Posted by: lrrp | November 19, 2012

ඉතා පැරණි සිංහල බණ කතා – ඵුස්සදේව තෙරුන්ගේ කථාව

මෙසේ අසන්ට ලැබේ. උතුම් ද්වීපයන්ට මුදුන්මල් කඩක් වැනි වූ සිංහල ද්වීපයෙහි භාවනානුයෝගීන් වසන කාළකන්දර නම් විහාරයක් ඇත. ඒ වෙහෙරෙහි මෛත්‍රි විහරණ ඇති, වත්පිළිවෙත්හි යෙදුණු, සස්නෙහි පිහිටි ඵුස්සදේව නමැති යෝගී තෙර නමක් පන්සියයක් භික්ෂූන්ට අවවාද දෙමින් වාසය කරයි. හෙතෙම මිනිසුන්ට ප්‍රියමනාප වූ අතිශයෙන් දැකුම්කලු පුද්ගලයෙක් විය. යම් අවස්ථාවක තෙර නම පිඬුපිණිස යේ නම් ඒ මග කුඹුරුවල වැඩකරන මිනිස්සු ගොනුන් ලිහා තෙරුන් වැඳීමට මගට එති.

ගොන්නු ඒ කාලයේ දී තමන්ට නිදහස ලැබෙන බැවින් තෙරුන්ගේ ඒම බලාපොරොත්තුවෙමින් සතුටු සිතැත්තෝ වූහ. ඒ චිත්ත ප්‍රසාදයෙන් ඔවුහු තව්තිසාභවනයෙහි උපන්හ. ඉක්බිති එසේ උපන් පෙර ගොන්නුව සිටි දේව පුත්‍රයෝ පන්සිය දෙනෙක් සුධර්මාසභාවෙහි රැස්ව දෙව්රජු ඉදිරියෙහි මෙසේ කීහ: (1) සිල්වත් ගුණවත් උගත් ඵුස්සදේව යයි ප්‍රකට වූ තෙරමක් කාළකන්දර ලෙණෙහි වසයි.

(2) හෙතෙම අඩු ආශා ඇත්තේ ය. ධුතාඞ්ග දරන්නේ ය, සියලු සත්ත්වයන්ට අනුකම්පා කරන්නේ ය. විවේකයෙහි ඇලුණේ ය, ධ්‍යාන වඩන්නේ ය. මනා සිහි ඇත්තේ ය, ශාන්ත සිත් ඇත්තේ ය, (3) ඒ තෙරනම සියලු සතුන්ගේ යහපත කැමති වේ, සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරුවමින් කාළකන්දරයෙහි වසයි. (4) ඒ තෙරනම මිනිසුන්ට ද අමනුෂ්‍යයන්ට ද මෘගපක්ෂීන්ට ද ප්‍රිය වේ.

හෙතෙම නිතර වනයෙහි වසයි. (5) දිනූ ඉඳුරන් ඇති ඒ ඵුස්සදේව තෙරනම මෙසේ අනන්තගුණ ඇත්තේ ය. (6) පන්සියයක් පමණ ගොනුන්ව ඉපද සිටි අපි තෙරුන් කෙරෙහි සිත පහදවා මේ දෙව්ලොවට පැමිණියෙමු. (7) නොයෙක් මෘගපක්ෂීහු ද එතුමන් කෙරෙහි සිත පහදවා දෙව්ලොව උපන්හ. මිනිසුන් ගැන කියනුම කිම? (8) මෙසේ ඒ සිල්වත් මනාසංවර ඇති තෙරනම දෙව්මිනිස් බොහෝ දෙනෙකුන්ට ද මෘග පක්ෂීන්ට ද සැප එළවන්නකි.

තව්තිසා වැසි දෙවියෝ මෙසේ කාළකන්දර වෙහෙර වැසි ඵුස්සදේව තෙරුන්ගේ ගුණ අසා තෙරුන් දකිනු කැමතිව දෙව්රජු අමතා ‘පින්වත, අපි ඵුස්සදේව තෙරුන් දකිනු කැමතිව දෙව්රජු අමතා ‘පින්වත, අපි ඵුස්සදේව තෙරුන් දකිනු කැමැත්තෙමු’ යි කීය.

ශක්‍ර තෙමේ ඒ කීම පිළිගෙන යම් පමණ ඉක්මනින් මිනිසෙක් වක් කළ අතක් දික්කරන්නේ ද, දික්කළ අතක් හකුළන්නේ ද, එපමණ ඉක්මනින් දෙව්ලොවින් බැස කාළකන්දර විහාරයෙහි ඵුස්සදේව තෙරුන් ඉදිරියෙහි පෙනී සිට තෙරුන් වැඳ එක් පසෙක සිටගෙන (9) ‘ස්වාමිනි, තව්තිසාවැසි දෙවියෝ ඔබ දැකීමට කැමතිවෙති, එබැවින් දෙව්ලොවට යමු’යි යාඥා කළේ ය.

තෙරනම : (10) දේවේන්ද්‍රය, මම පෘථග්ජනයෙක් වෙමි. යම් ඍඩියකින් දෙව්ලොවට යා හැකි නම් ඒ ඍඬිය මට නැතැ යි කීය. ‘ස්වාමීනි, ඔබ පෘථග්ජන බව මම දනිමි. ඔබට ඍඬියක් නැති බවත් දනිමි. මම ඔබවහන්සේ ඔසවාගෙන යන්නෙමි; ඉවසුව මැනවැ’යි සක්දෙව් රජ කීය. තෙරුන් නිශ්ශබ්ද වූ විට ශක්‍ර තෙමේ එතුමන් වැඩහුන් ගලත් සමග ඔසවා ගෙන ගියේ ය.

ඔසවන කෙණෙහි ම තෙරනම ඇස් පියා ගත්තේ ය. (එසේ කෙළේ දෙවඟනන් නොදැකීම සඳහා යයි සහස්සවත්ථුවෙහි කියැවේ) දෙව්රජ තෙරුන් ගෙනගොස් වැඩහුන් ගල්තලාව සමගම සුධර්මා සභාවෙහි තැබීය. සියලු දෙවිවරු තෙරුන් වැඳ හාත්පසින් පිරිවරා ඉඳ ගත්හ.

තෙරනම සංයුක්ත නිකායේ මහා වර්ගය කටපාඩමෙන් කීය. ඒ දේශනාවසානයේ දී තෙරනම ‘දේවරාජයෙනි, මා මිනිස් ලොවට ගෙන යනු මැනවි; පිණ්ඩපාත කාලය වන්නේ ය’යි කීය. ශක්‍රතෙමේ යහපතැයි කියා ගල්තලාව සමග තෙරුන් ගෙනවුත් කාළකන්ද විහාරයෙහි තැබී. මින් පෙර ඒ තෙරුන් සංයුක්ත මහා වග්ගය කියවන විට යාම තුනකින් නිමාවට යයි.

එබැවින් මෙහිදීත් ඒ වර්ගය කියා අවසන් වෙන විට මිනිස් ලොව උදෑසන බත් කාලයයි එතුමෝ දැනගත්හ. ඒ නිසා තමා මිනිස් ලොවට ගෙනයන සේ සක්දෙව් රජුට කීය. සක්දෙව්රජ මේ ආකාරයෙන් ම සවරක් මේ තෙරුන් දෙව්ලොවට ගෙන ගොස් ධර්ම ශ්‍රවණය කෙළේය.

තෙරනම එක් දිනක් බෝමලුව මනාසේ ඇම ද බුදුගුණ සිහි කරමින් ඇඳිලි බැඳගෙන බෝධිය දෙස බලමින් සිටියේ ය. මාරයා එය දැක වික්ෂේප කිරීම පිණිස මහාවාතයක් මවා බෝමලුවෙහි කසළ ගෙනවුත් දමා ගියේ ය. නැවත තෙරනම එය ඇම ද බුදුගුණ සිහිකරමින් සිටියේ ය. නැවත මාරයා වඳුරෙක් වී ඒ ඒ අත්තට පනිමින් මලුව කැත කළේය. තෙරනම නැවතත් එය ඇමද බුදුගුණ සිහිකරමින් සිටියේ ය.

නැවත මාරයා මහලු ගවයකුගේ වෙසින් අවුත් බෝමලුවෙහි ඇවිදිමින් පාගා අවුල් කෙළේය. එවිට තෙරනම මේ මාරයා යයි දැනගෙන (12) ‘පාපිෂ්ටය, මම මනාසේ හැමදි බෝමලුව දැක සිත පහදා ගත්තෙමි, තෝ කුමක් හෙයින් මට අන්තරාය කෙරෙහිදැ’යි ඇසී. මාරයා තෙරුන් විසින් මා හැඳිනගත්තා ලදැයි දැන සියවෙසින් පෙනී සිටියේ ය.

(13) ඵුස්සදේව තෙරනම තමා ඉදිරියෙහි සිටි මාරයා දැක මෙසේ කීය; (14) ‘ඔබ බුද්ධරූපය මවා පෙන්වීමට සමර්ථවෙහි. මම එය දකිනු කැමැත්තෙමි. එසේ කරන ලෙස ඉල්ලමි’යි. (15) යහපතැයි පිළිගත් මාරයා දෙතිස් මහා පුරිස් ලකුණින් යුත් බුද්ධ රූපයක් මවාගෙන තෙරුන් ඉදිරියෙහි සිටියේ ය.

ඉක්බිති තෙරනම බුද්ධරූපය දැක ඇඳිලි බැඳගෙන දැහැගත් ලොම් ඇත්තේ කඳුළු පිරුණු ඇස් ඇතිව පැහැදීමෙන් යුතුව දීපංකර පාදමූලයේ පටන් බෝසත් සිරිත මෙනෙහි කොට බුදුගුණ සිහිකරමින් මෙසේ කීය: (16) මහාමුනීන්ද්‍රයෙනි, හුදකලා වූ මා සඳහා ඔබ විසින් කරුණාසහගත සිතින් නොයෙක් කලාපවල දී කුසල් රැස් කරන ලදී. (17) සිය සිරුරත් පරිත්‍යාග කරන ලදී.

සිල් රැක්කේ ය, තපසට ගියේ ය, ප්‍රඥාව පිරුවේය. (18) වීර්යය දැඩිසේ ගෙන ඉවසීම පුරුදු කෙළේය. සත්‍යයෙහි පිහිටියේ ය. අධිෂ්ඨානය පිරුවේය. (19) මෙත් සිතැති ඔබ සැප දුක් දෙකෙහි නොසැලුණාහ. නිවන් මඟ සොයමින් බොහෝ දුක් අනුභව කළහ. (20) මෙසේ ඔබ වහන්සේ ඒ ඒ ජාතිවල දී ලෝකයාට හිත පිණිස පිළිපදිමින් දීර්ඝ වූ සංසාර මාර්ගයෙහි ඇවිද්ද සේක.

පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: