Posted by: lrrp | November 14, 2012

නිදහසේ හැදෙන දරුවාට හොඳ පෞරුෂයක් ලැබෙනවා

දරුවන් ඉදිරියේ දී වැඩිහිටියන් ගේ ක්‍රියාකලාපය වඩාත් පරෙස්සම් විය යුතු බවත්, එය දරුවන්ගේ චරිතයට බෙහෙවින් බලපාන බවත් මනෝ විද්‍යාත්මක පිළිගැනීමක්. දකින දෙයින්, ඇසෙන දෙයින් ලෝකය හා එහි ස්වභාවය හඳුනා ගන්නා දරුවා තමන් ගේ හැසිරීම් හසුරුවා ගන්නේ ඒ අනුකරණයෙන්. දරුවා හැදෙන වැඩෙන ගෙදර පරිසරය වඩාත් සුබවාදී විය යුතු බව කියන්නේ ඒ නිසයි.

කෙමෙන්, ළදරු විය, ළමා විය ගෙවන දරුවා නව යෞවන වියේ දී අනුකරණයෙන් ඉගෙන ගන්නවාට වඩා තමන් ගේ අත්දැකීම්වලින්, ඉගෙන ගන්නට උත්සාහ කරනවා. යහළු යෙහෙළියන් ගේ ඇසුර වඩාත් පි‍්‍රය කරමින් අම්ම තාත්තගෙන් ටිකෙන් ටික දුරස් වෙනවා. මුරණ්ඩුකම්, අකීකරුකම් ඇති වෙනවා. මෙය වයසත් සමඟ සිදුවන වෙනස්වීමක්. දරුවන් හා මවුපියන් අතර ගැටීම් ඇතිවෙන්නේ මේ වෙනස හඳුනා ගන්නට, තේරුම් ගැනීමට මවුපියන් උත්සාහ නොකිරීම නිසයි. දරුවා පියවරෙන් පියවර උස්මහත් වන සැටි අපි දකිනවා. මේ කායික වර්ධනයත් සමඟම දරුවා ගේ මානසික වර්ධනය ද සිදු වෙනවා. ඇසට නොපෙනෙන නිසා ඒ මානසික වර්ධනයන් සමඟ වෙනස්වන හැසිරීම් හඳුනා ගැනීම අපහසු වෙනවා. මේ වෙනස තේරුම් ගෙන උපක්‍රමශීලීව කටයුතු කළ හැකි නම් දරුවා කෙරෙහි කීකරුකම, ආචාර සම්පන්න බව, ඉගෙනීමේ උනන්දුව ආදී ගුණාංග වර්ධනය කිරීම අසීරු වන්නේ නෑ.

කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය
නෙළුවාකන්දේ ඤණානන්ද හිමි

නව යොවුන් වියේ දී විශේෂයෙන් බොහෝ පිරිමි දරුවන් වැඩිහිටියන් ගේ අවවාද තමන්ට බාධාවක් කරදරයක් ලෙස සලකනවා. ඒ නිසාම ටිකෙන් ටික අම්මගෙන් තාත්තගෙන් දුරස් වෙනවා. ඔවුන්ගේ සිත යන්නේ යහපත් වුවද, අයහපත් වුවද තමන් කැමති දේට උදව් කරන අයටයි. මේ අවස්ථාවේ දී තමන් ගේ දරුවා අකීකරුයැයි, මුරණ්ඩුයැයි සිතා දඬුවම් කිරීමෙන් සිදු වන්නේ ඔහු මවුපියන් පිළිබඳව තව තවත් අප්‍රසාදයට පත්වීමයි. කළ යුතු වන්නේ දරුවාගේ සිත නොරිදෙන ලෙස උපායශීලීව වරදින් මුදවා ගැනීමයි. විශේෂයෙන් ම අම්ම තාත්තාගේ ආදරය කරුණාව, දරුවාට දැනෙන්නට හැරීමෙන්, නිරන්තර ඇගයීමෙන් දරුවා නිවැරැදි මඟට යොමු කරවා ගැනීම අසීරු නොවෙයි.

ගමේ කොලු කුරුට්ටන් එක්ක සෙල්ලමට යන දරුවට ‘පුතේ රෑ වෙන්න කලින්ගෙදර එන්න’ කියන අම්මට සමහර දරුවො පිළිතුරු දෙන්නේ ‘ඇයි මම ගෙදර එන්න පාර දන්නේ නැද්ද?’ යි එකට එක කියමින්. හැන්දෑවට මේ මුරණ්ඩුකම් ගැන අම්ම තාත්තට දැනුම් දෙනවා. තාත්තගෙන් ලැබෙන්නේ කෝටු පාර. දරුවා හරි මඟට ගන්නට මෙසේ දඬුවම් කළත් මේ ක්‍රමයෙන් සිදුවන්නේ දරුවා තව තවත් මුරණ්ඩු වීමයි. මවුපියන් වගේ ම ගෙදරත් එපා වීමයි. දැඩි නීති රීති හා පාලනයන්ට යටත්ව හැදෙනවාට වඩා නිදහසේ කටයුතු කරන්නට ඉඩ හැරීමෙන් දරුවා හොඳ පෞරුෂයක් ඇතිව ගොඩනැඟෙන බව අද පිළිගැනෙනවා. වැදගත් වන්නේ මේ නිදහස දෙන අතරේ ම දරුවා පිළිබඳව නිරන්තරයෙන් ම අධීක්‍ෂණය කිරීමයි. උදාහරණ ලෙස පරිගණකය අද අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්වෙමින් තිබෙනවා. එය පරිහරණය කිරීමට ඉගැන්වීම අවශ්‍යයි. ඒත් දරුවෙක් කාමරයක් තුළට වී තනිවම, දොරගුළු ලාගෙන එය පරිහරණය කරනවා නම් එතැන දී සිදුවන්නේ අයහපතක්. පරිගණකය ඔස්සේ හොඳ වගේම නරක දේත් දරුවාට ග්‍රහණය වන බව අවබෝධ කර ගන්නා අතරම දරුවා ගේ රුචිකත්වය තමන් හිතනවාට වඩා වෙනස් විය හැකි බව තේරුම් ගෙන කටයුතු කිරීම ද වැදගත්.

විවිධ වැරැදිවලට යොමුවුණු, නොමඟට ගිය තරුණයින් අතරින් අද සියයට 90 ත් වඩා ඒ තත්ත්වයට ගොදුරු වී සිටින්නේ යොවුන් වියේ දී නිවසේ හුදකලා වූ දරුවන්. කාර්ය බහුලත්වය හෝ වෙනයම් හේතුවක් නිසා මවුපියන් සමඟ සමීප වන්නට ඉඩ නොලද දරුවන්. දරුවන්ට ඇහුම්කන් දෙන්නට, ප්‍රශ්න ගැටළු විසඳා දෙන්නට, ඔවුන් සමඟ සතුටු සාමීචියේ යෙදෙන්නට මවුපියන් විසින් කාලයක් වෙන්කර ගැනීම ඉතා වැදගත් වන්නේ ඒ නිසයි.

තමන්ගේ ප්‍රශ්නවලට, අදහස්වලට ඇහුම්කන් දෙන්නට අම්මට තාත්තට කාලයක් නැති වුවහොත් දරුවා තමන්ට සවන්දෙන කණ්ඩායමක් සොයා ගැනීමට පෙලඹෙනවා. සම වයසේ දරුවන් ඒ අතරින් ප්‍රධානයි. දරුවාට උපදෙස් ලැබෙන්නේ ඒ අයගෙන්. එහිදී හරි වැරැද්ද තෝරා ගන්නට නොදන්නා දරුවා අතරමං වෙනවා. මත් පෙති හා මත් පැන්වලට ඇබ්බැහි වීම, දුම්වැටි භාවිතය, නිවසට හොරෙන් ගංගා, ඇළ දොළවල දියනෑමට යෑම, විවිධ අත්දැකීම් විඳින්නට හුරුවීම ආදී අනේක විධ ක්‍රියාවන් එහි ආදීනවයන්.

විශේෂයෙන් යොවුන් වියේ පිරිමි දරුවන් අනෙක් දරුවන් අතර කැපී පෙනෙන්නට පි‍්‍රයයි. යමක් කරන්නට තමන්ට බැරි බව පෙන්වීමට, පිරිසක් ඉදිරියේ ‘මට බෑ’ කියන අවඥව විඳින්නට අකමැති ඔවුන් ඕනෑම අවධානමකට ඉදිරිපත් වෙනවා. දරුවන්ට බොහෝ විපත් කරදර සිදු වන්නේ මේ නිසයි.

මේ ස්වභාවය හා දරුවන් ගේ රුචිකත්වය තේරුම් ගෙන උපායශීලීව කටයුතු කරනවා නම් බොහෝ අනතුරුවලින් ඔවුන් ආරක්‍ෂා කර ගන්නට පුළුවන්.

අනෙක් අතට යොවුන් දරුවන් යම් යම් වැරදිවලට පොලඹවා ගන්නට උත්සාහ ගන්නා, අධම මිනිසුන් පිරිසක් ද මේ සමාජයේ සිටිනවා. දරුවා මත්ද්‍රව්‍ය, දුම්වැටිවලට ඇබ්බැහි වන්නේ මේ උත්සාහයන්වල ප්‍රතිඵලයක් ලෙසින්. හොඳ අධීක්‍ෂණයකින් නොසිටියේ නම් දරුවන් මේ ආගාධයන්ට වැටීමෙන් වළක්වා ගත නොහැකියි. සැබැවින් ම මෙය මවුපියන් ගේ වගේ ම සමස්ත සමාජයේ ම වගකීමක්. එක් අවස්ථාවක අපේ බුදු හාමුදුරුවෝ ‘අත්තානං උපමං කත්වා…’ යනුවෙන් දේශනා කළා. ඒ සෑම මොහොතක ම තමන් උපමාවට ගෙන කටයුතු කළ යුතුය යන අර්ථයෙන්. කා ගේ හෝ දරුවකුට විපතක් අයහපතක් වනවා නම් ‘මේ මාගේ දරුවා වැනිම දරුවෙක් නේ ද?’ ‘මගේ දරුවෙකුටත් මෙවන් විපතක් වුණොත්’ යන හැඟීමෙන් ඒ දරුවා බේරා ගන්නට ඉදිරිපත් වනවා නම් අපේ යොවුන් දරු පරපුර රැක ගැනීම අසීරු වන්නේ නෑ. ඔවුන්ගේ අනාගතය අඳුරු වන්නේ ද නෑ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: