Posted by: lrrp | November 19, 2012

ඉතා පැරණි සිංහල බණ කතා – මනෝරමමංස කථාව

මෙසේ අසන්ට ලැබේ. අනුරාධපුරයෙහි එක්තරා බාල සාමණේරනමක් දන් වළඳන උපාධ්‍යාය තෙරුන්ට මල් හා කොළවර්ග පිළිගන්වා මෙසේ ප්‍රර්ථනාවක් තැබීය. (1) “ස්වාමිනි, මේ පිනෙන්ද චේතනා පිහිටුවීමෙන් ද යම් යම් තැනක උපදින්නේ නම් ඒ ඒ තැන්හිදී මොනර මස් ලැබේවා”යි හෙතෙම කලුරිය කොට එනුවරම එක්තරා කුල ගෙයක උපණි.

ඔහු උපන්දා සිට සැමදාම ඒ ගෙට මොනර මස් ලැබේ. එ බැවින් ඔහුට “මනෝරම – මයුර මංස” යයි නම් තැබූහ. හෙතෙම ක්‍රමයෙන් වැඩී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි විය.

පැවිදි වූ ඔහුට නිතරම මොනර මස් ලැබුණි. එක් දිනක් එක්තරා ඇමැතියෙක් මොනර මසක් ලැබ ඒ තෙරුන්ට ආරාධනා කොට ගෙදරට ගෙන්වා අස්නෙක හිඳුවා ආහාර දෙවී ය. ඔහුගේ භාර්යාව මාංශලෝභය නිසා ටිකක් දෙනු කැමති විය. මස් ටිකක් ගන්නා විට සියල්ලම එකට ඇළී ආවේය.

ගෘහණිය එය වෙන්කරන්ට නොහැකිව සියල්ල තෙරුන්ට දුණි’ එය දැක මනොරම – මයුරමංස තෙරණම සිනා පහළ කෙළේය. ඇමැතියා සිනා පහළ කිරීමට හේතු විමසමින් (2) ඉන්ද්‍රිය සයෙහි සංවර ඇති සිල්වත් පැවිද්දෝ යම් කිසි කාරණයක් දැක සිනාසෙත්. (3) ඔබ විසින් මනෝඥ වූ මසක් දැක සිනා පහළ කරන ලදී. ඒ සිනාසීමට හේතු කිව මැනව, මම අසනු කැමැත්තෙමි”යි කීය.

තෙරනම මෙසේ කීය : (4) “මාගේ පින නොදන්නා වූ ඕ තොමෝ ටිකක් දෙනු කැමැත්තී වූවාය. ඒ සියල්ල මාගේ පාත්‍රයට වැටෙනු දැක මම සිනා පහළ කෙළෙමි. (5) මෙලොව මසුරු මිනිස්සු ඉතිරි නොකොට දෙනු කැමැත්තෝ නොවෙත්.

පින්වත් පුද්ගලයෙකු දැක මසුරුවීමෙන් පලක් නැත. (6) මා විසින් පෙර දක්ෂිණාර්හයන් කෙරෙහි යම් පිනක් කරන ලද නම් එය අද ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා ලැබේ. ඒ ස්ත්‍රිය සිදුරක් සොයයි. (7) මසුරු ස්ත්‍රියක් දැක මම සිනා පහළ කෙළෙමි. ඒ බව දත මැනවි, අන් කරුණක් නොසිතනු මැනවි.”

ඇමැති තෙමේ තෙරුන්ගේ පින විමසින්නෙමියි සිතා පසුදා සඳහා ආරාධනා කොට නිවුඩු සහලේ බත් කාඩි හොඳි සමඟ දිය යුතුයයි සිය බිරිඳට කියා ගෙයින් පිටත ගියේ ය. නගරපාලක දේවතාවා මිනිස් වෙසින් අවුත් මොනර මස්ද ඇල්හාල් ද දී කිරි මුට්ටියක් ද ඇමැති බිරියට දී “ආර්යාවෙනි, ඇමැතිතුමා මේ දේවල් පිස භික්ෂුනමට දන් දෙව“යි කීය.

ඇමැතිගේ භාර්යාව ඒ සියල්ල දැක ඇමැතිතුමා මට කලින් මෙසේ කියා ගොස් නැවත සිත වෙනස්කොට මේ දේවල් එවූයේ වනැ යි සිතා ඒවා රැගෙන මනාසේ උයා දන් පිළියෙළ කළාය. තෙරනමද අවුත් අස්නක වැඩහිඳ දන් වළඳා ගියේය. ඇමැතියා පසුව ඇවිත් “ මං කීසේ සියල්ල කරන ලදදැ”යි බිරියගෙන් විචාළේය.

ඕ ඔහුගේ කීම අසා ඔබ කලින් අනිකක් කියා පසුව අනිකක් කළාහ යි කීය. ඇමැතියා පසුව මා විසින් කුමක් කරන ලදදැයි විචාළේය. ඔබ විසින් එවන ලද මස් ද ඇල්හාල් ද කිරි මුට්ටිය ද රැගෙන මම දන් පිළියෙළ කොට ඒ හිමියන්ට දුනිමි යි ඕ කීය.

මෙය ඇසූ ඇමැතියා විස්මිතව පහන් සිත් උපදවා “අහෝ බුදුරදුන් විසින් ගිහියන්ටද පැවිද්දන්ට ද පින් උපකාර වෙතියි කී දේශනාව මනාසේ දෙසන ලද්දකි. දක්ෂ වූ මිනිසා විසින් කුසල් ම කළ යුතුය.

මම කාඩි හොදි සමඟ නිවුඩු හාලේ බත් පිස දෙව යි කියා ගිය නමුත් දේවතාවෝ මොනර මස් ද ඇල්හාල් ද ගෙට ගෙනාහ. මෙසේ ප්‍රත්‍යක්ෂ ඵලයක් දුටුවෙමි”යි කීය.

ඉන් පසු හෙතෙම මහාදානපතියෙක් විය. ධර්මයට පි‍්‍රය කරන්නහු විසින් බොහෝ පින් කළ යුතු ය. තුසිත පුරයට ගිය සද්ධාතිස්ස ඇමැතියාද මෙහිදී බොහෝ පින් කොට තුසිත පුරයටම ගියේ ය.

පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: