Posted by: lrrp | November 13, 2012

ඇයි අපට සතුටින් ඉන්න බැරි?

මේ ලෝකයේ වාසය කරන සෑම දෙනකුගේ ම බලාපොරොත්තුව සතුටින් ජීවත්වෙන්න. සතුට පදනම් කරගෙන ජීවත්වෙන්න. ජීවිතයේ යම් දෙයක්‌ කරනවා නම් ඒ සෑම දෙයක්‌ ම කරන්නේ සතුට ලබා ගන්න. ජීවිතයේ සතුට ලබා ගන්න අවශ්‍ය වී තිබෙන්නේ සතුට තිබෙන නිසාද? සතුට නැති නිසාද? සතුට නැති නිසා. ඒකෙන් තේරෙන්නේ මේ ලෝකේ මිනිස්‌සු ජීවත්වෙන්නේ සන්තෝෂයෙන් නෙමෙයි දුකින් කියන එකයි. දුකින් ඉන්න මිනිස්‌සුන්ට සන්තෝෂය අවශ්‍යයි. ඒ නිසා ඔවුන් සතුට සොයන්න පෙළඹෙනවා. සාමිස සතුට හා නිරාමිස සතුට ඔය දෙකම සොයනවා. ඔය දෙකෙන්ම බලාපොරොත්තු වන්නේ සතුටින් ඉන්න මාවත සෙවීමයි. සතුටින් ඉන්න විදිහ සෙවීමයි. බුදු කෙනෙක්‌ සිදු කරන්නේ මොකක්‌ද? මිනිස්‌සුන්ට සතුටින් ඉන්න හැටි කියලා දෙනවා. අඬන මිනිස්‌සුන්ගේ කඳුළු ඉවත් කරලා සිනහව ඇති කරනවා. ශෝක වෙන මිනිස්‌සුන්ගේ ශෝකය පලවා හරිනවා. ඒ තමා සතුට.

අංගුත්තර නිකායේ අට්‌ටක නිපාතයේ සූත්‍රයක්‌ තිබෙනවා, අනුරුද්ධ සූත්‍රය කියලා. මේ අනුරුද්ධ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ ස්‌වාමින් වහන්සේට ඇතිවුණ විතර්ක අටක්‌ ගැන කරුණු පැහැදිලි කරනවා. ඉන් එකක මෙන්න මෙහෙම කියලා තියෙනවා. “මේ දහම තිබෙන්නේ සතුටින් ඉන්න අය සඳහා මිස අසතුටින් ඉන්න අය සඳහා නෙමෙයි” බැලූ බැල්මට පෙනී යනවා මේක හරිම අමුතු ම ඉගැන්වීමක්‌ කියලා. කෙනෙකුට ජීවිතයේ සන්තෝෂයෙන් ඉන්න ඕනෑ නම් ඒ සතුට පැති දෙකක්‌ ඔස්‌සේ ඇති කරගන්න ඕනෑ. මොකද්ද ඒ පැති දෙක? සාමිස සතුට හා නිරාමිස සතුට. අපි සෑම දෙනෙක්‌ ම වාගේ ජීවත් වෙන්නේ මේ සාමිස සතුට ලබමින්.

ඇසින් රූප බලලා සන්තෝෂ වෙනවා. කනින් ශබ්ද අහලා සන්තෝෂ වෙනවා. නාසයෙන් ගඳ සුවඳ විඳලා සන්තෝෂ වෙනවා. දිවෙන් රස විඳලා සන්තෝෂ වෙනවා. ශරීරයෙන් ස්‌පර්ශය ලබලා සන්තෝෂ වෙනවා. කෙටියෙන් කියනවා නම් මුළු පංෙච්න්ද්‍රියන්ගෙන් ම අරමුණු අරන් මනසට සිතුවිලි අරන් සන්තෝෂ වෙනවා. ඒක තාවකාලිකයි. ඒකට අපි කියනවා සාමිස සතුටයි කියලා. ඇයි ඒක තාවකාලිකයි කියන්නේ? එක දවසක්‌ සම්පූර්ණයෙන් සතුටින් සිටිය කෙනෙක්‌ අපට සොයා ගන්න අමාරුයි. ලෝකය සමඟ ගැටුම් වැඩිවෙන්න වැඩිවෙන්න සන්තෝෂය තබා ගෙන ඉන්න බැරිව යනවා. මනසේ ගැටීම් නැති පුංචි ළමයෙකුට පමණයි, ටික වේලාවක්‌ හෝ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් වෙන්නේ. ඒ කුඩා ළමයෙක්‌ වුවත් වැඩිහිටියෙක්‌ වන විට ඒ තිබුණ සන්තෝෂය නැතිව යනවා. ඒ නිසා ටික වේලාවක්‌ හෝ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් වන්නේ පුංචි ළමයෙකුගේ හිත වගේ සිතුවිලි අඩු, ගැටීම් හා බැඳීම් නැති සිතක්‌ තිබෙන කෙනෙකුට පමණයි. සාමිස සන්තෝෂය තුළ කිසිම සදාකාලික සතුටක්‌ නැහැ. ඒ වුවත් ඔය ඇත්තෝ මේ සාමිස සතුට සොයන්න කොයිතරම් වෙහෙසෙනවාද? කොයි තරම් වෙහෙසුණාද? ජීවිතයේදී කොයිතරම් දේවල් කළාද ඒ සතුට ලබා ගන්න. මොන මොන කෑම ජාති කෑවාද සතුට ලබා ගන්න. ඒ සෑම කෑම ජාතියක්‌ම කාලා මොකද්ද බලාපොරොත්තු වූ සතුට? ඒක සදාකාලික සතුටක්‌ වුණාද? නැහැ. එම සතුට තාවකාලිකයි. පංචකාම සැප සම්පත් සියල්ලම තාවකාලිකයි. භෞතික දේවල්වලින් සදාකාලික සතුට ලැබෙන්නේ නැහැ. භෞතික දේවල් අවශ්‍ය වන්නේ එදිනෙදා අවශ්‍යතාවන්ට පමණයි. ඒ සතුට තාවකාලිකයි. කන්න ජීවත් වෙන අයද වැඩියෙන් ඉන්නේ? ජීවත් වෙන්න ඕනෑ නිසා කන අයද වැඩියෙන් ඉන්නේ? කන්න ජීවත් වෙන අයයි වැඩියෙන් ඉන්නේ. ඔබ ඊට එකඟ ද?

මිනිස්‌සු තම තමන්ගේ ලෞකික ආශාවන් සංතෘප්ත කර ගන්න අවශ්‍ය වූ විට ඔවුන් මනුෂ්‍යත්වයෙන් පහත් තත්ත්වයට වැටෙන වැඩ කරනවා. තිරිසන් තත්ත්වයට වැටිලා වැඩ කරනවා. දැන් අපි උත්සාහ කරන්න ඕනෑ, ඒ තිරිසන් තත්ත්වයෙන් ගැලවිලා දේවත්වයට එහෙම නැතිනම් බ්‍රහ්ම තත්ත්වයට පත්වෙන්න. ඒකයි ජීවිතේ අවශ්‍යතාව. එහෙම නම් සන්තෝෂය තිබෙන්න ඕනෑද? මේ ලෝකයේ කවුද වැඩියෙන් ම සන්තෝෂයෙන් ඉන්නේ? බුදුරජාණන් වහන්සේ. දැන් එහෙනම් ඔය ඇත්තන්ටත් සන්තෝෂයෙන් ඉන්න හැටි ඉගෙන ගන්න වෙනවා. ලෝකයේ තිබෙන විශාල ම ධනය මොකක්‌ද? සන්තුෂ්ටී පරමං ධනං – ලෝකයේ තිබෙන උතුම්ම (පරම) ධනය සතුටයි. ලෝකයේ තිබෙන විශාල ම සතුට දැනෙන්නේ සන්තෝෂය තිබෙන විට ද? සන්තෝෂය නැති විට ද? සන්තෝෂය ඇති විට. ඒ නිසා සන්තෝෂය ඇතිකර ගන්න ඕනෑ.

ජීවිතයට සන්තෝෂය අවශ්‍යයි. ඒ නිසා ජීවිතය සතුටින් ගෙවන්න අවශ්‍ය නම් සාමිස සතුට මෙන්ම නිරාමිස සතුට යන දෙක ම ඇති කර ගන්න ඕනෑ. එයින් වඩාත් වර්ධනය කරගත යුත්තේ සාමිස සතුට ද? නිරාමිස සතුට ද? නිරාමිස සතුටයි වඩාත් වර්ධනය කර ගත යුත්තේ. ඇයි සාමිස සතුට එසේ වර්ධනය නොකළ යුත්තේ? එය නිරායාසයෙන් ම වර්ධනය වී ඔබ තුළ තිබෙන නිසයි. පොඩි ළමයෙකුට රසවත් ටොපියක්‌ දුන්නොත් ඒ ළමයා ඒක රස කර කර කන්නේ නැද්ද? ඒක රස කර කර කනවා. වැඩිහිටියෙකුට කෑමක්‌ දුන්න වුණත් ඒක රස කර කර කන්න ඔහු දන්නවා. කන විදිහ නිරායාසයෙන් ම ඔවුන් දන්නවා. සාමිස රසය විඳින්න දන්නවා. ඒක අමුතුවෙන් උගන්වන්න දෙයක්‌ නෙමෙයි. හැබැයි මේ සාමිස සතුට තාවකාලිකයි.

සාමිස සතුටෙන්ම ජීවත්වන කෙනෙකුට කවදාවත්ම සැබෑ සතුට ලබා ගන්න බැහැ. සාමිස සතුට විඳින්නෙකුට සැබෑ සතුට ලබා ගන්න අවස්‌ථාවක්‌ ලැබෙන්නේ නැහැ. සැබෑ සතුට විඳින්න ඕනෑ නම් නිරාමිස පැත්තට යන්න ඕනෑ. භෞතික සීමාවෙන් ඔබ්බට යන්න ඕනෑ. භෞතික සීමාවෙන් ඔබ්බට ගියාම අන්න එවිට අපට සදා සන්තෝෂය, සදා සතුට ලබා ගන්න පුළුවන් වෙනවා. මේ සදාකාලික සන්තෝෂය ලබා ගන්න විදිහ තමයි මේ විස්‌තර කර දෙන්න හදන්නේ.

පුංචි දෙයක්‌ ලැබුණහමත් අපි සන්තෝෂ වෙන්න නේද පුරුදුවෙලා තිබෙන්නේ. ඒ වගේ ම ඒ පුංචි දේ නැතිව ගියාමත් දුක්‌වෙන්න නේද පුරුදුවෙලා තිබෙන්නේ. දැන් ඔතන ප්‍රශ්නයක්‌ නැද්ද? ලැබුණම සන්තෝෂ වෙනවා. නොලැබුණාම දුක්‌වෙනවා. ඔන්න ඕකයි ප්‍රශ්නය. ඔය ප්‍රශ්නය ඇති නොවෙන්ඩ අපට ජීවත්වෙන්ඩ බැරිද? පුළුවන්. සන්තෝෂ වීමත් දුක්‌ වීමත් යන දෙකම මනසින් අත්හැරලා දමන්න. මනසින් අත්හැරලා දාපු කෙනා සන්තෝෂ වෙන්න යන්නෙත් නැහැ. දුක්‌වෙන්න යන්නෙත් නැහැ. ඒ තත්ත්වයට පත්වෙන්න. ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය. ඒ ශ්‍රේෂ්ඨත්වයට පත් වුණොත් ඔබේ ජීවිතය ආලෝකයට පත්වෙනවා.

අපි බොහෝ වේලාවට මනසින් අත්හරින විදිහ දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා අපි භෞතිකව අත්හරිනවා. අපි භෞතිකව අත්හැරලා හිතනවා නිදහස්‌ වේවි කියලා. නමුත් එහෙම කළා කියලා නිදහස්‌ වෙන්නේ නැහැ. අපි ඒ අත්හැරලා දාපු දේවල් මනසේ මතක තියාගෙන ඉන්නවා. ඒ මතකයෙනුත් නිදහස්‌ වෙන්න. එවිට විශාල සහනයක්‌ ඔබට දැනේවි. අත්හැරීම පුරුදු කරන හරිම විදිහ ටිකින් ටික කරලා ඉගෙන ගන්න ඕනෑ. දැන් අපි දන්නවා බොහෝ දෙනෙක්‌ රාත්‍රියට නිදා ගන්නේ නැහැ. නින්ද යන්නේ නැහැ. ඇයි ඒ? එක එක දේවල් අල්ලගෙන විඳවනවා. ඒ නිසා පුරුදු වන්න මනසින් අත් හරින්න. භෞතිකව අත්හැරලා ඇති වැඩක්‌ නැහැ. මනසින් අත්හැරලා දමන්න. නැවත නැවත කල්පනා කරමින් පසු තැවෙන්න යන්න එපා. පසුතැවෙන්නත් එපා. සන්තෝෂ වෙන්නත් එපා. ඔබ යම් දෙයක්‌ සිහි කරලා සන්තෝෂ වෙනවා කියන්නෙත් දුක්‌වෙනවා කියන්නෙත් ඔබ තවම අල්ලගෙන ඉන්න නිසා. මනසින් අත්හැරලා දාපු කෙනා සන්තෝෂ වන්න යන්නෙත් නැහැ. දුක්‌වෙන්න යන්නෙත් නැහැ. ඔබත් ඒ තත්ත්වයට පත් වෙන්න. ඒක තමයි ශ්‍රේෂ්ඨත්වය.

සන්තෝෂ වෙන හැම කෙනෙක්‌ ළඟම දුක්‌ වීමකුත් තිබෙනවා. ඒක තමා බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ සන්තෝෂය කියන එකේ සන්තෝෂයකුත් නැහැ. දුක්‌ විඳින එකේ ඇත්තටම දුක්‌ විඳීමකුත් නැහැ. ඒ දෙකම නැහැ. අන්න එතන තමා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන නියම සන්තෝෂය තිබෙන්නේ. යම්කිසි භෞතික දෙයක්‌ ලබා ගත්තහම කෙනෙකුට සන්තෝෂයක්‌ ඇතිවෙනවා නම් ඇත්ත වශයෙන් එහි අනිත් පැත්තේ තිබෙන්නේ දුකක්‌. ඒ නිසා ඒ පොඩි දෙය වුණත් නැතිව ගියාම දුක ඇතිවෙනවා. ඒ නිසයි, ඒ දෙකම මනසින් අත්හරින්න කියන්නේ. ජීවිතයේ ඒ විදිහට බැඳීම් තියාගන්න හොඳ නැහැ. බැඳීම් වැඩි වුණොත් කෙනෙකුට මොකද වෙන්නේ. ඔහු පිස්‌සෙක්‌ වෙනවා. ඒ නිසා බැඳීම් අඩු කරගන්න තරමට අපට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. බැඳීම් වැඩිවෙන විට සිතුවිලි ප්‍රමාණය ද වැඩියි. ඒ නිසා සැබෑ සන්තෝෂය විඳින්න නම් හිතෙන් ඒ බැඳීම් සියල්ල ම අත්හැරලා දමලා හිත නිදහස්‌ කරගන්න ඕනෑ. හිතේ තිබෙන කුණු ටික, ටික ටික ඉවත් කරලා හිත පිරිසිදු කරගන්න ඕනෑ. සෑම තිස්‌සෙම සන්තෝෂයෙන් ඉන්න ඕනෑ. සන්තෝෂයෙන් ඉන්න කෙනාට සත්‍යය අවබෝධ කරගන්නත් හරි ලෙහෙසියි. නිතරම ශෝකයෙන් ඉන්න, කනස්‌සල්ලෙන් ඉන්න, අඬා වැළපෙන අයට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පරම සත්‍යය අවබෝධ කරගන්න බැහැ. පරම සත්‍යය අවබෝධ කරගන්න නම්, සත්‍යය තේරුම් ගන්න නම් ඔබ ඉස්‌සරවෙලාම සන්තෝෂයෙන් ඉන්න ඕනෑ. හැබැයි ඒ සන්තෝෂය ඔබ ලබාගෙන තිබිය යුත්තේ භෞතික දේවල් අත්හැරලා දමල නොමෙයි. මානසික වශයෙන් අත්හැරලා ලබාගත් සන්තෝෂයක්‌ විය යුතුයි. ඒ මොකද භෞතික දේවල් භෞතික වශයෙන් අත් හැරලා ලබා ගන්න සන්තෝෂය තාවකාලික නිසා. ඇත්ත වශයෙන් මිනිසෙකුට ලැබීම හෝ නොලැබීම තීරණය වන්නේ කුමකින්ද? මා හිතන විදිහට පෙර සංසාර භවවලදී කරගත් පින් පව් අනුව තමා ඒ ලැබීම හෝ නොලැබීම සිදු වන්නේ. පින් පව් අනුව ලැබීම හා නොලැබීම සිදුවෙනවා නම් ලැබුණාය කියලා සන්තෝෂවීමේ තේරුමක්‌ තියනවාද? නොලැබුණාය කියලා දුක්‌වීමේ තේරුමක්‌ තිබෙනවාද? ලැබෙන එක ඒ විදිහට ලැබෙයි. නොලැබෙන එක ඒ විදිහට නොලැබෙයි. ඒ නිසා ඒකෙ විශේෂයක්‌ තියෙනවා ද? ලැබුණට ඕනෑවට වඩා සන්තෝෂ වෙන්න ගියාමත්, නොලැබුණා කියලා දුක්‌වෙන්න ගියාමත් අපි අන්තිමට කරගෙන තිබෙන්නේ මොකද්ද? කිසි තේරුමක්‌ නැති මෝඩ වැඩක්‌ නෙමෙයිද? තේරුමක්‌ නැති දේවල්වලට ජීවිතේ විඳවන්න යන්න එපා. ඔබගේ ජීවිතයේ වැඩි හරියක්‌ දුක්‌ විඳලා තියෙන්නේ කිසිම වැදගත් බවත් නැති දේවලට. සමහර විට වෙන අනුන්ගේ කුණු ගොඩක්‌ නිසා වෙන්නත් පුළුවන්. ඒ නිසා ඕනෑ නැති දේවල්වලට බැඳීම් ඇති කරගෙන දුක්‌ වෙන්න යන්න එපා. කිසිම දේකට බැඳෙන්න එපා. කිසිම දේකට ආශා කරන්න එපා. බැඳුණ විට අපට ඇති වෙන්නේ වේදනාවක්‌. අපි ඒ ඒ දේවල් අල්ලගෙන ඒවාට බැඳිලා නොයෙක්‌ දේවල් බලාපොරොත්තු වෙනවා. එකක්‌ දෙකක්‌ හරි ගියාම සන්තෝෂ වෙනවා. ඕක ඔක්‌කොම අත්හැර දමන්න. කිසිම දුකක්‌ නොවී ජීවත්වෙන්න ඕනෑ නම් මානසික වශයෙන් සියල්ල අත් හරින්න. ඔබ සතු භෞතික දේවල් ඒ කියන්නේ යාන වාහන, ගේ දොර ඉඩකඩම් බඩු මුට්‌ටු ඕවා ඔක්‌කොම ඒ ඒ තිබුණු තැන්වල තිබුණාවේ. ඒවාට තව තවත් ආශා කර කර බැඳීම් තියාගන්න එපා. මානසිකව තිබෙන බැඳීම් අත් හරින්න. ඔබේ සිත දුර්වල වෙලා තිබෙන්නේ ඔය භෞතික දේවල් කෙරෙහි ඔබේ සිතට බැඳීම් ඇති කර ගන්න ඔබ ඉඩ දීලා තිබෙන නිසයි. ඒ විසිරී ගිය ඔබේ සිත නැවත ඔබ ළඟට ගන්න. අත් හැරීම පුරුදු කරන කෙනෙක්‌ කරන්න ඕනෑ තමුන්ගේ ඒ විසුරුණු මානසික ශක්‌තිය නැවත තමුන් වෙත ගන්න එකයි. අපට අයිති ශක්‌තිය තිබෙන්නේ වෙන වෙන අය ළඟ. වෙන වෙන තැන්වල. අපේ තියන කෑදරකම නිසා තිබෙන ආශාව නිසා වෙන වෙන තැන්වලට හිත යොමු කරවලා බැඳීම් ඇති කර ගෙන අල්ලා ගැනීම් තුළින් ඔබේ සිත ඔබ නොදැනුවත්වම පැහැර අරන්. ඒ නිසා සන්තෝෂයෙන් ඉන්න අවශ්‍ය අය මනසින් අල්ලගෙන ඉන්න ඒ බැඳීම් දැන්වත් අත හරින්න. ඒ ඒ දේවල්වලට නිදහසේ ඉන්න ඉඩ දෙන්න. ඒවා අල්ලාගෙන ඕනෑකමින් විඳවන්න යන්න එපා. මනසින් අත්හැරලා තිබෙන ආශාව අත්හැර දමලා ඒවයින් අවශ්‍ය ප්‍රයෝජන ගන්න දෙමවුපියො වුණත් දරුවන් ගැන ඕනෑවට වඩා හිතලා විඳවන්න යන්න එපා. නිදහසේ ඉන්න. දරුවන් වෙනුවෙන් කරන යුතුකම් ඉෂ්ට කරන්න. ඒක ඔබට මනසින් අත්හැරීමට බාධාවක්‌ කර ගන්න එපා. මොන දේ කළත් අපි මනසින් අත්හැරලා දැම්මේ නැත්නම් අපේ ජීවිත සාර්ථක වෙන්නේ නැහැ. ආලෝකවත් වෙන්නේ නැහැ. නිවැරැදි යහපත් ජීවිතයකට අඩිතාලම වැටෙන්නේ බොහෝ දේවල් මනසින් අත්හැරලා ඔබ නිශ්චල තත්ත්වයකට පත්වුවහොත් පමණයි. ඒ නිසා ටිකින් ටික අත්හැරීම පුරුදු කරන්න, එකම කරුණ මා නැවත නැවත ඔබට මතක්‌ කරලා මේ පෙන්වා දෙන්නේ මනසින් අතහැර දැමීම පුරුදු කර ගන්නයි. ඔබගේ නිදහස, ඔබගේ සන්තෝෂය නැති කරගෙන තිබෙන්නේ ඔබමයි. ඔබගේ විමුක්‌තියට විලංගු දමාගෙන තිබෙන්නෙ ඔබමයි. මේ විලංගු ගලවා දමන්නට හැකිවන්නෙත් ඔබටමයි. ඊට ගත යුතු පියවර බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වලා දීලා තිබෙනවා. ඔබට කරන්න තිබෙන්නේ ඒ පෙන්වා දී ඇති මාර්ගය ඔස්‌සේ ගමන් කරලා මානසික අත්හැරීම ටිකින් ටික පුරුදු වෙන එක විතරයි. මේක අමාරු වැඩක්‌ නෙමේ. ටිකින් ටික මනසින් අත්හැරීම පුරුදු කරලා දමාගෙන ඇති විලංගු ගලවා ගෙන නිදහසේ ඉන්න කෙනෙක්‌ බවට පත් වෙන්න. එවිට ඔබේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා.

හිත පුරුදු කරගන්න බලාපොරොත්තු වන කෙනා ඉස්‌සර වෙලාම කරන්න ඕනෑ සන්තෝෂයෙන් ඉන්න එක. සන්තෝෂයෙන් සිටියාම ටිකින් ටික හිත දියුණු කර ගන්න පුළුවන් වෙනවා. සන්තෝෂයෙන් ඉන්න එක කොයිතරම් හොඳද? සන්තෝෂයෙන් ඉන්න එක්‌කෙනාගේ මූණෙන්ම ඒ බව පේනවා. සමහර අය ඉන්නවා මූණේ සිනහව පොඩ්ඩක්‌වත් නැහැ. ඒ අය හරි මූසලයි. ඒ අය දකින්නවත් හොඳ නැහැ කියලා සමහර අය කියන්නේ ඒ නිසයි. ඇයි මෙහෙම වෙන්නේ? ඔහුගේ හිත කුණු ගොඩවලින් පිරිලා. ඉතින් කොහොමද හිනාවෙන්නේ? මේ අය පුරවාගෙන ඉන්න කුණු ගොඩවල් ඇදලා ඉවත් කරන තුරු ඔහුට හිනාවෙන්න ශක්‌තියක්‌ නැහැ. මෙහෙම අය අද සමාජයේ කොයිතරම් ඉන්නවාද? මේ අය පුරවාගෙන ඉන්න ඒ කුණු ගොඩවල් ඉවත් කරලා කිසිම අපේක්‍ෂාවක්‌ නැතිව කිසිම බැඳීමක්‌ නැතිව ඉන්න ඕනෑකමක්‌ තිබෙනවා නම් නැතිවී ගිය ඒ සන්තෝෂය ඔහුට නැවත ලබා ගන්න පුළුවන්. මේ ලෝකේ බැහැයි කියලා දෙයක්‌ නැහැ. ඕනෑ කරන්නේ උත්සාහය පමණයි. උත්සාහය තිබෙනවා නම් දුක්‌බර ජීවිතය නැතිකරගෙන සන්තෝෂයෙන් ගත කරන්න ජීවිතය හැඩ ගස්‌වා ගන්න පුළුවන්. ඒක ඒතරම් අමාරු නැහැ. කෙනෙක්‌ කියන්න පුළුවන් අපට සල්ලි නැහැ. සල්ලි නැතිව මොන සන්තෝෂයක්‌ ද කියලා. සල්ලි නැතිව කිසිම දෙයක්‌ කරන්න බැහැ කියලා හිතන අය අද සමාජයේ වැඩියි. එම නිසා එවැනි ප්‍රශ්න කරන අය ඉන්න එකත් පුදුමයක්‌ නොවේ. සල්ලි තිබුණට සල්ලිවලින් සෑම දෙයක්‌ම කරන්න බැහැ කියලා හිතන අය අප සමාජයේ දක්‌නට අඩුයි. ඒ නිසයි, සල්ලිවලින් මිනිසුන්ට ගන්න පුළුවන් වන්නේ සීමිත භෞතික සම්පත් කීපයක්‌ පමණයි කියන එක ඔවුන්ට තේරෙන්නේ නැහැ. කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්‍ෂාව මේවා සල්ලිවලට ගන්න පුළුවන් ද? බැහැ. සල්ලි තිබුණත් සන්තෝෂයෙන් ඉන්න බැරි අය අප සමාජයේ කොයිතරම් ඉන්නවාද? සල්ලි වැඩිවෙලා දුක්‌ විඳින අය කොයිතරම් ඉන්නවාද? එහෙනම් සන්තෝෂය තිබෙන්නේ කා ළඟද? පොඩ්ඩක්‌ කල්පනා කර බලන්න.

අපට සන්තෝෂයෙන් ඉන්න බැරිවී තිබෙන්නේ අන්ත දෙකෙන් එකක්‌ අල්ලාගෙන ජීවත්වෙන්න පුරුදු වී සිටින නිසා. ඒ නිසා අන්ත දෙකම අත්හරින්න. අත්හැරලා මධ්‍යයට පැමිණෙන්න. මධ්‍යය තුළ ජීවත්වන විට ඔබට විමුක්‌තිය ලබා ගැනීමට ද පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන මේ ධර්මය හරිම ප්‍රායෝගිකයි. මතු භවයට කල් දම දමා ඉන්න ඕනෑ නැහැ. ඒ නිසා අද සිටම මනසින් අත්හැරීම පුරුදු වන්න. කිසිම දේකට බැඳීම් ඇති නොකරගෙන ප්‍රීතියෙන්, සන්තෝෂයෙන් ජීවත්වෙන්න. අහිමි වුණාම දුක්‌වෙන්නේ නැතිව අහිමි වුණාම සංතෝෂ වෙන කෙනා සදාකාලික සන්තෝෂයට පත්වෙනවා.

එච්. සරණපාල


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: