ ලා පිහිටි කුඩා නිවසක් දක්නට ලැබිණ.

‘ගෝතම ඊයේ රෑ මා සිටියේ මේ නිවසේ. මා නුඹට හඳුන්වා දෙන්නම් ඇගේ නම යසා. නුඹ කියන අධ්‍යාත්මික සතුටට වඩා ලොකු සතුටක් ඇගෙන් ලබා ගත හැකියි. ඇගේකට හඬ ඇසීම පවා සතුටක්. . .’

මිතුරා ඒ නිවසට ඇතුළු වෙමින් කීය.

යසා ගෙයින් පිටතට ආවා ය.

ඇගේ දිමුතු මුතු දසන්, නෙළුම් පෙති බදු කම්මුල්, නාඋළු වැනි දෙතොල්, සොඳුරු මද සිනා උතුරන මුහුණ ගෝතම ගේ සිතට සතුටක් ගෙනාවේය.

එහෙත් ඔහුගේ මුහුණ ලජ්ජාවෙන් රතු වී තිබිණ.

මිතුරා ඇගේමුහුණ සිප ගත්තේය.

‘මේ මගේ හොඳම මිතුරා ගෝතම’

ඔහු සිය මිතුරා ඇයට හඳුන්වා දුන්නේය.

ඇය ගෝතමගේ මුහුණ සිප ගත්තාය. ගෝතම ගේ සිරුරට සිහින් දාඩියක් නැගින. ඒ සිප ගැනීම ඔහුට අලුත් අත්දැකීමකි. ඔහු ගේ දෙපා අප්‍රාණික වනු දැනින. ඔහු වහාම අසුනෙක හිඳ ගත්තේය. මිතුරා නිහඬව ගෝතම දෙස බලා සිටියේය.

‘කෝඩුකාරයෙක් වගෙයි. . .’ ඇය සිනාසෙමින්කීවාය.

‘ඔව් බඹසර රකින සිල්වත් උපාසක ඇත්තෙක්’ මිතුරා කීය. ඇය සිනාසෙමින් ගෝතමගේ නිකට පිරිමැද්දේය.

‘අපි යමු’ ගෝතම කීය.

මඳ වේලාවකට පසු නිවසට ආ ගෝතම සිය කුටියට ඇතුළු වී දොර වසා ගෙන ඇඳෙහි වැතිරුණේය.

පැයකට පමණ පෙර මුහුණ පෑ සිදුවීම් ඔහුගේ සිතට නැගෙන්නට විය.

ඇගේ කම්මුල මගේ කම්මුලේ තැවරුණා. ඇගේ හුස්ම මගේ කම්මුලට දැනුණා. ඇගේ උණුසුම මට දැනුණා. ඇගේ ඇස් දෙස මට කෙළින්ම බලන්නට අපහසුයි. ඒ බැල්ම සිත විනිවිද යනවා. ඔහු දෑස් පියා ගෙන් යහනෙහි වැතිරුණේය.

‘මා බඹසර රකින කෙනෙක්. අවුරුදු කීයක ඉඳලද ? මා හොඳට සිල් රැකපු කෙනෙක්. එහෙත් ඒ සුන්දර කෙළි ලොල් තරුණිය මා පිස්සු වැට්ටෙව්වා. මට ඇය නැතිව ගෙවන ජීවිතයෙන් පලක් නැහැ. මා ඇය ළඟට යනවා. අද ම යනවා. දැන්ම ම යනවා. . .’

ඉර බැස යන්නට ළං ව තිබිණ. ඔහු සුවඳ සඳුනෙන් නැහැ වී මගට බැස්සේය. ඒ ගව්ව ඔහු පයින්ම ගියේය.

සැදෑ අඳුර ගලා එන්නට විය. තරු එක දෙක එබිකම් කරන්නට විය. ඔහු ඒ නිවසේ දොරට තට්ටු කළේය.

මැහැල්ලක් දොර ඇරියාය.

‘කෝ යසා ?’ ඔහු ඇසුවේය.

යසා පිටතට දිව ආවාය.

‘හා මේ ගෝතම එන්න ඇතුළට’

ඇය ඔහුගේ අතින් අල්ලා ගත්තා ය. කෙළින්ම ගියේ උඩු මහලේ කුටියකටය.

‘මා හිතුවා එයි කියලා ගේනවද මේ’

ඇය ඔහුගේ අතේ වූ පසුම්බියට තට්ටු කළාය.

‘තෑග්ගක් ගෙනාවා. කහවනු දාහක්’

පුන නූල පැලැදගත් දා සිට සිඟමනේ ගොස් රැස් කළ මසුරන් දාහ ;ගනද සඟවා තැබූ ඔහුගේ ලොකුම සතුට ඔහු ඇයට තෑගි කළේය. යසා ඒ මසුරන් පසුම්බිය සිය කුටියේ මංජුසාවක වහා තැන්පත් කළාය.

ඒ රැය ඔහු ඇය සමග ගත කළාය. ඔහු පිබිදුනේ ඇගේ තුරුලේ ය.

‘ඔබේ බඹසර බිඳුණා නේද ? සීලය ඉවරයි’

ඇය කීවාය.

‘අට වසරක් රැක ගෙන සිටි සීලය බිඳ ගත්තා. මා සතු ධනය ද විනාශ කර ගත්තා’

ඔහු ගේ සිත කලකිරිණ.

ඇය ඔහු ගේ අතින් අදිද්දීම ඔහු ඇය ඉවතට තල්ලු කර දමා ඒ නිවසින් පිටතට ආවේය.

සිත කාමරාගයෙන් පීඩාවට පත් වූ සැටි එය සංසිඳුවා ගැනීමෙන් පසු සිත මැළවී ගිය සැටි ඔහුට සිහි විය. ගැහැණියක නිසා රැකගෙන ආ සිල් බිඳුණු සැටි සිත චපල වූ සැටි තමා සතු මුදල අන් සතු වූ සැටි ඔහුට සිහි විය.

මේ මොොහතේ වේළුවනාරාමයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේට කාමයේ නො ඇලුණ කාමය පිළිබඳව කලකිරුණු ගෝතමගේ සිත පෙනිණ. උන් වහන්සේ තමන් වහන්සේ ගේ රුව ඔහුට දර්ශනය වන්නට සැලැස්වූ සේක. ගෝතම ගේසිත සැදැහැයෙන් පිරිණ. ඔහු බුදුරජුන් සමීපයට ගොස් දහම් ඇසුවේය. ඉන් පසු ඔහු පැවිදි විය.

පැවිදිවීම සඳහා හිස කෙස් බාද්දීම ගෝතම රහත් බවට පත් විය.

ගෝතම රහතන්වහන්සේ ගේ ගිහි කල මිතුරෙක් දිනක් මෙසේ ඇසී ය.

‘ඔබ ගිහි කල ලබා ගත් අර කහවනු දහසට කළේ කුමක්ද ?’

ඒ ප්‍රශ්නයට පිළිතුරු නුදුන් උන් වහන්සේ මෙසේ වදාළහ.

‘ස්ත්‍රීන් කෙරෙහි රාගයෙන් නොබැඳෙන මුනිවරු සන්සුන් ඉඳුරන් සහිතව සුවසේ නිදති. වරදට පෙළෙඹෙන ගැහැණු රැකීම අපහසුයි.

වීතරාගි නොවූ අය රාගයට වසඟ වූ කාමයට ණය වූ අයයි. වීතරාගි වූ අය ඒ ණයෙන් මිදෙති. ශෝකයෙන් තොරවූ උතුම් නිවනට අපි පැමිණ සිටිමු.

ගෝතම රහතන් වහන්සේ ඒ පිළිතුර ම පසුකලෙක සිය උදානය වශයෙන් පළ කළහ.

ගැහැනු රැකුම නම් පහසු නොවෙයි

වරදට පෙළඹෙයි බොරු ම කියයි

ඔවුන්ට නො ඇලුණු මුනිවරයකු වෙද

එතුමා සුවසේ නිදා ගනී

කාමය නුඹ වනසා දැමුවා

දැන් අප ණය නෑ ණය ගෙව්වා

ශෝකය නැති තැනකට ආවා

ඒ උත්තම නිවනයි නිවනයි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: