Posted by: lrrp | November 14, 2012

මගේ ළමයි දාලා මට යන්න බෑ

අපේ පියවි ඇසට නොපෙනෙන ලෝකයේ ජීවත් වන ජීවීහු බොහෝ ය. මුළු විශ්වය පුරාත්, අප ජීවත් වන පරිසරය වටාත් අසීමිත අනන්ත ප්‍රමාණයක් වෙසෙති. මිනිසත්ව සිටිය දී කරන ලද කුසල අකුසල කර්මයන් ගේ විපාක වශයෙන් සැප දුක විඳිමින් වෙසෙති. කුසල් කළෝ දෙවි බඹුන්ව ඉපිද අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් සැප සම්පත් වළඳති. බඹහු ධ්‍යාන සුව විඳිති. අකුසල් කළෝ පේ‍්‍රතව, නේරයිකව, ඉපිද අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් කල්ප ගණන් අනන්ත දුක් විඳිති. සුගතිගාමී දුගතිගාමී දෙපිරිස ම විවිධ ය. විචිත්‍ර ය. විවිධ වූ බල හැකියාවන් ගෙන් මෙන්ම නැති බැරිකම්වලින් ද යුක්ත ය. නිරයේ ඉපදුණු නේරයිකයෝ අවුරුදු ලක්ෂ ගණන් කල්ප ගණන් එක දිගට දුක ම වින්දත් ඔවුන් මොහොතක් පාසා නිරා ගින්නෙන් දැවීමෙන් ඉපිද ඉපිද මැරෙති. මැරි මැරී උපදිති.

සමහර පේ‍්‍රත ජීවීහු යම් යම් හැකියාවන් ද දරති. ඔවුන් දෙවියන්ගෙන් අවසර ගෙන තමන්ගේ දූ දරු ඥාතීන් කරා එලඹ යම් යම් ක්‍රියාකාරකම් කරති. සමහරු ඥාතින්ට උදව් කිරීම් වශයෙන් පේන කියන්නට උදව් කරති. ඔවුන්ට පෙනෙන දේවල් කියනවා මිස නොපෙනෙන දේවල් කියන්නට නොහැකිය. අනාගතය කියන්නට නම් මේ පේ‍්‍රතයන්ට කොහෙත් ම බැරි ය. අනාගතය කීමට ධ්‍යාන වඩා දිව්‍ය ඥාන ශක්ති ලැබිය යුතුය. මේ පෙරේතයින්ට මොන දිව්‍ය ඥාන ද? එහෙත් ඥාතියාට උදව් කිරීම් වශයෙන් ආදායම් ලබා දීම් වශයෙන් වස්තු සම්පත් ලබා දීමට, නඩුවලින් ජයග්‍රහණ ලබා දීමට, විභාග සමත් කැර දීමට පොරොන්දු වෙති. අතීතයේ වෙච්ච දේවල් වර්තමානයේ පවතින දේවල් කියූ විට පේන අසන්නට එන්නේ “අනේ ඇත්තට ම බලා හිටියා වගේ කියපු හැටි!” යි ඒ ගැන තද විශ්වාසයක් තබා රැවටෙති. දෙවියන්ගෙන් වරම් ලබා ගෙන පැමිණෙන යම් යම් හැකියාවන් ඇති පේ‍්‍රතයෝ දෙවියන් නමින් පෙනී සිටින විට පේන කියන ඥාතියා පවසන්නේ අසවල් දෙවියන්ගේ වරමින් ශාස්ත්‍ර කියන බව ය. මළ පෙරේතයෝ මිසක කිසි ම දෙවියෙකු මිනිස් ශරීරයකට රිංගන්නේ නැත. එය දහමෙහි සඳහන් වන්නේ මෙසේ ය.

දෙවියෝ නම් තන්මාත්‍ර ආහාරයන්ගෙන් යැපෙන හෙවත් සතුට භුක්ති විඳින ජීවී කොට්ඨාසයකි. මිනිස් ලොව පින් කුසල් කිරීමේ විපාක වශයෙන් සැප ෂඳින්නෝ ය. එසේ ම මානයෙන් ද (මානාති මාතඞ) යුක්තය. එවැන්නන් නැවත මිනිස් භවයට එන්නට කැමති දැයි යන ප්‍රශ්නයට පිළිතුරු දහමෙහි සඳහන් වෙන්නේ, අසූචි වළක වැටුණු පුද්ගලයෙකු ඒ වළෙන් ගොඩ ගෙන නහවා පිරිසිදු කොට, යළිත් සුවඳ පැනින් නහවා වටිනා කසී සළු අන්දවා නැවතත් අර අසූචි වළට බහින්න ය කීවොත් එය පිළිකුල් කොට ප්‍රතික්ෂේප කරනවා හා සමානය. එසේ නම් එවැනි දෙවියෝ මිනිස් ශරීරවලට රිංගාවි ද?

උඩුනුවර පදිංචිකාරියක වන මානෙල් තිස්තුන් හැවිරිදි දෙදරු මවකි. අවුරුදු දහයක සිට දේව වරමින් පේන කියමින් දේවාලයක් පවත්වා ගෙන ගිය බව කියයි. ඇයට දරුණු ඇඟ පත වේදනාවක් වැලඳීමෙන් ද බඩ පුරවා දැමීමෙන් ද රාත්‍රී හීනෙන් බිය වීමෙන් ද දුකට පත්ව පීඩා වින්දා ය. අනුන්ගේ ඕනෑම ලෙඩක් සුව කරන්නට බාර ගන්නා මේ දේව ගැතිනිය තමන්ගේ ලෙඩ දුක් සුවපත් කැර ගන්නට බැරිව වෛද්‍යවරුන් සොයා ගියාය. වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලැබ යකැදුරන් ගෙන්වා වත් පිළිවෙත් කළාය. ඒත් සුවයක් නොලද තැන ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ආවාය.

එහි දී ඇය ප්‍රලය වූ නමුත් කතා කරන්නට තරම් ශක්තියක් නොවූයෙන් බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන්නැයි උපදෙස් ලැබුණි. ඊළඟ දිනයේ පැමිණි විට ඇය නැවතත් ප්‍රලය වී වෙව්ලන්නට වූවාය. ගවේෂක වරයා ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය.

“කව්ද මේ…”

“මම පුංචි අප්පුහාමි”

“කව්ද පුංචි අප්පුහාමි කියන්නේ?”

“මේ මානෙල්ගෙ සීයා.”

“සීයා මොකද මිණිබිරීට කරදර කරන්නෙ?”

“මම කරදර කරන්නේ නෑ”

“එහෙනම් මොනවද මේ වෙලා තියෙන්නෙ?”

“මහත්තයා! මේ මානෙල් ඉන්නේ මගේ ගෙදර”

“ඉතින්?”

“මගේ ගෙදර මම දේවාලයක් පවත්වාගෙන ගියා.”

“මොන දේවාලයක් ද?”

“කතරගම දේවාලයක්.”

“ඊට පස්සෙ?”

“මම මළාට පස්සෙ මේ මානෙල් ඒ දේවාලයෙ කටයුතු කළා. මීට අවුරුදු දහයකට පෙර මානෙල් වරමක් ගත්තා.”

“නමුත් මැරිලා කතරගම උපන්නා ද?”

“නෑ මේ දේවාලයෙමයි උපන්නෙ”

“ඉතින් මානෙල්ට දේව වරමක් ද ලැබුණෙ?”

“නැහැ. දෙමළ සාමි කෙනෙක් ගෙන්නා ගෙනයි වරම ගත්තේ. ඒ සාමි ඒකට බන්ධනය කළේ මාව. මමයි බැඳුණේ.”

“ඇයි මානෙල් පේන කියන්න පටන් ගත්තෙ?”

“මානෙල් කසාද බැන්දේ ජයන්තව. ජයන්තයා රස්සාවක් කළේ නෑ. මේ දේවාලෙන් ජීවත්වෙන්න බලාගෙන මානෙල්ට සාමි ලවා වරමක් අරන් දුන්නා.”

“ජයන්තයි මානෙලුයි දේවාලයෙ මොනවද කළේ?”

“උන් හූනියන් – වශී ගුරුකම් වගේ දේවල් කළා. පත්තරේ දැන්වීම් එහෙම දාගෙන ජයට හම්බ කළා. හැබැයි උන් හම්බ කරන්න ම බැලුවා මිසක් දානයක් මානයක් දීලා මට පින් දුන්නේ නෑ. මමත් කළකිරීමෙන් හිටියේ.”

“ඉතින් මානෙල් දියුණු වුණා ද?”

“මුන් වැඩි තණ්හාවට නිධානයක් ගන්න ගියා.”

“ඉතින්?”

“නිධානය භාරව හිටිය බහිරව භූතයා පළමුවෙන්ම මට ගහලා මාව යටත් කරලා හිර කැර ගත්තා.”

“ඊට පස්සෙ නිධානය ගන්න ගිය කණ්ඩායමට ගහලා එළෙව්වා. එළව එළව ගැහුවා. ජයන්තට ලේ වමනය දාන්න ගැහුවා. ඊට පහුව දා ජයන්ත මළා. ඔන්න වැඩි තණ්හාවට ගිහින් තිබුණු දේත් නැති කැර ගත්තා.”

“දැන් ජයන්ත කොහේද ඉන්නෙ?”

“ජයන්තත් අර බහිරව භූතයා ළඟ හිර කර ගත්තා.”

“ඉතින් පුංචි අප්පුහාමි කොහොමද මෙහෙට ආවේ”

“ඔබතුමා අධිෂ්ඨාන කළාම ඒ බන්ධනෙන් මිදිලා ආවා.”

“බහිරව භූතයා දන්නේ නැද්ද?”

“දන්නවා. උඹ පලයං කියලා නිදහස් කළා.”

“බහිරව බන්ධනයට අහුවෙලා ඉන්දැද්දි මොනවද කළේ?”

“මුකුත් කළේ නෑ. බහිරව භූතයාගෙ බන්ධනයට අහුවුණාට පස්සෙ කිසි දෙයක් නොපෙනී ගියා. එක ම තැන අඳුරේ හිර වෙලා හිටියා.”

“පුංචි අප්පුහාමි ආයෙත් ගෙදර දේවාලයට යන්න කැමති ද?”

“අනේ! එපා. එපා.”

“ඇයි අකමැති?”

“මුන් මගේ දේවාලයෙන් හම්බ කළා මිසක් මට පිනක් අනුමෝදන් කළේ නෑ. අරූ ජයන්තයටත් වුවමනා වුණේ නිකම් ඉඳගෙන දේවාලෙන් ජීවත් වෙන්න. වැඩිය හම්බ කරන්න ගිහින් ලේ වමනය දාලා මළා.”

“පුංචි අප්පුහාමි එහෙනම් ආපහු බහිරව බන්ධනයටම යනව ද?”

“බෑ බෑ එතනත් හිර දුකක් විඳින්න තියෙන්නෙ?”

“එහෙනම්?”

“මම කතරගමට යනවා.”

“මම එහෙනම් පූජා වට්ටියකට නංවලා කතරගමට යවන්න ද?”

“එපා මහත්තයා මට යන්න පුළුවන්. මම කතරගම දෙවියන්ට ඉස්සර ඉඳල ම පුද පූජා තියපු කෙනෙක්නෙ. මට එතැනට යන්න පුළුවන්. එතැනට ගිහින් ආවතේව කරගෙන ඉන්නවා.”

ඉන් පසු ගවේෂකවරයා ජයන්තගේ භූතාත්මය ගෙන්විය. ඔහු හඬා වැළපෙන්නට වූයේය.

“කව්ද මේ අඬන්නේ?”

“මම ජයන්ත”

“ජයන්ත මොකද වුණේ?”

“අපි නිධානයක් ගන්න ගියා. එතන හිටපු බහිරව භූතයා හරි ම බලවත්. අපට ගහල පැන්නුවා. මම ලේ වමනය දාගෙන මැරුණා.”

“දැන් ජයන්ත කොතනට ද යන්න කැමති?”

“අනේ! මට කොහේවත් යන්න බෑ. මගේ ළමයි දෙන්නා දාලා මට යන්න බෑ.”

“තමුන් කරපු වැඩ නිසා දැන් මානෙල් දුක් විඳිනවා. ඒ මදිවාට දරුවන් ගැන ආශාවෙන් බැඳිලා ඒ දරුවන්ටත් කරදර කරන්නනේ හදන්නේ? එහෙම වුණොත් මම තමුන්ව ආයෙත් අර බහිරවයා ළඟට යවනවා. තමුන් ඉස්සර හිටපු ජයන්ත නෙවෙයි දැන්. දැන් තමුන් පේ‍්‍රත ජීවියෙක්. මිනිස්සුන්ටයි පේ‍්‍රතයින්ටයි එකට ජීවත්වෙන්න බෑ. ඒ දරුවන්ට ඉගෙන ගෙන හොඳින් ජීවත් වෙන්න ඉඩ දීලා තමුන් කැමති තැනකට යන්න.”

“අනේ! මට දුකයි.”

“තමුන් නිධානය ගන්න ගිහින් එතන හිර වුණා ම මේ මානෙල් කොහොමද ජීවත්වුණේ?”

“ඉස්සර මානෙල්ගෙ දේවාලයට මිනිස්සු පේන අහන්න ආවාම පුංචි අප්පුහාමි සීයා ඒ මිනිස්සුන්ගෙ ගෙවල්වල තොරතුරු කියනවා. ගේ මේ වගේ නේද? කාමර මෙච්චර තියෙනවා නේද? අසවල් කාමරේ ඇඳේ ඉන්න ලෙඩා කව්ද? ඒ ලෙඩා ගැන නේද අහන්නේ කියලා. ඒ විස්තර කීවා ම මිනිස්සු පේනය විශ්වාස කරනවා. ඊට පස්සෙ අප ලවා අවශ්‍ය ශාන්ති කර්මය මුදල් ගෙවලා කරවා ගන්නවා. අපි කියන ගාණක් අපට දෙනවා. හැබැයි ඉතින් ලෙඩාගෙ වාසනාවකට සනීප වුණොත් මිසක් අපේ ශාන්ති කර්මයෙන් සනීප වෙනවා නොවෙයි.”

“තමුන් නිධානය ගන්න ගිහින් බහිරවයාට අහුවුණා ම මොකද වුණේ?”

“අනේ! මහත්තයා ඒ බහිරවයා මට හරියට දුක් දුන්නා. හිතුණ හිතුණ ;වලාවට මට ගහනවා. තෝ මේ නිධානය ගන්න හැදුවා නේද? මේක තොට අයිති දෙයක් නෙවෙයි කියලා මට ගහනවා. අනේ! මම එතනදි විඳපු දුකක්.”

“ඉතින් තමුන් එතනින් ආවෙ කොහොම ද?”

“ඔබතුමා කතා කළාම මාව නිදහස් කළා.”

“මම බහිරවයාට පොරොන්දු වුණා ආයෙත් නිධානය ගන්න යන්නේ නෑ කියලා.”

“ඉතින්?”

“බහිරවයා මහා හයියෙන් හිනා වුණා.”

“ඒ මොකද?”

“එයා කීවා තොට දැන් නිධාන ගන්න බෑ බොල. තෝ දැන් පෙරේතයෙක් කියලා මට හිනා වුණා.”

“දැන් පුංචි අප්පුහාමි කතරගමට ගියා. තමුන්ටත් බැරිද කතරගමට යන්න.”

“බෑ බෑ පුංචි අප්පුහාමි මං එක්ක තරහයි. මානෙල්ව අමාරුවෙ දැම්මා. දේවාලය නැති කළා. දේවාලයෙන් මිනිස්සු රවටලා සල්ලි හම්බ කළා කියලා කතරගමට ගියොත් උන්දැගෙන් බේරෙන්න ලැබෙන්නෙ නෑ.”

“එහෙම නම් මානෙල්ගෙ දේවාලයට යනවා ද?”

“බෑ එතනටත් පුංචි අප්පුහාමි බැල්ම හෙළනවා.”

“එහෙම නම් කොහේටද යන්නෙ?”

“ඔබතුමා අවසර දුන්නොත් මගේ දුවගෙ ඇඟට රිංගා ගන්න පුළුවන්.”

“ඒ දරුවන්ගෙ ජීවිතත් කාලකණ්ණි කරන්න ද හදන්නෙ?”

“මම මගේ සොහොනට යන්නම්.”

“දානයක් දීලා පින් දුන්නොත් තමුන්ට පේ‍්‍රතාත්මයෙන් නිදහස් වෙන්න බැරි ද?”

“බැහැ. පින කියන්නේ මොකක්ද කියලා මට හිතා ගන්නවත් බැහැ. මම කරපු වැරදි වැඩ නිසා තවම දැවි දැවී ඉන්නවා. හිතට පින දැනෙන්නේ නෑ.”

“එහෙම නම් ගැටඹේ බෝධිය ළඟ ගේට්ටුව ළඟට වෙලා මිනිස්සු පින් දහම් කරන හැටි බල බලා ඉන්න. කාලයක් ඉන්න කොට හිතට පින් දැනේවි.

භූතාත්මය ගැටඹේ බෝධීන් වහන්සේ ළඟට යන්නට කැමති විය. “අනේ! බලන්න මහත්තයා ගැටඹේ බෝධීන් වහන්සේ ඔබතුමා මතක් කරන කං මට මතකයට ආවෙත් නෑ. මම ඉස්සර කොල්ල කාලෙ ගැටඹේ බෝධිය ළඟ වැඩ කරපු බාස් උන්නැහේලට අත් වැඩ දුන්නා මතකයි. වැඩ ඇරිලා යන කොට බෝධියට වැන්දත් මතකයි. මේ මානෙල් මා එක්ක යාළු වුණෙත් එතැනදියි. හොඳයි මම එතැනට යන්නම්.”


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: